සංවර්ධනය – ධනේශ්වර සංකල්ප සීමාව විනිවිද දකිමු!

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

හැඳින්වීම

‘සංවර්ධනය’, ධනේශ්වර සංකල්ප සීමාව විනිවිද දකිමු’ නමින් ඔබ අතට පත්වන මේ පොත් පිංච ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාපන අංශය විසින් 2022  වසර මුලදී පක්ෂ ක්‍රියාධරයන් සඳහා සිදුකළ අධ්‍යාපන සාකච්ඡාවක් ඇසුරින් සකස් කරන ලදදකි.

‘සංවර්ධනය’ පිළිබඳ එම අධ්‍යාපන සාකච්ඡාවේ ඇති වැදගත්කම සලකා එය මෙලෙස පොත් පිංචක් ලෙස මුද්‍රණය කිරීමට අපි අදහස් කළෙමු.

2022 මුල සිදුකළ එම අධ්‍යාපන සාකච්ඡාවේ ලිඛිත සටහන එම සාකච්ඡාවේ භාෂා ශෛලියෙන්ම මෙහි ඇති බැවින් ඇතැම් විට විවිධ භාෂාමය දෝෂ තිබීමට පුළුවන. එය තේරුම්ගෙන මෙය පරිහරණය කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

නියමුවා ප්‍රකාශන

සංවර්ධනය – ධනේශ්වර සංකල්ප සීමාව විනිවිද දකිමු!      

සංවර්ධනය කියන සංකල්පය නිතර අහන දෙයක්. අපේ රටේ බස් හෝල්ට් එකක් විවෘත කිරීමත් සංවර්ධනය කියලයි කියන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය 2015දී පමණ “තිරසර සංවර්ධන” දර්ශක ඉලක්ක 17ක් ලෝකයටම ඉදිරිපත් කළා. ලෝකයක් වශයෙන් 2030 වන විට ජයග්‍රහණය කර ගත යුතුයි කියන ඉලක්ක එහි තිබුණා. 2000දී සහශ්‍ර සංවර්ධන දර්ශක ඉදිරිපත් කර තිබුණා. එක්සත් ජාතීන්ගේ පැත්තෙන් පුළුල් නිර්ණායක පද්ධතියක් මේ විදියට ඉදිරිපත් කර තිබුණා. අපේ රටේ පහුගිය අවුරුදු 40 – 50 කාලය තුළ පාරවල් විවෘත කිරීම, ගොඩනැගිලි හැදීම සංවර්ධනය විදියට ගත්තා. ඊට අමතරව ආර්ථික සංවර්ධන දත්ත, වේගයෙන් ඉදිරිපත් වුණා.

මේ දිනවල ණය ගෙවීමේ හැකියාව පදනම් කරගෙන විවිධ රේටින්ස් ආයතන විවිධ ශ්‍රේණි හඳුන්වාදී තිබෙනවා. අපේ රට “ජජ” (“ජජ”- ඵදදාහ නම් ආර්ථික විශ්ලේෂණ ආයතනය මගින් රටවල ආර්ථිකයන්ගේ ශක්තිය ් කාණ්ඩයේ සිට ජ කාණ්ඩය දක්වා වර්ගීකරණය කර තිබෙනවා. ජජ යනු ආයෝජනයට නුසුදුසු/අනතුරුදායක තත්වයයි) දක්වා පහත හෙළා තිබෙනවා. ඒවාත් යම් සංවර්ධන දර්ශක තමයි. “ජ” කාණ්ඩයට එනකොට බංකොලොත්. මේ විදියට සංවර්ධනය පිළිබඳ සංකල්ප අපේ ජීවිතයට සම්බන්ධයි. ඒ වගේම ඒවායෙන් බොහෝ විට සැබෑ යථාර්ථය පිළිබිඹු වෙන්නේ නැහැ.

අපි දේශපාලන වශයෙන් ගත්තොත් එක් දේශපාලන කණ්ඩායමක පෝස්ටරයක දාලා තිබුනේ “ගොඩ ගමු. ගොඩ නගමු.” කියලා. ඒකේ තියෙන්නෙත් සංවර්ධනය. අපි ඉදිරිපත් කරන “විසඳුම” කියන්නෙත් සංවර්ධනය පිළිබඳ දෙයක්. ඒ නිසා අද “සංවර්ධනය” කියන එක දේශපාලන වැඩපිළිවෙළක් බවට පත්ව තියෙනවා. දේශපාලන පක්ෂවලින් රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ සංවර්ධනය. අපි යටත්විජිත විදියට තිබුණ කාලයේ ජනතාව දේශපාලන ව්‍යාපාරවලින් බලාපොරොත්තු වුණේ සංවර්ධනයම නෙවෙයි. එයත් එක කොටසක් වුණත් ඊට වඩා තිබුණේ යටත්විජිතකරණයෙන් නිදහස්වීම. නිදහස ස්වාධීනත්වය වගේ දේවල් තමයි දේශපාලන ව්‍යාපාරවලින් බලාපොරොත්තු වුණේ. තමන්ගේ රට නිදහස් කරගැනීමට සුදුසුම දේශපාලන ව්‍යාපාරය මොකක්ද කියලයි එදා ජනතාව වැඩි අවධානයට ගත්තේ.

නමුත් අද දියුණුවෙමින් පවතින රටවල පමණක් නෙවෙයි. දියුණු වෙලා තියෙන රටවල පවා ජනතාව දේශපාලන ව්‍යාපාරයකින් බලාපොරොත්තු වෙන්නේ සංවර්ධනය. එනිසා ජන ජීවිත පිළිබඳව, සමාජයේ මට්ටම පිළිබඳව අර්ථ දක්වන්නේ සංවර්ධනය තුළින්.

නමුත් අපි ජීවත්වෙන්නේ පංති සමාජයක. එනිසා “ජනතාව” කිව්වාම කොල්ලුපිටියේ ජනතාව සහ දිවුලපිටියේ ජනතාව අතර ලොකු වෙනසක් තියෙනවා. පංති සමාජයකදී සංවර්ධනයේ මට්ටම මැනීම තුළ සම්පූර්ණ අදහස නිරූපණය වෙන්නේ නැහැ. අපිට ඉන්න තත්වය පෙන්නුම් කරදෙන්නේ අර්ධ වශයෙන්. පංති සමාජය තුළදී සංවර්ධනය මනින මිමි සර්ව සාධාරණ වන්නේ නැහැ. ධනපති ක්‍රමය තුළදී සංවර්ධනය විග්‍රහ කෙරෙන්නේ ධනපති ක්‍රමයට අනුව. ධනපති ක්‍රමය තුළ සංවර්ධනය කියලා හදන තර්ක, නිර්ණායක, දර්ශකවලින් මාක්ස් ලෙනින්වාදී සංවර්ධනය පිළිබඳ ඇත්ත පිංතූරය හදන්නේ නැහැ.

එනිසා ධනපති ක්‍රමය තුළ හදන සෑම නිර්ණායකයක්ම ධනපති ක්‍රමයට සාධාරණ, ඒ සීමාව ඇතුලේ දකින නිර්ණායක විදියට අපි

පිළිගන්න ඕනෑ. ධනපති ක්‍රමය තුළ ඒක පුද්ගල ආදායම ගැන ඉලක්කමක් කීවාම වාමාංශික දෘෂ්ටියෙන් අපි කියන්නේ ඒක පුද්ගල ආදායමෙන් රටක ඇත්ත තත්වය නිරූපණය නොවන බව. දළ ජාතික නිෂ්පාදිතය ජනගහනයෙන් බෙදුවාම එන අගය විසින් කොල්ලුපිටියේ ජීවන මට්ටමයි දිවුලපිටියේ ජීවන මට්ටමයි පෙන්වන්නේ නැහැ. එනිසා පංති අරගලය තුළින් මේ නිර්ණායක වෙනස් කරන්න බලපෑමක් කරනවා. වඩා යථාර්ථවාදී සහ විනිවිද පෙනෙන සුළු නිර්ණායක හදන්න ඕනෑ.

මාක්ස් ලෙනින්වාදී අර්ථයෙන් සංවර්ධනය දකින්නේ භෞතික සංවර්ධනය, ගොඩනැගිලි ඉදිකිරීම ලෙස නොවෙයි. අනෙක් පැත්තෙන් අපි සංවර්ධනය විදියට දකින්නේ මිනිසාගේ සංවර්ධනයකුත් නෙවෙයි. අපි දකින හැම දෙයකම චලිතයක තියෙනවා. මිනිසා පමණක් නෙවෙයි සෑම ද්‍රව්‍යයක්ම චලිතයේ පවතිනවා. ඒ සෑම ද්‍රව්‍යයක්ම සංවර්ධනයක පවතිනවා. ග්‍රහලෝක, සංකල්ප, ගහකොළ, ඇවතුම් පැවතුම්,  සිරිත් විරිත් සියල්ලම චලිතයක, සංවර්ධනයක තියෙන්නේ. දයලෙක්තික සංකල්පය තුළිනුත් ඓතිහාසික භෞතිකවාදී දෘෂ්ටියෙන් අපි හැම දෙයක් දිහාම බැලිය යුතුයි. සංවර්ධනය දිහාත් බැලිය යුත්තේ එහෙමයි.

අපි මේ සාකච්ඡාවෙන් බලාපොරොත්තු වන්නේ මාක්ස් ලෙනින්වාදී සමාජ විද්‍යාත්මක අර්ථයකින්  සංවර්ධනය තේරුම් ගන්න. එතනදී ධනේශ්වර සංවර්ධන නිර්ණායක ගැනත් යම් අවබෝධයක් ඇතිකර ගන්න. ඒ වගේම සංවර්ධනය මත පදනම් වුණ දේශපාලන තර්ක මහ ගොඩක් තියෙනවා. උදාහරණයක් වශයෙන් “සිංගප්පූරු මොඩලය” අපි

අනුගමනය කළ යුතුයි කියනවානේ. අපි ඒ මොඩලය ගැනත් සාකච්ඡා කළ යුතුයි. දකුණු කොරියානු, ස්විස්ටර්ලන්ත, ස්කැන්ඩිනේවියානු ආදී වශයෙන් වූ මොඩල ගැන කතා කරන්න තියෙනවා. ධනේශ්වර සංවර්ධන සංකල්පවල දුර්වලතාවය, සීමාසහිතභාවය ගැන අවබෝධ කරගන්න ඕනෑ. කොටින්ම වර්තමාන සමාජ සංවර්ධනය අවබෝධ කරගන්න බැරි ටූල්ස් තමයි එතන තියෙන්නේ.

ධනේශ්වර සංවර්ධන සංකල්ප උපකරණවල තියෙන ලොකුම අවුල වර්තමාන සමාජ යථාර්ථය හොඳින් මැන ගන්න බැරි එක. කවුරුත් දන්න උදාහරණයක් ගත්තොත් ඒක පුද්ගල ආදායම කියන්නේ සරල අදහසක් තියෙන හරිම විකෘතියක්. කොරෝනා මරණ  ගණන වගේ. ලංකාවේ කොරෝනා රෝගින් මැරිලා තියෙනවා. මේ මැරිලා තියෙන්නේ මිනිස්සුනේ. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මරණ, කොළඹ දිස්ත්‍රික්කයේ මොන ප්‍රදේශවල, මොන විදියට ජීවත් වුණ අයද? බහුතරය කුමන මට්ටමක අයද?

ඔවුන් ඉදිරිපත් කරන පින්තූරවලින් ඇත්ත පින්තූරය දෙන්නේ නැහැ. එනිසා සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවේදි ඇත්ත පින්තූරයක් ලබාදීමට ධනවාදය අසමත්. අපි ඒ බව තේරුම් ගෙන ඉදිරියට යමු.

ක්‍රිස්තු පූර්ව තුන්වැනි හතරවැනි සියවස්වල ඉඳලම සංවර්ධනය පිළිබඳ යම් යම් මැනීම් කර තියෙනවා. නයිල් නිම්න ශිෂ්ටාචාරයේ, මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ, ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ ක්‍රිස්තු පූර්ව සියවස්වලදී පවා යම් ක්‍රමයකට සංවර්ධනය මැනලා තියෙනවා. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය, ඉදිකිරීම්, වෙළඳාමේ ප්‍රමාණය වගේ මූලික වශයෙන් මැනීම් කරලා තියෙනවා. කාලානුරූපව කාටත් පිළිගන්න පුළුවන් මැනුම් බවට පත් වුණේ ඒ කියන්නේ පොදු මිනුම් ඇති වුණේ 18වැනි සියවසේදී. උදාහරණයක්, මීටරය කීවම කවුරුත් එකඟ වෙන්න එපායැ. නමුත් “වියතක දිග” කීවම සාපේක්ෂව පමණක් වෙනවනේ. බර මැනෙන්නේ ඒ ප්‍රදේශවලට සීමාවූ උපකරණවලින්. නමුත් වෙළඳාම ලෝකය පුරා ව්‍යාප්ත වුණා. 15වැනි සියවසෙන් පස්සේ ධනේශ්වර ක්‍රමයේ සංවර්ධනයත් එක්කම පොදු මිනුම් දඬු ඇති වුණා. දිග, පරිමාව පොදු මිනුම් ඒකකවලට පෙරළුණා. විශේෂයෙන් 18වැනි සියවසේදී විදුලි බලය සොයාගැනීමත් එක්ක මැනුම් ක්‍රම අඛණ්ඩව වර්ධනය වුණා. පොදු මිනුම් ඒකක වර්ධනය වුණා.

            අද අපි කතා කරන්නේ දුර ගැන, බර ගැන නෙවෙයි. අධ්‍යපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය, වෙළඳාම, බැංකු කටයුතු, සාක්ෂරතාවය, මන්දපෝෂණය, දුප්පත්කම වගේ විවිධ ක්ෂේත්‍ර දහස් ගණනක දත්තවලින් සංකීර්ණ නිර්ණායක පද්ධතියක් ගැන කතා කරන්නේ. කොවිඞ් එක්ක ආරම්භ වුණ අවර් වර්ල්ඞ් ඉන් ඬේටා (ධමර උදරකා ෂබ ෘ්ඒ) කියන ආයතනයේ සංකීර්ණ දත්ත තියෙනවා. කොම්පියුටර් පද්ධති යොදාගෙන මිනිස් ශ්‍රමිකයන් අතිවිශාල ගණනක් යොදාගෙන මහා පරිමාණයෙන් කරන්නේ. දත්ත යොදාගැනීම අවුරුදු 2500ක් පමණ පරණ වුණත් ගෝලීය පරිමාණයෙන් දත්ත විශ්ලේෂණ ආරම්භ කෙරෙන්නේ 1945 දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ.

සංවර්ධනය පිළිබඳ කතාබහ යම් සංකීර්ණ රාමුවක් තුළ සාකච්ඡාවට ගන්න ඕනෑ බව දැන් අපට පේනවා.

සංවර්ධනය පිළිබඳ අර්ථකථන

දැනුම සඳහා අර්ථකථන කිහිපයක් ඉදිරිපත් කරන්නම්. එක්සත් ජාතීන්ගේ සංවිධානය 1981 – 1990 කාලයේදී කීවේ “සංවර්ධනය යනු ජනසංඛ්‍යාවක් සමාජීය, සංස්කෘතික, සදාචාරාත්මක සාධක ඇතුළත් වෙනස්වීම් සංවර්ධනය පිළිබඳ ක්‍රියාදාමයයි” කියලා.

එක්සත් ජාතීන්ට අනුබද්ධ යුනෙස්කෝ ආයතනය 1978 “යුනෙස්කෝ ප්‍රකාශනය හඳුන්වා දෙමින් පැවසුවේ ”රටක ආර්ථික සංවර්ධනය සමඟ සමාජීය සංවර්ධනයක්ද ඇතිවිය යුතුයි. සමාජීය සංවර්ධනය සිදුවිය යුත්තේ ආහාර හා පෝෂණය, සෞඛ්‍ය, අධ්‍යාපනය, නිවාස, සමාජ සුරක්ෂිතතාවය, ඇඳුම් පැළඳුම්, විවේකය සහ මානසික නිදහස පවා ඇතුළත්වයි. සංවර්ධනය සිදුවිය යුත්තේ ආහාර හා පෝෂණය, සෞඛ්‍ය, අධ්‍යාපනය, නිවාස, සමාජ සුරක්ෂිතතාවය, ඇඳුම් පැළඳුම්, විවේකය හා මානසික නිදහස යන කේෂ්ත්‍රවල පුළුල් වීමක් කියලයි. මේ නිර්වචනය හරි පළල්. රටක් සංවර්ධිතද කියලා බලන්න මිනිස්සුන්ට කෙතරම් මානසික නිදහස තියෙනවද කියලත් බලන්න ඕනෑ. මීට අවුරුදු 44කට කලින් ඒ කිව්වේ.

සංවර්ධනය පිළිබඳ බි්‍රතාන්‍ය විශේෂඥයෙකු වන, ඩබ්ලිව්. සීයස් කියනවා “සංවර්ධනය යනු රටක දුප්පත්කම, අසමානතාවය හා විරැකියාව අඩු කිරීම හෝ අහෝසි කිරීම” කියලා. මිනිස් සමාජයට කේන්ද්‍ර කරලා දුප්පත්කම අසමානතාවය හා විරැකියාව දුරු කිරීම සංවර්ධනයේ ප්‍රධාන මැනුම් හැටියට හඳුන්වනවා.

එඞ්ගා ඕන්ස් කියන සංවර්ධනය පිළිබඳ විශේෂඥයා කියන්නේ “සංවර්ධනය යනු මිනිසුන්ගේ සංවර්ධනය මිස ද්‍රව්‍යමය සංවර්ධනයක් නොවේ” කියලා. ආගමික, ආධ්‍යාත්මික පැත්තේ අය කියන්නේ මේ වගේ දෙයක්. “දියුණුව කියන්නේ බිල්ඩින් නෙමෙයි” කියලා. ඇමරිකාව, එංගලන්තය දියුණුයි කියලා කීවාම ඒ අය ආධ්‍යාත්මිකව පිරිහිලා කියන්නෙ ඔන්න ඔය වගේ. මිනිසා හැදිලා තියෙන්නෙත් ද්‍රව්‍යවලින් නිසා මොකක්ද මේ ද්‍රව්‍යමය සංවර්ධනය කියන්නේ කියලා න්‍යායික ප්‍රශ්නයක් තියෙනවා.

මහත්මා ගාන්ධි කියන්නෙ,    “සංවර්ධනය යනු පූර්ණ සංවර්ධනයයි. එයට මානසික, ආධ්‍යාත්මික සහ ද්‍රව්‍යමය අවශ්‍යතා ඇතුළත් වේ” කියලා දැක්වෙනවා. පටුයි. ගැඹුරක් නැහැ. නමුත් පුළුල් ආවරණයක් තියෙනවා.

මේ නිර්ණායක සංකල්ප පද්ධතියම බැලුවාම මිනිසා ඉලක්ක කළ බව පැහැදිලි වෙනවා. සංවර්ධනය මිනිසාගේ, මිනිස් සමාජයේ, සංවර්ධනයට පටු කරලා තියෙන්නෙ. ධනේශ්වර ක්‍රමය ඇතුලේ සංවර්ධනය දකින විදිහ මේ නිර්ණායකවල තියෙන්නේ.

අපි මාක්ස් ලෙනින්වාදීන් විදිහට දන්නවා සංවර්ධනය කියන සංකල්පය මිනිසාට පමණක් යොදන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා.එක්තරා ආකාරයකින් ප්‍රධාන සංවර්ධන ආකාරයන් පහක් අඩුගානේ තියෙනවා. උදාහරණ ගත්තොත් “යාන්ත්‍රික චලිතය, භෞතික චලිතය, රසායනික චලිතය, ජීව චලිතය නැත්නම් ජීව පරිණාමය සහ සමාජ චලිතය කියලා. අද අපි දකිනා විශ්වය බිහිවුණේ මීට අවුරුදු බිලියන 13.8කට කලින් මහා පිපුරුමකින් බව අපි දන්නවා. ගුරුත්ව තරංග ග්‍රහණය කර ගැනීමත් එක්ක සෑහෙන ප්‍රමාණයකින් එය ඔප්පු කර තිබෙනවා. තරු සහ පෘථිවිය හැදිලා තියෙන්නේ මේ ද්‍රව්‍යමය මූලිකයෙන්. කාල් සේගාන් (ක්‍්රක ීැට්බ) කියන තාරුකා විද්‍යාඥයා කීවේ “අපි තරු දරුවෝ” කියලා.

