කොවිඩ් 19 – වෛරසයෙන් එහා ගිය කියවීමක්

SHARE

වර්තමානයේ සමස්ත පෘථිවිවාසී ජනතාවම බියකරු වසංගතයකට මුහුණදී සිටී. ඒ, කොවිඞ් 19 වෛසරය විසින් පතුරුවනු ලබන කොරෝනා වසංගතයටය. මාරක වෛරස් ප්‍රභේද නිසා මානව සමාජයට අභියෝග එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙරද මෙවැනි වසංගත ඇති වී ඒවා මගින් ලක්‍ෂ ගණනක් ජනයාගේ ජීවිත බිලිගෙන තිබුණි. ඒ අර්ථයෙන් බලන විට කොරෝනා වසංගතයද ස්වභාවික එකකි.

එහෙත් වසංගතය ස්වභාවික වුවද මේ මගින් මානව සමාජයට සිදු වෙමින් තිබෙන ව්‍යසනය ස්වභාවිකම නැත. එය ඒ ඒ රටවල රාජ්‍ය පාලනයන් හා පවතින සමාජ ආර්ථික ක්‍රමවේද සමග ගැට ගැසී තිබේ.

අතීතයේ මෙන් නොව මේ වනවිට මානව සමාජය වෛද්‍ය විද්‍යාවේ පැත්තෙන් අත්කරගෙන ඇති දියුණුව අති විශාලය. එසේම අතීත වසංගතවලට මුහුණ දී ඒවායේ අත්දැකීම්ද වර්තමාන සමාජයට තිබේ. එසේ තිබියෙදීත් වර්තමාන ලෝකය මෙම වසංගතය සමග සටන් වදින්නේ නිවැරදි හා කළ යුතු අයුරින් නොවේ. ධනවාදී ආර්ථික ක්‍රමය තුළ ලොව බොහෝ රටවල් තවමත් මිනිස් ජීවිත රැක ගැනීමට වඩා ‘ආර්ථිකය’ රැක ගැනීමටත් ලාභ මලු එකතු කර ගැනීමටත් වැඩි අවධානය යොමු කර ඇති බව පෙනේ. එය මානව සමාජයකට නොගැලපෙන තරම්ය.

මෙම වසංගතයට මුහුණ දීමේදී යම් සාර්ථකත්වයක් පෙන්වා ඇති රටවල් කිහිපයක්ම තිබේ. එහෙත් බහුතරයක් රටවල්, විශේෂයෙන් ධනවාදී කඳවුරේ බොහෝ රටවල් මෙහිදී බරපතළ අසමත්කමක් පෙන්වා තිබේ. ලංකාව, ඉන්දියාව වැනි පසුගාමී ධනවාදී රටවල තත්වය ඉතාම ඛේදජනකය. වෛරසයේ බලපෑමහරිහැටි තක්සේරු කර නොගැනීම, සෞඛ්‍ය විද්‍යාත්මක ප්‍රවේශයක් වෙනුවට දේශපාලනමය හා හමුදාමය ප්‍රවේශයක් ගැනීම, රෝගය සැබවින්ම පාලනය කිරීමට විද්‍යාත්මක ක්‍රියාමාර්ග අනුගමනය කරනවා වෙනුවට මිත්‍යාවන් වෙත නැඹුරුවීම, බලධාරීන්ගේ වගකීම් විරහිත හා උද්දච්ච හැසිරීම මෙම වසංගතය පාලනය කර ගැනීමට නොහැකි වීමට හේතු වී තිබේ. ලංකාවේදී අප දකිමින් සිටිනේ එයයි.

