අසමානතාව පිළිබඳව විමසා බැලීමක්

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

මේ දිනවල අපි ආණ්ඩු විරෝධී දැවැන්ත ජනතා නැගිටීමක අත්දැකීම් ලබමින් සිටිමු. ආණ්ඩුව වෙත තිබූ ජනතා විරෝධය ජනතා නැඟිටීමත් දක්වා වර්ධනය වූ ප්‍රධාන හේතුව වූයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟවීම,  භාණ්ඩ මිල පාලනයෙන් තොරව ඉහළ යාම නිසා ජනතාව මුහුණ දුන් දරාගත නොහැකි පීඩාවයි. දශක ගණනාවක් තිස්සේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වීම ජනතාවගේ දිළිඳු බව හා සම්පත් බෙදීමේ  අසමානතාව මෙම අර්බුදයේ පතුලේ හඳුනාගත හැකි සාධක වේ.

අසමානතාව යනු කිසිදු ලෙසකින් සාධාරණය කළ නොහැකි ශිෂ්ටසම්පන්න මානව සමාජයක පැවැතිය යුතු නැති, එහෙත් පංති සමාජය තුළ පවතින දෙයකි. මෙහි දී සමාජයක් දිළිඳුකමින් මෙන්ම අසමානතාවෙන් ද පෙළෙන බව දැකිය හැකි ය. අසමානතාව හා දිළිඳුකම යනු එකක් නොව දෙකකි. සංවර්ධනයේ ගමන් මඟේ කිසියම් හේතුවක් නිසා රටක්, රටක සියලු ම ජනතාව දිළිඳු නම්, එවිට ඇත්තේ දිළිඳුකම පිළිබඳ ප්‍රශ්නයක් වන අතර, ඊට විසඳුම වන්නේ එම රට දිළිඳුකමින් මුදාගැනීම ය. ඒ තුළ අසමානතාව නම් ගැටලුව නැත. එහෙත් රටත්, ජනතාවත් දිළිඳුකමින් පෙළෙද්දී මෙන් ම, සමාජ සංවර්ධනයේ යම් දියුණුවක් ලබා තිබිය දීත් ඒ තුළ අසමානතාව පැවැතිය හැකි ය. එහි අසමානාතව දිළිඳුකමටත් වඩා අමානුෂික වන අතර, එය දිළිඳුකම පැවැතීමට එක් හේතුවක් ද වේ.

ලංකාව වැනි දූපත් රටවල ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් අඩු ආදායම් සහිතව දිවි ගෙවද්දී, ජනගහනයෙන් කුඩා ප්‍රමාණයක් විශාල ආදායම් ලබමින් අධිසුඛෝපභෝගී ජීවිත ගත කිරීම අසමානතාව වේ. එසේම දියුණු යැයි සලකන යුරෝපීය රටවල ජනතාව තුළ ද මේ අසමානතාව තිබේ. එම රටවල සාතිශය බහුතරයක් තම වැටුපෙන් හා එය උකසට තබා ගත් ණයවලින් ජීවත් වෙද්දී, තවත් කිහිප දෙනෙක් මාසිකව ඩොලර් මිලියන ගණන් ආදායම් ලබමින් ජීවත් වෙති. එම රටවල පවා සැලැකිය යුතු පිරිසක් කුලී නිවාසවල හෝ ණය මත ඉදි කර ගත් නිවාසවල ජීවත් වෙද්දී, තවත් සුළු පිරිසක් ලොව පුරා විශාල මන්දිර මිලට ගනිමින්, පෞද්ගලික ගුවන් යානාවල, සුඛෝපභෝගී පෞද්ගලික නැව්වල හිමිකරුවන් ලෙස ජීවත් වෙති. අසමානතාව හඳුනාගත යුත්තේ එසේ ය.

අසමානතාව ස්වාභාවික හෝ සාධාරණ හෝ දෙයක් නොවේ. සියලු දෙනාම සමානව ඉපදෙන අතර ජීවත් වන කාලය තුළ අසමානතාවට ලක් වන්නේ නම්, එය ජනතාව ජීවත් වන සමාජයේ ගැටලුවක් වේ.

ලොව පුරා විවිධ අසමානතාවන් තිබේ. සමහර අසමානතාවන් (වෙනස්කම්) ස්වාභාවික ය. මිනිසුන්ගේ ශරීර ස්වභාවය, වර්ණ, රුචි-අරුචිකම් ආදිය වෙනස් විය හැකි ය. එහෙත්, සමාජය තුළ නිර්මාණය වී ඇති වෙනස් කළ යුතු අසමානතාවන් ප්‍රධාන වශයෙන් වර්ග තුනක් තිබේ. ඒවා නම්, වාර්ගික

අසමානතාව, ලිංගික අසමානතාව සහ ආර්ථික අසමානතාව වේ. මෙම සියලු අසමානතාවල පදනම ආර්ථික අසමානතාව වේ. ලොව මෙම ප්‍රධාන අසමානතාවන් බිහි වී ඇත්තේ සමාජය දේපළ මත පංතිවලට බෙදීමත්, දේපළ පෞද්ගලිකව අත්පත් කර ගැනීමේ සූරාකෑම කරළියට ඒමත් සමඟ ය.

ජනතාවගේ කතා කරන භාෂාව නිසා හමේ වර්ණය නිසා ජීවත් වන පරිසරය නිසා ස්ත්‍රී-පුරුෂ භේදය නිසා ඇති වී තිබෙන අසමානතාවේ මූලය ආර්ථික අසමානතාවන් බව පැහැදිලි ය. එසේම අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමනාගමනය, නිවාස, ක්‍රීඩා වැනි සෑම ක්‍ෂේත්‍රයකම පවතින අසමානතාවේ පදනම ද ආර්ථික අසමානතාවන්ම ය. එබැවින්, සමාජයෙන් මුලිනුපුටා දැමිය යුත්තේ ආර්ථික අසමානතාව පදනම් කරගෙන ගොඩනැඟී ඇති සමාජ අසාධාරණය වේ. අසමානතාව පවත්වාගෙන යාම යනු සමාජ අසාධාරණය පවත්වාගෙන යාමකි.