අවුරුදු බිලියන 13.8ක තිස්සේ අපි දකින ද්‍රව්‍ය වෙනස් වෙනවා, සංවර්ධනය වෙනවා. මහා ගල් පර්වත පසු කාලීනව පස් බවට පත්වෙනවා. චලිතය නිසයි මෙහෙම වෙන්නෙ. එතන තියෙන්නෙත් සංවර්ධන ක්‍රියාවලියක්. පෘථිවිය බිහි වෙලා ඒ තුළ හයිඩ්‍රජන් බන්ධන ඇති වීමෙන් රසායනික චලිතය ඇති වෙනවා. මිනිසා බිහි වීමට අතිශය වැදගත් දෙයක් හයිඩ්‍රජන් බන්ධන ඇති වීම. ඔක්සිජන් ඇතිවීම. මේවා අවුරුදු කෝටි ගණනකින් පස්සේ බිහි වෙන්නෙ. එතනත් සංවර්ධනයක් තියෙන්නේ.

ඊට පස්සේ ජීවය බිහිවෙනවා. ඒ ජීවියා අවුරුදු කෝටි ගාණක් පරිණාමය වෙලා සතුන් බිහිවෙනවා. ඒ සතුන්ගෙන් “මිනිසා” කියන සතා බිහිවෙනවා. තරුවලින් පටන්ගත් මේ ගමන විවිධ සංවර්ධනයන්ට ලක්වෙලා අද මිනිසාගේ මොළය ඉතාම දියුණු මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. අද මිනිසා තරු සොයාගෙන යනවා. මිනිස් මොළය මෙතනින් නතර වෙන්නේ නැහැ. අනන්ත ක්‍රියාවලියක අද මිනිසා ඉන්නේ. මිනිසා මිනිස් සමාජයක් නිර්මාණය කරනවා. මිනිස් සමාජය වෙනස් වෙලා යන්නේ ගල් යුගය, එඬේර යුගය කියන පටු බෙදීම්වල ඉඳලා. පංති සමාජය හංගන්නයි ගල් යුගය, එfඬ්ර යුගය කියල කියන්නේ. දැනුත් එfඬ්රු ඉන්නවානේ.. කිලිනොච්චි, මුලතිව් පැත්තේ විශාල වශයෙන් එfඬ්රු පමණක් නෙවෙයි, එfඬ්ර කටයුතු කරන කාන්තාවන් හමුවෙනවා.

නමුත් මාක්ස් ලෙනින්වාදී අපි මිනිසා අතීත මානව කල්ප වානරයාගේ සිට ප්‍රාථමික සාමූහික සමාජය, වහල් හිමි සමාජය, වැඩවසම් සමාජය සහ ආසියාව හා ඒ ආශ්‍රිත රටවල ආසියාතික සමාජය සහ වර්තමාන ධනේශ්වර සමාජය ලෙස ක්‍රමයෙන් ඉදිරියට සමාජවාදී සමාජයක් ගැන අධ්‍යයනයක් කරනවා. සමාජවාදී සමාජය තවදුරටත් සංකල්පයක්, හිතලුවක් නෙවෙයි. යථාර්ථයක්. මිනිස් සමාජය සමාජවාදී සමාජය යටතේත් විශාල වෙනස්කම් සහිතව ඉදිරියට යනවා. ලංකාවේ ධනපති ක්‍රමය 1833 කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණවලින් පස්සේ බිහිවුණා නම් ඒ ධනේශ්වර ලංකාව නෙවෙයි අද තියෙන්නෙ. එකම සමාජ ක්‍රමය ඇතුළෙන් වෙනස් වෙමින් ඉදිරියට යනවා. ඒ වගේම සමාජ ක්‍රම අතර පුළුල් වෙනස්කම් පවතිනවා. මාක්ස් ලෙනින්වාදීන් විදිහට අපි සංවර්ධනය දකින්නේ ද්‍රව්‍ය සමස්තයේම තියෙන සංවර්ධන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදිහට.

බොහෝ ධනේශ්වර සංකල්පවල තියෙන්නේ මිනිස් සමාජය දියුණු කිරීම ගැනනේ. සොබාදහමේ දයලෙක්තිකය කෘතියේ එංගල්ස් කියන්නේ “ධනේශ්වර ක්‍රමය සොබාදහම දිහා බලන්නේ යටත්විජිත හිමියෙක් යටත් කරගෙන තියෙන රටක් දිහා බලන විදිහට” කියලා. ජෝර්ජ් බුෂ්

ඇෆ්ගනිස්ථානය දිහා බලපු විදිහට. නැත්නම් ඉරාකය දිහා බලපු විදිහට. ඔබාමා සිරියාව දිහා බලපු විදිහට; එංගල්ස් කියන්නෙ එහෙම නොවිය යුතු බව.

ඩෙකාම් කියන දාර්ශනිකයා කියූ විදිහට ලාභය අරමුණු කරගත් නිෂ්පාදනයට බර තැබීම වෙනුවෙන් ඊට ගැලපෙන තර්ක, ඊට ගැලපෙන දර්ශනයක් ගොඩනැගුවා. ධනේශ්වරයේ වර්ධනය අවුරුදු 500 විතර වුණාට පස්සේ මිනිසා සහ සොබාදහම, මිනිසා සහ සත්තු වශයෙන් මතයක් හැදුවා. මිනිසා සොබාදහමේ කොටසකට වඩා සොබාදහමෙන් වෙනස් කෙනෙක් විදිහට ඒ දිහා බලන්න පුරුදු කළා. මාක්ස් ලෙනින්වාදය අනුව මූලද්‍රව්‍ය චලිතයේම කොටසක් විදිහට තේරුම් ගන්න කොට පද්ධතියේම කොටසක්.

ඒ නිසා අපි මේක වෙනස් කරන්න හදන්නේ පද්ධතියක් විදිහට. අපිත් පරිස්සම් කරගෙන ඒ පද්ධතියත් පරිස්සම් කර ගන්නවා. නමුත් ධනපති ක්‍රමයට ලාභ ලබන්න මිනිහා සහ සොබාදහම වෙන් කිරීමත් එක්ක ගැටුණා. අපෙන් අවට ලෝකය වුණාම ඒ ලෝකය තලනවා, පෙළනවා; විනාශ කරනවා. ඉතිං මේක මුළුමනින් අවසන් සංවර්ධනය සිදුවන ආකාරයක් විදිහට අපිට සංයුක්තව සංවර්ධන ක්‍රියාවලිය ගැන බලන්න පුළුවන්. එක එක දේවල් සංවර්ධනය වන වෙනස් ආකාර තේරුම් ගෙන සමාජ සංවර්ධන ක්‍රියාවලිය සලකා බලන්න පුළුවන්.

මාක්ස් ලෙනින්වාදයට අනුව සංවර්ධනය යනු; “ද්‍රව්‍ය සංවර්ධනයේ උසස්තම හා සංකීර්ණතම ආකාරය වන මිනිස් සමාජයේ නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනය ඔස්සේ දියුණු තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රමයේ කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය ඉහළ නංවමින්, ශ්‍රමිකයකුගේ වැඩ කරන කාලය අඩු කරමින් විවේකය, විනෝදය, ක්‍රීඩාව සහ අධ්‍යාපනය වෙනුවෙන් වැයකරන කාලය වැඩි කරමින් පංති පීඩනයට එරෙහිව ශ්‍රමයේ විමුක්තිය උදා කරමින් මිනිසා සොබාදහමේ කොටසක් ලෙසින් ප්‍රකෘතිය සහ මිනිස් සමාජය අතර සතුරු නොවන ප්‍රතිවිරෝධයන් පවත්වා ගනිමින් සහ මානව ප්‍රජාවේ ප්‍රගතිශීලී සර්පිලාකාර වර්ධනයේ ගතිලක්ෂණයකි.”

මේ හැම වචනයකටම ඉතාම අර්ථවත් තේරුම් තියෙනවා. සංවර්ධනය යනු ද්‍රව්‍ය සංවර්ධනයේ උච්ඡතම හා සංකීර්ණතම ආකාරය වන මිනිස් සමාජය කියන්නේ ජීවයේ කුඩා ඇමීබාවාගේ ඉඳලා මිනිසා සහ දියුණු හැකියාවක් සහිත සත්තු දක්වා වර්ධනය වෙලා තියෙන්නේ. සංවර්ධන ක්‍රියාවලියට යම්කිසි දිශාවක් තියෙනවා. ජීව සංවර්ධනයට, සමාජයේ වෙනස්කමට දිශාවක් තියෙනවා. ඒ නිසා පොදුවේ තේරුම් ගෙන තියෙන්නේ හැම දෙයක්ම සරල දේ ඉඳලා සංකීර්ණ දේ දක්වා වෙනස් වෙන බව. ඇමීබාවාගේ ඉඳලා ඉතාම සංකීර්ණ මිනිස් මොළය දක්වා වර්ධනය වෙනවා. මිනිස් සමාජය ගත්තත් ප්‍රාථමික පංති සමාජයේ ඉඳලා ධනේශ්වර සමාජය දක්වා එනවා.

ඊළඟට සංවර්ධනයේ දිශාව පහළ සිට ඉහළට සංවර්ධනය වෙනවා. ජාතික

කෞතුකාගාරයට අනුබද්ධ ස්වභාවික විද්‍යා කෞතුකාගාරය බලන්න යන්න. ඒ කෞතුකාගාරයේ සංවර්ධන ක්‍රියාවලිය අනුරූපව විග්‍රහ කරලා තියෙනවා. සර්පිලාකාරව මේ දේ සිද්ධ වෙන හැටි ඒකේ තියෙනවා. පහළ සිට ඉහළට ගමන් කරන්නේ. මේ තත්වය තේරුම් ගන්න හොඳ තැනක් ඒ. මිනිස් සමාජය සංවර්ධනය වෙන්නෙත් ඔන්න ඔය ආකාරයට. සර්පිලාකාරව සරල දේ ඉඳලා සංකීර්ණ පැත්තට පහළ ඉඳලා ඉහළට.

කලින් සඳහන් කළ නිර්වචනයේ තියෙන “නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනය ඔස්සේ” කියන දේ තේරුම් ගන්න ඕනෑ. නිෂ්පාදන බලවේගවල අංක එක උපකරණ. ලේත් මැෂින් එක, බයිසිකලේ, ලිප වගේ අතිමහත් ප්‍රමාණයක් යුද උපකරණ. මිනිස් හැකියාව විසින් මිනිසාගේ ශ්‍රම උපකරණ දියුණු කිරීම, මේකෙන් කියන්නේ. “ශ්‍රමයේ කාර්යක්ෂමතාව හා ඵලදායකත්වය ඉහළ නංවමින් ශ්‍රමිකයකුගේ වැඩ කරන කාලය අඩු කිරීම” මේ නිර්ණායකවල විශිෂ්ටත්වය තියෙන්නෙ මෙතැන. හරියට මේවා කියලා තියෙනවා.

ලෝකයේ ඕනෑම ධනේශ්වර උගතෙක්, විද්වතෙක් කියන්නේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න ඕනෑ කියලා. ඵලදායකත්වය වැඩි කරන්න ඕනෑ කියලයි. ඔවුන් කියන්නේ මේ සූරාකෑමේ අර්ථයෙන්. කම්කරුවකුගේ ශ්‍රමය සූරාකෑමේ තීව්‍රතාවය වැඩි කිරීම ගැනයි මේ කියන්නේ. ටේලර් ගේ බෙල්ට් ක්‍රමය, ජපානයේ ජස්ටින් ක්‍රමය ගත්තත් අවසානයේ කියන්නේ මිනිසාගෙන් වැඩි වැඩ ප්‍රමාණයක් කරගන්න එක.

එතන ශ්‍රමිකයෙකුගේ වැඩ කරන කාලය අඩු කිරීමේ අරමුණක් නැහැ. ජපානය ඉතාම දියුණුයි, කාර්යක්ෂමයි කියනවා. හැබැයි තාමත් පැය අට වෙනුවට පැය 11-12 වැඩ කරනවනේ. සංවර්ධිතයි කියන රටවල්වලින් වැඩිම මානසික රෝගීන් ප්‍රමාණයක් ඉන්න රට ජපානය. ශ්‍රම බලකායෙන් තුනෙන් පංගුවක් මානසික රෝගීන්. ශ්‍රමයේ කාර්යක්ෂමතාව ශ්‍රමයේ ඵලදායකත්වය තියෙනවා. හැබැයි ශ්‍රමිකයෙකුගේ වැඩ කරන කාලය අඩු කරනවා කියන දේ නැහැ. ජපානයේ දී ශ්‍රමය කියන්නේ කුරුසයකට කරගහගෙන යාමක්. විමුක්ති මාර්යක් නෙවෙයි.

මාක්ස් ලෙනින්වාදයේ ශ්‍රමයේ ඵලදායකත්වය, කාර්යක්ෂමතාවය වැඩි කරන්න ඕන බව කියනවා. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. හැබැයි අරමුණ මොකක්ද? ශ්‍රමිකයෙකුගේ වැඩකරන කාලය අඩු කරන එක. විවේකය, විනෝදය, ක්‍රීඩාව සහ අධ්‍යාපනය වෙනුවෙන් වැඩ කරන කාලය වැඩි කිරීම අරමුණ කරගෙනයි කාර්යක්ෂමතාව, ඵලදායකත්වය වැඩි කරන්නේ. මේ තුළ පංති පීඩනයට එරෙහිව ශ්‍රමයේ විමුක්තිය උදාකර ගන්න ඕනෑ. සංවර්ධනය කියලා අපි හඳුනා ගන්නේ මේ දේ.

ජාතීන්ගේ සංගමය 1919 දී පැය අටක වැඩ දිනය නීතිගත කරන්න කියලා යෝජනාවක් සම්මත කළා. දියුණුයි කියන ගොඩක් රටවල පැය අටක වැඩ දිනය නීතිගත කරල අවුරුදු සීයක් පැනලා. මේ කාලය තුළ තාක්ෂණය කොතරම් ඉහළ ගිහින් තියෙනවද? ස්වීඩනය වගේ රටක් ගත්තොත් ශ්‍රම ඵලදායකත්වය 1200%කින් වැඩිවෙලා අවුරුදු සීයට. හැබැයි වැඩ කරන පැය ගණන 8මයි. ඕටී කරන්නත් ඕන ජීවත් වෙන්න. ධනේශ්වර සංවර්ධනයේ අරමුණ ශ්‍රමයේ කාර්යක්ෂමතාව වැඩි කිරීමත් ඵලදායකත්වය වැඩි කිරීමත් විතරයි. අපිට හමුවන විද්වතුන් හුඟක් අය ඉන්නෙත් මේ දෙකේ. සමාජවාදයේ දී අපි කාර්යක්ෂමතාවය වැඩිකරන්නේ ධනය වැඩි කරන්න නෙවෙයි. ඒකට අලුතින් විද්වතුන් අවශ්‍යත් නැහැ. ඒ වැඬේ අපිට ජපානයෙන් දකුණු කොරියාවෙන් කොපි කරන්න පුළුවන්. අපි කාර්යක්‍ෂමතාවය වැඩිකරන්නේ වැඩ කරන පැය ගණන අඩු කරල. ඉතිරි වෙන පැය විවේකයට, විනෝදයට, සමාජ, පුද්ගලික කටයුතුවලට ලබා දීමේ අරමුණන්.

ධනේශ්වර සංවර්ධන මොඩලවල අසාර්ථක බව (20වැනි සහ 21වැනි සියවස් තුළ)

අපි යන්නේ ඉස්සරහට.“පීඩක පංතියට එරෙහිව ශ්‍රමයේ විමුක්තිය උදාකර දෙමින් මිනිසා සොබාදහමේ කොටසක් ලෙසින්”, ඒකයි නිර්වචනය. සංවර්ධනය කියලා විශාල වශයෙන් ගොඩනැගිලි, ගුවන්තොටුපළවල් මිනිසා වෙනුවෙන් කියලා හදද්දී ඊට ප්‍රතිවිපාක ලැබෙනවා. නමුත් සොබාදහම එක්කයි මේක බලන්න ඕනෑ. සොබාදහම විනාශ කළොත් ප්‍රතිවිපාක දෙන්නේ වෙන විදියකට. අපි සොබාදහම විනාශ කළ නිසා විශාල වශයෙන් අද අපිට ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. සොබාදහම තේරුම් ගෙනයි අපි මේක වෙනස් කරන්න ඕනෑ. සොබාදහම දෙස යටත්විජිත හිමියන් යටත්විජිත දෙස බලන විදිහට බලලා වැඩ කිරීම නිසයි අද මෙහෙම වෙලා තියෙන්නේ. මාක්ස් ලෙනින්වාදීන් වශයෙන් සංවර්ධනය ගැන හිතන්න තියෙන්නේ පුළුල් වශයෙන්.

මාක්ස් ලෙනින්වාදීන් විදිහට අපි හදන්න යන්නේ මොන විදිහේ සමාජයක්ද? මොන විදිහේ මිනිසෙක්ද අපිට ඕනෑ? අපි හදන්න යන්නේ ශ්‍රමිකයෙක්ද? වෘත්තිකයෙක්ද? හොඳ ව්‍යාපාරිකයෙක්ද? නැත්නම් අපි හදන්න යන්නේ පුරවැසියෙක් සහ හොඳ මිනිහෙක්ද? ධනපති ක්‍රමය අද හදලා තියෙන්නේ ශ්‍රමිකයෙක්. පැය 24න් පැය 13-14 වැඩ කරන මිනිහෙක්. සමාජ ජීවිතයක් නැති, පුද්ගලික ජීවිතය අඩු අර්ධ යන්ත්‍රයක්. රළුකම්, යක්ෂයෙක් වගේ වෙලා තියෙන හැඟීම්, විශාල බිඳවැටීම්වලට හේතු පවා අපි කතා කරනවානේ. අපි හදන්න යන්නේ වෘත්තිකයෙක් නම් ඒත් එහෙමයි.

සංකීර්ණ නිෂ්පාදන යාන්ත්‍රණය මෙහෙයවන්න විශාල දැනුමක් අපට තියෙන්න ඕනෑ. කලින් හිටිය මේසන් බාස් වගේ නෙවෙයි දැන් ඉන්න මේසන් බාස්. විශාල උපකරණ ගණනාවක් තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න දැනගන්න ඕනෑ. ඒ නිසා වෘත්තිකයෝ හදන්න ඕනෑ. දොස්තරලා, ඉංජිනේරුවෝ විතරක් නෙවෙයිනේ වෘත්තිකයෝ කියන්නේ. ඕනෑම දෙයක් හරි අධ්‍යාපනයක් අරගෙන කරන අය වෘත්තිකයෝ. ඉවට කරන අය නෙවෙයි. අපිත් ගඩොලක් බැන්ද පලියට වෘත්තිකයෙක් වෙන්නෑනේ. නමුත් අපි හදන්න යන්නේ මිනිසෙක් නම් ඒ මිනිසා ශ්‍රමික කාර්යභාරයක් ඉටු කරන, සමාජීය ජීවිතයක් තිබෙන, පරිසරය ගැන උනන්දු, ක්‍රීඩා කරන පුද්ගලික ජීවිතයේ තමන්ගේ දරු පැටව් එක්ක ඉන්න, අම්මාට තාත්තාට ආදරයෙන් සලකන පුරවැසියෙක්.

ඔහු හෝ ඇය ශ්‍රමිකයෙක් ලෙස නිෂ්පාදන ක්‍රියාවලිය හරියට කරන්න ඕනෑ. ඊළඟට පවුලේ අය එක්ක දිනපතා සතුටින් ඉන්න හොඳ නින්දක් තියෙන ජීවිතයක් ඕනෑ. ඊළඟ සමාජීය ජීවිතය ඉතා සොඳුරුව ගත කරන්න ඕනෑ. මාක්ස් ලෙනින්වාදීන් විදියට අපිට යන්න තියෙන සංවර්ධන දෘෂ්ටිය ඕක. ලංකාව පරිවර්තනය කරන්න ඕනෑ එහෙම. අපි හදන්න ඕනෑ ඒ වගේ සමාජයක්. ඒ අනුව තමයි අපි අපේ රට හදන සැලසුම් සකස් කරන්න වෙන්නේ.

