ජාතිවාදයෙන් තොර සමාජයක්!

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ජාතිවාදයට හේතුවන සාධක

ලොව පුරා ජාතිවාදය හා ආගමික අන්තවාදය පැවතීමටත් ඒවා එකිනෙකට එරෙහි සතුරු ගැටුම් ලෙස වර්ධනය වීමටත් බලපාන හේතු රැසක් තිබේ. ඉන් ප්‍රධානම කරුණු කිහිපය මෙසේ දළ වශයෙන් කෙටියෙන් සඳහන් කළ හැක.

  1. අතීතයෙන් උරුම වන සම්ප්‍රදායන් හා මිත්‍යා මත
  2. තමන්ගේ ජාතිය හා ආගම උතුම් යයි සිතන පොදු මනෝභාවය
  3. බලය පිළිබඳ ප්‍රශ්නයේදී මෙවලමක් ලෙස පාවිච්චි කිරීම
  4. ආර්ථික අරමුණු සඳහා යොදාගැනීම
  5. සමාජයේ පංති පීඩනය ප්‍රකාශයට පත්වන වැරදි ක්‍රමයක් ලෙස පැවතීම ආදිය සැලකිය හැක.

ලොව සාතිශය බහුතරයක් මිනිසුන් තුළ ජාතිවාදය, ගෝත්‍රවාදය, වර්ණභේදය, ආගමික අන්තවාදය හා කුලවාදය ආදී මනෝභාවයන් පවතී. එහෙත් එම මනෝභාවයන් තිබූ පමණින් ඒවා ගැටුම් බවට පත් වන්නේ නැත. ජාතිවාදී ආගම්වාදී මනෝභාවයන් චින්තනයන් ගැටුම් දක්වා වර්ධනය වන්නේ අප ඉහත සඳහන් කළ සමහර සාධකවල බලපෑම සමගය. එහිදී බල වුවමනාවත් හා ආර්ථික වුවමනාවත් සමාජයේ පංති පීඩනය විසින් ජනිත කරන තත්වයනුත් ප්‍රධාන තැනක් ගනී.

අතීත සම්ප්‍රදායන්ගේ බලපෑම

ඕනෑම යුගයක වර්තමාන සමාජයේ සමාජ විඥානයත් පුද්ගල විඥානයත් සකස්වීමේදී අතීත සම්ප්‍රදායන් හා ඉගැන්වීම් විසින් ඉටුකරනු ලබන කාර්යය ඉතා විශාලය. අතීතයේ සිට පරපුරෙන් පරපුරට ගලා එන දැනුම තුළ, ඉගැන්වීම් තුළ, සම්ප්‍රදායන්, සිරිත් විරිත් තුළ මිනිසාගේ අතීතයේ ඉතා වැදගත් වටිනාකම් මෙන්ම මිත්‍යාවන්ද, වැරදි මතද, නොගැලපෙන සිරිත් විරිත් හා සම්ප්‍රදායන්ද පවතී. මෙම අතීත සම්ප්‍රදායන් හා මත මිනිසාගේ විඥානයට ඇතුල් වන්නේ ඉතා කුඩා කල සිටය. පැරණි පරපුරේ වැඩිහිටියන් කුඩා කාලයේ නිවසේදී කියාදෙන කතන්දරවල සිට සමාජයේ වැඩිහිටියන්ගේ විවිධ මත හා අදහස්වල සිට, ආගමික අධ්‍යාපනය මගින් හා නවීන පාසල් අධ්‍යාපනය මගින් පවා මෙම අදහස් මිනිස් සිත් තුළට ඇතුල් කෙරේ. කුඩා කල මනසට ඇතුල්වන මිත්‍යාවන් වැඩිහිටි වියේදී විද්‍යාව හා තර්කනය මගින් පවා පලවා හැරීම අපහසු වේ. මේ අනුව ජාතිවාදය හා ආගමික අන්තවාදය පරපුරෙන් පරපුරට ගලා ඒමේදී අතීත සම්ප්‍රදායන් විසින් කරන බලපෑම විශාල බව පෙනේ. ‘ලුවී බොනපාට්ගේ බ්‍රෑමර් දහඅට වැනිදා’ නම් ලිපියේ “මියගිය පරම්පරාවල සම්ප්‍රදායන් ජීවත් වන්නවුන්ගේ හිස් මොළය තුළ නපුරු සිහිනයක් සේ දිස්වෙයි.” යනුවෙන් කාල් මාක්ස් ලියුවේද මේ අදහසමය.