සමාජ සංවර්ධනයේ එක්තරා අවධියක දී පෞද්ගලික දේපළ බිහි වී පෞද්ගලික දේපළ මත සමාජය පංතිවලට බෙදී මිනිසකු විසින් මිනිසකු සූරාකෑමත්, දේපළ පෞද්ගලිකව අත්පත් කර ගැනීමත් නීතියක් හා සදාචාරයක් බවට පත් වී එය රකින සමාජ ක්‍රමයක් නිර්මාණය වීමත් සමඟ අසමානතාව පැනනැඟි බව ඉතා පැහැදිලි ය. අසමානතාව විශාල වශයෙන් වැඩි වූයේ ධනවාදය තුළ ය. ලාභය අරමුණු කර ගත්  නිෂ්පාදනයත්, වෙළෙඳාමත්, ප්‍රාග්ධනයේ බිහිවීමත්, ඒ හරහා අතිරික්ත වටිනාකම් එකතු වෙමින් ලාභ ලෙස දේපළ සංකේන්ද්‍රණය වීමත් විසින් අසමානතාව නිතිපතා බිහි කරනු ලැබේ. සමාජයක් විසින් කරනු ලබන නිෂ්පාදනයත්, උපයන දේපළත් ටික දෙනෙක් අත සංකේන්ද්‍රණය වන විට බහුතරයකට එය අහිමි වීම තර්කානුකූල ය. අසමානතාව උපදින්නේ එතැනිනි. ඒ නිසාම අසමානතාව නැති කළ හැක්කේ ද එය නිර්මාණය කළ පංති සමාජය අහෝසි කිරීම ආරම්භ කරන  සමාජවාදී පරිවර්තනයකින් පමණි.

කෙසේ වෙතත්, ලොව පවතින මෙම අසමානතාවේ සැබෑ තත්ත්වය සංඛ්‍යා, දත්ත හා තොරතුරු මඟින් හඳුනා ගැනීමට අපි උත්සාහ කරමු.

අසමානතාව හා ලෝක තත්ත්වය

වත්මන් මානව සමාජයේ පවතින අසමානතාවන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ දී ජාතිකත්ව,
ලිංගිකත්ව, සම්පත් බෙදී යාම ආදී ලෙස විවිධ මාතෘකා ගණනාවක් ඔස්සේ සාකච්ඡා කිරීමට තරම් අසමානතාවන් පංති සමාජය විසින් බිහි කරනු ලැබ තිබේ. ඒ අතුරින් ප්‍රධාන වූ, එමෙන්ම අනෙකුත් අසමානතාවන් සඳහා හේතුසාධකයක් බවට ද පත්ව තිබෙන ආදායම් බෙදී යාම අතර අසමානතාව පිළිබඳව අපි මෙහිදී සාකච්ඡා කරමු.


ලෝකය තුළ කලාප අතර ද, රටවල් එකිනෙක අතර ද, රටවල් තුළ එක් එක් ප්‍රදේශ අතර ද ආදායම් බෙදී යාමේ අසමානතාව දැකිය හැකි අතර, පොදුවේ ගත් කල ලොව පුරාත්, රටවල් තුළත් මිනිසුන් එකිනෙකා අතර පවත්නා මෙම අසමානතාවේ ස්වභාවය පිළිබඳව දත්ත පදනම් කර ගනිමින් සාකච්ඡා කරමු.
පසුගිය 2021 වර්ෂයේ ලොව පුරා වැඩ කරන මිනසුන් එක්ව නිෂ්පාදනය කරන ලද වටිනාකම් සමඟ ලබා ඇති ආදායම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් ටි්‍රලියන 122ක් (කෝටි 12,20,000ක්) පමණ වන බව ගණන් බලා ඇත. එය වැඩ කරන වයසේ පසුවන සමස්ත ලෝක ජනගහනය සමඟ සලකා බැලූ විට එක් අයකු විසින් මාසිකව ලබා ඇති ආදායම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් 1,950ක් (රුපියල් ලක්‍ෂ 7ක් පමණ) පමණ වේ. ශ්‍රී ලංකා රුපියල්වලින් සැලැකූ විට එය දළ වශයෙන් රුපියල් ලක්‍ෂ 84ක පමණ වාර්ෂික ආදායමකට හිමිකම් කීමකි. එක් පවුලක සිටින වැඩ කරන වයසේ පුද්ගලයන් ප්‍රමාණය අනුව පවුලක ආදායම මෙම අගය මෙන් කිහිප ගුණයක් විය හැකි ය.
එහෙත්, 2021 වසරේම සංඛ්‍යාලේඛන අනුව සමස්ත ලෝක ජනගහනයෙන් මිලියන 735ක් (සමස්ත ජනගහනයෙන් 10%ක් පමණ) අන්ත දුගී තත්ත්වයේ ජීවිත ගත කරමින් සිටිති. එසේම වර්ධනය වෙමින් පවතින ආර්ථික අර්බුද තත්ත්වයන් මෙන්ම රුසියා – යුක්‍රේන යුද තත්ත්වය හේතුවෙන් 2022 වසර තුළ තවත් මිලියන 75 – 95ක පමණ ජනතාවක් අන්ත දුගීභාවයට පත්ව ඇත. එය ලෝක ජනගහනයෙන් තවත් 1%ට ආසන්න ප්‍රමාණයකි.
අන්ත දුගී තත්ත්වය පිළිබඳ රටින් රට තොරතුරු සලකා බලන විට ලෝක බැංකු දත්තවලට අනුව ජනගහනයෙන් වැඩිම ප්‍රතිශතයක් අන්ත දුගී තත්ත්වයෙන් පෙළෙන රටවල් අතුරින් ඉදිරියෙන්ම ඇත්තේ දකුණු සුඩානයයි. 2011 වසරේ දී සුඩානයෙන් වෙන්ව නව රාජ්‍යයක් බවට පත් වූ දකුණු සුඩානයේ අන්ත දුගී භාවයෙන් පෙළෙන ජනගහනයේ ප්‍රතිශතය 82.3%කි. දෙවන තැනට පත්ව සිටින ගිනියාවේ එම අගය 76.8%කි. මැඩගස්කර් හි 70.7%ක් ලෙසත්, ගිනි බිසව්වල 69.3%ක් ලෙසත්, එරිත්‍රියාවේ 69%ක් ලෙසත් තෙවන, සිව්වන සහ පස්වන ස්ථානවල පසු වේ. ලෝක බැංකු වාර්තා අනුව මෙම සියල්ල ඇතුළත්ව 9වන ස්ථානය දක්වාම ඇත්තේ අප්‍රිකානු කලාපයේ රටවල් වන අතර, මධ්‍යම ඇමෙරිකානු රටක් වන ගෝතමාලාව 10වන ස්ථානයේ පසු වේ.
එසේ නම්, ලොව පුරා මිනිස් සමාජය නිපදවා ඇති වටිනාකම් සැඟව ඇත්තේ කොතැන ද? අසමානතාවය පිළිබඳ දත්ත විසින් නිරාවරණය කරනු ලබන්නේ එම සත්‍යයයි.
2021 වසරේ ලෝක ජනගහනයෙන් දුප්පත්ම 50% සමස්ත ලෝක ධනයෙන් හිමිකම් ලද්දේ 2%ක ප්‍රතිශතයක් පමණි. එය එසේ වෙද්දී, පොහොසත්ම 10% සමස්ත ලෝක වත්කම්වලින් 75.6%ක් හිමි කරගෙන ඇත. එයිනුත් පොහොසත්ම 1% සමස්ත ලෝක ධනයෙන් 37.8%ක (පොහොසත්ම 10% සතු ධනයෙන් අඩක්) ප්‍රමාණයකට හිමිකම් කියයි. එම කොටස ද තව දුරටත් බෙදා වෙන් කර බැලුවහොත්, ඒ තුළ ද අසමානතාව පවතින බව 1 වගුව අනුව දැකිය හැකි ය. එය කෙතෙක් ද යත්, ලෝක ජනගහනයෙන් 50%ක් සමස්ත ධනයෙන් 2%ක් පමණක් භුක්ති විඳිද්දී ලොව ධනවත්ම පුද්ගලයෝ 100 දෙනා සමස්ත ලෝක ධනයෙන් 1%කට වැඩි ප්‍රමාණයක් භුක්ති විඳිමින් සිටිති.


