සැබෑ ඉතිහාසය සොයා…

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

සුනිල් එදිරිසිංහයන් ගයන ජනප්‍රිය ගීතයක මුල් පද කිහිපය මෙසේ වේ. ‘මේ තරම් සියුමැලිද කළු ගල් සිතන්නටවත් බැරි නිසා – මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා’ මෙම ගීය රචනා කළ නව පරපුරේ ගීත රචකයෙක් වූ රජීව් වසන්ත වෙල්ගම මේ පද මාලාව මගින් ඉතිහාසය සොයා අතීතයට යයි. ඔහු අපේ රටේ ඉතාමත් ප්‍රසිද්ධ අවුකන බුදු පිළිමය නෙළුෑ, අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා යයි. මෙහි විශේෂ කරුණක් තිබේ. පාසලේදී අපට උගන්වන ඉතිහාසයට අනුව නම් මෙසේ සොයා යාමට අවශ්‍ය නැත. ඒ, ඉතිහාසයේ සියලු විශාල නිර්මාණ කිසියම් හෝ රජ කෙනෙකුගේ නමට ලියා තිබෙන බැවිනි. එහෙත් මෙම ගීතයේ රචකයා එය නොසලකා අවුකන පිළිමයට දෑස් දුන් මිනිසා සොයා, එනම් සැබෑ ඉතිහාසය සොයා යයි. ඒ ඇයි? නිල ඉතිහාසය තුළ සැබෑ නිර්මාණකරුවා සඟවා ඇති නිසාය. බොහෝ රටවල නිල ඉතිහාසය යනු යම් පමණක ප්‍රබන්ධයක් වන නිසාය.

මිනිස්සු සිය ඉතිහාසය දැන ගැනීමට කැමැත්තක් දක්වති. ඒ, එමගින් තමන්ගේම අතීතය දෙස බැලිය හැකි නිසාය. මිනිසාගේ සමාජීය ගමන්මඟ යනු අතීතයේ සිට වර්තමානය ඔස්සේ අනාගතය කරා දිවෙන අඛණ්ඩ ක්‍රියාදාමයකි. එම ක්‍රියාදාමයේ අතීතයට එක් වූ දේ එනම් ඉතිහාසය දැන ගැනීමට මිනිසා තුළ ස්වභාවයෙන්ම ඇති වූ රුචිකත්වයක් තිබෙන අතර ඉතිහාසය යනු එක් අර්ථයකින් අනාගතයට මඟපෙන්වන අත්දැකීම් සම්භාරයක්ද වේ.

ඉතිහාසය ව්‍යාජ ගොඩනැගීමක් වූ කල

ඉතිහාසය තුළ සත්‍යය ගැබ්වී තිබිය යුතු වුවත් බොහෝ විට ධනවාදී අධ්‍යාපනය තුළ මේ සත්‍යය වෙනුවට ව්‍යාජයන් හා ව්‍යාජ ප්‍රතිරූපයන් ගොඩනගා තිබේ. ඒ, පංතිමය වුවමනාවන් සඳහාය. එවිට ඉතිහාසය අනාගතයට සේවය කරනවා වෙනුවට අනාගතය ගොඩනැගීමට බාධාකාරී වේ. ඉතිහාසය ලියන අය බොහෝ විට කිසියම් පක්ෂපාතීකමක් සහිතව ලියන බව ප්‍රතික්ෂේප කළ නොහැක. එහිදී සමහර කරුණු විකෘති කිරීම්ද සමහර කරුණු නොසලකා හැරීමද, සමහර අතිශයෝක්තීන්ද සිදුවේ. එවිට ඉතිහාසය සත්‍ය කරුණු මත හා උපකල්පන මත ඉදිකරන ලද ව්‍යාජ දැනුමක් බවට පත්වේ.

ඉතිහාසය ගොඩනැගීමේදී අතීතයේ ඒ ඒ යුගවල විසූ අය ලියූ ඓතිහාසික ලිපි හා ලේඛන උපයෝගී කරගත්තාක් මෙන්ම, පුරාවිද්‍යාත්මක සාධක හා ජනශ්‍රැතිය තුළ වන විවිධ කතා උපයෝගී කර ගනී. ඉතිහාසය ගවේෂණය කිරීමේදී පැරණි ලේඛන (සෙල් ලිපි, මැටි පුවරු ආදී) වීර කාව්‍යයන් (මහා භාරතය, රාමායනය, ඔඩෙසි, ඉලියඞ් ආදී) හා ඓතිහාසික රචනා (මහාවංශය) උපයෝගී කරගැනීමට සිදුවේ. එසේම පුරාවිද්‍යාත්මක සාධක හා සාක්ෂිද වැදගත් වේ. මෙහිදී ඉතිහාසය නිවැරදිව ලිවීමේදී පුරාවිද්‍යාත්මක සාක්ෂි කිසියම් ප්‍රමාණයක නිවැරදි තොරතුරු ලබා දුන්නත් ඓතිහාසික ලේඛන බොහෝ විට වැරදි හා පක්ෂග්‍රාහී ඒවා වේ.

නූතන ඇමෙරිකාව ගැන ලියන දේ

වර්තමානයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන එක්සත් ජනපදය අගයන කෙනෙක් එක්සත් ජනපදය ගැන ලියන විට ලියන්නේ කුමක්ද? ඔහුට අනුව එක්සත් ජනපදය ලොව තිබෙන ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී හා මානව හිමිකම් රකින රාජ්‍යයක් වේ. එය වර්තමානයේ දියුණුම පොහොසත්ම, බලවත්ම රට යයි ඔහු ලියනු ඇත. එහෙත් සත්‍යය කුමක්ද? එක්සත් ජනපදය ලොව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරන, තම ආර්ථික, දේශපාලන හා යුදමය ආධිපත්‍ය අන් රටවල් මත මුදාහරින අධිරාජ්‍යවාදී රටකි. එබැවින් ඉහත ලියන පුද්ගලයාගේ විග්‍රහය පක්ෂපාතී එකකි. ඒ තුළ සත්‍යය නැත. මෙය එක්සත් ජනපදය ගැන නොව ඕනෑම රටකට පොදුය. එම රට තුළ සිට එම රටේ පවත්නා සමාජ ආර්ථික ක්‍රමය අනුමත කරන අය එම රට ගැන ලියනු ලබන්නේ එම රටට පක්ෂපාතීව මිස අපක්ෂපාතීව නොවේ.

මහාවංශය හා ඉතිහාසය

ලංකාවේ ඉතිහාසය ඉගෙන ගැනීමේදීද මෙම ගැටලුව මතුවේ. ලංකාවේ ඉතිහාසය ඉගෙනීමේදී තිබෙන ප්‍රධාන මූලාශ්‍රය වන්නේ වංශ කථාය. ඉන් පැරණිම ලේඛනය මහා වංශයයි. එහෙත් මහා වංශය ලියූ මහා විහාර භික්ෂූන් එය ලියා ඇත්තේ අපක්ෂපාතීව නොවන බව දැන් පොදු පිළිගැනීම වේ. ලංකාවේ ඉතිහාසය තුළ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට විශාල මෙහෙයක් කළ මහසෙන් රජු නොසලකා ඇති මහාවංශය දුටුගැමුණු රජු වෙනුවෙන් මහා වංශයේ අඩකට කිට්ටු පරිච්ඡේද ප්‍රමාණයක් වෙන්කර තිබේ. ඊට හේතුව මහසෙන් රජු හා මහා විහාරය අතර තිබූ ගැටුමය. ඒ නිසා මහසෙන් රජු නොසලකා හැරීමත් දුටුගැමුණු රජු ගැන අතිශයෝක්තියෙන් වර්ණනා කිරීමත් මහාවංශය තුළ දැකිය හැක.
අප මෙම කරුණු ආරම්භයේදීම සඳහන් කළේ ඉතිහාසය ඉතාම වැදගත් හා වටිනා විෂයක් වුවද ඒ තුළ බොහෝ විට ව්‍යාජයන් හා විකෘති කිරීම් පවතින බව පෙන්වා දීමය. එබැවින් මිනිසාගේ ඉතිහාසය එනම් මානව ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී එය නිවැරදි විද්‍යාත්මක විධික්‍රමයක් අනුව අධ්‍යයනය කළ යුතුය. ‘ඉතිහාසය’ මිනිසුන්ට නිවැරදි මඟපෙන්වනවා වෙනුවට කුඩා දරුවන්ගේ සිට සිත් දූෂ්‍ය කරන්නේ නම් හා දැනුම මිත්‍යාවන්ගෙන් පුරවන්නේ නම් එය හොඳ දෙයක් නොවේ.

වැරදි විධික්‍රම

ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී ධනවාදී ඉගැන්වීම් තුළ පවතින ප්‍රධාන වැරදි කිහිපයක් තිබේ. ඒවා කෙටියෙන් හඳුනා ගැනීම අපේ අධ්‍යයනය නිවැරදිව කර ගැනීමට පහසුවක් වේ. ධනපති ක්‍රමය තුළ ඉතිහාසය ඉගැන්වීමේදී ඇති ප්‍රධාන දුර්වලතා වන්නේ, I. ඉතිහාසය භෞතිකවාදී පදනමක් මත නොව විඥානවාදී පදනමක් මත ගොඩනැගීම II. ඉතිහාසය යනු අහම්භීය හා එකිනෙකට සම්බන්ධයක් නැති සිදුවීම් දාමයක එකතුවක් සේ ඉදිරිපත් කිරීම III. ඉතිහාසයේ සිදුවීම් යටින් තිබෙන එහි සැබෑ හේතු සැඟවීම හෝ නොසලකා හැරීම IV. ඉතිහාසය තුළ වැඩකරන මිනිසුන්ගේ දායකත්වය ඉවත් කොට එය රජුන්ගේ, වීරයන්ගේ ක්‍රියාවක් ලෙස හුවා දැක්වීම යන ඒවාය.
මේ නිසා ධනවාදය තුළ ඉතිහාසයේ පදනම එක්කෝ මුළුමනින්ම විඥානවාදීය; නැතිනම් එකම දේ යළි යළිත් සිදු වන පාරභෞතිකවාදීය. බොහෝ විට මේ දෙකම එකටද තිබේ. එමගින් ඉතිහාසයේ ගමන් මඟේ ද්‍රව්‍යමය පදනමත් ඉතිහාසයේ සංවර්ධනයේ සැබෑ හේතුත් ඉතිහාසයේ සංවර්ධනයේ දයලෙක්තික සබඳතාවත් මිනිසාගේ ක්‍රියාකාරීත්වයත් සවිඥානිකවම නොසලකා හැර ඇත.
ධනේෂ්වර ක්‍රමය තුළ ඉතිහාසය උගන්වන මෙම අවිද්‍යාත්මක ක්‍රමය සුප්‍රසිද්ධ මාක්ස්වාදී නාට්‍යකරුවෙක් වූ බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින්ද ප්‍රශ්න කරනු ලැබ තිබේ. බ්‍රෙෂ්ට් ලියූ ‘කම්කරුවෙක් ඉතිහාසය කියවයි’ නම් කවියේ ඔහු මෙය ප්‍රශ්න කරයි. එම කවියේ පද කිහිපයයක් මෙසේය…

‘තරුණ ඇලෙක්සැන්ඩර් ඉන්දියාව ජය ගත්තේය
එවිට ඔහු සිටියේ තනිවමද?
සීසර් ගෝල්වරුන් අබිබැවීය
කෝකියෙක්වත් නොසිටියේද ඔහු සමඟ’ ආදී ලෙසය. එම කවියේ අවසන ඔහු මෙසේ කියයි.
‘හැම පිටුවකම ජයග්‍රහණයකි
ඒ ජයග්‍රාහකයන්ට ආහාර පිසුවේ කවුරුද?
හැම දශකයකටම වරක් මහා පුරුෂයෙකි
එහි වියදම දැරුවේ කවුද?
තොරතුරු රැසකි
ප්‍රශ්න රැසකි.

බ්‍රෙෂ්ඨ අනුව ඉතිහාසය යනු තොරතුරු රැසකි. ඒ නිසා මතුවන ප්‍රශ්න රැසකි. එබැවින් මානව ඉතිහාසය වඩා නිවැරදි ක්‍රමයකට අප අධ්‍යයනය කළ යුතුය. එහිදී අපට මාක්ස්වාදය මඟපෙන්වනු ඇත. මාක්ස්වාදී දෘෂ්ටියට අනුව මානව ඉතිහාසය හා එහි ප්‍රධාන යුග කෙටියෙන් සකච්ඡා කරමු.

ඉතිහාසය ඇරඹුණු හැටි

ඉතිහාසය පිළිබඳව කරනු ලබන අධ්‍යයනයකදී අප මුහුණපාන පළමු අභියෝගය වන්නේ, ඉතිහාසය පටන් ගත්තේ කොතැන සිටද යන්නය. මේ නිසා ඉතිහාසය යනු කුමක්දැයි දළ වශයෙන් විග්‍රහ කරගත යුතුව තිබේ. ඉතිහාසය යනු හුදු අතීතයම නොවේ. අතීතය හා ඉතිහාසය අතර ප්‍රධාන වෙනසක් තිබේ. අතීතය, කාලය හා බැඳුණු සංකල්පයකි. එයට කෙළවරක් හා ආරම්භයක් නැත. එහෙත් ඉතිහාසයට ආරම්භයක් තිබේ. එසේනම් ඉතිහාසයේ ආරම්භය සනිටුහන් කරන ප්‍රධාන සාධක මොනවාද? සාමාන්‍යයෙන් අප ‘ඉතිහාසය’ ලෙස අධ්‍යයනය කරන්නේ, මානව සමාජය හා මානව ක්‍රියාකාරකම්වල අතීතය බව බැලූ බැල්මට පෙනේ. ඒ අනුව මානව සමාජය බිහිවූ දා සිට මානව වර්ගයා විසින් සිදුකරන ලද ක්‍රියාකාරිත්වයන්ගේ අතීතයට අයත් වූ සියලු දේ ඉතිහාසය ලෙස සැලකිය හැක. කෙටියෙන් ගත් විට මානව වංශ කතාවේ අතීතය ඉතිහාසය වේ. ඉන් අදහස් වන්නේ මිනිසා බිහිවීමට පෙර අතීතයක් තිබුණද එය ඉතිහාසය නොවන බවය.

ඉතිහාසයේ ආරම්භය කොතැනද?

ඉතිහාසය යනු මානව පැවැත්මේ අතීතය නම් ඉතිහාසය පටන් ගන්නේ, ‘මිනිසා’ බිහිවීමත් සමඟය. මෙය මෙලෙස තර්ක කළ හැකි වුවත් එය එතරම් සරල නොවේ. ක්‍රිස්තියානියට අනුව පළමු මිනිසා වන ‘ආදම්’ දෙවියන්ගේ මැවීමකි. එවිට ඉතිහාසය ආරම්භ වන්නේ ආදම්ගේ සිටය. එය එතරම් දිගු නැති ඉතිහාසයකි. නමුත් මෙම සංකල්පය දැන් බයිබලයට පමණක් සීමා වූ සංකල්පයකි. වෙනත් ආගම් විසින්ද මිනිසාගේ ආරම්භය ගැන විවිධ විඥානවාදී සංකල්පයන් ඉදිරිපත් කොට තිබේ. එහෙත් වර්තමානයේ පොදු විද්‍යාත්මක පිළිගැනීම වන්නේ පරිණාමවාදයයි. මිනිසා වානර වර්ගයකින් පරිණාමය වූ බව පරිණාමවාදයත් මානව විද්‍යාවත් පුරාවිද්‍යාවත් විසින් ඔප්පු කරනු ලැබ තිබේ. එබැවින් ඉතිහාසය පටන් ගන්නා නිශ්චිත දිනයක් නැත. ඒ, ‘පළමු මිනිසා’ බිහිවූ දිනයක් නැති නිසාය.
මානව කල්ප වානරයින්ගෙන් හොමා්සේපියන් නම් මිනිසා බිහිවූයේ පරිණාම ක්‍රියාවලියක් තුළ නිසා ඉතිහාසයේ ආරම්භය පිළිබඳ පවතින්නේද දළ වකවානුවකි. නූතන ලක්‍ෂණ සහිත මානවයා මීට අවුරුදු ලක්‍ෂයකට, එක්ලක්‍ෂ විසිපන්දහසකට පමණ පෙර ලොව පුරා පැතිරීම පටන්ගත් බව පොදු මතයක් පවතී. එහෙත් එම මානවයා ශිෂ්ටාචාරගතව ජනාවාස සකස්කරගෙන ස්ථාවර ජීවිතයක් පටන් ගන්නා තෙක් ‘ඉතිහාසය’ ලෙස සැලකිය හැකි යමක් අපට හමුවන්නේ නැත. සාමාන්‍යයෙන් පොදු පිළිගැනීම අනුව ඉතිහාසය ලෙස සැලකෙන්නේ, ලිඛිත ඉතිහාසයයි. ලිඛිත ඉතිහාසය ආරම්භ වන්නේ, සමාජය තුළ දේපළ මත පංති බිහිවී රජය බිහිවීමත් සමගය. උදාහරණයක් ලෙස ලංකාවේ ඉතිහාසය අරම්භ වන්නේ ‘විජය පැමිණීම’ ලෙස සඳහන්කර ඇති ඉන්දු යුරෝපීයන්ගේ මෙරටට පැමිණීම හා රජය ඇතිවීමත් සමඟය. ලංකාවේ ඉතිහාසය රජවරුන්ගෙන් පටන් ගන්නේ ඒ නිසාය.

ඉතිහාසය හා ප්‍රාග් ඉතිහාසය

මානව ඉතිහාසය ලිඛිත ඉතිහාසයෙන් පටන් ගත්තත් ඉතිහාසයේ සැබෑ අරම්භය එය නොවේ. ඊට පෙරද මිනිසා සමාජයක් ලෙස ජීවත් වූ අතර නිෂ්පාදනය මගින් තම අවශ්‍යතා සපුරා ගන්නා ලදී. එබැවින් ඉතිහාසය ලිඛිත ඉතිහාසයෙන් ඔබ්බට යා යුතුය. සාමජය මෙම ගැටලුව විසඳනු ලැබුවේ ප්‍රාග් ඉතිහාසය හෙවත් ඉතිහාසයට පෙර යුගයක් පිළිබඳ අධ්‍යයනය ආරම්භ කරමිනි.
1848දී මාක්ස්-එංගල්ස් කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රකාශනය ලියන විට එහි පළමු වාක්‍ය ලෙස සඳහන් කළේ ‘මෙතෙක් පැවති සමාජයන්ගේ ඉතිහාසය වූකලී පංති සටන්වල ඉතිහාසයයි’ යනුවෙනි. මන්ද ඒ වනවිට මිනිසාගේ ආදිකාලීන පැවැත්ම පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක් සිදුවී ඒ පිළිබඳ හෙළිවී නොතිබූ නිසාය. එහෙත් 1860 දශකයේ ඇමරිකානු ජාතික මානව විද්‍යාඥයෙක් වූ ලෙවිස් මෝර්ගන් මේ පිළිබඳ පරීක්‍ෂණ සිදු කළ අතර ඔහු 1877දී ‘පැරණි සමාජය’ නම් කෘතිය එළිදැක්වීය. එසේම මේ කාලය වනවිට රුසියාවේ පොදු ඉඩම් අයිතිය සහිත සමාජයක් පිළිබඳ තොරතුරුත් ඉන්දියාවේ හා ජර්මනියේ ආදිකාලීන සමාජයන් පිළිබඳ තොරතුරුත් හෙළිදරව් වෙමින් පැවතිණි. පැරණි සමාජය පිළිබඳ එනම් පංති සමාජයට පෙර තිබූ සාමූහික සමාජයක් පිළිබඳ මොර්ගන්ගේ ඉගැන්වීම් අධ්‍යයනය කළ මාක්ස් හා එංගල්ස් පසු කලෙක කොමියුනිස්ට් ප්‍රකාශනයේ මුල් වාක්‍යයට එකතුවක් කරමින් ඉන් අදහස් කරන්නේ, ලිඛිත ඉතිහාසය බවත් ඊට පෙර ඉතිහාසයක් තිබෙන බවත් පැවසූහ.
මේ අනුව පළමු පංති සමාජයෙන් ඇරඹී ලේඛනගත වූ යුගය ඉතිහාසය ලෙසත් ඊට පෙර මානව සමාජය ප්‍රාග් ඉතිහාසය ලෙසත් වර්ග කෙරිණි. ලංකාවේදී ‘විජය පැමිණීම’ සමඟ ආරම්භ වන ඉතිහාසය (ප්‍රබන්ධ කළ ඉතිහාසය!) ලිඛිත ඉතිහාසය ලෙසත් පුරාවිද්‍යාව විසින් හෙළිකර ගන්නා ලද ඊට පෙර මානව ක්‍රියාකාරකම් සහිත යුගය ප්‍රාග් ඉතිහාසය ලෙසත් වර්ග කර තිබේ. මහාචාර්ය රාජ් සෝමදේවයන්ට අනුව හෝමෝ සේපියන්වරුන් ලංකාවේ දකුණුදිග තැන්නේ හම්බන්තොට ප්‍රදේශයට ගොඩබැස ඇත්තේ මීට වසර එක්ලක්‍ෂ විසිදහසකට පමණ පෙර බව “ශ්‍රී ලංකාවේ ආදි ඉතිහාසය” නම් ඔහුගේ කෘතියේ දැක්වේ. එබැවින් ලංකාවේ ජනතාවගේ සැබෑ ඉතිහාසය ආරම්භ වී ඇත්තේ ක්‍රි.පූ. 06වැනි සියවසේ නොව අවම තරමින් මීට වසර ලක්‍ෂයකට පමණ පෙර සිට බව පැහැදිලිය.

ඉතිහාසය ද්‍රව්‍යවාදී දැක්මකින්

ඉතිහාසය හැදෑරිය යුත්තේ විඥානවාදී හෝ පාරභෞතිකවාදී දැක්මක සිට නොව විද්‍යාත්මක ද්‍රව්‍යවාදී දැක්මක සිටය. පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස බිහිවූ මිනිසා සමාජයක් ලෙස සංවිධානය විය. එබැවින් අප මිනිස් සමාජයක් ගැන කථා කරමු. මිනිස් සමාජය සත්ව රංචුවෙන් වෙනස් වෙයි. එසේ වෙනස් වන මූලිකම සාධකය වන්නේ ‘ශ්‍රමය’යි. සතුන්ට නැති මිනිසා සතුව ඇති ප්‍රධානම හැකියාව වූයේ සොබා දහමේ දේවල් තම පරිභෝජනය සඳහා වෙනස්කර ගත හැකි (නිෂ්පාදනය කළ හැකි) හැකියාව වූ ශ්‍රම ශක්තියයි. ඊට අමතවර සවිඥානික තාර්කික චින්තනය හා භාෂාවක් කථාකිරීමේ හැකියාවද මිනිසාට විශේෂිතය. මේ අනුව මිනිස් සමාජයත් මානව ඉතිහාසයත් පටන් ගන්නේ, මිනිසා ශ්‍රමය හා උපකරණ යොදාගනිමින් තම යැපීමේ මාධ්‍යයන් ‘නිපදවා’ ගැනීම ඇරඹීමත් එම නිෂ්පාදන ක්‍රියාවලිය මත සාමූහයක් ලෙස ගොනුවීමත් සමඟය. එබැවින් ඕනෑම සමාජයක මිනිසුන් අතර ඇති සම්බන්ධතාවය තවත් නිෂ්පාදන සබඳතාවයක්ද වේ. සතුන් රංචුවක් ලෙස සිටීමේදී එම ‘රංචුව’ සැදීමේ ප්‍රධාන සාධකය වන්නේ සොබාදහම විසින් උන්ගේ පැවැත්ම සඳහා නිර්මාණය කරනු ලැබූ ජීවවිද්‍යාත්මක සම්බන්ධතාය. එහෙත් මිනිස් සමාජයක් තුළ ජීවවිද්‍යාත්මක සබඳතා අභිබවා නිෂ්පාදන සබඳතා ප්‍රබල වී තිබේ. එබැවින් මානව සමාජයත් එහි ඉතිහාසයත් අධ්‍යයනය කිරීමේ අප පදනම් කරගත යුතු ප්‍රධාන සාධකය වන්නේ නිෂ්පාදනයයි.
මේ අනුව මානව සමාජය ඉතිහාසයේ විවිධ යුග පසුකරමින් සංවර්ධනය වී තිබේ. ඒ හැම යුගයක්ම තවත් යුගයකින් වෙනස් වන්නේ, නිෂ්පාදන ක්‍රියාවලිය හෙවත් නිෂ්පාදන මාදිලිය පදනම් කරගෙනය.

