ශ්‍රී ලංකාවේ රාජ්‍යය ව්‍යවසායකයන්ගේ ඉරණම

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳව සැලැකිය යුතු මට්ටමේ කතිකාවතක් මේ වන විට සමාජය තුළ නිර්මාණය වී තිබේ. ඇතැම් දෙනා පවසන්නේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සපයන මෙම රාජ්‍ය ව්‍යවසායයන් මේ වන විට රටට සහ මහජනතාවට බරක් වී ඇති බව ය. නිදහසින් පසුව මෙරට රාජ්‍ය ව්‍යාවසායවල ක්‍රියාකාරීත්වය පිරික්සීමේ දී තහවුරු වන ප්‍රධාන සාධකයක් වන්නේ මෙම ආයතන  පිළිබඳව වන නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තියක් ගෙවුණ වසර 74ක කාලය තුළම ක්‍රියාත්මක වී නොමැති බව ය. මේ වන විටත් මෙම බොහෝ ආයතන පිරිහීමකට ලක්ව තිබෙන අතරථ අකාර්යක්ෂමතාව, වංචාව, දූෂණය සහ අධික සේවක අතිරික්ත ඒවායේ දක්නට ලැබෙන ව්‍යුහගත ගැටලු බවට පත්ව තිබේ. රාජ්‍ය ව්‍යවසායවලට මෙවැනි ඉරණමක් අත් වීමට හේතු වූ කරුණු පිළිබඳව කිසියම් අවබෝධයක් ලබා ගැනීම සඳහා ගෙවුණු දශක 07ක කාලය තුළ එම ආයතන විෂයයෙහි ඒ ඒ කාලවල පැවැති ආණ්ඩු අනුගමනය කල ප්‍රතිපත්ති සහ ඒවායේ වෙනස් වීම් සිදු වූ ආකාරය පරීක්ෂා කිරීමෙන් ලබා ගත හැකි ය.

1955 ට පෙර කාලය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායවල ආරම්භය දෙවන ලෝක යුද සමය දක්වා විහිද යන්නකි. දෙවන ලෝක යුද්ධ සමයේ දී රාජ්‍ය අංශයේ කර්මාන්ත කිහිපයක් පිහිටුවනු ලැබ තිබෙන අතර, ඒ යුද්ධයට අවශ්‍ය සැපයුම් පවත්වාගෙන යාම සඳහා ය. එලෙස ආරම්භ කර තිබෙන කර්මාන්ත අතර විවිධ නිෂ්පාදන සිදු කරන කර්මාන්ත ශාලා කිහිපයක්ම විය. සිමෙන්ති, වානේ, කෝස්ටික් සෝඩා, ආහාර සැකැසීම්, රෙදිපිළි සහ කඩදාසි යන කර්මාන්ත ඒ අතුරින් ප්‍රධාන ය. කොහු (1940), බූට් සහ සපත්තු (1941), වානේ රී-රෝලිං (1941), ප්ලයිවුඞ් (1941), කඩදාසි (1942), ඇසිටික් අම්ලය (1942), ක්විනීන් සහ ඖෂධ (1943), වීදුරු (1944) සහ සෙරමික් (1944) වැනි නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය කම්හල් පිහිටු වීමට මේ ආකාරයට එවකට පැවැති යටත්විජිත ආණ්ඩුව මැදිහත් විය. 1955ට පෙර පැවැති බොහොමයක් රජය සතු කාර්මික හා කර්මාන්ත කටයුතු එවකට පැවැති කර්මාන්ත දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක විය.

