සංස්කෘතිය යනු කුමක් ද?

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

මිනිසා සංස්කෘතික සත්වයකු බව පිළිගත් පොදු මතයයි. ලෝකයේ ජීවත් වන සියලු ජීවීන් අතුරින් සංස්කෘතියක් ගොඩනඟා ගත්, සංස්කෘතික සම්බන්ධතා තුළ ජීවත් වන එක ම සත්වයා ද වන්නේ මිනිසා ය. එය මිනිසා ලද ඓතිහාසික ජයග්‍රහණයකි. නමුත්, වර්තමානයේ මිනිසා අතීත සංස්කෘතික ලක්‍ෂණවල සිරකරුවකු බවට පත් වී හෝ සංස්කෘතික පිරිහීමක ගොදුරු බවට පත් වී හෝ සිටී. එය මානව සංහතියේ පැවැත්මට හිතකර වී නැත. සංස්කෘතිය සහ සමාජය පිළිබඳ නිවැරැදි කියැවීමක් අවශ්‍ය වන්නේ එබැවිනි. මෙම සාරාංශගත කෙටි ලිපිය ඒ වෙනුවෙනි.

සංස්කෘතිය යනු කුමක් ද?

සංස්කෘතිය පිළිබඳ සමාජයේ බොහෝ දෙනා තුළ ඇත්තේ, අසම්පූර්ණ අදහස් රැසකි. සංස්කෘතියේ සමස්ත අදහස එකඑල්ලේ, නිරවුල්ව ප්‍රකාශ කළ අදහසක් ලියොන් ට්‍රොට්ස්කි විසින් ඉදිරිපත් කර තිබේ. ඒ, “මිනිසාගේ සමස්ත ඉතිහාසය තුළ දී සොබාදහම තුළින් දෙන ලද දෙයට පටහැනිව මිනිසා විසින් නිර්මාණය කරන ලද, උගන්නා ලද හා ජයග්‍රහණය කරන ලද සියල්ල සංස්කෘතිය වේ” යන්නයි. මාක්ස්වාදී දෘෂ්ටියට අනුව එය සරලව ගත් විට සිය ඉතිහාසය තුළ මිනිසා විසින් අත් කර ගන්නා ලද සියලු ම ආධ්‍යාත්මික හා ද්‍රව්‍යමය වටිනාකම්වල එකතුව සංස්කෘතිය වේ.

සංස්කෘතියේ විවිධත්වය

25 Interesting Cultures Around the World with Unique Traditions | T2B

ඒකත්වය තුළ සංස්කෘතිය යනු එක් ප්‍රපංචයකි. සමස්ත මානව වර්ගයා විසින් ම ගොඩනඟන ලද දෙයකි. එහෙත්, එය ලොව පුරා පවතින්නේ එක හා සමාන ආකාරයකට නොවේ. එය රටෙන් රටට, විවිධ කලාපවලට, විවිධ කාලවලට අනුව ද විවිධත්වයක් පවතී. ඒ අනුව සංස්කෘතිය යනු විවිධත්වයේ ඒකත්වයකි. එමෙන් ම ඒකත්වයේ විවිධත්වයකි. සංස්කෘතියේ වටිනාකමත්, එහි අලංකරණයත්, සජීවී බවත් පවතින්නේ මෙම විවිධත්වය තුළ ය. සංස්කෘතිය මෙම විවිධත්වය සහිතව ඓතිහාසිකව පරිණාමය (වෙනස් වීම) ද වේ. සංස්කෘතිය විවිධ වර්ණවලින්, විවිධ රටාවලට අනුව අඳිනු ලබමින් පවතින නිම නොකළ සිතුවමක් බඳු ය.

මෙම සංස්කෘතික විවිධත්වයට හේතු වන ප්‍රධාන සාධක දෙකක් තිබේ.

  1. නිෂ්පාදන උපකරණවල සංවර්ධනයේ මට්ටම හෙවත් සමාජ සංවර්ධනයේ මට්ටම.
  2. විවිධ රටවල සහ විවිධ කලාපවල පවතින භූගෝලීය වෙනස්කම්.

විවිධ රටවල් තුළ පවතින නිවාස, ඇඳුම් පැළඳුම්, ආහාර රටා සහ චාරිත්‍රවල වෙනස්කම් ඇති වන්නේ මෙම පදනම මත ය.

සංස්කෘතිය වෙනස් වන ප්‍රපංචයක් ලෙස

නිෂ්පාදන බලවේග එකතැන පවතින්නේ නැත. එය ලෝකයේ අන් සියල්ල ම මෙන් අඛණ්ඩව වර්ධනය වෙමින් පවතී. ඊට අනුරූපව සමාජයද සර්පිලාකාර චලිතයක පවතී. ඊට අනුව සංස්කෘතිය ද වෙනස් වේ. පළමුව සංස්කෘතියේ භෞතික පාර්ශ්වය ද, ඊට අනුරූපව ම ආධ්‍යාත්මික පාර්ශ්වය ද දෙවනුව වෙනස් වේ.

