ජූලි මාසය අඳුරුකර වසර හතළිහයි

SHARE

ලාංකීය දේශපාලන ඉතිහාසයේ ඇති අඳුරුම කළු පැල්ලම් අතුරින් වඩාත්ම අඳුරු කළු පැල්ලමක් වන්නේ 1983 ‘කළු ජූලිය’ බව කිවහොත්, එය වැරැදි නැත. ඒ හරහා ලංකාවේ දේශපාලනයට සිදු කරන ලද බලපෑම ද සුවිශාල ය. එසේ වුවත්, සමාජයක් ලෙස එහි සැබෑ මූලයන් මොනවා ද යන්න නිවැරැදිව හඳුනා නොගැනීම නිසා, 1983න් පසුව පවා වරින්වර මේ දක්වාම එවැනි සිදුවීම් එක් එක් හැඩයන්ගෙන් කලඑළි බැසීම වළකාලීමට අපොහොසත් වී තිබේ. ඒ නිසාම කළු ජූලිය පිළිබඳ ගැඹුරු කියැවීමක අවශ්‍යතාව සමාජය හමුවේ පවතී.

අත්තනෝමතික බලයක්

’80 දශකය ආරම්භ වන විටත් උතුරේ යුදමය වටාපිටාවක් වර්ධනය වෙමින් පැවැතිණි. එසේම 1977දී බලයට පත් ජේ. ආර්. ජයවර්ධන පාලනය නව ලිබරල්වාදී ආර්ථික පිළිවෙතකට රට යොමු කිරීම සඳහා සැලැසුම් දියත් කළේ ය. ඒ සඳහා විශාල අත්තනෝමතික බලයක් ගොඩනඟා ගත්තේ විධායක ජනාධිපති ක්‍රමය සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද සම්මත කර ගනිමිනි. 1980 වැඩ වර්ජනය මැඬලූයේ දහස් ගණනකට

රැකියා අහිමි කරමිනි. 1981 යාපනය සංවර්ධන සභා මැතිවරණයේ දී අන්ත දූෂිත ලෙස රාජ්‍ය බලය යෙදැ වූ අතර, යාපනය පුස්තකාලය දවා හළු කළේ ආණ්ඩුවේ නොම්මර එකේ ජාතිවාදී නායකයන් විසින් මෙහෙයවනු ලැබූ මැර කල්ලි විසිනි. විරුද්ධ පක්ෂ සහ බලවේග මර්දනය කරමින්, 1982 ජනාධිපතිවරණය මඟින් ජේ. ආර්. තම දෙවන ධුර කාලය ආරම්භ කළේ ය.

නැඟී එන ජ.වි.පෙ.

ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව 1983දී පැවැත්වීමට නියමිත මහා මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජිතයන්ගේ පාර්ලිමේන්තු පැමිණීම වැළැක්වීමට අපහසු බව ජේ. ආර්. පාලනය තෙරුම් ගෙන සිටියේ ය. ඒ නිසා එය වැළැක්වීමට මහා මැතිවරණය වෙනුවට ජනමතවිචාරණයක් පවත්වනු ලැබූ අතර, ආණ්ඩුවේ මැර බලය උපරිමයෙන් යොදවා එය අන්ත දූෂිත ලෙස කොල්ලකන ලදී. මෙයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අතර, එය ආණ්ඩුවට විශාල අභියෝගයක් විය. ඒ අතර 1983 මැයි දින සමරුව වෙනුවෙන් ජවසම්පන්න පෙළපාළියක් ද, දැවැන්ත මැයි රැළියක් ද ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වන ලදී. මේ සියල්ල අනුව ජේ. ආර්. පාලනය තම අංක එකේ අභියෝගය ලෙස සැලැකිල්ලට ගත්තේ ජනතා විමුක්ති පෙරමුණයි. ඒ නිසා ජවිපෙ දේශපාලන භූමියෙන් ඉවත් කිරීම ඔවුන්ගේ ප්‍රධානම පංති අරමුණ වී පැවැතිණි.

එවකට පැවැති කලාපීය දේශපාලන ප්‍රතිවිරෝධතා සැලැකිල්ලට ගත් විට ද මෙය පැහැදිලි කර ගැනීම දුෂ්කර නොවේ. සමාජවාදී කඳවුරේ බලපෑම නිසාම එක්සත් ජනපදය දකුණු ආසියානු කලාපයේ තම දේශපාලන ඉත්තකු බවට ලංකාව යොදාගනිමින් පැවැතියේ ජේ. ආර්. පාලනය හරහා ය. රට තුළ වමේ බලයක් මතු වීම මහත් අනතුරක් ලෙස ඔවුහු නොසලකා හරිතැයි සිතිය නොහැකි ය.

