න්‍යායයේ හා භාවිතයේ ඇති වැදගත්කම

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

අන් කවරදාකටත් වඩා ධනපති ක්‍රමය මෙන්ම ධනේශ්වර දේශපාලන පක්ෂද දැවැන්ත අර්බුදයක ගිලෙමින් තිබෙන මොහොතක බලය ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කරන විප්ලවවාදී ව්‍යාපාරය සිය න්‍යාය සහ එම න්‍යාය භාවිතයට නඟන්නේ කෙසේද යන්න පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව අවිවාදිතය.

අනෙක් පැත්තෙන් නිවැරැදි න්‍යාය ඇත්තේ තමන් සතුව බවත්, එය භාවිතයට නඟන්නේ මෙසේ යැයි පාරම්බාමින් කටයුතු කරන අවස්ථාවාදී වංචනිකයන්ගේ උගුල් පිළිබඳව වඩා නිවැරැදි ලෙස වටහා ගැනීමද අනිවාර්යයකි. සමාජවාදී සමාජය ගොඩනැඟීම සඳහා විප්ලවීය න්‍යාය තෝරා ගැනීම මෙන්ම එය භාවිතයට නැඟීම සිදු කළ යුත්තේ කෙසේ දැයි සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි.

විප්ලවවාදී ව්‍යාපාරයකට නිශ්චිත උපාය මාර්ගයක් මෙන්ම ඒ මොහොතවල් වලට අදාළ උපක්‍රම තෝරා ගනිමින් ඉදිරියට යාමට ඊට මඟපෙන්වන විප්ලවීය න්‍යායක් අවශ්‍ය වේ. විප්ලවීය න්‍යායයෙහි මඟපෙන්වීමකින් තොරව උපක්‍රම තේරීමේ දී ප්‍රායෝගිකවාදයට ඇද වැටීමේ අනතුර මතු වේ. එසේම විප්ලවවාදී ව්‍යාපාරයක් තම න්‍යාය පවතින තත්ත්වයන් තුළ භාවිතාවට නැඟීමටද සමත් විය යුතුය. භාවිතයට නොනඟන න්‍යාය මඟින් පොතේ ගුරුවාදය හා විප්ලවවාදී වාග් පාඨ දෙඩවීමේ කුෂ්ඨ රෝගය (ලෙනින් කියූ ලෙස ) මතු වනු ඇත.

ලෙනින් සහෝදරයාගේ පහත උපුටා ගැනීම් වලින් න්‍යාය මෙන්ම එම භාවිතයට ගැනීමේ වැදගත්කම පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිය.

“විප්ලවීය විප්ලවීය න්‍යාය නොමැතිව ව්‍යාපාරයක් තිබිය නොහැකිය. ඉතාමත් පටු ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයේ මෝහනයක් සමඟ අතිනත් ගෙන අවස්ථාවාදයේ හැඩකාර දේශනා පැවැත්වීම කෙරෙන මෙවැනි කාලයක මෙම අදහස කොතරම් අවධාරණය කළත් වැඩි නැත.”

“අපට මෙහිදී සඳහන් කිරීමට අවශ්‍ය වන්නේ පෙරමුණු සටන්කරු කාර්යභාරය ඉටු කිරීමට හැක්කේ ඉතාමත් දියුණු න්‍යායෙන් මඟ පෙන්වීම ලබන පක්ෂයකට පමණි. “

ලෙනින් – තෝරා ගත් කෘති – 10 වෙළුම, 137 පිටුව

න්‍යාය ඇදහිල්ලක් නොවන බවත් න්‍යාය සහ භාවිතාව අතර සම්බන්ධයේ ස්වභාවය පිළිබඳව ලෙනින් පවසා ඇත්තේ මෙසේය:

“නිවැරැදි විප්ලවවාදී න්‍යායක් තිබීම එම කොන්දේසි නිර්මාණය වීමට පහසුවක් වන නමුත්, න්‍යාය ඇදහිල්ලක් නොවන්නේය. න්‍යාය එහි අවසාන හැඩහුරුව ලබන්නේ සැබැවින්ම පොදු ජන සැබැවින්ම සහ විප්ලවවාදී ව්‍යාපාරයක ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය හා සමග සමීප සම්බන්ධයක් ඇතිව පමණකි. “

ලෙනින් – තෝරා ගත් කෘති – 10 වෙළුම, 135 පිටුව

වඩා විප්ලවීයම න්‍යාය ඇත්තේ තමන් සතුව බවත්, නිවැරැදි ලෙස භාවිතයේ යෙදෙන්නේ තමන් පමණක්ම බවත් නිතර දොඩවන අවස්ථාවාදීන් පිළිබඳව ලෙනින් උපහාසය මුසු කරමින් මෙසේ පැහැදිලි කරයි.