අති පිරිසිදු සංස්කෘතියේ මිථ්‍යාව සහ සංස්කෘතික ආක්‍රමණ

ඉහතින් විස්තර කළ ආකාරයට සංස්කෘතිය එකතැන පවතින ඝනීභූත දෙයක් නොව නිතිපතා වෙනස් වන ගතික ප්‍රපංචයක් බැවින්, එය තව තව දේ එකතු කර ගන්නා අතර ම අතීතයෙන් උරුම වූ පැරැණි දේ ද ඒ තුළ රඳවා ගනී. ඒ අතර ම නව තත්ත්වයන්ට නොගැළපෙන පැරැණි දේ අභාවයට යවමින් වර්ධනය වේ. ඒ අනුව සංස්කෘතිය යනු අතීත ශ්‍රී විභූතිය පමණක් නොවන්නා සේ ම අතීතයෙන් තොර වර්තමානයක් ද නොවේ. එය අතීතය තමා තුළ ම ගැබ් කර ගත් වර්තමානය වේ. අතිපිරිසිදු සංස්කෘතියක් පිළිබඳව හෝ අතීත සංස්කෘතියක ශ්‍රී විභූතිය ගැන හෝ හඬාවැලපෙන්නේ මෙම සත්‍යය වටහා නොගත් අයයි. මානව සමාජයේ ඉතිහාසය තුළ දේපළ මත පන්ති සමාජය බිහි වූ දා සිට එය පිරී පවතින්නේ ආක්‍රමණවලිනි. දේපළ සහ භූමිය අත් කර ගැනීම සඳහා සිදු කරන ලද මෙම බොහෝ ආක්‍රමණවල මතුපිටින් ආගමික හා සංස්කෘතික වුවමනාවන් සම්බන්ධ කර තිබීම බොහෝ විට දැකිය හැකි ය. එමඟින් ආක්‍රමණයේ සැබෑ වුවමනාවන් සඟවා තබන ලදී. නිදසුන් ලෙස අතීත රෝම අධිරාජ්‍යය පැවැති අවධියේ යටත් කර ගත් රටවල රෝම සංස්කෘතිය තහවුරු කිරීමට ඔවුහු පියවර ගත්හ.

මෝගල් අධිරාජ්‍යය විසින් ඉන්දියාව යටත් කරන ලද විට ද, මෙම සංස්කෘතික ආක්‍රමණය සිදු විය. ‘ටජ්මහල්’ වැනි අගනා සංස්කෘතික සිහිවටන මෙන් ම ආගමික ගැටුම් සඳහා වූ බීජ ද එහි දායාදයන් විය. මෙම සංස්කෘතික ආක්‍රමණ සිදු වන්නේ සෘජු ආක්‍රමණ ලෙසට පමණක් ම නොවේ. සියුම් ලෙස හා වක්‍ර ලෙස සිදු වන ආක්‍රමණ ද තිබේ. ඒවා හඳුනා ගැනීම අපහසුය.

සංස්කෘතික පරිහානිය සහ නිර්ධන පන්ති සංස්කෘතිය

සැබෑ ලෙස ම සංස්කෘතික පරිහානිය යනු අතීතයේ පැවැති දේ (තමන් අගය කළ) වෙනස් වී තිබීම නොවේ. මානව සමාජයේ පැවැත්මට, එහි සංවර්ධනයට, මිනිසාගේ සාමුහික ක්‍රියාකාරීත්වයට සේවය කළ යුතු සංස්කෘතික ලක්‍ෂණ ඒ වෙනුවට ඒවාට බාධා කිරීමයි. නිදසුන් ලෙස මානව සමාජයේ සමඟියට, සාමුහිකත්වයට හානි කරන ආගමික, ජාතිකත්ව, වාර්ගික, ගෝත්‍රික ගැටුම් සංස්කෘතික පරිහානිය පෙන්වන ලක්‍ෂණ වෙයි. එය තනි තනි මිනිසාගේ වරදක් නොව ධනවාදයේ අර්බුදයේ සහ පරිහානියේ පිළිබිඹුවකි.

නිර්ධන පන්ති සංස්කෘතිය යනු දිළින්දන්ගේ සංස්කෘතිය නොවේ. එය ගොඩනැඟෙන්නේ දිළින්දන්ගේ දෘෂ්ටිය අනුව ද නොවේ. එය අනාගත දියුණු සමාජය නියෝජනය කරන සමාජ දෘෂ්ටිය වන නිර්ධන පන්ති දෘෂ්ටිය මත පදනම්ව ගොඩනැඟෙන සංස්කෘතික ලක්‍ෂණවලින් යුක්ත එකකි. ධනපති සමාජයක් තුළ දී නිර්ධන පන්ති සංස්කෘතිය පොදු නිර්ධන පන්ති ජනයා තුළ පවතින්නේ නැත. ඒ වෙනුවට එය පවතින්නේ නිර්ධන පන්ති විප්ලවකාරී ව්‍යාපාරය තුළ ය.

සංස්කෘතිය යනු කුමක් ද?