සමාජවාදය සහ පෞද්ගලික දේපළ

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
ධනවාදයේ ආර්ථික අර්බුදය යළිත් වටයකින් ලෝකය ගිලගෙන තිබේ. එය මීට පෙර ධනවාදය මුහුණ දුන් අර්බුදයන්ට වඩා ගැඹුරු හා පැතිරුණු එකකි. ධනේශ්වර පාලකයින් එයට මුහුණ දීමට සූදානම් වන්නේ, කප්පාදු වැඩපිළිවෙළවල් හඳුන්වා දීමෙනි. සහන කප්පාදුව හමුවේ පීඩාවට පත්වන ජනතාව මෙම අර්බුදයන්ට සැබෑ විසඳුම සමාජවාදය බව ඉක්මණින් හෝ පසුව තේරුම් ගනු ඇත. ධනවාදයේ අර්බුදයට ස්ථිර සාර විසඳුම ඇත්තේ සමාජවාදය තුළ පමණි. එසේ වුවද සමාජවාදය පිළිබඳ මේ මොහොතේ පවතින වැරදි හා මිත්‍යා මත විසින් සමාජවාදය පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස් තුළ පවා සමාජවාදය පිළිබඳ සැක සංකා මතුකර තිබේ.

සමාජවාදය තුළදී සියලු දේපළ රජයට පවරා ගන්නේද?

සමාජවාදය පිළිබඳ පැතිරී ඇති විවිධ වැරදි හා මිත්‍යා මත විසින් මතුකර ඇති, නිතර අසන ප්‍රශ්නයක් වන්නේ සමාජවාදය තුළදී සියලු දේපළ රජයට පවරා ගන්නවාද යන පැනයයි. සමාජවාදය පිළිබඳ වැරදි මත පතුරුවන්නන් විසින් ජනතාවගේ ඇතැම් කොටස් තුළ තහවුරු කර ඇත්තේ, සමාජවාදය තුළදී අපගේ ගේ දොර, යානවාහන, ඉඩකඩම්, ගෘහ උපකරණ ආදී සියලු දේ කිසිවක් ඉතිරි නොකරම පවරා ගන්නා බවකි. එහෙත්, මේ පිළිබඳ සත්‍යය කුමක්ද? මිනිසෙකුට තම ශ්‍රමයේ ඵලයක් වශයෙන් පෞද්ගලිකව අයිතිකර ගත හැකි දේපළ අයිතිය අහෝසි කරන්නේය යන්න කොමියුනිස්ට්වාදීන්ට ආරම්භයේ සිටම එල්ල වූ දෝෂාරෝපණයකි. . ධනවාදයට පෙර පැවති මිනිසෙකු තම ශ්‍රමයේ ඵලයක් වශයෙන් පුද්ගලිකව අයිති කරගත් දේපළ අයිතිය අහෝසි කර දමන ලද්දේ ධනවාදය විසිනි; මහා පරිමාණ කර්මාන්තය විසිනි. එමඟින් කුඩා හස්ත කර්මාන්ත ශිල්පියා සහ කුඩා ගොවියා බංකොලොත්භාවයට ඇද දමන ලදී. ඔවුන් වැටුප් ශ්‍රමිකයන් බවට පත් කරන ලදී. ඒ අනුව ධනවාදයට පෙර පැවති මිනිසෙකු තම ශ්‍රමයේ ඵලයක් වශයෙන් පුද්ගලිකව අයිති කර ගත් දේපොළ අයිතිය අහෝසි කර දැමීම වරදක් නම් එහි වරද භාර ගත යුත්තේ ධනපති ක්‍රමයමය.

සමාජවාදය යනු කුමක්ද?