“විප්ලවවාදී වාග් පාඨ දෙඩවීම විප්ලවවාදී පක්ෂවල රෝගයක් වන්නේ බොහෝ විට එම පක්ෂ නිර්ධන පංතියේ සහ සුළු ධනපති කොටස්වල සංයෝජනයක්, සන්ධානයක්, අන්තර් සම්බන්ධයක් ඇති කිරීමට නියම ලෙස හෝ අනියම් ලෙස සමන්විත වන විටය. එමෙන්ම විප්ලවීය සිද්ධීන්ගේ ක්‍රියාදාමය විශාල ක්ෂණික වංගු වලට වැටෙන විටය. සිද්ධීන් වල නියමිත වෙනස් වීමක් ඇති වූ විටදීත් එම වේලාවේ දී, නියමිත තත්ත්වයන් ඇති වූ විටදීත්, පැනනගින වාස්තවික කොන්දේසි නොතකා විප්ලවවාදී උද්‍යෝග පාඨ පුනරුච්චාරණය කිරිම විප්ලවවාදී වාග් පාඨ දෙඩවීමක් වන්නේය. මේ උද්‍යෝග පාඨ ඉතා අනර්ඝය, සිත් ඇදගන්නාසුලුය, මත් කරවන සුලුය. නමුදු, ඒවාට උචිත පදනම් නොමැත. විප්ලවවාදී වාග් පාඨයේ හරය එයය.”

ලෙනින් – තෝරාගත් කෘති – 01 වෙළුම. 136 පිටුව

“කුෂ්ඨය වේදානාසහගත රෝගයකි. විප්ලවවාදී වාග් පාඨ දෙඩවීම නමැති කුෂ්ඨ රෝගයට මිනිසුන් ගොදුරුවූ විට එම රෝගය දෙස බැලීමෙන් පවා ඉවසිය නොහැකි වේදනාවක් හට ගනී.

ලෙනින් – විප්ලවවාදී වාග් පාඨ පිටුව 23

විප්ලවවාදී ව්‍යාපාරයක් විසින් න්‍යාය භාවිතාවට නැගීමේදී අඩුපාඩුකම් සිදු විය හැකි බව තේරුම් ගත යුතුය. අප ප්‍රවේසම් විය යුත්තේ මූල ධාර්මික වැරැදි දැනුම්වත්ව නොකිරීමටය. විප්ලවවාදී ව්‍යාපාරයක භාවිතාවේදී විවිධ අඩුපාඩුකම් සිදුවන අතර, විප්ලවය වර්ධනය වන්නේ එවැනි ගමන් මඟක් තුළය. සර්ව සම්පුර්ණ පක්ෂ හෝ පුද්ගලයන් නොමැත. විප්ලවවාදී පක්ෂවල ගමන් මඟ තුළ පක්ෂවලින් මෙන්ම පුද්ගලයන් අතින්ද අඩුපාඩු සිදුවිය හැකිය. ඒවා තේරුම්ගත යුත්තේත්, ඒවා නිවැරැදි කිරීමට අරගල කළ යුත්තේත් අදේශපාලනිකව නොව දේශපාලන අවබෝධය සහිතවය.

අවශ්‍ය නිසි මොහොතේ සටන් කිරීම මෙන්ම පසුබැසීමේද වැදගත්කම ගැන ලෙනින් මෙසේ අවධාරණය කරයි.