ඉතිහාසය ආපසු ගමන් කරයිද?

සමාජය තුළ දේපළ මත පංතීන් බිහිවූ දා සිට ඉතිහාසය යනු පංති සටන්වල ඉතිහාසයක් විය. එය සත්‍යයකි. මෙම කාල වකවානුවේ ඉතිහාසයේ ගමන්මඟ තීරණය කරන ප්‍රධාන දයලෙක්තිකය වූයේ පංති සටනයි. සමාජ ක්‍රම එකක් වැටී තවෙකක් ලෙස බිහිවීම සිදුවුයේ පංති සටන්වල ප්‍රතිඵල ලෙසය. පංති සමාජය ඇරඹුණු දා සිට ඉතිහාසය තුළ සමාජයේ බොහෝ දේ තීරණය කරනු ලැබුවේ දේපළ සබඳතාවල ස්වභාවය හා පංතීන් අතර සටන විසිනි. ඒ අතර ඉතිහාසයේ ගමන්මඟ තුළ දැකිය හැකි තවත් ක්‍රියාවලියක්ද තිබේ.

ගැටලු විසඳීමේ ඉතිහාසයක්

“ඉතිහාසය විසින් ඉදිරිපත් කරනු ලබන්නේ, එයට විසඳිය හැකි ගැටලු පමණකි” යනුවෙන් වරක් මාක්ස් පැවසීය. එහෙත් ඒ සමග මාක්ස් එයටම මෙම අදහසද එක්කළේය. ඒ “ඉතිහාසය එම ගැටලු විසඳන්නේ නව ගැටලු මතු කිරීමෙනි” යනුවෙනි. ඒ අනුව ඉතිහාසයේ ගමන්මඟේ තවත් ස්වභාවයක් අපට මුණගැසේ. ඒ ගැටලු නිර්මාණයවීම හා ගැටලු විසඳීමය. මුළු මානව ඉතිහාසයම තමන් ඉදිරිපිට නිර්මාණය වූ ගැටලුවලට විසඳුම් සෙවීමේ ඉතිහාසයක් බව ඉතා පැහැදිලිය. එහෙත් මානව ඉතිහාසය තුළ, මිනිසා ඉදිරිපිට මිනිස් සමාජය තුළ නිර්මාණය වන ගැටලු විසඳා අවසන් වන දිනයක් එළඹෙන්නේ නැත. ඒ එක් ගැටලුවක් විසඳන විට තවත් ගැටලුවක් මතුවන නිසාය. දැන් මේ අනුව සමාජයේ ඇති ගැටලුවලට විසඳුම් සෙවීම නිරර්ථක ක්‍රියාවක් වන්නේ යැයි එය අත්හැර දැමිය යුතු නැත.
මාක්ස් මෙලෙස පවසා ඇත්තේ, සමාජ සංවර්ධනයේ ස්වභාවයයි. තමන් ඉදිරිපිට නිර්මාණය වන ගැටලු සියල්ල විසඳා අවසන් වන දිනයක් ගැන සිතන්න. එදාට සිදුවන්නේ කුමක්ද? මිනිසාට කිරීමට කිසිවක් නැති හිස් තත්වයක් ඇති නොවේද? එදාට විද්‍යාවෙන් වැඩක් නොවනු ඇත. ඒ, ඉන් විසඳීමට ගැටලු නැති නිසාය. අධ්‍යාපනය අනවශ්‍ය වනු ඇත. ඒ දැනුම අවශ්‍ය නොවන නිසාය. මිනිසුන්ගේ අවශ්‍යතා ඉටුකරන සියලු ආයතන, පර්යේෂණ ආයතන වසා දැමීමට සිදුවනු ඇත. එහෙත් එවැන්නක් කිසිවිට සිදුවන්නේ නැත. මන්ද හැම විටකම මිනිසා ඉදිරිපිට විසඳිය යුතු නව ගැටලු මතුවන නිසාය. ඉතිහාසයට ගමන් කළ හැක්කේ එසේ පමණි. නැත්නම් ඉතිහාසය නතරවනු ඇත. ගෝලීයකරණයේ උච්ඡතම අවස්ථාවේදී ඉතිහාසය ඉන් එහාට නොයන බවත් ඉතිහාසය නතරවන බවත් පැවසුවේ එක්සත් ජනපදයේ ෆුකුයාමා ය. එහෙත් එය එසේ වූයේ නැත. එබැවින් පංති පිළිබඳ ප්‍රශ්නය පසෙක තැබුවද සමස්ත ඉතිහාසයේ ගමන්මඟ ගැටලුවලට විසඳුම් සෙවීමේ ගමන්මඟක් වේ. ඉතිහාසය ‘ඉදිරියට ගමන් කරන බව’ අප පවසන්නේ ඒ අනුවය. විද්‍යාව, උපකරණ, තාක්ෂණය, යන්ත්‍රසූත්‍ර, දර්ශනය යන මේ සියල්ල බිහිවුයේ ඉතිහාසය තුළ මිනිසුන් තමන් අභිමුව ඇති ගැටලු විසඳීමට ගත් උත්සාහය තුළය.

ඉතිහාසයේ රෝදය

ඉතිහාසය ආපසු ගමන් නොකරන බවත් ‘ඉතිහාසයේ රෝදය’ ආපසු කැරකැවිය නොහැකි බවත් මාක්ස්වාදීහු නිතර අවධාරණය කරති. එසේ කීමට හේතුවක්ද තිබේ. ධනවාදී චින්තනයට අනුව ඉතිහාසය යනු සිදුවීම්වල එකතුවක් සේම එකම දේ යළි යළි සිදුවන දෙයක් ලෙස සැලකේ. ඔවුනට ඇත්තේ ඉතිහාසය පිළිබඳ අවිද්‍යාත්මක මතයකි. එසේම පාරභෞතිකවාදී චින්තනයට අනුව ඉතිහාසයේ ගමන්මඟ චක්‍රීය එකකි. එය එකතැන කැරකැවේ. ඒ අනුවද ඉතිහාසයේ එකම දේ නැවත නැවත සිදුවේ. වරක් මෙවන් අදහසක් ජර්මානු දාර්ශනික හේගල්ද පවසා තිබුණි. ‘ලුවී බොනපාට් ගේ බ්‍රැමර් 18 දා’ නම් ලිපියේ මාක්ස් ඒ පිළිබඳව සඳහන් කර තිබුණේ මෙසේය. “ලෝක ඉතිහාසයේ ඉතා වැදගත් සිද්ධීන් හා පෞරුෂත්වයන් දෙවරක් ඇතිවන බව කිව හැකි යයි හෙගල් වරක් පැවසීය. එහෙත් ඔහුට මෙලෙස එකතුකිරීමට අමතක විය; ඒවා ඇතිවන්නේ ප්‍රථම වරට ඛේදජනකයක් ලෙසත් දෙවැනි වර හාස්‍යජනකයක් ලෙසිනි” ප්‍රංශයේ නැපෝලියන් පාලනයේ ස්වභාවයද සඳහන් කරමින් මාක්ස් හෙගල්ව තියුණු උපහාසයට ලක්කරන්නේ එසේය.
ඉතිහාසය තුළ එකම දේ එකම ලෙස යළි යළි සිදුවන්නේ නැත. ඒවා එලෙස පෙනුනද ඒවා සිදුවන්නේ නව තත්වයන් තුළ වෙනස්කම් සහිතවය. පොදුවේ ගත් කළ ඉතිහාසය ගමන් කරන්නේ ඉදිරියටය. එය සරල තත්වයේ සිට සංකීර්ණ තත්වයක් දක්වාද ම්ලේච්චත්වයේ සිට සභ්‍ය සමාජය දක්වාද නොදැනුමේ සිට දැනුම දක්වාද අවිද්‍යාවේ සිට විද්‍යාව දක්වාද වන ආකාරයෙන් ඉදිරියට ගමන් කරයි. ඉතිහාසයේ ගමන්මඟ ප්‍රගතිගාමීය. එය නතර කිරීමට හෝ ආපසු හැරවීමට කිසිවකුට නොහැක. ඉතිහාසයේ ගමන නැවැත්වීමට උත්සාහ කළ බොහෝ දෙනා සිටින්නේ ඉතිහාසයේ කසළ ගොඬේය. කෙතරම් වහලුන් මර්දනය කළද රෝමයේ පාලකයිනට වහල් ක්‍රමය සදාකාලිකව තබා ගැනීමට නොහැකි විය. එසේම ප්‍රංශයේ ලුවී රජුටවත්, රුසියාවේ සාර් නිකොලායිටවත් වැඩවසම් ක්‍රමය සදාකල් තබා ගැනීමට හැකි වූයේ නැත. සියලු බාධා මැද ඉතිහාසය ඉදිරියට වඩා යහපත් අනාගතයක් වෙත ගමන් කර ඇත. ගමන්කරමින් සිටී. සත්‍යය එයයි.

සර්පිලාකාර වර්ධනයක්

ඉතිහාසයේ ගමන්මඟ පිළිබඳ දාර්ශනික විග්‍රහයක් කළ මාක්ස් – එංගල් ඉතිහාසයේ ගමන්මගේ සංවර්ධනය සිදුවන්නේ සරල රේඛාවක ආකාරයෙන් නොවන බවත් එය සර්පිලාකාර වර්ධනයක් බවත් තහවුරු කළේය. මාක්ස්වාදයට අනුව දයලෙක්තික නියාමනයන්ට අනුව අන් සෑම දෙයක මෙන්ම ඉතිහාසයේ ගමන්මඟ හා එහි වර්ධනය සිදුවන්නේ සර්පිලාකාරවය. ඉතිහාසය එක් තැනකින් ආරම්භ වී සරල රේඛාවක් සේ ඉදිරියට යන්නේ නැත. එය ගමන් කරන්නේ සර්පිලයක ආකාරයෙනි. එහි වර්ධනයන් සේම පසුබෑම්ද තිබේ. ජයග්‍රහණ සේම පරාජයන්ද තිබේ. සර්පිලාකාර වර්ධනය මාක්ස්වාදයේ හඳුන්වන්නේ තමන් ආරම්භ කළ තැනට ආපසු පැමිණීමට මෙන් පෙනෙන එහෙත් කිසිදා ආපසු සිටි තැනටම නොපැමිණෙන වර්ධනයක් ලෙසටය. අපට ඉතිහාසයේ අඳුරු කාල පරිච්ඡේද හමුවන්නේ මේ නිසාය. ඉතිහාසය ආපසු ගමන්කරනු සේ පෙනෙන්නේ මේ නිසාය. එහෙත් ඉතිහාසය යළි හිටපු තැනට ආපසු ගමන් නොකරයි. එක් යුගයක්, එක් නිෂ්පාදන මාදිලියක් අභාවයට යවමින් නව මාදිලියකට, නව යුගයකට උපත දෙමින් හා පසුව ඒවාද අභාවයට යවා නවතම සමාජ රටාවකට උපත දෙමින් ඉතිහාසය අඛණ්ඩව ඉදිරියට ගමන් කරයි.

නිෂ්පාදන බලවේග හා සබඳතා

සමාජ සංවර්ධනයේදී පොදුවේ ‘සමාජය’ ගත් විට එහි වර්ධනය තීරණය කරන ප්‍රධාන සාධක නැතිනම් එහි ප්‍රධාන දයලෙක්තික සබඳතාවය වන්නේ මිනිස් සමාජය හා සොබාදහම අතර වන අනවරත අන්තර් සම්බන්ධය හා අන්තර් ක්‍රියාකාරිත්වය වේ. ඒ අනුව මිනිසා සොබාදහම තුළින් තම සමාජ පැවැත්මට අවශ්‍ය දේ සපයා ගන්නා අතර මිනිස් ක්‍රියාකාරකම් මගින් සොබාදහම වර්ධනය වේ. නැතිනම් එසේ විය යුතුවේ. එහෙත් සමාජය තුළ දේපළ මත පංති බිහිවු පසු සමාජ සංවර්ධනයේ එම දයලෙක්තික සම්බන්ධය යට ගොස් ඒ වෙනුවට පංති සටන මතුවිය. පංති සමාජය තුළද සමාජ සංවර්ධනයේ හෙවත් ඉතිහාසයේ ගමන්මඟේ දයලෙක්තික සබඳතාවය වන්නේ නිෂ්පාදන බලවේග හා නිෂ්පාදන සබඳතා අතර පවතින ගැටුමය.
සමාජය තුළ නිතරම නිශ්චිත නිෂ්පාදන මාදිලියක් පවතින අතර එම නිෂ්පාදන මාදිලිය තුළ ප්‍රධාන දයලෙක්තික සබඳතාවන් පවතී. ඒ නිෂ්පාදන බලවේග (ශ්‍රමය හා යන්ත්‍ර සූත්‍ර) හා නිෂ්පාදන සබඳතා (නිශ්චිත සමාජ ක්‍රමයක් තුළ නිපදවීම, බෙදාහැරීම හා පරිභෝජනය යන ක්‍රියාවලියේදි මිනිසුන් එකිනෙකා අතර ඇති ඇසට නොපෙනෙන සම්බන්ධතාවය) අතරය. එහිදී පවතින නිෂ්පාදන සබඳතා නිෂ්පාදන බලවේගයන්ට බාධාකාරී වනවිට බලවේග හා සබඳතා අතර ගැටුමක් හට ගනී. පන්ති සමාජයේදී ‘පංති සටන’ ලෙස අප දකින්නේ එයයි. එම ගැටුම අවසානයේ නිෂ්පාදන බලවේග විසින් කිසියම් අවස්ථාවක තමන්ගේ වර්ධනයට බාධාකරන, තමන්ට විලංගු බවට පත්ව ඇති නිෂ්පාදන සබඳතා පුපුරුවා හැර නව නිෂ්පාදන සබඳතාවන් ගොඩනගා ගනී. සමාජ විප්ලවයක් ලෙස අප සලකන්නේ එම අවස්ථාවය.
අපගේ මානව සමාජය ඉතිහාසය තුළ පෙරට යමින් තිබෙන්නේ එසේය. ඒ අනුව ආරම්භක මානව සමාජයේ සිට මෙම මූලික නියාමයන් ක්‍රියාත්මක වූ ආකාරයද සමග සමාජය යුගයෙන් යුගය විමසා බැලීම කළ යුතුව තිබේ.

ප්‍රාථමික සමාජය ඇරඹෙයි…!

ඉතිහාසයේ ගමන් මග විවිධ අය විසින් විවිධ ඉගැන්වීම් ගුරුකුල විසින් විවිධ නම්වලින් බෙදා තිබූ බව අප මීට පෙරද සඳහන් කර ඇත. සමහරු ඉතිහාසයේ යුග බෙදීමේදී මිනිසාගේ නිෂ්පාදන ක්‍රමය (දඩයම්, එf`ඞ්ර, ගොවි ආදී ලෙස) පදනම් කරගත් අතර සමහරු නිෂ්පාදන උපකරණවලට යොදාගත් අමු ද්‍රව්‍ය (ගල්, ලෝකඩ, යකඩ ආදී ලෙස) පදනම්කර ගෙන යුග බෙදූහ. එහෙත් සමාජ ක්‍රම එකක් තවෙකක් වෙන්කර හඳුනා ගැනීමේ නිවැරදිම ක්‍රමය වන්නේ නිෂ්පාදන මාදිලීන්ට (පදාැ දf චරදාමජඑසදබ) අනුව සමාජක්‍රම වෙන්කර ගැනීමය. ඒ අනුව ඉතිහාසයේ අපට හමුවන පළමුවන සමාජ ක්‍රමය හෙවත් නිෂ්පාදන මාදිලිය වන්නේ ප්‍රාථමික සාමූහික සමාජය ය.

ප්‍රාථමික සමාජය යනු කුමක්ද?

මෙය දර්ශනයේ ශබ්ද කෝෂයේ හඳුන්වා ඇත්තේ ප්‍රාථමික සාමූහික ක්‍රමය (චරසපසඑසඩැ – ජදපපමබ්ක ිහිඑැප) ලෙසය. සැබැවින්ම සමාජයේ මෙම පැරණි අවධිය පිළිබඳව 1860 දශකය වනතෙක් නිරවුල් අධ්‍යයනයක් හෝ හඳුනාගැනීමක් කර තිබුණේ නැත. ඒතාක් පැරණි පවුල් ආකෘති පිළිබඳව හා පවුලේ ඉතිහාසය පිළිබඳ පර්යේෂණ කළ අමෙරිකානු ජාතික මානව විද්‍යාඥයෙක් වූ ලෙවිස් මෝර්ගන් විසින් 1877 දී පළ කරන ලද ‘පැරණි සමාජය’ නම් කෘතියත් සමග මානව සමාජයේ ප්‍රාග් ඉතිහාසයේ බොහෝ තොරතුරු හෙළිකරනු ලැබිණි. ඉන්පසු මේ පිළිබඳ සිය භෞතිකවාදි දැක්මේ සිට මාක්ස් හා එංගල්ස් විසින් 1884 දී ‘පවුල පෞද්ගලික දේපළ හා රජය ඇතිවු සැටි’ නම් කෘතිය සම්පදානය කරන ලදී. එම කෘතිය සඳහා එංගල්ස් බොහෝ විට පදනම් කර ගත්තේ මෝර්ගන්ගේ උගැන්වීම්ය. මෙම ප්‍රාථමික සමාජය එංගල්ස් හැඳින්වූයේද මිනිසාගේ බිළිඳු අවදිය හෙවත් ප්‍රාග් ඉතිහාසය ලෙසය.
මිනිසා මෙවැනි ප්‍රාථමික සමාජයක් හරහා ඉතිහාසය තුළ ගමන් කළේය යන්න පිළිගැනීමට මුලදී බොහෝ දෙනා මැළිවිය. විශේෂයෙන් යුරෝපය ආගමික සංස්ථාව ඊට තදබල ලෙස විරෝධය පළ කළහ. ඒ, ඒ මගින් මැවුම්වාදය බිඳ වැටෙන නිසාය. කෙසේ වෙතත් සත්‍යය යටපත් කළ නොහැකි වූ අතර පසු කළෙක විවිධ පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින්ද මෙවැනි සමාජයක් තිබූ බව තහවුරු විය. අනෙක් අතට මානව වර්ගයාගේ උපත මැවීමක් නොව පරිණාමයක් ලෙස පිළිගන්නේ නම්, මානවයා වානර ප්‍රභේදයකින් පරිණාමය වූ බව පිළිගන්නේ නම්, එම මානවයා මෙම සමාජ ක්‍රමය (එක් එක් රටවල විවිධ වෙනස්කම් සහිතව වුවත්) පසුකර ගිය බව පිළිගැනීමට සිදුවේ.

මෙය සාමූහික සමාජයක් වූ හැටි

මිනිසාගේ ප්‍රාථමික සමාජය සාමූහික සමාජයක් විය. ඒ ආරක්ෂාව සඳහා එක්ව සිටීමට බලකිරීමත්, යැපීම සඳහා (නිෂ්පාදනයේදී) සියලු දෙනා එක්ව කටයුතු කිරීමට සොබාදහම විසින් බලකර තිබීමත් නිසාය. අපගේ පෘතුවියේ වෙසෙන සියලු සතුන් අතරින් තමන්ගේ යැපීමේ මාධ්‍යයන් ‘නිපදවා ගත්තේ’ මිනිසාය. ඒ සඳහා ඔහු ආරම්භයේදීම ඉතාම නොදියුණු නිෂ්පාදන උපකරණ වූ පොල්ල, හෙල්ල, ගල් පතුරු ආදිය යොදා ගත්හ. නිෂ්පාදනය වූයේ සතෙකු මරා ගැනීම, අලයක් හාරා ගැනීම, ගෙඩි කඩා ගැනීම, මසුන් අල්ලා ගැනීම වැනි දේය. මෙම කටයුතු කිරීමේදී නිෂ්පාදන උපකරණයන් ඉතාම නොදියුණු හා ප්‍රාථමික වූ නිසා සාමූහික ප්‍රයත්නයක් දැරීමට සිදුවිය. මෙම සමාජය සාමූහික සමාජයක් වූයේ ඒ නිසාය. එබැවින් සමහරු මෙම සමාජය ‘ප්‍රාග් කොමියුනිස්ට් අවදිය’ ලෙසද හඳුන්වයි.
අනෙක් අතට මෙම මුල් සමාජයේ ජනගහනය ඉතාම අල්ප වූ අතර, ඔවුන් ජීවත් වූයේ ගණ හා ගෝත්‍ර ලෙසය. ගණය යනු වැඩි ඒකයක් වූ අතර, ගණ කීපයක් එක්ව ගෝත්‍රය සෑදිණි. මෙහි විශේෂය නම්, ‘පවුල’ නමැති රූපිකය මෙහිදී නොපැවතීමය. මෙම සමාජය සාමූහික නිසා නිෂ්පාදනය සාමූහික වූ අතර, බෙදා ගැනීමද සාමූහික විය. එබැවින් පෞද්ගලික දේපළ මෙහි තිබුණේ නැත. ඒ නිසාම දේපළ මත බෙදුන පංති වෙනස්කම් මෙහි තිබුනේ ද නැත. ඒනිසාම පංති ප්‍රතිවිරෝධයන් නිසා පසු කලෙක බිහිවූ ‘රජය’ නම් ආයතනය මෙහි තිබුනේ ද නැත. ඒ නිසාම නීතිද නොවීය.