ජාතිවාදය යනු…

ජාතිවාදය යනු මනෝභාවයකි. තමන්ගේ ජාතිය අන් අයට වඩා උසස් යයි සැලකීම, අන්‍ය ජාතීන් සමග සමීපවීමට, සම්මිශ්‍රණයවීමට දක්වන අකමැත්ත, තමන්ගේ ජාතියට සම්බන්ධ අය සමග පමණක් කටයුතු කිරීමේ කැමැත්ත, අන්‍ය ජාතීන් සැකකිරීම, හා ඔවුන් දෙස ප්‍රතිවිරෝධී මානසිකත්වයෙන් බැලීම ජාතිවාදයේ මූලික ලක්ෂණවේ. මෙය ගෝත්‍රවාදයට හෝ ආගමික අන්තවාදයට ද මෙලෙසින්ම අදාළය.
මෙම ජාතිවාදයේ මනෝභාවය පෝෂණය කිරීම හා පවත්වාගෙන යාම සඳහා එක් එක් ජාතීන් තුළ වන සම්ප්‍රදායන්, සිරිත් විරිත්, සංස්කෘතික ලක්ෂණ මෙන්ම මිත්‍යා විශ්වාසයන්ද විද්‍යාත්මක දැනුම ජීවිතයට එක්කර නොගැනීමද හේතුකාරක වේ. ඓතිහාසිකව බලන කල මිනිසුන්ගේ ජාති, ආගම්, කුල මිනිසාගේ බිහිවීමේ සිට තිබූ දේවල් නොව මානව සමාජයේ සංවර්ධනයේ එක් එක් අවධිවල ඇතිවූ දේවල් බව පෙනේ. සමාජ විද්‍යාත්මක අධ්‍යයනයන්ට අනුව මිනිසා එක් එක් වකවානුවල එක් එක් ආකාරයෙන් ‘සංවිධානය’ වී සිටි බව පැවසේ. ඒවා ‘මානව ප්‍රජාවේ ඓතිහාසික ආකාර’ ලෙස හැඳින්වේ. මානව ප්‍රජාවේ මුල්ම ඓතිහාසික ආකාරය වී ඇත්තේ, ‘ගණ හා ගෝත්‍රය’ය. පසුව එය ඊට වඩා පුළුල් ආකාරයක්වූ ‘ජාතිකත්වය’ බවට පත්වී ඇත. ඉන්පසු ධනවාදය කරළියට පැමිණීමත් සමග වඩාත් පුළුල් ‘ජාතිය’ බිහිවිය. මේ අනුව සිංහල, දෙමළ යනු ජාතීන් නොව ජාතිකත්වයන්ය. ලංකාවේ ධනවාදය තුළ ලාංකේය ජාතිය බිහිනොවීම ඊට හේතුව වේ.
කෙසේ වෙතත් මිනිසුන්ගේ ජාතික ලක්ෂණ හා ආගම් යනු මෑත කාලීනව නිර්මාණය වූ දේවල් බව පැහැදිලිය. එහෙත් ඒ සියල්ලටම පෙර මිනිසා හැඳින්වූ පොදු විද්‍යාත්මක නාමයක් තිබුණි. ඒ හෝමෝ සේපියන්ය. සමාජ සංවර්ධනයේ එක් එක් අවධි තුළ විවිධ ගෝත්‍ර ලෙසට, ජාතිකත්ව ලෙසට, ජාතීන් ලෙසට, සංවිධානය වූයේ මේ හෝමෝ සේපියන්වරුය. ඔවුන්ගේ වර්ණය වෙනස්වීමට පරිසර සාධකද ඔවුන්ගේ ගෝත්‍රික වෙනස්කම්වලට, ජාතිකත්ව වෙනස්කම්වලට, කුලවාදයන්ට පරිසර සාධක මෙන්ම සමාජ සංවර්ධනයේදී ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලියත් නිෂ්පාදන ක්‍රියාවලියේ ඔවුන්ගේ සංවර්ධන මට්ටමත් බලපෑ බව පෙනේ. දැන් ගැටලුව වී තිබෙන්නේ, මිනිසා තමන්ව සතුන්ගෙන් පරිණාමය වීම නිසා පළමුවෙන් ලැබුණ ‘මනුස්සකම’ අමතක කර පසුව ලැබුණ ‘ජාතිය’ හා ‘ආගම’ පදනම් කරගෙන එකිනෙකා හා යුද වැදීමය; එකිනෙකා මරා ගැනීමය. ලොව පුරා විවිධ ප්‍රදේශවල විවිධ රටවල ජීවත්වන මිනිසුන් කුමන භාෂාව කථාකලත්, කුමන ජාතියකට අයත් වුවත්, ඔවුන්ගේ වර්ණය කුමක් වුවත්, ඔවුන් කුමන ආගම ඇදහුවත් ඔවුන් සියලුදෙනාම එකම සත්ව කොට්ඨාසයක් බව එනම් ‘හෝමෝ’ හෙවත් ‘මානව’ වර්ගයට අයත් බව තේරුම් නොගැනීම මේ ගැටලුවට එක් හේතුවක් වී තිබේ. මානව විද්‍යාවට අනුව අප්‍රිකාවේදී බිහිවූ මුල්ම මානවයා අප්‍රිකාවේ සිට වසර ලක්ෂ ගණනකට පෙර ලොව විවිධ ප්‍රදේශවලට සංක්‍රමණය වී තිබේ. එහිදී වසර දිගු කලක් තිස්සේ ඒ ඒ ප්‍රදේශවලට අනුව පරිණාමය වීම, පරිවර්තනය වීම නිසා මානවයා තුළ පෙනුමේ විවිධ වෙනස්කම් රැසක් නිර්මාණය වී තිබේ. එහෙත් කුමන මතුපිට වෙනස්කම් තිබුණද මිනිසුන් එකම වර්ගයක් හෙවත් හෝමෝ සේපියන්වරු බව අවිවාදිතය.

මිත්‍යාවේ බලපෑම

තත්වය මෙසේ වුවත් විවිධ ජන කණ්ඩායම් අතර ජනශ්‍රැතිය තුළ තම තමන්ගේ ගෝත්‍ර හෝ ජාතිකත්වයන් බිහිවීම පිළිබඳ මිත්‍යා විශ්වාස හා ඒ මත පදනම්වූ කථා නිර්මාණය විය. ඒවා පරපුරෙන් පරපුරට ගමන්කළේ මිනිසුන් තුළ ජාතිකත්ව හා ආගමික බෙදීම් තිව්‍ර කරමිනි. ඒවා සත්‍යයන් නොව මිත්‍යා කථාවන් බව තර්කානුකූලව තේරුම් ගන්නවා වෙනුවට බොහෝ මිනිස්සු මිත්‍යා විශ්වාස තුළම ජීවත් වෙති. සිංහලයන් බිහිවුණේ සිංහයෙකුගෙන්ය යන මිත්‍යා කථාව වැනි කථා ලොව බොහෝ ගෝත්‍ර තුළ හා ජාතිකත්ව තුළ තිබේ. එම කථාවලින්ද උත්සාහ කර ඇත්තේ, තම ජාතිය හෝ ගෝත්‍රය අන් අයට වඩා උසස් බව පෙන්වීමය. එබැවින් අවිද්‍යාව පැවති යුගයේ, විද්‍යාව බිහිවී නොමැති යුගයේ මිනිසාගේ චින්තනය තුළ ඇතිවූ මිත්‍යා විශ්වාස හා ඉගැන්වීම් විද්‍යාව බිහිවූ පසු ද පැවතීමත්, මිනිසාගේ අතාර්කිකභාවයත්, සම්ප්‍රදායන් රැකීමට, අතීත අද්භූත දේ විශ්වාස කිරීමට මිනිසා දක්වන රුචිකමත් ජාතිවාදය, ආගමික අන්තවාදය පරපුරෙන් පරපුරට ගලා ඒමට හේතුවී තිබේ.
ලොව කොතන ඉපැදුනත් අලුත උපන් බිලිඳාත් එක සමානය. ඔවුන් තුළ උපතේදීම ඇත්තේ ස්ත්‍රී පුරුෂ වෙනස්කම් හා පරිසරයට අනුව වර්ණවල වෙනස්කම්ය. ඔවුහු උපදින විට කිසිදු භාෂාවක් නොදනිති. ඔවුනට ආගමක් නැත; කුලයක් නැත. එහෙත් ඉපදී කල්යනවිට තමන් ඉපිද ජීවත්වන පවුල තුළින් හා සමාජයෙන් ඔවුනට මේ බෙදීමේ සංකේත ඇතුල් කරනු ලැබේ. ඔවුහු තමන් ජීවත්වන නිවසේ හා පරිසරයේ භාෂාව උගෙන එය තම භාෂාව කර ගනිති. පවුලේ ආගමට අනුව ඔවුන්ට ආගමද උගන්වනු ලැබේ. සිරිත් විරිත්ද එසේමය. ඉන්පසු එකිනෙකාට එරෙහිව සිතන ජාතිවාදී හා ආගම්වාදී මනසක් ඇති මිනිසෙක් නිර්මානය වේ. කෙනෙක් තමන්ගේ ආගම උතුම් යයි කියන්නේ ලොව සියලුම ආගම් අධ්‍යයනය කොට ඉන් හොඳම එක තෝරාගෙනද? නැත. තමන්ට තම පවුලෙන් උරුමවූ ආගම අන් ආගම්වලට වඩා උතුම් යයි සැලකීමට සම්ප්‍රදාය මිනිසාට බලකර තිබේ. සත්‍යය එයයි.
මෙලෙස එකිනෙකාගේ චින්තනය තුළ ජාතික හා ආගමික සිතිවිලි බිහිව තැන්පත් වන අතර එම මනෝභාවය වෙනස් තත්වයන් තුළ විවිධ බලවේග විසින් විවිධ අරමුණු සඳහා ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් බවට පත්කරයි.