1947දී බලයට පත් වූ එජාප ආණ්ඩුවේ නායකයන් අතුරින් බොහොමයක් කෘෂිකර්මයට හිතවත්, ඉඩම්, දේපළ හිමි අයයි. මෙම ආකල්පය මෙන්ම එවකට පශ්චාත් යුද සමයේ ඇති වූ ආහාර ද්‍රව්‍ය හිඟය කාර්මික සංවර්ධනයට වඩා කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වය දීමට ආණ්ඩු පෙළැඹීමට හේතුවක් විය. රජයේ කොමිෂන් සභාවක් සහ ලෝක බැංකුව ලෙස හඳුන්වන වන ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව (IBRD), කාර්මික ව්‍යාපාරවලට රාජ්‍ය කළමනාකරණයක් අවශ්‍ය නොමැති බවට නිර්දේශ කර ක්‍රමානුකූලව ඒවා රාජ්‍ය පාලයෙන් විසන්ධි කිරීමට යෝජනා කළේ ය. ඉන්පසුව 1955 අංක 19 දරන රජයේ අනුග්‍රහය ලබන සංස්ථා පනත මඟින් රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික අංශයට පැවරීම සඳහා අවශ්‍ය කරන මූලික නෛතික රාමුවක් ගෙන එන ලදී. 1957 දී අංක 49 දරන රාජ්‍ය කාර්මාන්ත සංස්ථා පනත හඳුන්වා දෙමින්, ඊට අදාළ පාලන ව්‍යුහය තව දුරටත් ව්‍යවස්ථාපිත කර තිබේ. එමෙන්ම ඒ වන විටත් ඛනිජ තෙල් නැවත පිරවීම, ඛනිජ  වැලි, ලුණු, පොහොර, ටයර්, පිටි ඇඹරීම, ප්ලයිවුඞ් වැනි අනෙකුත් මූලික කර්මාන්ත රාජ්‍ය විෂයපථය යටතේ ස්ථාපිතව තිබිණ. නමුත්, ඒවා පෞද්ගලික ආයෝජන සදහා විවෘත කරන ලෙස බලපෑම් එල්ල වෙමින් පැවැතිණ.  

1955-1977 කාලය

1956 ආණ්ඩු පෙරළියත් සමඟ සමාජය තුළ ආකල්පමය වෙනසක් ඇති වූ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) 1951 ප්‍රතිපත්ති ප්‍රකාශය පැහැදිළිව ප්‍රකාශ කළේ මහා වතු, ප්‍රවාහණ, බැංකු සහ රක්ෂණ ඇතුළු සියලුම අත්‍යවශ්‍ය සේවාවන් ක්‍රමානුකූලව ජනසතු කළ යුතු බවයි. ඒ අනුව නැවත වරක් රාජ්‍ය පාලිත ව්‍යවසායයන් රජය යටතේම තබා ගත යුතු බවට වන ප්‍රවාදයක් ගොඩනඟනු ලැබී ය. එය හුදෙක් සිදු වූයේ එවකට පැවැති වාමාංශික දේශපාලන මතවාදයේ බලපෑම සහ ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා විපක්ෂය විසින් ගෙන ගිය එජාපයට එරෙහි ප්‍රවාදයක් ලෙසය. ඒ අනුව, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව කෘෂිකාර්මික සංවර්ධන මොඩලයෙන් කාර්මිකකරණය සඳහා වන මොඩලයට මාරු විය. 1956දී රාජ්‍ය ව්‍යවසායයන් ශ්‍රී ලංකා රජය යටතේ පවත්වා ගත යුතු බවට වන මතවාදයට මාරු විය. සංවර්ධන මතවාදයේ එවකට පැවැති ප්‍රමුඛ චින්තනය අනුගමනය කරමින්, අනුප්‍රාප්තික ආණ්ඩු ආනයන ආදේශන ප්‍රමුඛ කාර්මිකකරණය සහ නිෂ්පාදනය, වෙළෙඳාම සහ මූල්‍ය සඳහා සෘජු රාජ්‍ය මැදිහත්වීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ය. 1950 ගණන්වල අගභාගයේ විශාල පෞද්ගලික සමාගම් ජනසතු කිරීම මඟින් මෙම ප්‍රතිපත්ති අනුගමනය කරන ලදී. බස් සමාගම්, රක්ෂණ සහ විදේශීය සමාගම් රැසක් ඒ යටතේ නැවත ජනසතු කරන ලදී. 1958දී ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීම මෙම ප්‍රවාදයේ සලකුණක් වන අතර, ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) සහ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) 1960 ගණන්වල පිහිටුවන ලද්දේ ද මෙම ප්‍රතිපත්තිය යටතේ ය. නමුත් මෙම තීරණ විචක්ෂණ ගණන් බැලීමකින් පසුව ගන්නා ලද රාජ්‍ය ප්‍රතිපත්තිමය තීරණ නොවී ය.

