ලෝකයේ පංති සමාජය බිහිවීමට පෙර, ප්‍රාථමික සාමූහික ක්‍රමය තුළ සංවිධානාත්මක ආගම් පැවතියේ නැත. එහෙත් විවිධ ඇදහිලි තිබුණි. ඒවා මිථ්‍යා ඇදහිලි විය. ගස්, ගල්, ඉර, හඳ, තාරකා, විදුලිය, වැස්ස වැනි මිනිසා බියට හෝ පුදුමයට පත් කළ ස්වභාවික වස්තූන්ට හා සංසිද්ධීන්ට දේවත්වය ආරෝපණය කර ගැනීම මඟින් ඇදහිලි බිහි විය. ඊට හේතු වූයේ ආදිකාලීන සමාජයේ විද්‍යාව නොදැන සිටීමය. සොබාදහමේ සිදුවීම් විද්‍යාත්මකව තේරුම් ගැනීමට තරම් දැනුම හා නිෂ්පාදන උපකරණ දියුණු වී නොතිබූ එම යුගයේ තේරුම් ගත නොහැකි විස්මිත දේවල්වලට දේවත්වය ආරෝපණය කිරීම හැර වෙන විකල්පයක් මිනිසාට නොවීය. ඒ අනුව ඇදහිලි පැවතිණි. එහෙත් ඒවා ආගම් නොවීය. ඒ සඳහා විශේෂ දේවස්ථාන, දේවාල හෝ ‘පූජකයන්’ ලෙස හඳුන්වන විශේෂ අය සිටියේ නැත. බොහෝ විට දෙවියන්ට හෝ යකුන්ට පුද පූජා පවත්වන ලද්දේ ගෝත්‍රයේ වැඩිහිටි පිරිමි හෝ කාන්තාවන්ය. ඒවා පරපුරෙන් පරපුරට ගෙන යන ලදී.
ආගම් බිහිවෙයි
ආගම් යනු සංවිධානය වූ, ඒ වෙනුවෙන්ම වෙන්වූ පූජකවරුන් විසින් පවත්වාගෙන යනු ලබන ආයතනයන්ය. එවැනි ආයතන පවත්වාගෙන යාමටත්, ඒවායේ පූර්ණකාලීනව ආගමික කටයුතුවලට වෙන්වුණු අය (පූජකයින්) නඩත්තු කිරීමටත් සමාජය තුළ සමාජමය නිෂ්පාදනයේ අතිරික්තයක් අවශ්‍ය විය. එහෙත් එම අතිරික්ත නිෂ්පාදනය ප්‍රාථමික සාමූහික සමාජය තුළ නොවීය. සමාජය දේපළ මත පංතීන්ට බෙදී, පෞද්ගලික දේපළ අයිතීන් ඇති වී, එම දේපළවල අයිතිය හිමි පංතියේ පාලනයක් සහිතව පළමු පංති සමාජය බිහිවන විට දේපළ හිමි පංතිය අත සමාජ නිෂ්පාදනයේ අතිරික්තය එකතු විය. වහලුන්ගෙන් වැඩ ගැනීමෙන්, බදු ගැසීමෙන්, කොල්ලකෑමෙන් එම අතිරික්ත ධනය ගොඩනඟන ලදී. රජය බිහිවූයේද මේ සඳහාය. රජයේ කාර්යය වූයේ එම දේපළ හිමි පංතිය වෙනුවෙන් දේපළ අහිමි පංතිය පාගා ගෙන සිටීමය.
කෙසේ වුවත් සමාජය තුළ අතිරික්ත නිෂ්පාදනය බිහිවීමත් සමග එම අතිරික්ත නිෂ්පාදනයෙන් යැපෙමින් යමෙකුට ඇදහිලි කටයුතු වෙනුවෙන් වෙන්වීමේ හැකියාව ඇති වුණි. ආගම් හා පූජකයින් බිහිවූයේ එම තත්වය තුළය. එහිදී රීතියක් ලෙස එම ආගම් හා පූජකයන් පවතින රජය හා සම්බන්ධ විය. ඊට හේතු වූයේ සමාජමය නිෂ්පාදන අතිරික්ත තිබුණේ දේපළ හිමි පංතියට නිසාත් පූජකයන්ට, දේවාලවල, පන්සල්වල නඩත්තුවට දේපළ ලබාගත හැකි වූයේ, දේපළ හිමි පංතියෙන්, රජුගෙන්, ප්‍රභූන්ගෙන් නිසාත්ය. ඊට අමතරව පසු කලෙක පොදු ජනයාගෙන්ද පඬුරු ලෙස මුදල් ලබා ගන්නා ලදී.