බල අරගලයට ජාතිවාදය

ජාතිවාදය හා ආගමික අන්තවාදය මානව සමාජයේ ඓතිහාසික ගමන්මගේ එක්තරා වකවානුවක බිහිව පරපුරෙන් පරපුරට පැවත එන මනෝභාවයක්ය යන්න අපි මීට පෙර කථා කළෙමු. ජාතිවාදී මනෝභාවයන් යමෙකු තුළ තිබූ පමණින් මිනිසුන් තමන් කිසියම් ආගමකට අයිති, ජාතියකට අයිති, ගෝත්‍රයකට අයිති ලෙස සැලකූ පමණින්, එය සමාජයට හානිකර ගැටුමක් බවට පත්වන්නේ නැත. මිනිසා තුළ ඓතිහාසිකව නිර්මාණය කර ඇති මෙම ජාතිවාදී හා ආගමික අන්තවාදී මනෝභාවයන් සමාජය තුළ ලේ වැගිරෙන ගැටුම් දක්වා, යුද්ධ දක්වා වාර්ධනය කරනු ලබන්නේ වෙනත් බලවේගයන් විසිනි. එම බලවේග අතර ඉදිරියෙන්ම සිටින්නේ ධනේශ්වර පංතියේ දේශපාලන බලවේගයන්ය.

ජාතිවාදය බලයේ අවියක් ලෙස

නූතන ධනපති ක්‍රමය තුළ, එහි ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය තුළ බලය සඳහා එක් එක් ධනේශ්වර පංති කණ්ඩයම් අතර, පක්‍ෂ අතර, පුද්ගලයන් අතර තරගයක් තිබේ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින තත්වයන් තුළ මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අහිමිකොට ඒකාධිපති පාලනයක් බිහිකිරීමේදීද බලය සඳහා තමා වටා පොදු ජනතාව ඒකරාශි කර ගැනීම අත්‍යවශ්‍ය බව ධනපති නායකයෝ දනිති. අර්බුදයට ගිය ධනවාදී සමාජය තුළ, බංකොළොත් දේශපාලන පක්‍ෂවලට හෝ නායකයන්ට ප්‍රතිපත්ති මගින් ජනතා අපේක්‍ෂා ඉටුකර ජනතාවගේ ප්‍රසාදය ලබා ගැනීම මගින් බලයට පැමිණිය නොහැක. එවැනි කරුණු මගින් ජනතාව මුලාකරගත නොහැක. එවැනි අතිශය අර්බුදකාරී අවස්ථාවල බලයට ඒම සඳහාත් ජනතාව තමන් වටා එක්කර ගැනීමටත් ධනපති පාලකයන් හා ධනපති දේශපාලන නායකයන් ජාතිවාදය හා ආගමික අන්තවාදය අවියක් කොට ගනිති. අදාළ රට කුමක් වුවත් එම රටේ සුළු ජන කණ්ඩායම්වලට හා සුළු ආගමික කණ්ඩායම්වලට එරෙහිව මහ ජාතියේ ජාතිවාදයත් ප්‍රධාන ආගමේ ආගමික අන්තවාදයත් යොදා ගනිති. ජන කණ්ඩායම් අතර සැකය, බිය වර්ධනය කොට එක් කණ්ඩායමකට එරෙහිව අනෙක් කණ්ඩායම් මෙහෙයවීම මගින් ධනවාදයේ පොදු අර්බුදය යටත්කර තැබීමටත් ජාතිවාදී උමතුවට පත්කරනු ලැබූ ජනතාව මගින් තම බලය තහවුරු කර ගැනීමටත් ඔවුහු කටයුතු කරති.

ජාතිවාදයට එරෙහිව ජාතිවාදයම

මෙහිදී ඕනෑම රටක සුළු ජාතික කණ්ඩායම් හා බහුතර ජනතාවගේ ආගමේ නොවන අනෙක් ආගමික කණ්ඩායම්ද තම පැවැත්ම වෙනුවෙන් ජාතිවාදය හා ආගමික අන්තවාදයම උපයෝගී කර ගනියි. එවිට සිදුවන්නේ දෙතුන් පැත්තෙන්ම ජාතිවාදයන් වර්ධනය වීමය. එක් ජාතිවාදයක ක්‍රියාකාරිත්වය විසින් අනෙක් ජාතිවාදය පෝෂණය කරන අතර මෙම ජාතිවාදයන් එකිනෙකින් පෝෂණය වෙමින් ජාතිවාදී ගැටුම් දක්වා වර්ධනය වෙයි. ලංකාවේ අප දකිමින් සිටින්නේ එයයි. ලංකාවේ සියලුම ජාතිවාදයන් පිටුපස සිටින්නේ, ඒ ඒ ජාතිවාදයේ පිහිටෙන් දේශපාලන බලය තහවුරු කර ගැනීමට මාන බලන ධනවාදී දේශපාලන නායකයින් මිස අන් කවරෙක්වත් නොවේ. මෙලෙස එකිනෙකාට සේවය කරමින් වර්ධනය වන ජාතිවාදය හා ආගමික අන්තවාදය එහි ප්‍රමාණාත්මක වර්ධනයේ එක් අවස්ථාවකදී ඉතාම කුඩා ආසන්න සිදුවීමකින් පුපුරා යන අතර එය ලේ වැගිරෙන ගැටුම් දක්වා කැරලි කෝලාහල දක්වා සිවිල් යුද්ධ දක්වා, බෙදුම්වාදී යුද්ධ දක්වා, වර්ධනය වේ. එවැනි ගැටුම්වලින් යුද්ධවලින් අවසානයේ ජය ගන්නේ එම ගැටුම්වලට දායක වූ ඉන් හානිකරගත් ජනතාව නොව ඊට පිටුපසින් සිටි දේශපාලන නායකයන්ය. සත්‍යය එයයි.