මෙය මූල්‍ය වටිනාකම් ලෙස සලකා බැලුවහොත්, 2021 වසරේ සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයකු සතු විය යුතු මූල්‍ය වටිනාකම් ප්‍රමාණය යුරෝ 72,913ක් (රු. 2,77,00,000.00) පමණ වේ. එහෙත්, පසුගිය වසරේ ලෝක ජනගහනයෙන් දුප්පත්ම 50% වැඩිහිටි පුද්ගලයකු සතු මූල්‍ය වටිනාකම්වල සාමාන්‍ය අගය යුරෝ 2,908ක් වේ. එය එසේ වෙද්දී, එම වසරේ දී පොහොසත්ම 10% තුළ සිටින වැඩිහිටියකු යුරෝ 550,920ක මූල්‍ය වටිනාකම්වලටත්, පොහොසත්ම 1% තුළ සිටින වැඩිහිටියකු යුරෝ මිලියන 2.8ක මූල්‍ය වටිනාකම්වලටත් හිමිකම් ලැබීමේ සාමාන්‍යයක් ඇත. එසේම වන ලෝක ජනගහනයෙන් වඩාත්ම ධනවත් 0.00000001% තුළ සිටින පුද්ගලයකු 2021 වසරේ දී සාමාන්‍යයෙන් යුරෝ බිලියන 77.4ක (රු. කෝටි 2,94,000ක පමණ) මූල්‍ය වටිනාකම් හිමි කරගෙන ඇත.

කලාප මට්ටමින් සහ රටවල් මට්ටමින් තත්ත්වය

ලෝකයේ කලාප මට්ටමින් සැලැකූ විට අසමානතාව ඉහළම කලාප ලෙස ඇත්තේ මැදපෙරදිග සහ උතුරු අප්‍රිකා කලාපය, ලතින් ඇමෙරිකානු කලාපය සහ උප සහරානු අප්‍රිකා කලාපයයි. එයින් ජනතාව සතු ධනය අතින් අසමානතාව උපරිම කලාපය ලතින් ඇමෙරිකානු කලාපය වන අතර, ජනතාවට ලැබෙන ජාතික ආදායමේ කොටස අනුව වර්තමනයේ අසමානතාව උපරිම කලාපය මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපය වේ.
මේ වන විට ලොව පුරා පවතින සමස්ත ධනය ඒ ඒ කලාප මට්ටමින් බෙදී ගොස් ඇත්තේ ද කලාප අතර අසමානතාව පෙන්නුම් කරමිනි. (01 ප්‍රස්ථාරය) ලොව පවතින සමස්ත ධනය අනුව සාමාන්‍යයෙන් පුද්ගලයකු සතු ධනය ප්‍රමාණය සමඟ සංසන්දනය කිරීමේ දී උතුරු ඇමෙරිකා කලාපය 390%ක ධන හිමිකාරීත්වයක් පෙන්නුම් කරයි. එනම්, සාමාන්‍ය අගයට වඩා බොහෝ සෙයින් වැඩි අගයකි. යුරෝපයේ එය 230%කි. එය එසේ වෙද්දී, උප සහරානු අප්‍රිකා කලාපයට හිමි වන්නේ ලෝක සාමාන්‍ය අගයෙන් 17%ක පමණ ධන හිමිකාරීත්වයකි. ඒ ඒ කලාප අතර මෙවැනි අසමානතාවක් පවතිද්දී, එම කලාප තුළ ජනගහනය අතර ද බරපතළ ලෙස අසමානතාව පැතිර ඇත.

ප්‍රස්ථාරය 01
ප්‍රස්ථාරය 02
ප්‍රස්ථාරය 03
ප්‍රස්ථාරය 04


ලතින් ඇමෙරිකානු කලාපයේ ධනවත්ම 10% සමස්ත ධනයෙන් 77%ක් අත්පත් කර ගනිද්දී, දුප්පත්ම 50%ට හිමිව ඇත්තේ සමස්ත ධනයෙන් 1%ක කොටසක් පමණි. (02 ප්‍රස්ථාරය) සෑම කලාපයකම සිටින ධනවත්ම 10% කොටස ඒ ඒ කලාපයන්ගේ ධනයෙන් 60% – 80% අතර ප්‍රමාණයක් අත්පත් කරගෙන සිටියි. ලෝකයේ ධනවත්ම කලාපය වන උතුරු ඇමෙරිකානු කලාපයේ ද ධන හිමිකාරීත්වයෙන් 70%ක් හිමි කරගෙන සිටින්නේ පොහොසත්ම 10% විසිනි. සමස්ත ජනගහනයෙන් අර්ධයක් වන ඒ ඒ කලාපයෙහි වෙසෙන දුප්පත්ම 50%ට අයත් ජනතාවට ලොව වටා සෑම කලාපයක දී ම පාහේ හිමිව ඇත්තේ 1% – 5% අතර කොටසක් පමණි. උතුරු ඇමෙරිකානු කලාපයේ ද එය 3%ට අඩු අගයකි. උතුරු ඇමෙරිකාව, යුරෝපය ආදී ලෙස සමහර කලාප සංවර්ධිත හෝ ධනවත් කලාප ලෙස නම් කිරීම් සිදු කළ ද, එම කලාප තුළ දී ද ජනතාව අතර අසමානතාවේ වෙනසක් නොමැති බව මෙම සංඛ්‍යාලේඛන පැහැදිලිව පෙන්වා දේ.
වැඩ කරන වයසේ පසුවන පුද්ගලයකු දළ වශයෙන් ලබන ආදායම සමස්ත ලෝක මට්ටමින් සලකා බැලූ විට උතුරු ඇමෙරිකානු කලාපය එම අගය මෙන් 315%ක් හිමි කරගෙන ඇත. යුරෝපා කලාපයේ එම අගය 215%ක් වේ. එහෙත්, දකුණු සහ අග්නිදිග ආසියා කලාපයේ එම අගය 50%ක් වන අතර මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපයේ එම අගය 31%ක මට්ටමේ පවතී. (03 ප්‍රස්ථාරය)