සම්ප්‍රදායන්ගේ පාලනයක්

මෙම ප්‍රාථමික සමාජයේ මිනිසුන් පාලනය වූයේ කෙසේද? මෙය වර්තමානයේ රජයක් තුළ ආණ්ඩු යටතේ නීතිවලින් බැඳී ජීවත්වන අයට හිතා ගැනීම පවා අපහසුය. එහෙත් සත්‍යය නම් මුල්ම සමාජය ‘පාලනය’ වූයේ නීතියෙන් නොව රීතීන්ගෙන් හා සම්ප්‍රදායන්ගෙන් බවය. ගෝත්‍රය තුළ සමහර විට ගෝත්‍ර නායකයෙක් සිට ඇති නමුත් ඔහු කාගේත් ගෞරවයට ලක්වූ වැඩිමහල්, අත්දැකීම් බහුල පුද්ගලයා වූවා මිස පාලකයෙක් වූයේ නැත. එබැවින් ඔහුට ‘බලයක්’ නොවීය. එහෙත් ගෞරවය තිබිණි. ඔහු ගෝත්‍රයේ කාගේත් පිළිගැනීම විය. එබැවින් ප්‍රාථමික සමාජය යනු පෞද්ගලික දේපළ නැති, පංති නැති සූරාකෑම නැති, රජයක් හා නීති නැති සාමූහික සමාජයක් විය. එහි පෞද්ගලික දේපළ හා සූරාකෑම නොවීමට හේතු වූ ප්‍රධාන සාධකය වූයේ නිෂ්පාදනය ඉතාම දුර්වල වීමය.
ශ්‍රමය සූරාකෑමේදී හා දේපළ ගොඩගසා ගැනීමේදී අන් අයගේ ශ්‍රමයේ අතිරික්තය සූරා කෑමට නම්, මිනිසෙක් ඔහුට ජීවිතය ගොනයාමට, අත්‍යවශ්‍ය යැපීම්වලට වඩා වැඩියෙන් නිපදවිය යුතුය. මෙය ආර්ථික විද්‍යාවේ හඳුන්වන්නේ අතිරික්ත ශ්‍රමය නමිනි. එහෙත් ප්‍රාථමික ක්‍රමය තුළ පුද්ගලයෙක් කරන නිෂ්පාදනය ඔහුගේ දිවි පැවැත්මට පවා ප්‍රමාණවත් නොවන තත්ත්වයක් තුළ ඉන් කොටසක් උදුරා ගැනීමට වෙන කෙනෙකුට හැකියාව තිබුණේ නැත. ඒ නිසාම සූරාකෑම නොවීය. ඒ අනුව මෙම සමාජයේ ස්වරූපය තීරණය කර තිබෙන්නේ නිෂ්පාදන උපකරණවල නොදියුණු මට්ටම විසින් බව අපට පෙනේ. මෙය වැදගත් වන්නේ මානව සමාජයේ වර්ධනයේදී, එහි ගමන් මගේදී විවිධ සමාජ ක්‍රමයන් බිහිවීමේදී එහි පදනමේ පැවතියේ නිෂ්පාදන උපකරණවල මට්ටම හා නිෂ්පාදන රටාව බව තහවුරු වන නිසාය. සමාජයක් හැඩගැසීමේදී එහි සිරිත් විරිත් සම්ප්‍රදායන්, අදහස්, මතවාද, ආදිය නිර්මාණය වන්නේ නිෂ්පාදන ක්‍රමය පදනම්කර ගෙන බැව් පැහැදිලිවේ. එසේ නැතිව මතවාද, සිරිත් විරිත් ආදිය මූලික කරගනිමින් නිෂ්පාදන ක්‍රමය හැදෙනවා නොවේ. තනි වචනයෙන් කිවහොත් සමාජයක සමාජ විඥාණය තීරණය කරනු ලබන්නේ එම සමාජයේ සමාජ සත්තාව හෙවත් ද්‍රව්‍යමය ජීවිතය විසිනි. නොඑසේව සමාජ විඥාණය විසින් සමාජ සත්ථාව තීරණය කරන්නේ නැත.

මාතෘ මූලික සමාජයක්.. !

මෙම ප්‍රාථමික සමාජයේ පැවති තවත් එක් විශේෂයක් වූයේ මේ සමාජය මාතෘ මූලික සමාජයක් වීමය. එයද මෙම නිෂ්පාදන විධිය හා බැඳී තිබිණි. මෙම මුල් සමාජය මව මූලිකර කරගත් සමාජයක් වීමට බලපෑ සාධක කීපයක් තිබිණි. මෙම මුල් අවධියේ සමාජය තුළ වර්තමානයේ අප දකින පවුල වර්ගයේ පවුලක් නොවීය. මිනිසුන් හා ගැහැනුන් පොදුවේ වාසය කළ අතර, පොදු ලිංගික සබඳතාවක්ද පැවැත්විය. ආරම්භයේදීම සියලුම පිරිමින් සියලුම ස්ත්‍රීන් සමග (සත්ව ලෝකයේ පවතින්නේ) ලිංගික සබඳතා පවත්වා ඇති අතර, පසුව වරින්වර සමාජමය හා ජීව විද්‍යාත්මක හේතු මත දෙමාපියන් හා දරුවන් අතර ලිංගික සබඳතා ද පසුව සහෝදර සහෝදරියන් අතර ලිංගික සබඳතා ද නතර වී ඇත. කෙසේ වෙතත් සමාන වයස්වල කාන්තාවන් හා පිරිමින් පොදුවේ එකට ජීවත්ව තිබේ.
එහි ප්‍රතිඵලය වන්නේ දරුවන්ගේ පියා කව්දැයි තීරණය කිරීමට නොහැකි වීමය. පොදු ලිංගික සබඳතාවකදී දරුවන්ගේ අයිතිය තීරණය කිරීමට හැකි වූයේ මවගේ පැත්තෙනි. දරුවාගේ පියා නිශ්චිත නොවන අතර, මව නිශ්චිත විය. ඒ අනුව එදා සමාජයේ ප්‍රධානතම සම්පත වූ දරුවන්ගේ අයිතිය මවට හිමිවීම මෙම සමාජය මාතෘ මූලික වීමට බලපෑ එක් සාධකයක් විය.
අනෙක් අතට මේ සමාජයේ නිෂ්පාදනය ඉතා සීමිත විය. සතෙකු මරා ගැනීම ඉතාම දුෂ්කර විය. එබැවින් ගෝත්‍රයට කෑම සැපයීමේ ප්‍රධාන වගකීම කාන්තාවන් මත පැටවිණි. අල හෑරීම, මසුන් ඇල්ලීම හා උයා-පිහා ගැනීම ඔවුන්ට අයත් විය. දරුවන් බලා ගැනීමද ඔවුන්ට අයත් විය. එහෙත් දරුවන් බලා ගැනීම් හා උයා-පිහා ගැනීම අද මෙන් පවුලේ පෞද්ගලික කාර්යයක් නොවීය. එය ගෝත්‍රයේ පොදු සමාජ කාර්යයක් විය. එය ඒ මොහොතේ පිරිමින් කළ කාර්යයට වඩා වටිනාකමෙන් වැඩි විය. ඒ නිසාම ගෝත්‍රය තුළ මව (කාන්තාව) මූලික විය. එබැවින් මෙම ප්‍රාථමික සමාජය මාතෘ මූලික සමාජයක් වූයේද කිසිවෙකුගේ කැමැත්ත හෝ අකමැත්ත මත නොව නිෂ්පාදන සාධක මත බව පැහැදිලිය.
මෙම සමාජයේ ස්වභාවය ගැන එංගල්ස් සිය ‘පවුල, පෞද්ගලික දේපළ හා රජය ඇතිවූ සැටි’ නම් කෘතියේ මෙසේ විස්තර කරයි. (159-160 පිටු)

“ජනගහනය ඉතාම අඩු විය. ජන ගණත්වය වැඩිවූයේ විශාල දඩයම් පෙදෙස්වලින් වටවූ ගෝත්‍රික වාස භූමි තුළය. එම සීමාවලින් පිටත තවත් ගෝත්‍රයකින් වෙන්කරන ස්වභාවික මධ්‍යස්ථාන ආරක්ෂක කැලෑවලින් යුක්ත විය. ශ්‍රම විභජනය පිරිසිදු චාම් ස්වභාවික දෙයක් විය. එය ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂය අතර විය. පුරුෂයෝ යුද්ධයට ගියහ. දඩයම් කළහ. ස්ත්‍රීහු ගෙදර දොර බලා ගත්හ. ආහාර හා ඇඳුම් පිළියෙල කලහ. ආහාර පිසීම, රෙදි විවීම හා මැසීමද කළහ. හැම කෙනෙක්ම තම තමන්ගේ අංශවල දක්ෂයෝ වූහ. පුරුෂයෝ කැලෑවලද, ස්ත්‍රීහු ගෙවල්වලද ස්වාමිවරු වූහ.”

කාන්තාවන් නිවසේ ප්‍රධානියා වූයේ ඇයිද යන්නත් සමාජය මාතෘ මූලික වූයේ ඇයිද යන්නත් ඉන් වටහා ගත හැක. කානාත්වන් සමාජීය කටයුතු වලින් ඉවත්කර පවුලේ පෞද්ගලික වැඩවලට සීමාකර තිබෙන තාක් කාන්තාවගේ විමුක්තිය නොලැබෙන බව ලෙනින් කීවේ මේ අනුවය. එහෙත් ප්‍රාථමික සමාජයේදී කාන්තාවන් කළ කටයුතු පුරුෂයන්ට සාපේක්ෂව ගෝත්‍රයේ පැවැත්ම ……මැද තිබුණු අතර එය සමාජමය කාර්යයක් විය. ඒ නිසාම සමාජය මානව මූලික විය.
මෙම සමාජය වෙනස්වී නව සමාජයක් බිහිවූයේ කෙසේද? එය මීළඟට විමසා බලමු.

ඉතිහාසයේ පළමු සමාජ පරිවර්තනය

මානව වර්ගයාගේ ඓතිහාසික ගමන්මගේ ප්‍රථම සමාජ සංවිධානය වූ ප්‍රාථමික සාමූහික සමාජය බිඳ දමමන් ඊළඟට පැන නගින සමාජ ක්‍රමය පෞද්ගලික දේපළ මත පදනම් වූ පංති සහිත සමාජ ක්‍රමයක් විය. යුරෝපයේ හා සමහර ආසියාතික රටවල මෙය වහල් හිමි සමාජය ලෙස මතු වූ අතර ආසියාවේ (ලංකාව ඇතුළු) සමහර රටවලදී එය ආසියාතික නිෂ්පාදන රටාව ලෙස හඳුනා ගන්නා ලදී.
මානව සමාජයේ ගමන්මඟේ සිදුවු බරපතළම හා තීරණාත්මක ප්‍රථම පරිවර්තනය වූයේ මෙයය. මේ සමග එතෙක් පැවති සරල සාමූහික සමාජය වෙනුවට විවිධ ප්‍රතිවිරෝධතා ඇති සංකීර්ණ සමාජයක් නිර්මාණය විය. එම පරිවර්තනයත් සමග සමාජය තුළ සිදු වූ වෙනස්කම් අතර ප්‍රධාන වෙනස්කම් වූයේ පෞද්ගලික දේපළ බිහිවීම, ඒ මත පදනම්ව පංති බිහිවීම (ප්‍රථම ප්‍රධාන පංති දෙක වූයේ වහල් හිමියා හා වහලාය) පංති අතර ප්‍රතිවිරෝධය හා ඒ අනුව රජය නම් බලහත්කාරී ආයතනය බිහිවීම, දේශපාලනය නීතිය වැනි සංකල්ප ඇතිවීම, පවුල නම් ඒකකය බිහිවීම ආදිය වේ. පොදුවේ ගත් කල පොහොසතුන් හා දුප්පතුන් ලෙසද පීඩකයන් හා පීඩිතයන් ලෙසද බලය හොබවන්නන් හා ඊට යටත්වන්නන් ලෙසද සමාජය ප්‍රතිවිරෝධී ප්‍රධාන කණ්ඩායම් දෙකකට බෙදනු ලැබුවේත්, සුරාකෑම – ලාභ ලැබීම, යන සංකල්ප උපත ලැබුවේත් යුද ගැටුම්, කෝලාහල හා ලෝක යුද්ධ සඳහා මඟ සකස්කරනු ලැබුවේත් මෙම සමාජ පරිවර්තනය තුළ සිදුවූ වෙනස්කම් නිසාය.

පංති බිහිවූ හැටි

පැවති සරල සාමූහික සමාජය බිඳවැටී පංති සමාජයේ පැන නැගීම පුද්ගල කැමැත්තක ප්‍රතිඵලයක් නොවේ. එය කිසිවකුගේ ද්‍රෝහීකමක හෝ හිතුවක්කාරකමක ප්‍රතිඵලයක්ද නොවේ. නරක මිනිසුන්ගේ නරක සිතුවිලි නිසා ඇතිවූවක්ද නොවේ. මෙය ඉතා පැහැදිලිවම නිෂ්පාදන උපකරණයන්ගේ සංවර්ධනය විසින් නිෂ්පාදනයේ සිදුකරනු ලැබූ වෙනස්කම් මගින් නිර්මාණය වූවකි. අප මෙය නිතර අවධාරණය කරන්නේ, ඉතිහාසයේ ගමන්මඟ තුළ නිෂ්පාදන උපකරණ හා නිෂ්පාදන ක්‍රම විසින් කරනු ලබන බලපෑම විශාල බවත් මිනිසාගේ හා සමාජයේ හැසිරීම් පවා ඒ මගින් තීරණය කරනු ලබන බවත් වටහාගත යුතු නිසාය.
ප්‍රාථමික සමාජයේ සූරාකෑම නොවූයෙත් පංති නොපැවතුණේත් මිනිසුන් සවිඥානිකව එවැන්නක් ප්‍රතික්ෂේප කළ නිසා නොව එකී සමාජයේ පැවති නිෂ්පාදන තත්වය එවැන්නකට ඉඩ සලසා නොතිබූ නිසාය. ප්‍රාථමික මානව සමාජය සූරාකෑම, පංති, රජය වැනි සංකල්ප දැන තිබුණේද නැත. ඒ එවැනි දේ දැන ගැනීමේ මඟක් හෝ අත්දැකීමක් ඉන් පෙර නොවූ නිසාය. ප්‍රාථමික සමාජයේ බිඳවැටීම සනිටුහන් කළ ප්‍රධාන සාධකය වූයේ නිෂ්පාදනයේ සිදුවූ වෙනස්කම්ය. නිෂ්පාදන උපකරණවල සිදුවූ වර්ධනයන්ය.

පෞද්ගලික දේපළ ඇතිවීම

මානව සමාජයේ පංති බිහිවීමේදී එකී පංති බිහිවීමේ පදනම වූයේ පෞද්ගලික දේපළය. අද මෙන්ම එදාත් පංති අතර වෙනස්කම් තීරණය වූයේ දේපළ ඇති හා දේපළ නැති යන අර්ථයෙනි. අපගේ අවධානය මෙහිදී යොමුකළ යුත්තේ දේපළ පොදුවේ පාවිච්චි කළ සමාජයක් තුළින් පෞද්ගලික දේපළ සහිත සමාජයක් මතුවූයේ කෙසේද යන්න පිළිබඳවය.
ප්‍රාථමික සාමූහික ක්‍රමය තුළ තිබූ විශේෂය වූයේ (එය මිනිසාගේ පළමු සමාජය නිසා) නිෂ්පාදන උපකරණ ඉතාම නොදියුණු වීමය. ආරම්භයේදී එය මුගුරක් හෝ සත්ව ඇට කටුවක් විය. එවිට නිෂ්පාදිතයද ඉතාම කුඩාය. එය ජීවත්වීමට තරම්වත් ප්‍රමාණවත් නොවේ. පසුව මෙය හෙල්ල හා පොල්ල දක්වා වර්ධනය වුවද නිෂ්පාදිතයේ විශාල වෙනසක් වූයේ නැත. මේ නිසාම නිෂ්පාදනය, එනම් සතෙකු මරා ගැනීම, මසුන් අල්ලා ගැනීම, අලයක් හාරා ගැනීම තනිව කළ නොහැකි විය. ඊට සාමූහික මැදිහත්වීමක් අවශ්‍ය විය. ඒ නිසාම ගෝත්‍රයේ හා ගණයේ සියලු දෙනාගේ පැවැත්ම සියලු දෙනාට අවශ්‍ය විය. හැම දෙනාම ජීවත්විය යුතු නිසා උපයාගත් නිෂ්පාදනය සියලු දෙනා සාමූහිකව පරිහරණය කළෝය. ‘කෙනෙකුගේ ශ්‍රමයේ ඵලය කොල්ලකෑමට’ තවෙකෙකු හට නොහැකි විය. ඒ, මුල් කාලීන නිෂ්පාදනය තුළ ‘අතිරික්තයක්’ නොවූ නිසාය. එබැවින් ප්‍රාථමික සමාජය සූරාකෑමෙන් තොර වූයේ අන් අයගේ ශ්‍රමයේ ඵලයේ සූරාකෑමට තරම් යමක් ශ්‍රමය විසින් නිෂ්පාදනය නොකළ නිසාය. නිෂ්පාදන උපකරණ ඉතාම නොදියුණු වූ නිසාය.
එහෙත් වසර දස දහස් ගණනක් ගතවෙද්දී මේ තත්වයන් ක්‍රමානුකූලව වෙනස් විය. නිෂ්පාදන උපකරණ දියුණු වන්නට විය. ඒ සමග නිෂ්පාදිතයන්ද වැඩි විය. මෙහිදී එංගල්ස් විසින් මෙම ප්‍රාථමික සමාජය ම්ලේච්ඡත්වය හා අශිෂ්ටත්වය ලෙස යුග දෙකකට බෙදනු ලබන අතර ඒ ඒ අවධියද පහළ, මැද, ඉහළ ලෙස උප අවධීන්ට බෙදා විස්තර කරයි. එහිදී එම අවධි බෙදීම සඳහා ඔවුන් පදනම ලෙස යොදා ගත්තේ නිෂ්පාදන ක්‍රමවල ඇතිවූ වර්ධනයයි.

දුන්න හා ඊතලය

ප්‍රාථමික සමාජයේ එක්තරා අවධියකදී මිනිසා විසින් දුන්න හා ඊය නිපදවා ගන්නා ලදී. මෙය වසර දහස් ගණනක අත්දැකීම් අනුව නිර්මාණය කරගත් සංකීර්ණ අවියක් විය. මේ සමග සතුන් මරා ගැනීම තරමක් පහසු වූ අතර එමගින් නිෂ්පාදනය ඉහළ ගියේය. ඒ අතර සතුන් දඩයම් කරමින් තැනින් තැනට යමින් සංචාරක ජීවිතයක් ගත කළ මිනිසුන් එක් තැනක ස්ථිර පදිංචිකරුවන්ගේ තත්වයට පත්විය. ඒ සතුන් ඇතිකිරීම ආරම්භ කිරීමත් සමගය. සතුන් ඇතිකිරීම හා සත්ව පාලනය නිසා ගෝත්‍රයේ නිෂ්පාදිතයන්ගේ ප්‍රමාණය ඉහළ ගියේය. සත්ව පාලනය ආරම්භ කළ මිනිසා ඒ සමගම ධාන්‍ය වගාවද ආරම්භ කර තිබේ. එංගල්ස් පවසන පරිදි එකල මිනිසා මුලින්ම ධාන්‍ය වගාකර ඇත්තේ සතුන්ට ආහාර පිණිසය. පසුව එය මිනිසාගේද ආහාර බවට පත්විය. මේ කාලයේ ලෝකඩ සොයා ගැනීමත් සමග ලෝකඩ පොරව, නගුල ආදියද බිහිවිය. ඒ අනුව ප්‍රාථමික සමාජයේ අවසාන කාලය වනවිට නිෂ්පාදන උපකරණ සංවර්ධනය වීමත් (දුන්න හා ඊය, පොරව, නගුල) නිෂ්පාදනය ඉහළ යාමක් සිදුවිය. එහි ප්‍රතිඵලය වූයේ ගෝත්‍රයක් සතුව සත්ව රංචුවක් හා ගොවිපළක් නිර්මාණය වීමය. එහි මස්, ලොම්, හම්, කිරි ආදියද ධාන්‍ය, එළවළු, පලතුරු ආදියද විය. මේ සමග මිනිසාගේ ශ්‍රමයට ඔහුගේ යැපීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා නිපදවීමේ හැකියාව ඇතිවිය. එය ඇතිවූයේ නිෂ්පාදන උපකරණවල දියුණුව නිසාය. එවිට මිනිසාගේ ජීවත්වීමට අත්‍යාවශ්‍ය ප්‍රමාණයට වඩා ඔහුගේ ශ්‍රමය විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රමාණය හෙවත් අතිරික්ත නිෂ්පාදනය සමාජය තුළ බිහිවිය. මෙම අතිරික්තයන් පාවිච්චි කරමින් වැඩ නොකර සිටීමේ ඉඩක් මේ අනුව තවත් පිරිසකට ඇතිවිය. ප්‍රාථමික සමාජය තුළ තිබූ පොදු දේපළ පෞද්ගලික දේපළ බවට පත්වූයේ මේ සමගය. සූරාකෑමට හැකි තරම් නිපදවීමට ප්‍රමාණවත් දියුණුවක් නිෂ්පාදන උපකරණවල ඇතිවූ විට එම තත්වය තුළ සූරාකෑම ආරම්භ විය.

ගෘහමය වහල්භාවයේ සිට

ප්‍රාථමික සමාජයේ අවසාන කාලයේ දේපළ වර්ධනය වීමත් සූරාකෑමට හැකියාව ඇතිවීමත් සමග එම ගෝත්‍රික සමාජයේ (මේ වන විට ඒ තුළ වංශ නම් ව්‍යුහයක් නිර්මාණය වී තිබිණි) වංශ තුළ සිටි ප්‍රධානීන් විසින් වංශයේ දේපළ තමන්ගේ පෞද්ගලික දේපළ බවට පත්කර ගෙන වංශයේම සමහර අය වහලුන් බවට පත්කර ගනු ලැබ තිබිණි. ගෘහමය වහල් ක්‍රමය ලෙස මෙය හඳුන්වන අතර වහල් හිමි ක්‍රමය බිහිවූයේ ප්‍රථමයෙන් ගෘහමය වහලුන් මගින් බව පෙනේ. පසුව වහලුන් ලෙස මිනිසුන් අල්ලා ගැනීම සඳහා වෙනත් ගෝත්‍ර ආක්‍රමණය කරන ලද අතර ඒ සඳහා ගෝත්‍ර යටත් කර ගැනීමේ සටන් හා යුද්ධද නිර්මාණය විය.
අවසානයේ වහල් හිමි සමාජය හා වහල්හිමි රජය බිහිවිය. එහිදී මිනිසා ඒ සඳහා පොළඹවනු ලැබුවේ නිෂ්පාදනයේ ඇතිවූ වර්ධනය බව පැහැදිලිය. ප්‍රාථමික සමාජයේ අග භාගයේදී ඒ තුළ බිහිවූ දේපළ හා අතිරික්ත ධනය පාලනය කර ගැනීමට තරම් එකී සමාජයේ ගෝත්‍රික හා වංශමය සංවිධානය සවිමත් හෝ දියුණුවී තිබුණේ නැත. ඒ අනුව වංශ සංවිධානය බිඳවැටී වහල් හිමි සමාජයට පදනම වැටුණි. ඒ සමග පෞද්ගලික දේපළ මත පංති බෙදීමද, පංති අතර ගැටුම්වලදී දේපළ අහිමි පංතිය පාගාගෙන පාලනය කිරීම සඳහා දේපළ හිමි පංතියෙ උපකරණය ලෙස රජයද ඇතිවුණි. ඒ සමගම දේපළ මතම පදනම්ව පවුල නැමති ඒකකයද නිර්මාණය වුණි. මෙම සමාජ පරිවර්තනය සිදුවූයේ එසේය.