ලෝක අත්දැකීම් තුළින්

ජාතිවාදය විසින් ලොවට, මනුෂ්‍යය සංහතියට සිදුකර තිබෙන විනාශය ඉමහත්ය. එය හොඳින් අධ්‍යයනය කරන්නේ නම් කිසිවෙකුත් ජාතිවාදී ගැටුම්වලට නොයනු ඇත. 1930 දශකය වනවිට ඉතාලියේ ධනවාදය මුහුණ දුන් බරපතළ අර්බුදයට පිළියමක් ලෙස බලයට ආ මුසලෝනිගේ ෆැසිස්ට්වාදය බලය සඳහා පාර කපාගත්තේ ජාතිකවාදය උපයෝගී කර ගනිමිනි. ඉතාලි ජනතාවගේ ජාතිවාදී මනෝභාවයට ආමන්ත්‍රණය කළ ෆැසිස්ට්වාදී නායකයෝ ඉතාලි ජාතිකවාදයේ නාමයෙන් ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කළ මර්දනකාරී ඒකාධිපති පාලනයකට පාර කැපූහ. එය දෙවන ලෝක යුද්ධය දක්වාම ගිය ක්‍රියාවලියක් විය.
ඉතාලියෙන් ඇරඹි ෆැසිස්ට් පන්නයේ පාලනය ජර්මනියේදී මතුවූයේ නාසිවාදය ලෙසය. ඊට නායකත්වය දෙනු ලැබුවේ ඇඩොල්ෆ් හිට්ලර් විසිනි. ජර්මනිය තුළ නාසිවාදී බලය තහවුරු කර ගැනීම සඳහා හිට්ලර් විසින් යොදාගනු ලැබුවේද ජාතිවාදයමය. ආර්යයන් (ජර්මන්වරු) උතුම් ප්‍රජාවක් ලෙස අර්ථකථනය කළ ඔහු ආර්යයන් විසින් ලොව පාලනය කළ යුතු යැයි ජර්මන් ජනතාවගේ මනස තුළ තහවුරු කළේය. යුදෙව්වන්ට එරෙහි සටනක් ලෙස ආරම්භ වූ එය යුදෙව් සංහාරයකින් නතර නොවී දෙවන ලෝක යුද්ධයටද මඟ පෑදුවේය. ජර්මානුවන් ලොව උතුම් ජාතියය යන හිට්ලර්ගේ ජාතිවාදී උමතුව අධිරාජ්‍යවාදීන් අතර වූ තරගයේදී ලොව අනෙක් රටවල් ආක්‍රමණය කිරීමට ජර්මන්වරුන්ට පහසුවක් හා ආවරණයක් සැපයීය. එම උමතුව නතර වූයේ ලොව ජනතාව කෝටි පහක් මරා දමමිනි.
මැදපෙරදිග කලාපයේ ෂියා හා සුන්නි ඉස්ලාම් නිකායන් අතර ගැටුමද මෙවැනිමය. ඒවා පිටුපස සිටන්නේද බලලෝභී දේශපාලන නායකයන් හා අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවන්ය. බලයට ඒම සඳහා වර්ගවාදය යොදා ගැනීම ගැන මෑත තිබූ ඛේදජනකම උදාහරණය වූයේ අප්‍රිකානු රටක් වන රුවන්ඩාවේ ඇතිවූ හුටු හා ටුට්සි ගෝත්‍රික ගැටුමය. එය මිනිසුන් දස දහස් ගණනික් මරා දැමීය. ඉන්දියාවේ විටින් විට මතුවන හින්දු මුස්ලිම් ගැටුම්ද, ඉන්දු පාකිස්ථාන ගැටුම්ද මේ සඳහා තවත් උදාහරණ වේ.

වෙළඳ ව්‍යාපාර හා ජාතිවාදය

ජාතිවාදී ගැටුම් ඇවිළවීමේදී ඒ පිටුපස වන බලවේග අතර ධනේශ්වර දේශපාලන නායකයින්ට අමතරව සමහර වෙළඳ ව්‍යාපාරිකයෝද සිටිති. ධනවාදය තුළ ලාභ ලැබීම සඳහා වෙළඳ ව්‍යාපාර අතර අනවරත තරගයක් පවතී. එසේම ධනවාදය අර්බුදයට යත්ම වෙළඳ ව්‍යාපාර අර්බුදයට පත්වේ. ලාභ ඉපයීම දුර්වල වන අතර සමහර වෙළඳ ව්‍යාපාර කඩා වැටී බංකොලොත් වේ. මෙහිදී මෙම වෙළඳ ව්‍යාපාර කඩා වැටීම හෝ පාඩු ලැබීම ධනපති ක්‍රමයේ අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස තේරුම් ගන්නවා වෙනුවට මෙය ජාතිවාදී ලෙස තේරුම් ගැනීමට සමහර වෙළඳ ව්‍යාපාරිකයෝ පෙළඹෙති. ධනපති නායකයෝද ඊට උදව් කරති. තමන්ගේ ව්‍යාපාර පාඩු ලබන්නේ ධනවාදයේ අර්බුද නිසා යයි වෙළඳ ව්‍යාපාරවල අය තේරුම් ගන්නේ නම් එය ධනවාදයේ පැවැත්මට හානිකරය. ඒ නිසාම ධනවාදී මත නිපදවන්නෝ එම කඩා වැටීම් ජාතිවාදී ලෙස විග්‍රහ කරති.
ලංකාවේ සිංහල ව්‍යාපාර හා මුස්ලිම් ව්‍යාපාර අතර මේ ප්‍රතිවිරෝධය තිබේ. අතීතයේ 1983ට පෙර බොහෝ නගරවල සිංහල හා දෙමළ ව්‍යාපාර අතරද මෙම ගැටුම තිබුණි. ඒ නිසා ව්‍යාපාරිකයෝ ව්‍යාපාරික අර්ථයෙන් ජාතිවාදය ඇවිළවීමට දායක වෙති. ජාතිවාදී ගැටුම්වලදී මුලින්ම පහරදී ගිනි තබා විනාශ කරනු ලබන්නේ කඩ සාප්පු හා ව්‍යාපාරික ස්ථානය. ඒ, වෙළඳ තරගය ජාතිවාදය හරහා පුපුරා යන නිසාය. 1983 ජූලි ජාතිවාදී කෝලාහලවලදී දෙමළ ජනතාවගේ කඩ සාප්පු හා ව්‍යාපාරික ස්ථාන රැසක් ගිනි තබා විනාශ කරන ලදී. චිත්‍රපට ශාලා පවා ගිනි තබන ලදී, ඒ පිටුපස සිංහල ව්‍යාපාරික වුවමනා තිබූ බවත් ඊට බලයේ සිටි දේශපාලන නායකයින් නායකත්වය දුන් බවත් පැහැදිලිය. මෑත කාලයේ මුස්ලිම් කඩ සාප්පු ගිනි තැබීම් තුළ මෙන්ම ‘වඳ බෙහෙත්’ පිළිබඳ පතුරුවන මිත්‍යා මත පිටුපස සිටින්නේද ජාතිවාදීන් මෙන්ම ජාතිවාදී ව්‍යාපාරිකයන්ද බව බැහැර කළ නොහැක.
මෙය ලොව පුරාවටද දැකිය හැක. යුරෝපා රටවල මෙය යුදෙව් විරෝධී ලෙස පැවතිණි. බොහෝ යුරෝපා රටවල හා රුසියාවේ පවා යුදෙව්වෝ හැම විටම නගරවල ව්‍යාපාර කරන අය බවට පත්ව සිටයහ. ඒ නිසා එම රටවල වරින්වර යුදෙව් විරෝධී කොලාහල ඇතිවූ අතර එහිදී යුදෙව්වන්ගේ කඩ සාප්පු විනාශ කරන ලදී. ඉන්දියාවේ හින්දු මුස්ලිම් ගැටුම්වලදීද මෙම තත්වය දැකිය හැක.
ඒ අනුව ජාතිවාදය ඇවිළවීමේදී එය ගැටුම් බවට පත්කිරීමේදී බලය වෙනුවෙන් ධනපති දේශපාලන නායකයින් ජාතිවාදය අවුළුවන අතර වෙළඳ ව්‍යාපාරික තරගයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ද ජාතිවාදය ඇවිළවීමට කටයුතු කරන බව පැහැදිලිය. ජාතිවාදය ඇවිළවීමේදී ඊට අමතර සාධකද තිබේ. ඒ ගැන මීළඟට කථා කරමු.

