වමේ ව්‍යාපාරය සහ න්‍යායික පීලි පැනීම්

SHARE

හැඳින්වීම

අවස්ථාවාදය යනු කුමක් ද?

නිර්ධන පංති ව්‍යාපාරය තුළ සිය වර්ධනයේ ඕනෑම අවස්ථාවක ඕනෑම රටක විප්ලවයකට පොරාතුව මෙන්ම රාජ්‍ය බලය හිමි කර ගත් පසුව වුව ද පැන නැඟිය හැකි උපනතියකි, “අවස්ථාවාදය”.
විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු කාරණය වන්නේ එය පංති මතවාදයට සතුරු ප්‍රවණතාවක් ලෙස එකවරම හඳුනා ගැනීමට ඇති දුෂ්කරතාවයි. එබැවින්, නිර්ධන පංති ව්‍යාපාරය තුළ ඕනෑම මොහොතක පැන නැගිය හැකි වෙස්වලා ගත් ධනේශ්වර මතවාදය අවස්ථාවාදය හැටියට හඳුනා ගැනේ.

පංති ව්‍යාපාරය සිය ඉදිරි අරමුණු ජයග්‍රහණය කිරීමෙහි ලා උපාය උපක්‍රම කරා එළඹෙන විට දී වැරදි න්‍යායන් හා වැරදි උපක්‍රම වෙතට නැඹුරු විට හැකි අතර, එකී භාවිතාව විසින් පංති ව්‍යාපාරය තුළ පංති අරමුණුවලට එරෙහි අවස්ථාවාදය මතුවිය හැකිය. ලංකාවේ වමේ ව්‍යාපාරය සිය ආරම්භයේ සිට ම පැවති සිය ජාති ලක්ෂණ විසින්ම අවස්ථාවාදී උපනතියක් ලෙසින් වැඩුණු අතර, සිය දීර්ඝ කාලීන භාවිතාව තුළ හෝ එකී නිර්මාක්ස්වාදී ප්‍රවණතා පරාජය කිරීමට අසමත් විය. ඒ සඳහා දෘඪතර අරගලයක යෙදීමට එම වාමාංශික පක්ෂවලට නොහැකි විය. අවස්ථාවාදී උපනතිය, පංති ව්‍යාපාරය මුහුණ දෙන ඉතා සංකීර්ණ තත්වයක් මෙන්ම අවස්ථාවාදය පැන නැගීමට විෂයමූල වටපිටාවක් ද පවතී. පසුගාමී ධනේෂ්වර සංවර්ධනයත්, ඉන් පැන නගින සුළු ධනේෂ්වර ක්‍රියාකාරීත්වයත් මේ සඳහා ද්‍රව්‍යමය වැඩ කොටස ඉටු කරනු ලබයි. ඒ පිළිබඳ ලෙනින්ගේ අදහස් මෙසේ ය.

අවස්ථාවාදය යනු හදිස්සියේ ඇති වූ දෙයක්වත්, වැරදීමකින් ඇති වූ දෙයක්වත් නැතහොත්, පුද්ගලයන්ගේ ද්‍රෝහිකමක්වත් නොවේ. එය සමස්ත ඓතිහාසික වකවානුවක සමාජ නිපයුමකි.”

ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ ඉතිහාසය පුරාම විවිධ ස්වරූපයෙන් පැන නැගි අවස්ථාවාදී උපනතීන් හඳුනා ගැනීමට පුළුවන. එනම් බකුනින්වාදය, පෘදොන්වාදය, ලසාල්වාදය, බ්ලැන්කිවාදය, කෞට්ස්කිවාදය, ස්ටාලින්වාදය, ට්‍රොස්කිවාදය මාවෝවාදය හා පසුකාලීනව යුරෝ කොමියුනිස්ට්වාදය හා පශ්චාත් මාක්ස්වාදය වැනි ප්‍රවණතා ය.

අවස්ථාවාදය අපේ ප්‍රධාන සතුරා වෙයි. කම්කරු පංති ව්‍යාපාරයේ ඉහල ශ්‍රේණීන් තුළ තිබෙන අවස්ථාවාදය යනු නිර්ධන පංති සමාජවාදය නොව ධනේශ්වර සමාජවාදය වෙයි. අවස්ථාවාදී උපනතියට ඇලී ගැලී සිටින කම්කරු පංති ව්‍යාපාරයේ ක්‍රියාශීලී අය ධනපතියන්ට වඩා හොඳින් ධනපතියන් ආරක්ෂා කරන බව භාවිතාව විසින් පෙන්වා දී ඇත. කම්කරුවන්ට සපයන ඔවුන්ගේ නායකත්වය නොමැතිව ධනපතීන්ට බලයේ රැඳී සිටීමට නොහැකි වනු ඇත. මෙය සනාථ කොට ඇත්තේ රුසියාවේ කෙරෙන්ස්කි පාලනයේ ඉතිහාසය විසින් පමණක් නොවේ. ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව යටතේ පවතින එහි ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුව විසින් ද එය සනාථ කොට තිබේ. අපේ ප්‍රධාන සතුරා සිටින්නේ මෙතැන ය. අප මේ සතුරා පරාජය කළ යුතුය. අප මේ සම්මේලනයෙන් පිට විය යුත්තේ, සියළුම පක්ෂවල අවසාන කෙළවර දක්වා මෙම අරගලය කර  ගෙන යාම සඳහා දැඩි අධිෂ්ඨානයෙන් යුතුවයි. මෙය අපේ ප්‍රධාන කර්තව්‍යය වෙයි”

(ලෙනින් – කොමියුනිස්ට් ජාත්‍යන්තරය දෙවෙනි සම්මේලනය – වෙලුම 03 , 462 පිටුව)

අවස්ථාවාදය හෙවත් මෙන්ෂෙවික්වාදයේ නාමික උපත

“මෙන්ෂෙවික්” යන්න ලෝක වමේ ව්‍යාපාරයට එක් වනුයේ රුසියානු සමාජ  ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය තුළ මතු වූ අවස්ථාවාදී උපනතියක් සමගිනි. 1903 ජූලි 30 – අගෝස්තු 23 අතර කාලය තුළ බ්‍රසල්ස් හා ලන්ඩන් නගරයන්හි රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ දෙවෙනි සමළුව පැවැත්විනි. එහි දී ප්‍රධාන කණ්ඩායම් දෙකක් එකිනෙකාට එරෙහිව ගැටුණි.  ආරම්භයේ දී මෙය පක්ෂ සංවිධාන ප්‍රතිපත්තීන් පිළිබඳ ගැටුමක් ලෙස පෙනී ගිය ද මෙම බෙදී යාම පසුපස පැවතියේ වඩාත් ගැඹුරු දේශපාලන කරුණු බව පසුව පැහැදිලි විය. සමුළුව අවසානයේ දී ලෙනින් ඇතුළු පිරිස් බහුතරය හෙවත් “බොල්ෂෙවික්” විය. (රුසියානු භාෂාවෙන් බහුතරය යන්නට යෙදෙන ‘බොල්ෂෙවිත්වෝ’ යන්නෙන් බිඳී ආවකි.) ඊට එරෙහි මතය දැරූ පිරිස සුළුතරය හෙවත් ‘මෙන්ෂෙවික්’ විය. කෙටියෙන් කිවහොත් සුළුතරයේ කණ්ඩායම රුසියානු ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය තුළ අවස්ථාවාදී උපනතිය විය. රුසියානු භාෂාවේ සුළුතරය හැඳින්වීම සඳහා යෙදෙන “මෙන්ෂෙවිත්වෝ” යන වචනයෙන් බිඳී ආ “මෙන්ෂේවික්වාදය” යන්න එම සුළුතර කණ්ඩායමේ අවස්ථාවාදය හැඳින්වීම සඳහා එවක් පටන් භාවිතා වූ අතර පසුව සෙසු විප්ලවවාදී ව්‍යාපාරයන් තුළ ද පොදුවේ අවස්ථාවාදී ප්‍රවණතාවන් හැඳින්වීම සඳහා “ මෙන්ෂෙවික්” යන වචනය යොදා ගැනිනි.

රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ දෙවෙනි සමුළුවේ සිදු වූ සුළුතරය හා බහුතරය වශයෙන් වූ බෙදීමට පාදක වූ ප්‍රධාන කරුණ වූයේ වැඩ පිළිවෙල හෝ උපක්‍රම පිළිබඳ ප්‍රශ්නයකට වඩා පක්ෂය ගොඩ නැංවීම පිළිබඳ සංවිධාන ප්‍රශ්නයකි.

ශක්තිමත් ලෙස එවකට බැඳුණු පක්ෂ සංවිධානයක් වෙනුවට ඔවුන් ලිහිල් සංවිධානයක් ඉදිරිපත් කිරීම; පක්ෂ සමුළුවේ සිට එය විසින් පත් කරන සංවිධාන අනුව ඉහල සිට පහළට පක්ෂය ගොඩ නැගීමේ මතයට ඔවුන් විරුද්ධ වීම; සෑම මහාචාර්යවරයෙකුමත්, සෑම උසස් විද්‍යාල ශිෂ්‍යයෙකුමත්, සෑම වැඩ වර්ජකයෙකුමත්, පක්ෂයේ සාමාජිකයෙකු හැටියට ප්‍රකාශ කිරීමට ඔවුන්ට ඉඩ දෙන පහළ සිට ඉහලට පක්ෂය සංවිධානය කිරීමේ ප්‍රවණතාවයට ඔවුන් පක්ෂවීම; පක්ෂය විසින් පිළිගන්නා ලද එක් සංවිධානයකට පක්ෂ සාමාජිකයෙකු අයත් විය යුතු යැයි අපේක්ෂා කරන “විධිමාත්‍රවාදයට” ඔවුන් සතුරුවීම;  සංවිධානාත්මකව සම්බන්ධකම් හැඟීමෙන් තොරව පමණක් පිළිගැනීමට සූදානම්, ධනපති බුද්ධිමතුන්ගේ මානසිකත්වයට ඔවුන් නැඹුරුවීම, ඔවුන් ලොකුකම් පාන අවස්ථාවාදයට සහ අරාජිකවාදී වාග් පාඨවලට අභිරුචියක් දැක්වීම; මධ්‍යස්ථානගතවාදය වෙනුවට ඔවුන් ස්වතන්ත්‍රවාදයට නැඹූරුවීම”

(ලෙනින් තෝරා ගත් කෘති වෙළුම 02 පිටුව 8-9)

මෙන්ෂෙවික්වාදය බිහිවීම සඳහා වන ද්‍රව්‍යමය කොන්දේසි

නොනැවතී වර්ධනය වන ආර්ථික අර්බූදයත්, ඒ හා සමග ප්‍රකාශ වන සමාජීය, දේශපාලන අර්බුදයත්, ධනවාදය තුළ අනිවාර්ය ගුණාංග බවට පත් කොට ඇත. එහි දී ආර්ථික අර්බුදයන් වරින්වර දේශපාලන අර්බුදයන් දක්වා තල්ලුවන ආකාරය අපේ රටේත් සෙසු ධනපති රටවල් තුළත් හඳුනා ගැනීමට හැකිය. මෙකී තත්වය නිරන්තරයෙන් ධනපති ක්‍රමයට විකල්පයක් ඉල්ලා පළ කරනු ලබන විෂයමූල තත්වයක් නිර්මාණය කරයි. එහි දී පසුගාමී ධනේෂ්වර සංවර්ධනයක් සහිත නොදියුණු ධනපති රටවල හඳුනා ගත හැකි විශේෂත්වයක් වනුයේ සුළු ධනපති පංතියේ පුළුල් බව හා ක්‍රියාකාරීත්වයයි. සුළු ධනපති ක්‍රියාකාරීත්වය හමුවේ සුළු ධනපති පංති මතවාදය ද ශක්තිමත් වන අතර, ඒ ඔස්සේ සුලු ධනපති වුවමනා- එපාකම් නිරන්තරයෙන් ඉදිරියට මතුවීමේ හැකියාවද පවතී. එම නිසා පසුගාමී නොදියුණු පංති සමාජයන් තුළ විශේෂයෙන් සුළු ධනපති පංතියේ ක්‍රියාකාරීත්වය තුළින් අවස්ථාවාදී ප්‍රවණතා ඉස්මතු වීමේ ද්‍රව්‍යමය තත්වයක් නිර්මාණය කරනු ලබයි.

මෙන්ෂෙවික්වාදය භාවිතාව

මෙන්ෂෙවික්වාදය පැන නැගීම සඳහා වන කොන්දේසි ධනපති ක්‍රමය තුළම පවත්නා බැවින්, එවැනි භාවිතයන් ධනවාදයේ සිට කොමියුනිස්ට් ක්‍රමය දක්වාම විවිධ ස්වරූපයෙන් මෙන්ම විවිධ අවස්ථාවල දී හඳුනා ගැනීමට හැකි වනු ඇත. අවස්ථාවාදී වමේ ක්‍රියාකාරීත්වයන් දේශපාලනික ලෙස පහසුවෙන් හඳුනා ගත හැකි අතර, වමේ විප්ලවීය දේශපාලන ක්‍රියාකාරීත්වයක ඇති සංවිධානයන් කෙරෙන් ද කිසියම් මොහොතක මෙකී උපනතීන් පැන නැගීමේ හැකියාව පවත්නේය. එමෙන්ම ශක්තිමත් සංවිධානයන් නොමැති තත්වයන් තුළ වඩාත් උනන්දු සහගත ලෙස ක්‍රියාකාරීවීමට මෙන්ෂෙවික් ප්‍රවණතාවට හැකියාව පවතී.

ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ප්‍රභවය හා විකාශය

ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ඇරඹුම

1930 ගණන්වල දී ලාංකීය සමාජයේත් සෙසු ධනපති ලෝකයේත් වර්ධනය වෙමින් ආ ආර්ථික අර්බුදයත් මෙරට බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස්වීම සඳහා උද්ඝෝෂණික බලපෑමත්, ඒ වන විට ඒ ඊ ගුණසිංහගේ නායකත්වයෙන් පැවති වෘත්තීය සමිති නායකත්වයේ පාව දීම මගිනුත් වමේ දේශපාලන ව්‍යාපාරයකට මෙරට ජනතාව අතර පුළුල් බහුජන ක්‍රියාකාරීත්වයකට ඉඩකඩ නිර්මාණය කරනු ලැබිණි. අධිරාජ්‍ය විරෝධී සූරියමල් ව්‍යාපාරයකත් ඒ සමගම මැලේරියා මර්දන  ව්‍යාපාරයත් මඟින් වඩාත් පොදු ජනයා අතරටත්, උතුරේ ගොඩ නැගූ තරුණ සංගම් හා වෙනත් ක්‍රියාකාරීත්වයන් මඟින් දෙමළ ජනයා අතරටත් ආරම්භයේ දීම පැරණි වමේ ක්‍රියාකාරීත්වය දිගු විය. ඒ සමඟම 1936 ඉලක්ක කොට ගනිමින්, ශ්‍රී ලංකාවේ පළමු දේශපාලන පක්ෂය හැටියට 1935 දෙසැම්බර් මස 18 වැනි දින ලංකා සමසමාජ පක්ෂය පිහිටුවනු ලැබීය.

ලංකාවේ පැරණි වාමාංශික ව්‍යාපාරය උපතින් ම මෙන්ෂෙවික් ව්‍යාපාරයක් වූයේ කෙසේද?

1920 -30 දශකයන්හි එක්සත් ජනපද හා බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබූ ඇන්ඇම් පෙරේරා ඇතුළු ඇතුළු අයවලුන් සිය ප්‍රතිසංස්කරණවාදී ගුරුවරුන් මගිනුත්, විශ්ව විද්‍යාල ජීවිතයේ දී මුහුණ දුන් වර්ණභේදවාදී පීඩනය මගිනුත්, ප්‍රතිසංස්කරණවාදී බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂයේ බලපෑම මගිනුත් අධිරාජ්‍ය විරෝධී වමේ දේශපාලන ක්‍රියාකාරීත්වයකට නැඹුරු විය. එමඟින් ඔවුහු මෙරට දී සංවිධානාත්මක වමේ දේශපාලනයකට පදනම දැමුව ද, ලැබූ දේශපාලන ආභාසයත්, මධ්‍යම පාන්තික පදනමත් විසින් පාර්ලිමේන්තුවාදී, වෘත්තීය සමිතිවාදී වමේ ක්‍රියාකාරීත්වයකට එකී විභවය සීමා කෙරිණි.