ලොව පුරා ඒ ඒ කලාප වශයෙන් සලකා බලන විට ජාතික ආදායමේ කොටස් ලැබීම සම්බන්ධ අසමානතාව ද ධන හිමිකාරීත්වයේ අසමානතාවට බොහෝ සෙයින් ම සමාන වේ. එහි දී සෑම කලාපයකම පාහේ දුප්පත්ම 50% හිමි කරගෙන ඇත්තේ ජාතික ආදායමින් 9% – 19% අතර කොටසක් වේ. (04 ප්‍රස්ථාරය) එයින් ද 19% මට්ටමේ පවතින්නේ යුරෝපා කලාපය පමණි. මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපය, උප සහරානු අප්‍රිකා කලාපය තුළ එම අගය 10%ට අඩු මට්ටමේ පවතී. ඒ එම කලාපවල පොහොසත්ම 10% ජාතික ආදායම්වලින් 55%කට වැඩි කොටසක් අත්පත් කර ගනිමින් සිටිය දී ය. මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපය මෙතරම් අසමානතාවක් පෙන්නුම් කළ ද, ඉන් රටවල් ගණනාවක් ඒකපුද්ගල ආදායම ඉහළම රටවල් කාණ්ඩයට අයත් වේ. ඒ අනුව පැහැදිලි වන්නේ ඒකපුද්ගල ආදායම කෙතරම් ඉහළ වුවත්, රටේ අතිබහුතරයකගේ ආදායම් තුළ එය බෙදී ගොස් නොමැති බවයි.

ඉහත සඳහන් ලෙස ධන හිමිකාරීත්වය අතින් මෙන්ම ආදායම් ලැබීම සම්බන්ධයෙන් සමස්ත ලෝක පංගුවෙන් අඩුම කොටසක් හිමි කරගන්නා මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපයේ රටවල් කිහිපයක අභ්‍යන්තරයේ පවතින අසමානතාව මෙසේ ය: ඊජිප්තුවේ පොහොසත්ම 10% ජාතික ආදායමින් 49.7%ක් අත්පත් කර ගනිද්දී, පහළම 50%ක ජනතාවට හිමි වන්නේ 14.8%ක් පමණි. ජෝර්දානයේ පොහොසත්ම 10%ට 46.4%ක් සහ දුප්පත්ම 50%ට 14.2%ක් ලෙස ජාතික ආදායම බෙදී යයි. ලෙබනනයේ දුප්පත්ම 50%ක ජනතාව ජාතික ආදායමින් 10.4%ක් පමණක් ලබා ගන්නා පසුබිමක පොහොසත්ම 10% විසින් ජාතික ආදායමින් 55.3%ක් අත්පත් කර ගනු ලබයි. ටියුනීසියාවේ ද අසමානතාව උග්‍ර ලෙස පවතිද්දී, සාපේක්‍ෂව පරතරය ඉතා සුළු වශයෙන් අඩු වී ඇත්තේ දුප්පත්ම 50%ට ජාතික ආදායමින් 16.6%ක් ලෙසත්, පොහොසත්ම 10%ට ජාතික ආදායමින් 41.4%ක් ලෙසත් ය. අනෙක් රටවල ද තත්ත්වය බොහෝ සෙයින් මීට සමාන වේ.


අපට ආසන්නතම රටක් වන ඉන්දියාව සැලැකූ විට එහි පොහොසත්ම 10% සතු වත්කම් ප්‍රමාණයේ වටිනාකම සමස්ත වත්කම්වලින් 77%ක් බව කියැවේ. ඉන්දියාවේ මේ වන විට බිලියනපතියන් (එක්සත් ජනපද ඩොලර්වලින්) 140ක් සිටින අතර, ඔවුන් සතු ධනය පසුගිය වසරේ ඉන්දියානු ආණ්ඩුව සමස්ත රාජ්‍ය වියදම් ලෙස අයවැයෙන් වෙන් කළ මුදල් ප්‍රමාණයට වඩා වැඩි අගයක් ගනී. එක්සත් ජනපද ඩොලර් බිලියන 91ක වත්කම් ඇති මුකේෂ් අම්බානි සහ එක්සත් ජනපද ඩොලර් බිලියන 90ක වත්කම් ඇති ගෞතම් අදානි යන ධනපතියන් දෙදෙනාගේ පමණක් සමස්ත වත්කම්වල වටිනාකම පසුගිය වසරේ ඉන්දියානු සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.9%ක කොටසකට සමාන වේ. එරට සාමාන්‍ය වැටුප් අතර පවා එවැනිම පරතරයක් පවතින අතර, සාමාන්‍යයෙන් විධායක ශ්‍රේණියේ පුද්ගලයකු වසරක දී ලබන වැටුප ලැබීමට පහළම වැටුප් ලබන සේවකයකුට වසර 941ක් ගත වන බවට වාර්තා පවතී
ඉහළ ආදායම් ලබන රටක් ලෙස එක්සත් ජනපදය සැලැකූ විට එරට පසුගිය ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු වූ බර්නි සැන්ඩර්ස් පැවසූ පරිදි එරට ඉහළ ම ධනපතියන් තිදෙනා ලබන ‘සැබෑ ආදායම’ දුප්පත්ම 50% ලබන ආදායමට සමාන වේ. එමෙන්ම වත්මන් රුසියාවේ සිටින බිලියනපතියන් පමණක් ලබන ආදායම එරට සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් 60%ක්
වේ.