දේපළ පිළිබඳ නිවැරදි වැටහීමකට සමාජවාදය යනු කුමක්දැයි නිවැරදිව වටහා ගැනීමට අත්‍යාවශ්‍ය වේ. සමාජවාදය නිශ්චිත සමාජ ක්‍රමයක් නොවේ. එය සංක්‍රමණීය අවධියකි. ධනවාදයේ සිට කොමියුනිස්ට් ක්‍රමය දක්වා වූ සංක්‍රමණීය අවධිය සමාජවාදයයි. එබැවින් සමාජවාදය තුළදී ධනවාදයේ අංග ලක්‍ෂණත් කොමියුනිස්ට් ක්‍රමයේ අංග ලක්‍ෂණත් එක විට පවතී. සමාජවාදයේදී ප්‍රධාන දේපළ වර්ග තුනක් හමුවේ. ඒවා නම්,
  1. රාජ්‍ය දේපොළ
  2. සාමූහික දේපොළ
  3. පෞද්ගලික දේපොළ
සමාජවාදී රාජ්‍යයක රජය සතුව පවත්නා කර්මාන්ත ව්‍යවසායයන් සහ ආයතන මගින් රාජ්‍ය දේපොළ සෑදේ. (මේ පිළිබඳව මෙම ලිපිය තුළදී තවදුරටත් කරණු සාකච්ඡා කෙරේ) සාමූහික දේපළවලට අයත් වන්නේ, ගොවීන්, කුඩා හා හස්ත කර්මාන්තකරුවන් විසින් ස්වේච්ඡා පදනමින් ගොඩනගා ගනු ලබන සමුපකාරයන්ට අයත් දේපළයි. එම දේපොළ අයිති වන්නේ රජයට හෝ ජනතාවට හෝ නොවේ. ඒවායේ අයිතිය හිමිවන්නේ එකී සමුපකාරවලට ස්වේච්ඡාවෙන් සම්බන්ධ වන ජන කොටස්වලට පමණි. සමාජවාදී සමාජයකදී පෞද්ගලික දේපළද පවතී. කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයින්, ගොවීන් ආදී ජන කොටස්වලට අයිති කර්මාන්තශාලා, ව්‍යවසායයන්, ගොවිබිම් ආදිය ඊට අයත්වේ. එක් එක් සමාජවාදී රටක මෙම දේපොළ වර්ග කුමන සංයුතියකට අනුව, කුමන අනුපාතයකට අනුව පවතින්නේද යන්න තීරණ වන්නේ, එකී රට සමාජවාදය වෙත එළඹෙන මොහොතේ එය පැවති සංවර්ධන මට්ටම අනුවය. ඒ අනුව කිසියම් රටක රාජ්‍ය දේපොළවල සංයුතිය අනෙක් දේපළවල සංයුතියට වඩා වැඩි වෙද්දී තවත් රටක පෞද්ගලික දේපොළවල සංයුතිය සෙසු දේපොළවල සංයුතියට වඩා වැඩි විය හැකියි.

දේපොළ යනු මොනවාද?

මාක්ස්වාදයට අනුව සෑම භාණ්ඩයක්ම හෝ සෑම දෙයක්ම දේපොළක් නොවේ. යම් කිසි භාණ්ඩයක් හෝ දෙයක් දේපොළක් බවට පත්වන්නේ එමගින් තවෙකෙකුගේ ශ්‍රමය සූරාකෑමක් සිදු කරන්නේ නම් පමණි. මේ අනුව ගේ දොර, යාන වාහන, ගෘහ උපකරණ වැනි පරිභෝජන භාණ්ඩ මාක්ස්වාදී අර්ථයෙන් දේපොළ ගණයට නොවැටේ. ධනවාදී දේපොළ බිහිවූයේ කුඩා හස්ත කර්මාන්ත ශිල්පියාගේ කුඩා ගොවියාගේ දේපොළ බිහි වූ ආකාරයට නොවේ. ධනවාදී දේපොළ බිහි වූයේ ධනපතියාගේ පුද්ගලික ශ්‍රමයේ ඵලයක් හැටියට නොවේ. වර්තමානයේ දී ධනවාදී රටවල පවතින මහා පරිමාණ ධනපති කර්මාන්තය සහ ව්‍යවසායයන් බිහිවූයේ වැටුප් ශ්‍රමිකයාගේ නිර්ධනයාගේ ශ්‍රමයෙනි. මාක්ස් හා එංගල්ස් ඒ පිළිබඳව කොමියුනිස්ට් ප්‍රකාශනයේදී මෙසේ පවසති.
“එහෙත් වැටුප් ශ්‍රමය නිර්ධනයාගේ ශ්‍රමය ඔහුට කිසියම් දේපොළක් නිර්මාණය කරයිද? කොහෙත්ම නැත. එය නිර්මාණය කරන්නේ ප්‍රාග්ධනයයි. එනම්, එය වැටුප් ශ්‍රමය සූරාකන දේපොළ නිර්මාණය කරයි… … ධනපතියෙකු වීමට නිෂ්පාදනයෙහි හුදෙක් පුද්ගලික තත්වයක් පමණක් නොව සමාජමය තත්වයක්ද අවශ්‍ය වෙයි. ප්‍රාග්ධනය සාමූහික ඵලයකි. එය නිර්මාණය කොට ක්‍රියා කරවීමට හැක්කේ සමාජයේ සාමාජිකයන් බොහෝ දෙනෙකුගේ ක්‍රියාකාරීත්වය තුළින් පමණි.” කොමියුනිස්ට් ප්‍රකාශනය ((පිටු 50))
මේ අනුව පෙනී යන්නේ, අද දවසේ පවතින මහා පරිමාණ කර්මාන්තයන්, අනෙකුත් මහා පරිමාණ ධනපති ව්‍යවසායයනුත් (පොදුවේ ගත්කල මේවා ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ) එක් එක් ධනපතියාගේ පුද්ගලික දේපොළක් ලෙස පැවතියද එම දේපොළ නිර්මාණය කරනු ලැබුවේ ඒ එක් එක් ධනපතියාගේ පුද්ගලික ශ්‍රමයෙන් නොවන බවය. එම දේපොළ ගොඩනැගුණේ සමාජයේ සාමාජිකයන් බොහෝ දෙනෙකුගේ, වැටුප් ශ්‍රමිකයන් බොහෝ දෙනෙකුගේ, නිර්ධනයින් බොහෝ දෙනෙකුගේ ශ්‍රමයෙනි.