පංති පීඩනය හා ජාතිවාදය

ලොව පවතින ජාතිවාදයන්ට හා ආගමික අන්තවාදයන්ට ඓතිහාසික පසුබිමක් හා ඓතිහාසික ගමන්මඟක් තිබුණද එය වඩාත් සංකීර්ණ කරන ලද්දේ ධනවාදය විසිනි. දැන් අප ඉදිරියේ පවතින ජාතිවාදය යනු ධනවාදයේ නිෂ්පාදනයකි. ධනවාදය තුළ, පාසල් අධ්‍යාපනය තුළ, ඉතිහාසය නමැති විෂය තුළ ගබඩාකොට කුඩා දරුවන්ගේ මොළ තුළට ජාතිවාදී විෂ එන්නත් කරනු ලබන්නේ ධනවාදය විසිනි. ධනවාදය තුළ ඉතිහාසය නමැති විෂය නිර්මාණය කර ඇත්තේ පුද්ගල වීරයන්, රජවරුන්, ප්‍රභූන් හා විවිධ සිදුවීම් මනෝමූලිකව, අවිද්‍යාත්මකව එකිනෙකට ගැට ගැසීම මඟිනි. හැමවිටම ඉතිහාසය ලියන්නේ බලය හොබවන පංතිය හා ඊට අයත් ජාතිය හෝ ආගම වන නිසාම, ඒ තුළ මහ ජාතියේ ජාතිවාදය හා ආගම්වාදය අන්තර්ගත වේ.
ලංකාවේ ඉතිහාසය, විශේෂයෙන් පහළ පංතිවල සිසුන්ට උගන්වනු ලබන සරල ඉතිහාසයේ සමහර අවස්ථා ‘දෙමළුන්ට’ එරෙහි සිංහලුන්ගේ සටනක ඉතිහාසයකි! දුටුගැමුණු – එළාර සටනේ සිට මෙය උගන්වනු ලැබේ. එය සැබැවින්ම විදේශ ආක්‍රමණවලට එරෙහි සටනක් වුවද ඉතිහාසය තුළ අර්ථ දක්වා තිබෙන්නේ දෙමළාට එරෙහිව සිංහලයාගේ සටනක් ලෙසය. මේ නිසා සිංහල දරුවන් තුළ කුඩා කල සිටම ලංකාවේ දෙමළ විරෝධයක් තැන්පත් වන අතර, එයට මුස්ලිම් විරෝධයද එක්වේ. මෙය ලොව බොහෝ රටවල අධ්‍යාපනයේ පවතින සැබෑ තත්වය වේ.
ධනවාදයේ පීඩනය ප්‍රකාශවන හැටි
මෙලෙස කුඩා කල සිටම පාසලෙන්ද, නිවසේ වැඩිහිටියන්ගෙන්ද, සමාජයෙන්ද, ජාතිවාදී අධ්‍යාපනයක් ලබන අය නිතරම ඒ මත පිහිටා කල්පනා කරති. පංති පීඩනය ජාතිවාදී ලෙස ප්‍රකාශයට පත් වන්නේ ඒ අනුවය.
ලොව පුරා පවතින ජාතිවාදී හා අන්තවාදී අරගල, ධනවාදය තුළ ධනපති ක්‍රමයේ පීඩනය ප්‍රකාශයට පත්වන ආකාරයක් ලෙසද තේතරුම්ගත හැක. ලොව පුරා ජීවත්වන මිනිසුන්ගේ මූලික ප්‍රශ්න පවා විසඳීමට ධනවාදය අපොහොසත් වී ඇත. ඒ වෙනුවට ධනවාදය තුළ පවතින්නේ සූරාකෑම, සම්පත් කොල්ලකෑම, මර්දනය හා පීඩනයයි. ධනවාදය තුළ අධ්‍යාපනයේ අවස්ථා අඩුවන විට, රැකියා අවස්ථා අඩුවන විට, දුප්පත්කම ඉහළ යනවිට, නිවාස, ගමනාගමනය, සෞඛ්‍ය වැනි සේවා නොලැබෙන විට මිනිසා තුළ පීඩාවක් හටගනී. එම පීඩාව වර්ධනය වී එහි එක් අවස්ථාවක පුපුරා යාමට ලක්වේ. මෙම පීඩනය අන් කිසිවක් නොව පංති පීඩනයයි. එම පංති පීඩනයේ පංති අර්ථයෙන් ධනවාදයට එරෙහිව පුපුරා යනවාට ධනපති පංතිය කැමති නැත. ඒ නිසා ඔවුහු හිතාමතාම සවිඥානිකවම එම පීඩනය වෙනත් ආකාරයෙන්ගෙන් පිටවීමට ඉඩ හදති. එලෙස පහසුවෙන්ම එම පීඩනය මුදාහළ හැකි ආකාර වන්නේ ජාතිවාදය හා අගමික අන්තවාදය ලෙසය.
ලංකාවේ දෙමළ ජනයාට වෙනම පාලනයක් ඉල්ලීම සඳහා දෙමළ දේශපාලන නායකයන් යොදාගනු ලැබුවේ මෙම ධනපති ක්‍රමයේ පීඩනය හා අසමානතාවයයි. දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳීමට ධනවාදයට නොහැකි බව පවසනවා වෙනුවට දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳීමට සිංහල ආණ්ඩුවට නොහැකි බව පැවසූ ඔවුහු, ඒ වෙනුවට වෙනම පාලනයක් ඉල්ලා සිටියහ. ලොව පුරා බොහෝ රටවල බෙදුම්වාදී අරගලවලට පොදු ජනතාව ජාතිවාදී ලෙස සම්බන්ධ කරගත හැකිව තිබෙන්නේ එම ජනයා පීඩාවක සිටින නිසාත් එම පීඩාවේ සැබෑ හේතුව නොදන්නා නිසාත්ය.