පංති සමාජය පැනනැගුන හැටි

මානව සමාජයේ මුල්ම සමාජ ක්‍රමය හෙවත් නිෂ්පාදන මාදිලිය වූ ප්‍රාථමික සාමූහික ක්‍රමය බිඳ වැටෙමින් බිහිවූ නව සමාජ ක්‍රමය පංති සහිත සමාජ ක්‍රමයක් විය. සමාජය තුළ ‘පංති’ බිහිවූයේත්, ඒ මත පංති සමාජය බිහිවූයේත් දේපළවල අයිතිය මත පදනම් වෙමිනි. එබැවින් මෙය අහම්බයක් හෝ අදෘශ්‍යමාන බලවේගයක නිමැවුමක් නොව නිෂ්පාදන බලවේගවල සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස සමාජය තුළ නිෂ්පාදනය වර්ධනය වී දේපළ ඇතිවීමේ ප්‍රතිඵලයක් ලෙස බිහිවූවකි.
වහලුන් හිමි සමාජයක්
පංති සමාජය බිහිවීමෙන් පසු එය විවිධ නිෂ්පාදන මාදිලි හරහා ගමන් කළද එහි ආරම්භයේ සිට තිබෙන ප්‍රධාන ලක්ෂණය නම් දේපළ ඇති හා දේපළ නැති ලෙස සමාජමය පංති දෙකක් තිබීමය. පංති සමාජය තුළ ප්‍රධාන පංති දෙකක් හැමවිටම සිටී. ඉන් එක් පංතියක් දේපළ හිමි පංතිය හෙවත් නිවැරදිවම පවසනවානම් නිෂ්පාදන මාර්ග හිමි පංතිය වේ. අනෙක් පංතිය දේපළ එනම් නිෂ්පාදන මාර්ග අහිමි පංතිය වේ. මෙහි විශේෂය වන්නේ, නිෂ්පාදන මාර්ග හිමිකරගත් සුළුතර පිරිස යටතේ නිෂ්පාදන මාර්ග අහිමිවූවන්ට ජීවත්වීම සඳහා ‘වැඩ’ කිරීමට සිදුවීමය. නිෂ්පාදන මාර්ග හිමි නැති ඒ නිසාම ‘දේපොළ’ නැති පංතියේ මිනිසුන් නිෂ්පාදනය කරන විට එහි ඵලය ලබා ගැනීමට නිෂ්පාදන මාර්ග හිමි අය සමත්විය. ශ්‍රමය සූරාකෑම නම් ඉතාමත් අසාධාරණ සිදුවීම අපට මුණ ගැසෙන්නේ මෙහි දීය.
මානව සමාජය දේපළ මත පංතිවලට බෙදී පංති සමාජයක් බවට පත්වෙද්දී එහි පළමු රූපකය හෙවත් මාදිලිය වූයේ වහල් හිමි නිෂ්පාදන මාදිලියයි. වහල් හිමි සමාජය එහි සියලු අංග සමග හොඳින්ම ක්‍රියාකාරී වූයේත් පැහැදිලිව දැකිය හැකි වූයේත් යුරෝපයේය. නිෂ්පාදන මාර්ගවල දියුණුව වේගයෙන් ඇති වූයේ යුරෝපාකරයේ වීම ඊට ප්‍රධාන හේතුවක් විය. එහිදී ලොව සුප්‍රසිද්ධ වහල් හිමි රාජ්‍යය බවට රෝමය පත් විය. මීට පෙර ග්‍රීසියද වහල් හිමි රාජ්‍යයක් විය. එහෙත් මේ කාලයේ ලෝක ගෝලයේ අනෙක් ප්‍රදේශවලද විවිධ වෙනස්කම් සහිතව වහල් ක්‍රමය මතුවිය. පුරාණ චීනයේ වහල් ක්‍රමය තිබූ අතර එය යුරෝපා වහල් ක්‍රමයට සර්ව සම නොවීය. රුසියාවේද වහල් ක්‍රමය ඇති විය. සමහර භූ කලාපවල සමාජ සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස වහල් ක්‍රමය නිර්මාණය වන අතර සමහර භූ කලාපවලට වහල් රාජ්‍ය පැමිණියේ ආක්‍රමණ හා යටත්කර ගැනීම් මගිනි. ඒ අතර ලොව සමහර රටවල් ගෝත්‍රික සමාජය තුළම තව කලක් පැවැතිණි. එසේම ලංකාව ඇතුළු ආසියාවේ සමහර රටවල වූ පංති සමාජය වහල් හිමි සමාජය නොවීය. එය වැඩවසම් ක්‍රමයක්ද නොවන ආසියාතික ක්‍රමය ලෙස හඳුන්වන පංති සමාජයක් ලෙස පැවැතිණි. ඉන් පැහැදිලි වන්නේ සමාජ සංවර්ධනය හා ඉතිහාසයේ ගමන ලොව පුරා සිදුවූයේ සමාන ලෙස නොව අසමාන ලෙස බවය. ඊට බලපෑ ප්‍රධාන විෂයමූල සාධක දෙකක් විය. එනම් නිෂ්පාදන උපකරණයන්ගේ දියුණුවේ මට්ටම හා පරිසර සාධකයන්ය.

රාජ්‍යයේ පැන නැගීම

ප්‍රථම පංති සමාජය ලෙස වහල් හිමි රාජ්‍ය පැන නගින විටම ඒ සමග තවත් සාධක ගණනාවක් ඇති විය. ඉන් ප්‍රධාන එකක් වූයේ ‘රාජ්‍යය’ නම් බලහත්කාරී ආයතනයේ බිහිවීමය. අප කලින්ද සඳහන් කර ඇති පරිදි ප්‍රාථමික සාමූහික සමාජය තුළ ‘රාජ්‍යය’ නැමති බලහත්කාරී ආයතනය නොවීය. එනිසාම නීති, හිරගෙවල්, උසාවි, හමුදා වැනි රජයට අයත් ආයතනද දේශපාලනය නැමති සංකල්පයද නොවීය. එහෙත් පංති සමාජය බිහිවන විටම මේ සියල්ලම බිහිවිය. එය එසේ වූයේ ඇයි?
පංති සමාජය බිහිවූයේම පැරණි ප්‍රාථමික සමාජ සබඳතා බිඳ දමමින් කිසියම් බලහත්කාරිත්වයක් හා ප්‍රචණ්ඩත්වයක් සහිතවය. ප්‍රාථමික සාමූහික සමාජයේ සිටි පිරිමි පිරිසක් තම වංශය තුළ තිබූ දේපළ තම පෞද්ගලික දේපළ බවට හරවාගත් අතර නිෂ්පාදන මාර්ගවල (සත්ව රංචුව, ගොවිපළ) අයිතියද පෞද්ගලිකව අත්කර ගත්හ. මීට එරෙහිව පැරණි සමාජයෙන් විරෝධයක් එල්ලවූ අතර ඒවා බලහත්කාරයෙන් යටත්කරනු ලැබීය. එසේම නව පෞද්ගලික නිෂ්පාදන මාර්ගවල වැඩ කිරීම සඳහා බලහත්කාරයෙන් මිනිසුන් යොදවනු ලැබුණු අතර ප්‍රථම ‘වහල්ලු’ වූයේ ඔවුහුය. පළමුව තම වංශ තුළ සිටි අයම වහලුන් බවට පත්කරගත් අතර පසුව අසල්වැසි ගෝත්‍ර ආක්‍රමණය කර මිනිසුන් හා ගැහැනුන් ‘වහලුන්’ ලෙස අල්ලාගෙන ඔවුහු වැඩට යොදවනු ලැබූහ. ඔවුනට කෑම පමණක් දෙන ලදී. එමගින් වහලුන්ගේ ශ්‍රමය සූරාකන ලදී.
මේ ක්‍රියාවලිය සඳහා බලහත්කාරය අවශ්‍ය වූ අතර ඉන්පසු බලහත්කාරය ආයතන ගත කිරීමට සිදුවිය. ඒ වහලුන්ගේ ප්‍රතිවිරෝධය මැඩ පවත්වා ඔවුන් පාගාගෙන පාලනය කිරීම සඳහාය. මේ සඳහා අවිගත් විශාල පිරිසක් යෙදවිය යුතුවිය. වහලුන් අල්ලාගෙන ඒම හා ඔවුන් යටපත් කොටගෙන වැඩ ගැනීම, මෙම විශේෂ අවිගත් කණ්ඩායමේ කාර්යය විය. එම අවිගත් කණ්ඩායම හමුදාව ලෙස පසුව හඳුන්වනු ලැබුණු අතර ඊට නායකත්වය දුන් ප්‍රධානියා රජු ලෙස හඳුන්වන ලදී. රජය බිහිවූයේ එලෙසය. පසුව මෙයට නීති අධිකරණ ආදී අංගද එකතු විය. එබැවින් රජය යනු පංති සමාජයේ බිහිවීමත් සමග පැන නැගුණ දේපළ හිමි පංතිය වෙනුවෙන් දේපළ අහිමි පංතිය පාගා සිටීමේ හා මර්දනය කිරීමේ උපකරණය විය. එංගල්ස් රජය පිළිබඳ පැවසුවේ මෙසේය.

“රජය ඒ අනුව සදාකාලිකව පැවැති එකක් නොවේ. රජය හා රාජ්‍ය බලය පිළිබඳ විකල්පනයක් නැති, රජය රහිත සමාජයක් පැවැතිණි. සමාජය පංතිවලට බෙදීයාම නිසා ආර්ථික සංවර්ධනයේ එක්තරා අවදියකදී රජය පැන නැගි අතර එය මේ බෙදීම සමග අවශ්‍යයෙන්ම බැඳී ඇත.”

එංගල්ස් – ‘පවුල පෞද්ගලික දේපළ හා රජය ඇතිවු සැටි’ 174 පිටුව)

කොල්ලකෑම නීතිගතවීම

පෞද්ගලික දේපළ මත රජය බිහිවීමත් සමග ලොව භූමිභාගවල රාජ්‍යයන් බිහිවිය. රාජ්‍යය පවත්වාගෙන යාමට විවිධ ආයතන පද්ධතියක් ඇති විය. රජු මේ රාජ්‍යයේ ප්‍රධානියා වූ අතර පරපුරෙන් පරපුරට රජකම හිමිවිය. රෝමයේ මීට වෙනස් ක්‍රමයක් තිබූ අතර එය ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හැඳින්විණි. එය ආරම්භ වූයේ ග්‍රීසියෙනි. එනම් වහලුන් නොවන නිදහස් පුරවැසියන් රැස්වී තම පාලකයා පත්කර ගැනීමය. රෝමයේදී මේ අයිතිය ලැබුණේ ප්‍රභූන්ටය. ඔවුන් එක්වී තම පාලකයා (කොන්සල්වරයා) පත්කර ගත්තේය. වහල්ලු මිනිසුන් ලෙස නොසැලකිණි. ඔවුන් හඳුන්වන ලද්දේ ‘කථා කරන උපකරණ’ ලෙසය.
වහල් හිමි සමාජය බිහිවීමත් සමග, රජය බිහිවීමත් සමග රජය නඩත්තු කිරීමේ (හමුදාවලට වැටුප් ගෙවීම, ඉදිකිරීම් වැනි) අවශ්‍යතාවයද ඇති විය. ඒ සඳහා එක් අතකින් ජනතාවගෙන් ‘බදු’ අයකිරීම ආරම්භ කරන ලදී. අනෙක් අතට ප්‍රබල රාජ්‍යයන් විසින් තමා අවට සිටින දුබල රාජ්‍ය හෝ ගෝත්‍රික සමාජ යටපත්කර ගැනීමත්, ඒවායේ දේපළ කොල්ලකෑමත් වහලුන් අල්ලා ගැනීමත් එලෙස යටත්කරගත් ප්‍රදේශවලින් බදු ගැනීමත් කරන ලදී. ඒ සඳහා නීති, බදු අයකරන නිලධාරීන් ඇතුළු නිලධාරි පැලැන්තියක්ද බිහි විය.
අනික ප්‍රාථමික සමාජයේ නිශ්චිත යුද්ධ හමුදාවක් නොවූ අතර සියලු පිරිමි අවි දැරූහ. ඔවුන්ද සමහරවිට යුද්ධකරන ලදී. ඒ කොල්ලකෑම සඳහා නොව තම භූමි භාග ආරක්ෂා කර ගැනීමටත් තමන්ට අසාධාරණයක් වූ විට ‘ලේවල පලිය’ ගැනීමටත්ය. එහිදී පිරිමින් මරා දමන අතර ළමුන් හා ගැහැණුන් තම ගෝත්‍රයේ තබාගන්නා ලදී. ඔවුනට සමානව සලකන ලදී. එතෙක් ලේවල පලිය ගැනීම වැනි සමාජ සම්මතයන් සඳහා කෙරුණු යුද්ධ පංති සමාජයේදී දේපළ කොල්ලකෑමේ හා වහලුන් අල්ලා ගැනීමේ යුද්ධ දක්වා පිරිහිණ. එහිදී ස්ථිර හමුදාවක් අවශ්‍ය විය. සියලුදෙනා අවි දැරීම වෙනුවට අවිගත් විශේෂ පිරිසක් නිර්මාණය කරගනු ලැබීය. ඔවුහු වැටුප් ගෙවා නඩත්තු කරන ලදහ. රජය ආරම්භ වූයේ එසේය.

ආගම් බිහිවීම

ලොව ආගම් හෙවත් සංවිධානාත්මක ආගමික සංස්ථා බිහිවන්නේද පංති සමාජය තුළය. ප්‍රාථමික සමාජයේ ආගම් නොතිබි අතර පූජකයින් නම් විශේෂ පිරිසක් සිටියේද නැත. එකල පැවතුණේ ඇදහිලිය. ගෝත්‍ර විසින් විවිධ දේ දෙවියන් හා යකුන් ලෙස අදහනු ලැබිණි. ගස්, ගල්, ඉර, හඳ, තාරකා, වැස්ස, විදුලිය, පර්වත ඒ අතර විය. ගෝත්‍රයේ වැඩිහිටි මහලු අය මෙහිදී ප්‍රමුඛස්ථානය ගන්නා ලදී. පූජකයන් ලෙස වෙනම යැපෙන පිරිසක් නොවීය. එයට හේතුව ගෝත්‍රයේ එවැනි අය නඩත්තු කිරීමට තරම් නිෂ්පාදනයක් හා අතිරික්තයක් ප්‍රාථමික සමාජයේ නොවීමය.
එහෙත් පංති සමාජය බිහිවීමත් සමග එය වෙනස් විය. සමාජයේ නිෂ්පාදනයේ අතිරික්තයක් තිබිණි. නිෂ්පාදනය නොකොට අතිරික්ත නිෂ්පාදනයෙන් යැපීමේ හැකියාව ඇතිවිය. එවිට ගෝත්‍ර තුළ තිබූ ඇදහිලි පසුව සංවිධානාත්මක ආගම් බවට පත්විය. එම ආගම් සඳහා ආගමික මධ්‍යස්ථාන බිහිවිය. ඒවායේ පූර්ණකාලීනව කටයුතු කරන පූජකවරු බිහිවූහ. ඔවුන් යැපුණේ ජනතාව ආගමික මධ්‍යස්ථානවලට කරන පරිත්‍යාග හා ගෙවීම්වලිනි. රජු මීට උදව් කළේය. ආගම වහාම රජය හා සම්බන්ධ විය. රජය හමුදා මගින් බලහත්කාරය යොදා මිනිසුන් ශාරීරිකව යටපත් කර ගන්නා විට ආගම රජය වෙනුවෙන් මිනිසුන් අධ්‍යාත්මිකව යටපත්කර තබාගැනීමේ වගකීම ඉටුකළේය. ආගම හා රජය අතර සම්බන්ධය ඇතිවූයේ එසේය.
මෙලෙස ආගම මෙන්ම කලාව, පවුල, දේශපාලනය වැනි සංකල්ප හා ආයතන රැසක් පංති සමාජය තුළ පැන නැගිණි.

ශිෂ්ටාචාර බිහිවීම හා ඉතිහාසය

ඉතිහාසයේ ගමන්මඟ නිෂ්පාදන ක්‍රියාවලියේ වර්ධනයට අනුව බෙදා වෙන් කරන ඇමෙරිකානු ජාතික ලෙවිස් මෝර්ගන් හා එම උගැන්වීම තවදුරටත් සංවර්ධනය කළ එංගල්ස්, මානව ඉතිහාසය ම්ලේච්ඡත්වය, අශිෂ්ටත්වය හා සභ්‍යත්වය ලෙස යුග තුනකට බෙදා තිබේ. මින් ම්ලේච්ඡත්වය හා අශිෂ්ටත්වය යන යුග දෙකම අයත් වන්නේ ප්‍රාග් ඉතිහාසයට හෙවත් ප්‍රාථමික සාමූහික ක්‍රමය පැවති කාලයටය. සභ්‍යත්වය යනුවෙන් ඔවුන් සඳහන් කරන්නේ පංති සමාජය බිහිවීමත් සමග ඇරඹි යුගයයි.
කෙසේ වෙතත් ප්‍රාථමික සාමූහික ක්‍රමය තුළ ජීවත්වූ ආදී ජන සමූහයා පංති සමාජය වෙත පැමිණියේ එක් රැයකින් හෝ සරල ගමන් මඟක් තුළ නොවේ. එය දිගු කලක් තිස්සේ වර්ධනයවූ සංකීර්ණ ක්‍රියාවලියක් විය. එක්තරා ආකාරයක සමාජ සබඳතා වෙනුවට ඊට මුළුමනින්ම වෙනස් හා ප්‍රතිවිරුද්ධ සමාජ සබඳතා නිර්මාණය වීමේ විප්ලවය ඉතාම සංකීර්ණ වූවක් විය.
එසේම පංති සමාජය හා රජය ලොව බිහිවූයේ හැම තැනම එකවිටම නොවේ. සංවර්ධනයේ වඩා දියුණු හා ඉදිරියට ගිය තැන්වලින් බිහිවූ මෙම සමාජය, ආක්‍රමණ හා යටත් කර ගැනීම් මගින් ලොව අන් ප්‍රදේශවලටද පැතිරිණි. එසේ වුවත් ඊට මේ වනතෙක් හසු නොවූ භූමි භාගයන්ද සැඟවී තිබිණි. සමහර ගෝත්‍රික ජනයා මීට උදාහරණය.

ශිෂ්ටාචාරවල කථාව

පංති සමාජය බිහිවූ යුරෝපයේ ප්‍රථම හා ප්‍රධාන රටවල් වූයේ ග්‍රීසිය, රෝමය, ජර්මනිය යන ප්‍රදේශයන්ය. ඊට අමතරව ඉන්දියාවේ, චීනයේ හා ලතින් අමෙරිකානු ප්‍රදේශවලද මෙම පරිවර්තනය සිදුවිය. ක්‍රි.පූ. 06වැනි සියවස වන විට මේ බොහෝ රටවල්වල රජය බිහිවී රාජ්‍යයන් ගොඩනැගී තිබෙනු ඉතිහාසය තුළ දැකිය හැකිය. එහෙත් ඊට පෙර සිටම පංති සමාජය කරා යන ශිෂ්ටාචාර කිහිපයක්ම ලෝකයේ සමහර තැන්වල තිබුණි. “ශිෂ්ටාචාර” ලෙස හඳුන්වන මෙම ජනාවාසවල විශේෂය වූයේ නිෂ්පාදනය වඩාත් දියුණුවීම සමග එම විශේෂ ප්‍රදේශ අන් ප්‍රදේශවලට ඉහළින් නැගී සිටීමය. ලොව ප්‍රධානම ශිෂ්ටාචාර කිහිපය අපට හමුවන්නේ ගංගා ආශ්‍රිතවය. ඊට හේතුව කෘෂිකර්මාන්තයේදීත් සත්ව පාලනයේදීත් ප්‍රවාහනයේදීත් ගංගාවන් ඉතාම වැදගත් පාරිසරික මූලාශ්‍රයක් වීමය.
ලෝකයේ ඉපැරණි ශිෂ්ටාචාර අතර ප්‍රධානතම ශිෂ්ටාචාර වන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, මොසපොතේමියාව (දෙගම්මැදි ශිෂ්ටාචාරය), ඊජිප්තුවේ නයිල් නිම්නය ශිෂ්ටාචාරය, හොවැංහෝ ශිෂ්ටාචාරය (චීනය) මධ්‍යම ඇමෙරිකාවේ ඉන්කා-මායා ශිෂ්ටාචාර වේ. මින්, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ඉන්දියාවේ ඉන්දු ගඟේ අතු ගංගා පහ ආශ්‍රිතව පැවති එකකි. (අතීතයේ කලෙක පන්ජාබි නමින් හැඳින්වූ මේ ප්‍රදේශයේ විශාල භූමි භාගයක් වර්තමාන පාකිස්ථානයට හිමිය.) ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ප්‍රධාන ස්ථාන දෙකක් පැවතිණි. ඒ මොහෙන්දජාරෝ හා හරප්පාය. මෙම ශිෂ්ටාචාරය පැවතියේ ක්‍රි.පූ. 3300-1300 අතර බව පැවසේ. මෙහි ඉතාම සංවර්ධිත නගර ගොඩනඟා තිබූ බවට සාක්ෂි තිබේ. එහි මව් දෙවඟන ඇදහීම කර ඇති අතර, ඒ අනුව එහි මාතෘ මූලික සමාජ ලක්ෂණ හඳුනාගත හැක. ලෝකඩ යුගය ලෙස හඳුන්වන කාලයේ පැවති මෙහි රජයක ලකුණු නැතත් කිසියම් සමාජ සංවිධානයක ලකුණු තිබෙන බව පෙනේ. මෙය පංති සමාජයේ ලක්ෂණ ඇතිවීමට අවශ්‍ය ආර්ථිකමය හේතු සම්පූර්ණ වෙමින් පැවති තත්වයක් බව සිතිය හැක.
උතුරු අප්‍රිකාවේ නයිල් නිම්න ශිෂ්ටාචාරයද (වර්තමාන ඊජිප්තුව) ක්‍රි.පූ. 3100 පමණ කාලයේ පැවති දියුණු ශිෂ්ටාචාරයකි. පසුකලෙක මෙහි රජය ඇතිවී අතර පාරාවෝ රජවරු හා පිරමීඩ අපට හමුවන්නේ මෙහිදීය. මෙම ප්‍රදේශය දියුණු වීමටද නයිල් ගං මිටියාවතේ සරු පස බලපෑ බව පෙනේ.

ප්‍රථම නිීති පද්ධතිය

ලොව ශිෂ්ටාචාර අතර තවත් විශේෂ එකක් වූයේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයයි. වර්තමාන ඉරාකය හා කුවේටය අයත් ප්‍රදේශවල පැවති මෙය දෙගංමැදි ශිෂ්ටාචාරය ලෙසද හැඳින්විණි. ඒ, ඉරාකය හරහා ගලා බසින යුප්‍රටීස් හා ටයිග්‍රීස් නම් ගංගා දෙක අතර මෙය බිහිවී තිබීම නිසාය. මෙසපොතේමියානු ශිෂ්ටාචාරයද පැවතී ඇත්තේ ක්‍රි.පූ. 4000 – 3000ක් අතරය. නිෂ්පාදනයේ පෙරළියක් ඇති කිරීමට සමත්වූ රෝදය නිර්මාණය වීම ඊජිප්තුව හා මෙසපොතේමියාව යන ශිෂ්ටාචාර ආශ්‍රිතව සිදුවී ඇත්තේද ක්‍රි.පූ. 3000දී පමණ බැව් පැවසේ.
කෙසේ වෙතත් මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේම කොටසක පැවති බැබිලෝනියාව රජය බිහිවීමේ උදාහරණයක් අපට පවසයි. ඉතිහාසමය කරුණුවලට අනුව ක්‍රි.පූ. 2335-2154 කාලයේ බැබිලෝනියාව අක්කාඩියන් (්ණණ්ෘෂ්භ) අධිරාජ්‍ය පැවති කාලය ලෙස හඳුන්වා ඇත. ඉන් කියැවෙන්නේ ක්‍රි.පූ. 20වැනි සියවස වන විට රජය බිහිවීම ඇරඹ තිබූ බවය. මෙහි තවත් විශේෂයක් තිබේ. ඒ ලොව පැරණිම නීති පද්ධතිය ලෙස සැලකෙන මැටි පුවරුවක සටහන් කොට තිබූ හමුරාබිගේ නීති පද්ධතිය බැබිලෝනියාවෙන් හමුවී තීබීමය. ඇසට-ඇස, දතට-දත නීතිය එහි පැවති නීතියකි. බැබිලෝනියාවේ හමුරාබි නම් පාලකයාගේ පාලනය පැවතී ඇත්තේ ක්‍රි.පූ. 1792-1752 කාලයේය.
මෙම කරුණුවලින්ද තහවුරු වන්නේ, ලොව නිෂ්පාදන බලවේග දියුණු වූ, ඒ සඳහා පාරිසරික සාධක තිබූ ස්ථාන ආශ්‍රිතව එම යුගයට සාපේක්ෂ දියුණු මානව ශිෂ්ටාචාරයක් ගොඩනැගී තිබූ බවත් ක්‍රි.පූ. 300 පමණ වන විට බොහෝ තැන්වල මේවා පැවති බවත් රජය බිහිවීම එම සමහර ස්ථානද පදනම් කර ගෙන සිදුවූ බවත්ය. ඒ අනුව ඉපැරණි ශිෂ්ටාචාර යනු අහම්බයක් නොව නිෂ්පාදන බලවේග සංවර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස පැන නැගුන ඒවා බව පැහැදිලිය. මේ හැම තැනකම සැලැස්මක් සහිත නගර හා ඉදිකිරීම් තිබූ බවට සාක්ෂි තිබේ.