ආගම පාලක පංතියේ අවියක් වීම
ආගම්වල පැවැත්මට, යැපීමට හා ආරක්ෂාවට පාලක පංතියේ හා රජයේ සහාය අවශ්‍ය වූවා සේම රජයට හා පාලක පංතියටද ආගම්වල සේවය අවශ්‍ය විය. ඒ, පීඩාවට පත් ජනයා මෝහනය කර තබා ගැනීම සඳහාය; රජයට පක්ෂපාතී කර තබා ගැනීම සඳහාය. ආගම් කුමන වෙනස්කම් සහිතව බිහිවුවද, කුමන ඉගැන්වීම් තිබුණද අවසානයේ ඒවා පාලක පංතියට සේවය කරන ඒවා බවට පත් විය. ඉතිහාසයේ අප දන්නා සත්‍යය එයයි.
එක් කලෙක රජයේ පීඩාවට එරෙහිව පීඩිතයන් නියෝජනය කරමින් බිහි වූ ආගම් පවා පසුව රජයේ මෙවලම් බවට පත් විය. උදාහරණ ලෙස බුදු දහම බිහි වූයේ ක්‍රි:පූ: 06වැනි සියවසේ ඉන්දියාවේ රජයට ඉහළින් පැවති බ්‍රාහ්මණ ආගමෙන් රජය නිදහස් කර ගැනීම උදෙසා ය. ඒ සඳහා පෙරමුණ ගත්තේ ඉන්දියාවේ ක්ෂත්‍රිය කුමාරවරුන් ය. සිදුහත් කුමරු ද ඉන් එක් කුමාරයෙකි. බුදු දහම විසින් ආරම්භයේම සිදු කළේ එකල සමාජය යට කර ගෙන සිටි බ්‍රාහ්මණ ආගමේ බ්‍රහ්ම මැවුම්වාදයට පහර දීම ය. එය එකල පැවති තත්වයට අනුව ප්‍රගතිශීලී ද විය. මිනිසෙක් වසලයෙක් වන්නේත් බ්‍රාහ්මණයෙක් වන්නේත් උපතින් නොව ක්‍රියාවෙන් බව පැවසීම මගින් බුදුන් සිදු කළේ බ්‍රහ්ම මැවුම්වාදය ප්‍රතික්ෂේප කිරීමය; කුල පීඩනය ප්‍රතික්ෂේප කිරීම ය. (ඒ බුදු දහම තුළම දැන් කුලවාදය තිබීම හාස්‍යයකි) එහෙත් පසු කලෙක බුදු දහමේ සමහර ඉගැන්වීම් විකෘති වී ඒ තුළට යළි මැවුම්වාදය රිංගා ගන්නා ලදී. එය පාලක පංතියට සේවය කරන එකක් ද විය.
ක්‍රිස්තියානිය ද එසේය. එය බිහි වූයේ වහල් ක්‍රමයට එරෙහිව වහලුන්ගේ විරෝධය ප්‍රකාශ කිරීමක් ලෙස ය. එකල රෝම අධිරාජ්‍යය ලොව බොහෝ රටවල් යටත් කොට ඒවා කොල්ලකමින් සිටි අතර, ඒ වන විට පැවති ආගමික නායකයන් විසින් ඊට උදව් කරන ලදී. රෝම පාලනයට යටත් ප්‍රදේශයක උපන් ජේසුස් විසින් දේශනා කළ ධර්මයෙන් සිදු කළේ; රජය උත්තරීතර යැයි පවසා ජනතාවගේ ජීවිතයේ එකම හිමිකරු රජය ලෙස දක්වා තිබූ මතයට අභියෝග කොට මිනිසාගේ ගැලවුම්කරුවා දෙවියන් බවත් දෙවියන් රජයට ඉහළින් සිටින බවත් අප සියලුම දෙනා අවසානයේ වගකියන්නේ දෙවියන් වහන්සේට බවත් පවසා මිනිසුන්ගේ ඉරණම කෙරෙහි රජයේ තිබූ තනි ඒකාධිකාර ආධිපත්‍යයට අභියෝග කිරීමය. ජේසුස් මරා දමන ලද්දේ ද ඒ නිසාය. එහෙත් ජේසුස් මරා දමා වසර 400ක් ගිය තැන රෝම පාලනය කොන්තන්ස්තීන්ගේ කාලයේ දී ක්‍රිස්තියානිය රෝමයේ නිල ආගම බවට පත් කර ගත්තේ ය. ඉන්පසු ක්‍රිස්තියානියේ ආරම්භක අරමුණු විකෘති වී එය රජය තරම් බලවත් ආයතනයක් විය. රෝමානු කතෝලික සභාව බිහි වූයේ ඒ අනුව ය. එය වසර 1000ක් පුරා යුරෝපයේ අඳුරු යුගය ලෙස සැලකෙන මධ්‍යතන යුගයේ රජය හා එක්ව ජනතාව පීඩාවට පත් කළේය. ආගමික ඉගැන්වීම්වලට පටහැණි විද්‍යාත්මක සත්‍යයක් ප්‍රකාශ කළ අයව ද මරා දමන ලදී. කිසියම් ප්‍රගතිශීලිත්වයක් සහිතව බිහි වූ ක්‍රිස්තියානිය අවසානයේ අන්ත ප්‍රතිගාමී ආයතනයක් වූයේ එය රජයේ වුවමනාව හා සම්බන්ධ වීම නිසාය.