ප්‍රචණ්ඩත්වයට මඟ පෑදීම

මිනිසුන් පෙළෙන පීඩාව බරපතළ වූ විට එම පීඩාව ප්‍රචණ්ඩත්වයෙන් මුදා හැරීමට මිනිසා පෙළඹේ. එහිදී මිනිසුන් තුළ පවතින පීඩාව ධනපති රජයට එරෙහිව ප්‍රචණ්ඩකාරී ලෙස මුදාහැරීම පහසු නැත. මන්ද ‘රජය’ ඊට ඉඩ නොදෙන නිසාය. එහෙත් එම පීඩනය ජාතිවාදී හා ආගම්වාදී ලෙස එකිනෙකට එරෙහිව මුදා හැරියාට ධනවාදයට අනතුරක් නැත. ඒ නිසා ධනපති පාලනයත් ජාතිවාදී හා ආගමික ප්‍රචණ්ඩත්වයට මැදිහත් වන්නේ අලස ආකාරයකිනි. ඇල්මැරුණු ප්‍රතිපත්තියට අනුව ඔවුන් බොහෝවිට ඊට මැදිහත් වන්නේ විනාශයන් සිදුවීමට ඉඩදී ඉන් පසුවය. බොහෝ විට ජාතිවාදී ප්‍රචණ්ඩත්වයන් පිටුපස ධනපති පාලකයින්ම සිටින අවස්ථා බොහෝ තිබේ. ලංකාවේ 1983 කළු ජූලිය එවැන්නකි.
මෑතදී මහනුවර දිගන ඇතිවූ ජාතිවාදී ප්‍රචණ්ඩත්වයේදී මෙන්ම බොහෝ අවස්ථාවල එය වැළැක්වීමට ‘රජය’ මැදිහත් වූයේ අශ්වයා ගියාට පසු ඉස්තාලය වසන ආකාරයෙන් බව පැහැදිලිය. මේ නිසා ධනවාදයේ පීඩනය පුපුරා යන ආකාරයක් ලෙසද ජාතිවාදය අපට තේරුම් ගත හැක.

අධිරාජ්‍යවාදයේ මෙහෙයවීම

මීට අමතරව තම අධිරාජ්‍යවාදී වුවමනාවන් සඳහා අධිරාජ්‍යවාදීන්ද, ජාතිවාදය හා ආගමික අන්තවාදය උපයෝගී කරගති. තමන්ට අවනත නැති රටවල් කැබලි කර දුබල කිරීමට, තමන්ට අවනත නොවන පාලකයන් දුර්වල කිරීම සඳහා ඒවා තුළ සිවිල් ගැටුම් ඇතිකිරීමට, රටවල් එකිනෙක කෙටවීමට, සමාජවාදී රටවල් දුබල කිරීමට ආදී විවිධ අරමුණු වෙනුවෙන් අධිරාජ්‍යවාදීහු ජාතිවාදය හා ආගමික අන්තවාදය යොදාගනිති.
1978 සෝවියට් හමුදා සහායෙන් ඇෆ්ගනිස්ථානයේ වාමාංශික ආණ්ඩුවක් බිහි වූ විට එය බිඳ දැමීම සඳහා එක්සත් ජනපදය විසින් ආගමික අන්තවාදී කණ්ඩායම් බිහිකර පෝෂණය කරන ලදී. ‘මුජහිදීන්’වරු ලෙස ආරම්භ වූ එය පසුකලෙක අල්කයිඩා බිහිවීම දක්වා විකාශනය විය. මැදපෙරදිග අයි.එස්.අයි.එස් කණ්ඩායමද එක්සත් ජනපදයේ නිර්මාණයකි. ඒ, මැදපෙරදිග කලාපය අස්ථාවර කිරීම සඳහාය. එහෙත් ඒවා පසුව තමන්ටම කරදරයක් වනවිට අධිරාජ්‍යවාදීහු තමන් බිහිකළ සංවිධාන තමන් විසින්ම විනාශ කිරීමට උත්සාහ කරති. එය එසේ වුවත් මැදපෙරදිග ජාතිවාදය හා ආගමික අන්තවාදය පිටුපසින් එක්සත් ජනපදය සිටින බව ඉතා පැහැදිලිය.
එසේම 1979දී නිකරගුවාවේ සමාජවාදී රාජ්‍යය බිහිවූ විට ඊට එරෙහිව සටන් වැදුණු ජාතිවාදී පෙනුමක් සහිතව සිටි කොන්ට්‍රා කැරලි කණ්ඩායම එක්සත් ජනපදයේ නිර්මාණයක් විය. අප්‍රිකාවේ බොහෝ රටවලද මෙබඳු මැදිහත්වීම් දැකිය හැකිය. කලක් අපගේ අසල්වැසි ඉන්දියාව ලංකාවේ ආණ්ඩු තමන්ට අවනත කර ගැනීමට, මට්ටු කිරීමට උතුරේ බෙදුම්වාදී අරගලයට උදව් කළේය.

ජාතිවාදය පහසු අරගලයක් ලෙස

ධනවාදය තුළ පවතින පංති පීඩනය ජනතාවට තේරුම්කර දී එම ජනතාව සංවිධානාත්මකව හා විනයක්, සංයමයක් සහිතව ධනපති ක්‍රමයට එරෙහිව මෙහෙයවීම තරමක් දුෂ්කර කාර්යයකි. නිවැරදිම අරගලය එය වුවද එය දුෂ්කරය. ධනපති පංතිය ඊට ඉඩ නොදේ. එහෙත් ජනතාව තුළ පවතින ධනපති ක්‍රමයේ පීඩනය ජාතිවාදී හා ආගමික අන්තවාදී ලෙස පුපුරා යාමට සැලැස්වීම පහසුය. එය ධනපති ක්‍රමයට හානිදායක නැත. මේ සඳහා ජාතිවාදී නායකයන්ට මුදල්ද, බලයද, පිළිගැනීමද ලැබෙන නිසා ඔවුහු මෙහිදී සක්‍රීයව කටයුතු කරති. මේ සඳහා මිනිසුන් පොළඹවාලීම ඔවුන්ට පහසුය. මන්ද මිනිසුන්ගේ චින්තනය තුළ ධනවාදය ජාතිවාදී විෂ කවා තිබෙන බැවිනි.
මේ අනුව ගත් විට අපට පැහැදිලි වන්නේ ජාතිවාදය යනු අහම්බයක් නොව ධනවාදය තුළ පවතින සමාජ ආර්ථික සාධක විසින් නිර්මාණය කරනු ලබන හා පවත්වාගෙන යනු ලබන දෙයක් බවය. දැන් අපේ අවධානය යොමුවිය යුත්තේ මානව වර්ගයාට ඉමහත් හානි කළ, හානි කරන, මිනිස්කමට නොගැලපෙන මෙම ජාතිවාදය හා ආගමික අන්තවාදය පරාජය කරන්නේ කෙසේද යන්න පිළිබඳවය.

ජාතිවාදයෙන් තොර සමාජයක්!