CPC to supply 1,500MT of crude oil daily to CEB - NewsRadio - English

තව දුරටත් එම ප්‍රතිපත්තියේම ඉදිරියට යමින් 1960 දශකයේ ආරම්භයත් සමඟ මූල්‍ය වෙළෙඳපොළ තුළ රාජ්‍ය ව්‍යවසායයන් ආරම්භ කරනු ලැබීය. මහජන බැංකුව 1961දී පිහිටුවන ලදී. මහා පරිමාණ රාජ්‍ය ව්‍යවසායයන් සහ ඒකාධිකාරයන් ඇති කිරීම මඟින් 1960 දශකයේ මැද භාගයේ දී හා 1970 එළැඹෙද්දී, වාණිජ බැංකු ආරම්භ කිරිම, ප්‍රධාන වාණිජ සමාජ-ආර්ථික ක්‍රියාකාරකම් ලෙස සැලැකිය හැකි මූල්‍ය හා රක්ෂණ, ප්‍රවාහණය, විදුලිය, ඛනිජ තෙල් බෙදාහැරීම, විශාල ප්‍රමාණයේ වාණිජ වතු වගා ආදිය රාජ්‍ය ව්‍යවසායයන් ලෙස පාලනය කරන ලදී.

1971 ව්‍යාපාර අත්පත් කර ගැනීමේ පනත පෞද්ගලික අංශයේ ව්‍යාපාරික කටයුතු ජනසතු කිරීම වේගවත් කළේ ය. 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ විධිවිධාන යටතේ 1975දී වැවිලි ජනසතු කරන ලද අතර, මේ සියල්ලෙන් අදහස් කළේ රාජ්‍ය අංශයේ වේගවත් ව්‍යාප්තියකි. 1970 සිට 1977 දක්වා කාලය තුළ රාජ්‍ය අංශයේ රැකියා නියුක්තිය පස් ගුණයකින් වැඩි වූ අතර දළ දේශීය නිෂ්පාදිතයේ කොටස වැඩි වූයේ 3%කින් පමණි. විශේෂයෙන්ම රාජ්‍ය අංශයට බඳවා ගැනීම් සම්බන්ධයෙන් වන දූෂණය සහ දේශපාලන අනුග්‍රහය වැඩි වීම ද මේ සමඟම සිදු විය. අක්‍රමිකතා හා බැඳුණු මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් සහ විද්‍යානුකූල නොවන සහ ජනප්‍රියවාදී අරමුණුවලට සහාය දීමෙන් දේශපාලන සහ සමාජ සහයෝගය දේශපාලන පක්ෂ ලබා ගත්තේ ය. පෞද්ගලික අංශයේ ව්‍යාපාර ජනසතු කිරීම මේ ආකාරයට රැල්ලක් ලෙස සිදු කරනු ලැබී ය. 1970 වන විට රජය සතු කර්මාන්ත සංඛ්‍යාව 23ක් දක්වා වැඩි විය. 1974 වන විට එය 28ක් විය. 1974 වන විට රාජ්‍ය අංශයේ කර්මාන්තවල මුළු ප්‍රාග්ධන ආයෝජනය රුපියල් මිලියන 2,346ක්  දක්වා ඉහළ ගොස් තිබුණු අතර, මෙම රාජ්‍ය ව්‍යවසායයන් තුළ රැකියා අවස්ථා 47,525ක් පමණ නිර්මාණය කර තිබිණ.  

1977 – 88 කාලය

1977දී සිදු වූ ආණ්ඩු පෙරළියත් සමඟ පෞද්ගලිකකරණය රාජ්‍ය ප්‍රතිපත්තියේ කොටසක් බවට පත් වුණේ එතෙක් පැවැති රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ අදහස උඩුයටිකුරු කරමිනි. රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික අංශයට විකිණීම ප්‍රතිපත්තිය බවට පත් වූ අතර, ඊට අදාළ නීතිරීති අලුතින් සකස් කරන ලදි. ඒ වන විට රාජ්‍ය ව්‍යවසායවල ඇතිව තිබූ බිඳවැටීම මෙම ප්‍රවාදය සමාජගත කිරීමට සරු පසක් සැකැසී ය. පෙද්ගලිකකරණය පිළිබඳව වන මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට උපකාර කිරීම සඳහා නෛතික සහ ආයතනික ව්‍යුහ පිහිටුවීම ද සිදු විය. පොදු සංස්ථා පනත (Public Corporation Act No. 22) පිහිටුවමින් සියලුම රාජ්‍ය ව්‍යවසායයන් ඒ යටතට පත් කරනු ලැබී ය.