පැරණි වාමාංශික ව්‍යාපාරය මගින් නිර්ධන පංතිය බෙදා වෙන් කළ අයුරු

1935 දි මෙරට ප්‍රථම දේශපාලන පක්ෂය හැටියට ලංකා සමසමාජ පක්ෂය ගොඩ නගන විට ද වමේ ව්‍යාපාරය හමුවේ අභියෝග ගණනාවක් මතුව පැවතිණි. යටත් විජිත වහල් භාවයට එරෙහිව ලාංකික ධනපති පංතිය පවත්වාගෙන ගිය අතරමැදි සාමයට එරෙහිව සැබෑ නිදහස දිනා ගැනීමටත්, ඒ ඔස්සේ ලාංකීය සියලු ජන කොටස් අතර සමගිය වර්ධනය කිරීමටත් ඒ වන විට දුර්වල කොට අසංවිධානාත්මකව පැවති කම්කරු පංතියට විශ්වාසනීය දියුණු නායකත්වයක් සැපයීමත්, පොදු ජනතාවගේ විශ්වාසය දිනා ගත් පුළුල් බහුජන ව්‍යාපාරයක් බවට පත්වීමටත් යන කරුණු එහි දී මූලික වූ අතර එමඟින් ලාංකික සමාජවාදී විප්ලවය උදෙසා පෙරමුණු බළඇණියක කාර්යභාරය ඉටු කිරීමට එයට පැවරී තිබිණි. එහෙත්, එය නිර්ධන පංතියේ පක්ෂය හැටියට පංතිය සමගි කරමින් පංතියටත් ජනතාවටත් නායකත්වය සැපයීමේ ඓතිහාසික වගකීම සපුරාලීමට අසමත් විය. එය වෙනුවට භේදභින්න වීම් දෙකඩ වීම් නැවත පටු අරමුණු මත එක්වීම් හා නැවත නැවතත් භේදභින්න වීම් සහිත අභාවාචක අවසානයකට සීමාකාරී විය. 1935 දෙසැම්බර් 18 වෙනි දින ආරම්භ වූ ලංකා සමසමාජ පක්ෂය ඉන් වසර හතරකට පසුව එනම්, 1939 ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ බේදභීන්නවීම්වලට අනුව යමින්, දෙකඩ වූ අතර එස් ඒ වික්‍රමසිංහ හා චෛත්‍යලිංගම්ගේ නායකත්වයෙන් එක්සත් සමාජවාදී පක්ෂය නිර්මාණය විය. 1943 ජූනි මාසයේ දී පීටර් කේනමන් ලේකම් හැටියට පත් වෙමින්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය බවට පත් වූයේ සමාජවාදී පක්ෂයයි. නැවත සමාජවාදී පක්ෂ්‍ය බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂය හැටියට දෙකඩ වූ අතර. බෙදී ගිය සමාජවාදී පක්ෂ දෙක යළි 1950 දි සමගි සම්මේලනයක් පවත්වා එක් විය. 1950 සමගි සම්මේලනයත් සමග නැවත බෙදී යන පිලිප් ඇතුළු මහජන එක්සත් පෙරමුණ ගොඩ නගනු ලැබූ අතර, පසුව ඔහු 1956 දි එක්සත් ජාතික පක්ෂයට එක් විය. නැවතත්, 1965 දි සමසමාජ පක්ෂයෙන් බෙදී ගිය කරාලසිංහම් හා කීර්ති බාලසූරිය කම්කරු සංගමය ගොඩ නැගූ අතර 1975දි වික්‍රමබාහු හා වාසුදේව බෙදී ගොස් නව සමාජ පක්ෂය ගොඩ නංවනු ලැබීය. මේ අයුරින් කොමියුනිස්ට් පක්ෂය ද වරින් වර බෙදී ගිය අතර 1960 ගණන්වලදී මතු වූ චීන – රුසියන් මත බේදයත් සමග 1963දී රුසියන් හා චීන පිල හැටියට කොමියුනිස්ට් පක්ෂය තුළ ප්‍රධාන බෙදීමක් ඇති වූ අතර, පසුව චීන පිලෙන් ජනතා විමුක්ති පෙරමුණ බිහි විය.

පවා දීමේ ඉතිහාසය

පැරණි වමේ ව්‍යාපාරය වර්ධනය වූ ඓතිහාසික පසුබිමෙහි තීරණාත්මක ප්‍රතිවිරෝධයන් හඳුනා ගත හැක. එනම්, ලාංකීය නිර්ධන පංතිය සහ අධිරාජ්‍යවාදීන්ගේ කැමැත්ත සහ සහයෝගය මත ක්‍රියාත්මක වූ ලාංකීය ධනපති පංතිය අතර ප්‍රතිවිරෝධයයි. මේ ප්‍රතිවිරෝධය තව දුරටත් හඳුනා ගත යුත්තේ පංති ප්‍රතිවිරෝධය ලෙසයි. නිර්ධන පංතියේ අරගලකාරී මාවත තෝරා ගන්නා විට ධනේශ්වරය තම උපක්‍රමවල වෙනස්කමක් කරා යාම අවශ්‍ය දෙයක් විය. තවදුරටත් තම අධිපතිත්වය සහ වරප්‍රසාද රැක ගැනීමට නම්, එසේ කළ යුතුයි. මේ තත්වය හමුවේ ධනේශ්වර ද සුවිශාලතම ජයග්‍රහණය වූයේ පැරණි වමේ ව්‍යාපාරය තම අවශ්‍යතා පරිදි මෙහෙයවීමට ලද හැකියාවයි. මේ වුවමනාවන් තම ක්‍රියාත්මක වූ පැරණි වමේ ව්‍යාපාරයේ මෙන්ෂෙවික් නායකත්වය නිර්ධන පංතියේ පංති සටන් විනාශ කරමින් ද, විකෘති කරමින් ද තම ඉතිහාසය තුළ සටහන් තැබූහ. මේ අනුව පැරණි වමේ ව්‍යාපාරය ගෙවා දමන ඉතිහාසය අන් කිසිවක් නොව පාවා දීමේ ඉතිහාසයක් විය. මේ ඉතිහාසය තුළ අප හඳුනා ගන්නා විශේෂ අවස්ථා කිහිපයක් මෙසේ ය.

1946 මහා වැඩ වර්ජනය

1930 ගණන්වල මුල භාගයේ පටන් ලෝක පරිමාණයෙන් වර්ධනය වූ ආර්ථික අර්බුදය දෙවන ලෝක යුද්ධයත් සමග තව දුරටත් ඉදිරියට තල්ලු වූ අතර, ලාංකීය සමාජය ද මේ තත්වයට ගොදුරු විය. එහි දී වැඩි වැටුප් ඇතුළු ඉල්ලීම් මුල් කොට ගත් කම්කරු අරගල 1946 දි ක්‍රමානුකූලව ඇරඹුණු අතර එය වැඩ වර්ජන රැල්ලක් බවට පත් වෙමින්, 1947 දි කම්කරුවන් 50,000 කට අධික ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් යුත් සමස්ත මහා වැඩ වර්ජනයක් දක්වා ව්‍යාප්ත විය. බ්‍රිතාන්‍ය ධනපති පංතියට තව දුරටත් පැරණි ස්වරූපයෙන් පවත්වා ගත නොහැකි වූ යටත් විජිත පාලනය මෙරට ධනපති පංතිය අතට මාරු වූයේ ද මේ අවස්ථාවේ දී ය. එහෙත්, පාලක පංතිය දුර්වල වූ වටපිටාවක් හමුවේ දී වුව වමේ ක්‍රියාකාරීත්වය විසින් සිදු කළේ වැඩ වර්ජනයක් වැඩ වර්ජකයන්ගේ ඉල්ලීම් දිනා දෙමින්, සංවිධානාත්මක බලයක් කම්කරු පංතිය අතර ගොඩ නගා ගන්නවා වෙනුවට ඔවුන් රාජ්‍ය මර්දනයට යට කර දැමීම ම ය. කම්කරුවන්ට එරෙහිව පාලක පංතියේ මර්දනය දියත් වූ අතර කන්දසාමි නම් සටන්කාමී කම්කරුවා මරා දැමිණි.

1947 මැතිවරණය

1947 පැවති මහ මැතිවරණයේ ප්‍රධාන කඳවුරු දෙක වූයේ දක්ෂිණාංශික එක්සත් ජාතික පක්ෂයත්, වමේ ව්‍යාපාරයත් ය. සැබවින්ම පංතියට නායකත්වය දිය හැකි පක්ෂයක් පැවතියේ නම්, තිබූ තත්වය හමුවේ ශක්තිමත් බහුජන පදනමක් වමේ ව්‍යාපාරයට හිමි කර ගත හැකිව පැවැතිණි. එහෙත් අවසානයේ පිළි බෙදුණු අවස්ථාවාදී වමට හැකි වූයේ තව දුරටත් තම බෙදීම ඉස්මතු කොට ගනිමින්, එක්තරා ආකාරයකට ධනපති පංතියට සහාය වීම පමණකි. මැතිවරණයේ දී තම අපේක්ෂකයින් තරඟ නොවදින තැන්වලදී ට්‍රොස්කිවාදය පැරදවීම සඳහා එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන ලෙස කොමියුනිස්ට් පක්ෂය ඉල්ලා සිටීම එක් උදාහරණයකි.

1947 මැතිවරණ ප්‍රතිඵලය                                    ආසන

එක්සත් ජාතික පක්ෂය                      42

ලංකා සමසමාජ පක්ෂය                    10

බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂය     05

කොමියුනිස්ට් පක්ෂය                       03

කම්කරු පක්ෂය                                01

සමස්ථ ලංකා ද්‍රවිධ සංගමය               07

ස්වාධීන මන්ත්‍රීවරුන්                          21

ඉංදියානු සංගමය                               06

එකතුව                                            95

මෙම ප්‍රතිඵලවලින් පෙනී යන්නේ වමේ පක්ෂ එක්සත් භාවයක සිට කටයුතු කළේ නම්, එක්සත් ජාතික පක්ෂයට පැහැදිලි අභියෝගයක් එල්ල කළ හැකිව තිබූ බවයි. එහෙත්, මෙහිදී වමේ නායකත්වයට හැකි වූයේ ධනපති පංතියේ ජයග්‍රහණය තහවුරු කර දීම පමණි. වමට ආණ්ඩුවක් පිහිටුවීමට මේ නොවුවද ධනපති ආණ්ඩුව ශක්තිමත් වීම වළක්වා විපක්ෂය සවිමත් කර ගැනීමට ඉඩ තිබිණි. විශේෂයෙන්ම රාජාසන කතාවෙන් පසු පැවති විවාදයේ දී සහයෝගය ලබා ගත හැකිව තිබූ ස්වාධීන මන්ත්‍රීවරුන් දැඩි සේ අපහසුතාවට ලක් කරමින්, කොල්වින් කළ කුප්‍රසිද්ධ ඔළු තුනේ බූරු කතාවෙන් තත්වය තව දුරටත් ව්‍යාකුල විය.

1952 මැතිවරණය

1952 මහ මැතිවරණයේ දී මුළු ආසන 95 න් එජාපය ආසන 54 ක් දිනා සිටි අතර බණ්ඩාරනායක අලුතින් පිහිට වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 9ක් ද, සමසමාජ පක්ෂයට ආසන 9ක් ද,  කොමියුනිස්ට් පක්ෂය හා පිලිප් ගුණවර්ධනගේ පක්ෂයට ආසන 4ක් ද විය. 1952 මැතිවරණයෙන් පසු විපක්ෂ නායකයා තේරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර පැවති ඡන්දයේ දී විප්ලවකාරී සමසමාජ පක්ෂයේ පිලිප් ගුණවර්ධනත්, කොමියුනිස්ට් පක්ෂ කණ්ඩායමත් වමේ අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වූ ඇන් ඇම්ට එරෙහිව බණ්ඩාරනායකට පක්ෂ වූහ. ප්‍රතිඵලය වූයේ නව ධනපති පක්ෂයේ නායකයා විපක්ෂයේ නායකයා හැටියට අසුන් ගැනීම ය. මෙහිදී කට්ටිවාදී වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටිමින් වමේ නායකත්වය ධනපති පංතියේ ජයග්‍රහණය  තහවුරු කළේය.

1953 ජනතා නැගිටීම

1953 ජනතා නැගිටීම පාවාදීම ද පැරණි වමේ මෙන්ෂවික් ලක්ෂණ පෙන්වන සිදුවීමකි. 1953 අයවැය යෝජනාවලින් එවක බලයේ සිටි ඩඩ්ලි සේනානායකගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් අත්‍යාවශ්‍ය හා සේවා මිල ඉහල දැමිණි. හාල් සේරුව ශත 25 සිට ශත 75 දක්වා 200%කින් ඉහල දැමීම ද, පාසල් සිසුන්ගේ දිවා ආහාරය කපා දැමීම ද,  දුම්රිය හා බස් ගාස්තු ඉහල දැමීම ද සිදු විය. මෙයින් පීඩාවට පත් ජනතාව අරගල මග තෝරා ගත්හ. ජනතාවගේ සටන්කාමීත්වය හමුවේ ප්‍රතික්ෂේප නොවී සිටීමට නම්, කුමන හෝ ක්‍රියාමාර්ගයක් ගැනීමට පැරණි වමේ නායකත්වයට සිදු විය. ඒ අනුව හර්තාල කොමිටියක් සේ සංවිධානය වී අගෝස්තු 12 දින හර්තාල දිනය වශයෙන් ප්‍රකාශයට පත් කළහ. පැරණි වමේ නායකයින් එය හර්තාලයක් දක්වා ලඝු කළ ද, සත්‍ය වශයෙන්ම එහි දී ජනතා නැගිටීම හමුවේ ධනපති ආණ්ඩුව අසරණ විය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට රැස් වූයේ වරායේ නවතා තිබූ නිව් ෆවුන්ලන්ඩ් නැවට පලා ගොසිනි. මේ තත්වය සමග කම්කරු පංතිය සමග එක්ව කටයුතු කරමින් ඉල්ලීම් දිනා ගන්නවා වෙනුවට ඊනියා හර්තාල් කොමිටිය සිය විරෝධතාවය එක් දිනකට සීමා කොට පසු දින පටන් වැඩට යන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිනු ලැබීය. මේ තත්වය හමුවේ කම්කරුවන් වෙත දැඩි මර්දනයක් දියත් වූ අතර සටන්කාමී කම්කරුවන් 7 දෙනෙකු මරා දැමිණි. රාජ්‍ය බලය අත්පත් කර ගැනීම දක්වා කම්කරු පංතියට නායකත්වය සැපයීම හෝ අවම ක්‍රියාමාර්ග හැටියට තම ඉල්ලීම් දිනා ගැනීමට හෝ කටයුතු නොකළ වමේ නායකත්වය සංවිධානාත්මකව අරගලය පරාජයෙන් කෙළවර වීමට ඉඩ සලස්වන ලදී.

1963 වාමාංශික එක්සත් පෙරමුණ

60 දශකයේ මුල් භාගයේ දී ද තමන් වෙත පටවන ලද පීඩනයට එරෙහිව කම්කරු පංතියේ නැගිටීම් මතු වන්නට විය. අතීත අත්දැකීම් කොතරම් අමිහිරි වුවද, කම්කරු පංතිය පැරණි වමේ නායකත්වය කෙරෙහි මෙම අවස්ථාවේ දීත් විශ්වාසය තැබූහ. කම්කරු පංති  ක්‍රියාකාරීත්වය හමුවේ සමසමාජයත් කොමියුනිස්ට් පක්ෂයත් පිලිප්ගේ මහජන එක්සත් පෙරමුණත් එක්ව වාමාංශික එක්සත් පෙරමුණ පිහිටුවා 1963 අගෝස්තු 12 දින වාමාංශික එක්සත් පෙරමුණ මඟින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත පිවිසුණි . මෙම අරගලය ‘ඉල්ලීම් 21 ව්‍යාපාරය’ හැටියට ප්‍රසිද්ධ වූයේ ද ඒ අයුරිනි. මේ වන විට ශ්‍රීලනිප ආණ්ඩුව පැවතියේ දැඩි අර්බුදයක ය. අයවැය ලේඛනය සකස් කර ගැනීමට නොහැකිව මුදල් ඇමතිවරු තුන් දෙනෙකු (ෆිලික්ස්, සීපී ද සිල්වා, කළුඅග්ගල) විටින් විට ඉවත් වී තිබිණි. 1963 වන විට මුදල් ඇමති වූයේ ඉලංගරත්න ය. ශ්‍රීලනිපය තුළ එක පැත්තකින් හමුදා ආණ්ඩුවක් තැනීමේ සූදානමක් තිබූ අතර, අනෙක් පැත්තෙන් වම සම්බන්ධ කර‌ ගෙන සභාග ආණ්ඩුවක් ගොඩ නැගීමේ උත්සාහයක් ද තිබිණි. ඒ සඳහා සමසමාජය සමග සාකච්ඡා කරන ලදී. වැඩ කරන ජනතාව අරගලය තුළ සිටිය දී එන්. එම්. පෙරේරා ඇතුළු සමසමාජ නායකයින් ඇමති ධුර තුනකට සහ උප ඇමති ධුර දෙකකට ඉල්ලීම් 21 අතහැර ශ්‍රීලනිප ආණ්ඩුවට රිංගා ගත්හ. පසුව පිලිප් එක්සත් ජාතික පක්ෂයට එක් විය.