ලෝකයේ මුලින්ම ඩේ කෙයාර් (day care) සේවයක් හදන්නේ කවුද? සමාජවාදී සෝවියට් දේශයේ. ලෝකයේ ඇත්ත මොන්ටිසෝරි පුළුල් පරිමාණයෙන් හැදුවේ සෝවියට් දේශයේ. ලෝකයේ පුළුල් පරිමාණයෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන හැදුවේ සෝවියට් දේශයේ. හේතුව ඇලෙක්සැන්ඩ්‍රා කොලොන්තායි මූලික වී සමාජවාදය තුළ ගැහැනියක් නිර්මාණය කිරීමට පටන් ගත්තා. ශ්‍රමය හෙළන ගැහැනියට වඩා අම්මා වෙනස් නේ. ගැහැනියකගේ කාර්යභාරය මොකක්ද? එක එක සමාජ ක්‍රමවල එක එක අර්ථකථන තියෙනවා. සමහර විට විවිධ අර්ථකථන තියෙනවා. දරුවෝ හදන වඩන, සැමියාව දේවත්වයෙන් සලකන සංකල්ප තියෙනවා.

ඒ වගේම ධනේශ්වර සමාජය තුළ ගැහැනිය වෘත්තිකයෙක් විය යුතුයි කියලත් කියනවා. නමුත් සමාජවාදය තුළ ගැහැනිය හුදු වෘත්තිකයෙක්වත්, හුදු ශ්‍රමිකයෙක්වත්, හුදු අම්මා කෙනෙක්වත් නෙවෙයි. ඇය පුරවැසියෙක්. පුරවැසියෙක් නිර්මාණය කළ හැකි සංවර්ධන මොඩලයක් අපි හදා ගන්න ඕනෑ. ඇය පුරවැසියෙක් වුණාම පිරිමියාත් පුරවැසියෙක්. එතැනදී ගැහැනිය සතු විශේෂ දෙයක් තියෙනවා. මිනිස් සමාජය බෝකරන්න පුළුවන් ගැහැනියට පමණයි. ඒ නිසා අපි කියන පුරවැසියා නිර්මාණයේදී මාතෘත්වය කියන දේටත් තැනක් දෙන්න ඕනෑ.

සමාජවාදී සංවර්ධනයේ කාර්යය ගැන කාන්තා සංගමය ගහල තියෙන පොතෙන් හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ගැහැනිය දරුවෝ නළවන එකෙන්, රෙදි හෝදන එකෙන් නිදහස් කරන්න මොකද කරන්න ඕනෑ? දරුවෝ බලා ගන්න තැන් හදන්න ඕනෑ. ඬේකෙයා සෙන්ටර් ඕනෑ ඒකට. සෝවියට් දේශය ඒ සෙන්ටර්වල දරුවෝ තියලා ඒ දරුවන්

බලාගන්න පුහුණු හෙදියෝ දැම්මා. අම්මා ශ්‍රමිකයෙක් විදියට වැඩට ගියා. පැය අටේ වැඩ දිනය අඩු කරන්න උත්සාහ කළා. නව නගර මැද්දේ හැදුවේ තියෙටර් එක. ස්පෝට්ස් සෙන්ටර්. දියුණු මිනිසෙක් නිර්මාණය කරනවා කියන එක එක්තරා ඉංජිනේරුමය කාර්යයක්. සමාජය සැලසුම් කිරීමක්. මානවවාදී සොබාදහමට කිට්ටු ප්‍රතිපත්ති එක්ක සැලසුම් හදන්නේ.

ධනේශ්වර සංවර්ධන මොඩල අපි අනුගමනය කරනකොට විශාල විකෘති හදන්නේ. ජපානයේ සමහර කළමනාකරණ ක්‍රම සමාජවාදයේදී අපි ගත යුතුයි. චීනයේ සමහර කළමනාකරණ ක්‍රම, අත්දැකීම් අපි ගත යුතුයි. මාක්ස් ලෙනින්වාදී ස්ථාවරයන් නැතිව තිරසාරව සංවර්ධනය කළ රටවල් නැහැ. ඇමරිකාව, ජපානය. ඉස්සෙල්ලා ධනය ගොඩගහලා භෞතික සංවර්ධනය පැත්තෙන් උඩට ගිහිල්ලා මානවයා දියුණු කරන්න හිතනවා නම් ඒක වෙන්නෙ නැහැ. ඒකේ අනිත් පැත්තට ගියත් එහෙමයි. මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ඉටු නොකර අධ්‍යාත්මික පැත්තෙන් ගියොත් රට දුප්පත් වෙලා විනාශයට යනවා.

සංවර්ධනය පිළිබඳ මාක්ස් ලෙනින්වාදී දැක්ම ධනේශ්වර දැක්මෙන් වෙනස් වෙනවා. ඒ දැක්ම අපේ ජීවිතවලට ප්‍රායෝගිකව බලපානවා. අපි මොකක් සැලසුම් කළත් විකෘතියක් නම් වැඩක් නැහැ. මහා නිවාස ඉදිකිරීම් ධනේශ්වර රටවල කරගෙන යනවා. ඊට අදාළ පෙළඹවීම් ලැබුණේ සමාජවාදී රටවලින්. සමාජවාදී නිවාස ප්‍රතිපත්තිය මොස්කව්වල තට්ටු නිවාස බලන්න. විසල් පහසුකම් තියෙනවා. අවුරුදු 75කට කලින් ජොගින් ට්‍රැක් හදලා ඉවර කළා. අපි දැන් ඉන්නේ 21වැනි ශත වර්ෂයේ. ලංකාවේ දියුණුම නගරයක්නේ කොළඹ. බොරැල්ලේ සහස්පුරය හැදුවා. එතන ජීවිතය කොතරම් අමාරුද කියලා එතන ජීවත්වෙන අපේ සහෝදර සහෝදරියෝ දන්නවා. එතන ජීවත් වෙන්නේ මොන විදිහේ මනුස්සයෙක්ද? ඊළඟට එතනින් බිහි කරන්න හදන්නේ මොන විදිහේ මිනිසෙක්ද? මේ වගේ අදහසක් ඒක හදපු ඉංජිනේරුවන්ට නැහැ. ධනපති ආණ්ඩුවටත් ඒ ගැන අදහසක් නැහැ.

ධනවාදී රටක ඉන්න සිවිල් ඉංජිනේරුවාම තමයි සමාජවාදී සෝවියට් දේශයේ නිවාස සැලසුම් කරලා හැදුවෙත්. එකම සිවිල් ඉංජිනේරුවාම කොහොමද ගේ ඇතුලේ ඉන්න මිනිහා හෙට උදේ මානසික සුවයක් ඇතිව වැඩට යන විදිහට හදන්නේ. එයාගේ දරු පැටව් එක්ක එයා ජීවත් වෙන්නෙ කොහොමද? සහස්පුර හදන්නෙ අඩුම වියදමකින් ගෙවල් ටිකක් හදන්න. ඒවායේ ඉන්න මිනිසුන්ට මොකද වෙන්නෙ කියලා හිතන්නෙ නැහැ. සමාජ ප්‍රශ්න උග්‍රව ඇතිවෙලා තියෙන්නේ ඒ සැලසුමේම මානව විරෝධී ස්වරූපය නිසා. ඔය වගේ උදාහරණ ඕනතරම් තියෙනවා.

ධනපති ක්‍රමය තුළත් සංවර්ධනයක් තියෙනවා. පහුවුණ අනිත් සමාජ ක්‍රම තනිව හතරම එකට එකතු කරලා ගත්තත් ධනපති ක්‍රමය තරම් දියුණු නැහැ. ඒත් ඒ සංවර්ධනයේ සුවිශාල ගැටලු ඇති කරලා තියෙන්නේ. දුප්පත්කමෙන් ලෝකයෙන් අඩක් පීඩිතව ඉන්නවා. ආහාර හිඟකමෙන් තුනෙන් පංගුවක් විතර ඉන්නවා. නිසි රැකියාවක් නැතිකමෙන් සියයට 60ක් විතර ඉන්නවා. සොබාදහම ගෝලීය පරිමාණයෙන් විනාශ වෙලා. සංවර්ධනයේ මහා අවුලක් තියෙන බව පේනවා. අනිත් පැත්තෙන් මේ තුළ මිනිස් සබඳතා විශාල අවුලකට පත්වෙලා තියෙන්නේ. අපි මේක සූරාකෑම ලෙස තේරුම් ගන්නවා. ඇති නැති පරතරය ලෙස තේරුම් ගන්නවා.

ධනේශ්වර සමාජය තුළ විවිධාකාර සංවර්ධන මට්ටම් පිළිබඳ දත්ත දක්නට ලැබෙනවා. මේ දත්ත නරක ඒවා විතරක් නෙවෙයි. හොඳ ඒවත් තියෙනවා. සාක්ෂරතාවය වගේ ඒවා හොඳ ඒවා. මේ දත්ත විසින් අපිට අදහසක් ගන්න පුළුවන් ධනේශ්වර සංවර්ධනය ගැන. සංවර්ධන ක්‍රියාවලිය ඇතුලේ ධනපති ක්‍රමය විශාල අර්බුදවල තියෙන බව දත්ත විසින් පෙන්වා දෙනවා. න්‍යායිකව කතා කළොත් මිනිසාගේ සහ ශ්‍රම උපකරණවල වර්ධනයට මේ තියෙන නිෂ්පාදන සබඳතාවය බාධා කරනවා. ධනය එක පැත්තක ගොඩගැහෙනවා. අනිත් පැත්තේ දුප්පත්කමෙන්, දරිද්‍රතාවයෙන් මානව සම්පත දුර්වල වෙමින් තියෙන්නේ. පැය අටට අඩුවෙන් වැඩ කරලා ගෙදර ඇවිත් දරුවෝ එක්ක ඉන්න මිනිහෙක් වෙනුවට පැය 10-12 වැඩ කරන පීඩාවට පත් වූ මිනිහෙක් ඉන්නෙ. ධනපති ක්‍රමය මිනිසාගේ සංවර්ධනයට, විවේකයට, දියුණුවට බාධා කරනවා. සොබාදහමේ යහ පැවැත්මට බාධා කරනවා.

ධනපතීන් පෞද්ගලික දේපළ එකතු කරනවා. නාස්ති කරනවා. මේ වෙනුවට පොදු දේපළ ක්‍රමයක් හදන්න ඕනෑ කියලයි අපි න්‍යායිකව තේරුම් අරං ඉන්නේ. දැන් වෙලා තියෙන්නේ ධනපති ක්‍රමය අවසන් වෙලා සමාජවාදය ලෝකයට එන බව ධනපති ක්‍රමය පිළිගන්නේ නැහැ නේ. ඒ ගොල්ල පිළිගන්නේ ධනපති ක්‍රමය හොඳම ක්‍රමය කියලයි. මිනිස් ඉතිහාසය මෙයම තමයි කියලයි. සමාජවාදය වෙන්නෑ කියලා. සමාජවාදය මහ පොළවේ පැලකරලා හිටවලා තියෙන්නේ. අවුරුදු සීයක් තිස්සේ පැරිස් කොමියුනයේ ඉඳලා ගත්තොත් අවුරුදු 140 තිස්සේ වැඩ ඒක. අද ගත්තොත් නිශ්චිත යථාර්ථයේ සමාජවාදී රටවල් පහක් තියෙනවා.

ඒ සමාජවාදී රටවල්වල තියෙන අඩුපාඩුකම් කියනවා. ඒ සමාජවාදී රටවල්වල අඩුපාඩුකම් තියෙනවා තමයි. හැබැයි ධනපති රටවල් කීයක් තියෙනවද? ලෝකයේ රටවල් 194ක් තියෙනවා. සමාජවාදී රටවල් 5යි. ධනපති රටවල් 189යි. මේ 189 ධනපති රටවල් ගැන කතා කරන කොට අප්‍රිකානු මහද්වීපයේ තියෙන රටවල් 54ක් ගැන කතා කරනවද? ධනපති සංවර්ධනය ගැන කතා කරද්දී අප්‍රිකානු මහද්වීපයේ තියෙන රටවල් 54 ගැන කතා කරනවද? මැදපෙරදිග රටවල් ගැන කතා කරනවද? ආසියාවේ රටවල් 48න් කසකස්ථානය, නේපාලය, බංගලාදේශය ගැන කතා කරනවද? අපි ධනපති රටවල් කියලා කතා කරන්නේ බටහිර යුරෝපයේ, උතුරු යුරෝපයේ උතුරු ඇමරිකාවේ තියෙන රටවල් ගැන විතරයිනේ. සමාජවාදී රටවල් ගැන කීවාම ඇයි මේ වලිප්පුව හැදෙන්නේ. ධනපති රටවල් කීවාම ස්විට්සර්ලන්තය වගේ රටවල් විතරයි දන්නේ.

ධනපති ක්‍රමය පසුගිය අවුරුදු 150 තුළදී අධිරාජ්‍යවාදී යුගයට ගියාට පස්සේ ලෝකයේ දියුණුවක් නැති නිසා වහනවා. සම්පත්වලට අනුව මිනිසාට අත්පත් කර ගත හැකි තත්වයට අනුව දියුණුවක් නැහැ. ඒකයි මේ කියන්නේ. ආසන්න වශයෙන් ලෝක ජනගහනය කෝටි 800යි. කෝටි 1400කට අවශ්‍ය කරන ආහාර නිෂ්පාදනය කරනවා. අනිත් පැත්තෙන් කෝටි 300ක් බඩගින්නේ තියනවා. අපිට සතුටු වෙන්න පුළුවන් ආහාර හදන්නේ කෝටි 500කට විතරක් නම්; නමුත් කෝටි 1400කට ආහාර නිෂ්පාදනය කරලා කෝටි 300ක් බඩගින්නේ තියන එක දියුණුවක් කියලා අපිට කියන්න බැහැ.

ධනපති ක්‍රමය ඇතුලේ අධිරාජ්‍යවාදී යුගයේ සමාජ ක්ෂේත්‍ර වර්ධනය වෙලා තියෙනවා. ධනපති ක්‍රමයේ අර්බුද කියන්නේ ඕකටනේ. මේ නිසා අද ඕන වෙන්නේ මොකක්ද? අර තෝල්ස්තෝයි කියන්නේ “සැබෑ ආලයට ව්‍යාජ වෙස් බැන්දුම් ඕන නැහැ” කියලා. එයා ඔය කතාව කියන්නේ “අව්‍යාජ බිරිඳකට අමතර රූපලාවණ්‍යය අවශ්‍ය නැහැ. ඒවා අවශ්‍ය වෙන්නේ ව්‍යාජ වෛශ්‍යාවකට” කියලා. මේ කතාව ගැහැනුන් හෑල්ලු කරන නිසා ගැලපෙන්නේ නැහැ. නමුත් ඔහු කියන්නේ එහෙමයි. ගැහැනිය හෙළා දකින නිසයි ප්‍රශ්නය තියෙන්නේ. නමුත් තෝල්ස්තෝයි කියන අර්ථය ඉතා පැහැදිලියි. අන්න ඒ වගේ ධනපති ක්‍රමයට ඇත්තටම වැඩ පෙන්වන්න බැහැ. 1700-1800 ඇත්තටම වැඩ පෙන්නුවා. වැඩවසම් ක්‍රමයට වඩා මාර දෙයක් කරලා පෙන්නුවා. දැන් වැඩ පෙන්නන්න බැරි නිසා ව්‍යාජ වේශ නිරූපණ අවශ්‍යයි. ව්‍යාජ සැරසිලි අවශ්‍යයි. සංවර්ධන මිනුම් කියලා දැන් පේන්නේ ඒ ව්‍යාජ සැරසිලි.

ධනපති ක්‍රමයට ව්‍යාජ සැරසිලි අවශ්‍යයි. ධනපති ක්‍රමය ඇතුලේ සංවර්ධනය මනින මිනුම් දඬු හදලා තියෙන්නේ තමන්ගේ අඩුපාඩු හැකිතරම් වහගන්න. ධනපති ක්‍රමය අර්බුදයට යන්න යන්න ප්‍රබන්ධ තව වැඩිපුර ඕනෑ. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ ඒ ගොල්ල මොන ප්‍රබන්ධ හැදුවත් මෙතන පංති අරගලයක් තියෙනවා. පංති අරගලයේ මතවාදී අරගල ආකාරයක් තියෙනවනේ. ඒ අරගලය ඇතුලේ මාක්ස් ලෙනින්වාදී දැක්මෙන් පෝෂණය වුණු උගතුන්, බුද්ධිමතුන්, විද්‍යාඥයන් බිහි වෙනවනේ. ධනපති ක්‍රමය තුළ අර්බුද වහගන්න නිර්ණායක හදපු ගමන්ම පංති අරගලයේ දෘෂ්ටියෙන් වමේ ව්‍යාපාරයේ බුද්ධිමතුන් විසින් අර්බුද පෙන්වා දෙනවා.

පෙන්වා දෙන අර්බුද ටික කාලයක් අමතක කරලා ඉඳලා වාමාංශික පැත්තෙන් එන සැබෑ අර්බුදය ග්‍රහණය කරගත හැකි නිර්ණායක එකතු කර ගන්න වෙනවා. ධනේශ්වර ආර්ථික විද්‍යාවේ සංවර්ධනය මනින දර්ශක ඉතාම සරල ආකාරයෙන් ගත්තේ. දළ ජාතික නිෂ්පාදිතය හා ඒක පුද්ගල ආදායම විශේෂයෙන් උදාහරණ හැටියට දෙන්න පුළුවන්. දළ ජාතික ආදායම රටෙන් රටට වෙනස්නේ. ඒක පුද්ගල ආදායම කියන්නේ එක පුද්ගලයෙක් දළ ජාතික නිෂ්පාදිතයෙන් හිමි කර ගන්නා පංගුව. ලෝකය පුරාම සංවර්ධන දර්ශකයක් ලෙස මේ දෙක ගන්නවා.

දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ 1944 දී ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන ආයතන දෙක හැදුව බ්‍රෙට්න් වුඞ් සම්මුතියෙන් හැදුව නිර්ණායක මේ. වර්තමාන ලෝකය අධිරාජ්‍යවාදී ක්‍රමය ඇතුලේ ව්‍යුහාත්මකව පවත්වාගෙන යන්න හදපු සම්මුතිය, වැඩපිළිවෙළ තමයි බ්‍රෙට්න් වුඞ් සම්මුතිය. විශේෂයෙන්ම අධිරාජ්‍යවාදී මූල්‍ය පද්ධතිය පවත්වාගෙන යන්න හැදුවේ. ආර්ථික පැත්තක්, සමාජීය පැත්තක්, යුදමය පැත්තක් වශයෙන් තියෙනවා. නේටෝ කියන්නේ බ්‍රෙට්න්වුඞ් සම්මුතියේ යුදමය පැත්ත. මාෂල් සැලසුම කියන්නෙත් ඊළඟ සැලසුම.

ඒක පුද්ගල ආදායම කියන්නේ අද ධනපති ක්‍රමය ඇතුලේ තියෙන ඉතාම දුර්වල දත්තයක්. කිසිම තේරුමක් නැති දර්ශකයක් වුණත් තාමත් පාවිච්චි කරනවා. වාර්ෂික ආදායම මධ්‍ය වාර්ෂික ජනගහනයෙන් බෙදුවාම එන ඉලක්කම ඒ රටේ සෑම කෙනෙකුගේම ආදායම ලෙස දක්වනවා. ලංකාවේ ඉන්න විශාල ධන කුවේරයෙකුගේ ආදායම සහ දුප්පත් කෙනෙකුගේ ආදායම සමාන බව කියන දත්තය ලෝක විහිළුවක්. නමුත් ඒ දර්ශක තාමත් පවත්වා ගෙන යනවා.

ධනවාදයේ සංවර්ධන උපායමාර්ගය මඟින් පරිධියේ රටවල් දියුණු වී තිබේද?

තවත් දර්ශකයක් තමයි දියුණු හා සංවර්ධනය වෙමින් පවතින රටවල් කියන්නේ. දියුණු සංවර්ධිත රටවල් කියලා 38ක් සහ සංවර්ධනය වෙමින් පවතින කියලා රටවල් 152ක් හඳුනාගෙන තියෙනවා. මේ රටවල් 152න් රටවල් 46ක්ම ඌණ සංවර්ධිත රටවල් කියලා හඳුනාගෙන තියෙනවා. දකුණු ආසියානු කලාපයේ නේපාලය සහ බංගලාදේශය ඌණ සංවර්ධිත තත්වයක තිබුණේ. නමුත් දැන් නම් බංගලාදේශය ඌණ සංවර්ධිත කියන එකෙන් සංවර්ධනය වෙමින් පවතින කියන තත්වයට ආවා. නමුත් ඒවා ධනපති ක්‍රමයේ ඇත්ත ප්‍රශ්නය වහගන්න කරන ඉතාමත් පටු නිර්ණායක ඇතුලේ තියෙන්නේ. ඒ මිස ඒවා ගැඹුරු නිර්ණායක නෙවෙයි.