දිනෙන් දින ඉහළ යන අසමානතාව

2020 සිට ලොව පුරා පැතිරුණු කොවිඞ් වසංගත තත්ත්වය සමඟ ලෝකයේ සෑම රටක්ම පාහේ ආර්ථික වශයෙන් දුර්වල වනු දක්නට ලැබිණි. ආර්ථික වර්ධන වේගයන්ගේ අඩු වීම මෙන්ම ආර්ථික කඩාවැටීම් ද ඒ අතර බොහෝ සෙයින් විය. එහෙත්, සමස්ත ලෝක තත්ත්වය එසේ වෙද්දී, ලොව ප්‍රධානතම ධනවතුන් එම බලපෑමට හසුව තිබුණේ මුල් මාස කිහිපය පමණි.
රටවල් තව දුරටත් කඩාවැටුණ ද, මාස 9ක් තුළ නැවත සිය ස්ථානය අත්පත් කර ගත් ලොව ප්‍රමුඛ පෙළේ ධනපතියන් විසින් එතැන් සිට සිය වත්කම් ප්‍රසාරණය කර ගැනීම නැවත අරඹන ලදී. (කොවිඞ් හමුවේ පීඩාවට පත් ලොව දුප්පත්ම ජනතාවට සිය ජීවිත නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට පමණක් අවම වශයෙන් වසර 10ක් පමණ ගත වේ යැයි විශ්වාස කෙරේ. එය ධනපතියන් ගත කළ කාලය මෙන් 14 ගුණයක කාලයකි.)


2020 වසර තුළ පමණක් (මාර්තු – දෙසැම්බර් දක්වා) ලොව ධනවත්ම පුද්ගලයන් 10 දෙනාගේ වත්කම් එක්සත් ජනපද ඩොලර් බිලියන 540කින් ඉහළ ගොස් ඇති බව ‘ෆෝබ්ස්’ සඟරාව පෙන්වා දේ. එය එම වසරේ මුහුණ දුන් කොවිඞ් තත්ත්වය නිසා මෙන්ම අනෙකුත් කරුණු කාරණා නිසා සාගතයට, උන්-හිටි තැන් අහිමි වීමට ආදී ලෙස විවිධාකාර පීඩාවලට හසුව සිටින සමස්ත ලෝක ජනතාව සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය මුදල මෙන් 11 ගුණයක මුදලක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පවසා සිටියේ ය. එසේම එම මුදල යනු සමස්ත ලෝක ජනතාව පූර්ණ එන්නත්කරණයට ලක් කර, කඩාවැටුණු ආර්ථිකයන් නැවත යථා තත්ත්වයට පත් කිරීමට හැකි මට්ටමේ මුදලක් බව ආර්ථික විශේෂඥයෝ පවසති.


එසේම 2020 වසර තුළ ලොව පුරා සිටින බිලියනපතියන් සියල්ලගේ (පුද්ගලයන් 2,700ක් පමණ) සමස්ත ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 5,000ක පමණ සිට එක්සත් ජනපද ඩොලර් බිලියන 11,950ක් දක්වා වර්ධනය වී ඇත. මෙය ලොව පොහොසත්ම රටවල් වන ඨ20 රටවල් සියල්ල විසින් කොවිඞ් තත්ත්වය පාලනයට සහ ඒ ඒ රටවල ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් මුදාහරින ලද මුදලට සමාන මුදලකි. මෙලෙස කොවිඞ් තත්ත්වය පාලනයට සහ ආර්ථික ස්ථාවරත්වයට ලොව සියලු රටවල් මුදාහරින ලද මුදල් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 9,000ක් පමණ වන බව ආර්ථික විශේෂඥයෝ පවසති. ඉහත කරුණු සැලැකිල්ලට ලක් කිරීමේ දී පෙනී යන්නේ ලොව සෑම රටක්ම පාහේ එලෙස මුදල් මුදාහැරිය ද, ඒවා පොදුවේ ජනතාව කරා බෙදී යනවා වෙනුවට අවසානයේ ඒ සියල්ල ලොව ධනවත්ම අතළොස්සගේ පසුම්බි කරා ගමන් කර ඇති බවයි.


සමස්ත ලෝකයම ආර්ථික වශයෙන් ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති මොහොතක පුද්ගලයන් 10 දෙනකු සිය වත්කම් එක්සත් ජනපද ඩොලර් බිලියන 540කින් වැඩිකර ගනිද්දී, ලොව බිලියනපතියන් 2,700ක් පමණ සිය ආදායම් එක්සත් ජනපද ඩොලර් බිලියන 7,000කින් පමණ වැඩිකර ගනිද්දී, කෝටි 2කට අධික ජනගහනයක් වෙසෙන ශ්‍රී ලංකාව එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ණය පවා ඉල්ලා සිටින තත්ත්වයට පත්ව ඇත. එම මුදල යනු ලොව පුරා පීඩාවට පත්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීමට කෙතරම් දායකත්වයක් සැපයිය හැකි මුදලක් ද යන්න එයින්ම පැහැදිලි වනවා ඇත.


2020 – 2021 කාලය අතරතුර ලොව ප්‍රමුඛතම ධනවතකු වූ ඉලොන් මස්ක් සතු සමස්ත ධන ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 35 සිට 243 දක්වා වැඩි වී ඇත. එමෙන්ම ඉන්දියාවේ ප්‍රමුඛතම ධනවතකු වන මුකේෂ් අම්බානි සතු වත්කම් ප්‍රමාණය එම වසර දෙක තුළ දෙගුණ වී ඇත. මේ සියල්ල සිදු වූයේ කොවිඞ් කාලසීමාවේ වීම විශේෂයකි.


මීට අමතරව 2021-2022 කාලසීමාව තුළ ලොව සිටින සමස්ත බිලියනපතියන් (එක්සත් ජනපද ඩොලර්වලින්) ගණන 700 සිට 2,700ක් පමණ දක්වා වැඩිවී ඇත්තේ ලොව ඉහළම පොහොසතුන්ගේ වත්කම් තව තවත් ඉහළ යවමිනි. ඒ අනුව චීනයේ 238ක් නව බිලියනපතියන් ලෙස එම පිරිසට එකතු වූයේ එරට සමස්ත බිලියනපතියන් ගණන 626ක් දක්වා ඉහළ දමමිනි. ඒ අනුව සාමාන්‍යයෙන් සෑම පැය 36කට වරක්ම චීනයේ නව බිලියනපතියෙක් බිහි වී ඇත. එක්සත් ජනපදයේ බිලියනපතියන් ගණන 724 දක්වා ඉහළ ගියේ නව බිලියනපතියන් 110ක් එක් වීමත් සමඟිනි. ඉන්දියාවේ ද මේ වන විට බිලියනපතියන් 140ක් සිටින අතර ඉන් 38ක් බිහිවූයේ 2020 – 2021 කොවිඞ් කාලසීමාව අතරතුර දී ය.