1980 ජූලි වර්ජනය පාවා දීම

1980 ජූලි වර්ජනය අති විශාල කම්කරු පිරිසකගේ සහභාගීත්වයෙන් දියත් කෙරිණි. එහි දී ද පැරණි වාම නායකත්වයට හැකි වූයේ 114,000ක් පමණ වැඩ වැරූ කම්කරුවන්ගේ රැකියා අහිමි කර දීම පමණි. ධනපති රාජ්‍ය යාන්ත්‍රණයට අත්‍යාවශ්‍ය වූ කම්කරු නායකත්වය වැඩබිම්වලින් නෙරපා දැමීමට හවුල් වීම පමණකි. 1977න් ඇරඹි විවෘත ආර්ථික ක්‍රියාවලියත් සමග පීඩාවට පත් කම්කරු පංතියට නැගී  සිටින්නට සිදු වූයේ ශක්තිමත් මර්දන යන්ත්‍රයක් අතැතිව උන් ධනපති පාලකයින්ට එරෙහිව ය. එහි දී කම්කරු පංතියේ විවිධ ශ්‍රේණි අතර සමගිය ගොඩ නැගීම, සමස්ත මහා වැඩ වර්ජනයක් කැඳවීම සඳහා ඇති හැකියාව නිවැරදිව තක්සේරු කිරීම, ඒ සඳහා වෘත්තීය සමිති වාමාංශික පක්ෂ හා පොදුවේ විරුද්ධ දේශපාලන පක්ෂවල සහාය ලබා ගැනීම ඇතුළුව ධනපති පංතියට උපායශීලිව මුහුණ දීම සඳහා සූදානම් කළ වැඩ පිළිවෙලක් පැරණි වම තුළ නොවීය.

88/89 මර්දනයට සහාය පළ කිරීම

1983 දි ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමේ පටන් 1988 / 90 දක්වා හැට දහසකට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කරමින් ජේ. ආර්. ජයවර්ධන – ආර් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු ගෙන ගිය මර්දනයේ දී පැරණි වමේ පූර්ණ සහාය ආණ්ඩුව වෙත ලැබිණි. එහි දී ප්‍රතිවිප්ලවකාරී සංවිධාන ගොඩ නැගීම, ඒවාට සහාය දීම, රජයේ ඔත්තුකරුවන් හැටියට කටයුතු කිරීම ආදී නොයෙකුත් ආකාරයෙන් මර්දන යන්ත්‍රයට දායක විය.

1994 පොදු පෙරමුණු සන්ධානය තුළ

එක්සත් ජාතික පක්ෂයේ දාහත් වසරක කාලය පුර ගෙන ගිය විවෘත ආර්ථික ප්‍රතිපත්තියටත්, පෞද්ගලීකරණයටත්, ඒ හා බැඳුණු කම්කරුවන්ට එරෙහි ක්‍රියාමාර්ගවලටත් එකඟව කටයුතු කරනු ලැබීය. ඊනියා කම්කරු ප්‍රඥාප්තියක් ස්ථාපිත කරන බවට පොරොන්දු වෙමින්, යළිත් වරක් ජනතාව මුලා කළ මොවුන් බෙදුම්වාදය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා පොදු ජන එක්සත් පෙරමුණු ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන ලදී. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුළ සිටීම සහ 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වීම, විශ්‍රාම වැටුප් පනතට, පෞද්ගලීකරණ අණපනත්වලට එකඟ වීම සිදු විය.

අප මෙහිදී කෙටියෙන් සාකච්ඡා කළේ පැරණි වමේ ව්‍යාපාරය සිය ඉතිහාසය තුළ විවිධ වකවානු හා අරගල තුළ පෙන්නුම් කළ මෙන්ෂෙවික් ලක්ෂණයන්ගෙන්  කිහිපයකි. පැරණි වමේ ඉතිහාසය සමීපව අධ්‍යනය කරන විට පෙනී යන කරුණු කීපයක් වේ. වරෙක ඔවුන් නිර්ධන පංතිය අතරමං කර පාවා දීමට ද, එය ඉටු කර ගැනීමට නොහැකි වූ තැන ධනපති පංතිය සමග එක්ව නිර්ධන පංතිය මර්දනය කිරීමට ද කටයුතු කළ බව ය.
පැරණි වමේ ව්‍යාපාරය අධ්‍යනයේ දී වැදගත් නිගමන කිහිපයක් මතු කෙරේ. එනම්, එය විවිධ අවධීන් තුළ විනාශයටත්, අභාවයටත්, යාමක් උරුම කොට ගත් ඓතිහාසික සාධකයක් බවයි. එය මෙරට ධනවාදයේ හා ලෝක පරිමාණයෙන් මතු වූ ධනවාදයේ අර්බුදයේත්, අනෙක් පැත්තෙන් ජාත්‍යන්තර නිර්ධන පංති ව්‍යාපාරය මුහුණ දුන් අභාවාචක අත්දැකීම්වලත් පරාවර්තනයක් ලෙස ලාංකීය දේශපාලනය තුළ මතු වූ බවයි.

මෙරට වමේ ව්‍යාපාරය 1930 ගණන්වල සංවිධානාත්මක දේශපාලන ව්‍යාපාරයක් ලෙස ආරම්භ වී දශක කීපයක දී එනම්, 50 දශකය වෙන විට පළල් වෘත්තීය සමිති ව්‍යාපාරයක් හා පාර්ලිමේන්තු නියෝජනය කරන බහුජන බලවේගයක් බවට පත් විය. මේ අයුරින් පළමු දශක කිහිපය තුළ පැරණි වමේ ව්‍යාපාරය අත්පත් කර ගත් ජයග්‍රහණයන් ගණනාවක් විය. සූරියමල් ව්‍යාපාරය, මැලේරියා මර්දන ව්‍යාපාරය ඇතුළු බහු ජනතාව දිනා ගත් ක්‍රියාමාර්ග ඉදිරිපත් වූ අතර, මේ මගින් වෘත්තීය සමිති ව්‍යාපාරය තුළත් වතුකරයේ හා උතුරේ දෙමළ ජනතාව තුළත් වම තහවුරු කර ගැනීමට හැකි විය. එහෙත් ඒ සියල්ල පසෙක ලා ධනපති පංතිය සමග උපාය මාර්ගිකවම සහයෝගිතා දේශපාලනයට අවතීර්ණ වීමත්, බහු ජනතාව අතර විශ්වාසය දිනා ගැනීම වෙනුවට තම පැවැත්ම වෙනුවෙන් පාර්ලිමේන්තුව හරහා අවස්ථාවාදයට තල්ලු වූ අතර කම්කරු අරගල හරහා මතු වූ දේශපාලන අරගල ද දරුණු පරාජයන්ට හා පාවාදීම්වලට යට කර දමනු ලැබීය.
(පැරණි වමේ සභාග දේශපාලනය උපක්‍රමික අර්ථයෙන් සිදුවූවක් නොව උපායමාර්ගිකවම සිදුවූවක් බව අවධාරණය කළ යුතුය)

පැරණි වමේ ව්‍යාපාරයේ න්‍යායික පීලි පැනීම්

පැරණි වමේ ව්‍යාපාරයේ න්‍යායික පීලි පැනීම් ප්‍රකාශයට පත් වූයේ අහම්බයකින් හෝ අත්වැරදීමකින් නොවේ. අවස්ථාවාදය යනු සමස්ත ඓතිහාසික ක්‍රියාවලියක විවිධාකාර වූ ප්‍රකාශනයක් වේ. එය සංකීර්ණ හා විවිධාකාර වූ සන්දර්භයන්ගෙන් ප්‍රකාශයට පත් වේ. එනිසාම පැරණි වම හරහා ප්‍රකාශයට පත් වූ න්‍යායික පීලි පැනීම් වඩාත් සමීපව හඳුනා ගැනීම ඉතා වැදගත් වේ.

විප්ලවයේ අවධිය පිළිබඳ සාවද්‍ය මත

ලංකා සමසමාජ පක්ෂය ආරම්භයේ පටන්ම පැවතියේ ප්‍රතිසංස්කරණවාදී පක්ෂයක් ලෙස ය. එය කොමියුනිස්ට් පක්ෂය ලෙස පක්ෂය ලෙස තමන්ව හඳුන්වා ගැනීමට මැලි විය. ඒ අතර ලාංකීය සමාජවාදී විප්ලවය ගැන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය මුල සිය දැරුවේ වැරදි මතයකි. ඔවුහු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය හා සමාජවාදී විප්ලවය ලෙස විප්ලවය අවධි දෙකකට වෙන් කළහ. සමාජවාදී විප්ලවයට පෙර අධිරාජ්‍ය විරෝධි අරගලයක් තුළින් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ජය ගත යුතුව ඇතැයි කීය. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ දී ප්‍රගතිශීලි ධනපති පංතියේ නායකත්වය යටතේ ගොවියන්, කම්කරුවන් ඇතුළු ප්‍රගතිශීලි බලවේග සංවිධානය කොට අධිරාජ්‍ය ගැති ධනපති පංතිය පරාජය කළ යුතු බව මෙහිදී මූලිකවම විග්‍රහ කෙරිනි.

මේ පිළිබඳ තවත් පිරිසක් දැරූ මතය වූයේ නිර්ධන පංතියේ නායකත්වය යටතේ ප්‍රගතිශීලි ජාතික ධනපති පංතියත් සියලු ප්‍රගතිශීලි බලවේගයනුත් පෙළගැස්විය යුතු බව ය. එහි දී ඉලක්කය වූයේ සමාජවාදී විප්ලවයට පෙර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ජය ගත යුතු බව ය.

ජාතික ධනේශ්වර පංතිය ප්‍රගතිශීලි යැයි පිළිගැනීම

ජාතික ප්‍රගතිශීලි ධනපති ව්‍යාපාරය හැටියට මුල් කාලයේ ලංකා ජාතික ව්‍යාපාරය හා පසුව එක්සත් ජාතික පක්ෂය සැලකූ කොමියුනිස්ට් පක්ෂය මෙන්ම සමසමාජ පක්ෂය ද පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ප්‍රගතිශීලි ධනපති පංතිය ලෙස සලකා ඔවුන් සමග එක්ව කටයුතු කරන ලදී. විශේෂයෙන් පසුගාමී උත්තරාරෝපිත ධනවාදයක් උරුම කර ගත් ලාංකීය සමාජය තුළ අධිරාජ්‍යවාදී අවධියේ දී ප්‍රගතිශීලි ධනපති ව්‍යාපාරය හඳුනා ගැනීමට හා එසේ එක්ව ක්‍රියා කිරීමත් තුළින් පැරණි වම වැරදි න්‍යායික ප්‍රවේශයකට තල්ලු විය.

ධනපති පංතිය සමාජවාදයේ කොටස්කරුවෙකු බව පිළිගැනීම

ප්‍රගතිශීලි ධනපති පංතිය සමග එක්ව ආණ්ඩු බලය දිනා ගනිමින්, ප්‍රතිසංස්කරණ ඔස්සේ සමාජවාදී අරමුණ දිනා ගැනීමට කටයුතු කිරීම. මේ මගින් ජනතාව තුළ ද සමාජවාදය දිනා ගැනීම සඳහා ධනපති පංතිය සමග කටයුතු කළ යුතු බවට වැරදි මතයක් තහවුරු වූ අතර, ප්‍රතිගාමී ධනපති පංතිය වෙත ප්‍රගතිශීලි මුහුණුවරක් ආදේශ කරනු ලැබීය.

සැබෑ ජාත්‍යන්තරවාදීන් වෙනුවට පැවැත්ම සඳහා ජාත්‍යන්තරවාදීන් ලෙස කටයුතු කිරීම

ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය මුහුණ දී සිටි න්‍යායික පීලි පැනීම්වලට අනුව යමින් කටයුතු කරනවා හැර ඉන් බැහැරව රට තුළත්, ජාත්‍යන්තරය තුළත් නිවැරදි ජාත්‍යන්තරවාදී ක්‍රියාකාරීත්වයක් දක්වා වර්ධනය වීමට පැරණි වම අසමත් විය. ඔවුහු ඒ වෙනුවට ඉතා පටු පුද්ගලික අරමුණු සඳහා තම පැවැත්ම උදෙසා ජාත්‍යන්තර සබඳතා යොදා ගනු ලැබීය.

පාර්ලිමේන්තුව තුළ නිර්ධන පංති මතවාදයෙන් බැහැරව කටයුතු කිරීම

පාර්ලිමේන්තුව හා වෙනත් බහුජන ආයතන හරහා ජනතාවට දැනුම, අවබෝධය ලබා දීමත් හා ජනතාවගේ පළල් විශ්වාසය දිනා ගැනීම හා ඒ මගින් ශක්තිමත් වමේ ව්‍යාපාරයක් බවට වමේ ව්‍යාපාරය පත් කර ගැනීම වෙනුවට ධනපති පංතිය හා එක්ව සභාග දේශපාලනයක් හරහා සමාජවාදය කරා යෑමේ අවස්ථාවාදයට පැරණි වම ගොදුරු විය.

කම්කරු අරගල ආර්ථිකවාදය හා වෘත්තීය සමිතිවාදය තුළ දිය කර හැරීම

ධනපති සමාජ ක්‍රමය තුළ සමාජ විප්ලවය සඳහා සංවිධානය කළ යුතු කම්කරු පංතිය ආර්ථිකවාදී ඉල්ලීම් තුළ පමණක් සීමා කිරීමට පැරණි වමේ නායකයෝ කටයුතු කළහ. පවතින ධනපති ක්‍රමය තුළ දී ම වඩා උසස් ජීවත තත්වයක් ලඟා කර ගැනීමේ හැකියාව ගැන බලාපොරොත්තු ඇති කොට ඒ සඳහා කළ යුතු ආර්ථික අරගලය වෙනුවෙන් ධනපති සමාජ ක්‍රමයට එරෙහි අරගලය අත්හැර දැමීය. ඒ මඟින් ධනපති පංතියේ පැවැත්ම රැකීමට ඔවුහු ඉදිරිපත් වූහ. කම්කරු පංතිය ධනේශ්වරයෙන් ඉවත් කොට ස්වාධීන පක්ෂයක් ලෙසින් සංවර්ධනය කිරීමේ වුවමනාවක් ඔවුන් වෙත නොවීය. එම බලවේග රාජ්‍ය බලය දිනා ගනු පිණිස මෙහෙයවීමේ කිසිදු වුවමනාවක් ද කිසි කලෙක ඔවුනට නොවීය.

දියාරු සංවිධාන ප්‍රතිපත්ති

ධනපති පංතියේ බලහත්කාරය හමුවේ ඊට ප්‍රතිපක්ෂ අරගලය පවත්වා ගැනීම සඳහා නිර්ධන පංතිය සතුව තිබිය යුතු දියුණුම හා උසස්ම ගුණය වූ සංවිධානමය වුවමනාව පැරණි වමේ ව්‍යාපාරයේ මෙන්ෂෙවික් ලක්ෂණ විසින් හෑල්ලුවට ලක් විය. මෙහි ඉහලම ආකාරය ට්‍රොට්ස්කිවාදය තුළ ප්‍රදර්ශනය වුවද, අනෙක් පැරණි වාම ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය තුළ ද මීට සමාන තත්වයක් නිරූපණය විය. ලෙනින්වාදී සංවිධාන ප්‍රතිපත්තිය වූ ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතභාවය මෙම සංවිධාන තුළ ක්‍රියාත්මක නොවීය. ඒ වෙනුවට එක්කෝ මධ්‍යගත බවින් තොර ප්‍රජාතන්ත්‍රවාදය හෙවත්, ට්‍රොට්ස්කිවාදී ප්‍රතිපත්තිය ද නැතිනම්, ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර මධ්‍යගතභාවය වූ ස්ටාලින්වාදී සංවිධාන ප්‍රතිපත්තිය ද මොවුන් තුළින් ප්‍රදර්ශනය විය.

ජාතික ප්‍රශ්නයේ දී අවිද්‍යාත්මක නිගමනවලට එළඹීම

පැරණි වමේ ව්‍යාපාරය මුල් කාලීන ක්‍රියාකාරීත්වයේ දී ජාතික සමගිය හා සහෝදරත්වය වෙනුවෙන් පෙනී සිටිය ද, පසුව ජාතිවාදී අන්තයන්ට ධනපති පක්ෂ සමග තල්ලු වී යන ලදී. ඒ අතර, ජාතික ප්‍රශ්නය අරබයා මාක්ස් -ලෙනින්වාදී විද්‍යාත්මක විසඳුමක් තෝරා ගැනීම වෙනුවට අධිරාජ්‍යවාදයට හා බෙදුම්වාදයට පක්ෂපාතී මතවාදයක් දක්වා ඇද වැටිණි.