කළු ජූලියේ ආසන්න සිදුවීම් 

1983 ජූලි මස මුල් භාගයේ දී රජයේ හමුදාව චාවාකච්චේරියේ දී එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයක දී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ආරම්භක සාමාජිකයකු ලෙස හැඳින්වෙන චාල්ස් ලූකස් ඇන්තනී හෙවත් ‘සීලාන්’ ඇතුළු කිහිප දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඊට ප්‍රතිප්‍රහාරයක් ලෙස ජූලි 23වනදා ගුරුනගර් කඳවුරින් පිටවුණු හමුදා ජීප්රියකට සහ ට්‍රක් රථයකට එල්ටීටීය විසින් බෝම්බ සහ වෙඩි ප්‍රහාරයක් එල්ල කරන ලදී. ඉන් හමුදා සෙබළුන් දහතුන් දෙනෙක් මිය ගියහ.

මෙම ප්‍රහාරයෙන් සිදු වූ මරණ පිළිබඳ අවසන් කටයුතු කොළඹ, බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට ආණ්ඩුව කටයුතු සූදානම් කළේ ය. මළසිරුරු ඥාතීන්ට භාර නොදීම සම්බන්ධයෙන් මිය ගිය අයගේ ඥාතීන් අතරත්, සිංහල ජනයා අතරත් නොසන්සුන්තාවක් ඇති විය. මේ තත්ත්වය සිංහල ජාතිවාදී කණ්ඩායම් තම වුවමනාවන්ට යොදා ගත් අතර, දෙමළ ජනයාට එරෙහිව ප්‍රහාර සිදු වීම ආරම්භ විය. දේපළ විනාශ කිරීම්, පහර දීම්වල සිට අමානුෂික මිනිස් ඝාතන දක්වා මෙය රට පුරා පැතිර ගියේ ය.

24 වැනි දින සවස කොළඹට ඇඳිරි නීතිය පැනෙව්වත්, කලහකාරී ක්‍රියා නතර කිරීමට පොලිසිය කටයුතු කළේ නැත. ජූලි 25 වැනි දින වැලිකඩ අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටි දෙමළ රැඳවියන් 37 දෙනකුට, ඒ තුළම සිටි සිංහල සිරකරුවන් විසින් පහර දී ඔවුන් මරා දමන ලදී.  26 වැනිදා රට පුරා ඇඳිරි නීතිය පනවන ලදී. එහෙත්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්පූර්ණයෙන් පාලනය නොවිණි. 28 වැනි දින ද වැලිකඩ සිරගෙදර තුළ දෙවැනි මනුෂ්‍ය ඝාතනය ද සිදු විය. එහි දී තවත් සිරකරුවන් 15 දෙනෙක් මිය ගියහ. 29 දින දක්වා ම රට තුළ දෙමළ ජනයාට එරෙහි තැනින් තැන ප්‍රචණ්ඩ ක්‍රියා සිදු විය.

ජේ. ආර්.ගේ දැක්ම

මෙම ඛේදවාචකයට දින දොළහකට පෙර ‘ඬේලි ටෙලිග්‍රාෆ්’ පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් දුන් ජනාධිපති ජයවර්ධන ප්‍රකාශ කළේ, “දෙමළ ජනතාවගේ මතය ගැන මම කරදර වෙන්නෙ නැහැ. දැන් අපට ඔවුන් ගැනවත්, ඔවුන්ගේ ජීවිත ගැනවත්, ඔවුන්ගේ මතිමතාන්තර ගැනවත් හිතන්න බැහැ. ඇත්තටම මම දෙමළ අයව හාමතේ තියල මරා දැම්මොත් සිංහල ජනයා සතුටු වෙනවා ඇති” යනුවෙනි.

සිදුවීම් අවසානයේ අලාභහානි තක්සේරු කිරීමට රාජ්‍ය කාර්යසාධක බළකායක් පත් කෙරිණි. ඔවුන්ගේ තොරතුරුවලට අනුව කර්මාන්ත 116කට හානි සිදු වී, නිවාස 18,000ක් විනාශ වී, ජනතාව 1,00,000ක්  අවතැන් වී සිටියහ. මිය ගිය සංඛ්‍යාව 3,000ක් පමණ විය.