“විප්ලවවාදී පක්ෂවලට ඒවායේ අධ්‍යාපනය සම්පූර්ණ කරගැනීමට සිදු වේ. ඔවුහු පහර දෙන ආකාරය ගැන උගෙන ගනිමින් සිටියහ. එවැනි දැනුමට අමතරව ක්‍රමානුකූල ලෙස පසුබසින්නේ කෙසේද යන්න ගැනද දැන් දැනුම ලබාගත යුතු බව අවබෝධ කර ගැනීමට ඔවුන්ට සිදුවේ. නිසි ලෙස පහර දීමටත්, පසුබැසීමටත් යමක් උගෙන ගෙන නොමැති නම්, ජය ගැනුමක් කිසිසේත් නොවන බව වටහා ගැනීමට ඔවුන්ට සිදු විය. විප්ලවවාදී පංතිය මෙම කරුණ වටහා ගැනීමට උගෙන ගන්නේ අමිහිරි අත්දැකීම් තුළිනි. “

ලෙනින් – තෝරාගත් කෘති – 10 වෙළුම, 138 පිටුව

“කුණු කැදලි උඩට මතු වන්නේ නැතිව, කපටියන් සහ සොරුන් පුවා නම්කාරයන් සහ පුහු කතාකාරයන් නුපුරුදු නවිකාරකයන් කෙරෙහි එල්බ ගැනීමක් නැතිව, නුවමනා කැළඹිලි, අනුවණ ක්‍රියා හා දනිපනි ගෑම් රහිතව, තනි නායකයන් වැඩ විස්සක් එක වරම කිරීමට උත්සාහ දරා ඉන් එකක්වක් අවසන් නොකර තැබීම නොමැතිව ඉතිහාසයේ ගැඹුරු හා දැවැන්ත පොදුජන ව්‍යාපාරයක් කිසි කලෙකත් සිදු වූයේ නැත.”

ලෙනින් – තෝරාගත් කෘති – 08 වෙළුම, 60 පිටුව

“අපගේ විප්ලවයේදී සිදුවෙන සෑම අත්වැරැද්දක්ම ගැන මුළු ලෝකයටම ඇසෙන සේ දූෂිත ධනපති පුවත්පත් හඬ තැළුවාවේ. අපි අපගේ අත්වැරැදි නිසා දුර්මුඛ නොවන්නෙමු. විප්ලවය ආරම්භ වී තිබෙන නිසා මිනිසුන් ශුද්ධවන්තයන්වී නැත. ශතවර්ෂ ගණන් තිස්සේ පීඩිතව හා පැගී සිටි, දුප්පත්කම, ම්ලේච්ඡභාවය සහ නූගත්කම නමැති දුෂ්චරිතය තුළ බලෙන් ගිල්වනු ලැබ සිටි, වෙහෙසී වැඩ කරන පන්ති විප්ලවයක් කරන විට වැරැදිම් සිදුවීම නොවැළැක්විය හැකිය. මා කලින් පෙන්වා දී ඇති පරිදි ධනපති සමාජයේ මළකුණ පෙට්ටියක බහා ඇණගසා වළලා දැමීමට නුපුළුවන. අප මධ්‍යයේම කුණුවී, දිරාපත් වන ධනපති ක්‍රමයේ මළකුණ වාතය අපිරිසිදු කරයි; අපගේ ජීවිතවලට විෂ කවයි; පැරැණි, මරණාසන්න හා කුණු වන දෙයින් විහිදෙන දහසක් නූල් හා බන්ධනවලින් අලුත්, නෑඹුල් සහ පෞරුෂතා සහිත සියල්ල පටළවා තබයි.

(ලෙනින් – තෝරාගත් කෘති / 08 වෙළු‍ම, 60 පිටුව

අවසාන වශයෙන් නිර්ධන පන්තිය මතවාදීමය ලෙස සම්බන්ධ වීම පමණක් නිර්ධන පන්තියට තම විමුක්තිය උදාකර ගැනීම සඳහා ප්‍රමාණවත් වන්නේ නැත. ඒ සඳහා ක්‍රියාකාරී වීමද අත්‍යවශ්‍ය වේ. න්‍යායෙන් තොර භාවිතාව අන්ධ බවත්, භාවිතාවෙන් තොර න්‍යාය වඳ බවත් මේ අනුව පැහැදිලිය. එබැවින්, න්‍යායික වශයෙන් න්වූ එකඟතාව නිවැරැදි ලෙස භාවිතයට නැඟීම සඳහා සංවිධානයවීම අත්‍යවශ්‍යය. විධිමත්, නිශ්චිත වැඩපිළිවෙළක් සහිත විනයකින් යුතු, සංවිධාන මූලධර්මය ලෙස ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතභාවය පිළිගත් පක්ෂයක් නිර්ධන පන්තියේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍යය. න්‍යාය භාවිතයට නැගීමට පන්තියට මඟ පෙන්විය යුත්තේ පක්ෂය විසිනි.

න්‍යායයේ හා භාවිතයේ ඇති වැදගත්කම