ගොවි ජනතාව සංවිධානය කිරීම මගහැරයාම

ලංකාවේ පැරණි වමේ ව්‍යාපාරය ගොවි ජනතාව බලවේගයක් ලෙස සංවිධානය කිරීමෙන් මඟ හැර ගියහ. ලංකා සමසමාජ පක්ෂය ප්‍රතිපත්තියක් වශයෙන්ම ගොවි ජනතාව සංවිධානය නොකළ අතර, කොමියුනිස්ට් පක්ෂය ලංකා ගොවි සම්මේලනය හරහා ඉතා දියාරු ලෙස ගොවි ජනතාව අතර කරන ලද සංවිධාන කටයුතු පසුව අත්හැර දමන ලදී.

නිර්ධන පංති සංස්කෘතිය

නිර්ධන පංති සංස්කෘතිය උසස් හා විද්‍යාත්මක ලෙස අර්ථ දැක්වීමත්, එය සමාජවාදී සමාජයක් කරා රැගෙන යාමත් මෙන්ෂෙවික් ප්‍රවණතාවය විසින් බැහැර කරනු ලබයි. විප්ලවවාදී පක්ෂයක් තුළ පවත්වා ගත යුතු නිර්ධන පාංතික සංස්කෘතිය  ලක්ෂණ පවා ට්‍රොට්ස්කිවාදීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි. ස්ටාලින්වාදීන්, මාවෝවාදීන් හෝ ට්‍රොට්ස්කිවාදීන් වැනි කුමන නමකින් හැඳින්වුව ද,  කුමන ආකාරයක හැඩයක් අත්පත් කර ගත්ත ද, මේ සියල්ල අවස්ථාවාදී විය. මෙන්ෂෙවික්වාදී විය. එය සැබෑ මාක්ස් ලෙනින්වාදයට ප්‍රතිපක්ෂ ය.

ලාංකීය වමේ ව්‍යාපාරය හා ජනතා විමුක්ති පෙරමුණ

වෘත්තීය විප්ලවවාදියෙකු බිහි වන්නේ කෙසේද?

වෘත්තීය විප්ලවවාදියෙකු බිහි වීම සඳහා කොන්දේසි කිහිපයක් සම්පූර්ණ විය යුතුය. වෘත්තීය විප්ලවවාදියෙකු සඳහා පළමු කොන්දේසිය වනුයේ, තම වෘත්තිය නිර්ධන පංති දේශපාලනය බවට පත් කොට ගැනීම ය. එහි දී පෞද්ගලික අරමුණු දෙවෙනි කොට තබමින්, පක්ෂයේ අරමුණු සඳහා කටයුතු කිරීම ද, නිර්ධන පංති විප්ලවය හා සමාජවාදය ඇතුළු විප්ලවීය ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යාවශ්‍ය වන දැනුමින් පෝෂණය වීම ද ඒවා සංවිධානය කිරීම සහ මෙහෙය වීම වෘත්තීය විප්ලවවාදියා සතු වගකීමක් වන අතර, ඒ සඳහා දිගු කාලීනව ස්වේච්ඡාවෙන් වෙහෙස විය හැකි ගුණාංගයෙන් ද ඔහු සතු විය යුතුය.

ජනතා විමුක්ති පෙරමුණ බිහිවීම සහ පැරණි වම

ජනතා විමුක්ති පෙරමුණ බිහි වූයේ පුද්ගල වුවමනාවන් මත හෝ අහම්බයක් ලෙස හෝ නොවේ. පැරණි වමේ ව්‍යාපාරය සිය ඓතිහාසික වගකීම පැහැර හැරීම නිසා සමාජය තුළ මතු වූ නව වමක අවශ්‍යතාව සැපිරීම සඳහා ය. පැරණි වමේ ව්‍යාපාරයේ අභාවය සටහන් කරන සිදුවීම ජනතා විමුක්ති පෙරමුණේ උපත වුවද, ජනතා විමුක්ති පෙරමුණේ මුල් ආරම්භකයන්ගෙන් බොහෝ අය පැරණි වාමාංශික පක්ෂවල සිටි අය වූහ. රෝහණ විජේවීර සහෝදරයා ද කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලේ පූර්ණ කාලීන සාමාජිකයෙකු මෙන්ම ඉදිරි පෙළ ක්‍රියාකාරියෙකු ද විය.

ජනතා විමුක්ති පෙරමුණ තුළින් බැහැර වූ මෙන්ෂෙවික් ලක්ෂණ

පසුකාලීන සංවර්ධනයේ දී නිවැරදි වූ එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ මූලාරම්භයේ දී ප්‍රකාශයට පත් වූ පැරණි වමේ ව්‍යාපාරයෙන් උරුම වූ ලක්ෂණ කිහිපයක් හඳුනා ගැනීමට පුළුවන.

  • ස්ටාලින්වාදී, මාවෝවාදී බලපෑමට යට වෙමින්, නිර්ධන පංති ජාත්‍යන්තරවාදය දෙවන තැනට දමා කටයුතු කිරීම. මෙය ස්වශක්තිය කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබීම නැමැති න්‍යායික වැරැද්ද තුළින් ප්‍රකාශයට පත් විය.
  • ජාත්‍යන්තර හා දේශීය නිර්ධන පංති ව්‍යාපාරය මෙන්ෂෙවික් ප්‍රවණතාවය පැහැදිලි ලෙසම පෙන්නුම් කළ බරපතළ සාධකයක් වූ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණවාදයට එරෙහිව අනවරත අරගලයක යෙදීමේ ඓතිහාසික අවශ්‍යතාවයට අනුව ජවිපෙ කටයුතු කළ අතර, එහි දී එම අනෙක් අන්තයට තල්ලු වෙමින්, පාර්ලිමේන්තුව පංති අරගලයේ දී යොදා ගැනීමට ඇති හැකියාව අවතක්සේරු කිරීම සහ පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කිරීම සිදු විය.
  • පක්ෂය තුළ විවිධ කණ්ඩායම් පැවැත්මට එරෙහිව දැඩි අරගලයක් ගෙන යාමට අසමත් වීම. මෙය පංති අරගලයේ දී කොතරම් අනතුරුදායක ද යන්න 1971 අත්දැකීම්වලින් තහවුරු විය.
  • 1971 අරගලයෙන් පසු මෙම නිශේධනිය ලක්ෂණ හඳුනා ගෙන නිවැරදි කර ගන්නා ලදී.

ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ක්‍රියාමාර්ග

සමාජවාදී විප්ලවය අවධිවලට වෙන් කරමින්, වත්මන් අවධිය සමාජවාදී නොව ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදී අවධිය බවට හඳුන්වා දෙමින්, ඒ සඳහා ප්‍රගතිශීලි ධනපති පංතිය සමග ගොඩ නැගූ එක්සත් පෙරමුණු පංති සහයෝගිතා දේශපාලනය හැටියට පක්ෂය විසින් හඳුනා ගත් අතර, එම ප්‍රවණතාවය නිර්මාක්ස්වාදී පියවරක් ලෙස බැහැර කරනු ලැබීය. එසේ වුවද, පංති ව්‍යාපාරයක් ලෙස සිට උපායමාර්ගික අරමුණු වෙත යාමේ දී එයට හානි නොවන පරිදි විවිධ අවස්ථාවල දී සීමිත හා විශේෂිත අරමුණු උදෙසා ගොඩ නැගෙන එක්සත් ක්‍රියාමාර්ග බැහැර කළ යුතු නැත. මේ අර්ථයෙන් අප හඳුනා ගන්නා එක්සත් ක්‍රියාමාර්ග;

  1. 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව පැරණි වමේ පක්ෂ සමග එක්ව කටයුතු කිරීම
  2. 1998 ප්‍රජාතන්ත්‍රවාදය හා වැඩකරන ජනතා අයිතිය පදනම් කර ගනිමින්, නව සමසමාජ පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් සමග එක්ව කටයුතු කිරීම
  3. 2001 පරිවාස වැඩපිළිවෙල දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටි පාලක පොදු පෙරමුණු ආණ්ඩුව වෙත ප්‍රතිසංස්කරණ ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමින් ඉතාම ගෞරවයෙන් කටයුතු කිරීම

ජනතා විමුක්ති පෙරමුණ අරගල, උපාය මාර්ගය හා උපක්‍රමික වැරදි

ජාතික විමුක්ති අරගලයට හා සමාජවාදයට යන උපාය මාර්ගය ජවිපෙ විසින් පැවති දේශපාලන සන්දර්භය මත නිර්මාණය කොට ගත් විප්ලවීය මාදිලියයි. එකී උපායමාර්ගයට යටත්ව එක්සත් ක්‍රියාමාර්ග ඇතුළු විවිධ උපක්‍රමික ක්‍රියාමාර්ග පක්ෂය විසින් ක්‍රියාවට නගන ලදි. ඒ අනුව යමින්, විශේෂයෙන් 2000 වසරේ සිට ම ක්‍රමානුකූලව වර්ධනය වූ සංකීර්ණ දේශපාලනමය තුළ ලාංකීය දේශපාලන අර්බුදය වඩාත් ගතික මෙන්ම ගැටුම්කාරී තත්වයකට පත් වියත එයට කලාපීය මෙන්ම සෙසු බටහිර බලවේගවල මැදිහත්වීමක් ද, බෙදුම්වාදී ව්‍යාපාරයේ  ක්‍රියාකාරීත්වය ද ජාතික ප්‍රශ්නය අරභයා පාලක පන්තිය විසින් ගත් ආන්තික පියවර විසින් ද වඩවඩාත් ගැටුම්කාරී සමාජ වටපිටාවක් නිර්මාණය කරන ලදී.
එකී තත්වය ඉදිරියේ;

  • 2004 මැතිවරණයට පෙර ශ්‍රීලනිපය සමග මැතිවරණ පෙරමුණක් ගොඩ නැගීම
  • එකී මැතිවරණ පෙරමුණ මගින් 2004 මැතිවරණයට තරඟ වැදීම
  • 2004 ශ්‍රීලනිප සමග සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට පියවර ගැනීම

මතු වෙමින් ආ සංකීරණ දේශපාලන වටපිටාව තුළ ජාතික විමුක්ති අරගලයක් සඳහා දේශපාලන පෙළගැස්වීම වෙනුවෙන් උපක්‍රමික ක්‍රියාමාර්ග අත්‍යාවශ්‍ය වුවත්එජාප පාලනය තුළ සටන් විරාම ගිවිසුම “යළි පුබුදමු ශ්‍රීලංකා” හරහා මතු වූ අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රය පරාජය කළ යුතු වුවත්, මැතිවරණ පෙරමුණක් හරහා සිදු වූයේ ධනේෂ්වර දේශපාලන ව්‍යාපාරය සමග එක්ව කටයුතු කරන එක්සත් ක්‍රියාමාර්ග ඉක්මවා ගිය සභාග දේශපාලනයක් දක්වා තල්ලු වී යාමයි. එමගින් පක්ෂය තුළ උපක්‍රමික වරදක් හා පංති සහයෝගිතාවය දක්වා විතැන්වීමක් සිදු විය. අනතුරුව 2005 ජනාධිපතිවරණයේ දී හා මහ මැතිවරණයේ දීත් මේ තත්වය වෙනත් ආකාරයකින් නමුත් එකම ආකෘතියකින් ක්‍රියාවට නැගිණි. එය කිසියම් ප්‍රායෝගිකවාදයක් හැටියට ද හඳුනා ගත හැකිය.

මේ අනුව ජනතා විමුක්ති පෙරමුණ අධිරාජ්‍යවාදී කලාපීය, බෙදුම්වාදී වැඩපිළිවෙළට එරෙහිව ජාතික අරගල භූමිකාවකට පණ පෙවීම නිවැරදි වුව ද, එකී අරමුණ සඳහා උපක්‍රම ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමේ දී;

  • පංති සහයෝගීතාව වෙත තල්ලු වීම
  • ප්‍රයෝගිකවාදයකට වැටීමක් විසින් න්‍යායික වරදක් සිදු වී ඇත

ඒ අනුව පක්ෂය තුළ අවස්ථාවාදී පීලි පැනීමක් සිදුවී ඇති බව ස්වයං විවේචනාත්මකව දැකිය යුතුය.

ආපසු හැරී බලා මෙම අඩුපාඩු නිවැරදි කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන ලදී.

කල්ලිවාදය

වමේ ව්‍යාපාර තුළ කණ්ඩායම් බිහිවිම හෙවත් කල්ලිවාදය වරින්වර මතුව තිබේ.  එය ද අවස්ථාවාදයේම නිරූපනයකි. මෙම කල්ලි බිහිවීමේ දී විටෙක දක්ෂිණාංශ අවස්ථාවාදයේ ස්වරූපයෙන් ද තවත් විටෙක අති වාමාංශික අවස්ථාවාදයේ ස්වරූපයෙන් ද සිදු විය හැකිය. කල්ලිවාදය වමේ ව්‍යාපාරයට හානි කරන නිසා පරාජයට පත් කළ යුතුය.

මෑත කාලයේ ජවිපෙ තුළ කල්ලිවාදය බිහි වූ අවස්ථා දෙකක් දැකිය හැක.

  1. 2008 ධනේෂ්වර සභාගයකට යාම වෙනුවෙන් පෙළගැසීම හරහා බිහි වූ කණ්ඩායම. පසුව මොවුන් ජාතික නිදහස් පෙරමුණ පිහිටුවා ගන්නා ලදී. ඔවුන් විසින් දක්ෂිණාංශික අවස්ථාවාදය නිරූපණය කරන ලදී.
  2. 2011 පක්ෂයේ බලය ඇල්ලීම සඳහා කුමන්ත්‍රණය කරමින් බිහි වූ කල්ලිය. මොවුන් ප්‍රායෝගික නොවන අති වාමවාදී ස්වරූපයක් පෙන්නුම් කළහ. පෙරටුගාමී පක්ෂය ගොඩ නැගුවේ මොවුන් ය.

ලාංකික විප්ලවයේ කාර්යභාරය

ලාංකීය පැරණි වමේ ව්‍යාපාරය අවස්ථාවාදී පීලි පැනීම්වල දී අප දුටු කරුණක් වූයේ ඔවුන් ලාංකික විප්ලවයේ කාර්යභාරය නිවැරදිව හඳුනා නොගැනීමයි. ඒ නිසා න්‍යායිකවම ලාංකික විප්ලවයේ කාර්යභාරය හඳුනා ගත යුතුය.

ලංකාවේ ධනේෂ්වර ක්‍රමය හා එහි ගැටලු

ශ්‍රී ලංකාවේ ධනේෂ්වර සංවර්ධනය සඳහා පදනම දැමුවේ  යුරෝපා ජාතීන්ගේ ආක්‍රමණයත් සමගිනි. 1815 න් පසු බ්‍රිතාන්‍යයන් අතට මුළු මහත් භූමියේ ආධිපත්‍ය නතු වීමත් සමග විශේෂයෙන් 1833 දී ගෙන ආ කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණ මගින් පැවති සමාජයේ ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට පියවර ගැනුණි. එහි තර්කානුකූල ප්‍රතිඵලය වූයේ ලංකාවේ ධනේෂ්වර සංවර්ධනය සඳහා පදනම සැකසීමයි.

බලෙන් පටවන ලද උත්තරාරෝපිත ධනවාදය විසින් ද, ධනවාදයට පෙර පැවති ආසියාතික සමාජය මුළුමනින්ම පළවා හැරීමට නොහැකි වීම විසින් ද ආසියාතික ලක්ෂණ ද ධනේෂ්වර ලක්ෂණ ද සහිතව ලාංකීය ධනවාදයේ සංවර්ධනය සිදු විය. කිසිදු ස්වාධීන පැවැත්මකට විභවයක් හෝ ඉදිරිගාමී බවත් නොපෙන්වූ දේශීය ධනපති පංතිය බටහිර ගැති පරාධීන මානසිකත්වයකට  උරුමකම්  කීම විසින් යටත්විජිතවාදීන්ට එරෙහිව නොව ඔවුන් සමග සම්මුතිකාමි බලය හුවමාරුවකට කටයුතු කෙ‌රුණි. දෙවන ලෝක යුද්ධය අවසානයත් සමග නැවත පරාධීන සහ යටත්විජිත රාජ්‍යයන් ඇද වැටීම ද ආරම්භ වූ අතර, එතැන් පටන් අධිරාජ්‍යවාදය සිය යටත් විජිත සූරා කෑමේ විධික්‍රමය වෙනුවට නව උපක්‍රමයක් ලෙස එනම්, නව යටත්විජිත සුරා කෑමේ ක්‍රමවේදයකට මාරු විය. එහි ප්‍රතිඵලය වූයේ 1948 න් පසු යටත් විජිත පාලනයක් වෙනුවට දේශීය ධනපති පංතිය අතට බලය මාරු වෙමින් නව සූරාකෑමකට ලාංකීය සමාජය ගොදුරු වීම ය.
1948 පසු එජාපයත්, අනතුරුව බිහි වූ ශ්‍රීලනිපයත් තට්ටු මාරුවට දේශපාලනය කරමින් ලාංකික ධනවාදය පවත්වාගෙන ගිය අතර, මුල් කාලයේ සිට රාජ්‍ය මැදිහත්වීම මූලික වූ රාජ්‍ය ඒකාධිකාරී ධනවාදයක මුහුණුවර දැරීය.