ජාතිවාදය හා ආගමික අන්තවාදය සමාජයට පිළිලයක්ව ඇත්තේ කෙසේද යන්න අප කාටත් වැටහේ. පසුගාමී චින්තනයක් සහිත අශිෂ්ට මිනිසුන් ජාතිවාදය මත පදනම්ව කටයුතු කළද, ප්‍රගතිගාමී හා ශිෂ්ට සම්පන්න චින්තනයක් ඇති මිනිසුන්ට ජාතිවාදයෙන් තොර සමාජයක් නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාවය තිබේ. එහෙත් ගැටලුව වන්නේ එය සිදුකර ගන්නේ කෙසේද යන්නය.
ඕනෑම බරපතළ ගැටලුවක් විසඳා ගැනීමට නම් අප ඊට ප්‍රවේශ විය යුත්තේ විද්‍යාත්මක විධික්‍රමයක් මඟිනි. ගැටලුවක් විසඳා ගැනීම අපට හැකි වන්නේ එය මතුපිටින් අතපත ගෑමෙන් හෝ සරල ප්‍රතිසංස්කරණවලින් නොව ගැටලුවේ සැබෑ හේතු වටහාගෙන ඒවාට පිළියම් කිරීමෙනි. මෙය ජාතිවාදයටත් අදාළ වේ. මිනිසුන්ට ‘හොඳ නරක’ කියා දීමෙන් පමණක්, සමගිය පෙන්වන කෘත්‍රිම ක්‍රියාකාරකම්වලින් පමණක් ජාතිවාදය මුලිනුපුටා දැමිය නොහැක.

හුදකලාවීම විසඳුමක්ද?

විවිධ ජාතිකත්වයන්, ආගමික කණ්ඩායම් එකිනෙකාගෙන් හුදකලා වීමෙන්, වෙන්වීමෙන්, වෙනම අනන්‍යතාවයන් තහවුරු කර ගැනීමෙන් ජාතිවාදය පරාජය කළ නොහැක. ඉන් සිදුවන්නේ, එය තව තවත් වර්ධනය වීමය. අනෙක් අතට නීති – රීති පැනවීමෙන්ද මෙයට නිවැරදි විසඳුමක් ලැබෙන්නේ නැත. ජාතිවාදය පරාජය කිරීමට අයෙකුට සැබෑ ලෙසම අවශ්‍ය නම්, ඔහු කොතරම් දුෂ්කර වුවත් කොතරම් කාලයක් ගත වුවත් නිවැරදි ක්‍රියාමාර්ග වෙතට පිවිසිය යුතුව තිබේ.
සමාජ සංවර්ධනයේ රීතින්ට අනුවත් එහි ඓතිහාසික ගමන්මඟට අනුවත් මානව සමාජයේ සංවර්ධනයේදී සිදුවන්නේ ජනතාව කුඩා කුඩා කණ්ඩායම්වල සිට විශාල ජන කණ්ඩායම් දක්වා පුළුල්වීමය. නැතිව කුඩා කුඩා කණ්ඩායම්වලට බෙදීයාම නොවේ. එබැවින් ජාතිවාදය විසඳිය යුත්තේ ජනතාව එකම ජන ප්‍රජාවක් බවට අනාගතයේ පත්වන්නාවූ දිශානතියක් ඉලක්ක කර ගෙනය. මිනිස් කණ්ඩායම්, ජන ප්‍රජාවන් තුළ ඇති අනන්‍යතාවයන් පාරිශුද්ධ ඒවා නොවේ. බොහෝ මිශ්‍රවීම් දැනටත් සිදුවී තිබේ. ඒ නිසා තම තමන්ගේ අනන්‍යතා උත්තරීතර ලෙස සලකා ඒවා රැකීමට යාම වෙනුවට විවිධ ජන කණ්ඩායම් අතර සංකලනය වීම මෙම ගැටලුවේදී එය විසඳීමේ අර්ථයෙන් ඉතාම හොඳය.

සමානතා පදනම මත

ජාතිවාදය විසඳීමේදී එහි තීරණාත්මක සාධකය වනුයේ මිනිසුන් අතරවන පංතිමය වෙනස්කම් නැති කිරීමය. සමාජයක් තුළ මිනිසුන්ට තම ජාතිය හෝ ආගම නිසා සිදුවන වෙනස්කම් නතර කළ හැක්කේ පංතිමය වෙනස්කම් නතර කරනු ලබන තත්වයකදී පමණි. මිනිසුන් අතර ආර්ථිකමය ලෙස විශාල වෙනස්කම් පවතින විට, ඒවා පීඩාවක් වන විට ජාතිවාදී මානසිකත්වයන්ට එය සරු පසක් වේ. එබැවින් මිනිසුන් අතර, ජන කණ්ඩායම් අතර, ආර්ථික හා සමාජීය සාධාරණත්වයත්, සමාන පිළිගැනීම හා සමාන ලෙස අයිතීන් ලබා ගැනීමේ ඉඩක් තහවුරු විය යුතුය. තනි වචනයෙන් පවසන්නේ නම් සමාජය තුළ පවත්නා දේපළ මත නිර්මාණය වූ පංතිමය වෙනස්කම් හා පංතිමය පීඩනයත් පංති ප්‍රතිවිරෝධයත් අහෝසි කිරීම මෙම ගැටලුව විසඳීමේ ප්‍රධානතම සාධකය වේ. එය ධනවාදයට ඉටුකළ නොහැක. එය ඉටුකළ හැක්කේ සමාජවාදයට පමණි. ඒ සඳහා රටක ආර්ථික සංවර්ධනය ආර්ථික හා සමාජ සාධාරණත්වය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරුවීම අත්‍යවශ්‍ය වේ.
සමාජය තුළ, රාජ්‍යයක් තුළ, තමන්ට අසාධාරණ ලෙස සලකන්නේ යැයි තමන්ට අසමාන ලෙස සලකන්නේ යැයි කෙනෙකුට සිතෙන භෞතික සාධක වෙනස් කළ විට, ආර්ථිකමය හා සමාජමය අසමානතාවය නිසා ඇතිවන තරගය හා ප්‍රතිවිරෝධය අහෝසි වූ විට ජාතිවාදය චින්තනයක් ලෙස පැවතීමේ ද්‍රව්‍යමය පදනම අහෝසි වේ. ආර්ථික හා සමාජමය සාධාරණත්වයත්, සමානත්වයත් වැදගත් වන්නේ ඒ නිසාය.