බහුදේවවාදය වෙනුවට ඒක දේවවාදය
ලෝකයේ මුලින්ම පංති සමාජය ආරම්භයේ දී ම බිහි වූ ආගම් බහුදේවවාදී ආගම් විය. ග්‍රීසියේ දෙවිවරු රැසක් ඇදහූ අතර, ඔවුන්ට වෙන වෙනම දේවස්ථානද තිබිණි. ඉන්දියාවේද හින්දු ආගම බහුදේව ආගමක් ලෙස තවම පවතී. එහෙත් යුරෝපයේ පසු කලෙක බහු දේවවාදය වෙනස් වී ඒක දේවවාදී ආගම් බිහි විය. ඊට හොඳම උදාහරණ දෙක වන්නේ ක්‍රිස්තියානිය හා ඉස්ලාම් ආගමයි. යුදෙව් ආගම ද මෙහිම ප්‍රභේදයකි.
මෙයින් පෙනී යන්නේ, ආගම් බිහිවීම හා ව්‍යාප්ත වීම අහම්බයක් නොව ඉතා පැහැදිලි සමාජ ආර්ථික කොන්දේසි අනුව සිදුව ඇති බව ය. විද්‍යාව නොතිබූ කාලයේ මිථ්‍යා විශ්වාස පදනම් කර ගෙන බිහි වූ ඇදහිලි පසුව පංති සමාජයේ දී සංවිධානාත්මක ආගම් බවට පත්වූ බව පැහැදිලිය. එසේ වූයේ නව සමාජ පෙරළියට අනුවය; පෞද්ගලික දේපළ හා රජය ඇතිවීම හා සමපාතවය.
ඉන්පසු වරින්වර බිහි වූ ආගම් ද බිහිව ඇත්තේ ඒ මොහොතේ සමාජයේ පැවති සමාජ අවශ්‍යතාවයන් ඉටු කිරීම වෙනුවෙනි. එහෙත් ආගම් බිහිවන විටම ඒ තුළ මිථ්‍යාව තිබීමත් ඒවා ඉක්මනින්ම පාලක පංතියේ වුවමනාවන් නියෝජනය කිරීමත් පාලක පංතීන් ආගම්, තම පංති පාලනය රැක ගැනීම සඳහා ජනතාව ශික්ෂණය කර වෙන් කර තබා ගැනීමටත්, පීඩිතයන්ට මරණින් මතු බලාපොරොත්තුවක් දී පංති පීඩනය යටපත් කිරීමටත් යොදා ගන්නා නිසා පොදුවේ ආගම් පාලක පංතියට සේවය කරන ඒවා බවට පත් විය.
ලොව ප්‍රථම වෘත්තිය
ලොව ප්‍රථම වෘත්තීන් දෙකක් ගැන ඉතිහාසය සඳහන් කරයි. ඉන් එකක් ගණිකා වෘත්තියයි. එයද ආරම්භ වී ඇත්තේ යුරෝපයේත් ඉන්දියාවේත් දේවාල පදනම් කර ගෙන බව ඉතිහාසයේ සඳහන් වේ. අනෙක් වෘත්තිය වූයේ පූජක වෘත්තියයි. ආගමික කටයුතු වෘත්තිය කර ගෙන, අනුන්ගේ ශ්‍රමයේ අතිරික්තයෙන් යැපීම ජීවිතය කර ගැනීමට ඔවුන් කටයුතු කළ අතර ඒ අනුව පූජක කාර්යය වෘත්තියක් විය. විවිධ වෙනස්කම් සහිතව වුවද අදටත් මෙය මෙලෙස පවතී.
පංති සමාජය තුළ පවුල නම් ඒකකය බිහිවීම, කලාව බිහිවීම, රජය බිහිවීම ආදිය ද එකවිට සිදු වූ සංසිද්ධීන් විය. ඒ සියල්ල පිළිබඳව ඉදිරියේ දී කතා කරමු.
විමර්ශන