රාජ්‍ය සංස්ථා හෝ රජය සතු ව්‍යාපාර පෞද්ගලිකකරණය හෝ  පරිවර්තනය කිරීම සඳහා අංක 23 දරන පොදු සමාගම්වලට අදාළ ව්‍යාපාරික ආයතන පනත ස්ථාපනය කළේ ය. පෞද්ගලිකකරණය පිළිබඳ ජනාධිපති කොමිසමක් පිහිටුවමින් මෙම ක්‍රියාවලිය වේගවත් කරනු ලැබී ය. රාජ්‍ය ආයෝජන කළමනාකරණය සඳහා විශේෂ මණ්ඩලයක් පිහිටුවනු ලැබී ය. මුදල් අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ව්‍යවසායයන් වාණිජකරණය කිරීම සඳහාම වෙන් වූ වෙනමම අංශයක් ද ස්ථාපනය කරනු ලැබී ය. රටේ ප්‍රවාහණ අංශය සහ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය පෞද්ගලික අංශය වෙත විවෘත කරන ලද අතර, පෞද්ගලික බස්රථ කර්මාන්තය ද ඒ සමඟම ආරම්භ කෙරිණි. මෙහි දී ඇතැම් ආයතන සහ ක්‍ෂේත්‍ර ඈවර කිරීම, පෞද්ගලික අංශය සමඟ කළමනාකරණ ගිවිසුම් ඇති කර ගැනිම සහ බලය පැවරීම, හවුල් ව්‍යාපාර හෝ මුළුමනින්ම විකුණා දැමීම වැනි ක්‍රම රැසක් අනුගමනය කරනු ලැබී ය. මෙම ප්‍රතිපත්තිමය පිටපැනීම සුසමාදර්ශයක් (ච්ර්ාසටප ියසඓ) බවට පත් විය. ඉන් පසුව ක්‍රමක්‍රමයෙන් රාජ්‍ය ව්‍යවසායයන් පෞද්ගලිකකරණයට ලක් කෙරුණු අතර, ආර්ථිකයේ ඉතාම තීරණාත්මක ක්‍ෂේත්‍ර වෙත පෞද්ගලික ආයෝජන කැඳවිණි. එය මෙරට රාජ්‍ය ව්‍යවසායයන් පෞද්ගලික අංශයට විකුණා දැමීමේ පළමු රැල්ල විය. 