ලාභ ඉපයීම ප්‍රධාන අරමුණ කරගත් ධනවාදී සමාජයකදී මේ වන විටත් ආර්ථික අර්බුදයන්ට මුහුණ දී සිටින ලංකාව වැනි රටවල් පමණක් නොව එක්සත් ජනපදය පවා මෙම වසංගතය හමුවේ කටයුතු කරන්නේ මිනිස් ජීවිත රැකීම දෙවැනි තැනට දමා ‘ආර්ථිකය’ පවත්වාගෙන යාමට මුල්තැන දෙමිනි. පාලකයන්ට සමීපව ඔවුන් වටා සිටිනා ව්‍යාපාරිකයන්ගේ ජාවාරම්කරුවන්ගේ බලපෑමට මුල්තැන දෙන මෙම පාලනයන් ජනතාවගේ හඬට හෝ වෛද්‍ය විශේෂඥයන්ගේ හඬට ඇහුම්කන් දෙන්නේ අඩුවෙනි. එහි ප්‍රතිඵලය වී ඇත්තේ 21වැනි සියවස තුළ ජීවත් වන, විද්‍යාවේ තාක්‍ෂණයේ මහා හාස්කම් පෙන්වූ ජන සමාජයක් කොවිඞ් 19 වෛරසය හමුවේ අසරණ වී සිටීමය.

කොවිඞ් වසංගතය පිළිබඳ වෛරසයෙන් ඔබබ්ට ගිය කියවීමක් අපට අවශ්‍ය වන්නේ මේ තත්වය තුළය. ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාපන කමිටුව විසින් ලිපි මාලාවක එකතුවක් ලෙස සකස් කරන ලද “කොවිඞ් 19 -වෛරසයෙන් එහා ගිය කියවීමක්” නමැති මෙම කුඩා කෘතිය වැදගත් වන්නේද එම තත්වය තුළය.

කොවිඞ් වෛරසය තවමත් විවිධ හැඩතල ගනිමින් විවිධ ප්‍රභේද බිහිකරමින් සමාජය පුරා පැතිර යමින් තිබේ. හෙට කුමක් වේදැයි කීමට නොහැකි තත්වයකට ලොව පත්ව තිබේ. ඒ නිසාම මෙම කෘතිය කොවිඞ් පිළිබඳ අවසන් විග්‍රහයක් වන්නේ නැත. එහෙත් දැනට පවතින තත්වය යටතේ වෛරසය පිළිබඳ, රෝගය පිළිබඳව, එහි පැතිරීම පිළිබඳ මෙන්ම එය පිටුපස වන දේශපාලනය පිළිබඳවද, ධනවාදයේ අසමත්කම හා අමානුෂිකත්වය පිළිබඳව වටහා ගැනීමට මෙම කෘතිය කිසියම් හෝ මගපෙන්වීමක් කරනු ඇතැයි අපි සිතමු. මේ මොහොතේ මෙම වසංගතයේ ස්වභාවය වටහාගෙන ඉන් ආරක්‍ෂා වීමටත් මෙවැනි වසංගතවලින් මිදී ජනතාවට සතුටින් හා විශ්වාසයෙන් ජීවත්වය හැකි, විද්‍යාවේ හා තාක්‍ෂණ ජයග්‍රහණ මානව වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් යොදවන සමාජයක් වෙනුවෙන් කටයුතු කිරීමටත් මෙම කෘතිය කිසියම්ම හෝ මගපෙන්වීමක් කරන්නේ නම් එයම අපේ බලාපොරොත්තු ඉටුවීමක් බවද නිහතමානීව පවසමු.

අවසාන වශයෙන් මෙම ලිපි මාලාව ලියූ හා එය කෘතියක් ලෙස එළිදැක්වීම සඳහා දායක වූ සියලුම සහෝදර සහෝදරියන්ට අපේ ස්තුතිය පළකරමු. කොවිඞ් සමග ජීවත් වන සමාජයක් වෙනුවට කොවිඩිවලින් තොර සමාජයක් වෙනුවෙන් සටන් කරමු.


අධ්‍යාපන අංශය
ජනතා විමුක්ති පෙරමුණ
2021 අගෝස්තු

කොවිඩ් 19 – වෛරසයෙන් එහා ගිය කියවීමක්