භයානක ප්‍රතිඵල

රට පුරා සිංහල ජනතාව සමඟ සමඟියෙන්, සහජීවනයෙන් ජීවත්වූ දෙමළ ජනයා එම ප්‍රදේශවලින් සම්පූර්ණයෙන්ම පාහේ ඉවත්ව උතුරු ප්‍රදේශවලට සංක්‍රමණය වු අතර, කිසියම්ම හෝ හැකියාවක් ඇති අය රට හැර ගියහ. සිදුවීමෙන් දශක ගණනාවක් ගතව තිබිය දීත්, ඒ බිහිසුණු තුවාළවල වේදනා සමනය කර ගැනීමට සිංහල හා දෙමළ සමාජය තවමත් සමත් වී නැත.

එසේම දෙමළ සන්නද්ධ ව්‍යාපාර වෙත දෙමළ තරුණ කොටස් වේගයෙන් ආකර්ෂණය වීමට ළු ජූලි සිදුවීම් මහත් උත්ප්‍රේරකයක් විය. මරාගෙන මැරෙන ප්‍රහාරක කණ්ඩායම් සහිත ලොව දරුණුම හා බලවත්ම සන්නද්ධ සංවිධානයක් බවට පත් වීමට දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට විශාල පසුබිමක් සැකැසුණේ මෙමඟිනි.

පංති වුවමනාව ඉටු කර ගැනීම 

ඒ අතර ජේ. ආර්. ජයවර්ධන පාලනය තම ප්‍රමුඛ පංති වුවමනාව ඉටු කර ගැනීමට ඉක්මන් විය. ජූලි මාසයේ දෙමළ විරෝධී ප්‍රහාර මැද ආණ්ඩුවේ ප්‍රතිචාරය වඩාත් දරුණු අතට හරවමින් මුලින්ම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ නව සමසමාජ පක්ෂය මත මෙම සිදුවීම්වල වරද පටවන ලදී.  දින කිහිපයකට පසුව එම පක්ෂ තුන ජාතිවාදී ප්‍රහාරවල පිටුපස සිටි බවත්, ඒ පක්ෂ ඊට වගකිව යුතු බවත් ආණ්ඩුව දිගින් දිගටම ගුවන්විදුලියෙන් ප්‍රචාරය කළේ ය. ඒ අනුව 1983 ජූලි අග හදිසි නීතිය යටතේ ජනතා විමුක්ති පෙරමුණත්, නව සමසමාජ පක්ෂයත්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත් තහනම් කරන ලදී. “ජාතිවාදී සිදුවීම් මුවාවෙන් රාජ්‍ය බලය බලහත්කාරයෙන් ලබා ගන්නට කුමන්ත්‍රණය කළේ ය” යන්න ඔවුන්ට එල්ල වූ චෝදනාවයි. ඔවුන්ට ආරක්ෂාව සපයන ඕනෑම කෙනකුගේ දේපළ රාජසන්තක කරන බව ද ආණ්ඩුව මහජනයාට දැනුම් දුන්නේ ය. අත්අඩංගුවට අවශ්‍යව සිටින පුද්ගලයන් වශයෙන් ආණ්ඩුව ඒ පක්ෂ තුනේ නායකයන් නම් කරන ලදී.

කොමියුනිස්ට් පක්ෂයේ නායකයෝ මුලින්ම ආණ්ඩුවට භාර වුහ. ඔවුහු කාලයක් මීගමුව බන්ධනාගාරයේ රඳවාගෙන සිටියහ. පසුව පරීක්ෂණයක් කළ බව කියා ඔවුන් නිදහස් කළ අතර, පක්ෂ තහනම ඉවත් කරන ලදී. නව සමසමාජ පක්ෂයේ නායකයන් ද පොලිසියට භාර වූ අතර, පසුව ඔවුන් ද නිදහස් කර පක්ෂ තහනම ද ඉවත් කරන ලදී. නමුත්, ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ පොලීසියට භාර නොවූහ.

ඒ නිසා ජ.වි.පෙ. තහනම එලෙසම පැවැති අතර, එහි නායකයන් සොයා ගැනීමට ආණ්ඩුව අපොහොසත් විය. මෙසේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ ඉතා හොඳින් කටයුතු කරමින් සිටි දේශපාලන පක්ෂයක් කිසිදු සාධාරණ හේතුවකින් තොරව තහනම් කිරීම වසර කිහිපයකට පසු රට තුළ මහත් බිහිසුණු තත්ත්වයක් ඇති වීම දක්වා දුරදිග ගියේ ය.


සමාවාදී තරුණ සංගමය විසින් සංවිධානය කරන ලද “පාට ගොඩක්- එකම රටක්” මතකයන්…

No photo description available.
No photo description available.
No photo description available.
No photo description available.
No photo description available.
No photo description available.
No photo description available.



ජූලි මාසය අඳුරුකර වසර හතළිහයි