1989-1993 කාලය

රාජ්‍ය ව්‍යවසායයන් පෞද්ගලිකකරණයේ දෙවන රැල්ල ආරම්භ වන්නේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ ය. පෞද්ගලිකකරණය උපක්‍රමික ලෙස ‘ජනතාකරණය’ ලෙස හඳුන්වමින් රටේ රාජ්‍ය ව්‍යවසායයන් එකින් එක විකුණා දමනු ලැබී ය. කොළඹ කොටස් වෙළෙඳපොළ සංවර්ධනය කරමින් පෞද්ගලික ව්‍යවසායයන් හා පෞද්ගලික ආයෝජකයන් දිරිමත් කෙරිණි. මුදල් අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ව්‍යවසායයන් වාණිජකරණය සඳහා වෙනමම අංශයක් නැවතත් ස්ථාපනය කළේ ය. රාජ්‍ය ආයෝජන කළමනාකරණ මණ්ඩලය ද ස්ථාපනය කළේය. රාජ්‍ය අංශයේ  ඇති ව්‍යවසායයන් ප්‍රතිසංස්කරණ හෝ ජනතාකරණය කරන මුවාවෙන් එවැනි ආයතන  43ක් විකුණා දැමීම හෝ කොටස් වශයෙන් පැවරීමට මෙම කාලය තුළ කටයුතු සිදු කරනු ලැබී ය. මෙම ගනුදෙනු මුළුමනින්ම සිදු වූයේ දේශපාලන හිතවත්කම් මත ය. ආණ්ඩුවේ දේශපාලකයෝ, ඔවුන්ගේ හිතමිතුරෝ සහ ඥාතීහු මේ බොහොමයක් ආයතන ඉතාම අඩු මිල ගණන්වලට මිල දී ගත්හ. රජය සතු වටිනා තේ වතු අක්කරය රුපියල් 100.00 බැගින් විකුණා දැමී ය. සෙසු ආයතනවලට ද අත් වූයේ එම ඉරණමම ය. උදාහරණයක් ලෙස ‘කාබූල් ලංකා’  ආයතනය රජය සතු රෙදිපිළි නිපදවන දැවැන්ත  කර්මාන්ත ශාලාවක් වූ අතර, ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක් වූ එහි සැබෑ වටිනාකම වෙනුවට ඊට වඩා අඩු මුදලක් වන ඩොලර් මිලියන 7ක මිලකට අලෙවි කරනු ලැබී ය. මෙවැනි සිදුවීම් අතිවිශාල ප්‍රමාණයක් අදාළ කාලය තුළ සිදු විය. විකුණා දමන ලද හෝ බදු දෙන ලද හෝ රජය සතු වතු වගාවන් බොහොමයක් මේ වන විටත් විනාශ වී ඇති අතර, ඊට හේතු වී තිබෙන්නේ නිසි නඩත්තුව සහ නැවත වගාවන් සිදු කිරීම වැනි කල් පවත්නා පියවර කිසිවක් අනුගමනය නොකරමින් ඵලදාව පමණක් රැස් කිරීම නිසා ය. 

1994-2000 කාලය

රාජ්‍ය ව්‍යවසායයන් පෞද්ගලිකකරණයේ 3 වන රැල්ල ආරම්භ වන්නේ 1994 චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය යටතේ ය. ‘මානුෂික මුහුණුවරක් සහිත නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයක්’ යන පාඨය මුලට දමා මෙම කටයුතු සිදු කෙරුණු අතර, රටේ ඉතාම වැදගත්ම ව්‍යාපාර රැසක් මේ කාලය තුළ ද විකුණා දමනු ලැබී ය. විදුලි සන්දේශ, ගුවන්සේවා, ගෑස් සහ බලශක්ති, රාජ්‍ය ස්කාගාර සංස්ථාව වැනි ඉතාම වැදගත් ක්‍ෂේත්‍ර මේ ආකාරයට විකුණා දමනු ලැබීය . මෙම ක්‍රියාවලියේ තිබූ අන්ත දූෂිත බවට හොඳම නිදසුනක් රාජ්‍ය ස්කාගාර සංස්ථාව පෞද්ගලිකකරණය තුළ දැකිය හැකි ය. සිය හිතවතකු වූ හැරී ජයවර්ධන නමැත්තාට ඒ වන විටත් අධික ලෙස ලාභ ලබමින් තිබූ රාජ්‍ය ස්කාගාර සංස්ථාව විකුණා දැමීය. අදටත් මෙරට මද්‍යසාර වෙළෙඳපොළේ ඒකාධිකාරය එම සමාගම විසින් පවත්වා ගෙන යමින් අධික ලෙස ලාභ උපයයි.