ලෝක පරිමාණයෙන් මතු වූ ධනවාදයේ පැවැත්ම වෙනුවෙන් වූ නව සූරාකෑමේ අවස්ථා ඉල්ලා සිටීමත්, පැවැති ඒකාධිකාරී ධනවාදයේ අර්බුදයන් විසින් 70 දශකයේ මැද භාගයත් සමග විවෘත ආර්ථිකය නමින් නව වෙළඳපොළ ආර්ථිකයක් දක්වා ලාංකික ධනවාදය ගමන් කළේ ය.

විවෘත ආර්ථිකය හෙවත් වෙළඳපොළ ආර්ථික ක්‍රමය හරහා ලාංකික සමාජය සූරාකෑම වේගවත් කළ ද, ලෝක ධනවාදයේ අර්බුදයත්, ලාභ අනුපාතය ඉහල දමා ගැනීමේ අවශ්‍යතාවයත් විසින් තව දුරටත් සූරා කෑම වර්ධනය විය. පුද්ගලීකරණය නමින් රාජ්‍ය දේපළ  විකුණා දැමීමෙන් ඇරඹි එය ඉඩම්, ජලය, වනාන්තර ඇතුළු සියළු සම්පත් විකිණෙන, මිල දී ගැනෙන නග්න සූරා කෑමක් දක්වා මාරු වීමට ඇරඹිණි. ලාංකික ධනපති පංතියත්, ධනවාදයේ සිය පරාධීන බව මගින් හා ධනවාදයේ අර්බුදය මගින් බල කිරීම විසින් කැඳවා ඇත්තේ එවන් ඉරණමකට ය. අද ජාතික ආර්ථිකය වැනි විවිධ නම් හරහා ක්‍රියාත්මක වන්නේ ද මේ කොල්ලකාරී නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය මිස වෙනකක් නොවේ.

ලාංකීය ධනවාදයේ ඇති කැපී පෙනෙන ගැටලු

ලොව පුරා ධනවාදයේ නැගීම එකම ක්‍රමයකට හෝ එක විට සිදු වූයේ  නැත. එහි එක් ආකාරයක් වූයේ උත්තරාරෝපිත ධනවාදයයි. ලාංකීය සමාජය තුළ ධනවාදය ගොඩ නැගෙනුයේ ද බ්‍රිතාන්‍යයන් විසින් ධනවාදය උත්තරාරෝපනය කිරීම මගිනි. එනිසාම ලාංකීය ධනවාදය විකාශනය වූයේ පසුගාමී සංවර්ධන ක්‍රියාවලියක එයට පැවති ආසියාතික සමාජ සංවිධානයේ ලක්ෂණ මුළුමනින්ම පළවා හැරීමට නොහැකි වීම ද ප්‍රධාන කරුණකි. එනම් ධනේෂ්වර විප්ලවයේ මූලික ලක්ෂණයක් වන ප්‍රජාතන්ත්‍රවාදී වැඩ කොටස එමගින් ඉටු විය යුතු ඓතිහාසික කාර්යභාරය පසුගාමී ධනවාදයට ඉටු කළ නොහැකි විය. එවිට ගොවි ජනයාගේ ගැටලු ද කුල වාදය සමග ඈඳුණු පීඩනය ද, කාන්තා පීඩනය ද සමාජ ගැටලු ද ජාතිකත්වයන් අතර සහජීවනය හෙවත් ජාතික ගැටලුව ද විසඳාලිය නොහැකි විය.

එමෙන්ම නැගී ආ ධනපති පංතිය හවුල්කාර පරාධීන ධනපති පංතියක් විය. ඍජු ලෙස නිෂ්පාදන ක්‍රියාවලියකට හිමිකම් පෑවේ ද නැත. පුළුල් ජාතික ව්‍යාපාරයත් ධනපති පංතියේ ස්වයං ක්‍රියාකාරීත්වයත් ඒ හරහා වන ජාතික වශයෙන් වූ පුළුල් භූමිකාවත් වෙනුවට පරාධීන දේශපාලන ක්‍රියාකාරීත්වයක් පළ කෙරිණි.

බ්‍රිතාන්‍ය ඍජු යටත් විජිත පාලන තුළත් ඉන් පසු නව යටත් විජිත පාලනය තුළ හා වර්තමානයේ නව ලිබරල් ආර්ථිකය තුළත් ලංකාවේ බිහි වී තිබෙන්නේ අධිරාජ්‍ය ගැති පරාධීන ධනපති පංතියක් හා සාපේක්ෂව කුඩා කම්කරු පංතියකි. කම්කරු පංතියේ වැඩි ප්‍රමාණයක් නිෂ්පාදන ක්ෂේත්‍රය මත පදනම් වූ අය නොව සේවා ක්ෂේත්‍රය මත පදනම් වූ අය වේ. ලාංකීය සමාජයේ බහුතරය කෘෂිකර්මාන්තය මත පදනම් වූ ගොවි ජනතාව වන අතර එය පවතින්නේ ධනේශ්වර සංවර්ධනයේ ඉතා පහල ස්ථානයක ය. පොදුවේ ගත් විට ධනේශ්වර සංවර්ධනය හොඳින් සිදු නොවීම තුළ ධනේශ්වර සංවර්ධනය තුළින් ඉටු කළ යුතුව තිබූ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයට අයත් ගැටලු රැසක් තවමත් ඉතිරි වී තිබේ.

වත්මන් ලෝකයේ ඉල්ලා සිටින්නේ කුමන විප්ලවයක් ද?

සමාජ විප්ලවයක් යනු කුමක් ද?

සමස්ත සමාජ ක්‍රමයේ ම මූලික පරිවර්තනයක් මින් අදහස් වේ. කිසියම් සමාජයක වරින්වර විවිධ ක්ෂේත්‍ර තුළ පරිවර්තන සිදුවේ. තාක්ෂණය, විද්‍යාව තුළ මෙන්ම ආර්ථිකය තුළ ද ගුණාත්මක වර්ධනයන් සිදු වන අතර, විටෙක ඒවා විප්ලවීය ආකාරයක් ගනී. එහෙත්, ඒවා සමාජ විප්ලව නොවේ. සමාජ විප්ලව යනු සමාජ සංවර්ධනයේ ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක පරිවර්තනයකි. සමාජ විප්ලවයක් යනු එක් පන්තියක් අතින් තවත් පන්තියක් අතට රාජ්‍ය බලය මාරු වීමයි.

නිෂ්පාදන මාදිලියක පවත්නා මූලික ගැටුම ඇත්තේ, නිෂ්පාදන සබඳතා හා නිෂ්පාදන බලවේග අතර ය. එය නිෂ්පාදන මාදිලියක දයලෙක්තිකය යි. පන්ති සමාජයේ දී මේ ගැටුම සතුරු ආකාරයක් ගනී. සමාජ ක්‍රමයක ආරම්භයේ දී නිෂ්පාදන බලවේග හා සබඳතා අතර අන්‍යෝන්‍ය ලෙස සිදු වන පුළුල් වර්ධනයක් (අනුරූපීතාවක්) දැකිය හැකි වුවද, වඩාත් වර්ධනය වන නිෂ්පාදන බලවේගවලට බාධා කරන, ගැටෙන තත්ත්වයකට (අනුරූපී නොවන) පසුව නිෂ්පාදන සබඳතා පත්වේ. නිෂ්පාදන බලවේගයන්ට  නිෂ්පාදන සබඳතා බාධා කරන විට නිෂ්පාදන බලවේග විසින් එම සබඳතා පුපුරුවා හැර නව සබඳතාවයන් බිහි කර ගනී.

නව සමාජ ක්‍රමයකට ප්‍රධාන හේතු කාරණය වන්නේ මෙයයි. සමාජ ක්‍රමයක් තුළ සිදු වන මෙකී පුපුරා යාම සමාජ විප්ලවයයි. එමගින් පන්ති සටන වඩාත් තීව්‍ර හා විවෘත තලයකට ගෙන එනු ලබන අතර, මුළුමහත් සමාජයේ විප්ලවීය පරිවර්තනයක් නිර්මාණය කරනු ලබයි. මෙම විප්ලවීය පරිවර්තනයන්හි මූලික ප්‍රශ්නය වන්නේ රාජ්‍ය බලය පිළිබඳ ප්‍රශ්නයයි

සමාජවාදී සමාජ විප්ලවය යනු කුමක්ද?

සමාජවාදී සමාජ විප්ලවය මෙතෙක් පැවැති අනෙකුත් සමාජ විප්ලවයන්ට වඩා වෙනස් වේ. පෙර පැවැති සෑම සමාජ විප්ලවයකදීම සිදු වූයේ එක් සූරා කන පන්තියක් අතින් තවත් සූරා කන පන්තියක් අතට බලය මාරු වීමයි. (උදා: වහල් හිමි පන්තිය අතින් ඉඩම් හිමි රදළ පන්තියට බලය මාරු වීම හා රදළ පන්තිය අතින් ධනපති පන්තියට බලය මාරු වීම) නමුත්, සමාජවාදී සමාජ විප්ලවය තුළින් ප්‍රථම වරට පීඩක පන්තිය අතින් පීඩිත පන්තියට බලය මාරු වේ. මෙතෙක් පැවැති සියලු විප්ලව සූරාකෑම හා පන්ති පාලනය අහෝසි නොකොට නව ආකාරයකින් පවත්වාගෙන ගිය අතර, සමාජවාදී සමාජ විප්ලව මගින් සූරාකෑමත්, පන්ති විෂමතාවත් අහෝසි කෙරේ. අනෙක් අතට සමාජවාදය යනු ධනවාදයේ සිට කොමියුනිස්ට්වාදයට පරිවර්තනය වන සංක්‍රමණීය අවධියකි.

සමාජවාදී විප්ලවය සහ සමාජවාදය ගොඩනැගීම

සමාජ සංවර්ධනයේ දී ආර්ථික නියාමයන්ට අනුව බලන කල ධනපති සමාජය සමාජවාදී සමාජයක් දක්වා පරිවර්තනය වීමේ අනිවාර්යතාවයට මුහුණ දී සිටී. ධනවාදයේ වර්ධනය විසින් ඉතා වේගයෙන් ශ්‍රමය සමාජමය වීමේ ක්‍රියාදාමය වඩ වඩාත් සිදුවූ අතර, මහා පරිමාණ නිෂ්පාදනය දැවැන්ත සමාගම්වල මූල්‍ය ආධිපත්‍යය සමග ද එකිනෙක සම්බන්ධ කෙරිණි. ඒ සමගම ධනවාදී සමාජය සමාජවාදී පරිවර්තනයක් සඳහා ද්‍රව්‍යමය පදනම නිර්මාණය කරනු ලැබීය.

එසේ වුවද, සමාජවාදී විප්ලවය සෙසු සමාජ විප්ලව මෙන් ඉබේ පහළ වන්නේ ද නොවේ. ධනවාදී ප්‍රාග්ධනය ධනවාදී රාජ්‍ය බලය හා ඍජුව ද, අනුශාංගිකව ද බැඳී පවතින අතර, එහි පැවැත්ම බිඳ දැමීමකින් තොරව සමාජවාදය උදා වන්නේ නැත. ඒ ගැන ලෙනින්ගේ අදහස් මෙසේ ය.

සෑම විප්ලවයකම මූලික ප්‍රශ්නය වන්නේ රාජ්‍ය බලය පිළිබඳ ප්‍රශ්නයයි. මෙය වටහා නොගත හොත්, විප්ලවයට මග පෙන්වීම තබා විප්ලවයට බුද්ධිමත් ලෙස සහභාගී වීම පවා සිදු විය නොහැකිය”

(ලෙනින්, තෝරා ගත් කෘති 05 වෙළුම, 29 පිටුව)

සමාජවාදී විප්ලවයේදී රාජ්‍ය බලය ඉතා වැදගත් ප්‍රස්තුතයක් වනුයේ, විප්ලවකාරී පන්තියට අතට රාජ්‍ය බලය ලබා ගැනීමෙන් තොරව ජාතිකවත්, ජාත්‍යන්තරවත් පැතිර ඇති ප්‍රාග්ධනය බිඳ හා එහි ආරක්ෂාවට ඇති සියලු මෙවලම් පරාජය කිරීමේ හැකියාව නිර්ධන පන්තිය අතට ගැනීමට නොහැකි වීම ය. ඒ නිසාම සමාජවාදී සමාජයක් නිර්මාණය කිරීමේ අනිවාර්ය පූර්ව කොන්දේසිය නිර්ධන පන්ති රාජ්‍ය බලය  ගොඩනැගීම වේ.

සමාජ විප්ලවයේ අවධිය ගැන ඇති වැරදි මත

ධනවාදී සමාජ ආර්ථික රටාව නිදහස් තරගයත්, එහිම ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ අධිනිෂ්පාදනයේ අර්බුදයත්, ඊට විසඳුම ලෙස ඒකාධිකාර බිහිවීමත් විසින් අධිරාජ්‍යවාදී අවධියට පරිවර්තනය විය. ඒ සමග පුළුල් වන නිෂ්පාදන බලවේගයන්ට සමරූපී නව නිෂ්පාදන සබඳතා සඳහා වන සමාජ පරිවර්තනය සඳහා විෂයමූල තත්ත්වය නිර්මාණය කිරීම ඇරඹිණි. පුළුල් වන නිෂ්පාදන බලවේග විසින් දිනපතා නිෂ්පාදන ක්‍රියාවලිය සමාජමය මුහුණුවරක් ගන්නා ලද අතර, එකී පරිවර්තනය විසින් නව සමාජ – ආර්ථික රටාවන් ලෙස සමාජවාදී පරිවර්තනය සඳහා විෂය මූල වටපිටාව සැකසිනි.

නිෂ්පාදන ක්‍රියාවලිය වඩ වඩාත් පුළුල් වීම මගින් සමාජවාදී සමාජ විප්ලවය වඩාත් ඉල්ලා සිටිනු ලබන අතර එහි  මූලික කාර්යභාරය වනුයේ (කම්කරු පන්තිය) වැඩ කරන ජනතාව ඇතුළු පීඩිත ජනතාව අතට බලය ලබා ගැනීම වේ. එහි දී වැඩ කරන ජනතාවට මිතුරු බලවේගවල සහාය දිනා ගැනීම ද පැවැති ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රණය වෙනුවට නිර්ධන පන්ති රාජ්‍ය යාන්ත්‍රණයක් හා බලයක් (නිර්ධන පන්ති ආඥාදායකත්වය) නිර්මාණය කිරීම ද එමගින් නව සමාජවාදී අර්ථ ක්‍රමයට පදනම දැමීම ද, එහි කාර්යභාරයට අයත් වේ. එහෙත්, මේ මොහොතේ සිදු කළ යුතු විප්ලවයේ ස්වභාවය පිළිබඳ විවිධ අර්ථකථන බිහි වී තිබේ.

පසුගාමී හා යටත්විජිත ලෙස කලක් පැවැති ධනවාදී රටවල් තුළ සමාජ විප්ලවය විසින් ඉටු කළ යුතු කාර්යභාරය වැරදියට විග්‍රහ කර හා සමාජවාදී සමාජ විප්ලවය වෙනුවට වෙනත් ආකාරයක විප්ලවයක් යෝජනා කරන වැරදි මත රැසක් පසුගිය කාලය තුළ ලෝක වමේ ව්‍යාපාරය තුළ මතුව තිබේ. එක් එක් රටවල සමාජවාදී සමාජ විප්ලවයන්ට මෙන්ම ලෝක සමාජවාදී සමාජ විප්ලවයන්ට ද බරපතළ හානි කළ එම මතවාදයන් පරාජය කළ යුතු අතර, ඒ සඳහා ඒවා හඳුනා ගත යුතු වේ.

1.අවධි තුළින් සමාජවාදයට

ලෝක වමේ ව්‍යාපාරය තුළ ඉස්මතු වූ නිර්මාක්ස්වාදී ප්‍රවණතාවක් බවට පත්වූ අවධි තුළින් සමාජවාදය පිළිබඳ සංකල්පයට දිගු ඉතිහාසයක් ද, න්‍යායික පසුබිමක ද පවතී. මෙය ප්‍රකාශයට පත් වූයේ 1935 දී තුන්වැනි ජාත්‍යන්තරයේ සමුළුවක දී බල්ගේරියානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ව සිටි ජෝර්ජි දිමිත්‍රොව් විසින් කරනු ලැබූ යෝජනාවක් අනුව ය.

