ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ මූලික හැඳින්වීමක්

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

පුද්ගලයකුගේ අනන්‍යතාව ඔහුගේ හෝ ඇයගේ ලිංගය, වයස, ජාතිය, කුලය, පංතිය, ආගම, වෘත්තිය හෝ රැකියාව, දේශපාලන බැඳීම සහ වෙනත් සාධක රාශියකින් සමන්විත වේ. මූලික මට්ටමින් පුද්ගලයකුගේ අනන්‍යතාව තීරණය වන්නේ ජීව විද්‍යාව හෝ ස්වභාවය මතයි. ‘ලිංගිකත්වය‘ (ීැං) යනු පුද්ගලයකු පිරිමියකු හෝ ගැහැනියක ලෙස සලකුණු කරන සාධකය වන අතර ලිංගික අවයවවල ස්වරූපය අනුව පුද්ගලයකු පිරිමි හෝ ගැහැනු ලෙස උපතේ දී වර්ග කෙරේ.

British Men Are Bigger Supporters Of Gender Equality Than Women: Survey

පුද්ගලයකුගේ අනන්‍යතාව ගොඩනැඟීමේ ඊළඟ මූලික සාධකය ස්ත්‍රී පුරුෂ සමාජභාවයයි (gender). එනම් එකී ලිංගික වෙනස්කම් සඳහා ලබා දී ඇති සමාජ/සංස්කෘතික අර්ථය සහ වටිනාකම් වේ. පුද්ගලයකුගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සෑම විටම ඔහුට හෝ ඇයට උපතේ දී ලබා දී ඇති ගැහැනු හෝ පිරිමි බව සමඟ හැම විටම සමපාත වන්නේ නැත. යම් තැනැත්තකු තමාගේ පිරිමි බව හෝ ගැහැනු බව වටහා ගන්නා ආකාරය ඔහුට හෝ ඇයට තිබෙන ලිංගික අවයවවලින් වෙනස් විය හැකි ය.

මෙම ස්ත්‍රී පුරුෂ අනන්‍යතාව පුද්ගලයා විසින්ම නිර්මාණය කර ගනු ලබන්නේ පුද්ගලයාගේ ලිංගිකත්වයට ආරෝපණය කර ඇති ගතිලක්ෂණ සහ එම පුද්ගලයා වටා සිටින දෙමාපියන්, පවුල, ඥාතීන්, මිතුරන්, පාසල, ප්‍රජාව, ජාතිය, ආගම, පුළුල් සමාජය හරහා සිදු වන බලපෑම් මඟිනි. නූතන ලෝකයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සම්මතයන්ට අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු ගැහැනු හෝ පිරිමි යන අන්ත දෙකක් නොව ඒ හරහා පවතින පුළුල් අනන්‍යතා පරාසයකි. එනම්, යමකුට තමන් ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ විවිධ තැන්වල සිට තමාව හඳුන්වා ගත හැකි ය. එය හැම විටම ගැහැනු හෝ පිරිමි හෝ විය යුතු නොවේ. එය සංක්‍රාන්ති සමාජභාවී වුව ද විය හැකි ය. වඩාත් වැදගත් වන්නේ සමාජය විසින් එම තැනැත්තාට ලබා දෙන අනන්‍යතාව නොව එම තැනත්තා තමාව හඳුන්වා ගන්නා ආකාරයට අප ගෞරව කළ යුතු වීමයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය අපට වැදගත් වන හේතු කිහිපයක් තිබේ