තව පැත්තකින් ලෝක බැංකුව විසින් ඒක පුද්ගල ආදායම පදනම් කරගෙන රටවල් බෙදලා තියෙනවා. ඉහළ ආදායම්ලාභී රටවල්, ඉහළ මැදි ආදායම්ලාභී රටවල්, පහළ මැදි ආදායම්ලාභී රටවල්, පහළ ආදායම්ලාභී රටවල් කියලා. මේ බෙදීමට ඩොලර් ප්‍රමාණයකුත් දීලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් ඩොලර් 120,00ට වැඩි රටවල් ඉහළ ආදායම්ලාභී රටවල්. ඩොලර් 120,00ට අඩු, 3895ට වැඩි රටවල් ඉහළ මැදි ආදායම්ලාභී රටවල්. ඩොලර් 3895ට අඩු රටවල් පහළ මැදි ආදායම්ලාභී රටවල් බවට පත්වෙනවා. ලංකාව කොරෝනාවලට කලින් 3895 සීමාව පැන්නුවා. පහළ මැදි ආදායම් කියන එකෙන් උඩට ගියා. දැන් ආයෙත් පහළට වැටිලා ඇති. ඔය වගේ සංඛ්‍යා ලේඛන පවතින යථාර්ථය නිරූපණය කරන දේවල් නෙවෙයි.

මේ දර්ශකවල තියෙන දුර්වලතා නිසා පසුකාලීනව විශ්ලේෂණාත්මක උගතුන්ගේ හා වමේ ව්‍යාපාරයේ බලපෑම් එක්ක තවත් දර්ශක නිර්මාණය වුණා. දළ ජාතික නිෂ්පාදිතය වගේම, රටක් විසින් ජාතියක් විදියට නිෂ්පාදනය කරන තත්වය මැන්නා. රටක් ඇතුළේ නිෂ්පාදනය කරන ප්‍රමාණයට තෝමස් පිකට් කියන වාමාංශික වගේ ඉන්න ප්‍රංශ ජාතික ප්‍රසිද්ධම ආර්ථික විද්‍යාඥයා ධනේශ්වර සංවර්ධනය වෙන විදිහකට අර්ථකථනය කරනවා. ඔහුගේ මූලික විමර්ශනය තියෙන්නේ ලෝකයේ අසමානතාවය ගැන. ඔහුගේ තර්කය අනුව අධිරාජ්‍යවාදය

දැකගන්න හොඳම විදිහ රටක දළ ජාතික නිෂ්පාදිතයයි. අධිරාජ්‍යවාදී රටවල දළ දේශීය නිෂ්පාදිතයට වඩා දළ ජාතික නිෂ්පාදිතය වැඩි බව පෙන්වා දී තිබෙනවා. උදාහරණය ඇමරිකාවේ 2017 දළ දේශීය නිෂ්පාදිතය ටි්‍රලියන 19.3යි. මේ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය කියන වර්ග කිලෝමීටර් 96 ලක්ෂය ඇතුලේ නිෂ්පාදිත වටිනාකම. හැබැයි ඇමරිකානු ජාතියේ සමස්ත ආදායම ඩොලර් ටි්‍රලියන 19.7යි. ඇමරිකාව පිටරටවල ආයෝජනය කරලා උපයන ආදායම එක්ක ලෝකයේ අධිරාජ්‍යවාදී රටවල් හැම එකක්ම වගේ දළ දේශීය නිෂ්පාදිතයට වඩා දළ ජාතික නිෂ්පාදිතය වැඩි බව පෙන්වා දී තිබෙනවා.

ඇමරිකානු කොම්පැනි චීනයෙත් තියෙනවා. ඒවායේ ලාභය ඇමරිකාවට ගේනවා. අනිත් රටවල ඇමරිකාව කර තියෙන ආයෝජනවලිනුත් එහෙමයි. ලංකාවෙත් යුනිලීවර් එකේ, නෙස්ලේ එකේ නෙස්කැෆේ එකේ ලබන ලාභය ඒ රටවලට යනවා. නැවත වෙලා තියෙන්නේ දියුණු රටවල දළ දේශීය නිෂ්පාදිතයට වඩා දළ ජාතික නිෂ්පාදිතය අඩු වීමයි. මෙහෙන් එහෙට ලාභය යනවා. හැබැයි රටවල්වල ආර්ථික අර්බුද එනකොට අපේ රටවල කර්මාන්ත අකුළාගෙන යනවා. ඊට පස්සේ පිටරටවල් ඉන්න ලාංකිකයන් එවන සල්ලි නිසා අපේ දළ ජාතික නිෂ්පාදිතය වැඩි වෙනවා දළ දේශීය නිෂ්පාදනයට වඩා.

ඔය වගේ විවිධ දර්ශක හදලා තියෙනවා. මේවායේ ආරම්භය ඒක පුද්ගල ආදායම. නමුත් 1990දි වගේ පකිස්තානයේ මහ උල්හක් කියන ආර්ථික විද්‍යඥයා මානව සංවර්ධන දර්ශකය නිර්මාණය කරනවා. ඔහු ප්‍රගතිශීලී ආර්ථික විද්‍යාඥයෙක්. ධනේශ්වර ක්‍රමය ඇතුලේ රටවල්වල ඒක පුද්ගල ආදායම මැනීම ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙමින් නව දර්ශකයක් යෝජනා කරනවා. මානව සංවර්ධන දර්ශකය හදන්නේ උපතේදී අපේක්ෂිත ආයු කාලය, සාක්ෂරතාවය සහ ජීවන මට්ටම එකතුවෙන්. මේ දර්ශකය අරකට වඩා ටිකක් හොඳ එකක්. එක්සත් ජාතීන්ගේ සංවර්ධනය සඳහා වන ආයතනය මේ දර්ශකය පිළිගන්නවා.

මේ මානව සංවර්ධන දර්ශකයන් 2000දී විතර විග්‍රහ කර බලනවා. මේකෙදී අසමානතාවය  සැලකිල්ලට ලක්කරන්නේ නැති බව පෙන්වා දෙනවා. මේ නිසා අසමානතාවය ගලපලා ඒ කියන්නේ “ගිනි දර්ශකය” අනුව අසමානතාවය ගැලපූ මානව සංවර්ධන දර්ශකය හඳුන්වා දුන්නා. ෂ්‍යෘෂ කියලා කෙටියෙන් හඳුන්වන දර්ශකය හඳුන්වා දුන්නා. දැන් ලෝකයේ ප්‍රධාන වශයෙන් මේ දර්ශකය යොදාගන්නවා. ලංකාව ලෝකයේ 72වෙනි ස්ථානයේ ඉන්නවා කියන්නේ මේ දර්ශකය අනුව. අපි ටිකක් උඩින් ඉන්න රටක්. ඒකට හේතුව අපේ සාක්ෂරතාවය වැඩියි. අඩුපාඩු මැද්දේ හරි නොමිලේ සෞඛ්‍ය පද්ධතියක් තියෙනවා. ඒ නිසා තරුණ අය මැරෙන ප්‍රමාණය අඩුයි. උපතේදී මැරෙන ප්‍රමාණයත් අඩුයි. තරුණ අම්මලා මියයාමත් අඩුයි. හොඳ සෞඛ්‍ය පද්ධතියකින් ඉහළ ප්‍රතිඵල ලැබුණාම, ඒ වගේම සාක්ෂරතාවය ඉහළ ගියාම මේ දර්ශකත් උඩට එනවා. පංති සටන්වල නිරූපණයක් වන ශිෂ්‍ය අරගල කම්කරු අරගල, ගුරු අරගල නිසානේ නොමිලේ අධ්‍යාපනයත්, නොමිලේ සෞඛ්‍යයත් බේරා ගෙන ඉන්නේ. ඒ නිසා මේ දර්ශකය ඉහළින් තියෙන්නේ.

ලෝකයේම පොදුවේ අධ්‍යාපනයට සෞඛ්‍යයට වෙන් කරන වියදම් කපා හරිනවානේ. ඒ තුළත් අපි උඩට ඇවිත් තිබුණා. මානව සංවර්ධනය ධනේශ්වර සංවර්ධනයටත් අවශ්‍යයිනේ. 1906 දැනුම තිබුණ කෙනෙක් දාලා අද තියෙන ගාමන්ට් එකක් දුවවන්න බෑනේ. 1925 දැනුම තිබුණ කාන්තාවක් අද දාලා හෝටලයක සර්විස් එක කරන්න බෑනේ. ධනේශ්වර සංවර්ධනයටත් මානව සංවර්ධනය අවශ්‍යයි. ධනපති ක්‍රමයත් මානව සංවර්ධනය නොකර ඉන්නේ නැහැ. නමුත් ඒ ඒගොල්ලන්ගේ සීමාවට. ඒ අර්ථයෙන් ගත්තත් ඔය ක්ෂේත්‍ර දෙකෙන් මීට වඩා ඉහළට යන්න තිබුණා.

කියුබාවේ ආයු අපේක්ෂාව සහ සාක්ෂරතාවය ඇමරිකාවටත් වඩා උඩින් ඉන්නේ. ඒත් ඒක පුද්ගල ආදායම කියන තැනදි කියුබාව වැටෙනවා. ඒක පුද්ගල ආදායම ක්‍රය ශක්තියට බලපානවා. කියුබාවට හැට අවුරුද්දක බරපතළ සම්බාධක පනවා තිබෙන නිසා ආර්ථිකය පුංචියිනේ. ඒකට දියුණු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක සමාජවාදයේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක පුද්ගල ආදායමෙන් ලකුණු අඩුවෙනවා. ඒ නිසා තමයි මානව සංවර්ධන දර්ශකයෙන් ලංකාවට වඩා පහළින් ඉන්නේ. නමුත් දැන් සියලු පීඩනයන් මැදත් ලංකාවේ ඒක පුද්ගල ආදායමට වඩා කියුබාව ටිකක් වැඩියි.

අවධාරණය කරන්න ඕනෑ මානව සංවර්ධන දර්ශකයට පංති අරගලයේ බලපෑම මත යම්කිසි සාධනීය පින්තූරයක් අඳිනවා. ඊටත් අමතරව ධනපති ක්‍රමය ඇතුලේ අලුත් නිර්ණායක එනවා. එයට උදාහරණයක් විදිහට රටක ස්ත්‍රී පුරුෂ අසමානතාවය ගැන දර්ශකය දක්වන්න පුළුවන්. ඒ අසමානතාවය මනින්න නිර්ණායක හදලා තියෙන්නේ. සමහර රටවල්වල මේ නිර්ණායක නිල වශයෙන් පිළිගන්න යෝජනා කරනවා. ආර්ථිකය සැලසුම් කරද්දී ගැහැනියගේ අසමානතාවය අඩු කරන්න හැකි විදිහේ අයවැයකරණයකට යන්න වෙනවා. ළමා සායනවලට වැඩියෙන් වියදම් කරන්න ඕනෑ. දරුවෝ අඩු වයසෙන් කසාද බන්දලා දෙනවා නම් ඒක වෙනස් කරන්න නීති හදන්න ඕනෑ. දෙමාපියෝ දැනුවත් කරන්න ඕනෑ. කාන්තාවන්ට වෘත්තික ක්ෂේත්‍රයේ ඉහළට යන්න බැරිනම් ඒ බාධක ඉවත් කරන්න ඕනෑ.

ගුරු වෘත්තියේ දෙලක්ෂ  හතළිස් අටදාහක් ඉන්නවා. ගුරුවරියෝ එක්ලක්ෂ අසූදාහක් විතර ඉන්නවා. මින් විදුහල්පතිවරු ගැන බැලුවාම බහුතරය පිරිමි. හේතුව ගැහැනු අයට අවුරුදු 30න් පස්සේ මවගේ භූමිකාව නිසා වෘත්තික දියුණුවේ ඉහළට යන්න බාධාවක් සිදුවී තිබෙනවා. දරුපැටියන් පරිස්සම් කරන්න, මොන්ටිසොරි ගෙනියන්න ලොකු වැඩ ගොඩක් තියෙනවා. ඒ වැඩගොඩ කරලා දෙන්න සමාජීය පද්ධතියක් අපේ රටේ නැහැ. ඒක ගැහැනුන්ගේ වෘත්තීය සංවර්ධනය අඩු වෙන්න ලොකු බලපෑමක් කරනවා. මේ තත්වය වෙනස් කරන්න අයවැය ප්‍රතිපාදන ගේන්න ඕනෑ.

ධනපති ක්‍රමය ඇතුළෙ මේවා පුංචි පුංචි පැලැස්තර තමයි. නරක නැහැ. නමුත් ලොකු සෙතක් සිදුවන්නේ නැහැ. ලංකාවේ දැවැන්ත සමාගම් රූපවාහිනිය ඉස්සරහට ඇවිත් ලොකු කතා කියනවා. හැබැයි බැංකුවට බඳවාගන්න කොට අවුරුදු තුනක් කල් දරුවන් හදන්න බැහැ කියන කොන්දේසි දානවා. සමහර ඒවා ගැහැනු ළමයි ගන්නෙ නැහැ.

තව පැත්තකින් විශාල පරිසර ප්‍රශ්නයක් තියෙනවානේ. ඒවා මනින්නත් දර්ශක හදලා තියෙනවා. ලෝකය විනාශ නොවී පවත්වා ගෙන යන්න නම් අද මනුස්සයෙක් පාවිච්චි කළ යුතු භාණ්ඩ හා සේවා ප්‍රමාණය කොච්චරද? ඒකට ‘බයෝ කැපෑසිටි’ එක කියලා කියනවා. ලෝකය තිරසාර විදිහට අනාගත පරම්පරාවට උරුම කරන්න නම් අපි පාවිච්චි කළ යුත්තේ 1.7යි. නමුත් ඇමරිකානු සමාජයේ ජීවත් වෙන විදිහ ගත්තොත් පෘථිවිය වගේ ලෝක 5.7ක් ඕනෑ. ඇමරිකාව විශාල සම්පත් යොදා ගන්න නාස්තිකාර විදිහට සොබාදහම විනාශ කරගෙන යන්න පෘථිවිය වගේ 5.7ක් ඕනෑ.

පරිසර විද්‍යාඥයෝ ඉතාම තියුණු ලෙස සොයලා සොයාගෙන තියෙන්නේ භාණ්ඩ හා සේවා භාවිතයට සම්පත් යොදා ගැනීම දවස් 365ටම බෙදී යන්න ඕනෑ කියලා. නමුත් අවුරුද්දේ දෙසැම්බර් 31ට කලින් භෞතික ජීවන තත්වය පවත්වාගෙන යන්න ඕනෑ භාණ්ඩ හා සේවා ප්‍රමාණය අවසන් වෙනවා. තවත් විදිහකින් කියනවා නම් භාණ්ඩ හා සේවා ලබා ගැනීම වාර්ෂික හැකියාව ජූලි ඉඳලා දෙසැම්බර් දක්වා පහත වැටිලා තියෙන්නේ. මුළු අවුරුද්දටම පරිහරණය කරන්න වෙන් කෙරෙන ප්‍රමාණය ජූලි අග වෙනකොට පරිභෝජනය කරලා ඉවරයි. ඊළඟට ලබන අවුරුද්දෙන් ණයට ගන්නවා.

මේ තත්වය රටෙන් රටට ගණන් බලලා තියෙන්නේ. ඇමරිකාව වගේ රටක් ගත්තොත් මාර්තු 30 වෙන කොට ඉවර වෙනවා. ඉතිරි මාස නමයම අනාගත පරම්පරාවටත් ණයට අරගෙන ජීවත්වෙන්නේ. මේ වගේ විවිධ දර්ශක හදලා තියෙනවා. නමුත් දර්ශකවලින් මේ තත්වයන් පෙන්නා දුන්නත් ධනපති ක්‍රමයේ අර්බුද අඩුවෙලා නැහැ. දර්ශක හදලා තිබෙන අවුල විද්වතුන් අපිට පෙන්වා දෙමින් ඉන්නවා. ධනපති සංවර්ධනය මේ තුළ මුල්ම අර්ථයෙන් මිනිසාට සාපේක්ෂව හෝ සොබාදහමට සාපේක්ෂව සිදුවෙන්නේ නැහැ.

 සංවර්ධනය කියන වචනයට ඉතිහාසයක් තියෙනවා. නමුත් වර්තමාන දේශපාලන ශබ්දකෝෂයට එකතු වෙන්නේ 1940 දී. ඇමරිකාවේ හිටපු ටෲමන් ජනාධිපතිගේ දෙවනි ධූර කාලය පටන් ගන්න කොට කරපු කතාවකින්. සංවර්ධනය ගැන නූතන සංවාදය ඔහු ආරම්භ කරන්නේ මෙහෙම. ඔහු කියූ දේ කෙටියෙන් කිව්වොත් මෙහෙමයි.

“අපගේ විද්‍යාත්මක දියුණුවේ සහ කාර්මික ප්‍රගතියේ ප්‍රතිලාභ නොදියුණු ප්‍රදේශවල දියුණුව සහ වර්ධනය සඳහා ලබා ගත හැකි නිර්භීත වැඩපිළිවෙළකට අප යා යුතුය. ලෝකයේ මිනිසුන්ගෙන් අඩකට වඩා ජීවත් වන්නේ ඉතා අවාසනාවන්ත තත්වයන් තුළය. ඔවුන්ට ආහාර ප්‍රමාණවත් නැත. ඔවුහු රෝගවලට ගොදුරු වෙති. ඔවුන්ගේ ආර්ථික ජීවිතය ප්‍රාථමික සහ එකතැන ළගින එකකි. ඔවුන්ගේ දරිද්‍රතාවය ඔවුනට මෙන්ම වඩාත් සමෘද්ධිමත් ප්‍රදේශවලටද තර්ජනයකි. ඉතිහාසයේ පළමු වතාවට මෙම ජනයාගේ දුක් වේදනා සමනය කිරීමට දැනුම හා කුසලතාවය මානව වර්ගයා සතුව ඇත. කාර්මික හා විද්‍යාත්මක ශිල්පීය ක්‍රම දියුණු කිරීමෙන් එක්සත් ජනපදය ජාතීන් අතර ප්‍රමුඛ තැනක් ගෙන ඇත. වෙනත් ජනයාගේ ආධාර සඳහා අපට භාවිතා කළ හැකි ද්‍රව්‍යමය සම්පත් සීමිත වූවත් තාක්ෂණික දැනුම අතින් අපට ඇති සම්පත් ප්‍රමාණය දරාගත නොහැකි තරම්ය. විස්තර කළ නොහැකි තරම්ය.” ඇමරිකාවේ ජනාධිපතිවරයායි, මේ කියන්නේ.

සංවර්ධනය කියන අදහස වර්තමාන දේශපාලන සාකච්ඡාවට එන්නේ ඔතනින්. 1947 දී ඔහුගේ රාජ්‍ය ලේකම්වරයා කතාකරලා බ්‍රෙට්න් වුඞ් සම්මුතිය හදනවා. විශේෂයෙන්ම යුරෝපයේ රටවල් 44ක් යුද්ධයෙන් විනාශ වුණා. ඒවා ගොඩනැගීමේ අදහසින් ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගොඩනැගුවා. ඒ දෙක හදන්නෙම ආසියාව අප්‍රිකාව දිහා බලලා නෙවෙයි. යුරෝපය දිහා බලලා. මේ ජනාධිපතිතුමාගේ කතාව එක්ක 1948දී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඒ වැඩපිළිවෙළ තමයි.

“මාෂල් ප්ලෑන්” කියන්නේ. දෙවන ලෝක යුද්ධයෙන් විනාශ වූ යුරෝපය දියුණු කිරීම සඳහා එක්සත් ජනපදය සැලැස්මක් හදනවා. ඒක තමයි මේ. ඒ රටවල් දියුණු කරන්න ඇමරිකාව තමන්ගේ ආධාර මුදල් යෙදවූවා.

25%ක්ම දෙන්නෙ එක්සත් රාජධානියට. ප්‍රංශයට ආදී වශයෙන් රටවල් 17කට දෙනවා.