කොවිඞ් කාලසීමාව තුළ ධනපතියන්ගේ වත්කම් වැඩි වී ඇත්තේ, ලොව අන්ත දුගීභාවයෙන් පෙළෙන පිරිස තව දුරටත් පුළුල් කරමිනි. නිදසුනක් ලෙස බ්‍රසීලයේ 2020දී 4.5%ක් ලෙස පැවැති දුගීභාවය 2022 වන විට 12.8%ක් දක්වා වැඩි වී තිබේ.


ඒ ඒ රටවල් සතු ජාතික ආදායමින් බිලියනපතියන් භුක්ති විඳින කොටස ද ක්‍රමානුකූලව ඉහළ යමින් ඇත්තේ, දුප්පත් කොටසට හිමි ප්‍රමාණය තව දුරටත් සීමා කරමිනි. එක්සත් ජනපදයේ බිලියනපතියන් 2010 වසරේ එරට ආර්ථිකයෙන් 10%කට හිමිකම් කියූ අතර, 2015දී එය 15%ක් දක්වාත් 2020දී එය 30%ක් දක්වාත් වැඩි කරගෙන ඇත. ස්වීඩනයේ බිලියනපතියන් විසින් රටේ සමස්ත ආර්ථිකයෙන් 20%ක් 2010දී භුක්ති විඳින ලද අතර 2015දී එය 30%ක් දක්වා වැඩි වී ඇත. ප්‍රංශයේත් එලෙසම වැඩි වී ඇත්තේ, 11%ක් ලෙස 2010 හිමි කර ගත් කොටස 2015දී 17%ක් දක්වා වැඩි කර ගනිමිනි.


මෙලෙස අසමානතාව වර්ධනය වී ඇත්තේ මෑත වසර කිහිපයේ පමණක් නොවේ. 1.1, 1.2, 1.3 ප්‍රස්ථාර මඟින් දක්වා ඇත්තේ, 1820 සිට වර්තමානය දක්වා අසමානතාව වර්ධනය වී ඇති ආකාරයයි. ලොව ජනගහනයෙන් ධනවත්ම 10% සිය ආදායම් කොටස වැඩිකර ගනිද්දී, දුප්පත්ම 50% හිමි කර ගන්නා ආදායම් කොටස ක්‍රමානුකූලව අඩු වෙමින් පවතින ආකාරය 1.1 ප්‍රස්ථාරයෙන් පෙන්නුම් කරයි.

ප්‍රස්ථාරය 1.1

එයින් ද ධනවත්ම 0.1% විසින් දුප්පත්ම 50%ක ජනගහනයක් උපයන ආදායමටත් වැඩි ආදායමක් හිමි කර ගන්නා තත්ත්වයට (1870 වසරේ පමණ පටන්) පත්ව ඇති ආකාරය 1.2 ප්‍රස්ථාරයෙන් පෙන්නුම් කෙරේ. ලෝක මට්ටමින් මෙසේ සිදුව ඇති අසමානතාවේ වර්ධනය 1920 – 1980 කාලසීමාව තුල යම් තාක් දුරකට වෙනස් වී ඇති බව ද එම ප්‍රස්ථාර පෙන්නුම් කරයි. එයට හේතු වී ඇත්තේ, සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුරේ බලපෑමයි.

ප්‍රස්ථාරය 1.2


ලෝක ජනගහනයෙන් දුප්පත්ම 50% තුළ සිටින පුද්ගලයකු ලබන සාමාන්‍ය ආදායමට සාපේක්‍ෂව ලොව පොහොසත්ම 10% තුළ සිටින පුද්ගලයකු ලබන ආදායම පිළිබඳව 1.3 ප්‍රස්ථාරයේ පෙන්වා ඇත. 2020 වන විට එය 38 ගුණයක වැඩි වීමකි. 1820දී එය තිබී ඇත්තේ 18 ගුණයක මට්ටමේ ය.

ප්‍රස්ථාරය 1.3


1980න් පසු රටවල් කිහිපයක ජනගහනයෙන් පොහොසත්ම 1% විසින් ඒ ඒ රටවල ජාතික ආදායමින් අත්පත් කරගන්නා පංගුව ක්‍රමානුකූලව ඉහළ යමින් තිබෙන ආකාරය 1.4 ප්‍රස්ථාරයේ පෙන්වා ඇත. සෝවියට් දේශයේ එය පහළ අගයක පැවැතිය ද, සමාජවාදී කඳවුර බිඳවැටීමෙන් පසු එය වේගයෙන් වෙනස් වී ඇති ආකාරය ද ප්‍රස්ථාරයෙන් දැකගත හැකි ය.

ප්‍රස්ථාරය 1.4


ලෝක වැඩිහිටි ජනගහනයෙන් 0.001%ක් එනම්, පුද්ගලයන් 51,700ක් පමණ සමස්ත ලෝක ධනයෙන් 6.4%ක් පමණ භුක්ති විඳිද්දී, බිලියන 2.6ක පමණ වැඩිහිටි ජනගහනයකට හිමිව ඇත්තේ ලෝක ධනයෙන් 2%ක් පමණි. එම පරතරය ද ක්‍රමානුකූලව වැඩි වන අයුරු 2 ප්‍රස්ථාරයේ දක්වා ඇත.


එමෙන්ම ලෝකයේ මේ වන විට පවතින ආර්ථික, දේශපාලන පදනම් තවදුරටත් වෙනස් නොවුණහොත්, අනාගත ලෝකය තුළ තව දුරටත් අසමානතාව වර්ධනය වන අයුරු 3 ප්‍රස්ථාරයේ දක්වා ඇත. එයට අනුව ලොව ජනගහනයෙන් ධනවත්ම 0.1%ක සතු වත්කම් ප්‍රමාණය ලොව දුප්පත්ම 50% සහ මැද සිටින 40% විසින් අත්පත් කර ගනු ලබන සමස්ත වත්කම් (සමස්ත ලෝක ජනගහනයෙන් 90%ක්) ඉක්මවා යන තත්ත්වයක් වර්ෂ 2100දී පමණ සිදු විය හැකි ය.