ලිඛිත ඉතිහාසය ඇරඹීම

ලොව ලිඛිත ඉතිහාසය හෙවත් ලේඛන ගත ඉතිහාසය ආරම්භ වන්නේ, පංති සමාජය බිහිවීමත් සමගය. සැබැවින්ම පංති සමාජය තුළ ඉතිහාසය ලේඛන ගත කළ අය සියලුම දෙනා රජවරුන් හෝ පාලකයන් සෙවණේ සිටි ඔවුන්ගෙන් යැපුණු අය වෙති. ඒ නිසාම ඉතිහාසය ලියනු ලැබුයේ පාලක පංතීන් කේන්ද්‍ර කරගත් ඔවුන් හා ඔවුන්ගේ වික්‍රමයන් ගැන කියැවෙන, ඔවුන් වීරයන් ලෙස උත්කර්ෂයට නංවන ආකාරයෙනි. එම ඉතිහාසය තුළ වැඩකරන ජනයා හා පීඩිත පංතිය නොසලකා හරිනු ලැබ තිබේ. එබැවින් ලොව වර්තමානයේ පවතින ලිඛිත හා අනුමත ඉතිහාසය යනු සත්‍ය කරුණුත්, අනුමාන කරුණුත්, අතිශයෝක්තියෙන්ද අසත්‍ය කරුණුද එකතුකර ගොඩ නංවන ලද ප්‍රබන්ධයක් බව පැහැදිලිය. ලොව අනුමත නිල ඉතිහාසය ප්‍රවේසමෙන් පරිහරණය කළ යුත්තේ මේ නිසාය.
දේපළ පෞද්ගලික වීම පිළිබඳ, රජය බිහිවීම පිළිබඳ ආගම් බිහිවීම හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ, යුද්ධ හා ආක්‍රමණ පිළිබඳ ඉතිහාසය තුළ ඇති තොරතුරු හා ජයග්‍රහණයන් බොහෝ විට මිථ්‍යාවන් සමග සම්බන්ධ වූ හා පක්ෂග්‍රාහී ඒවා වේ. කොටින්ම ලොව පවතින නිල ඉතිහාසය පාලක පංතීන්ගේ ඉතිහාසයකි; ප්‍රබන්ධයකි. ඉතිහාසය නිවැරදිව තේරුම් ගත යුතු වන්නේ ඒ නිසාය.
ඉතිහාසයේ මහා සිදුවීම්වලට යටින්, එම සිදුවීම් හා පෙරළිවලට හේතුකාරක වන පොදු සාධකයන් හා ක්‍රියාදාමයක් තිබේ. ඉතිහාසයේ සංවර්ධනයේ දයලෙක්තිකය වන මෙය වටහා ගැනීම ඉතිහාසය නිවැරදිව වටහා ගැනීමේදී අත්‍යාවශ්‍ය වේ. මෙම ලිපි මාලාව ආරම්භයේදීම එම කරුණු සඳහන් කරනු ලැබුවේද එකී දාර්ශනික පදනම නොමැතිව ඉතිහාසයේ සිදුවීම් තේරුම් ගැනීම නිවැරදිව කළ නොහැකි නිසාය.

ඉතිහාසයේ ආගම් බිහිවුණු හැටි

ලෝකයේ පංති සමාජය බිහිවීමට පෙර, ප්‍රාථමික සාමූහික ක්‍රමය තුළ සංවිධානාත්මක ආගම් පැවතියේ නැත. එහෙත් විවිධ ඇදහිලි තිබුණි. ඒවා මිථ්‍යා ඇදහිලි විය. ගස්, ගල්, ඉර, හඳ, තාරකා, විදුලිය, වැස්ස වැනි මිනිසා බියට හෝ පුදුමයට පත් කළ ස්වභාවික වස්තූන්ට හා සංසිද්ධීන්ට දේවත්වය ආරෝපණය කර ගැනීම මඟින් ඇදහිලි බිහි විය. ඊට හේතු වූයේ ආදිකාලීන සමාජයේ විද්‍යාව නොදැන සිටීමය. සොබාදහමේ සිදුවීම් විද්‍යාත්මකව තේරුම් ගැනීමට තරම් දැනුම හා නිෂ්පාදන උපකරණ දියුණු වී නොතිබූ එම යුගයේ තේරුම් ගත නොහැකි විස්මිත දේවල්වලට දේවත්වය ආරෝපණය කිරීම හැර වෙන විකල්පයක් මිනිසාට නොවීය. ඒ අනුව ඇදහිලි පැවතිණි. එහෙත් ඒවා ආගම් නොවීය. ඒ සඳහා විශේෂ දේවස්ථාන, දේවාල හෝ ‘පූජකයන්’ ලෙස හඳුන්වන විශේෂ අය සිටියේ නැත. බොහෝ විට දෙවියන්ට හෝ යකුන්ට පුද පූජා පවත්වන ලද්දේ ගෝත්‍රයේ වැඩිහිටි පිරිමි හෝ කාන්තාවන්ය. ඒවා පරපුරෙන් පරපුරට ගෙන යන ලදී.
ආගම් බිහිවෙයි
ආගම් යනු සංවිධානය වූ, ඒ වෙනුවෙන්ම වෙන්වූ පූජකවරුන් හෝ ආගමික සාධුවරුන් විසින් පවත්වාගෙන යනු ලබන ආයතනයන්ය. එවැනි ආයතන පවත්වාගෙන යාමටත්, ඒවායේ පූර්ණකාලීනව ආගමික කටයුතුවලට වෙන්වුණු අය (පූජකයින්) නඩත්තු කිරීමටත් සමාජය තුළ සමාජමය නිෂ්පාදනයේ අතිරික්තයක් අවශ්‍ය විය. එහෙත් එම අතිරික්ත නිෂ්පාදනය ප්‍රාථමික සාමූහික සමාජය තුළ නොවීය. සමාජය දේපළ මත පංතීන්ට බෙදී, පෞද්ගලික දේපළ අයිතීන් ඇති වී, එම දේපළවල අයිතිය හිමි පංතියේ පාලනයක් සහිතව පළමු පංති සමාජය බිහිවන විට දේපළ හිමි පංතිය අත සමාජ නිෂ්පාදනයේ අතිරික්තය එකතු විය. වහලුන්ගෙන් වැඩ ගැනීමෙන්, බදු ගැසීමෙන්, කොල්ලකෑමෙන් එම අතිරික්ත ධනය ගොඩනඟන ලදී. රජය බිහිවූයේද මේ සඳහාය. රජයේ කාර්යය වූයේ එම දේපළ හිමි පංතිය වෙනුවෙන් දේපළ අහිමි පංතිය පාගාගෙන සිටීමය.
කෙසේ වුවත් සමාජය තුළ අතිරික්ත නිෂ්පාදනය බිහිවීමත් සමග එම අතිරික්ත නිෂ්පාදනයෙන් යැපෙමින් යමෙකුට ඇදහිලි කටයුතු වෙනුවෙන් වෙන්වීමේ හැකියාව ඇති වුණි. ආගම් හා පූජකයින් බිහිවූයේ එම තත්වය තුළය. එහිදී රීතියක් ලෙස එම ආගම් හා පූජකයන් පවතින රජය හා සම්බන්ධ විය. ඊට හේතු වූයේ සමාජමය නිෂ්පාදන අතිරික්ත තිබුණේ දේපළ හිමි පංතියට නිසාත් පූජකයන්ට, දේවාලවල, පන්සල්වල නඩත්තුවට දේපළ ලබාගත හැකි වූයේ, දේපළ හිමි පංතියෙන්, රජුගේන්, ප්‍රභූන්ගෙන් නිසාත්ය. ඊට අමතරව පසු කලෙක පොදු ජනයාගෙන්ද පඬුරු ලෙස මුදල් ලබා ගන්න ලදී.

ආගම පාලක පංතියේ අවියක් වීම

ආගම්වල පැවැත්මට, යැපීමට හා ආරක්ෂාවට පාලක පංතියේ හා රජයේ සහාය අවශ්‍ය වූවා සේම රජයට හා පාලක පංතියටද ආගම්වල සේවය අවශ්‍ය විය. ඒ, පීඩාවට පත් ජනයා මෝහනය කර තබා ගැනීම සඳහාය; රජයට පක්ෂපාතී කර තබා ගැනීම සඳහාය. ආගම් කුමන වෙනස්කම් සහිතව බිහිවුවද, කුමන ඉගැන්වීම් තිබුණද අවසානයේ ඒවා පාලක පංතියට සේවය කරන ඒවා බවට පත්විය. ඉතිහාසයේ අප දන්නා සත්‍යය එයයි.
පසුකලෙක රජයේ පීඩාවට එරෙහිව පීඩිතයන් නියෝජනය කරමින් බිහිවූ ආගම් පවා පසුව රජයේ මෙවලම් බවට පත්විය. උදාහරණ ලෙස බුදු දහම බිහිවූයේ ක්‍රි:පූ: 06වැනි සියවසේ ඉන්දියාවේ රජයට ඉහළින් පැවති බ්‍රාහ්මණ ආගමෙන් රජය නිදහස් කර ගැනීම උදෙසාය. ඒ සඳහා පෙරමුණ ගත්තේ ඉන්දියාවේ ක්ෂත්‍රිය කුමාරවරුන්ය. සිදුහත් කුමරුද ඉන් එක් කුමාරයෙකි. බුදු දහම විසින් ආරම්භයේම සිදු කළේ එකල සමාජය යටකරගෙන සිටි බ්‍රාහ්මණ ආගමේ බ්‍රහ්ම මැවුම්වාදයට පහර දීමය. එය එකල පැවති තත්වයට අනුව ප්‍රගතිශීලීද විය. මිනිසෙක් වසලයෙක් වන්නේත් බ්‍රාහ්මණයෙක් වන්නේත් උපතින් නොව ක්‍රියාවෙන් බව පැවසීම මගින් බුදුන් සිදුකළේ බ්‍රහ්ම මැවුම්වාදය ප්‍රතික්ෂේප කිරීමය; කුල පීඩනය ප්‍රතික්ෂේප කිරීමය. (ඒ බුදු දහම තුළම දැන් කුලවාදය තිබීම හාස්‍යයකි) එහෙත් පසු කලෙක බුදු දහමේ සමහර ඉගැන්වීම් විකෘති වී ඒ තුළට යළි මැවුම්වාදය රිංගා ගන්නා ලදී. එය පාලක පංතියට සේවය කරන එකක් ද විය.
ක්‍රිස්තියානියද එසේය. එය බිහිවූයේ වහල් ක්‍රමයට එරෙහිව වහලුන්ගේ විරෝධය ප්‍රකාශ කිරීමක් ලෙසය. එකල රෝම අධිරාජ්‍යය ලොව බොහෝ රටවල් යටත් කොට ඒවා කොල්ලකමින් සිටි අතර, ඒ වනවිට පැවති ආගමික නායකයන් විසින් ඊට උදව් කරන ලදී. රෝම පාලනයට යටත් ප්‍රදේශයක උපන් ජේසුස් විසින් දේශනා කළ ධර්මයෙන් සිදුකළේ, රජය උත්තරීතර යැයි පවසා ජනතාවගේ ජීවිතයේ එකම හිමිකරු රජය ලෙස දක්වා තිබූ මතයට අභියෝග කොට මිනිසාගේ ගැලවුම්කරුවා දෙවියන් බවත් දෙවියන් රජයට ඉහළින් සිටින බවත් අප සියලුම දෙනා අවසානයේ වගකියන්නේ දෙවියන් වහන්සේට බවත් පවසා මිනිසුන්ගේ ඉරණම කෙරෙහි රජයේ තිබූ තනි ඒකාධිකාර ආධිපත්‍යයට අභියෝග කිරීමය. ජේසුස් මරා දමන ලද්දේද ඒ නිසාය. එහෙත් ජේසුස් මරාදමා වසර 400ක් ගිය තැන රෝම පාලනය කොන්තන්ස්තින්ගේ කාලයේදී ක්‍රිස්තියානිය රෝමයේ නිල ආගම බවට පත්කර ගත්තේය. ඉන්පසු ක්‍රිස්තියානියේ ආරම්භක අරමුණු විකෘතිවී එය රජය තරම් බලවත් ආයතනයක් විය. රෝමානු කතෝලික සභාව බිහිවූයේ ඒ අනුවය. එය වසර 1000ක් පුරා යුරෝපයේ අඳුරු යුගය ලෙස සැලකෙන මධ්‍යතන යුගයේ රජය හා එක්ව ජනතාව පීඩාවට පත්කළේය. ආගමික ඉගැන්වීම්වලට පටහැණි විද්‍යාත්මක සත්‍යයක් ප්‍රකාශ කළ අයවද මරා දමන ලදී. කිසියම් ප්‍රගතිශීලිත්වයක් සහිතව බිහිවූ ක්‍රිස්තියානිය අවසානයේ අන්ත ප්‍රතිගාමී ආයතනයක් වූයේ එය රජයේ වුවමනාව හා සම්බන්ධ වීම නිසාය.

බහුදේවවාදය වෙනුවට ඒක දේවවාදය

ලෝකයේ මුලින්ම පංති සමාජය ආරම්භයේදී ම බිහිවූ ආගම් බහුදේවවාදී ආගම් විය. ග්‍රීසියේ දෙවිවරු රැසක් ඇදහූ අතර, ඔවුන්ට වෙන වෙනම දේවස්ථානද තිබිණි. ඉන්දියාවේද හින්දු ආගම බහුදේව ආගමක් ලෙස තවම පවතී. එහෙත් යුරෝපයේ පසු කලෙක බහු දේවවාදය වෙනස් වී ඒක දේවවාදී ආගම් බිහිවිය. ඊට හොඳම උදාහරණ දෙක වන්නේ ක්‍රිස්තියානිය හා ඉස්ලාම් ආගමයි. යුදෙව් ආගමද මෙහිම ප්‍රභේදයකි.
මෙයින් පෙනී යන්නේ, ආගම් බිහිවීම හා ව්‍යාප්ත වීම අහම්බයක් නොව ඉතා පැහැදිලි සමාජ ආර්ථික කොන්දේසි අනුව සිදුව ඇති බවය. විද්‍යාව නොතිබූ කාලයේ මිථ්‍යා විශ්වාස පදනම් කරගෙන බිහිවූ ඇදහිලි පසුව පංති සමාජයේදී සංවිධානාත්මක ආගම් බවට පත්වූ බව පැහැදිලිය. එසේ වූයේ නව සමාජ පෙරළියට අනුවය; පෞද්ගලික දේපළ හා රජය ඇතිවීම හා සමපාතවය.
ඉන්පසු වරින්වර බිහිවූ ආගම්ද බිහිව ඇත්තේ ඒ මොහොතේ සමාජයේ පැවති සමාජ අවශ්‍යතාවයන් ඉටුකිරීම වෙනුවෙනි. එහෙත් ආගම් බිහිවන විටම ඒ තුළ මිථ්‍යාව තිබීමත් ඒවා ඉක්මනින්ම පාලක පංතියේ වුවමනාවන් නියෝජනය කිරීමත් පාලක පංතීන් ආගම්, තම පංති පාලනය රැක ගැනීම සඳහා ජනතාව ශික්ෂණය කර වෙන්කර තබා ගැනීමටත්, පීඩිතයන්ට මරණින් මතු බලාපොරොත්තුවක් දී පංති පීඩනය යටපත් කිරීමටත් යොදා ගන්නා නිසා පොදුවේ ආගම් පාලක පංතියට සේවය කරන ඒවා බවට පත්විය.

ලොව ප්‍රථම වෘත්තිය

ලොව ප්‍රථම වෘත්තීන් දෙකක් ගැන ඉතිහාසය සඳහන් කරයි. ඉන් එකක් ගණිකා වෘත්තියයි. එයද ආරම්භවී ඇත්තේ යුරෝපයේත් ඉන්දියාවේත් දේවාල පදනම් කරගෙන බව ඉතිහාසයේ සඳහන් වේ. අනෙක් වෘත්තිය වූයේ පූජක වෘත්තියයි. ආගමික කටයුතු වෘත්තිය කරගෙන, අනුන්ගේ ශ්‍රමයේ අතිරික්තයෙන් යැපීම ජීවිතය කර ගැනීමට ඔවුන් කටයුතු කළ අතර ඒ අනුව පූජක කාර්යය වෘත්තියක් විය. විවිධ වෙනස්කම් සහිතව වුවද අදටත් මෙය මෙලෙස පවතී.
පංති සමාජය තුළ පවුල නම් ඒකකය බිහිවීම, කලාව බිහිවීම, රජය බිහිවීම ආදියද එකවිට සිදුවූ සංසිද්ධීන් විය.

ඉතිහාසය තුළ ‘පවුල’ බිහිවූ හැටි

ඉතිහාසයේ එක්තරා වකවානුවක දේපළ මත මානව සමාජය පංතිවලට බෙදීමත් සමග එතෙක් සමාජය දැන නොසිටි ආයතන හා සමාජ සංස්ථා ගණනාවක්, සංකල්ප ගණනාවක් බිහිවිය. පංති සමාජය තුළ ආගම බිහිවූ හැටි දැනටමත් අප කථාකර ඇත. මානව සමාජයේ කුඩාම තැනුම් ඒකකය ලෙස වර්තමානයේ පිළිගැනෙන ‘පවුල’ බිහිවූයේද පංති සමාජයේ බිහිවීමත් සමගය.
‘පවුල’ මානව සමාජයේ ආරම්භයේ සිටම පැවති සංවිධාන ආකෘතියක් නොවේ. මානව සමාජයේ ආදි කාලීන මුල් යුගයේදී ජනතාවගේ සංවිධානමය ආකෘතිය වී තිබුණේ ගණ හා ගෝත්‍රය. ගණය කුඩාම ඒකකය වූ අතර ගෝත්‍රය පුළුල් ඒකකය විය. ප්‍රාථමික සාමූහික ක්‍රමය පැවති මුල් යුගයේ ගණ හා ගෝත්‍ර තුළ පැවතියේ පොදු සාමූහික බවකි. එහි නූතන පවුල නමින් පවතින ඒකකය තිබී නැත.

ලිංගික සබඳතා හා පවුල

සෑම ජීවියකුටම පොදු සොබාදහම විසින් වර්ගයා බෝකිරීම සඳහා දායද කළ ලිංගික සබඳතා ක්‍රමයක් තිබේ. මානව සමාජය ආරම්භයේදී එය පැවතී ඇත්තේ ‘අවිචාරවත් ලිංගික සබඳතා’ ලෙස වර්තමාන සමාජය විසින් හඳුන්වන ක්‍රමයකටය. ලෙවිස් මොර්ගන් නම් මානව විද්‍යාඥයාට අනුවත්, එංගල්ස් විසින් කරන ලද අධ්‍යයනයන්ට අනුවත් මිනිසාගේ මුල් අවදියේදී සියලුම පිරිමි සියලුම ගැහැනුන් සමග එකට ජීවත්වී තිබේ. ජනගහනය ඉතා කුඩා වීමත් වර්ගයා බෝකර ගැනීමේ අවශ්‍යතාවයත් සතුන්ගෙන් පරිණාමය වන විට පැවති තත්වයත් යන සාධක මත මෙය තීරණය වී තිබේ. අවිචාරවත් ලිංගික සබඳතා ලෙස හඳුන්වනු ලැබුයේ එයයි. එහෙත් පසුව සමාජය ටිකෙන් ටික සංවර්ධනය වෙද්දී මෙම ලිංගික සබඳතා දෙදෙනෙක් අතර වන විශේෂ සබඳතාවයක් දක්වා වර්ධනය වෙමින් පැවති බව පැවසේ.
ප්‍රාථමික සාමූහික සමාජය ක්‍රමානුකූලව වර්ධනය වෙද්දී අවිචාරවත් ලිංගික සබඳතාවල වෙනසක් ඇති වී තිබේ. පවුල නම් ඒකකය තැනීමේ ආරම්භක රූපකය ලෙස ‘ලේ ඥාති පවුල’ නම් පුළුල් ලිංගික සබඳතා සහිත කණ්ඩායම බිහිවී තිබේ. එය සිදුවී ඇත්තේ ජෛව විද්‍යාත්මක අවශ්‍යතා හා සමාජමය අවශ්‍යතා අනුව එක්තරා මොහොතක දෙමාපියන් හා දරුවන් අතර ලිංගික සබඳතා නවතා දැමීමත් සමගය. ඉන්පසු සම වයස් කාණ්ඩවල අය කවයක් ලෙස සකස් වී ඒ ඒ වයස් කාණ්ඩ තුළ ලිංගික සබඳතා පවත්වා ඇත. උදා. ලෙස ආච්චිලා හා සීයලා එක කවයකුත්, දෙමාපියන් තවත් කවයකුත්, දූ දරුවන් තවත් කවයකුත් ලෙස සම වයස්වල අය අතර සබඳතා පවත්වා ඇති අතර ලේ ඥාති පවුල් ක්‍රමය ලෙස එය හැඳින්වී තිබේ.