මාෂල් ප්ලෑන් එකේ දළ අදහස ඕක වුණත් ඇත්තටම සංයුක්ත ආර්ථික දේශපාලන යුද සැලැස්මක්. මේ සැලසුමට වෙන්කරන සල්ලිවලින් 5%ක් ක්‍ෂ් සංවිධානයට. මේ යටතේම බටහිර ජර්මනියට සල්ලි වෙන් කරන්නේ ඇයි? නැගෙනහිර ජර්මනියේ සංවර්ධනය වේගයෙන් ඉස්සරහට යමින් තිබෙද්දී. 1945 ඉඳලා 1960 පමණ දක්වා නැගෙනහිර ජර්මනිය වේගයෙන් ඉදිරියට ගියා. 1970 කාලය වෙන තෙක්ම වගේ නැගෙනහිර ජර්මනිය උඩින් ඉන්නේ. ටෲමන් ඔය ඔක්කොම කියන අතරේ විශාල වශයෙන් සමාජවාදී විරෝධියෙක්. සෝවියට් දේශය ප්‍රමුඛ අතිවිශාල සමාජවාදී රාජ්‍ය පද්ධතියක් ඇතිවී තිබුණා. ඒ නිසා මෙය සමාජවාදයට එරෙහිව ඇතිකළ දැවැන්තම ආර්ථික දේශපාලනික යුදමය වැඩපිළිවෙළක්.

බටහිර රටවල්වලට ආධාර කරන අතර ඒ තුළ සමාජවාදය වළක්වන්න දියත් කළ මෙහෙයුම් රැසක් තිබුණා. ක්‍ෂ් සංවිධානය ඒ අතර ප්‍රමුඛම වුණා. සංවර්ධනය ගැන අලුතෙන්ම සාකච්ඡා මතුවෙන්නේ මාර්ෂල් ප්ලෑන් එකත් එක්ක. මේකෙන් ඉලක්ක කරන්නේ බටහිර යුරෝපය. සෝවියට් දේශය සහ නැගෙනහිර යුරෝපීය රටවල් සම්බන්ධ කර ගන්න පස්සෙදී උත්සාහ කරනවා. නමුත් ඒ වැඩපිළිවෙළේ තිබුණු උපක්‍රම හඳුනාගෙන නැගෙනහිර යුරෝපීය රටවල් පද්ධතිය ඊට සම්බන්ධ වෙන්නේ නැහැ. මාෂල් ප්ලෑන් එක ක්‍රියාත්මක කළ මුල් කාලය තුළ ඇමරිකාව ලබාදුන් සම්මත ආධාර ප්‍රමාණය ඩොලර් බිලියන 15යි. ඒකාලේ හැටියට ලොකු ගාණක්.

ඒ යුගයේ ආධාර ලබපු රටවල් එකතු කරලා ගත්තම ඒ රටවල්වල දළ ජාතික නිෂ්පාදිතයෙන් 03%ක් වූ ප්‍රමාණයක් මේ ආධාර විදිහට දීලා තියෙන්නේ. නමුත් මේ තුළින් ඇමරිකාව මේ රටවල් තුළ තමන්ගේ වෙළඳපොළ තහවුරු කරගත්තා. දේපොළ සබඳතා ගොඩනගා ගත්තා. දේශපාලන ව්‍යාපෘති දියත් කර සමාජවාදී රාජ්‍ය පද්ධතිය ව්‍යාප්තවීම අවම කර ගත්තා.

අනිත් පැත්තෙන් මාෂල් ප්ලෑන් එකෙන්මයි නේටෝව හැදුවේ. ජෝර්ජ් මාෂල් මූලික වී හදපු නිසා මාෂල් ප්ලෑන් එක කීවා. ඔහු ටෲමන් ජනාධිපතිවරයාගේ රාජ්‍ය ලේකම්. මේ යුගයේදී යුරෝපයේ බොහෝ රටවල් යුද්ධය පෙර තිබුණ ආර්ථික වර්ධන වේගයට සමානව ඇවිත් තිබුණා. මේ නිසා මාෂල් ප්ලෑන් එකට එකතු කළ රටවල් සංවිධානය කරල ධෑක්‍ෘ ම කියලා. ඒ කියන්නේ දියුණු රටවලට අයිති සංවිධානය. සංවර්ධිත රටවල සංවිධානය හැදුවා.

මේ රටවල්වලට පොදු නිර්ණායක තිබුණා. විවෘත වෙළඳපොළ පද්ධතිය පිළිගන්න ඕනෑ. මේ නිසා ඒ කාලේ දියුණු රටක් වුණ සමාජවාදී සෝවියට් දේශය ගත්තේ නැහැ. මාෂල් ප්ලෑන් එක සහ සංවර්ධන ආකෘති ගැන සාකච්ඡාව හරිම වැදගත්. මොකද ඒක දැවැන්ත දේශපාලන වැඩපිළිවෙළක් වගේම දැවැන්ත දේශපාලන උගුලක්. ඒ සම්බන්ධ උදාහරණ කිහිපයක් පහත පරිදියි.

දකුණු කොරියානු මොඩලය

ධනේශ්වර සංවර්ධනයේ මොඩල පිළිබඳව ගොඩක් කතා වෙනවා. දකුණු කොරියාව දියුණු වීම පිළිබඳ විශාල සාකච්ඡාවක් තියෙනවා. ගම්වලත් අන්තිම දුප්පත්ම කොටසට සංස්කෘතික වශයෙන් අන්තිම කුණු වෙච්ච පැතිවලට කිව්වේ කොරියාව වගේ කියලා. 1953 කොරියන් යුද්ධයෙන් පස්සේ දකුණු කොරියාව ලෝකයේ තිබුණු දුප්පත්ම රටක්. අද කොරියාව විශාල දියුණු රටක් බවට සාකච්ඡාවක් තියෙනවා. කොරියන් මොඞ්ල් එක ගැන කතාවෙනවා. එතකොට කොරියාව දියුණු වුණේ කොහොමද? 1953 කොරියන් යුද්ධය ඉවර වෙලා 1980 කිට්ටු වෙන කල්ම දකුණු කොරියාවට වඩා උතුරු කොරියාව හැම පැත්තෙන්ම ඉස්සරහින් හිටියේ. ඉඩම් අයිතිය පැත්තෙන්, අධ්‍යාපනය පැත්තෙන්, තාක්ෂණය පැත්තෙන්, කෘෂිකර්මය පැත්තෙන් සමාජවාදී උතුරු කොරියාව ඉතාමත්ම දියුණුයි. දකුණු කොරියාව ඉතාම පහළයි. ආරම්භයේ ඉඳලාම දකුණු කොරියාවේ ඒකාධිපති ආණ්ඩු අටවමින් ඇමරිකාව දිගින් දිගටම සල්ලි පොම්ප කළා.

දත්ත තියෙනවා 1950 දශකයේ මුළු මහත් දකුණු කොරියානු ආණ්ඩුවේ සමස්ත ආදායමෙන් 80%ක් ඇමරිකානු ආධාර. ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ තමන්ගේ ණය ආධාර ප්‍රමාණයෙන් වැඩිම ඒක පුද්ගල ආධාර ප්‍රමාණය දීලා තියෙන්නේ දකුණු කොරියාවට. උදාහරණයක් හැටියට කිව්වොත් 1946 ඉඳලා 1976 දක්වා දශක තුනේදී ඩොලර් බිලියන 12.6ක් දීලා තියෙනවා. ඒ කාලේ ඩොලර් බිලියනයක් කියන්නේ විශාල ප්‍රමාණයක්. ඒ මුළු කාල සීමාවටම ඇමරිකාව අප්‍රිකාවට දීලා තියෙන්නේ ඩොලර් බිලියන 6යි. මුළු ලතින් ඇමරිකාවට දීලා තියෙන්නේ ඩොලර් බිලියන 14.8යි. තනි දකුණු කොරියාවට ඩොලර් බිලියන 12.6ක්.

දකුණු කොරියාවට දැවැන්ත ආධාර ප්‍රමාණයක් දීලා බබෙක් වගේ වඩාගෙන හදපු බව පේනවා. අපි මතු කරන්නේ දකුණු කොරියානු මිරකල් එකේ ලොකු පංගුවක් ඇමරිකාව ආධාර දීලා බබෙක් වගේ හදපු එකේ තියෙනවා. දකුණු කොරියාව දුප්පත්කමෙන් දුප්පත්කමට වැටෙන කොට ඒ රටේ ශිෂ්‍යයෝ. තරුණයෝ අරගල කළා, උතුරු කොරියාව එක්ක එකතු වෙන්න කියලා. උතුරේ සංවර්ධනය ඔවුන්ට පේනවා. සම්බාධක උතුරට තිබුණෙ නැහැ. 1950 ගණන්වල උතුරු කොරියාවට සම්බාධක දාලා අයින් කරලා ආයෙ 1990න් පස්සෙයි ලොකුවට සම්බාධක දාන්නේ. දකුණු කොරියාව සංවර්ධන මොඩලයක් ලෙස ගන්න කියලා පෙරැත්ත කරන කොට ඇමරිකන් ආධාර පොම්ප කිරීමත් එක්කම කතා කරන්න ඕනෑ. දකුණු කොරියාවට ලෝක බැංකු නියෝගයේ අයි.එම්.එෆ්. එකේ ව්‍යුහාත්මක සැලසුම්වත් අදාළ කළේ නැහැ. ඇමරිකාව බබෙක් වගේ දකුණු කොරියාව ගොඩනැගුවේ උතුරු කොරියාව සමාජවාදී නිසා. උතුරු කොරියාවේ දැවැන්ත ඉඩම් ප්‍රතිසංස්කරණයක් කිරීම දකුණට පේනවා. ඒ ගැනත් බැලුවා.

ඊට අමතරව දකුණු කොරියාව දියුණු වෙන්න බලපෑවේ අධ්‍යාපනය වෙනුවෙන් දැවැන්ත වියදමක් දැරීම. ඒක දකුණු කොරියාවේ ආණ්ඩු කළ හොඳ දෙයක්. ජනාධිපති හමුදා පාලකයෙක් වුණත් දකුණු කොරියාවේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වියදම් කළා. 1980 වෙනකොට ධනේශ්වර ලෝකයේ වැඩිම ප්‍රාග්ධන වියදමක් අධ්‍යාපනයට දැරූ රටක්. මේක දෙවන හේතුව.

අනික තුන්වෙනි හේතුව ඔවුන්ගේ රටේ තිබෙන ශක්තීන්. කර්මාන්තකරණය, තාක්ෂණය ආදී මේ උපක්‍රම හොඳින් අනුගමනය කළා. ඇමරිකාව මුළු ලතින් ඇමරිකාවට වඩා, මුළු අප්‍රිකාවට වඩා කොන්දේසිවලින් තොරව අවුරුදු 30ක් දකුණු කොරියාව රැකබලා ගැනීම ඒ ආර්ථික සංවර්ධන මොඩලයට අතිශයින්ම බලපා තියෙන බව තේරුම් ගත යුතු වෙනවා. මේ පසුබිම අමතක කරලා අපිට කතා කරන්න බැහැ.

ටෲමන්ගේ සංවර්ධන ප්‍රතිපත්තිවලදී සමාජවාදී රාජ්‍යයක බලපෑමට ලක්වුණ රටවල්වලට විශාල වශයෙන් උදව් කළා. ඊශ්‍රායලයට උදව් කළා. දකුණු කොරියාවට කළ උදව් 1980න් පස්සේ අඩුවුණා. ඊශ්‍රායලය පැත්තට හැරුණා. 1985 ඉඳලා 2015 දක්වා ඊශ්‍රාලයට යවපු ආධාර ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 140ක්. ලෝකයේ වැඩිම ඇමරිකන් ආධාර. අද ඊශ්‍රායලය ගැන විශාල වශයෙන් කතා කරන්නේ. මාර දියුණුවක් තියෙන උගත්තු ඉන්න රටක් කියලා. උගත්තු ඉන්නවා නැත්තෙ නැහැ. ඩොලර් බිලියන 4ක් හැම අවුරුද්දෙම අනිවාර්යයෙන් ඇමරිකන් ආධාර ලැබෙනවා. ආයුධවලට, සංවර්ධනයට හැමදේටම. ණය නෙවෙයි. කොන්දේසි නැතුව දෙන ආධාර. ඊට අමතරව ඒ ගොල්ලන්ගේ ශක්තීන් තියෙනවා. ඊශ්‍රායලයේ මිනිස්සු මහන්සි වෙලා කළ දේවල් තියෙනවා. අපි තේරුම් ගන්න ඕනෑ ධනපති ක්‍රමයේ පොදු තත්වය තුළ දියුණු වුණ රටවල් නෙවෙයි දකුණු කොරියාවත්, ඊශ්‍රායලයත්. අධිරාජ්‍යවාදයේ නොයෙක් තාඩන පීඩන ඇතුලේ, සම්බාධක ඇතුලේ දියුණු වුණ රටවල් නෙවෙයි ඒවා. ඊට ප්‍රතිවිරෝධීව ඉතා විශාල ආධාර මත හා ඇමරිකානු සහාය දියුණු වුණ රටවල් ඒවා.

ස්කැන්ඩිනේවියානු මොඩලය

අපි සංවර්ධනය ගැන කතා කරන තවත් ලොකු මොඞ්ල් එකක් ස්කැන්ඩිනේවියානු මොඞ්ල් එක. අපිට හිතවත් ඇතැම් අය පවා කියන්නේ “අපි ස්කැන්ඩිනේවියානු මොඞ්ල් එකට යන්න ඕනෑ” කියලා. සමාජවාදයෙත් අඩුපාඩුකම් තියෙනවා. ධනවාදයෙත් අඩුපාඩුකම් තියෙනවා. ස්කැන්ඩිනේවියානු මොඞ්ල් එක පරමාදර්ශී එකක් කියනවා. ඇමරිකාව ලෝක බලවතා වීමේ ප්‍රධාන හේතුවත් දෙවන ලෝක යුද්ධයෙන් බැට කෑවේ නැතිවීම. සෝවියට් දේශය, ප්‍රංශය, බි්‍රතාන්‍යය, ජර්මනිය ඇතුළු සියලුම බලවත් රටවල් දෙවන ලෝක යුද්ධයෙන් විනාශ වුණා. නමුත් එක්සත් ජනපදය විනාශ වුණේ නැහැ. මේ නිසා ඊළඟ පිම්ම ගන්න විශාල ආර්ථික සම්පත් ප්‍රමාණයක් ඉතුරු වී තිබුණා. යුරෝපය ඇතුලේ ස්කැන්ඩිනේවියානු රටවල් ගත්තත් එහෙමයි. ඩෙන්මාකය, ස්වීඩනය වගේ රටවල් යුද්ධයට සම්බන්ධ වුණේ නැහැ. අනිත් රටවල් යුද්ධයෙන් විනාශ වුණාට පස්සෙ ඔවුන් ඒ වාසිදායක තත්වය තුළ 1945න් පස්සේ සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන ගියා.

ස්කැන්ඩිනේවියානු රටවල් දියුණු වෙන්න බලපෑ අංක එකේ හේතුව ඒක. මේ රටවල් ගැන ගොඩක් අය කතා කරන්නේ භෞතික සංවර්ධනය ගැන නෙවෙයිනේ. අධ්‍යාපන ක්‍රමය, සෞඛ්‍ය ක්‍රමය ගැන වගේ දේවල් නේ කතා කරන්නෙ. සමාජවාදයට කිට්ටු ඒවානේ. සමාජ සුබසාධන රාජ්‍යයන් කියලා මේ රටවල් දකිනවා නම් මේක ධනේශ්වර සමාජවාදී මිශ්‍ර ආර්ථික මොඞ්ල් එකක ප්‍රතිඵල නෙවෙයි මේ. මේ සංවර්ධනයට බලපෑ අංක එකේ හේතුව ඒ රටවල කම්කරු පංතියේ දැවැන්ත අරගලකාරී සංවිධානාත්මක මැදිහත්වීම. සරලව ගත්තොත් කම්කරු පංතිය සටන් කරලා දිනාගත් දේවල් මේ. ප්‍රධාන හේතුව ඒක. ලෙෆ්ට් සඟරාවේ. 2021 සැප්තැම්බර් (www.left.lk)  කලාපයේ කතුවැකිය කියෙව්වොත්, නැත්නම් නෝට් එක බැලුවොත් පැහැදිලියි. ලෝකයේ වැඩියෙන්ම වෘත්තීය සමිතිගත කම්කරු පංතිය ඉන්නේ ස්වීඩනය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, නෝර්වේ රටවල්. මේ රටවල්වල 50%, 60%, 70% ඉක්මවා තියෙන්නෙ. ඇමරිකාවේ 23% විතර ලංකාවේ 10% විතර. 1930 දශකයේ සංවිධානය වූ වෘත්තීය සමිති මැදිහත් වී විශාල අයිතිවාසිකම් ප්‍රමාණයක් දිනාගත්තා. දෙවන ලෝක යුද්ධයට මේ රටවල් සෘජුව සම්බන්ධ නොවීම නිසා කම්කරුවෝ සටන් කළාම අයිතීන් දෙන්න ටිකක් හරි පුළුවන් වුණා. ග්‍රාමින්ස්චිලාගේ කාලයේ 1930 ගණන්වල ඉතාලියෙත් කම්කරුවෝ සටන් කළා. නමුත් ලෝක යුද්ධයට විනාශ වෙමින් තිබූ නිසා දෙන්න දෙයක් නැහැ. ඒ නිසා ධනපති පංතියට දෙන්න පුළුවන් ටිකයි. නමුත් ඉල්ලනවා. සටන් කරනවා.

මේ නිසා ඉතාලිය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ ඉඳලා ෆැසිස්ට්වාදයට ගියා. කොමියුනිස්ට් පක්ෂ විනාශ කළා. ග්‍රාමින්ස්චිව හිරේ දැම්මා. කම්කරුවෝ මැරුවා. ජර්මනියත් පළවෙනි ලෝක යුද්යෙන් බැට කෑවා. රෝසා ලක්සම්බර්ග්ලා හදපු අති දැවැන්ත කොමියුනිස්ට් පක්ෂයක් තිබුණා. දැවැන්ත කම්කරු පංති ව්‍යාපාරයක් තිබුණා. කම්කරු සටන් තිබුණා. ඉල්ලීම් ඉල්ලුවා, දෙන්න දෙයක් නැහැ. අතිරික්තය ටිකයි. යුද්ධයට වියදම් ගියා. ඒ නිසා ජර්මන් ධනපති පංතිය නාසිවාදයට ගියා. ඉල්ලීම් දුන්නෙ නැහැ, මැරුවා. නමුත් ස්වීඩනයේ දෙන්න දෙයක් තිබුණා. ඒකත් එක හේතුවක්. පංති ව්‍යාපාරයේ ශක්තියත් එක හේතුවක්.

තවත් හේතුවක් වුණේ ස්වීඩනය සහ සෝවියට් දේශය වෙන් වෙන්නේ බෝල්ටික් මුහුදෙන්. 1945 ඉඳලා 1950 වෙනකොට තමන්ගේ මුහුදෙන් එහා පැවති සෝවියට් කම්කරුවන්ගේ ජීවීත උසස් වෙන ආකාරය ස්වීඩන් කම්කරුවා දැක්කා. නොමිලේ අධ්‍යාපනය, සෞඛ්‍යය, විවේකය, අවුරුද්දට මාස එක හමාරක් කළු මුහුදට යන්න නොමිලේ පහසුකම් ලැබෙනවා දැක්කා. ස්වීඩන් ධනපති පංතියට ඒ රටේ කම්කරුවන්ට දෙන්න දෙයකුත් තිබුණා. ඒ නිසා ස්වීඩන් කම්කරු පංතිය සමාජවාදය කරා යන එක වළක්වා ගන්න ටිකක් වැඩිපුර දුන්නා. උතුරු කොරියාව දකුණු කොරියාවට බලපෑවා. උතුරු කොරියාවේ අධ්‍යාපනයෙ නූතනකරණය දකුණු කොරියාවට බලපෑවා. උතුරත් එක්ක එකතු වෙන්න කියල දකුණු කොරියාවේ උද්ඝෝෂණයකුත් තිබුණා. උතුර එක්ක එකතුවෙන එක වළක්වන්න නම් යම්කිසි දෙයක් දිය යුතුයි. එය දුන්නා.