ශ්‍රී ලංකාව තුළ අසමානතාව

2016 වර්ෂයේ සිදු කරන ලද ගෘහ ආදායම් සහ වියදම් පිළිබඳ සමීක්‍ෂණයට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් පෙහොසත්ම 20% එම වසරේ රටේ සමස්ත ගෘහ ආදායමින් 50%කට වැඩි ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇත. එහෙත්, ජනගහනයෙන් පහළම ආදායම් ලබන 20%ට හිමිව ඇත්තේ, රටේ සමස්ත ගෘහ ආදායමින් 5%ක් පමණි. එයින් ද දුප්පත්ම 10%ට හිමිව ඇත්තේ, සමස්ත ආදායමෙන් 1.6%ක් පමණි. (1 ප්‍රස්ථාරය) අනෙකුත් ලිපි හරහා අප සාකච්ඡා කළ පරිද්දෙන්ම ශ්‍රී ලංකාවේ ධනේශ්වර පාලනයත් ජනතාව අතර අසමානතාව වර්ධනය කරමින් ඇත.
රටවල් තුළ පවතින අසමානතාව නිරීක්‍ෂණය කිරීම සඳහා භාවිත කරනු ලබන ගිනි සංගුණකය 2019 වසරේ දී ශ්‍රී ලංකාව තුළ 39.3ක් වූ අතර, 2020දී එය 39.8ක් දක්වා වැඩි වීමක් පෙන්නුම් කර ඇත. එනම්, කොවිඞ් තත්ත්වය හමුවේ මෙරට දුප්පත් ජනතාව අර්බුදයට යද්දී, පොහොසත්ම අතළොස්ස සිය ආදායම් වර්ධනය කරගෙන ඇත.


2019 වසරේ දී ශ්‍රී ලංකාව තුළ දරිද්‍රතා රේඛාවට පහළින් සිටින ජන ප්‍රතිශතය 9.2%ක් වූ අතර, 2020 වන විට එය 11.7%ක් දක්වා වැඩි වී ඇති බව ලෝක බැංකු සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. ඒ අනුව එම වසරේ දී ශ්‍රී ලංකා ජනතාවගෙන් තවත් 5,00,000ක් දරිද්‍රතා රේඛාවෙන් පහළ වැටී ඇත. එසේම 2020 වසරේ දී මෙරට අන්ත දුගීභාවයෙන් පෙළෙන පිරිස 1.2%ක් දක්වා වර්ධනය වී ඇති අතර, එය පෙර වසරට සාපේක්‍ෂව දෙගුණ වීමකි. එසේම 2019 සිට 2020 දක්වා වසරක කාලය තුළ දරිද්‍රතා පරතරය ද 17.9% සිට 20%ක් දක්වා වර්ධනය වී ඇති බව එම දත්ත තව දුරටත් පෙන්වා දෙයි. එහි අදහස වන්නේ මෙරට දුගීභාවයෙන් පෙළෙන්නන් තව දුරටත් දුගීභාවයට පත්ව ඇති බවයි.


1953 සිට 2003 දක්වා වසර 50ක කාලය තුළ ශ්‍රී ලංකා ජනතාව අතර රටේ සමස්ත ආදායම බෙදී ගොස් ඇති ආකාරය 1 වගුවේ දක්වා ඇත. ඒ අනුව 2003 වර්ෂයේ දී මෙරට ජනගහනයෙන් දුප්පත්ම 10% සමස්ත ආදායමින් 1.07%ක් හිමි කර ගනිද්දී, ඉහළම 10% සමස්ත ආදායමින් 39.7%ක් හිමි කරගෙන ඇත. සමස්ත කාලය පුරා මෙම අගයන් මීට ආසන්නව පැවැතී ඇති ආකාරය දැකිය හැකි ය. (1973 දත්ත මීට වෙනස්ව ඇත්තේ එවකට පැවැති ආර්ථික ප්‍රතිපත්තියේ බලපෑම නිසා ය. එහෙත්, එය ප්‍රායෝගික වැඩපිළිවෙළක් නොවූ නිසා නැවතත් සුපුරුදු රටාවට පැමිණ ඇත.)


ශ්‍රී ලංකාව තුළ පැතිර ඇති අසමානතාව ඒ ඒ පළාත් මට්ටමින් පවතින්නේ කෙසේ ද යන්න 2 වගුව හරහා අවබෝධ කර ගත හැකි ය. ඒ අනුව පළාත් මට්ටමින් සැලැකූ විට 2016 වර්ෂයේ දී ධනවත්ම 20% විසින් ආදායමින් වැඩිම පංගුවක් හිමි කරගෙන ඇත්තේ උතුරුමැද පළාත තුළ ය. එය සමස්ත ආදායමින් 51.6%ක කොටසකි. එසේම ජනගහනයෙන් දුප්පත්ම 20% ආදායමින් අඩුම පංගුවක් භුක්ති විඳිනු දක්නට හැක්කේ උතුරු සහ ඌව පළාත් තුළ ය. එම පළාත් ද්විත්වයෙහිම එම අගය සමස්ත ආදායමින් 4.3%කි. එසේම ගිනි සංගුණකය 0.46ක් ලෙස උපරිම අගයක් පෙන්වමින් අසමානතාව වැඩිම පළාත් ලෙස දක්වා ඇත්තේ, වයඹ සහ උතුරුමැද පළාත් ය. කෙසේ වෙතත්, පළාත් සියල්ල අතර ඉතා සුළු වෙනස්කම් පමණක් ඇත්තේ, සමස්ත රට පුරා අසමානතාව එක සමානව පැතිර ඇති ආකාරය පෙන්වා දෙමිනි.


2 ප්‍රස්ථාරයේ ස්ථම්භ මඟින් දක්වා ඇත්තේ, මෙරට ධනවත්ම 20% ඒ ඒ දිස්ත්‍රික් මට්ටමින් හිමි කරගෙන ඇති ගෘහ ආදායම් ප්‍රතිශතයයි. එසේම ඒ ඒ දිස්ත්‍රික් මට්ටමින් 2016 වසරේ දී රුපියල් 81,380.00කට වැඩි ආදායමක් ලද ජනගහනයේ ප්‍රතිශතය තද පාටින් දක්වා ඇති රේඛාවෙන් සහ ඒ ඒ දිස්ත්‍රික් මට්ටමින් රුපියල් 36,500.00ට (දුප්පත්ම 40% මට්ටම) අඩු ආදායම් ලබන ජනගහනයේ ප්‍රතිශතය කඩ ඉර තුළිනුත් දක්වා ඇත.