පුනාලුවා පවුල

ලේ ඥාති පවුල තවදුරටත් පරිණාමය වීමේ ප්‍රතිඵලයක් ලෙස යුරෝපා රටවල ‘පුනාලුවා පවුල’ නමින් හඳුන්වන පවුල් ආකෘතියක් ගොඩනැගී තිබේ. එය සිදුව තිබෙන්නේ පළමුව දෙමාපියන් හා දරුවන් අතර ලිංගික සබඳතා නවතා දැමුවාක් මෙන්ම දෙවනුව එක මවක් කුසින් උපන් සහෝදර සහෝදරියන් අතර ලිංගික සබඳතා නවතා දැමීම සමගය. මේ සමග වංශ නම් සංවිධාන ව්‍යුහයක් නිර්මාණය වී තිබේ. එවිට මවගේ දරුවන් වංශය තුළ සිටි අතර වංශයේ පැවැත්ම මව මූලික කර සිදුවිය. මෙහිදී වංශය තුළ ලිංගික සබඳතා තහනම් විය. ඊට හේතුව එක් වංශයක් තුළ සිටින්නේ මවකගේ දරුවන් වීම නිසාය. ඒ අනුව ලිංගික සබඳතා සිදුවී ඇත්තේ වංශ දෙකක් අතරය. එවිට දරුවන්ගේ පියවරු හා ඔවුන්ගේ සහෝදරියෝ එක් වංශයක් තුළත් දරුවන්ගේ මව්වරු හා ඇගේ සහෝදර සහෝදරියෝ එම වංශය තුළත් සිට ඇත. එවිට ලේ ඥාති සහෝදරියන් අතර ලිංගික සබඳතා අහෝසි වී නෑනා-මස්සිනා ලෙස අප සලකන ඥාති සබඳතා අතර ලිංගික සබඳතා සිදුවිය. මෙම සබඳතාවය පුනාලුවා පවුල ලෙස සලකති.
සමාජය තවදුරටත් වර්ධනය වෙද්දී මෙම ලිංගික සබඳතා පවත්වන කණ්ඩායම් තුළ විශේෂ ආකර්ෂණයක් ඇතිකරගත් දෙදෙනෙක් අතර විශේෂ බැඳීමක් ඇති වී තිබේ. ඔවුන් විසින් දරුවන් ලැබෙන කාලය තුළ දෙදෙනා එක්ව වාසය කිරීමද සිදුකර ඇත. මෙය ‘යුගලන පවුල’ ලෙස හඳුනාගෙන තිබේ. මානව සමාජය තුළ මුල්වරට පෞද්ගලික ලිංගික ආලය යන්තමින් ආරම්භ වී ඇත්තේ මෙම කාලයේය.

පෞද්ගලික දේපළ හා පවුල

මෙලෙස මානව සමාජය තුළ ආරම්භක අවදියේ ලිංගික සබඳතා පවත්වන කණ්ඩායම් වෙනස් වෙමින් පොදු ලිංගික සබඳතාවයක සිට දෙදෙනෙක් අතරවන විශේෂ ඇල්මක් සහිත ලිංගික සබඳතාවයක් දක්වා ස්වාභාවික ලෙස වෙනස් වෙමින් ආ බව ඉතිහාසය තුළ දැකිය හැක. එහෙත් ජෛව විද්‍යාත්මක හා සමාජමය හේතු මත එලෙස ක්‍රමිකව වෙනස් වෙමින් ආ පවුල් රූපිකයන් එක්වරම වත්මන් ඒකභාර්යා වෘතය සහිත පවුල බවට පත්වූයේ පෞද්ගලික දේපළ ඇතිවීමත් සමගය.
ප්‍රාථමික සමාජයේ පැවති ලිංගික සබඳතාවල ස්වභාවය අනුව දරුවන්ගේ පියා තීරණය කළ නොහැකි විය. එබැවින් දරුවන්ගේ ‘අයිතිය’ කියවුනේ මවගේ පැත්තෙනි. දරුවන් මවගේ දරුවන් විය. පියා නිශ්චිත නොවීය. ඒ නිසාම එම සමාජය මාතෘ මූලික සමාජයක් විය. මෙම සමාජය ක්‍රමිකව වර්ධනය වී වංශ පැවති කාලයේ සමාජ දේපළ අවසාන වශයෙන් අයිතිවූයේ වංශයටය. ඒවා වංශයේ පොදු දේපළ විය. මේ කාලයේ දුන්න හා ඊතලය සොයාගෙන තිබූ අතර ලෝකඩ නගුල හා පොරවද නිපදවා ගෙන තිබුණි. ඒ සමග නිෂ්පාදනය ක්‍රමයෙන් වර්ධනය විය. සතුන් දඩයම් කිරීමට අමතරව සතුන් ඇතිකිරීමත් ධාන්‍ය, එළවළු, පලතුරු වගාකිරීමත් ඇරඹුණි. ඒ සමග නිෂ්පාදනයන් වැඩි විය. එහි ප්‍රතිඵලය වූයේ ඉතිහාසය එතෙක් දැන නොසිටි සංකල්පයක් වූ ‘අතිරික්ත නිෂ්පාදනය’ ඇති වීමය. එනම් නිෂ්පාදකයා නිපදවන දේ ඔහුගේ අත්‍යාවශ්‍ය පැවැත්ම වෙනුවෙන් පරිභෝජනය කළ පසු තව යමක් ඉතිරි වීමය. ඒ සමගම අතිරික්ත නිෂ්පාදනය බිහි කිරීමට ශ්‍රමය සමත් විය. සූරාකෑමේ හැකියාවද මේ සමග වර්ධනය විය.

අතිරික්ත නිෂ්පාදනයේ ඵල විපාක

පැරණි ගෝත්‍රය තුළ නිෂ්පාදන උපකරණවල වර්ධනය සමග නිෂ්පාදිතයන්ගේ වර්ධනයද සිදුවූ බව පැහැදිලිය. එවිට සත්ව රංචුව, කෘෂිකාර්මික ගෙවත්ත ඇති විය. එහි ප්‍රතිඵලය වූයේ මස්, කිරි, ලොම්, හම්ද, එළවළු, පලතුරු හා ධාන්‍යද නිපදවීමය. මෙම දේපළ මුලින් ගෝත්‍රය තුළ වංශයේ දේපළ විය. එහෙත් දේපළ තවදුරටත් වර්ධනය විය. සූරාකෑමේ හැකියාව වර්ධනය වූ විට වැඩ නොකරන අයෙකුට අනිත් අයගෙන් වැඩ ගෙන ඔවුන්ගේ ශ්‍රමයේ අතිරික්තය අත්පත් කර ගැනීමේ හැකියාව ඇතිවූ විට සමාජය තුළ දේපළවලට පෞද්ගලිකව අයිතිය කීම ආරම්භ විය. එනම් පෞද්ගලික දේපළ ඇති විය. දේපළවල පෞද්ගලික අයිතිය ඇතිවන විට එහි අයිතිය අත්පත් කරගත්තේ වංශය තුළ සිටි බලයක් පෑමට සමත් පිරිමින්ය. පෞද්ගලික දේපළ බිහිවීමත් එම දේපළවල අයිතිය පිරිමින් සතුවීමත් සමග තම දේපළ තම දරුවනට දීමේ වුවමනාවද මතුවිය. එහෙත් ඒ වන විට පැවති පවුල් ක්‍රමය අනුව දරුවන්ගේ පියා තීරණය කළ නොහැකි විය. එසේනම් තම දේපළ තම දරුවන්ට දීම සඳහා තමන්ගේ දරුවන් තහවුරු කරගැනීමේ වුවමනාව දේපළ හිමි පිරිමින්ට ඇතිවිය. ඒ සඳහා කාන්තාව එක් පිරිමියෙකු සමග පමණක් ලිංගික සබඳතා පවත්වන විවාහ ක්‍රමයක් අවශ්‍ය විය. එහි ප්‍රතිඵලය වූයේ එතෙක් පැවති වංශ සංවිධානය බිඳවැටී එක් ගැහැනියක් එක් පිරිමියෙකු සමග පමණක් ජීවත්වන ඒකභාර්යා වෘතය සහිත පවුල බිහිවීමය.
ඒ අනුව නූතන පවුල බිහිවූයේ ජෛව විද්‍යාත්මක හෝ සමාජමය වුවමනාවන් නිසා නොව දේපළමය වුවමනාවක් නිසාය. ඒ අනුව නූතන පවුල බිහිවූයේම අර්බුදයන් රැසක් හා ප්‍රතිවිරෝධයක්ද සහිතවය.

නූතන පවුල හා පෞද්ගලික දේපළ

නූතන පවුල, පළමු පංති සමාජයේ සිට මේ දක්වා සමාජ ක්‍රම කිහිපයක් පසුකරමින් වසර දහස් ගණනක් තිස්සේ ක්‍රමිකව පරිණාමය වෙමින් ආ එකකි. කාලයත් සමග, ඒ ඒ සමාජ ක්‍රමවල පැවති දේපළ සබඳතා අනුව හා ඊටම අදාළ සිරිත් විරිත්වලට අනුව පවුලේ කුමන වෙනස්කම් සිදුවුවත් එහි පදනමේ ප්‍රධාන සාධකයන් කිහිපයක් නොවෙනස්ව පවතී. ඉන් ප්‍රධාන සාධක වන්නේ, එක් අතකින් මෙම නූතන පවුල පෞද්ගලික දේපළ මත පදනම්ව තිබීමත් නූතන පවුල තුළ පුරුෂ ආධිපත්‍යය හා ස්ත්‍රිය දෙවැනි පංතියේ පුරවැසියෙක් බවට පත්කර තිබීමත්ය. ඒ නිසාම වර්තමාන පවුල තුළ ‘ආදරය’, ‘සමගිය’, ‘ආධ්‍යාත්මික බැඳීම’ වැනි සංකල්ප හා මනෝභාවයන් කොතෙක් තිබුණද ඊට යටින් ප්‍රබල ප්‍රතිවිරෝධයක්ද තිබේ. ආදරය වැනි මනෝභාවයන් බිඳ වට්ටමින් නිතර පවුල තුළ මතුවන එම ප්‍රතිවිරෝධයේ පදනමද සකසන්නේ පෞද්ගලික දේපළ හා පුරුෂ ආධිපත්‍යයයේ බලපෑමය.

පවුලේ අර්බුදය කොතැනද

මීට පෙර ලිපියකින් අපි සාකච්ඡා කළ පරිදි ප්‍රාථමික පවුලේ විකාශනය තුළ එය අවිචාරවත් ලිංගික සබඳතාවල සිට ලිංගිකත්වය ක්‍රමයෙන් පටුවෙමින් දෙදෙනෙක් එක්ව වාසය කරන ‘යුගලන පවුල’ දක්වා පරිණාමය වෙමින් තිබිණි. එම වෙනස්කම් සඳහා බලපෑවේ දේපළමය සාධක නොව සමාජ විද්‍යාත්මක සාධකය. එම නිසා එකී වෙනස්වීම් ස්වභාවික විය. එහෙත් සමාජය තුළ දේපළ අවශ්‍යතා මත පෞද්ගලික දේපළ පදනම් කරගත් සමාජයක් බිහිවීමත් සමග එම සමාජයේ දේපළ සබඳතාවයන්ගේ වුවමනාව විසින් වත්මන් පවුල නිර්මාණය කරන ලදී. එවිට එය ස්වභාවික ජීවවිද්‍යාත්මක හෝ සමාජවිද්‍යාත්මක හේතු මත නොව එම සාධක යටපත් කළ දේපළ සාධකයන් මත බිහි වූවක් නිසා, ඒ තුළ ප්‍රතිවිරෝධයන් රැසක්ද ඇති විය. නූතන පවුලේදී මෑතක් වනතුරුම පවුල සඳහා දෙදෙනෙක් එකතු කිරීමේ ප්‍රධාන සාධකය වූයේ ‘ආදරය’ නොව දේපළ, වත්කම, තත්වය, ජාතිය, කුලය, වැනි සාධකයන්ය. අද පවා මෙම සාධක පවුලේ පැවැත්මට විශාල බලපෑමක් සිදුකරමින් සිටී. එබැවින් පවුල පෞද්ගලික දේපළ මත පදනම්ව පවතිනතාක් හා ඒ තුළ ස්ත්‍රියට එරෙහිව පුරුෂයාගේ ආධිපත්‍යය පවත්නාතාක් කල් සහ කාන්තාව ගේදොර පෞද්ගලික කටයුතුවලින් මුදා සමාජමය කාර්යයන්ට දායකවනතාක් හා ඒ සඳහා ගෘහස්ථ පෞද්ගලික කටයුතු සමාජමය කර්මාන්තයක් බවට පත්වෙන තෙක් මෙම ප්‍රතිවිරෝධය පවතිනු ඇත.

පවුල හා ආදරය

වර්තමාන සමාජයේ ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශ්වය අතර ‘ආදරය’ නම් මනෝභාවයක් තිබේ. එය නිශ්චිතව හඳුනාගන්නේ නම් පෞද්ගලික ලිංගික ආලය නමැති මානසික හැඟීම ඇතිවී තිබේ. සමාජය තුළ මෙම පෞද්ගලික ලිංගික කැමැත්ත නිර්මාණය වීම ආරම්භ වූයේ ප්‍රාථමික සාමූහික සමාජයේ අවසාන කාලයේ යුගලන පවුල බිහිවන අවධියේය. ඉන්පසු පංති සමාජය තුළ බිහිකළ වත්මන් පවුල තුළද ‘ආදරය’ ඇතිවිය. ආදරය නමැති බැඳීම ඇතිවී පසුව එය විවාහය මඟින් පවුල දක්වා ගමන් කළ අවස්ථාවලට වඩා ඉතිහාසය පුරාම දැකිය හැක්කේ දේපළ සාධක මත පවුල බිහිකොට පසුව එකිනෙකාට ආදරයෙන් සිටීමට සිදුවූ අවස්ථාය. කෙසේ වුවත් සමාජය තුළ පවුලේ පරිණාමයෙදී ලිංගික ආලය හෙවත් ආදරය නම් මනෝභාවය ඇතිවීම සාධනීය ලක්ෂණයකි.
අතීත පංති සමාජ ක්‍රමවලදී මෙන්ම බොහෝ විට වර්මානයේදීද ප්‍රභූ පංතියේ හා දේපළ හිමි පංතිවලදී විවාහයන් සිදුකරනු ලැබුයේ දෙමාපියන්ගේ මැදිහත්වීම මතය. එහිදී සැලකූ ප්‍රධානතම සාධක වූයේ දේපළ තත්වය හා කුලයයි. මෙයට වඩා වෙනස් තත්වයන් බොහෝ විට පැවතුණේ නිර්ධන පංති හෝ පීඩිත පවුල්වලය. යුරෝපයේ මධ්‍යතන යුගයේදී පල්ලියේ බලපෑම මත එක්තරා කාලයක් ප්‍රේම සබඳතා මත විවාහවීම වැරැද්දක් ලෙසද සලකා තිබුණි. එහෙත් විවාහ වන දෙදෙනාට පල්ලිය බලකර තිබුණේ එකිනෙකා සමග ප්‍රේමයෙන් සිටින ලෙසය. මේ තත්වය පැහැදිලි කරන එංගල්ස් එහිදී මෙවැනි තර්කයන් මතුකළේය. එනම් ‘විවාහ වූ අයගේ පරම යුතුකම එකිනෙකාට ආදරය කිරීම නම්, ආදරවන්තයන්ගේ පරම යුතුකම එකිනෙකා සමග විවාහවීම නොවේද? ’ යනුවෙනි.

පවුල හා සදාචාරය

නූතන පවුලේ සදාචාරය ලෙස සමාජයේ සම්මතයට ලක්ව ඇත්තේ කුමක්ද? ඒ පවුලේ දෙදෙනා එකිනෙකාට ආදරය කිරීමත් එකිනෙකා සමග පමණක් ජීවත්වීමත්ය. එහෙත් පළමු පංති සමාජය වූ වහල් ක්‍රමයේ සිටම විවාහයට පිටින් පවතින ලිංගික සබඳතා විශාල එකක් විය. අනියම් සබඳතා, ගණිකා වෘත්තිය නූතන පවුල සමග අත්වැල් බැඳගත් ගැටලු බවට පත්ව තිබේ. එයට හේතුව පවුල තුළ බොහෝ විට සැබෑ ආදරය නොපැවතීමත් පවුල තුළ වන ප්‍රතිවිරෝධය විවාහ ස්ත්‍රිය හා පිරිමියා යන දෙදෙනාම අතෘප්තියට පත්ව වෙනත් සබඳතා සඳහා යොමුවීමේ ඉඩ පැවතීමත්ය.
අනෙක් අතට දේපළ අවශ්‍යතා මත එනම් තම දේපළ තම දරුවන්ට පමණක් උරුමකර දීමේ වුවමනාව මත පවුල බිහිවුවද රජවරු, ප්‍රභූවරු, දේපළ හිමියන් හා සමාජයේ බලයන් අත්පත් කරගත් අය එක් ගැහැනියක් හා එක් පිරිමියෙක් අතර සම්බන්ධය යන සීමාව රැකෙන්නේ නැත. ඒ වෙනුවට ඔවුහු අතීතයේ පැවති පුළුල් කවයක් හා ලිංගික සබඳතා පැවැත්වීමේ ස්වභාවය වෙනත් ආකාරයකින් පවත්වා ගත්තෝය. රජවරුන් සතුව අන්තඃපුරයක් නිර්මාණය කර ගැනීමත් සමහර රටවල ප්‍රභූවරුන් බිරින්දෑවරු කීපදෙනෙක් ගෙන ඒමේ නෛතික හා සදාචාරමය අයිතිය ලබා ගැනීමත් ගණිකා වෘත්තිය නීතිගතව පවත්වාගෙන යාමත් ඊට නිදසුන්ය. පුරාණ වැඩවසම් චීනය තුළ ප්‍රභූවරුන්ට බිරියන් පහක් හෝ හයක් තබාගත හැකි වූ අතර බොහෝ විට ඔවුන් එම බිරියන් ලබා ගත්තේ දෙමාපියන්ට මුදල් ගෙවීමෙන් හෝ තමන්ට ලැබීමට ඇති ණයවලට හිලව් වශයෙනි. වර්තමානයේ පවා මුස්ලිම් සමාජය තුළ තමන් සතු දේපළ ප්‍රමාණය අනුව බිරින්දෑවරු කීපදෙනෙක් තබා ගැනීමේ අයිතිය පවතී. ඉන් පැහැදිලි වන්නේ පෞද්ගලික දේපළ අවශ්‍යතා මත ගොඩනැගනු ලැබූ පවුල ඔවුනටම පවත්වාගෙන ඒමට නොහැකිවීමකි.
පවුලේ විකාශනය ඉතිහාසය තුළ අධ්‍යයනය කළ යුත්තේ, ‘නූතන පවුල ඓතිහාසිකව මෙලෙසම පැවතුණේය’, යනුවෙන් වන ඉගැන්වීමේ ඇති අසත්‍යය තේරුම් ගැනීම සඳහාය. පවුල යනු ඉතිහාසය තුළ දෙවියන්ගේ නිර්මාණයක් නොවේ. එසේම පවුල සහ සමාජය බිහිවූ දා සිටම මෙලෙස පවතින්නක්ද නොවේ. පවුල යනු සමාජ පරිණාමයේදී ලිංගික අවශ්‍යතා සඳහා වර්ගයා බෝකිරීමේ ජීවවිද්‍යාත්මක අවශ්‍යතා සඳහා ගැහැනුන් හා පිරිමින් අතර ඇතිවූ සම්බන්ධතාවයන්ගේ පරිණාමයේ ඵලයකි. මෙහි විශේෂය වනුයේ නූතන පවුල පංති සමාජය සමග පෞද්ගලික දේපළමය වුවමනාවක් මත බිහිවූවක් වීමත් ඒ නිසාම එය තුළ ප්‍රතිවිරෝධයන් හා ගැටලු රැසක් පැවතීමත්ය. සමහරවිට පවුල ‘හිරගෙයක්’ බවට පත්වීම සමාජය තුළ බොහෝවිට දැකිය හැකිය. ඒ නිසාම සමාජ පරිණාමයේදී පංති හා පෞද්ගලික දේපළ වෙනස් කරනු ලබන සමාජවාදී සමාජයකදී පවුලේ වත්මන් ධනපති දේපළ ස්වභාවයද වෙනස් වී පවුලේ සැබෑ අර්ථය හා බැඳීම පමණක් ඉතිරි වන තත්වයක් නිර්මාණය වනු ඇත. ඒ තාක් පවුලේ මේ අර්බුදයන් සහිතව පවතිනු ඇත. අවසාන වශයෙන් කිවයුත්තේ නූතන පවුල සමහරුන් හඳුන්වන පරිදි සදාචාරයේ ප්‍රතිමූර්තිය නොවන බවත් එය ‘ශුද්ධවූ පවුලක්’ නොවන බවත්ය.

රජයේ උපත හා ව්‍යාප්තිය

මෙතෙක් පැවැතුණු ඉතිහාසය (ලිඛිත ඉතිහාසය) පංති සටන් ඉතිහාසයක් යැයි මාක්ස් – එංගල්ස් නිවැරදිවම පැවසූහ. එසේම මිනිසාගේ ලිඛිත ඉතිහාසය යනු රජය ව්‍යාප්ත කිරීමේ, ආක්‍රමණ හා යුද්ධ කිරීමේ ඉතිහාසයක්ද වේ. ලෝකයේ මුළු ඉතිහාසයම පිරී පවතින්නේ ආක්‍රමණවලින්, යුද්ධවලින් හා රාජ්‍ය බලය වෙනුවෙන් කළ කුමන්ත්‍රණවලිනි. එය ආරම්භ වන්නේ සමාජය තුළ දේපළ මත පංති බිහි වීමත් ඒ සමගම ඒ වෙනුවෙන් රජය නම් බලහත්කාරී ආයතනය බිහිවීමත් සමගය.
ඉතිහාසය තුළ රජය බිහිවීම ඉතාම සංකීර්ණ ක්‍රියාදාමයක් විය. එය විවිධ භූමි භාගයන් තුළ විවිධ ගෝත්‍ර තුළ විවිධ රටවල වෙනස් වෙනස් ආකාරයන්ගෙන් සිදු වන්නට ඇත. ඒතාක් ඒ හැමතැනකදීම රජය බිහි වීමේ පදනම වූයේ, රජය බිහි වීමේ හේතුව වූයේ අන් කිසිවක් නොව පෞද්ගලික දේපළ බිහිවීමය. පෞද්ගලික දේපළ බිහිවීමත් සමග සමාජය දේපළ මත ප්‍රධාන පංති දෙකකට බෙදිණි. ඒ දේපළ හිමි පංතිය හා දේපළ අහිමි පංතිය ලෙසය. මෙහිදී අප කලින්ද සඳහන් කර ඇති පරිදි රාජ්‍ය බලය ගොඩනගා ගත්තේ දේපළ හිමි පංතියය. ඒ පෞද්ගලික දේපළ ආරක්ෂා කර ගැනීමටත්, සූරාකෑමට හා තවතවත් දේපළ කොල්ලකෑමටත් දේපළ අහිමි පංතියේ ප්‍රතිවිරෝධය පාගා දැමීමටත්ය. ඒ අනුව හැම විටම දේපළ හිමි පංතිය පීඩක පංතිය වූ අතර දේපළ අහිමි පංතිය පීඩිත පංතිය විය.

රජය පංති ප්‍රතිවිරෝධයේ ප්‍රකාශකයක් ලෙස

රජය බිහි වීම පිළිබඳ ඉතාම විද්‍යාත්මක විග්‍රහයක් කරන එංගල්ස් සිය ‘පවුල පෞද්ගලික දේපළ හා රජය ඇති වූ සැටි’ නම් කෘතියේ ඒ පිළිබඳ මෙසේ සඳහන් කරයි.

“රජය පැන නැගුණේ ප්‍රතිවිරෝධී පංතිවල අරගල වළක්වාලීම සඳහාය. නමුත් ඒ අතරම එය පැන නැංගේ මේ පංතිවල ඝට්ඨනය මැදය. එය රීතියක් වශයෙන්, රජයේ මාධ්‍ය තුළින් දේශපාලනමය වශයෙන් බලපාන පංතිය බවට පත්වූයෙන් පෑගෙන පංතිය යටපත් කිරීමට හා සූරාකෑමට අලුත් අලුත් මාධ්‍යයන් ලබා ගන්නා වූ, අතිශයෙන්ම බල සම්පන්න ආර්ථික වශයෙන් ප්‍රබල පංතියේ රජය වන්නේය.”