ඒ වන විට නැගී එමින් තිබූ ෆැසිස්ට්වාදී තර්ජනය පරාජයට පත් කිරීම සඳහා ෆැසිස්ට් විරෝධී මහජන පෙරමුණක් ගොඩනැගීමේ වුවමනාව පදනම් කර ගෙන ඉදිරිපත් වූ  මෙම යෝජනාව පසුව ලෝක වමේ ව්‍යාපාරයේ බරපතළ න්‍යායික පීලි පැනීම්  සඳහා හේතු පාදක විය. ධනේශ්වර රටවල පැවැති සමාජය වැරදි ලෙස අර්ථකථනය කර ගනිමින්, සමාජවාදී සමාජ විප්ලවය අවධිවලට බෙදා එහි පළමු අවධිය සමාජවාදී නොව ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නම් කිරීම මෙමගින් සිදු කරන ලදී. එමගින් සමාජවාදී විප්ලවය කල් දමන ලදී. විප්ලවයේ වත්මන් අවධිය සමාජවාදී නොව ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නම් කළ මෙම මතය එක් එක් රටවල දී වෙනත් ආකාරයෙන් ප්‍රකාශ විය. ඒවා පහත පරිදිය.

2. මහජන පෙරමුණ න්‍යාය හා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය

ෆැසිස්ට් විරෝධී මහජන පෙරමුණු න්‍යාය පසු කලෙක ස්ටැලින්වාදය තුළ ඉහත න්‍යායික මග පෙන්වීමට පාදක විය. මෙම මතය මගින් පරිධියේ පසුගාමී ධනපති රටවල් අර්ධ වැඩවසම්, අර්ධ ධනේශ්වර ලෙස හෝ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සම්පූර්ණ නොවුණු රටවල් ලෙස විග්‍රහ කරන ලදී. ඒ අනුව සමාජ පරිවර්තනයක් සඳහා ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සම්පූර්ණ වී තිබීම අත්‍යවශ්‍ය වේ යැයි ද නිගමනය කරන ලදී. එසේ වූ විට සමාජවාදී සමාජ විප්ලවයට පෙර ධනේශ්වර විප්ලවය සම්පූර්ණ කළ යුතුය යන තර්කය ගොඩනගන ලදී. එසේම මෙම රටවල ධනපති පන්තිය ද දෙකට බෙදා ඉන් එක් කොටසක් අධිරාජ්‍ය ගැති සාම්ප්‍රදායික ධනපති පන්තිය ලෙසත් තව කොටසක් ප්‍රගතිශීලී ධනපති පන්තිය ලෙසත් විග්‍රහ කොට නිර්ධන පන්ති ව්‍යාපාරය ප්‍රගතිශීලී ධනපති පන්තිය සමග එක්ව ප්‍රගතිශීලී ධනපති පන්තියේ නායකත්වයෙන් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ඉටු කළ යුතු යැයි ද, ඉන් අනතුරුව සමාජවාදී විප්ලවය කළ යුතු යැයි ද මෙමගින් අවධාරණය කරන ලදී. එක්සත් පෙරමුණු න්‍යාය බිහි වූයේ ඒ අනුව ය. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය නම් න්‍යාය මගින් සමාජවාදී සමාජ විප්ලවය අවධිවලට වෙන් කළ අතර, එක් එක් ධනපති රටවල ජාතික ධනපති පන්තිය හා ගොඩනගන උපාය මාර්ගික සන්ධානවලට ද (පෙරමුණු) මග පෑදීය.

3. මහජන ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය (මාවෝවාදය)

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය පිළිබඳ මතය ම මාවෝවාදය තුළද සුළු වෙනස්කම් සහිතව ඉදිරිපත් කරන ලදී. එහි දී පසුගාමී ධනපති රටවල් ස්ටාලින්වාදයේ විග්‍රහයට අනුව අර්ධ ධනේශ්වර හෝ අර්ධ යටත්විජිත හෝ ලෙස විග්‍රහ කරන ලදී. චීන කොමියුනිස්ට් පක්ෂය චීනය විග්‍රහ කළේ අර්ධ වැඩවසම්, අර්ධ යටත්විජිත රටක් ලෙස ය. ඒ අනුව චීනයේ ධනපති පන්තිය කොම්ප්‍රදෝරු ධනපති පන්තිය (ඉඩම් හිමි රදළයන්ගෙන් බිහි වූ) ලෙස හා ප්‍රගතිශීලී ධනපති පන්තිය හා නි.ප. ව්‍යාපාරය සමග එක්ව ඇති කර ගන්නා එක්සත් පෙරමුණක් ගැන කතා කළේය. එම පෙරමුණේ නායකත්වය නි.ප. ව්‍යාපාරය ගත යුතු බව ද පැවසීය. ස්ටාලින්වාදයට අනුව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සඳහා වන එක්සත් පෙරමුණේ නායකත්වය ප්‍රගතිශීලී ධනේශ්වර පන්තියට පැවරූ අතර, මාවෝවාදය එහි නායකත්වය නිර්ධන පන්තියට පැවරීය. එසේම මාවෝවාදය පන්ති හතරක ආඥාදායකත්වයක් ලෙස හැඳින්වීය. මෙය වැරදි අදහසකි. මෙමගින් පැවසුවේ ද ධනේශ්වර විප්ලවය සම්පූර්ණ කොට පසුව සමාජ විප්ලවය කළ යුතු බව ය.

ඉහත මතයන් පැහැදිලිවම නිර්මාක්ස්වාදී සුළු ධනේශ්වර මතයන් වේ. ස්ටැලින්වාදය මෙන්ම මාවෝවාදය ද මෙම මතය තහවුරු කිරීම සඳහා යොදා ගත්තේ 1905 රුසියාවේ විප්ලවය ඉලක්ක කර ගනිමින්, ලෙනින් විසින් ඉදිරිපත් කළ  “සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ උපක්‍රම දෙකක්” නම් ලිපිය ය. රුසියාවේ ධනේශ්වර විප්ලවය සිදු නොවී තිබූ තත්ත්වයන් තුළ (ධනේශ්වර විප්ලවය සිදුවීම සඳහා ධනපති පන්තිය රාජ්‍ය බලය ගැනීම අත්‍යවශ්‍ය වේ.) ධනේශ්වර විප්ලවය සමාජවාදී විප්ලවය දක්වා පරිවර්තනය කිරීමේ අරමුණින් ධනේශ්වර විප්ලවයට කම්කරු පන්තියේ දායකත්වය ලබා දිය යුතු ආකාරය පැහැදිලි කළ එම ලිපිය ඊට මුළුමනින්ම වෙනස් තත්ත්වයන් තුළ දී (ධනපති පන්තිය රාජ්‍ය බලය දරන තත්ත්වයන් තුළ දී) යොදා ගැනීම අවිද්‍යාත්මක ය. රුසියාවේ දී ලෙනින් විසින්ම ඉහත වැඩපිළිවෙළ ඉවත දමා නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේය. ඒ 1917 පෙබරවාරිවල දී ධනේශ්වර විප්ලවය සිදුවීමත් සමගය. අප්‍රේල් තීසිස හරහා ඉදිරිපත් කළේ එම වැඩපිළිවෙළ ය. පසු කලෙක ලොව පුරා මාවෝවාදීන් මෙන්ම ස්ටාලින්වාදීන් ද තම උපායමාර්ග සඳහා යොදා ගනු ලැබුවේ ලෙනින් විසින්ම අතහැර දමන ලද (තත්ත්වයන් වෙනස් වීම  නිසා) ඉහත පැරණි වැඩපිළිවෙළ ය.

4. ධනේශ්වර නොවන සංවර්ධන මාවත

මාක්ස්වාදයේ පොදු ඉගැන්වීම වනුයේ සමාජවාදී සමාජ විප්ලවය සිදු වන්නේ ධනවාදයේ සංවර්ධනයේ ම ප්‍රතිඵලයක් ලෙසින් බව ය. ඒ අනුව පොදුවේ ගත් කල කිසියම් රටක සමාජවාදී විප්ලවය සිදු කිරීමට නම්, ඊට පෙර එහි ධනේශ්වර විප්ලවය සිදු වී තිබිය යුතුය. එනම්, ධනේශ්වර පන්තිය බලයට පැමිණ තිබිය යුතුය. ධනවාදී සබඳතා බිහි වී තිබිය යුතුය. ධනවාදී සබඳතා වර්ධනය වී සමාජවාදය ගොඩනැගීමට තරම් පරිණත වී තිබිය යුතු විය. සමාජවාදී විප්ලවය එක්කෝ ලොව පුරා එක විට නැති නම්, දියුණු ධනපති රටවලින් ආරම්භ වන බව මාක්ස් කීවේ ඒ අනුව ය.

එහෙත්, 1900 කාලයේ ධනවාදයේ නිදහස් තරගය අහෝසි කොට ඒකාධිකාරී ධනවාදය හෙවත් අධිරාජ්‍යවාදයට පා තැබීමත් සමග එම නව තත්ත්වය විග්‍රහ කළ ලෙනින් පැවසුවේ දැන් සමාජ විප්ලවය පරිධියේ ඌන සංවර්ධිත ධනපති රාජ්‍යයන් තුළ හා යටත්විජිත තුළ සිදු කළ හැකි හා සිදු කළ යුතු බව ය. ඉන් ද නො නැවතුණු ලෙනින් 1917 සෝවියට් සමාජවාදී විප්ලවයෙන් පසු නව මතයක් ඉදිරිපත් කළේය. ඒ ‘ධනේශ්වර නොවන සංවර්ධන මාවත’ යනුවෙනි. ඉන් කියවුණේ බලවත් සමාජවාදී රාජ්‍යයක් අත දෙන්නේ නම්, කිසියම් රටකට ධනේශ්වර විප්ලවය මඟහැර (ධනපති පන්තිය රාජ්‍ය බලය ගැනීම නැතිවත්) සමාජවාදයට යා හැකි බව ය. එය එසේ වන්නේ කිසියම් රටක් ධනේශ්වර සංවර්ධනය තුළ අත්පත් කර ගත යුතු නිෂ්පාදනයේ වර්ධනය සමාජවාදී රට උදව්වද සහිතව සමාජවාදී පරිවර්තන අවධිය තුළ නිර්ධන පන්ති රාජ්‍ය බලය යටතේ ද කළ හැකිය යන්න ය. ඒ අනුව ධනේශ්වර සංවර්ධනය සම්පූර්ණ නොවීමේ ගැටලුවක් මත සමාජවාදී විප්ලවය අවධිවලට බෙදා වෙන් කිරීම මුළුමනින්ම වැරදි බව පැහැදිලිය.

5. මේ යුගයේ කළ යුතු විප්ලවය සමාජවාදී විප්ලවයයි

ධනවාදි සමාජ ක්‍රමයක් ලෙස වර්ධනය වී එය අධිරාජ්‍යවාදය දක්වා වර්ධනය වී අර්බුදයට ගිය වර්තමාන යුගයේ ධනවාදයට තව දුරටත් ප්‍රගතිශීලි වීමට හෝ ධනේශ්වර ප්‍රගතිශීලි කර්තව්‍යයන් ඉටු කිරීමට හෝ නුපුළුවන. එය දැන් අභාවයට යන පැරණි හා දිරාපත් වන ක්‍රමයක් මිස නව යොවුන් සමාජ ක්‍රමයක් නොවේ. එයට කිසිදු ප්‍රගතිශීලී කර්තව්‍යයක්  ඉටු කළ නොහැක්කේ ඒ නිසාය. විශේෂයෙන්ම නව ලිබරල් ධනවාදය ලෙස අධිරාජ්‍යවාදය  ක්‍රියාත්මක වන මේ යුගයේ අධිරාජ්‍යවාදය බරපතළ ආර්ථික පසුබෑමකට ලක්ව ඉන් මිදීමට නොහැකිව ජනතා විරෝධී පියවර ගනිමින්, යුද්ධ කරමින්, රටවල් හා සම්පත් කොල්ල කමින් සිටින මොහොතේ එයට තවදුරටත් ප්‍රගතිශීලී කාර්යයක් කළ නොහැක.

එසේම මේ යුගයේ ධනපති පන්තියට ද ප්‍රගතිශීලී විය නොහැක. දේශීය ධනපතින් හා අධිරාජ්‍යවාදීන් අතර සතුරු නොවන හා මූලික නොවන ප්‍රතිවිරෝධතා පැවතිය හැකි වුවද, කිසිදු රටක ධනපති පන්තියට හරයෙන් අධිරාජ්‍ය විරෝධී හෝ ප්‍රගතිශීලී විය නොහැක.

මේ අනුව අධිරාජ්‍යවාදී යුගයේ කළ යුතු හා කළ හැකි එකම විප්ලවය සමාජවාදී විප්ලවය වේ. එය චීන මහා ප්‍රාකාරයක් මගින් බෙදා වෙන් කිරීම ධනපතින් වෙනුවෙන් සමාජවාදය අතහැර දැමීමක් මිස අන් යමක් නොවේ. අධිරාජ්‍යවාදී යුගයේ කළ යුතු වන්නේ සමාජවාදී සමාජ විප්ලවය බව ලෙනින් නොයෙක් විට අවධාරණය කර තිබේ. වරක් ලෙනින් පවසා තිබුණේ ‘අධිරාජ්‍යවාදය යනු සමාජවාදයේ හිමිදිරි අවධියයි’ යනුවෙනි.

නවීන ධනපති ක්‍රමයේ සෑම ජනේලයකින් ම සමාජවාදය අප වෙත බැලුම් හෙළා ගෙන සිටියි. මෙම නවීන ධනපති ක්‍රමයේ පදනම අනුව ඉදිරි පියවරයන් වන සෑම වැදගත් කටයුත්තක් මගින් සමාජවාදයේ කටු සටහන එක එල්ලේම සහ ප්‍රායෝගික වශයෙන් සලකුණු කරනු ලැබේ.

ලෙනින් තෝරා ගත් කෘති- 5 වෙළුම – 246 පිටුව.

සමාජවාදී විප්ලවයේ අනිවාර්ය බව  එසේ සඳහන් කළ ලෙනින්, සමාජවාදයටත්, ධනවාදයටත් අතරමැදි ක්‍රමයක් එනම්, තුන්වැනි මාවතක් නැති බව අවධාරණය කර තිබේ.

මැද මාවතක් නැත. රදළ උරුමක්කාරයන් ද, බුද්ධිවාදීන් ද, වංශවත් පුංචි මහත්වරුන් ද, නරක පොත්වලින් නරකට උගත් අය ද මැද මාවතක් ගැන සිහින දකිති. ලෝකයේ කිසිම තැනක මැද මාවතක්” තිබෙන්නට පුළුවන් කමක් ද නැත. එක්කෝ (සමාජවාදී විප්ලවවාදීන් සහ මෙන්ෂෙවික්වරුන් කියන ජනතා ආණ්ඩුව, ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලය නිදහස යනාදී වූ සටන් පාඨ නමැති පිරුවටයෙන් අලංකාර වූ) ධනපති ආඥාදායකත්වය ය. නැතහොත්, නිර්ධන පන්තියේ ආඥාදායකත්වය ය. 19 වැනි ශතවර්ෂයේ මුළු ඉතිහාසයෙන් ම මෙය ඉගෙන ගැනීමට අසමත් වූ අයෙක් වෙතොත්, හේ අන්ත මෝඩයෙකි.”

ලෙනින් තෝරා ගත් කෘති- 10 වෙළුම – 36 පිටුව.

මේ අනුව අධිරාජ්‍යවාදී අවධියේ දී සමාජවාදී විප්ලවය අවධිවලට වෙන් කිරීම හෝ සමාජවාදය කල් දැමීම බරපතළ න්‍යායික වරදක්  වන අතර, කළ යුතු විප්ලවය වන්නේ සමාජවාදී විප්ලවයයි. එහි දී පසුගාමී ධනපති රටවල ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සම්පූර්ණ නොවීම නිසා ඉතිරිව තිබෙන ධනේශ්වර ක්‍රමය විසින් විසඳිය යුතුව තිබූ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් සමාජවාදය වෙත පවරා ගෙන සමාජවාදය තුළ නිර්ධන පන්ති පාලනය විසින්  විසඳිය යුතුව තිබේ.

6. අවධි තුළින් සමාජවාදය හා ජාතික විමුක්ති අරගල උපායමාර්ග

1917 ඔක්තෝබර් විප්ලවය ජය ගැනීමෙන් අනතුරුව ලෝක විප්ලවය වෙනුවෙන් 1919 තුන්වැනි ජාත්‍යන්තර ගොඩනැගූ ලෙනින් යටත්විජිත රටවල සමාජවාදී විප්ලවය සඳහා ජාතික විමුක්ති අරගලය හරහා සමාජවාදයට යන උපායමාර්ගය ඉදිරිපත් කළේය. පසුව දෙවන ලෝක යුද්ධයේ නිමාවත් සමග යටත්විජිත නව යටත්විජිත බවට පත්වීම නිසා ඉහත උපායමාර්ග අවලංගු වූයේ නැත. වර්තමාන නව ලිබරල් ධනවාදය තුළද එකී උපායමාර්ගය යම් යම් වෙනස්කම් සහිතව වුවද වලංගු වේ. ජාතික විමුක්ති අරගලය හරහා සමාජවාදයට යාමේ උපායමාර්ගය හා ඉහත විස්තර කළ අවධි තුළින් සමාජවාදයට යන ක්‍රියාමාර්ගය අතර කිසිදු සම්බන්ධකමක් නැත. ජාතික  විමුක්ති අරගල උපායමාර්ගය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සමග හෝ මහජන ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සමග සම්බන්ධ කිරීමට ඇතමුන් උත්සාහ දරන අතර, එය වැරැද්දක් වේ. මන්ද වර්තමාන ජාතික විමුක්ති අරගලයට දායකවීමට පන්තියක් ලෙස ධනපති පන්තියට නොහැකි අතර, එහි නායකත්වය නිර්ධන පන්ති ව්‍යාපාරය අත තබා ගත යුතු නිසාය.