1996දී විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව පිහිටුවන ලද අතර එමඟින් විදුලි සන්දේශ කර්මාන්තය පෞද්ගලික අංශය සමඟ බද්ධ කරනු ලැබීය. 1996 රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව (PERC) පාර්ලිමේන්තු පනතක් යටතේ පිහිටුවන ලදී. පෞද්ගලිකකරණ ක්‍රියාවලිය ව්‍යුහගත කිරීම සහ  ඒ බව සහතික කිරීමට සහ විනිවිද පෙනෙන ආකාරයෙන් එම පෞද්ගලිකකරණය සිදු කිරිම මෙහි අරමුණ ලෙස ප්‍රකාශ විය. නමුත් වංචා, දූෂණ කිසිවක් නතර වූයේ නැත. මෙම විකුණා දැමීම් විවිධ ආකාරයට සිදු වූ අතර, විවෘත ටෙන්ඩරයක් සහ තරගකාරී ලංසු තැබීමක් මත බහුතර කොටස් ආයෝජකයන්ට විකිණීම, කළමනාකරණ ගිවිසුම් සහ සේවක මිල දී ගැනීම් වැනි උපායමාර්ග අනුගමනය කෙරිණි. අවසානයේ සිදු වූයේ තවත් ලාභ ලබමින් තිබූ ආයතන රැසක් රටට අහිමි වීම පමණි.

2001-2004 කාලය

මහජන සේවා සපයන ආයතන සහ උපයෝගිතා සේවා නියාමනය සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පිහිටුවන ලද්දේ 2002දී ය. එය ආර්ථිකයේ බහු-අංශ නියාමනයන් බලාත්මක කිරීම අරමුණු කළ බව ප්‍රකාශ කළත්, එහි විෂයපථය විදුලි කර්මාන්තය නියාමනය කිරීමට පමණක් සීමා විය. එය ද අර්ධ වශයෙනි. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ලංකා මැරීන් පෞද්ගලිකකරණය මෙම කාලය තුළ සිදු විය. මෙම කාලසීමාව තුළ රාජ්‍ය ව්‍යවසායයන් 98කට ආසන්න ප්‍රමාණයක් හා යටිතල පහසුකම් සම්බන්ධ රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලිකකරණය කර ඇත. මෙම පෞද්ගලික අංශයට විකුණා දැමීම් විධිමත් කිරිම සදහා 2004දී උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ නියෝජිතායතනය (SEMA) සහ ආර්ථික සංවර්ධන ජාතික සභාව (NCED) පිහිටුවිය. ඒ සියල්ල සිදු කරනු ලැබුවේ ‘රජය ව්‍යාපාර කිරීමෙන් වැළැකී සිටිය යුතු ය’ යන ප්‍රවාදයේ සිට ය. නමුත්, බොහෝ විට සිදු වූයේ සාර්ථක රාජ්‍ය ව්‍යාපාර සිය හිතවතුන්ට අලෙවි කිරීම ය. 

2005-2014 කාලය

එක්සත් ජනතා නිදහස් සන්ධානය පෞද්ගලිකකරණයට විරුද්ධ බව ප්‍රකාශ කරමින් බලයට පැමිණි ආණ්ඩුවකි. රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිපත්තියක් ලෙස පිළිගත්ත ද, ඒවා ප්‍රවර්ධනය උදෙසා සහ ඒවායේ ඒ වන විටත් පැවැති ගැටලු විසඳීම සඳහා මෙම කාලය තුළ ද කිසිදු පියවරක් ගත්තේ නැත. ඇතැම් ප්‍රධාන ව්‍යවසායයන් නැවත ජනසතු කිරීම ද මේ කාලයේ දී සිදු විය. නිදසුනක් ලෙස ‘ශ්‍රී ලංකන් ගුවන් සේවය’ 2008දී ජනසතු කරන ලදී. නමුත් එය සිදු වූයේ අතිශය පෞද්ගලික කරුණක් හේතුවෙන් බව ප්‍රකට කරුණකි. මේ අතර 2010දී රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධනය වෙනුවෙන් වෙනමම අමාත්‍යාංශයක් පිහිටුවන ලදී. බැංකු, බලශක්ති, ප්‍රවාහණ සහ වැවිලි වැනි අංශවල රාජ්‍ය ව්‍යවසායයන් කිහිපයක් කළමනාකරණය කිරීම සඳහා උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ නියෝජිතායතනය ප්‍රතිසංස්කරණයකට ලක් කරන ලදී. රාජ්‍ය සම්පත් කළමනාකරණ සංස්ථාව  පිහිටුවන ලද්දේ සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින සමාගමක් ලෙසය. නමුත්, මේ කිසිවකින් ප්‍රශ්නය විසඳුණේ නැත. එමෙන්ම 2009 වසරේ ශ්‍රී ලංකා ෂෙල් ගෑස් සමාගම සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන්  නැවත ජනසතු කිරීම සිදු විය. මේ බොහෝ ගනුදෙනු අන්ත දූෂිත බවට සාකච්ඡාවට ලක් විය. 