ස්කැන්ඩිනේවියානු මොඩලයට බලපෑ හතරවෙනි කාරණය අඩු ජනගහනය සහ විශාල ස්වාභාවික සම්පත් තිබීම. ස්කැන්ඩිනේවියානු මොඞ්ල් එක වියුක්තව කතා කරන එක ඉතාම අනුවණයි. මේ නිසා ධනපති ක්‍රමය ඇතුලේ නම් ලංකාව ස්කැන්ඩිනේවියාවක් කරන්න ලැබෙන්නේ නැහැ. එහෙම නම් ඒ මට්ටමට යන්න ධනපති ක්‍රමය ඇතුලේ තව අවුරුදු පන්සීයක් යයි. ස්කැන්ඩිනේවියානු මොඩලය හැදිලා තියෙන්නේ දැවැන්ත කම්කරු පංති අරගල මැද, සෝවියට් දේශයේ දැවැන්ත බලපෑම මැද. දෙවන ලෝක යුද්ධයේ දී විනාශ නොවීම. විශාල සම්පත් ප්‍රමාණයක් තිබීම වගේම කුඩා ජනගහනයක් සිටීම සහ එක වගේම කම්කරු පංතියේ සංවිධානය වීම මතයි.

ධනේශ්වර සංවර්ධන මොඩල ගැන කතා කරන කොට අපි පරිස්සම් වෙන්න ඕනෑ. ඒ ඕනෑම රටක තියෙන හොඳ දෙයක් ගැනීම වියුක්තව කිසි අවුලක් නැහැ. නමුත් සමස්තයේදී ඒවා එහෙම වෙන්නෙ නැහැ.

සංවර්ධනය මිනුම් ගැන කතා කරලා අවසාන භාගයට අපි ඇවිත් ඉන්නෙ. අපිට කොහොමද දියුණු වෙන්න පුළුවන්. මාෂල් ප්ලෑන් එකකින් ඇමරිකාව අපිව වඩාගෙන හදයිද? දකුණු කොරියාව හරි ඊශ්‍රායලය හරි මාෂල් ප්ලෑන් එකට අයිති නැහැ. නමුත් බටහිර ජර්මනිය ගියේ මාෂල් ප්ලෑන් එකට. ඒ වගේ එකකට ගත්තොත් අපිට දියුණු වෙන්න පුළුවන්ද? රටේ මිනිස්සු කැමති නම් අපිව ඇමරිකාවට විකුණන්න හදයිද? සමහර අය කියන්නේ “චීනෙට මේක විකුණලා දාන්න ඕනෑ. එතකොට චීන්නු හරි හදයි මේක” කියලා. ඒකත් ඉතිං හිතන්න තියෙන දෙයක් තමා. නමුත් ඒක එහෙම කරන්න බැරි බව අපි දන්නවා.

එහෙම නම් සංවර්ධනය වෙන්නෙ කොහොමද? මාෂල් ප්ලෑන් එකෙන් තෝරාගත් රටවල් ටිකක් දියුණු කළා වෙන අරමුණකට. ඒකෙන් ඔක්කොම රටවල් දියුණු වෙන්නේ නැහැ. අප්‍රිකාව, ආසියාව, ලතින් ඇමරිකාව රටවල් ඔක්කොම පහතට වැටිලා තියෙන්නේ. කොරියන් මොඞ්ල් එක හරියන්නේ නැත්තෙ අපිට උතුරු කොරියාවක් නැති නිසා. ස්කැන්ඩිනේවියානු මොඩල් එක ධනේශ්වර ප්‍රබන්ධ. වෙන්නෙ නැති දේවල්. දියුණු රටවල් අනුගමනය කිරීමෙන් අපිට දියුණු වෙන්න පුළුවන්ද? මූලික තර්කයක් ඒක. එහෙම දියුණු වුණු රටවල් තියෙනවද?

යටත්විජිතකරණය තුළින් සංවර්ධනය

ලෝකයේ දියුණු යැයි ඒ ගොල්ලොම කියන රටවල් (ධෑක්‍ෘ) 37ක් තියෙනවා. කොස්ටාරිකාවත් ඊයේ පෙරේදා එකතු කරගෙන 38ක් වුණා. නමුත් මම ඒක නැතුව කියන්නම්. මේ රටවල් 37න් 23ක් මොනවාද? ඔවුන් 23ක්ම යටත්විජිත හිමියෝ. ස්වීඩනය, ඇමරිකාව, නවසීලන්තය, ඔස්ටි්‍රයාව, ඉතාලිය, නෝර්වේ, බෙල්ජියම, ප්‍රංශය, ජපානය, ඩෙන්මාකය, කැනඩාව, ජර්මනිය, නෙදර්ලන්තය, පෘතුගාලය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය, තුර්කිය, ඔස්ටේ්‍රලියාව ඇතුළු  රටවල්. මේ ඔක්කොම යටත්විජිත හිමියෝ. අද අපිට මොන සංවර්ධන න්‍යායන් කීවත් ඒගොල්ලන්ගේ දියුණුවේ ඇත්ත පදනම යටත්විජිතවලින් අවුරුදු 300-400ක් කොල්ලකෑව මහා ධනස්කන්ධයම තමයි.

රටවල්වල සංවර්ධන ඉතිහාසය අධ්‍යයනය කරන එක විශාල විෂයයක්. ගොඩක් ආස හිතෙන වැඩක්. අපි හිතාගෙන ඉන්න කතන්දර සුනුවිසුනු කරන වැඩක් ඒක. දියුණු යැයි කියන රටවල්වලට පදනම වැටෙන්නේ මුළුමනින්ම යටත්විජිත කොල්ලකෑමෙන්. සංවර්ධිත කියන රටවල්වලින් 23ක්ම යටත්විජිත හිමියන්. ඊළඟ රටවල් 08 හිටපු සමාජවාදී රටවල්. ලැට්වියා, ලිතුවේනියා, ස්ලෝවේනියා, එස්තෝනියා, චෙක් ජනරජය වගේ. මේවා 1945 වෙනකොට බොහොම දුප්පත් රටවල්. සමාජවාදය ඇතුලේ දියුණු කරපුවා. ඇත්තටම 1900න් පස්සේ ලෝකයේ අලුතින් දියුණු වෙලා තියෙන්නේ රටවල් 14-15ක් විතර. එයින් 09ක් තිබූ සමාජවාදී රටවල්. තවත් 05ක් ධනවාදී රටවල්. ඒ 05 තමයි දකුණු කොරියාව, ඊශ්‍රායලය, කොලොම්බියා, මෙක්සිකෝ සහ චිලී. අලුතෙන් තියෙන කොස්ටාරිකා ගත්තොත් හයයි.

මෙක්සිකෝව ගත්තොත් දියුණු රටක් කියන්න පුළුවන්. රටක් හැටියට මානව සංවර්ධන දර්ශකයේ ඒ ගොල්ල ඉන්නෙ 74වැනි ස්ථානයේ. අපි ඉන්නෙ 72වැනි ස්ථානයේ. නමුත් මෙක්සිකෝව දියුණු රටක්. කොලොම්බියාව දියුණු යැයි කීවත් මානව සංවර්ධන දර්ශකයේ ඉන්නේ 83වැනි ස්ථානයේ. අපි 72. දේශපාලන හේතු මතයි මේ රටවල් දෙක දියුණු රටවල් ගොඩට දාලා තියෙන්නේ. චිලිය ගත්තත් එහෙමයි. විශාල රටක්. අඩු ජනගහනයක්. 1973 ඉඳලා පිනෝචේගේ මැදිහත් වීමෙන් ඇමරිකන් වුවමනාවන් ඉටු කළ රටක්. සිංගප්පූරුවත් දියුණු සංවර්ධිත රටක්. හැබැයි සිංගප්පූරුව මේ රටවල්වල සාමාජිකත්වය ඉල්ලලා නැහැ. ඒකත් ඇමරිකාව බබා වගේ හදපු රටක්.

1900න් පස්සේ මේ සංවර්ධන මොඩල අනුගමනය කරලා දියුණු වෙච්ච රටවල් සාමාන්‍ය ධනේශ්වර සංවර්ධන මාවතේ නැහැ. ඒ ගොල්ලන්ගේ මානව සංවර්ධන දර්ශක, ඒක පුද්ගල ආදායම් දර්ශක දුර්වලයි. සංවර්ධිත රටවල් මට්ටමට ආව ඒවා නැහැ. තිබුණු සමාජවාදී රටවල් 08ක් හැරුණාම ඉතිරි 05 දියුණු වුණ විදිහ අපි තහවුරු කරන්න උත්සාහ කළේ ධනේශ්වර සංවර්ධන මාවත කියන්නේ තවදුරටත් සංවර්ධන මාවතක් නෙවෙයි කියන්න. ඒක ඇතුලේ මොන නූල් සූත්තර කළත් දියුණු වෙන්න බැහැ කියන්න. අප්‍රිකාව, ආසියාව, ලතින් ඇමරිකාව පහත යන්නේ ඒ නිසයි. නරකම දේ මේ දියුණුයි කියන රටවල්වත් තවදුරටත් දියුණු වෙනවද? නැහැ මේ දර්ශක හැම එකක්ම වාගේ කඩාගෙන වැටෙනවා. මානව සංවර්ධන දර්ශකය ඇමරිකාවේ, එංගලන්තයේ තවදුරටත් අඩු වෙනවා. කොරෝනා නිසා තවත් බරපතළ වෙලා.

නමුත් මූලික පදනමින් ගත්තොත් කොරෝනාවලට කලින් ඉඳලා ඇමරිකාව අවුරුදු 9ක් පුරා (2014 ඉඳන්) ආයු අපේක්ෂා කාලය අඩුවෙනවා. එංගලන්තයේත් අඩු වෙනවා. නවලිබරල් ක්‍රමය ඇතුලෙ දියුණු රටවල ධනපති පංතිය තව පෝසත් වෙන්න බලද්දි සමස්ත සමාජය පහළට යමින් තියෙන්නේ. සංවර්ධනයේ දර්ශක ගැන මේ සාකච්ඡාව ස්කැන්ඩිනේවියානු, දකුණු කොරියානු නැත්නම් ඕනෑ මොඩල් එකක්

අනුගමනය කරලා දියුණු වෙන්න පුළුවන් නම් කමක් නැහැ. අපි මේ කියන්නේ මොඞ්ල් එකක් විදියට අපිට දකුණු කොරියාවේ විදියට දියුණු වෙන්න බැහැ.

අවසාන මාතෘකාව විදියට සමාජවාදී රටවල් ගැන සලකා බලමු. අපේ රටවල්වල හදලා තියෙන්නේ “සමාජවාදය වැඩක් නැහැ. දුප්පත්.” වගේ දේවල්නේ. බොහොම නෙගටිව් චිත්‍රයක් ඇඳලා තියෙන්නේ. “නරුමකම උරුමයක් නොවන්නට” කියන ලෙෆ්ට් සඟරාව කියෙව්වොත් තොරතුරු ගොඩක් ගන්න පුළුවන්. මේකේ 48 වැනි පිටුවේ “සමාජවාදය හොඳද? නරකද?” කියලා ලිපියක් තියෙනවා. ඒක කියවන්න. ඒකේ තියෙන්නේ සමාජවාදය කඩා වැටුණට පස්සේ මොකද වෙන්නේ කියලා. ෆිදෙල් කැස්ත්‍රෝ සහෝදරයා 1991දී, සෝවියට් දේශය කඩාවැටුණට පස්සේ කියුබාව පුරා නිවාස සංකීර්ණයෙන් සංකීර්ණයට රැස්වීම් තිය තියා ගියා. 1991, 1992, 1993 කාලයේ. සෝවියට් දේශය නැති වුණාම කියුබාවේ ජීවන මට්ටම quality of life කියන එක 80%කින් කඩා වැටුණා. මිනිස්සු නොසන්සුන් වුණා.

ෆිදෙල් රැස්වීම්වලදී එක දෙයක් කිව්වා. “ඔයාලාට ඕන නම් කියුබාවේ සමාජවාදී ක්‍රමය බිඳවට්ටන්න. හැබැයි මතක තියාගන්න කියුබාවේ සමාජවාදය බිඳවැටුණම කියුබාව වැටෙන්නේ ස්විට්සර්ලන්තයට නෙවෙයි, හයිටියේ මට්ටමට” කියල. සෝවියට් දේශය බිඳ දමද්දී මිනිස්සු හිතුවේ ස්විට්සර්ලන්තයේ තත්වයට වැටෙයි කියලා. නමුත් නැගෙනහිර ජර්මනිය, රුසියාව වැටුණේ කොතනටද? රුසියාවේ මිනිස්සුන්ගේ ආයු අපේක්ෂා කාලය පිරිමින්ගේ අවුරුදු හයකින් අඩුවුණා. සමාජවාදී රටවල් වැටුණම ඒ එක රටක්වත් කලින් තිබුණට වඩා දියුණු වුණේ නැහැ. දර්ශකවලින් මම මේ කියන්නේ. සමාජවාදය වැටුණාම ස්විට්සර්ලන්තයට හරි ස්වීඩනයට හරි වැටෙන්නේ නැහැ.

දැන් අපි සංවර්ධනයේ සමාජවාදී අවදිය ගැන කතා කරමු. සමාජවාදය කියන්නේ පංති රහිත කොමියුනිස්ට් ක්‍රමයට යන පළමු පියවර. සමාජවාදයේදී පංති තියෙනවා. සමාජවාදයේ අරමුණ පංති අහෝසි කරමින් සමාජය සහ සොබාදහම සංවර්ධනය කරගෙන යන එක. ඒ අර මුලින් කී නිර්ණායකවලට අනුව. මිනිසාට විවේකය සහ දැනුම ලබා දෙමින් සොබාදහමට එකඟව මනුස්ස සමාජය දියුණු කරන එක. සමාජවාදී සංවර්ධන මොඩලයේ පරමාර්ථය ඒක. හැබැයි රටින් රටට මේ මොඩලය වෙනස්. නමුත් හරය වෙන්නේ මේ කටයුත්ත නිර්ධන පංතියේ රාජ්‍ය බලය සහිතව ධනපති පංතිය පරාජය කරලා අර අපි කිවූ සංවර්ධනයේ නිර්ණායක අනුව අපේ රටවල්වල ආර්ථිකය, අපේ රටවල්වල කර්මාන්ත වෙනස් කිරීම. එහෙම නැතුව අපිට සමාජවාදී සංවර්ධනය ගන්න බැහැ. සමහර අය කියන්නේ “ප්‍රජාතන්ත්‍රවාදය නැතුව සංවර්ධනය වෙන්න බැහැ” කියලා. ඒක ඇත්ත. ප්‍රජාතන්ත්‍රවාදය නැතිව සංවර්ධනය වෙන්න බෑ කීවාට වෙනස් තත්වයන් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඇමරිකන් මොඩල් එකම නෙමෙයිනේ. පෘතුගාලයේ අවුරුදු 30ක් ඒකාධිපතියෙක් හිටියා 1974 වෙනකල්. ස්පාඤ්ඤයේ ප්‍රැන්කෝ බලයට පත්වී 1970 ගණන් වෙනකල් හිටියා. අවුරුදු තිහක් විතර. ප්‍රජාතන්ත්‍රවාදය තිබුණේ නෑනේ. හැබැයි ස්පාඤ්ඤය දියුණු වුණානේ. යටත්විජිත ක්‍රමයෙන් ගත් සම්පත් මත දියුණු වුණේ.

අවධාරණය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඇමරිකන් මොඩල් එක නෙවෙයි. ජන සහභාගීත්වය. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ හුදු ඡන්ද පමණක් නෙවෙයි. පහළ කම්කරු පංතියට, සොබාදහමට යහපත් වන ආර්ථික අධ්‍යාපන සංස්කෘතික ප්‍රතිපත්ති හදන්න නම් එයට එරෙහි වන ධනේශ්වර නිෂ්පාදන ක්‍රම වෙනස් කරන්න ඕනෑ. ධනේශ්වර ක්‍රමයේ ලක්ෂණය ක්ෂණික ලාභයනේ. ලාභය නෙවෙයි. ක්ෂණික ලාභය. ධනපතියාට ඕනෑ කොහොමත් නිෂ්පාදනය කරන්න නෙවෙයි. ඉක්මනින් විකුණලා ලාභ ගන්න. ඒ නිසා ධනපති ක්‍රමය ඇතුලේ තාක්ෂණය දියුණු වෙන බව ඇත්ත. ඒ ගැන විවාදයක් නැහැ.

නමුත් ඒ සෑම දෙයකින්ම වෙන්නේ සර්කිට් එක කෙටි කර ගන්න එක. පිරිවැටුමේ කාලය අඩු කර ගන්න. ඊට අදාළව ඔවුන් දියුණු කරන පැති ටිකක් තියෙනවා. ඔවුන් ප්‍රවාහනයේදී කන්ටේනර් හඳුන්වාදී තියෙනවා. ඒක විශාල දියුණු ක්‍රමයක්. අද ලෝකයේ ආර්ථික වර්ධනය ඇත්තට තියෙන්නේ කොරෝනා නිසා කන්ටේනර් සංසරණ වේගය මදිවීම. ඉස්සර සතියෙන් නිදහස් වුණ කන්ටේනර් දැන් මාසයකින් නිදහස් වෙන්නේ. කන්ටේනර් හිඟයි. කන්ටේනර් ගාස්තු හය ගුණයේ ඉඳලා දහ ගුණය දක්වා වැඩි වෙලා තියෙන්නේ. ප්‍රවාහනය වේගයෙන් දියුණු කරනවා. අධිවේගී මාර්ග, ඉලෙක්ටි්‍රක් අධිවේගී කෝච්චි හදනවා. ලාභය ඉක්මනින් ගන්න ඕන නිසා.

 අනෙක් පැත්තෙන් සංනිවේදන ක්‍රමත් වේගවත්. ඊමේල්, වට්ස් ඇප් එන ඉක්මණ බලන්න. මේවා හදලා තියෙන්නේ බඩු විකුණන්න කියලා කොරෝනා එනකල්ම කාට වුණත් තේරුණේ නැහැ. කොරෝනාවලින් තමයි වට්ස් ඇප්, ෆේස්බුක් වගේ ඔක්කොම හදලා තියෙන්නේ යාළුවෝ හොයාගන්න නෙවෙයි. ජොලි කරන්න නෙමෙයි කියලා තේරුණේ. තනිකරම බඩු විකුණන්න. වේගයෙන් බඩු විකුණන්න. අවශ්‍ය කෙනාට බඩු විකුණන්න. විකුණලා ඉක්මනින් ලාභ ගන්න. ඉස්සර බඩු විකුණද්දී බෙදාහැරීමේ ඒජන්සි මගින් විකුණලා නිෂ්පාදකයාට සල්ලි යවන්නේ. සාරියක් ගත්තොත් සල්ලි ඉන්දියාවට යන්න කොච්චර කල් යනවද? අද සාරිය අතට ඇවිල්ලත් නැහැ. අපි කාඞ් එකෙන් සල්ලි ගෙවලා ඉවරයි. සාරිය එන්නේ පහුවෙලා. මාස හයකට කලින් දන්නෙත් නැති “ඩාරාස්” කියන්නේ ලංකාවේ දන්නෙත් නැති සමාගමක්. ජාත්‍යන්තර සමාගමක් තමයි. දැන් ලංකාවම අල්ලලා තියෙන්නේ. දැන් වෑන් ගෙන්වන්නෙත් “ඩාරාස්” වලින්. ලේන්සු ගන්නේ “ඩාරාස්” වලින්. ලේන්සුව එන්න කලින් සල්ලි ගෙවලා ඉවරයි.

ඊ බැංකු ක්‍රම, ඊ ෆ්ලැට්ෆෝම්ස් කියන්නේ පිරිවැටුම නැවත ලබාගන්න කාලය ඉතාම අඩු කිරීම. ඔවුන් සියල්ල පර්යේෂණ කරන්නේ දියුණු කරන්නේ මේ වෙනුවෙන්. ධනපතියන් අතර තරගයක්නෙ තියෙන්නේ. මේ තරගය නිසා සාපේක්ෂ අතිරික්ත වටිනාකම් න්‍යායට අනුව යන්නේ, මගේ තාක්ෂණය තව කෙනෙකුට වඩා දියුණු නම් වියදම් අඩු කර ගන්න පුළුවන්. හැබැයි ඒ තාක්ෂණය අනික් තරගකරුවනුත් ඉක්මනට අල්ලා ගෙන ඒකට වඩා වැඩි දියුණු එකක් සොයා ගන්නවා. තාක්ෂණය දියුණු කරන්න ධනපතියන් අතර දැවැන්ත තරගයක් තියෙන්නේ. හැබැයි මේ දියුණු කරන්නේ ලාභය ක්ෂණික කිරීමේ, ලාභය වැඩි කිරීමේ තාක්ෂණය. තමන් යෙදවූ මුදල වේගයෙන්ම තමන් අතට ලබාගැනීමේ අරමුණට සේවය කරන තාක්ෂණය තමයි ඔවුන් දියුණු කරන්නේ. අනික් පැති ගැන එතරම් තැකීමක් නැහැ.