පසුගිය දශක කිහිපය සලකා බලද්දී, ශ්‍රී ලංකව තුළ ද අසමානතාව ක්‍රමයෙන් වර්ධනය වී ඇති අයුරු 3 ප්‍රස්ථාරයේ දැක්වේ. 1980 සිට 2021 දක්වා කාලය තුළ මෙරට දුප්පත්ම ජනගහනයේ ආදායම් ක්‍රමානුකූලව අඩුවෙද්දී, පොහොසත්ම 10% සහ වඩාත් පොහොසත්ම 1% ජනගහනයේ ආදායම් ප්‍රතිශත ඉහළ ගොස් ඇති ආකාරය එමඟින් පෙන්නුම් කෙරේ.

අසමානතාවේ ප්‍රතිඵල

නවීන තාක්‍ෂණය, දැනුම සමඟ මානව සමාජය සොබාදහමේ අභියෝග ජය ගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටිය ද, ධනවාදයත් සමඟ ලොව පුරා පැතිර පවත්නා බරපතළ අසමානතාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස එම ජයග්‍රහණ ලොව ජීවත් වන සෑම මිනිසකුගේම සුභසිද්ධිය වෙනුවෙන් භාවිත වන්නේ නැත. එම නිසා තව දුරටත් ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් ඉතාමත් පහළ ජීවන තත්ත්වයන් භුක්ති විඳිමින් සිටිති. ඒ සියල්ල මධ්‍යයේ පෞද්ගලික ලාභ අරමුණු කර ගත් මෙම සමාජය තව දුරටත් ඒ ඒ පුද්ගලයාගේ ජීවන වියදම් ඔවුනොවුන් වෙත ම පටවමින් පොදු සුභසාධන වියදම් ද කප්පාදු කරමින් තිබේ.
1 ප්‍රස්ථාරයේ දක්වා ඇත්තේ එලෙස රටවල් කිහිපයක් තම පොදු වියදම් ක්‍රමානුකූලව කප්පාදු කර ඇති ආකාරයයි. ඒ අනුව අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය ආදී සේවා පවා තමන් සතු සොච්චම් මුදලින් මිල දී ගැනීමට අතිබහුතරයක් ජනතාවට සිදුව ඇත.


අසමානතාව පිළිබඳ සංඛ්‍යාලේඛනවල ඉදිරියෙන්ම සිටින මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපයේ රටවල විරැකියාව ද අතිශයින් බහුල වී තිබේ. ටියුනීසියාවේ විරැකියාව
40%ක් වන අතර, ඊජිප්තුව සහ ලෙබනනය 50%ක මට්ටමේ පසු වේ. යේමනයේ විරැකියාව
එරට වැඩ කරන වයසේ පසුවන ජනගහනයෙන් 70%ක් වේ.

අද වන විට සමස්ත ලෝකය පුරා ආහාර හිඟතාවෙන් පෙළෙන පුද්ගලයන් ගණන කෝටි 15.5ක් බව ගණන් බලා තිබේ. පසුගිය වසර 2 තුළ ලෝකයේ සාගත තත්ත්වයෙන් ජීවත් වන ජනතාව අතරට තවත් 5,00,000ක පමණ ජනතාවක් ඇදවැටී ඇත. ඉතියෝපියාවේ ටි්‍රගේ කලාපයේ පමණක් සාගතයෙන් පසුවන ජනතාව 3,50,000ක් පමණ ජීවත් වෙති. 2022 ජනවාරි හමුදා කුමන්ත්‍රණයක් හරහා හමුදා ආණ්ඩුවක් පිහිටු වු බටහිර අප්‍රිකානු රටක් වන බුර්කිනා ෆාසෝ හි බඩගින්නෙන් පෙළෙන ජනතාවගේ ගණන 2019දී 6,87,000ක් වූ අතර, 2021 වන විට 21,00,000 දක්වා වැඩි වී තිබිණි. 2011 වර්ෂයේ දී සෝමාලියාවේ පමණක් බඩගින්න නිසා මිය ගිය පුද්ගලයන් ගණන 2,50,000ක් පමණ වේ.


අවශ්‍ය මට්ටමින් ආහාර නොලැබී යාම නිසා වර්තමානයේ ලොව පුරා සමස්ත දරුවන්ගෙන් 30%ක් පමණ විවිධ පෝෂණ ඌනතාවලින් පෙළෙමින් සිටිති. එසේම පෝෂණ ඌනතා නිසා ලෝක ජනගහනයෙන් සෑම 10,000කින් දෙදෙනෙක් දිනපතා මිය යති. ලොව පුරා ළමයින්ගෙන් සෑම 10,000කටම 4 දෙනෙක් ද පෝෂණ ඌනතා නිසා දිනපතා මරුදකිති. බඩගින්න, පෝෂණ ඌනතා නිසා ලොව පුරා වසරකට මිය යන ගණන 21,00,000ක් බව සංඛ්‍යාලේඛනවල සඳහන් ය. එනම්, සෑම විනාඩි 11කටම වරක් ලොව කොතැනක හෝ පුද්ගලයකු ප්‍රමාණවත් ලෙස ආහාර නොලැබී යාම නිසා සිය ජීවිතයට සමුදෙන තත්ත්වයට අසමානතාව විසින් අද ලෝකය ඇද දමා තිබේ. පසුගිය වසර වන විට ලොව පුරා රටවල් ආරක්‍ෂක වියදම් ලෙස වෙන් කරනු ලබන මුදල එක්සත් ජනපද ඩොලර් බිලියන 51කින් ඉහළ දමා තිබූ අතර, එය සමස්ත ලෝකයේ ආහාර හිඟකම තුරන් කිරීමට අවශ්‍ය මුදල මෙන් 6 1/2 ගුණයක මුදලක් බව ද කියැවේ.
2030 වන විට දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට නොහැකිව දුප්පත් රටවල වසරකට පුද්ගලයන් 2,31,000කට පමණ මිය යාමට සිදු වනු ඇතැයි විශේෂඥයෝ පුරෝකථනය කර ඇත.
අසමානතාව පදනම් කර ගත් කුමන හෝ කරුණක් මත දිනකට මිනිස්සු 21,300ක් පමණ ලොව පුරා මිය යති. එනම් අසමානතාව නිසා සෑම තත්පර 4කටම වරක් ලොව කොහේ හෝ පුද්ගලයකු සිය දිවි ගමන නිමා කරයි.

විමර්ශන – 2022 ජූනි

අසමානතාව පිළිබඳව විමසා බැලීමක්