‘පවුල පෞද්ගලික දේපළ හා රජය ඇති වූ සැටි’ (173 පිටුව)

එංගල්ස් ඉන් අවධාරණය කළේ පංති ප්‍රතිවිරෝධයන් වැළැක්වීමට රජය පැන නැගුණද එය අපංතික ආයතනයක් නොවූ බවත් එය දේපළ හිමි පංතියේ පීඩක උපකරණය වූ බවත්ය. ඒ නිසා රජය යනු පංති අතර සමාදානය සලසන සියලු පංතීන්ට සාධාරණව සලකන, අපක්ෂපාතී ආයතනයක් නොව දේපළ අහිමි පංතිය මැඩ සූරාකෑම සඳහා වූ දේපළ හිමි පංතියේ පංති උපකරණය බව පැහැදිලිය. මේ පිළිබඳව තම කෘතියේ එංගල්ස් යළිත් අවධාරණය කරයි.

“ඓතිහාසික රාජ්‍යයන් වැඩි හරියක, පුරවැසියන්ගේ අයිතිවාසිකම් කොටස් කර තිබෙනුයේ ඔවුන් සතු ධනය අනුවය. රජය ඒ අනුව අහිමි පංතියට එදිරිව හිමි පංතිය ආරක්ෂා කිරීම සඳහා වූ සංවිධානයක්ය යන්න කෙලින්ම ප්‍රකාශ කරයි.”


මෙලෙස පෞද්ගලික දේපළ මත බිහිවූ රජය පෞද්ගලික දේපළ ආරක්ෂා කිරීම සඳහාත් තව තවත් දේපොළ (සම්පත් හා භූමිය) ගොඩගසා ගැනීම සඳහාත් ඒවා යළි පැහැර ගැනීම වැළැක්වීම සඳහාත් අවිගත් බලයක් ලෙස සංවිධානය වී ලොව පුරා මිනිස් ඝාතන යුද්ධ ආක්‍රමණ විශාල ප්‍රමාණයක් කරනු ලැබීය.

ඉතිහාසයේ රාජ්‍ය වර්ග

ධනේශ්වර අධ්‍යාපනය තුළ ඉතිහාසය ඉගැන්වීමේදී බොහෝවිට රජවරුන් හා පාලකයන් උත්කර්ෂයට නැංවීම කර තිබේ. ලංකාවේ දුටුගැමුණු, මහා පරාක්‍රමබාහු, විජයබාහු ආදීන් උදාහරණ වේ. ලෝක ඉතිහාසයේද රණකාමී පාලකයින් හා රජුන් උත්කර්ෂයට නැංවූ අවස්ථා රැසක් තිබේ. රෝමයේ සීසර්, නැපෝලියන් බොනපාට්, මහා පීටර් සාර්, මහා අක්බාර් චින්ගිස්ඛාන්, මහා ඇලෙක්සැන්ඩර් එයට උදාහරණ කිහිපයක් පමණි. අනෙක් අතට ඉතිහාසය ඉගැන්වීමේදී රජවරුන්ගේ ඉතිහාසය ගමන් ගත් අයුරු උගන්වන ධනේශ්වර අධ්‍යාපනය ඉතිහාසයේ යුග පෙරළි හෙවත් සමාජ ක්‍රමයන්ගේ වෙනස් වීම් එලෙස උගන්වන්නේ නැත.
එහෙත් මාක්ස්වාදයට අනුව ඉතිහාසය තුළ මානව සමාජය ආ ගමනේදී එය සමාජ ක්‍රම හෙවත් නිෂ්පාදන මාදිලි කිහිපයක් පසුකර පැමිණ තිබේ. ඒවා නම් රජය බිහිවීමට පෙර තිබූ ප්‍රාථමික සාමූහික ක්‍රමය, ඉන් පසු රජය බිහිවීමෙන් පසු ඇති වූ වහල් හිමි ක්‍රමය, වැඩවසම් ක්‍රමය ඊට සමගාමීව ආසියාතික නිෂ්පාදන ක්‍රමය, ධනපති ක්‍රමය හා සංක්‍රමණීය අවධියක් වූ සමාජවාදී පරිවර්තන අවධිය වේ. මෙයට අදාළ රාජ්‍ය වර්ග 5ක් ඉතිහාසය විසින් බිහි කර ඇත. ඒ ». වහල් හිමි රාජ්‍යය »». වැඩවසම් රාජ්‍යය »»». ආසියාතික ක්‍රමයේ රාජ්‍ය »¼. ධනේශ්වර රාජ්‍යය හා ¼. සමාජවාදී රාජ්‍යයයි. මෙහිදී සමාජවාදී රාජ්‍යය යනු සමාජය ධනවාදයේ සිට කොමියුනිස්ට්වාදය වෙත සංක්‍රමණය වීමේදී ඒ සඳහා සංක්‍රමණීය අවධියක රාජ්‍යය වේ.

ඉතිහාසය භෞතිකවාදී ලෙස

මාක්ස්වාදයට අනුව ඉතිහාසය තුළ මෙම සමාජ ක්‍රමවල වෙනස්කම් කරනු ලැබුවේ ‘දෙවියන්’ හෝ රජවරුන් නොව, සමාජ සංවර්ධනයේ නියාමයන්ට අනුව නිෂ්පාදන බලවේගයන්ගේ දියුණුව විසිනි. ඒ අනුව සමාජයේ සෑම පිම්මක්ම සෑම සමාජ විප්ලවයක්ම නිර්මාණය කිරීමේ හේතුව වූයේ භෞතික හේතුවකි. ඒ නිෂ්පාදනය හා නිෂ්පාදන උපකරණයන්ගේ සංවර්ධනයයි. නිෂ්පාදන උපකරණයන්ගේ සංවර්ධනය හෙවත් නිෂ්පාදන බලවේගවල වර්ධනය විසින් සෑම විටම ඊට ගැලපෙන නිෂ්පාදන සබඳතාවක්ද නිර්මාණය කරන අතර එම නව සබඳතාවය නව සමාජ ක්‍රමයකට උපත ලබා දී ඇත. සියලු රජවරුන්, යුද වීරයන් හා ප්‍රභූන් විසින් සිදුකර ඇත්තේ එකී සමාජ සංවර්ධනයට අනුව තමන්ට ඉතිහාසය තුළ පැවරෙන කාර්යය ඉටුකිරීමය. රජුන් හෝ වීරයන් විසින් ඉතිහාසය නිර්මාණය කරනවා නොව ඉතිහාසය විසින් රජුන් හා වීරයන් නිර්මාණය කරන බව මාක්ස්වාදය පවසන්නේ මේ අනුවය.
ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී හා එහි සිදුවීම් ඉගෙන ගැනීමේදී ඉහත පදනම මත පිහිටා අධ්‍යයනය කිරීම ඉතිහාසය නිවැරදිව වටහා ගැනීමට උපකාරී වේ.
ඉතිහාසය සංයුක්ත විෂයකි. ඉතිහාසයේ සෑම සිදුවීමක්ම, සෑම සොයාගැනීමක්ම එකිනෙකට බැඳුණු පැහැදිලි හේතු සාධක මත සිදුවන ඒවා වේ. රාජ්‍ය වර්ග වෙනස් වීම, විද්‍යාවේ තාක්ෂණයේ බිහිවීම, කලාවේ වර්ධනය, ආගම බිහිවීම හා ඒවායේ වෙනස්කම්, දේශපාලනයේ වෙනස්කම් ආදී සියල්ලම සමාජ සංවර්ධනයේ වුවමනාවන් සමඟ බැඳුණු හා එකිනෙකට අන්තර් සම්බන්ධ දේවල් වේ. ඒ නිසා ඉතිහාසය ඉගෙන ගත යුත්තේ, මේ සියල්ල වෙන වෙනම මෙන්ම එකටද අධ්‍යයනය කරමිනි.
කෙසේ වෙතත් සමාජය තුළ දේපළ මත රාජ්‍ය බිහිවීම සෑම තැනකම එක ආකාරයකින් සිදු වී නැත. එක් එක් රටවල භූමි ප්‍රදේශ තුළ මෙය විවිධාකාරයෙන් සිදුවූ බව පැහැදිලිය. ඒ සඳහා සෑම රටකම ඉතිහාස කතන්දර, ජනශ්‍රැතියේ කථා හා ‘නිල’ ලෙස පිළිගත් ඉතිහාස කතාද ඇත. එබැවින් ලොව පුරා රාජ්‍ය බිහිවූ ආකාරය හා එය පැතිර ගිය ආකාරයද වටහා ගැනීම වැදගත්ය.

රජය ව්‍යාප්ත වීමේ ඉතිහාසය

පැරණි ප්‍රාථමික සාමූහික ක්‍රමය බිඳවැටී, ලොව පුරා එක රැයකින් රජය බිහිවූයේ නැත. සමාජ සංවර්ධනය යනු එවැන්නක් නොවේ. නැතිනම් දෙවියන්ගේ අදෘශ්‍යමාන බලයක් විසින් එක් රැයකින් රජය මැව්වේද නැත. හැමවිටකම නැතිනම් බොහෝවිට සිදුවන්නාක්මෙන් රජය බිහිවූයේ සමාජ සංවර්ධනයේ ඉදිරියෙන්ම සිටි ගෝත්‍රික කණ්ඩායම් තුළිනි. ඉන්පසු සිදුවූයේ පෞද්ගලික දේපළ අත්පත්කර ගැනීම සඳහා එම ‘රජය’ බලහත්කාරය යොදා ගම්බිම් ආක්‍රමණය කරමින් හෝ පැතිරී යමින් තැනින් තැනට ව්‍යාප්ත වීමය. රජයේ ව්‍යාප්තිය කොතරම් සංකීර්ණද යත් රජය බිහිවී සියවස් ගණනාවක් ගතව තිබියදීත් තවමත් ‘රජය’ නැමති යාන්ත්‍රණය එහි හරයෙන් ක්‍රියාත්මක නොවන ගෝත්‍රික ජන කණ්ඩායම් රැසක් ලොව පුරා සිටී. ඇමරිකානු මහාද්වීපයේ ඇමසන් වනාන්තරය තුළ, ආසියාවට අයත් නිව්ගිනියා දූපත්වල තවමත් රජයේ ව්‍යාප්තියට හසු නොවූ හා රජය බිහිකර නොගත් ගෝත්‍ර සිටීම මීට උදාහරණ වේ.
ලංකාවේ ලිඛිත හා නිල ඉතිහාසයට අනුව ගත්විට ලංකාවේ රජයේ බිහිවීම ආරම්භ වන්නේ ක්‍රි.පූ. 06වැනි සියවසේ ඉන්දියාවේ සිට මෙහි පැමිණි ඉන්දු යුරෝපීයයන් ගෙනි. පුරාවිද්‍යාත්මක සාධක අනුව ඒ වන විටත් ලංකාව තුළ පැවති ජනාවාසකරණ තුළ රජය බිහිවීමේ ලක්ෂණ පහළ වී තිබෙන්නට ඇති වූවද නිශ්චිත ලෙස රජය (රජු) අපට හමුවන්නේ ‘විජයගේ පැමිණීම’ ලෙස ඉතිහාසගතව ඇති ඉන්දු යුරෝපීයන්ගේ පැමිණීම සමගය. අපේ රටේ ලිඛිත ඉතිහාසය ආරම්භ වන්නේද ඒ සමගය.

විනාශය මත ගොඩනැගීම

ලෝක ඉතිහාසය දෙස බලන විට රජයේ ව්‍යාප්තිය යනු බලහත්කාරී හා විනාශකාරී ක්‍රියාදාමක් බව පෙනේ. පෞද්ගලික දේපළ ඇතිවීමත්, නැතිනම් දේපළ පෞද්ගලිකව අත්පත් කරගැනීමේ හැකියාව ඇතිවී එසේ අත්පත් කරගැනීමත් සමග පෞද්ගලික දේපළ මිනිසාගේ චින්තනය තුළ මහා විපර්යාසයක් කළ බව පෙනේ. එතෙක් පැවති සාමූහික චින්තනය වෙනුවට, බෙදාහදාගෙන කෑමේ සමාජ සම්ප්‍රදාය වෙනුවට, කිසිවකු පීඩාවට පත් නොකිරීමේ සම්ප්‍රදාය වෙනුවට දේපළ සඳහා සියල්ලන් පීඩාවට පත්කොට යටපත් කරගැනීමේ උන්නතිකාමී අභිලාෂය මතුවිය.
පෞද්ගලික දේපල මිනිසාගේ ආශාවන් උද්දීපනය කළ අතර තව තවත් දේපළ ගොඩ ගැසීමට ඔහු පෙළඹවීය. එහිදී දේපළ කොල්ලකමින් ගොඩගැසීම සඳහා බලය අවශ්‍ය විය. එසේම බලය පවත්වාගැනීම සඳහා දේපළ අවශ්‍ය විය. එනම් ධනය සඳහා බලය යෙදවීම හා බලය සඳහා ධනය යෙදවීම සිදුකෙරිණි. අසල්වැසි ගෝත්‍ර යටපත් කරමින් භූමිභාග අත්පත්කර ගනිමින් එහි දේපළ කොල්ලකමින් ‘රජය’ නැවුම් භූමි කරා ව්‍යාප්ත විය. විටෙක එය ආක්‍රමණකාරී යුද්ධවලින් පිරුණ ප්‍රචණ්ඩ ක්‍රියාවලියක් වූ අතර තවත් විටෙක ප්‍රචණ්ඩත්වය මතුපිටට නොපෙනෙන එහෙත් බලය යොදා කරන ක්‍රියාවලියක් විය. දුර්වල ගෝත්‍ර හා ජනාවාස ප්‍රබලයින් ඉදිරියේ කිසිදු විරෝධයකින් තොරවම යටත් වූ අවස්ථා බොහෝ තිබිණි. ඕස්ටේ‍රලියාවේ ආදිවාසී අබොර්ජින්වරුන් විනාශකරමින් එහි රජය බිහිකරන ලද්දේ බි්‍රතාන්‍ය ප්‍රමුඛ යුරෝපා ජාතීන් විසිනි. ඒ 18වැනි සියවස තරම් මෑතදීය. එසේම ඇමරිකානු මහාද්වීපයේ ජීවත්වූ රතු ඉන්දියානු ගෝත්‍රික ජනයා ඔවුන්ගේ ගම්බිම්වලින් පලවා හරිමින්, ශිෂ්ටාචාර විනාශකරමින් මහා මිනිස් ඝාතන මගින් ඇමරිකාවේ වත්මන් රජය ගොඩනගනු ලැබුවේ යුරෝපියන් විසිනි. රාජ්‍ය ගොඩනැගීම පිටුපස ඇත්තේ මහා ජන විනාශයක කථාවක් බව ඉන් පැහැදිලිවේ.

රජයේ වෙනස්කම්

රජය හැමතැනම සමාන ලෙස එකවිට බිහි නොවුණා සේම එක් එක් භූගෝලීය කලාප තුළ බිහිවූ රජයේ හැඩහුරුකම්ද වෙනස්කම් සහිත විය. ග්‍රීසිය හා පසුව රෝමය පදනම්කරගත් යුරෝපයේ රජය ආරම්භයේදී එක් අතකින් වහල් හිමි රජය වූ අතර ඒ සමගම ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නගමින් රාජ්‍ය ආකෘතියක් වූ ප්‍රජාතන්ත්‍රවාදයට පදනමද දැමීය. ආසියාවේ රජය ආරම්භයේදී ඉන්දියාවේ සමහර තැන්වල හා ලංකාවේද ආසියාතික ක්‍රමයේ රජයක් (වහල් හිමි රජයට හෝ වැඩවසම් රජයට වෙනස්) බිහිවූ අතර චීනය, ජපානය වැනි භූමි කලාපවල වහල් හිමිකම හා වැඩවසම් ලක්ෂණ මිශ්‍ර ස්වරූපයක් රජය තුළ දක්නට ලැබිණි. කෙසේ වෙතත් හරයෙන් ගත් විට අප මීට කලින්ද සඳහන් කළ පරිදි රාජ්‍ය වර්ග කිහිපයක් ඉතිහාසයේ දැකිය හැකි විය. එහිදී ආරම්භක රාජ්‍ය වර්ගය වූයේ වහල්හිමි රජය හෝ ආසියාවේදි ආසියාතික ක්‍රමය වේ. ඉන්පසු වැඩවසම් රාජ්‍ය හා ධනවාදී රජය හා අවසානයේ සමාජවාදී රාජ්‍යයද ඉතිහාසය තුළ බිහිවී තිබේ.

රජය හා ඉතිහාසය

ලෝකයේ ලිඛිත ඉතිහාසය ආරම්භ වන්නේ බොහෝවිට රජය බිහිවීමත් සමගය. ඉතිහාසය ලියූ හෝ ඒ සඳහා මූලාශ්‍ර සකස් කළ බොහෝදෙනා එක්කෝ රජ්‍ය අනුග්‍රහය ලැබූ ආගමික නායකයෝ වූහ. නැතිනම් එකල රාජ්‍ය අනුග්‍රහය ලැබූ ලේඛන ගතකරන්නෝ වූහ. ඒ නිසාම ලෝකයේ ලිඛිත ඉතිහාසය යනු බොහෝ විට රාජ්‍යය විසින් නැතිනම් පාලකයන් විසින් ලියන ලද්දක් විය. එම ඉතිහාසය තුළ ඉතිහාසයේ සැබෑ නිර්මාණකරුවන් වන වැඩකරන ජනයා නොසලකා හැර රජුන්, ප්‍රභූන්, වීරවරුන් ඉතිහාසය නිර්මාණය කරන්නන් බවට අර්ථකථනය කර තිබේ. ඒ නිසාම දැනට ලොව පවතින නිල ඉතිහාස කථා බොහෝ විට වැරදි හා ප්‍රබන්ධ කරන ලද ඒවා වේ.
කෙසේවෙතත් රජය බිහිවීමත් සමග පෞද්ගලික දේපළ වර්ධනය කරගැනීමේ වුවමනාවත් සමග වඩ වඩාත් වැඩියෙන් නිෂ්පාදනය කිරීමේ වුවමනාත් සමග සමාජ සංවර්ධනයට එක් අතකින් ගතිකත්වයක් ලැබිණි. හරියටම කියන්නේ නම් පෞද්ගලික දේපළ හා රජය ඉතිහාසයේ ගමන වේගවත් කරමින් ඊට ගතිකත්වයක් ලබා දෙන ලදී. එය රජය බිහිවීමෙන් සමාජ සංවර්ධනයට ලැබුණු වාසිය විය. එහෙත් ඒ අතරම ඉතිහාසය තුළ එම ගතිකත්වය රජය විසින් ඇතිකරනු ලැබුවේ ඉතාම අමානුෂිය ලෙස දේපළ අහිමි විශාල ජනතාවක් නිර්මාණය කරමින් ඔවුන් පාගා පීඩාවට ලක්කරමින් හා විවිද ආක්‍රමණ මගින් මහා මිනිස් ඝාතනයන්ට මග පාදමිනි. රජය බිහිවීමත් සමග යුද්ධද බිහිවිය. රටවල් ආක්‍රමණය කිරීම ඉතිහාසයේ මුල් වකවානුවේ සුලබ දේ විය. ඒ අතර රජය තුළ ඉතිහාසය ඉදිරියට ගියේ මහා මිනිස් ඝාතන, ලේ වැගිරීම්, ආක්‍රමණ, යටත්කිරිම් හා පීඩාවන් මගිනි.

වීරකථා ඉතිහාසය

අපට ඉතිහාසයේ හමුවන වීරකථා බොහොමයක්ම ලේ වැකි ආක්‍රමණ වීරත්වයට නැංවූ කථා විය. ග්‍රීසියේ ඇතැන්ස්, ස්පාටා වැනි පෞර රාජ්‍යයන් විසින් ගෙන ගිය යුද්ධ පදනම් කරගත් හෝමර්ගේ ‘ඉලියඞ්’ හා ‘ඔඩෙසි’ නම් වීර කාව්‍ය තුළත් ඉන්දියාවේ ‘මහා භාරතය’ ‘රාමායනය’ වැනි වීර කාව්‍ය තුළත් වීරත්වයට යටින් ඇත්තේ ආක්‍රමණ ඝාතන හා ලේ වැගිරීම්ය. ඒ අනුව රජය බිහිවීමෙන් පසු අප දකින්නේ, එම රජයේ ක්‍රියාවන් සාධාරණය කරමින් රජය උත්කර්ෂයට නංවමින් හා ඊට වීරත්වයක් ආරෝපණය කරමින් ඉතිහාසය ලියනු ලැබූ බව හා ඊට සමගාමීව සාහිත්‍යයක්ද බිහිවූ බවය.
ඉතිහාසය යනු වියුක්ත දෙයක් නොවේ. එය රජය, දේශපාලනය, කලාව, විද්‍යාව, දර්ශනය, තාක්ෂණය වැනි සියලු විෂයන් ඒකාබද්ධ කරගනිමින් වර්ධනයක් වූවක් විය. එබැවින් ඉතිහාසය සංයුක්තව වටහාගන්නේ කෙසේද යන්න විමසා බැලිය යුතුව ඇත.

දර්ශනයේ හා විද්‍යාවේ ඉතිහාසය

වර්තමානයේ අප අතර පවතින බොහෝ ක්ෂේත්‍රයන් එනම් රජය, දේශපාලනය, දර්ශනය, විද්‍යාව, කලාව, ආගම ආදී සියලුම විෂය ක්ෂේත්‍රයන් හා මිනිස් නිර්මාණ ඉතිහාසය තුළ බිහිවී වර්ධනය වූයේ එකිනෙකින් වියුක්තව හෝ අහම්බීය ලෙස නොවේ. සියලු දේ මානව සමාජයේ පොදු ගමන්මඟ තුළ, නිෂ්පාදන බලවේගයන්ගේ සංවර්ධනයට අනුව සංයුක්ත ක්‍රියාවලියක කොටස් ලෙස වර්ධනය වූ ඒවාය. එබැවින් ඉතිහාසයේ සෑම සිදුවීමක්ම, සෑම නිර්මාණයක්ම, සෑම සොයා ගැනීමක්ම, සෑම දාර්ශනික සංකල්පයක්ම විෂය මූලික තත්වයක් තුළ, සංයුක්ත ක්‍රියාවලියක් තුළ සිදුවූ දේවල්ය. අප ඉතිහාසයේ වෙනස් වෙනස් සිදුවීම් හා ක්ෂේත්‍ර එකම සංයුක්ත තලකය තබා කථාකරන්නේ ඒ නිසාය.
ඉතිහාසය තුළ රජය හා දේශපාලනය, ආගම බිහිවූවක් මෙන්ම දර්ශනයට හා විද්‍යාවටද ඉතිහාසයක් තිබේ. ඒවාද හුදු පුද්ගල දක්ෂතා හෝ අහම්බ නොව සමාජ සංවර්ධනයට අනුරූපීව සිදුවූ දේවල්ය.