2015න් පසු තත්ත්වය

යහපාලන ආණ්ඩුව ප්‍රධාන වශයෙන් පෞද්ගලික අංශය වෙත වැඩි බරකින් කටයුතු කළේය. රාජ්‍ය ව්‍යවසායයන් ඉක්මවා යමින් හම්බන්තොට වරාය වැනි ජාතික සම්පත් විකුණා දමන තැනකට පත් විය. මේ සඳහා මූලික ලෙස හේතු වූයේ රාජ්‍ය අයවැයකරණයට අදාළ මුදල් සම්පාදනයයි. අයවැය පරතරය වේගයෙන් ඉහළ යමින් රාජ්‍ය ආදායම හා වියදම අතර විශාල පරතරයක් වර්ධනය වීම දරුණු වීම මෙම කාලයේ සිදු විය. අද රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයට ප්‍රධානම හේතුව වන රාජ්‍ය ආදායම් – වියදම් ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසායයන් පමණක් නොව සෙසු ජාතික සම්පත් ද විකුණා දමන ඛේදනීය තත්ත්වයක් ඇති කළේ මෙවැනි ප්‍රවාද හේතුවෙනි. ඒ අතර වගවීමේ මට්ටම වැඩි කරන අතරම වාණිජ නිදහස ලබා දෙන රාජ්‍ය ව්‍යවසායයන් සඳහා නියාමන රාමුවක් ආරම්භ කිරීම සිදු කළේ ය. නමුත්, රාජ්‍ය ව්‍යවසායවල කිසිදු ධනාත්මක වෙනසක් ඇති කිරීමට මෙම ක්‍රියාමාර්ග හේතුවක් නොවී ය. මේ අතර 2021දී රජය විසින් ‘සීමාසහිත සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට්ස්’ නමින් සමාගමක් පිහිටුවන ලදී. එය සම්පූර්ණයෙන්ම රජය සතු සමාගමක් වන අතර, එය ඉහළ මට්ටමේ දේපළ වත්කම් කිහිපයක් කළමනාකරණය කිරීමට සහ ඒකාබද්ධ කිරීමට කටයුතු කළේය. එය ස්ථාපනය කරන ලද්දේ සිංගප්පූරුවේ සහ මැලේසියාවේ දක්නට ලැබෙන ‘හෝල්ඩින්’ සමාගම් ආකෘති අනුව බව ප්‍රකාශ විය. එහි අවසාන ඉලක්කය වූයේ අයවැයකරණයට අදාළ මුදල් සම්පාදනය සඳහා රජය සතු ඉතාම වටිනා වාණිජ ඉඩකඩම් විකුණා දැමීමයි.

මේ වන විට රාජ්‍ය ව්‍යවසායයන් විකුණා දැමීමට පක්ෂව ගොඩනගන තර්ක අතර ආකාර්යක්ෂම බව, පාඩු ලැබීම, සේවක අතිරික්තය, දූෂණය වැනි කරුණු ගෙනහැර දැක්වුව ද, ඒ පිටුපස ඇති ඇත්ත ප්‍රස්තුත කරුණු මෙම දළ විශ්ලේෂණයෙන් වුව ද හඳුනා ගත හැකි ය. මේ අර්බුදයේ නිර්මාපකයන් නැතිනම් පීතෘවරුන් විසින්ම අද ඒ පිළිබඳව විශ්ලේෂණය කිරීම සරදමක් වැනි ය. දෙවනුව ගොඩනඟා ඇති තර්කය වන්නේ මේ වන විට මෙම රාජ්‍ය ව්‍යවසායයන් අධිකතර ලෙස දේශීයව මෙන්ම විදේශීයව ද ණය වී තිබීමයි.

  • විමර්ශන (2022 දෙසැම්බර්)

ශ්‍රී ලංකාවේ රාජ්‍යය ව්‍යවසායකයන්ගේ ඉරණම