1. ශ්‍රමය ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත බෙදී පැවැතීම

ස්ත්‍රීන් හා පුරුෂයන් ජීවිතයේ කරන සහ ඉටු කරන කාර්යභාරයන් සහ වගකීම් නිෂ්පාදන (production) වැඩ (වැටුප් සහිත වැඩ), වැටුප් රහිත වැඩ, එනම් ළමා සුරැකුම් සහ ගෙදර-දොරේ වැඩ, වැඩිහිටි රැකවරණය ආදී වශයෙන් වර්ග කළ හැකි ය. සෑම සමාජයකම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව කාර්යයන්, ක්‍රියාකාරකම් සහ වගකීම් පවරනු ලැබේ. බොහෝ සමාජවල, ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ බල සම්බන්ධතා පිරිමින්ට පක්ෂව ක්‍රියාත්මක වන නිසා පිරිමින්ගේ කාර්යයන් සහ කාන්තාවන්ගේ කාර්යයන් සඳහා විවිධ වටිනාකම් ආරෝපණය කරනු ලැබේ. පිරිමින් වැඩිපුර නිෂ්පාදන වැඩවල සහ ප්‍රජා වැඩවල යෙදෙන අතර? කාන්තාවන්ට වැටුප් රහිත ප්‍රතිනිෂ්පාදන වැඩ පවරනු ලැබේ. ඒවා ලිබරල් ආර්ථික මිනුම් දඬු තුළට ඇතුළත් කර නොගනී. කාන්තාවන් බොහෝ විට පිරිමින්ට වඩා අඩුවෙන් විවේක කාලය භුක්ති විඳිනු දක්නට ලැබේ. මෙම ශ්‍රම විභජනය අභියෝගයට ලක් කරන පුද්ගලයන් සමාජය තුළ උපහාසයට හෝ පීඩාවට පත් කරනු ලැබේ.

2. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය

මෙය හුදු ශාරීරික හිංසනයට එහා ගිය ව්‍යුහාත්මක (systemic) හිංසනයකි. එනම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවී ඒකාකෘතිකරණය (gender stereotyping) හරහා ක්‍රියාත්මක වන හිංසනයයි. ඒකාකෘතියක් යනු සරල කරන ලද සහ/හෝ ප්‍රමිතිගත සංකල්පයක් හෝ විශේෂිත අර්ථයක් සහිත රූපයක් වන අතර, බොහෝ විට එක් සමාජ කණ්ඩායමක් ගැන මිනිසුන් විසින් පොදුවේ පවත්වාගෙන යන සාම්ප්‍රදායික අගතිගාමී මතවාදවලින් යුක්ත වෙයි. ස්ත්‍රී පුරුෂ සමාජභාවී ඒකාකෘති බොහෝ විට ස්ත්‍රී පුරුෂ ගති ස්වභාවයන් සහ ඔවුන්ගේ සමාජ වගකීම් පිළිබඳ දරන සාම්ප්‍රදායික මතවාදවලින් යුක්ත වේ. නිදසුනක් ලෙස පිරිමින් ගෘහමූලිකයන්, උපයන්නන්, සටන්කාමීන්, අසංවේදී මිනිසුන් සහ ශාරීරිකව ශක්තිමත් සමාජ කොටසක් ලෙස සලකන විට ගැහැනුන් ගෘහය පෝෂණය කරන්නියන්, රැකබලා ගන්නියන්, සියුමැලි, දුර්වල තැනැත්තියන් ලෙස උපකල්පනය කෙරේ. මෙය දෘෂ්ටිවාදයක් (ideology) ලෙස පිරිමින්ට සහ ගැහැනුන්ට යන දෙකොටසටම එරෙහිව ඉතා හිංසාකාරී ලෙස ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ කතිකාවක් ගොඩනැංවීමට අවශ්‍ය වන්නේ එය පවුල තුළ, රැකියා ස්ථානයේ සහ පොදුවේ සමාජය තුළ ද්‍රව්‍යමය හා දෘෂ්ටිවාදාත්මක මට්ටම්වල පීතෘමූලික පාලනය, සූරාකෑම සහ පීඩනය පිළිබඳ දැනුම්වත්භාවය සහ පරිවර්තනය සඳහා කාන්තාවන් සහ පිරිමින් යන සියල්ලන්ම බලගන්වන වන ක්‍රියාමාර්ගයක් වන හෙයිනි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ මූලික හැඳින්වීමක්