අධ්‍යාපනය හා චින්තනය

සමාජය තුළ ආර්ථික හා සමාජීය සාධාරණත්වය ගොඩනැඟූ පමණින් එක් රැයකින් ජාතිවාදය අතුරුදහන් නොවේ. මන්ද එය ඓතිහාසිකව රැගෙන ආ චින්තනයක් ලෙස මිනිස් මනසේ තිබෙන නිසාය. එබැවින් ආර්ථිකමය හා භෞතික සාධාරණත්වය ගොඩනඟන අතරම මිනිසුන්ගේ චින්තනය තුළින් ජාතිවාදය ඉවත් කිරීම සඳහා මතවාදී හා අධ්‍යාපනමය වැඩපිළිවෙළක්ද අවශ්‍ය වේ. ආරම්භයේදීම ජාතිවාදී ලෙස අදහස් හා මත ප්‍රකාශ කිරීම නීතියෙන් තහනම් කිරීම වැනි දැඩි පියවරයන්ද අවශ්‍ය වනු ඇත. එහෙත් එය පමණක් ප්‍රමාණවත් නොවේ. නීතිවලින් මිනිසුන්ගේ චින්තනය වෙනස් කළ නොහැක. ඒ නිසා මිනිසුන්ගේ චින්තනය වෙනස් කිරීම සඳහා සියලුම ජනමාධ්‍ය හා සංස්කෘතික අවස්ථාවන් උපයෝගී කර ගනිමින් අඛණ්ඩ ක්‍රියාමාර්ගයක් ගැනීම අවශ්‍ය වේ.
එහිදී මිශ්‍ර පාසල් ඇතිවීම, එක් එක් ජන කණ්ඩායම්වල සංස්කෘතික උත්සවවලදී ඊට සියලු දෙනා සහභාගී වීම, විවිධ ජන කණ්ඩායම් අතර විවාහයන් සිදුවීම, ‘තමන්ගේ භූමි සීමා’ ලෙස නොසිතා පදිංචිවීම, නිතර පොදු කාර්යයන්ට දායකවීම වැනි දේ මෙහිදී අවශ්‍ය වේ.
ඊට අමතරව ළමා අවධියේ සිටම අධ්‍යාපන ක්‍රියාවලිය තුළ ජාතිවාදය ඉවත් කිරීම අරමුණු කරගත් ඉගැන්වීමක් තිබිය යුතුය. එහිදී භාෂා කිහිපයක් ඉගෙන ගැනීම, ඉතිහාසය ඉගැන්වීමේදී ජාතිවාදී ලෙස කරන අර්ථ දැක්වීම් ඉවත්කර, මිනිසා පිළිබඳ හා ඉතිහාසයේ ගමන්මඟ පිළිබඳ නිවැරදි විද්‍යාත්මක අවබෝධයක් ලබාදීම අත්‍යාවශ්‍ය වේ.
ධනවාදය තුළ විශේෂයෙන් පසුගාමී රටවල ළමුන් තුළට ජාතිවාදය ඇතුළු කරන්නේ අධ්‍යාපනය තුළිනි. ආගමික අන්තවාදයද එසේය. ඒ නිසා ජාතිවාදී ලෙස සිතන එවන් චින්තනයක් නැති සමාජයක් සඳහා කුඩා අවදියේ සිට අධ්‍යාපනය මඟින් ජාතිවාදී විෂ දරුවන්ගේ මනසට ඇතුල් නොකර සිටීමත්, සමාජයෙන් ඇතුල්වන ජාතිවාදී විෂ ඉවත්කිරීමත් කළ යුතුය.

සංස්කෘතික අරගලයන්

ජාතිවාදය පරාජය කිරීමේදී එයට විශාල දායකත්වයක් දැක්වීමට සංස්කෘතික ක්ෂේත්‍රයට පුළුවන. මේ සඳහා රූපවාහිනිය, පුවත්පත් වැනි ජන මාධ්‍යයද සිනමාව, නාට්‍ය කලාව, කවිය, ගීතය, සාහිත්‍යය වැනි අංශද යොදාගත හැකිව තිබේ. විවිධ සංස්කෘතීන් පිළිබඳ හැම දෙනාටම අවබෝධය ලබාදීමත් විවිධ සංස්කෘතික උත්සවවලට කවුරුත් සහභාගි කර ගැනීමත්, එකිනෙකාගේ සංස්කෘතීන්ට ගරුකිරීමත් මෙහිදී විශාල වැදගත්කමක් දරයි. මිනිසුන්ගේ චින්තනය ගොඩනැඟීමට උපකාරීවන සියලුම මාධ්‍ය හා මෙවලම් ජාතිවාදය තුරන් කිරීමේ අරමුණ සහිතව මෙහෙයවන්නේ නම් ඒවාට කෙටිකලකින්ම අඩුම වශයෙන් එක් පරම්පරාවක් අවසන් වන විට ජාතිවාදයද අවසන් කිරීමේ හැකියාව ඇති වේ.
මෙයින් පෙනෙන්නේ කුමක්ද? ජාතිවාදය සමාජයෙන් ඉවත් කිරීම කළ හැකි වුවත් එය සරල කාරණයක් නොවන බවය. ජාතිවාදය බිහිවන, එය පතුරුවන ආර්ථික හා දේශපාලන සාධක එලෙසම තිබියදී, ඒවා වෙනස් නොකර මතුපිටින් කරන සමාජමය බලපෑම්වලින් ජාතිවාදය මුළුමනින්ම පැරදවිය නොහැක. ආර්ථිකය තුළ දේශපාලනය තුළ නීතිය තුළ සාධාරණත්වයත් ඒ සමගම සාධාරණත්වයන් අගයන මිනිස් චින්තනයකුත් ගොඩනැංවීම අත්‍යාවශ්‍ය වන්නේ මේ නිසාය. සමාජයක භෞතික, නෛතික හා චින්තනමය යන සියලු පැතිවල වෙනසක් මේ සඳහා අවශ්‍ය වන බව ඉතා පැහැදිලිය.
සමාජයක් තුළ සිදු කළ යුතු මේ සියලු වෙනස්කම් කළ හැක්කේ කුමන සමාජ ක්‍රමයටද? අසමානතාවය හා අසාධාරණය මත පදනම් වුණ, දේපළමය වෙනස්කම් ආරක්ෂා කරන, එක් පංතියක් විසින් තවත් පංතියක් සූරාකන, විවිධ පීඩාවන් හා ප්‍රතිවිරෝධයන් පිරුණ ධනවාදී සමාජයක් තුළ ජාතිවාදය මුළුමනින්ම පැරදවිය නොහැක. එය කළ හැකි වන්නේ, සමාජ සංවර්ධනයේ නියාමයන් හා දිශානතිය හඳුනන, පංතිමය වෙනස්කම් අහෝසි කිරීමත්, සමාජ සාධාරණය ගොඩනැගීමටත් තම කාර්යය කරගත් ඒ සඳහා සියලු සමාජ බලවේග හා මතවාදී මෙවලම් සවිඥානික අරමුණකින් මෙහෙයවන පාලනයකට පමණි. එනම් ධනවාදය වෙනස්කර, ගොඩනඟන සමාජවාදී සමාජ ක්‍රමයකට පමණි. කෙතරම් දුෂ්කර වුවත්, ජාතිවාදය පරදා සැබෑ ජාතික සමගිය ගොඩනැගීමේදී ඒ මඟහැර අන්මඟක් කිසිවෙකු ඉදිරියේ නැත.

ජාතිවාදයෙන් තොර සමාජයක්!