ඒ නිසා අපේ දරුවාට හොඳට උගන්වන අධ්‍යාපනයට අදාළ තාක්ෂණය ගැන ඔවුන් මහන්සි වෙන්නේ නැහැ. කලාව කොහොමද මිනිසාගේ මානසික ප්‍රශ්න විසඳන්න යොදා ගන්නේ කියලා බලන්නෙ නැහැ. ඊට අවශ්‍ය පර්යේෂණ ටිකයි කරන්නේ. දුෂ්කර පාරිසරික ප්‍රදේශවල මිනිසුන් වෙනත් ප්‍රදේශවල පදිංචි කරලා නගා සිටුවීම ගැන පර්යේෂණ කරන්න සල්ලි වෙන් කරන්නේ නැහැ. ගොවියන්ට සාධාරණ මිලක් ලබාදීම සඳහා මොකක්ද කළ හැක්කේ කියලා බලනවා අඩුයි. පවුලක් ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් ඇති කරන්නේ කොහොමද කියලා පර්යේෂණ කරන්න වියදම් කරන්නේ නැහැ. තරුණයා දුම්බීමට ඇබ්බැහි වීම වළක්වා ගන්න මොනවද කරන්නේ කියලා බලන්නෙ නැහැ. ඒ වෙනුවෙන් පර්යේෂණ කරන්න ඉතාම අඩුවෙන් ඩොලර් වෙන් කරන්නේ.

හැබැයි අන්න අර ලාභය උපරිම කරන ඒවාට සහ තව ප්‍රමාණයක් ධනපතියන්ගේ සුඛ විහරණය සඳහා අදාළ දේවලට ඩොලර් කෝටි ගණන් යන්නේ. මේ දවස්වල ආයු කාලය දික්කර ගන්න එක ගැන රිසර්ච් කරන්න ලොකු මුදලක් වියදම් කරනවා. ඊලෝන් මාස්ක් වගේ අය අභ්‍යාවකාශයටත් යනවා. අවුරුදු 150ක් ජීවත් වෙන්න පර්යේෂණ කරන්න සල්ලි වෙන් කරනවා. ඒ නිසයි අපි “තාක්ෂණය කියන්නේ අන්ධ එකක් නෙවෙයි. ඒක බලපැවැත්වෙන්නේ පංති පදනම මත” කියලා කියන්නේ. ඒ නිසයි තාක්ෂණය දියුණු වුණාට තාමත් ප්‍රශ්න විසඳෙන්නෙ නැත්තේ. එක කාලයක් කීවානේ “කම්පියුටර් ආවම ඔක්කෝම හරි” කියලා. ඊට පස්සේ කීවානේ “ඉන්ටර්නෙට් ආවාම ඔක්කොම හරි” කියලා.

නමුත් ඒක එහෙම නෙවෙයි. ප්‍රශ්න උග්‍ර වෙනවා. ධනපති ක්‍රමය තුළදී තාක්ෂණයේ මූලික අරමුණ සමාජීය ගැටලු හෝ සොබාදහමේ ගැටලු විසඳීම නෙවෙයි. තාක්ෂණයේ  මූලික අරමුණ වෙලා තියෙන්නේ ධනපතියන්ගේ ක්ෂණික ලාභය වැඩි කිරීම. පොදුවේ මිනිසා මුහුණ දෙන සමහර ප්‍රශ්නවලට කණා ෂොට් එකක් වගේ තාක්ෂණය හරි ගියාට එතනින් එහාට යන්නෙ නැහැ. කැලෑවේ ඉන්න අලියෙක් පරිස්සම් කරන්න බෙල්ට් එකක් දාලා ඌව මොනිටර් කරන්න පුළුවන්. ඒ වගේ අමතර වාසි තියනවා. නැතුව නෙවෙයි. නමුත් මූලිකව ගත්තාම තාක්ෂණයෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැත්තේ තාක්ෂණය යෙදවෙන ක්‍රමය ලාභය අරමුණු කර ගත් එකක් නිසා. අනික තාක්‍ෂණයේ අයිතිය ධනපතීන් සුළු පිරිසක් අතේ තිබෙන නිසා තාක්‍ෂණය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට ලක්කර නැහැ.

සමාජවාදය සහ සංවර්ධනය

අපි අවසාන වශයෙන් සමාජවාදය සහ සංවර්ධනය පිළිබඳ සාකච්ඡාව සලකා බලමු. අපි මුලින් කතා කළ පුළුල් නිර්වචනයෙන් කොහොමද සංවර්ධනය නිර්වචනය කරන්නේ. ඊට අනුව තමයි උදාහරණයකට ලෙස අම්මා කෙනෙකුත් නොවන, ශ්‍රමිකයකුත් නොවන, හුදු බිරිඳකුත් නොවන ගැහැනිය පුරවැසියෙක් කරන්න අරමුණු කරගත්තේ. ඒකටයි ඬේ කෙයාර් සෙන්ටර් ඇති කලේ, මාතෘ නිවාඩු දුන්නේ ඒකට, කිරි පැය විවේකය දුන්නේ ඒකට, අවුරුදු තුනක් යන කල් ගෙදර හිටියත් රැකියාව නැති නොවන නීති හැදුවේ ඒකට. මාතෘ නිවාඩු සහ පීතෘ නිවාඩු දෙකම දුන්නේ ඒකට. ලංකාවේ හිටිය බැටිස්ටා කියන කියුබන් තානාපතිතුමා වරක් කීවා එයාගේ බිරිඳට දරුවා ලැබිලා මාස තුනක් ගෙදර හිටියා කියලා. එයා විද්‍යාඥවරියක්. ඒකට යන්න ඕනෑ, වැටුපත් වැඩියි. දෙන්නා කතා කරලා තානාපති මහත්තයා ගෙදර නැවතිලා දරුවව මාස තුනක් බලාගත්තා කිව්වා.

මේ වගේ නීති රීති සමාජවාදයට හදන්න පුළුවන් වෙන්නේ අර වගේ ප්‍රතිපත්ති යටතේ. ඒ නිසා සමාජවාදී රටවල් හැම එකක්ම මානව සංවර්ධනයෙන් ඉහළයි. සමාජවාදී රටවල් හා ඒ හා සංසන්දනය කළ හැකි ධනපති රටවල්වල ආර්ථික ඉතිහාසය සංසන්දනය කරලා පක්ෂයෙන් සම්මන්ත්‍රණයක් කළා. ඒකේ පැහැදිලිව පෙන්වාදී තියෙන්නේ ඉන්දියාව ධනවාදී, චීනය සමාජවාදී. මේ දෙක අතර සංසන්දනයක් කළා. ඔන්න එතකොට චීනයේ අවුල ගැන කතාකරන්න පුළුවන්. නමුත් ධනවාදය ගැන කතා කරන කොට අප්‍රිකාවේ, ලතින් ඇමරිකාවේ අවුල ගන්නේ නැත්නම් සමාජවාදය ගැන කතා කරනකොට චීනයේ අවුලක් ගන්න අවශ්‍ය නැහැ.

චීනය සමාජවාදී මාවතේ. ඉන්දියාව ධනවාදී මාවතේ. දෙකම විශාල රටවල් අවුරුදු 5000ක ඉතිහාසයක් තියෙන දැවැන්ත සම්පත් තියෙන, දෙකේම සමාන ජනගහනයක් ඉන්න රටවල්. නමුත් වෙනස්කම් විශාලයි. දෙකම 1948 සහ 1949 තමන්ගේ ස්වාධීන ගමන පටන් ගන්නේ. නමුත් වෙනස්කම් විශාලයි. අද ඉන්දියාව කොතනද චීනය කොතනද? ඉන්දියාවේ බිහිවුණ විශිෂ්ටතම නොබෙල් ත්‍යාගලාභී අමර්ත්‍යා සිංගේ දැක්මක් තියෙනවා. මානව සංවර්ධන දර්ශකය දියුණු කරන්න. ඔහුගේ අධ්‍යයනය තිබුණේ අසමානතාවය ගැන. 2013 එයා ලෝක බැංකුවට කළ කතාවේදී සාධක 50ක් පෙන්වා දෙනවා චීනය ඉන්දියාවට වඩා ඉස්සරහින් ඉන්න. කියුබාව සහ හයිටිය අපි සංසන්දනය කරලා තියෙනවා. හයිටිය ලෝකෙ මුලින්ම යටත්විජිතකරණයෙන් නිදහස් වුණ ප්‍රංශ අධිරාජ්‍යවාදීන් එළවපු රට. පළවෙනි නිදහස් රට. ඒ තරම් විප්ලවීය රටක්. අද මොකද වෙලා තියෙන්නේ? අපි තායිලන්තයයි වියට්නාමයයි සංසන්දනය කරනවා. තායිලන්තය යුද්ධයෙන් විනාශ වුණේ නැහැ. තායිලන්තයට සම්බාධක නැහැ. තායිලන්තය කවදාවත් යටත් වෙලා හිටියේ නැහැ. වියට්නාමය ඔය කියන ඔක්කොම වෙලාත් 1975 ඉඳලා අද දක්වා කොච්චර ඉස්සරහට ඇවිත් තියෙනවාද?

සමාජවාදී රටවල්වල එක විශේෂත්වයක් වෙන්නේ, ආර්ථික, සමාජීය, විද්‍යාත්මක, ක්‍රීඩා, සංස්කෘතික කියන පැති ගණනාවක් දියුණු වී තියෙනවා. ක්‍රීඩාව විතරක් ගත්තොත් සමාජවාදය කියන්නේ මොකක්ද කියලා පේනවා. ඉන්දියාව, බ්‍රසීලය වගේ රටවල් කැළේනේ. ඉතාම දරුණු සම්බාධක මැද්දේ කියුබාවේ ක්‍රීඩාව උඩට ඇවිල්ලා තියෙන්නේ කොහොමද? ඇමරිකාවේ ඉඳලා ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන කීදෙනෙක් ඉන්නවාද? ලංකාවේ පහසුකම් නැති නිසා තමයි ඇමරිකාවට ගිහිල්ලා ඉගෙන ගන්නේ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් කියුබාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කියුබාවේම පුහුණු වෙන කට්ටිය.

එක හා සමාන සංසන්දනය කළ හැකි රාජ්‍යයන් එක්ක බැලුවාම සමාජවාදය ඇතුලේ හොලිස්ටික්, නැත්නම් හැම පැත්තක්ම එකට සලකලා බලන සංවර්ධනයක් තියෙනවා. නමුත් සමාජවාදී රටවල්වලත් සංවර්ධන ගැටලු තියෙනවා. උතුරු කොරියාව ඒකාධිපති දරුණු රටක් බව කියනවා. හැබැයි ලෝකයේ රටවල්වලට වැඩියෙන්ම සම්බාධක දාලා තියෙන්නේ ඇමරිකාව. මිනිස්සුන්ට, කොම්පැනිවලට සම්බාධක දාලා තියෙනවා දැනුත්. සමාජවාදි රටවල් ලෝකේ කොහේවත් තවත් කෙනෙකුට සම්බාධක දාලා නැහැ. සෝවියට් දේශය උපක්‍රමික වශයෙන් කෙටි කලකට ඇමරිකාවට, බි්‍රතාන්‍යයට, ප්‍රංශයට විරුද්ධව සම්බාධක දැම්මා. සෝවියට් දේශය විසින් සම්බාධක දාලා තිබුණේ වර්ණභේදවාදී දකුණු අප්‍රිකාවට විතරයි. ලංකාවත් ඒකේ හිටියානේ. ජේ ආර් ජයවර්ධන කළ එකම හොඳ දේ එයයි. ඒ, ලංකා ක්‍රිකට් කණ්ඩායම 1983 දී “ලේ සල්ලි” හොයන්න, ක්‍රිකට් ගහන්න කැප වෙලා හිටියෙ. ජේ. ආර්. ඒක වැරදියි කියලා තීන්දුවක් ගත්තා. අන්න ඒ වගේමයි සෝවියට් දේශයෙන් දාපු එකම සම්බාධකය. නමුත් ධනපති ක්‍රමය අපිට පෙන්වන්නේ මේ ගොල්ල හරිම විවෘතයි. සමාජවාදය හැංගිලා, විවෘත නැහැ. සංවෘතයි කියලා. මේවා තමයි ප්‍රබන්ධ කියන්නේ. උතුරු කොරියාව කාටවත් සම්බාධක දාලා නැහැ. උතුරු කොරියාවට ඇයි සම්බාධක දාන්නේ. උතුරු කොරියාවට දේශ සීමාවක් රුසියාවට සහ චීනයට තියෙන නිසා අදත් යන්තම් පණ ගැටගහ ගන්නවා. බි්‍රටනිකා විශ්ව කෝෂය බැලුවාම පේනවා 1975 වෙන කල්ම උතුරු කොරියාව දකුණු කොරියාවට වඩා සංවර්ධනයෙන් ඉදිරියෙන් හිටිය බව.

උතුරු කොරියාවේ තියෙන පවුල් පාලනය වගේ දේවල් අපි පිළිගන්නේ නැහැ. නමුත් සමාජවාදය යටතේ සමාජයම ආවරණය කර ගන්න සංවර්ධනයකට යන්න පුළුවන්. සමාජවාදයට ඒ හැකියාව එන්නේ මාක්ස්වාදී දැක්ම ඇතුලේ සැලසුම් කිරීම සහ පහළ පංතිය සම්බන්ධ කරගෙන කරන දෙයක් නිසා. අනික් පැත්තෙන් විද්‍යාත්මක නිසා. ආගමේ නාමයෙන් කරන මිථ්‍යා වැඩවලට කොයි තරම් නම් මුදලක් නාස්ති කරනවාද? දළ ජාතික නිෂ්පාදනයෙන් කොතරම් නම් නාස්ති කරනවා ඇද්ද? සමාජවාදය කියන්නේ මිනිසුන්ගේ ආගමක් ඇදහීමේ අයිතිය සත්‍ය වශයෙන්ම ආරක්ෂා කරන රටවල්. ලෝකයේ හැම සමාජවාදී රටක්ම ව්‍යවස්ථාවෙන්ම ආගම ඇදහීමේ අයිතිය තහවුරු කරලා තියෙන්නේ. බොරු සෝබනයට ව්‍යාවස්ථාවේ තියෙනවා නෙවෙයි.

නමුත් අනික් රටවල බලන්න. කොරෝනා ප්‍රශ්නයේදී ලංකාව මුට්ටි පස්සේ දිව්වා. පැණිය පස්සේ දිව්වා. මොන නාස්තියක්ද? මිනිසුන්ගේ කාලය, සල්ලි, අවදානම කොයිතරම්ද? සමාජවාදී රටවල ඔය වගේ පිස්සු වැඩවලට ඉඩ නැහැ. අපරාධ අඩුයි. චීනයේ අපරාධ අඩුයි. ඉන්දියාවට, ඇමරිකාවට සාපේක්ෂව ගොඩක් අඩුයි. එතකොට දළ ජාතික නිෂ්පාදිතයෙන් විශාල සම්පත් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ගැටුම් අඩුයි. ඉන්දියාවේ හැමතැනම ජාතික ප්‍රශ්න. චීනයේ සිං ජියෑන් ප්‍රාන්තයේ මුස්ලිම් ගැටුම හදපු එකක්. මුස්ලිම් අය මිලියන 50ක් විතර චීනයේ ඉන්නවා. අනික් කිසි තැනක ගැටුම් නැහැ. සිං ජියෑන් ප්‍රශ්නේ වෙනම හදපු එකක් වගේම චීනයේ අඩුපාඩුකම් ඇති. ඉන්දියාවේ එහෙම නෙවෙයි යුද්ධවලින් හෙම්බත් වෙලා ඉන්නේ.

සමාජවාදයට ආර්ථික සංවර්ධනය, සමාජීය සංවර්ධනය, සොබා දහමේ සංවර්ධනය විද්‍යානුකූලව කළමනාකරණය කරමින් ගෙනියන්න හැකිවෙලා තියෙනවා. මේ නිසා ආර්ථික සංවර්ධනයට බාධා කරන සමාජීය ප්‍රශ්න සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරගන්න හැකි වෙලා තියෙනවා. ආර්ථික සංවර්ධනයට බාධාකාරී වන යුද්ධ අවමයි. සෝවියට් දේශය තිබුණ කාලයේ ජාතිකත්ව සිය ගණනක් එකට තියාගෙන අවුරුදු 70ක් හිටියා. හැබැයි 1990න් පස්සේ ධනපති ක්‍රමය ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය තුළයි කැඩිලා බිඳිලා සුංවෙලා තියෙන්නේ. යුගෝස්ලාවියාවත් එහෙමයි.

අද තියෙන සමාජවාදී රටවල් ගත්තත් සංවර්ධනය මූලික අරමුණු එක්ක යනවා. අඩුපාඩුකම් සහිත ප්‍රශ්න තියෙන අඩු දියුණු රටවල පවා පෙන්වලා තියෙන්නේ සංවර්ධනයේ හැකියාව. සංවර්ධනය සඳහා වන විශේෂ ප්‍රායෝගික හැකියාවක් සමාජවාදයට තියෙනවා. චීනයේ අවසාන දුප්පතුන් මිලියන 99 නිදහස් කර ගැනීමේ අරගලය මෑතකදී දියත් කළා. චීනයේ දරිද්‍රතාවය පිටුදැකීමේ මහා අරගලයේ අවසන් අදියර ඒක. ඒ වැඩපිළිවෙළ ගැන කියන්නම්.

පක්ෂය පැවැත්වූ 2012 සමුළුවේදී තීන්දු කළා 2020 වෙනකොට අන්ත දරිද්‍රතාවය සහමුලින් අයින් කරන්න. ඒ තීරණයට අදාළව වැඩපිළිවෙළක් හැදුවා. පක්ෂ කාඩර්වරු ලක්ෂ 20ක් යවලා චීනෙ දුප්පත්ම ගම්මාන හඳුනා ගත්තා. ගම්මාන 128,000ක් හඳුනා ගත්තා. 2013 – 2015 දක්වා අවුරුදු දෙක සූදානම් කිරීමේ කාලයක් අරගෙන ඒ හැම ගමකම පක්ෂ කාඩර්වරු කණ්ඩායමක් පදිංචි කළා. රට පුරා පදිංචි කරන්න කාඩර්වරු මිලියන තුනක් වෙන් කළා. ගම්මාන 128,000ම පදිංචි වෙලා වැඩ කරන කණ්ඩායම් 255,000ක් හැදුවා. 2015දී ව්‍යාපෘතිය පටන් ගත්තා. පළාත් පාලන, ප්‍රාන්ත සභා විතරක් නෙවෙයි මධ්‍යම ආණ්ඩුවටම අයිති පත්තර කන්තෝරු පවා මීට යොදා ගත්තා. බිග් ඬේටා තාක්ෂණය යොදා ගත්තෙ අති විශාල තොරතුරු ප්‍රමාණය නිවැරදිද කියලා බලන්න. අධික දුෂ්කරතා යටතේ වැඩ කරද්දී පූර්ණ කාලීන කාඩර්වරු 1800ක් මැරුණා. හැබැයි 2020 පටන් ගන්නකොට දරිද්‍රතාවයේ හිටිය මිලියන 99.8ක් දෙනා දුප්පත්කමින් මිදෙව්වා කියන එක එංගලන්තයේ යෝර්ක් විශ්වවිද්‍යාලය කළ පරීක්ෂණයකින් සනාථ කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්මානත් දුන්නා. ඔය වගේ ව්‍යාපෘති ගොඩක් සමාජවාදී රටවල් කරලා තියෙනවා. නිකරගුවාව, කියුබාවත් කරලා තියෙනවා.