දර්ශනයේ පැන නැගීම

මානව සමාජය තුළ පළමු පංති සමාජය බිහිවීමට පෙර මිනිසුන් තුළ අදහස්, සංකල්ප හා මත තිබුණද දර්ශනය නමින් වූ දැනුමේ ක්ෂේත්‍රයක් අපට හමුවන්නේ නැත. ඊට හේතුව මීට පෙරද අප විසින් පැහැදිලි කරනු ලැබ තිබේ. දර්ශනය බිහිවන්නේ ලෝකයේ බිහිවීම, පරිසරයේ ස්වභාවය හා පැවැත්ම පිළිබඳව තේරුම් ගැනීමට මිනිසා දැරූ උත්සාහය තුළය. එහිදී දාර්ශනික ලෙස කල්පනා කරමින් යම් යම් පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන (ඉතා ප්‍රාථමිකව වුවද) කරමින් ඒ වෙනුවෙන්ම සිතන පිරිසක් අවශ්‍ය විය. ඔවුන් අප හඳුනාගන්නේ දාර්ශනියකයන් ලෙසය. ඔවුහු නිෂ්පාදන ක්‍රියාවලියට දායක නොවූහ. එවැනි අයට දාර්ශනික සංකල්ප තුළ කිමිදෙමින් යම් යම් මත පළකරමින් ඒ ක්ෂේත්‍රය වෙනුවෙන් කැපවීමට හැකි වූයේ පංති සමාජය තුළ නිර්මාණය වී තිබූ ‘අතිරික්ත ධනය’ නිසාය. එම සමාජ ‘අතිරික්ත ධනයෙන්’ යැපෙමින් තම කාර්යයේ නියැලීමට ඔවුනට හැකි විය. ඒ නිසාම අපට දාර්ශනිකයන් හමුවන්නේ පංති සමාජය ආරම්භ වූවාට පසුවය.
දර්ශනයේ ප්‍රාථමික අවධිය
‘අප ජීවත්වන ලෝකයත් ඒ හා බැඳුණු සොබාදහමේ සංසිද්ධීනුත් මෙසේ වන්නේ ඇයි’ යන පැනයට පිළිතුරු සෙවීමට ගත් උත්සාහය තුළ දර්ශනය ආරම්භ විය. එවැන්නක් ආරම්භ වූයේ මිනිස් චින්තනය තුළය. එනම් මිනිසා තුළ අන් සත්වයන්ගෙන් වෙනස්ව සිතන ඉන්ද්‍රිය හෙවත් මොළය, චින්තනමය හැකියාව දක්වා දියුණු වූ මොළයක් ලෙස සංවර්ධනය වූ නිසාය. අනෙක් අතට ඔහු සොබාදහමට යටත්ව ඉන් යැපෙමින් සිටිනවා වෙනුවට නිෂ්පාදනය මගින් සොබාදහම වෙනස් කිරීම ඇරඹූ සත්වයා වූ නිසාය. නිෂ්පාදනය සඳහා සොබාදහම තේරුම් ගැනීමට ඔහුට බල කෙරිණි. දර්ශනයේ මෙන්ම විද්‍යාවේද පදනම වූයේ එයයි.
අපට ලොව හමුවන සියලු ප්‍රාථමික දාර්ශනිකයන් හමුවන්නේ ක්‍රි.පූ. 06වැනි සියවස පමණ කාලයේය. යුරෝපයේ අපට හමුවන බොහෝ දාර්ශනිකයන්ගේ නිජබිම වූයේ ග්‍රීසියයි. මන්ද එවකට ග්‍රීසිය සංවර්ධනයේ ඉදිරියෙන් සිටි ප්‍රදේශයක් වීමය. නිෂ්පාදන බලවේග වේගයෙන් වර්ධනය වූයේ එම ප්‍රදේශවලය. එහිදී අපට හමුවන විශේෂ දාර්ශනිකයන් වූයේ තේල්ස් (ක්‍රි:ප්‍ර: 624-534), අනෙක්සි මැන්ඩර් (ක්‍රි:පූ: 610-546), ඇනෙක්සි මිනස් (ක්‍රි:පූ: 585-525) පෛතගරස් (ක්‍රි:පූ: 571-497) හෙරක්ලීටස් (ක්‍රි:පූ: 535-470) ආදීන්ය. මේ කාලයේම විසූ සොක්‍රටීස් දේශපාලන දාර්ශනිකයෙක් විය. මෙම දාර්ශනිකයන්ගෙන් සමහරු විඥනවාදීන් වූ අතර සමහරු භෞතිකවාදීහු වූහ. එහෙත් එම භෞතිකවාදයද ප්‍රාථමික ලක්ෂණ සහිත පාරභෞතිකවාදී විය. එය එසේ වූයේ ඒ වන විට ලෝකයේ හරයන් තේරුම් ගැනීමට තරම් විද්‍යාව දියුණු වී විද්‍යාත්මක උපකරණ නිර්මාණය වී නොතිබීම නිසාය.

භෞතිකවාදී දාර්ශනික මත

මෙහිදී තේල්ස් ග්‍රාම්‍ය භෞතිකවාදියෙක් විය. ඔහුගේ අදහස්වල සාරාංශය වූයේ ‘සියල්ල ජලයෙන් නිර්මාණය වී තිබේ’ යන්නය. මීට සමාන මතයක් දැරූ ඇනෙක්සි මැන්ඩර් ලෝකය නිර්මාණය වූයේ වාතය හෝ ජලය මගින් බව පැවසීය. ඇනෙක්සි මිනිස්ගේ අදහස වූයේ වාතය මූලික බවය. ගණිතය පිළිබඳ ආරම්භක චින්තකයා ලෙස සැලකෙන පෛතගරස් සියල්ල සංඛ්‍යාවලින් නිර්මාණය වී තිබෙන බවත්, ගණනය කළ හැකි බවත් පැවසීය. හෙරක්ලීටස්ගේ අදහස වූයේ සියල්ල ගින්නෙන් ඇතිවී තිබෙන බවය. මීට මදක් පසුකාලයේ ජීවත් වූ ග්‍රීක ජාතික ඩිමොක්‍රිටස් (ක්‍රි:පූ: 400-370) පැවසුවේ සියල්ල ඉතා කුඩා අංශුවකින් නිර්මාණය වී ඇති බවය. මෙය පරමාණුව නමින් හඳුන්වන ලදී. මෙලෙස එදා පැවති විද්‍යාවේ හා නිෂ්පාදන උපකරණවල ඉතා පහළ මට්ටම තුළ සිටි දාර්ශනිකයෝ විඥානවාදී අදහස්ද සහිතව භෞතිකවාදී චින්තනයකට මුල පිරුහ.

පෙරදිග දාර්ශනිකයෝ

ක්‍රි.පූ. 6වැනි සියවස කාලයේදීම පෙරදිග දාර්ශනිකයන් රැසක් අපට හමුවන්නේ, ඉන්දියාව හෙවත් භාරතය පදනම් කරගනිමිනි. පෙරදිග (ඉන්දියානු) දර්ශනයේ විශේෂය වූයේ එය ජීවිතයේ ආධ්‍යාත්මික පැත්තට වැඩි නැඹුරුතාවයක් දැක්වීමය. ක්‍රි.පූ. 06වැනි සියවස වන විට ඉන්දියාව එක් අතකින් කුඩා කුඩා රාජ්‍ය ගණනාවකට කැඩී (සොළොස්මහ ජනපද ආදී ලෙස) දුර්වලව පැවති අතර, අනෙක් අතට රජයට හා සමාජයට ඉහළින් බ්‍රාහ්මණ ආගම බලවත්ව පැවතියේය. මේ නිසා පැවති අරාජිකත්වය, අර්බුද හා රජය බ්‍රාහ්මණ මැවුම්වාදයෙන් නිදහස්කර ගැනීමේ වුවමනාවත් සමග ක්ෂත්‍රිය කුමාරවරුන් රැසක් විසින් අධ්‍යාත්මක සුවය සෙවීමටත් කිසියම් දහමක් නිර්මාණය කර ගැනීමටත් උත්සාහ කරන ලදී. මේ නිසාම පෙරදිග දර්ශනවාදීන් තුළ විඥානවාදී හා ආගමික නැඹුරුව වැඩිවිය. ගෞතම සිද්ධාර්ථ (බුදුන්) පවා මෙලෙස දාර්ශනික ප්‍රවේශයක් සෙවීමට උත්සාහ කළ අයෙක් විය.
පෙරදිග (ඉන්දියානු) දාර්ශනිකයන් අතර ප්‍රචලිත පිරිස ෂඞ් ශාස්තෘවරුන් ලෙස නම් කරන පිරිසය. ඔවුන් නම්, සංජය බෙල්ලට්ඨ පුත්ත, අජිත කේශකම්බල, පූර්ණ කස්සප, මක්ඛලී ගෝසාල, පකුධ කච්ඡායන, නිගණ්ඨනාථ පුත්ත යන අයයි. මෙහිදී සමහරු විඥානවාදී වූ අතර, ඇතැම්හු පාර භෞතිකවාදීහු වූහ. පකුධ කච්ඡායන එවැන්නෙකි. පැරණි වෛදික ආගමික දර්ශනයට පසු මේ කාලයේ බිහිවූ දාර්ශනික මතවාදය හැඳින්වූයේ චාර්වක දර්ශනය ලෙසය. මේ අතරම ජෛන හා බෞද්ධ දර්ශනයද ආගමික දර්ශනයන් ලෙස බිහිවිය.
මේ අනුව පෙනී යන්නේ ඉතිහාසයේ ගමන්මඟ තුළ පංති සමාජය බිහිවීමෙන් පසු සමාජ සංවර්ධනය සිදු වූ භූමි, කලාව තුළ බටහිර ලෝකයේ ග්‍රීසිය පදනම් කරගනිමිනුත්, පෙරදිග කලාපයේ ඉන්දියාව පදනම් කරගනිමිනුත් ක්‍රි.පූ. 06වැනි සියවස වන විට දර්ශනවාදීන් නිර්මාණය වෙමින් දර්ශනයන් බිහිවූ බවය. එහිදී පෙරදිග රටවල දර්ශනය වඩාත් ආධ්‍යාත්මික, ආත්මවාදී හා විඥානවාදී ස්වරූපයක් ගනිද්දී විද්‍යාවේද දියුණුවත් සමග බටහිර දර්ශනය භෞතිකවාදී දර්ශනයකට පදනම දැමීය. මේ සමග මීට සමගාමීව විද්‍යාවද වර්ධනය විය.
දර්ශනයේ ඉතිහාසය සමග විද්‍යාවේ ඉතිහාසය තදින් බැඳී තිබේ. විද්‍යාව දර්ශනයටම සේවය කළ අතර, දර්ශනය විද්‍යාවේ දියුණුවට සේවය කළේය. මේ දෙකම නිෂ්පාදන බලවේගවල සංර්ධනය විසින් ඉල්ලා සිටි ඓතිහාසික අවශ්‍යතාව ඉටුකිරීමක් විය.

විද්‍යාව බිහිවීමේ ඓතිහාසික පදනම

ලෝකයේ පංති සමාජය බිහිවීමෙන් පසු ඇරඹි පෞද්ගලික දේපළ පදනම් කර ගත් හා හුවමාරු වෙළඳපොළ පදනම් කර ගත් නිෂ්පාදන ක්‍රියාවලියත් සමග දර්ශනය හා සමගාමීව විද්‍යාවද වර්ධනය විය. විද්‍යාව හා තාක්ෂණය ඉතිහාසය තුළ වර්ධනය වූයේ එකිනෙක හා අතිනත ගනිමිනි. මිනිසා සිය නිෂ්පාදන වුවමනාවන් සඳහා සොබා දහම මෙල්ලකර එය තම පරිභෝජන අවශ්‍යතාවයන් සඳහා යොදා ගැනීම වැඩිකිරීමත් සමග සොබා දහම ජය ගැනීමට මිනිසාගේ ඉන්ද්‍රියන් (දෑත් හා දෙපා) පමණක් ප්‍රමාණවත් නොවීය. මිනිසා යනු සත්ව ලෝකයේ ශරීර ශක්තිය අතින් දුර්වල සත්වයෙකි. ඔහුට විශාල බර උසුලාගෙන යාමට, වේගයෙන් දිගු දුරක් දිවීමට, දිගු දුරක් ජලයේ පිහිනීමට, අහසින් යාමට හැකියාව නොවීය. එහෙත් ඔහුට ඒ සියල්ල අතර චින්තන ශක්තිය ඇති තාර්කික ගුණය ඇති ඉන්ද්‍රිය වන මොළයක් තිබුණි. මේ තත්වය මත මිනිසා තම ශරීර ශක්තියේ හා හැකියාවේ සීමා අභිබවා ගියේ උපකරණ නිෂ්පාදනය කර ගැනීමෙනි. ඒ සඳහා තාක්ෂණය අවශ්‍ය වූ අතර දැනුම විද්‍යාත්මක දැනුම අවශ්‍ය විය. එබැවින් අප ජීවත්වන සමාජයේ ඉතිහාසය සිට සොයාගත් විද්‍යාත්මක දැනුම හා තාක්ෂණික උපකරණ යනු හුදු පුද්ගල දක්ෂතා මත හෝ අහම්බ හේතු මත නිර්මාණය වූ දේවල් නොව ඒ ඒ මොහොතේ සමාජමය නිෂ්පාදනයේ අවශ්‍යතාවයට අනුව නිපදවන ලද දේවල්ය.

විද්‍යාවේ පදනම කුමක්ද?

විද්‍යාව යනු බාහිර බලවේගයක් විසින් මිනිසා වෙත ලබා දුන් දෙයක් නොවේ. විද්‍යාත්මක දැනුම බිහිවූයේ මිනිසාගේ මොළයේ රසායනික ක්‍රියාකාරිත්වය මතය. ඔහුගේ චින්තනය තුළය. ඒ සඳහා පදනම සකස් වූයේ අහම්බ සිදුවීම් නොව නිෂ්පාදන ක්‍රියාවලියේ අවශ්‍යතාවයන්ය. එබැවින් විද්‍යාවේ පදනම නිෂ්පාදනය වේ. නිෂ්පාදනය සඳහා හුවමාරුව හා විදෙස් වෙළඳම සඳහා ඔහුට සොබා දහමේ අභියෝග රැසක් ජය ගත යුතු විය. විද්‍යාව හා තාක්ෂණික උපකරණ ඒ සඳහා මිනිසාට සහාය විය. මිනිසා තුළ විද්‍යාව නිර්මාණය වූයේ ඒ අනුවය.
පන්ති සමාජයට පෙර ප්‍රාථමික සමාජයේදී පවා විද්‍යාත්මක දැනුමේ මූලධර්ම මිනිසා නිෂ්පාදනයට යොදා ගත් අතර එලෙස යොදා ගත්තේ විද්‍යාත්මක අවබෝධ කර ගැනීමට වඩා ප්‍රායෝගික අත්දැකීම තුළය. ප්‍රාථමික සමාජයේ මිනිසා නිපදවූ දුන්න හා ඊතලය දියණු උපකරණයක්, අවියක් විය. එහි ක්‍රියාකාරී මූලධර්මය වූයේ චලිතය හා ක්‍රියා හා ප්‍රතික්‍රියාය. සෑම ක්‍රියාවකටම ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇති බව පිටතින් බලයක් යෙදූවිට යම් වස්තුවක් චලනය කළ හැකි බව පසුකලෙක විද්‍යාත්මකව නිව්ටන් විසින් හෙළි කළද එම විද්‍යාව නොදැන පවා ඊට අනුව උපකරණ බිහිකර ගැනීම මිනිසා විසින් සිදුකර තිබුණි. ඒ, නිෂ්පාදනයේ අවශ්‍යතාවයන්ට අනුවය.
කෙසේ වෙතත් විද්‍යාව දැනුමක් ලෙස බිහිවී වර්ධනය වූයේ පන්ති සමාජය ඇරඹීමෙන් පසුවය. හුවමාරුව සඳහාත්, පසුව වෙළඳාම සඳහාත් වැඩි නිෂ්පාදනයක් අවශ්‍ය වීමත්, මිනිසාගේ අවශ්‍යතා පුළුල් වීමත් සමග ඒවා ඉටුකර ගැනීමේදී සොබා දහමේ ක්‍රියාකාරිත්වයේ රහස් හෙවත් සැබෑ හේතු සොයා ගැනීම අත්‍යාවශ්‍ය වූ අතර විද්‍යාව විසින් එය ඉටුකරන ලදී.

විද්‍යාවේ පළමු සොයා ගැනීම්

විද්‍යාව හා විද්‍යාත්මක උපකරණවල සොයා ගැනීම් පරීක්ෂණය ක්‍රියාවලියක් ලෙස වර්ධනය වෙමින් තිබේ. ඒවා සරල ප්‍රාථමික අවස්ථාවේ සිට සංකීර්ණ දියුණු අවස්ථා දක්වා වර්ධනය වෙමින් පවතින අතර ඉදිරියටද වර්ධනය වේ. උදාහරණ ලෙස ගත් විට 17වැනි සියවසේ බිහිවූ නිව්ටෝනියානු භෞතිකවාදය පසුව අයිස්ටයින් විසින් වර්ධනය කළ අතර එය තවදුරටත් වර්ධනය වෙමින් පවතී.
විද්‍යාත්මක දියුණුවේ සොයා ගැනීම්වලට අමතරව තාක්ෂණය හා උපකරණ බිහිවීමද ඉතිහාසය තුළ අපූර්ව නිමාවකි. ලෝකයේ ගොඩබිම ගමනාගමනයට අත්‍යාවශ්‍යම උපරකරණයක් හෙවත් මෙවලමක්ව පවතින ’රෝදය’ මිනිසාගේ විශිෂ්ට සොයා ගැනීමකි. ඈත අතීතයේ සිට භාණ්ඩ ප්‍රවාහනය හා මිනිසුන් ප්‍රවාහනය වේගවත් කිරීමේදී විශේෂයෙන්ම නූතන ඉතාම වේගවත් හා දියුණු ප්‍රවාහනයේ පරිණාමය වෙමින් ආ මෙවලම වූයේ රෝදයයි. රෝදය සොයා ගැනීම එකල විප්ලවීය සොයාගැනීමක් විය.
සමාන්‍යයෙන් රෝදය නිර්මාණය කර ගැනීමේ ගෞරවය හිමිවන්නේ ක්‍රි.පූ. 5000 – 6000 අතර කාලයේ පැවති මෙසපොටේමියානු (ඉරාන – ඉරාක) ශිෂ්ටාචාරයටය. විශාල ඉදිකිරීම් සඳහා බර වස්තුන් (ගල්, ලී කඳන්) ගෙනයාමේදී මතු වූ දුෂ්කරතාවය ජය ගැනීම සඳහා නිපදවා ගත් මෙවලම වූයේ රෝදයයි. එය අද දක්වාම විකාශනය වෙමින් පැවත එන අතර එහි හැඩය වර්ගය කුමක් වුවත් එය රෝදයක් ලෙස පැවතීම විසින් රෝදයේ වැදගත්කම පැහැදිලි වේ.

අඳුරු සමයේ විද්‍යාව

විද්‍යාව හා විද්‍යාත්මක උපකරණ විප්ලවීය ලෙස වර්ධනය වූයේ ධනවාදයේ බිහිවීමත් සමගය. එහෙත් ඉන් අදහස් වන්නේ ඊට පෙර විද්‍යාවක් නොතිබුණ බව නොවේ. එහෙත් යුරෝපයේදී ක්‍රිස්තියානිය රාජ්‍ය ආගම බවට පත්වීමෙන් පසු ඇරඹි අඳුරු යුගයේදී එනම් ක්‍රි.ව. 400 සිට 1400 දක්වා කාලයේදී විද්‍යාවට ලබා තිබුණේ නරක දසාවකි. ඒ, නව විද්‍යාත්මක සොයා ගැනීම් බයිබලයේ උගැන්වීම් සමග ගැටුණු විට එම විද්‍යාත්මක සොයා ගැනීම් ප්‍රතික්ෂේප කිරීමට හා විද්‍යාඥයන් පුළුස්සා මරා දැමීමට කතෝලික සභාව කටයුතු කළ නිසාය. 1474දී සූර්ය කේන්ද්‍රවාදය ඇතුළු විද්‍යාත්මක සොයා ගැනීම් රැසක් සිදු කළ නිකලස් කොපර්නිකස්ට පල්ලිය හරස් වූ අතර එම දැනුම යළි තහවුරු කිරීමට උත්සාහ කළ බෲනෝ පුළුස්සා මරා දැමීම සිදුවිය. එහෙත් මේ අතරම තාරකා විද්‍යාව විශ්වයේ බිහිවීම පිළිබඳව විද්‍යාත්මක සොයා ගැනීම් බාධා මැද සිදුවිය. කෙසේ වෙතත් මේ යුගය විද්‍යාවට අගුල් දැමූ යුගයක් විය.

ධනවාදය හා විද්‍යාවේ විප්ලවය

විද්‍යාවේ ශීඝ්‍ර වර්ධනය හා විප්ලවීය සොයා ගැනීම් ඇතිවීම සිදුවන්නේ සමාජ ක්‍රමයක් ලෙස ධනවාදය බිහිවීමත් සමගය. ධනවාදය බිහිවූයේ ලාභය මුල්කරගෙන වෙළඳ භාණ්ඩ නිෂ්පාදනය පදනම් කර ගනිමිනි. එහිදී ලෝකයේ වෙළඳපොළ සඳහා මහා පරිමාණ නිෂ්පාදනයක්ද එම නිෂ්පාදනය සඳහා ලොව පුරා අමුද්‍රව්‍ය සොයා යාමේ අවශ්‍යතාවයක්ද මහා පරිමාණ නිෂ්පාදනය සඳහා උපකරණවල හා බලශක්තියේ අවශ්‍යතාව මතු විය. එම ධනවාදී නිෂ්පාදනයේ වුවමනා සැපිරීම සඳහා ගත් උත්සාහයේදී විද්‍යාවත් තාක්ෂණය හා උපකරණත් වර්ධනය විය.
එංගලන්තය පදනම් කර ගනිමින් 1770 ගණන්වල බිහිවූ පළමු කාර්මික විප්ලවය මීට නිදසුනකි. පළමු කාර්මික විප්ලවයේ විප්ලවීය සොයා ගැනීම වූයේ වාෂ්ප බලය බලශක්තියක් ලෙස යොදා ගැනීමය. 1776දී ජේම්ස් වොට් නිපදවූ වාෂ්ප ඇන්ජිම එහි ප්‍රතිඵලය විය. මේ වන විට 1687 කාලයේ නිව්ටන් විසින් ගුරුත්වාකර්ෂණය සොයාගෙන තිබුණි. එම දැනුමද පළමුවැනි කාර්මික විප්ලවයට දායක විය. ඉන්පසු කාර්මික ක්ෂේත්‍රයේ හා විද්‍යාවේ විප්ලවීය පිමි කීපයක් සිදු විය. ඒ සියල්ලේම පදනම වූයේ නිෂ්පාදනයේ අභියෝගවලට මුහුණදීම සඳහා ගත් උත්සාහයන්ය.
පාසල් අධ්‍යාපනයේදී සමහර විද්‍යාත්මක සොයා ගැනීම් පුද්ගල කේන්ද්‍ර හා අහම්බීය දේ ලෙස උගැන්වීම නිවැරදි නොවේ. උදාහරණයක් ලෙස ගුරුත්වාකර්ෂණය සොයා ගැනීම නිව්ටන්ගේ හිසමතට ඇපල් ගෙඩියක් වැටීම ලෙසට හෝ වාෂ්පබලය සොයා ගැනීම කේතලයේ පියන සෙලවීමේ හේතුව ලෙසට හෝ ඌණනය කිරීම වැරදිය. සැබැවින්ම මෙම සියලු විද්‍යාත්මක සොයාගැනීම්වල පදනම හා හේතුව වූයේ නිෂ්පාදන ක්‍රියාවලියය. ඉතිහාසය භෞතිකවාදී ලෙස අධ්‍යයනය කළ යුත්තේ මේ නිසාය.

සැබෑ ඉතිහාසය සොයා…