ජාතික විමුක්ති අරගලය ධනේශ්වර පන්තිය අත පැවැති යුගයක් තිබිණි. ඒ ධනවාදයේ ආරම්භක අවධියේ ය. ධනවාදයේ ආරම්භක යුගයේ යටත්විජිතවල හෝ බලගතු රාජ්‍යයන් විසින් එම රටවල් යටත් විජිත භාවයෙන් මුදවා ජාතික ධනේශ්වර රාජ්‍යයන් නිර්මාණය කිරීම සඳහා අරගල කළේය. එය ද ජාතික විමුක්ති අරගලයකි. එහි දී එහි නායකත්වය අනිවාර්යය ලෙසම එම රටවල නව යොවුන් ධනපති පන්තියට පැවරිණි.

එහෙත්, ධනවාදය අධිරාජ්‍යවාදය දක්වා වර්ධනය වූ ධනවාදයේ මහලු අවධිය වන මේ යුගයේ යටත්විජිත ලෙස හෝ නව යටත්විජිත ලෙස පවතින නැතිනම්, අධිරාජ්‍යවාදී බලපෑම්වලට ලක්වූ පසුගාමී ධනපති රටවල සමාජවාදයේ උපායමාර්ගය සමග සම්බන්ධව පවතින ජාතික විමුක්ති අරගලය අනිවාරණීය ලෙසම නිර්ධන පන්ති ව්‍යාපාරයේ නායකත්වයෙන් කළ යුතුය.

අවස්ථාවාදයේ ජාත්‍යන්තර ප්‍රවණතා

ස්ටාලින්වාදය

මෙහි මූලිකාංග කීපයකි. එහි එක් ප්‍රවාදයක් වූයේ ‘තනි රටක සමාජවාදය’යි. “තනි රටක සමාජවාදයේ ජයග්‍රහණය යනුවෙන් අදහස් වන්නේ ඒ රටේ සමාජවාදය ගොඩනැගීමට ඇති ශක්‍යතාවය සහ මෙම කර්තව්‍යය තනි රටක බලවේගයන්ගෙන් මුදුන්පමුණුවා ගත හැකි බවයි…”
ස්ටාලින් 1926.11.12 ‘ප්‍රව්දා’

සෝවියට් සමාජය අත් කර ගත් ජයග්‍රහණයන් සමග ජාත්‍යන්තරවාදය අත්හැර දැමූ ස්ටාලින් ප්‍රමුඛ සෝවියට් කොමියුනිස්ට් පක්ෂය තනි රටක සමාජවාදය පිළිබඳ සංකල්පය ඉදිරියට දැමීය. එහි තවත් ප්‍රවාදයක් වනුයේ ‘මහජන පෙරමුණු න්‍යායයි’. මෙමගින් කියැවෙනුයේ පැසිස්ට්වාදයෙන් නැගී එන තර්ජනය හමුවේ පැසිස්ට් විරෝධී ධනපති පක්ෂ සමග කොමියුනිස්ට් පක්ෂ එක්  වී එක්සත් පෙරමුණක් තුළින් රාජ්‍ය බලය ලබා ගත යුතු බවකි. මේ න්‍යායන් අනුගමනය කිරීමට ගොස් ලොව බොහෝ කොමියුනිස්ට් පක්ෂ පන්ති සහයෝගීතාවයට ඇද වැටිණි. එමෙන්ම ස්ටාලින්ගේ අනෙක් ප්‍රධාන ලක්ෂණය වූයේ ‘අත්තනෝමතික මධ්‍යගතභාවයයි’. එය සමාජවාදයට බරපතළ හානි ගෙන දුන් නිලධාරිවාදයට වඩාත් උත්ප්‍රේරකයක් විය.

ට්‍රොට්ස්කිවාදය

ට්‍රොට්ස්කිවාදය යනු ලෙනින්වාදයට පටහැණිව බිහිවූ නිර්මාක්ස්වාදී ප්‍රවණතාවයකි. ට්‍රොට්ස්කිවාදය මාක්ස් – ලෙනින්වාදයෙන් වෙන් වන ප්‍රධාන කරුණු කිහිපයකි.

  1. .න්‍යායිකව කම්කරු පන්තිය විප්ලවයේ ගාමක බලවේගය ලෙස පිළිගත්ත ද, ගොවියන් වැනි බලවේගවල හැකියාව නොසලකා හරී.
  2. කම්කරු පන්තිය පිළිබඳ වියුක්ත ජීවමාන නොවන යාන්ත්‍රික තර්කයක් තුළ සිටී. එනම්, වර්තමාන කම්කරුවන්ගේ සමාජ සංකීර්ණ තත්වයන් නොසලකා අදින් වසර සියයකට පමණ පෙර පීවත්වූ කම්කරුවා තවමත් සිටී යැයි සලකා වැඩ තේරීම.
  3. විප්ලවය වෙහෙසී වැඩ කොට කම්කරුවන් ප්‍රමුඛ පීඩිත පන්තිය සංවිධානය කිරීම හරහා සිදු කරන එකක් වෙනුවට මධ්‍යගතභාවයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදය පිළිගනී. එමගින් දියාරු සංවිධාන රටාවක් සංවිධානය කෙරෙන් පළ වේ.
  4. කම්කරුවන්ගේ ජාත්‍යන්තර සමගිය හා ජාත්‍යන්තරවාදය පිළිගත්තත් ජාතික තලයේ කම්කරු හා පීඩිත පන්ති කටයුතු නොසලකා හරී.

මාවෝවාදය

මාවෝවාදීන් විසින් මාවෝවාදය මාක්ස් – ලෙනින්වාදයේ අඛණ්ඩ වර්ධනයක් ලෙස විග්‍රහ කළ ද, එයද තවත් ආකාරයක නිර්මාක්ස්වාදී ප්‍රවණතාවයකි. මාවෝවදය කෙරෙන් පළ වන නිර්මාක්ස් – ලෙනින්වාදී ප්‍රවාද කිහිපයකි.

මහජන ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය

සමාජවාදී විප්ලවය සඳහා පූර්ව තත්ත්වයන් සම්පූර්ණවී නොමැති රටවලදී ධනේශ්වර විප්ලවයේ වැඩ කොටස ඉටුකර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වේ. නිර්ධන පන්ති නායකත්වය යටතේ නිර්ධන, අර්ධ නිර්ධන, සුළ් ධනපති හා ධනපති යන පන්ති හතරක ආඥාදායකත්වය ලෙස විග්‍රහ කෙරේ.

සංස්කෘතික විප්ලවය

සංස්වකෘතික විප්ලවය පිළිබඳව වූ ක්‍රියාමාර්ග චීන විප්ලවයෙන්  අනතුරුව ක්‍රියාවට නැගිණි. සමාජවාදි ආර්ථිකයක් ගොඩනැගෙන විට ඊට අනුරූපීව උත්තර් නිර්මිතයේ වෙනස්කම්ද ඒ හා සමාන්තරව නව ආකල්ප හා නව සබඳතා ද ගොඩනැගෙනවා විනා කෘත්‍රිමය උත්තර් සංස්කෘතික ක්‍රියාදාමයක් පැටවිය නොහැකිය. මාවෝවාදය තුළ එවැනි සංස්කෘතික විප්ලවයක් ක්‍රියාවට නැගිණි.

ලෝක තුනේ ප්‍රභේදනය

මෙහිදී ලෝකය නව බෙදීම් රටාවකට අනුව නම් කෙරිණි.

එයට අනුව;

පළමු ලෝකය          එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ සෝවියට් අධිරාජ්‍යවාදය

දෙවන ලෝකය        ජපානය, එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය ඇතුළු රටවල්

තෙවන ලෝකය       චීනය ඇතුළු පරිධියේ රටවල්

එහි දී එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා සමාන පදනමකින් එවකට පැවැති සෝවියට් දේශය වර්ග කෙරිණි. සෙසු අධිරාජ්‍යවාදී රටවල් වෙනත් තැනක ස්ථාන ගත කෙරිණි. ඒ අනුව ලොව අධිරාජ්‍යවාදී කඳවුර එයට අයත් රටවල් අවිද්‍යාත්මක පදනමකින් වෙන් කොට දැමිණි. අනතුරුව චීනය ද ඇතුළුව සෙසු රටවල් තෙවන ලොව ලෙස නම් කෙරිණි.

මූල කඳවුරු න්‍යාය

චීන විප්ලවයේ මාදිලිය වූ මූල කඳවුරු න්‍යාය ලොව සෙසු රටවලට ද පැටවීම මාවෝවාදයට අනුව වෙර දරයි.

යුරෝ කොමියුනිස්ට්වාදය

චීන-රුසියන් මතභේදය මගිනුත්, යුගෝස්ලෝවියාවේ ටිටෝ හරහා ප්‍රකාශයට පත් වූ සංශෝධනවාදය මගිනුත් ආදී වශයෙන් විවිධ මතභේදයට ලක්ව තිබූ ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ ඉතාලිය, ප්‍රංශය හා වෙනත් යුරෝපා කොමියුනිස්ට් පක්ෂ කෙරෙන් පැන නැගුණු අවස්ථාවාදී උපනතියකි යුරෝ කොමියුනිස්ට්වාදය. මෙමගින් මාක්ස් – ලෙනින්වාදය කෙරෙන් පළ වූ මූලික ප්‍රවාදයන් මඟහැර සංශෝධනවාදී අදහස් පළ කරන්නට යෙදිණි.

එයට අනුව;

  • නිර්ධන පංති ආඥාදායකත්වය පිළිබඳ ප්‍රවාදයන් විවේචනයට ලක් වූ අතර, ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදය මගින් සාමකාමී සමාජ පරිවර්තනයක් ලෙස සමාජවාදය ගොඩ නැගිය හැකි බව ද,
  • පසුගාමී රටවල් සඳහා ධනපති රජය සමග එක්ව පවත්වාගෙන යන පංති සහයෝගිතාවක් ද,
  • සාමකාමී සමාජ පරිවර්තනයන් පිළිබඳව සාකච්ඡා මගින් පාර්ලිමේන්තුවාදයට යට වීම ද,
  • ලෙනින්ට එරෙහිව මාක්ස් මතු කරමින්, විප්ලවය කළ හැක්කේ ධනපති රටවල පමණක් බවට ද අදහස් පළ කෙරිණි.

පශ්චාත් මාක්ස්වාදයේ ආරම්භය

යුරෝපයේ බොහෝ කොමියුනිස්ට් පක්ෂ අවස්ථාවාදය කරා ගමන් කළේ පශ්චාත් මාක්ස්වාදී ගුරුකුල හරහා ය. පශ්චාත් මාක්ස්වාදී දර්ශනය යනුවෙන් එක් නිශ්චිත දර්ශනයක් නොමැති අතර, එය යම් යම් පැතිවලින් සමාන කම් පෙන්වන දර්ශන සමූහයක එකතුවකි. රුසියානු විප්ලවය අත්වැරැද්දක් ලෙස දකින ලද අන්තෝනියෝ ග්‍රාම්ස්චි මෙහි ආරම්භකයා ය. ෆෙඩ්රිච් ටීට්ෂේ, මාටින් හයිඩෙගර්, වෝල්ටර් බෙන්ජමින් යන අය විසින් කරන ලද දාර්ශනික විග්‍රහයන්ගේ එකතුවකින් පශ්චාත් මාක්ස්වාදය උපත ලබන ලදී.

පශ්චාත් මාක්ස්වාදයේ ආරම්භය

1.මාක්ස් ලෙනින්වාදය ප්‍රතික්ෂේප කිරීම

මාක්ස්වාදයට සම්භාව්‍ය ලේබලය අලවා එය යල් පැන ගිය බව පවසන අතර, ලෙනින්වාදය ප්‍රායෝගික අත්වැරැද්දක් ලෙස සලකයි. පරිධියේ රටවල සමාජවාදී විප්ලවය සිදු වීම ද අත්වැරැද්ක් ලෙස සලකන අතර, යුරෝපීය රටවල සමාජවාදී විප්ලවය සාමකාමි සහ නිෂ්පාදන බලවේගවල වර්ධනය මත ඉබේම සිදු වන බව පවසයි.

2. පන්ති අරගලය ප්‍රතික්ෂේප කිරීම

පන්ති පාරපන්තික වී ඇති බව පවසන අතර, අද දවසේ ගැටළු වී තිබෙන්නේ ධනපති ක්‍රමය නොව ලිංගිකත්වය මානව හිමිකම් පාරිසරික ගැටලු වැනි දෑ බව පවසයි.

3. ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ඇති ගැටුම් ප්‍රතික්ෂේප කිරිම

අතිරික්ත වටිනාකම් තව දුරටත් ශ්‍රමය විසින් නොව දැනුම හා ලිංගිකත්වය වැනි තත්වයන් තුළින් බිහි කරන බව.

4. සංයුක්ත ලෙස සමාජීය කරුණු විග්‍රහ කරනවා වෙනුවට වියුක්ත විග්‍රහයන්ට සීමා විම.

සමාජ විග්‍රහයේ දී ආර්ථික පදනම මූලික කොට උත්තර් නිර්මිතයේ අංශ එහි අන්‍යෝන්‍ය බලපෑමට සම්බන්ධ කොට විග්‍රහ කරනවා වෙනුවට වියුක්ත විග්‍රහයන්ට යාම.

මෙන්ෂෙවික්වවාදයේ උපනතීන්

සංශෝධනවාදය

මාක්ස්වාදයේ මූලික පදනම එනම්, පංති අරගලය බැහැර කොට කටයුතු කිරීම සංශෝධනවාදයේ මූලික ලක්ෂණයයි. එය ධනපති ක්‍රමය පරාජය කොට සමාජවාදය ගොඩ නැගීම මඟහැර ධනේෂ්වර ක්‍රමයට පැලැස්තර ගෙන එයි.
“දීර්ඝ දේශනා ගණනාවකට වඩා හොඳින් සංශෝධනවාදයේ හරය විස්තර කිරීමට බර්න්ටයින් යොදා ගත්තේ එම සිත් ගන්නා පාඨයයි. අවස්ථාවෙන් අවස්ථාවට හැසිරෙන ආකාරය වෙනම තීරණය කිරීම කාලීන සිදුවීම් අනුව තමන් හැඩ ගැසීම, නිර්ධන පංතියේ ප්‍රධාන අවශ්‍යතාවයන් සහ මුළු ධනපති ක්‍රමයේත්, මුළු ධනපති පරිණාමයේත් මූලික අංග ලක්ෂණ අමතක කිරීම, අවස්ථාවේ සැබෑ හෝ කල්පිත වාසි තකා මෙම මූලික අවශ්‍යතාවයන් කැප කිරීම සංශෝධනවාදයේ ප්‍රතිපත්ති එසේ ය. තවද, ඒ අනුව මෙම ප්‍රතිපත්තියේ ස්වභාවය නිසාම එය නියමයක් නොමැති ආකෘති ගණනාවකින් ඉදිරිපත් වන බවටත්, යම් දුරකට හෝ නවතාවයක් ඇති සෑම ප්‍රශ්නයකදීම ද යම් දුරකට හෝ බලාපොරොත්තු නොවූ හා නොසිතූ විරූ සිදුවීමක් ඇති වන සෑම අවස්ථාවක දී ම, එක් හෝ තවත් එවැනි සිදුවීමක් වුවද ඇති වන සෑම අවස්ථාවක දීම එක් හෝ තවත් ආකාරයක සංශෝධනවාදයක් උද්ගත වන බව ඉතා ප්‍රකටව පෙනෙන කරුණකි.