අපි සමාජවාදය තුළ බලාපොරොත්තු වෙන්නේ පරිපූර්ණ සංවර්ධන අරමුණක් සහිතව ඉදිරියට යන්න. නමුත් සමාජවාදය ගොඩනඟද්දී අපිට විවිධ බාධක, සම්බාධක, කම්කටොලු එනවා. විවිධ තර්ජන ගර්ජන එනවා. මේ තර්ජන ගර්ජන ඇතුළු අභියෝග නිසා සෝවියට් දේශය, චීනයේ සිදුවුණ වැරදිත් තියෙනවා. ලෝක යුද්ධයක් එන බව දැන ගත්තාට පස්සේ සෝවියට් කොමියුනිස්ට් පක්ෂය වේගවත් කාර්මික නිෂ්පාදනයකට යන්න තීන්දු කළා. අර පරිපූර්ණ සංවර්ධනයට යන්න බැරි බව තේරුම් ගත්තා. ආනයන වෙනුවට හැකි තරම් තමන්ගේ රටේ බඩු හදාගන්න සාගතයටත් යුද්ධයටත් මුහුණ දෙන්න අවශ්‍ය වේගවත් සංවර්ධනයකට ගියා. ඉතිං පරිසරය විනාශ වුණා. සමතුලිතතාව කැඩුණා.

දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ සෝවියට් ජනාධිපති නිකිතා කෘෂෙව් මොකක්ද කළේ. කෘෂෙව්  කාර්මීකරණයේදී වුණ අඩුපාඩුකම් නිසා කෘෂිකර්මාන්තයට සම්පූර්ණ බර තිබ්බා. බර තියලා, කාර්මික කම්කරුවා, ඉංජිනේරුවා සහ ගොවියාගේ වැටුප ගොඩක් සමාන කළා. ඒකෙන් කාර්මික නිෂ්පාදන පහත වැටුණා. මහා පරිමාණයෙන් කෘෂිකර්මාන්තය කරන්න ගිහිල්ලා අසාර්ථක වුණා. ගෝඨාභයට කිට්ටු වැඩ ටිකක් සිදු වුණා. ධනපති කඳවුරෙන් වට කරලා ගහනකොට රටේ ස්වෛරීත්වය රැක ගන්න සමහර දේවල් කරන්න සිදුවීම ප්‍රධාන හේතුවයි. සමහර විට මාක්ස් ලෙනින්වාදී මූලධර්මවලින් පිට පැන තමන්ගේ පුද්ගලික රුචිකත්වයක් යම් ප්‍රමාණයට බලපෑවා.

අපි සාරාංශ කර ගත්තොත් අපිට රට ගොඩනගන්න පුළුවන් සමාජවාදයෙන් පමණයි කියන එක ඉතාම පැහැදිලියි. සමාජවාදය ඇතුලේ අපි කරන්නේ මොනවාද කියන එක තීරණය කරන්න පුළුවන්. තෙල් හම්බ වුණොත් කොහොමද කරන්නේ? මූලික කරගන්නේ කර්මාන්තද, කෘෂිකර්මාන්තයද? සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට මුල්තැන දෙනවාද? වගේ දේවල් අපිට කිසි අවුලක් නැතිව තෝරා ගන්න පුළුවන්. අපි නෙවෙයි, අදාළ වෘත්තීයවේදීන් හා විද්වතුන්ගෙන්ම ගන්න පුළුවන්. වැදගත් වෙන්නේ නිර්ධන පංතියට රාජ්‍ය බලය ගන්නේ නැතිව මේ මොකුත් කරන්න බැහැ. අපි ඉගෙන ගන්න ඕන නිර්ධන පංතියට රාජ්‍ය බලය නැතිව වාමාංශික ප්‍රතිසංස්කරණ කළ රටවල්වල ධනපති පංතිය එක මොහොතකින් පස්සේ පැසිස්ට්වාදයට, නාසිවාදයට ගියේ කොහොමද? කියලා.

එහෙම නැත්නම් පසුගිය කාලයේ චිලිය වගේ බොලීවියාව වෙනිසියුලාව වගේ සම්බාධක දාලා විනාශ වෙන්නේ කොහොමද? කියලා දකින්න ඕනෑ. අපි පැහැදිලි කර ගන්න තියෙන්නේ අපේ රට හදන සැලසුම අපිට හදන්න පුළුවන්. රෝහණ විජේවීර සහෝදරයා සෘෂිවරයෙක් වගේ උත්තරය දීලා තියෙන්නේ. ඔහු කීවා ලංකාව හදන්නේ කොහොමද කියලා. “අපිට රුසියන් සපත්තුව ලොකු වැඩියි. චීනයේ සපත්තුව පොඩි වැඩියි. ඒ නිසා අපි අපේ රටට ගැලපෙන ලංකා සපත්තුවක් හදාගන්න ඕනෑ.” ඒකයි කීවේ.

ඒ වෙනුවෙන් මූලධාර්මිකව නිර්ධන පංතියේ රාජ්‍ය බලය අවශ්‍යයි. සමාජවාදී සංවර්ධනයේ මූලික නිර්ණායක අරමුණු කර ගත් සංවර්ධන උපක්‍රම, ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග, සැලසුම් හදන්න ඕනෑ.“රට හදන අපේ ප්‍රතිපත්තිය” කියන්නේ ඔන්න ඕක. නිර්ධන පංති රාජ්‍ය බලය තුළ හොඳ මිනිහෙක් හදන්න ඕනෑ. අධ්‍යාපනය, සෞඛ්‍යය, කර්මාන්ත පද්ධතිය, ඒ සඳහා වන සංචාරක කර්මාන්තය, ඒ සඳහා වන සොබාදහම කළමනාකරණය, කරන්න ඕනෑ. ධනවාදයේ සංවර්ධන නිර්ණායක ඒ සඳහා කොතරම් අසාර්ථකද, කියලා පැහැදිලියි. සමාජවාදී අර්ථයෙන් සංවර්ධනය ගැන ඔන්න ඔය පුළුල් අර්ථයෙන් බලන්න ඕනෑ.

ප්‍රශ්නවලට පිළිතුරු

            ස්කැන්ඩිනේවියානු හරි යුරෝපයේ හරි ඉතාලියේ හරි සංවර්ධනය ගැන අහන්න ඕනෑ, ඒ රටවල අයගෙන්. මෙහෙන් ගිහිල්ලා එහෙ වැඩ කරන අයගෙන් නෙවෙයි. පක්ෂයේ සංවිධාන අධ්‍යාපන මට්ටමක් තියෙන කෙනෙක්ගෙන් ඇරුණාම ඉතාලි ජාතිකයන්ගේ ජීවන මට්ටම උසස් බව දකිනවානේ. ඉතාලියේ ගුරුවරයෙකුගේ ගෙදර වැඩ කරන අපේ රටේ කෙනෙක් දකින්නේ හුඟක් උසස් ජීවන මට්ටමක් ගත කරන බව. නමුත් ඒ රටේ කෙනෙක්ගෙන් ඒක අහන්න ඕනෑ. 1980 ඔවුන්ගේ ජීවිතයට වඩා දැන් ජීවිතය ලේසියිද? ඇහුවොත් කියන්නේ සහමුලින්ම අමාරුවේ වැටිලා ඉන්න බව. උදාහරණයක්, වාහන මිල ගොඩක් අඩුවෙන්ම තිබිලත් පුද්ගලිකව පරිහරණය කරන්න හැකියාවක් නැහැ. දියුණු ධනපති රටවල් ඒ තත්වයට ආවේ සම්පූර්ණයෙන්ම යටත්විජිත සූරා කෑමෙන්. ඒ මත ඇතිකරගත් පදනමෙන් නව යටත්විජිතවාදී ක්‍රමය ඇතුලේ වෙන්නේ අපි මත තවදුරටත් බලපා ධනය ඇද ගැනීමයි.

දැන් ඒ ගොල්ල දියුණු නිසා වැරැද්ද හංගාගන්න පුළුවන්. ඒ දියුණු වුණේ යටත්විජිත නිසා. අනික ධනේශ්වර ක්‍රමය ඇතුලේ භෞතික දියුණුවට ගැලපෙන සමාජයක් සංවිධානය කරලා තියෙන්නේ. ධනපති කර්මාන්තයට ගැලපෙන්න අනික් දේවල් සංවිධානය කරලා තියෙනවානේ. හොඳම පාරවල් හදලා හොඳ බස් සේවයක් දීලා තියෙනවා. ඒ නිසා හරියට වේලාවට වැඩට ඉන්න ඕනෑ. අපි ඔය කියන “විනය” හදලා තියෙන පදනම ඒක. ධනපති ක්‍රමයට අවශ්‍ය කරන විනය හදලා තියෙන්නේ. වේලාවට වැඩ කරන්න, පිළිවෙළට වැඩ කරන්න වගේ දේවල් හදලා තියෙනවා. ඒ රටවල මොකක් හරි වෙලා හදලා තියෙන සිස්ටම් එක කැඩුණම වලිදාගන්නේ අපේ රටවලටත් වඩා අන්ත විදිහට. අර ගිරා පැටියට වගේ තමයි. ද්‍රව්‍යමය කොන්දේසිය යහපත් වුණාම මිනිසුන් හදන්න පුළුවන්.

පරම්පරා ගාණක් යනකොට ඒක ඇඟට එනවා. ඒක වෙනම දෙයක්. වෙලාවට වැඩ කරන කතා අත්තම්මලා සීයලා කියන්නේ එතකොට. එංගලන්තයේ, ඇමරිකාවේ වගේ රටවල්වල ග්‍රාමීය කතාවල වේලාවට වැඩ කිරිම ගැන ඇති. නමුත් ඒ රටවල අද තියෙන ද්‍රව්‍යමය කොන්දේසි අවුල් වුණ වෙලාවට බලන්නකෝ. එතකොට සුනාමි එනවා වගේ. ඒ නිසා රටවල් අමුතු අධ්‍යාත්ම දියුණුවක් නෙවෙයි තියෙන්නේ. ද්‍රව්‍යමය වටපිටාවට අනුව හැඩගැසී තියෙන ක්‍රමය. නමුත් ඒ යටින් වෙන ඇත්ත කතාවකුත් තියෙනවා. උදාහරණයක් හැටියට යුරෝපයේ සමාගම් අතර එක අවුරුද්දකට යුරෝ බිලියන 900ක් වූ පගා හුවමාරු වෙනවා. ඉහළ පරිමාණයේ ධන කුවේරයෝ බේරෙනවා.

අපි පැහැදිලි කරන්නේ පංති අරගල ඇතුලේ සටන් ඇතුලේ දිනාගත් දේවලුත් තියෙනවා. යුරෝපයේ ධනේශ්වර දියුණුව මහා පංති සටන් ඇතුලේ දිනාගත් දේවල්. අමාරුවෙන් දිනාගත් දේවල් ඔය. ඒ රටවල දියුණුවේ මතුපිට අර්ථය නෙවෙයි ඉතිහාසය අරගෙන බලන්න ඕනෑ. අනික් විශේෂම කරුණ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේදී සමාජවාදී සෝවියට් දේශයේ බලපෑම. ඒ බලපෑම යටතේ බිහිවුණු අනිකුත් සමාජවාදී රටවල්. සෝවියට් දේශයේ පැවැතීම යුරෝපයේ අනික් රටවල මහා බලපෑමක් සිදුවුණා. ඒ නිසා ධනවාදය තුළ වුණත් ගොඩක් සමාජ හිතවාදී ප්‍රතිසංස්කරණ සිදු කළා.

රුමේනියාව හරි කුමන හෝ සමාජවාදී රටක අඩුපාඩු අපිට පිළිනොගෙන ඉන්න හේතුවක් නෑනේ. හැබැයි නැගෙනහිර ජර්මනිය වෙන්කරලා බැඳලා තිබුණ තාප්පය කඩාගෙන බටහිරට ගිහිං ගන්න තිබුණේ ගණිකාවොයි, කොකා කෝලයි විතරයි. කෙටියෙන් කිව්වොත් තිබිච්ච සමාජවාදී ක්‍රම ඔය ඕනෑම ධනවාදී ක්‍රමයකට වඩා හොඳයි. තිබුණ සමාජවාදය අරගල කළා නම්, අපිට අද වදවෙන්න ඕන නැහැ. සමාජවාදය අපේක්ෂා කරන ගමන් ඒ ඒ රටවල් තුළ බිහිවුණ අඩු පාඩු පිළිගැනීමේ වගකීම තියෙනවා.

ඒ වැරදි අඩුපාඩු සිද්ධ වුණත් මහා පරිමාණ වටලෑම්, හුදකලා කිරීම් ප්‍රබලයි. උතුරු කොරියාව උදාහරණයකට ගන්නේ ඒකයි. දකුණු කොරියාවට වඩා ඉදිරියෙන් උතුරු කොරියාව අවුරුදු 25ක් තිබුණා. රටවල් දෙකම යුද්ධයෙන් විනාශ වෙච්ච රටවල්. ලංකාවේ නිර්ධන පංතිය රාජ්‍ය බලය අරගෙන රට දියුණු කරන සැලසුම හදද්දී පෞද්ගලික අංශයට පංගුවක් දීමට පැකිළෙන්නේ නැහැ. ලෙනින් සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති හදද්දී 1919දී ඒ කරුණු සලකා බැලුවා. 1987 දී ගොර්බචොෆ් නව ආර්ථික ප්‍රතිපත්ති තේරුවා. 1980 වෙනකොට සෝවියට් දේශය දියුණු සංවර්ධිත රටක්. සමාජවාදී සබඳතා තිබුණු රටක්. ගොර්බචොෆ් ලවා ආර්ථික ප්‍රතිපත්ති ඒ වෙලාවේ ගෙනාවේ සෝවියට් දේශය ධනවාදයට ගෙනියන්න. ලෙනින් නව ආර්ථික ප්‍රතිපත්ති ගෙනාවේ වැඩවසම් රටක විප්ලවය ජයග්‍රහණය කරලා ධනේශ්වර සංවර්ධනය ඇතුලෙ අත්පත් කර ගත යුතු දේවල් අත්පත් කරගෙන නොතිබූ නිසා. නිර්ධන පංතියේ රාජ්‍ය බලය ඇතුලේ යම්කිසි භූමිකාවක් පෞද්ගලික අංශයට තිබුණා. ලෙනින් ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙනාවේ ඒකට.

ඒ වචනම යොදාගෙන ගොර්බචොෆ් කොමියුනිස්ට්වාදීන්ව අන්දලා විකෘතියකින් විනාශ කළා. ජනාධිපතිකමට අමතරව පක්ෂයේ ලේකම් වෙලා මේ දේ කළේ. ඒ ඒ රටේ සංවර්ධන මට්ටමට අනුව නිෂ්පාදන බලවේග දියුණු කරන්න මොනවාද කරන්නේ? මොනවාද ජනසතු කරන්නේ, නොකරන්නේ? වගේ කරුණු ඕනතරම් සලකා බලන්න වෙනවා. සෝවියට් දේශය දියුණු වුණේ කාර්මික, කෘෂිකාර්මික සහ මානව සම්පත සංවර්ධනයට එක වෙලාවට හරි හරියට බර තිබ්බා. අති විශාල රාජ්‍යයක, ඇති තරම් සම්පත් තියෙනවා, ජනගහනය ටිකයි, ඒ නිසා මේ අංශ තුනම එකට සංවර්ධනය කරන්න පුළුවන් වුණා.

චීනයේ එහෙම කළේ නැහැ. චීනයේ අති විශාල ජනගහනයක්, සම්පත් නැහැ, වගාකළ හැකි භූමි ප්‍රමාණය 10%, ඒ නිසා චීනය මානව සම්පත් සංවර්ධනයට බර තිබ්බෙම නැහැ. පළවෙනි අවුරුදු 30දී කෘෂිකර්මාන්තයට බර තිබ්බේ. ඒ යටතේ තියෙන කර්මාන්තය දියුණු කරගෙන 1990 විතර පස්සේ තමයි මානව සංවර්ධනයට බර තිබ්බේ. චීනයේ කවදාවත් නොමිලේ අධ්‍යාපනය තිබුණේ නැහැ කියන්නේ ඇත්ත. හැබැයි සමාජවාදය යටතේ චීනය නොමිලේ අධ්‍යාපනය වැඩි කරමින් එන්නේ. චීනයේ භෞතික සංවර්ධනයට මුල් තැන දුන්නා. කෘෂිකාර්මික සහ කාර්මික. ඊට පස්සේ මානව සංවර්ධනයට.

නමුත් කියුබාව, රාජ්‍ය බලය ගත්තට පස්සේ ෆැක්ටරි කරන්නත් ගොඩක් බැහැ. කෘෂිකර්මාන්තය කරන්නත් බලගතු ඉඩක් නැහැ. ඒ නිසා ගත්ත දවසේ ඉඳලාම මානව සම්පත සංවර්ධනය කරන්න වැඩිම බරක් තිබ්බා. හොඳට උගන්වලා, හොඳම සෞඛ්‍යය ලබා දීලා, හොඳම විද්‍යාව, හොඳම කලාව ලබා දෙන්න සල්ලි පොම්ප කළා. ක්‍රීඩකයෝ දක්ෂම පිරිසක් බිහි කළා. අවුරුදු 25දී ඒකෙන් රට උස්සා ගත්තා. වෛද්‍යවරුන් 30,000 විතර පිටරටවල වැඩ කරනවා. ඒ ගොල්ල මාසයට යුරෝ 3000 ගානේ රටට යවනවා. අපේ අම්මලා යුරෝ 200 ගානේ එවද්දී. විද්‍යාඥයෝ බිහි කළා. විද්‍යාඥයෝ හැදුවා. ලෝකයේ හොඳම එන්නත් හදලා විකුණනවා. ජෛව තාක්ෂණය අතිත් ලෝකයේ අංක එකේ රට. කියුබාවේ සැලසුම වෙන එකක්. ලොකු ෆැක්ටරි, ලොකු ෆාම් හදන්න ගියේ නැහැ.

අපි රාජ්‍ය බලය අරගෙන වැඩි බර තියෙන්නේ මොනවටද කියලා ධනේශ්වර විද්වතුන්ගෙන් පවා උපදෙස් ගන්න පුළුවන්. අපිට ඒවා සමාජවාදී දෘෂ්ටිකෝණයෙන් ගලපා ගන්න පුළුවන්. වැදගත් වෙන්නේ රාජ්‍ය බලය අරගෙන සමාජවාදී අරමුණුවලට ප්‍රතිපත්ති හදන එක.

සිංගප්පූරු මොඩලය කියන්නේ ඉතාම කුඩා රටක ඇමරිකානු ආධාර මත, ඇමරිකානු, ආරක්ෂාව මත දියුණු වූ රටක්. අනිත් පැත්තෙන් ඒ අය මලක්කා සමුද්‍ර සන්ධියේ විශේෂ පිහිටීම ප්‍රයෝජනයට ගත්තා. අරගෙන සම්පූර්ණ බදු රහිත වෙළඳසැලක් හැදුවා. හොඳ වරායක් සහ හොඳ ගුවන්තොටුපළක් හැදුවා. ඒකෙන් දුප්පත්කමේ මට්ටම අඩු කරගෙන, අධ්‍යාපනයට විශාල බරක් තැබුවා. භෞතික පිහිටීමෙන් ගත්ත වෙළඳාමේ පදනම මත ඉඳලා මානව සම්පත දියුණු කළා.

කියුබාවටත් ඇමරිකානු සම්බාධක නොතිබුණා නම් මෙක්සිකෝ බොක්කේ පිහිටීම යොදා ගන්න තිබුණා. ඒ නිසා පිහිටීමේ වාසිය ලොකුවට ගන්න නෙවෙයි මානව සම්පත දියුණු කිරීමේ වාසිය ගත්තා. සිංගප්පූරුව වගේ අපිටත් භෞතික පිහිටීමේ වාසිය ගන්න පුළුවන්. වරාය බේරා ගන්න උද්ඝෝෂණය කරන්නේ ඒ නිසා. හතර මහා නිධානයක් ඒක. සමාජවාදී රාජ්‍ය බලයට උචිත උපායමාර්ග තෝරා ගන්න ඕනෑ. හැම රටක්ම මැජික්වලින් වැඩ කරලා නැහැ. තියෙන දේවලින් පටන්ගෙන තියෙන්නේ. පිහිටීම, ජෛව විවිධත්වය, නොමිලේ අධ්‍යාපනයෙන් දියුණු වූ මානව සම්පතේ වාසිය අපිට ගත හැකියි.

Please wait while flipbook is loading. For more related info, FAQs and issues please refer to DearFlip WordPress Flipbook Plugin Help documentation.

සංවර්ධනය – ධනේශ්වර සංකල්ප සීමාව විනිවිද දකිමු!