ජාත්‍යන්තර කොමියුනිස්ට්වාදියා

SHARE

International Communist Review (ජාත්‍යන්තර කොමියුනිස්ට්වාදියා) සඟරාව ලොව කොමියුනිස්ට් පක්ෂවලට සම්බන්ධ, කොමියුනිස්ට් වාර සඟරාවල කර්තෘ මණ්ඩලවල සාමාජිකයන්ගෙන් සැදුම්ලත්, ඒකාබද්ධ, ජාත්‍යන්තර කර්තෘ මණ්ඩලයකින් සංස්කරණය කෙරෙන කොමියුනිස්ට් වාර ප්‍රකාශනයකි. ලෝක කොමියුනිස්ට් හා කම්කරු පක්ෂ රැස්වීම තුළින් පැනනැගි මෙම වාර ප්‍රකාශනය 2014දී පමණ ආරම්භ කර මේ වන විට කලාප 10ක් නිකුත් කර ඇති අතර, ඉංග්‍රීසි, රුසියානු, ස්පාඤ්ඤ, ප්‍රංශ, ග්‍රීක, ඉතාලි, ජර්මන් හා පෘතුගීසි යන භාෂා 8කින් පළ කරන ලොව දැනට ඇති ප්‍රධානම කොමියුනිස්ට් සඟරාවකි. එක් ප්‍රධාන තේමාවක් පදනම් කරගෙන ප්‍රධාන වශයෙන්ම න්‍යායික තලයක එම තේමාව පිළිබඳ විශ්ලේෂණය කිරීම “ජාත්‍යන්තර කොමියුනිස්ට්වාදියා” සඟරාවේ මූලික ලක්ෂණයයි.

  • එහි පළමු කලාපයෙන් – ජාත්‍යන්තර ධනපති ක්‍රමයේ අර්බුදය
  • දෙවන කලාපයෙන් – සමාජවාදී සෝවියට් දේශය හා යුරෝපයේ කම්කරු පංති ව්‍යාපාරයට එරෙහි බලපෑම
  • තෙවන කලාපයෙන් – ලෙනින්වාදය හා සංශෝධනවාදය
  • සිව්වන කලාපය කොමියුනිස්ට් පක්ෂ සභාග ආණ්ඩුවලට සහභාගි වීම ආදී වශයෙන් කලාප 10ක් පමණ ප්‍රමාණයක් ඇත.

අප මේ සමග එළිදක්වන්නේ එහි 4වැනි කලාපය වන “කොමියුනිස්ට් පක්ෂ සභාග ආණ්ඩුවලට සහභාගි වීම පිළිබඳ අත්දැකීම්” නම් කලාපයයි. එමගින් විශේෂයෙන්ම යුරෝපයේ හා දකුණු ඇමරිකාවේ කොමියුනිස්ට් පක්ෂ සභාග ආණ්ඩු ගොඩනැගීමේ නූතන අත්දැකීම් පිළිබඳ තියුණු විශ්ලේෂණයක් ගෙන හැර දක්වා තිබේ.

විශේෂයෙන්ම ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ නූතන අත්දැකීම් මාක්ස්ලෙනින්වාදී පදනමක සිට විශ්ලේෂණය කරන, සමාලෝචනය කරන හා එම අත්දැකීම් හා විශ්ලේෂකයන් බෙදාහදා ගන්නා ප්‍රබල මාධ්‍යයන් හා ක්‍රමවේදයක් නොමැති නිසාත්, එම ලේඛන බොහෝදුරට අපට සමීප භාෂාවන්ගෙන් පළ නොවන නිසාත් (ස්පාඤ්ඤ, රුසියන් වැනි) එම දැනුම අත්කර ගැනීම දුෂ්කර වී තිබේ. එමනිසා න්‍යායික විද්‍යාත්මක, අපගේ වත්මන් භාවිතාවට ගත හැකි
අවබෝධයන් හා පාඩම් උකහා ගැනීමටත්, ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ ගමන් මඟ පිළිබඳවත් අවබෝධ කර ගැනීම සඳහා ජාත්‍යන්තර කොමියුනිස්ට්වාදියා සඟරාවේ මෙම කලාපය මෙසේ ඉදිරිපත් කරන අතර, අවශ්‍යතාව හා ඉඩකඩ අනුව එහි වෙනත් කලාපයන්ද ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.
නියමුවා ප්‍රකාශන
2021.මැයි 01

ජාත්‍යන්තර කොමියුනිස්ට්වාදියා