නිලධාරිවාදය

නිලධාරිවාදය ද නිර්ධන පංති ව්‍යාපාරය තුළ දැකිය හැකි තවත් අවස්ථාවාදී උපනතියකි. එය බලය ගැනීමට පෙර ද, බලය ගැනීමෙන් පසු ද, වඩාත් තීරණාත්මක ලෙස පංති ව්‍යාපාරය කෙරෙහි බලපෑ හැකි තත්වයකි. පංති ව්‍යාපාරය තුළ තම නිලය හා වගකීම පෞද්ගලික වරප්‍රසාද ලබා ගැනීමටත්, සිය නිලය පවත්වා ගැනීම නැතිනම් ආරක්ෂා කර ගැනීම උදෙසා බලය පාවිච්චි කිරීමත් නිලධාරිවාදී ලක්ෂණ පෙන්නුම් කරන එක් ආකාරයකි. එහෙත්, නිලධාරිවාදී පැලැන්තියක් ගොඩ නැගීම දක්වා නිලධාරිවාදයේ සිදුවන ගුණාත්මක වර්ධනය පංති ව්‍යාපාරයක් මුහුණ දෙන අභාවාචක අත්දැකීමකි. එය සෝවියට් කොමියුනිස්ට් පක්ෂය තුළ හිස එසවූ බරපතළ අවස්ථාවාදී පීලි පැනීම්වලට ද හේතු කාරක වූවකි. විශේෂයෙන් රාජ්‍ය බලය හොබවන තත්වයන් යටතේ මෙකී ප්‍රවණතාවයන්ට වඩාත් ඉඩකඩ විවර වන අතර, රාජ්‍ය බලය දැරීමත් එය පවත්වාගෙන යාමත් මෙකී පැලැන්තිය අතට පත් වූ විට එය එකවර පරාජයට පත් කිරීම දුෂ්කර වේ. නිලධාරිවාදය ද පුද්ගල ද්‍රෝහීකමක් හෝ වැරැද්දකට සීමා කළ හැක්කක් නොවේ. එය එය ප්‍රධාන කාරණා දෙකක් මත රඳා පවතී. ඉන් එකක් වනුයේ නිෂ්පාදන බලවේගයන්ගේ පමාණවත් නොවූ සංවර්ධනයයි. අනෙක් කරුණ වනුයේ සමාජවාදී රාජ්‍ය තුළ තව දුරටත් නො නැසී පවත්නා ධනේෂ්වර ලක්ෂණයයි. විශේෂයෙන් පසුගාමී ධනේෂ්වර සංවර්ධනයක් පවතින එනිසාම ප්‍රමාණවත් නොව නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනය විසින් මතු කරන ‘හිඟය’ නිලධාරිවාදී පැලැන්තියක් නැගී වර්ධනය වීමේ විෂයමූල තත්වයක් නිර්මාණය කරයි.

නිලධාරිවාදයේ විපත් සාකච්ඡා කරන ලද සෝවියට් සභාවන්ගේ අටවෙනි සම්මේලනයට (1920 දෙසැම්බර්) පසුව මෙම විපත් පිළිබඳ විශ්ලේෂණයක් සමග සමීප වශයෙන් සම්බන්ධ වූ මතභේද  කැටි කොට දැක්වූ රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ 10 වන සම්මේලනයෙන් (1921 මාර්තු) පසුව වසර දෙකකට  පසුව 1921 වසන්තයේ දී ඒවා අපට පැහැදිලිවත් අප්‍රසන්නවත් පෙනේ. ඒවායේ ආර්ථික මූලයන් කවරේද?

ඒවා වැඩි වශයෙන් ද්විත්ව ස්වාභාවයක් උසුලයි. එක් අතකට කම්කරුවන්ගේ සහ (පාර්ශවික ගොවීන්ගේ ) විප්ලවවාදී ව්‍යාපාරයට එරෙහිව යෙදීම සඳහා දියුණු ධනපති පංතියකට නිලධාරි යන්ත්‍රයක් ප්‍රධාන වශයෙන් යුද්ධ යන්ත්‍රයක් සහ ඊළඟට අධිකරණයත් ආදිය වුවමනා වෙයි. ඒ අප සතු නොවූවකි. අපේ උසාවි ධනපතියන්ට එරෙහිව යෙදූ පංති උසාවි ය. අපගේ හමුදාව ධනපතින්ට එරෙහිව යෙදූ පංති හමුදාවකි. නිලධාරිවාදයේ විපත් හමුදාව තුළ නොව ඊට සේවය කරන ඊට සේවය කරන ආයතන තුළ පවතී. වෙනස් වූ ආර්ථික මූලයන් ඇත්තේ, ඒවා නම්, තම දිළිඳු භාවයත්, නූගත්කමත්, ඌන සංස්කෘතියත් සහිත වූ සුළු නිෂ්පාදකයාගේ ඉතා කඩා විසිරුණු ස්වභාවය මංමාවත් හා කෘෂිකර්මාන්තය අතර හුවමාරුව නොමැති වීම හා ඒවා අතර සම්බන්ධය සහ අන්තර් ක්‍රියාකාරීත්වය නොමැති වීමත් ය.
අවස්ථාවාදය ද? නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ද? – රෝහණ විජේවීර

දක්ෂිණාංශික හා අති වාමාංශික අවස්ථාවාදය

නිර්ධන පංති ව්‍යාපාරය සිය දේශපාලන අරගලය තුළ උපාය උපක්‍රම සම්බන්ධව මෙන්ම ක්‍රියාමාර්ග තුළ දීත් ප්‍රකාශයට පත් වෙන ප්‍රවණතා  දෙකකි.  මාක්ස්වාදයේ මූලධර්ම න්‍යායික පදනම් භාවිතයට නැගීමේ දී සැලකිය යුතු ඓතිහාසික වෙනස්කම්, නව තත්වයන් නොසලකා හරිමින්, පටු යාන්ත්‍රික ගැලපීම්වලට වැටෙන විට අති වාම ස්වරූපයක් දක්වා වමේ ව්‍යාපාරය ඇද වැටෙයි. ඕනෑම විප්ලවවාදී ව්‍යාපාරයක සංකීර්ණ තත්වයන් තුළ මෙකී උපනතීන් නිර්මාණය විය හැකිය. පාර්ලිමේන්තුව වැනි ආයතනයක් සම්බන්ධ වුවද එයට සහභාගී නොවීම මත එනම්, මුළුමනින්ම ධනපති පාර්ලිමේන්තුවට වමේ ව්‍යාපාරය සහභාගී නොවන අදහස් මතූ වූ කල ඉන් නිරූපණය වන්නේ  අති වාම ස්වරූපයයි. එමෙන්ම සියළු අරගල පාර්ලිමේන්තු අරගලයට සීමා කළ විට දක්ෂිණාංශික අවස්ථාවාදයට වැටෙයි. මේ අයුරින් සම්මුතීන් ආදී ඕනෑම ක්‍රියාමාර්ගයක අති වාම මෙන්ම දක්ෂිණාංශික නැඹුරුව පිළිබඳව එනම්, න්‍යාය භාවිතයට නැගීමේ දී පවතින තත්වයන්ට ඓතිහාසික වෙනස්කම් මෙන්ම කිසියම් අන්තයකට නො වැටී කරනු ලබන දේශපාලන භාවිතාවකට මින් බල කෙරේ.

නිදහස්වාදය

අවස්ථාවාදයේම තවත් ප්‍රකාශනයක් වන නිදහස්වාදය සංවිධානයකට බැඳී කටයුතු නොකරන අසංවිධානාත්මකව කටයුතු කිරීමට ඇති කැමැත්තත්, තමන් කැමති ආකාරයට කැමති ප්‍රමාණයකින් කටයුතු කිරීමටත්, වගකීම් විරහිත භාවයත් ලිබරල් අදහස් දැරීමට ඇති කැමැත්ත මගිනුත් ප්‍රකාශයට පත් වන අතර, සැබෑ දේශපාලන අරගල මඟහැර සම්මුතිකාමයකට වැටෙන ස්වරූපයක් ද පෙන්නුම් කෙරේ. අනෙක් අතට නිදහස්වාදී ස්වරූපය සංවිධාන මධ්‍යගතභාවයට හානි ගෙන දෙන අතරම සතුරු මතවාද සංවිධානය තුළ ගොඩ නැගීමට ද පිටු බලයක් ගෙන දේ.

කණ්ඩායම්වාදය

අවස්ථාවාදයේ මොනයම් හෝ අන්තයකට වැටීම හරහා නිර්ධන පංති ව්‍යාපාරය තුළ මතු විය හැකි අන්තරායක් වන්නේ කණ්ඩායම්වාදයයි. අවස්ථාවාදයේ දක්ෂිණාංශික හෝ වාමාංශික අන්තයක් නියෝජනය කරන මතවාදයක් අනුව යමින් පුද්ගල කේන්ද්‍රීය ව ඇති කල්ලි ගැසීමක් ලෙස කණ්ඩායම්වාදය දැකිය හැකිය. මෙහි දී මතවාදී මධ්‍යගතභාවය හා සංවිධාන මධ්‍යගතභාවය ලිහී විසිරී ගොස් විප්ලවවාදී පක්ෂයේ න්‍යායික දැක්ම වන මාක්ස් – ලෙනින්වාදය විකෘති කිරීම් හා අපැහැදිලිකම්වලට ලක් කරමින් බොල්ෂෙවික් සංවිධාන ප්‍රතිපත්තිවලට එරෙහිව දියාරු හා නිදහස්වාදී සංවිධාන ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවමින් කටයුතු කරයි. ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ  ඉතිහාසයෙන් විශේෂයෙන් සෝවියට් පක්ෂයේ ඉතිහාසයෙන් කණ්ඩායම්වාදය පිළිබඳ බොහෝ අත්දැකීම් අපට දැක ගත හැකිය.

මෙන්ෂෙවික්වාදයට එරෙහි අනවරත අරගලය

මෙන්ෂෙවික්වාදයට එරෙහි අනවරත අරගලය

නිර්ධන පංති ව්‍යාපාරයක කාර්යභාරය නිර්ධන පංතිය අතට රාජ්‍ය බලය දිනා ගැනීමෙන් පසුව අවසන් නොවේ. එය කොමියුනිස්ට් සමාජය ඉදිකිරීම දක්වා දිවෙයි. මෙම මුලු මහත් කාල පරිච්ඡේදය පුරාම ධනපති පංතියට එරෙහිව නිර්ධන පංති අරගලයේ අඛණ්ඩ කොටසක් වශයෙන් අවස්ථාවාදයට එරෙහි අරගලය පවත්වාගෙන යා යුතුව ඇත. එසේ නොමැතිව සමාජවාදී විප්ලවය හෝ කොමියුනිස්ට් සමාජය හෝ යථාර්ථයක් නොවනු ඇත. සෝවියට් දේශය ප්‍රමුඛ ව පැවති සමාජවාදී කඳවුර බිඳ වැටීමට ප්‍රධාන හේතුව වූයේ ද එම සමාජවාදී රටවල අවස්ථාවාදයට එරෙහි අරගලය බිඳ වැටීමයි.

මෙන්ෂෙවික් ලක්ෂණ හඳුනා ගැනීමට නම්

පැරණි වමේ ව්‍යාපාරය තුළින් දුටු මෙන්ෂෙවික්වාදී ලක්ෂණ කෙරෙහි ද, නූතන වේගයෙන් එන මෙන්ෂෙවික්වාදී ලක්ෂණ කෙරෙහි ද තව දුරටත් නිර්ධන පංතියේ අවධානය ඉල්ලා සිටී. නිර්ධන පංති ව්‍යාපාරයේ විවිධ මට්ටම් කරා මෙකී සලකුණු කාන්දු කරවීමේ සතුරු උත්සාහය අප පරාජයට පත් කළ යුතුය. ඒ සඳහා සියළු සටන් පාඨ, සම්මුති, ගිවිසුම් ඇතුළු සියල්ල පසුපස පවත්නා වූ පංති අවශ්‍යතාවය හරියාකාරව වටහා ගැනීමට අප සමත් විය යුතුය.

මෙන්ෂෙවික්වාදය පරාජයට පත් කිරීම යනු

මෙන්ෂෙවික්වාදයේ සමාජ හා ඓතිහාසික අත්දැකීම් හරහාත් ලංකාවේ පැරණි වමේ ව්‍යාපාරය සහ මෙන්ෂෙවික්වාදය අතර ඉතා ලඟින් බැඳුණු සම්බන්ධයන් අප හඳුනා ගනිමු. එසේ වුව ද, ලංකාවේ පැරණි වමේ ව්‍යාපාරය සහ මෙන්ෂෙවික්වාදය යනු  එකම ප්‍රපංචයක් ලෙස හඳුනා ගැනීම බරපතළ දේශපාලන වැරැද්දකි. ඒ අනුව පැරණි වම යනු මෙන්ෂෙවික් ව්‍යාපාරය නොවේ. මෙන්ෂෙවික් යනු පැරණි වම තුළ පැවති අවස්ථාවාදයයි. එහෙයින්, අප විසින් පවත්වාගෙන යා යුතු මෙන්ෂෙවික්වාදය පැරදවීමේ අරගලය පැරණි වමට එරෙහි අරගලයක් වශයෙන් ලඝු කිරීමට අපට අයිතියක් නැත. එය නිර්මාණය වෙන ඕනෑම තැනක හඳුනා ගෙන පරාජය කිරීම අපේ වගකීම වනු ඇත.

මෙන්ෂෙවික්වාදය නිර්ධන ව්‍යාපාරය තුළ ඕනෑම මොහොතක බිහිවීමේ අනතුර

සක්‍රිය නිර්ධන පංති ව්‍යාපාරයක් අද වුවද, ඕනෑම මොහොතක අවස්ථාවාදී ප්‍රවණතා නිර්මාණය විය හැකිය. මේ අවස්ථාවාදය කෙලෙස නිර්මාණය වුව ද, කුමන කරුණු පදනම් කර ගෙන නිර්මාණය වුව ද, මෙන්ෂෙවික්වාදය ලෙස විස්තර කළ හැකි වන්නේ ය. මෙහිදී දක්ෂිණාංශික මුහුණුවරින් මෙන්ම අති වාමාංශික රැඩිකල්වාදී මුහුණුවරින් වුව ද අවස්ථාවාදය මතු විය හැකි වන්නේ ය. වර්තමානයේ වර්තමානයේ ලෙනින් වැරදිකාරයා කොට මාක්ස් නිවැරදිකරු කරමින්, ලෝකයේ අධිරාජ්‍ය අවධිය තුළ ලෙනින් කළ වැඩ කොටස අවතක්සේරු කර පසුගාමී ධනපති රටවල් තුළ විප්ලවය කළ නොහැකි බව හෝ එසේ කිරීම ප්‍රායෝගික නොවන බව පවසන නූතන මතයන් තුළ ඇති අවස්ථාවාදය හඳුනා ගත යුතුය. ලෙනින් කියූ ලෙසට ම අපගේ ප්‍රධාන සතුරා අවස්ථාවාදය වන බැවින් ද එය පවතින්නේ අපගේ ශ්‍රේණීන් තුළ වන බැවින් ද එය හඳුනා ගෙන පරාජයට පත් කිරීමට අප අදිටන් කර ගත යුතුය.

අපගේ අභියෝග

ධනවාදය තුළ ධනවාදයට එරෙහිව සමාජය සහ මතවාදී අරගලයේ පෙරටුගාමී වැඩ කොටස ඉටු කරනු ලබන නිර්ධන පංති ව්‍යාපාරයට එරෙහිව ධනපති පංතිය නිරන්තරයෙන් විවිධාකාර කුමන්ත්‍රණයන්ට එළඹෙනු ලබන්නේ ය. ඒ අතර නිර්ධන පංති ව්‍යාපාරය තුළ ව්‍යාපාරයේ කුමන අවධියක දී වුව ද, ජයග්‍රහණය කළ හැකි ඉතා නරකම සතුරා වනුයේ අවස්ථාවාදයයි. එනිසාම, එවන් සිදුවීම්, පුද්ගලයන්ට නැතිනම්, පැරණි වමට පමණක් සීමා කොට හඳුනා ගැනීම බරපතළ වැරැද්දක් බවට පත් වේ. තව ද, මෙන්ෂෙවික්වාදය අති වාමාංශික මෙන්ම මධ්‍යමික ස්වරූපයෙන් ද මතු විය හැකි අතර, එය නිර්ධන පංති ව්‍යාපාරයේ විවිධ ශ්‍රේණි තුළ විවිධ අවධීන් තුළ දී විවිධ ස්වරූපයෙන් ප්‍රකාශයට පත් වීමේ හැකියාවක් ඇත.

අපේ වගකීම්

නිර්ධන පංති ව්‍යාපාරයේ විවිධ ශ්‍රේණි තුළින් අවස්ථාවාදය ප්‍රකාශයට පත්වීමේ අනතුර පරාජයට පත් කිරීම සඳහා ලෙනින්වාදී සංවිධාන වැඩපිළිවෙලක් පවත්වාගෙන යාම එනම්, ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතභාවය මත පදනම් වූ ශක්තිමත් සංවිධාන වැඩපිළිවෙලක් පවත්වාගෙන යාම මෙහි දී අනිවාර්ය කොන්දේසියක් වේ. ඒ සමගම සංවිධානය තුළ නිරන්තරයෙන් වඩා විද්‍යාත්මක වූ මතවාදී අරගලයක් පවත්වාගෙන යාම අනෙක් කොන්දේසියයි. ඒ අනුව සංවිධාන හා මතවාදීමය තලයේ කෙරෙන අනවරත අරගලයන් විප්ලවවාදී ව්‍යාපාරය තුල පවත්වාගෙන යාම මූලිකව ඉල්ලා සිටී.

 

වමේ ව්‍යාපාරය සහ න්‍යායික පීලි පැනීම්