සමාජවාදයේදී පවරාගනු ලබන්නේ කුමන දේපළද?

සමාජවාදය ගොඩනැගීම ආරම්භ වන්නේ නිර්ධන පංතිය අතට රාජ්‍ය බලය ලබා ගැනීමත් සමඟයි. සමාජවාදයේදී සමාජයේ ආර්ථික නියමය වන්නේ සමාජවාදී නිෂ්පාදනයේ ස්ථාවර වර්ධනය සහ එහි අංග සම්පූර්ණ කිරීම මගින් සමාජයේ සියලුම සාමාජිකයන්ගේ බහුවිධ සංවර්ධනය සහ හැකි පූර්ණතම සුභසිද්ධිය සහතික කිරීමය. මේ නිසා සමාජවාදී නිෂ්පාදනය සමාජයේ සියලු සාමාජිකයන්ගේ ද්‍රව්‍යමය හා අධ්‍යාත්මික වුවමනාවන් තෘප්ත කිරීමේ අරමුණින් සිදුවේ. (මීට වෙනස්ව, ධනවාදී සමාජයේ ආර්ථික නියමය වන්නේ, වැටුප් ශ්‍රමය සූරාකෑම මඟින් උපරිම අතිරික්ත වටිනාකම් – ලාභ ප්‍රමාණයක් උකහා ගැනීමයි. මේ නිසා ධනවාදය තුළදී සියල්ලට ප්‍රමුඛ වන්නේ, අතිරික්ත වටිනාකම් වැඩි වැඩියෙන් අත්පත් කර ගැනීමේ, වැටුප් ශ්‍රමිකයා වැඩි වැඩියෙන් සූරාකෑමේ ධනපතියාගේ වුවමනාවයි. එසේ නැතිව ජනතාවගේ සුභසිද්ධිය නොවේ.) සමාජවාදී රජය සමාජයේ සියලුම සාමාජිකයන්ගේ බහුවිධ සංවර්ධනය ඉලක්ක කරගනිමින් නිෂ්පාදනය සැලසුම් කරයි. ඒ සඳහා බැංකු, ප්‍රවාහන සේවාවන්, සන්නිවේදන සේවාවන්, වරාය, ගුවන්තොටුපළ ස්වභාවික සම්පත්, ඛනිජ නිධි ආදිය සමාජවාදී රජය යටතේ පවත්වාගෙන යාමට සිදුවේ. ඉහත කී ක්ෂේත්‍රයන් පෞද්ගලික ධනපති හිමිකාරීත්වයේ පවතින්නේ නම් ඒවාද ඇතුලත්ව මහා පරිමාණ කර්මාන්ත හා ව්‍යවසායයන් ප්‍රමාණයක් පවරා ගැනීමට සමාජවාදී රජයට සිදුවේ. එහෙත් මෙම මහා පරිමාණ ධනවාදී දේපළ යනු මීට ඉහතදී සඳහන් කළාක් මෙන් පරම්පරා ගණනක් තිස්සේ වැඩකරන පංතිය හා නිර්ධන පංතිය විසින් සිය ශ්‍රමයෙන් නිර්මාණය කරන ලද ඒවාය. සමාජවාදී විප්ලවයේදී එම දේපළ යළිත් නිර්ධන පංතිය ප්‍රමුඛ වැඩ කරන ජනතාව අතට ලබා දෙයි. එය ඓතිහාසික වැරැද්දක් නිවැරදි කිරීමකි. වැඩකරන ජනතාවගේ ශ්‍රමය විසින් බිහිකරනු ලැබූ දේ ඔවුන්ට අයිති විය යුතුය. සමාජවාදී සමාජයකදී රාජ්‍ය දේපළ ලෙස පවතින්නේ මේවාය. මීට අමතරව සමාජවාදී සමාජයකදී පුද්ගලික ධනවාදී දේපළද කුඩා හුවමාරු භාණ්ඩ නිෂ්පාදනය මත පදනම් වූ දේපළද පවතී. මේවා පුද්ගලික ශ්‍රමය මත පදනම් වූ කුඩා පරිමාණ දේපළයි. සමාජවාදයේදී අන් අයගේ ශ්‍රමය සූරාකෑම මත පදනම් වූ මහා පරිමාණ පුද්ගලික ධනවාදී දේපළ පවරා ගනු ලැබුවද කුඩා පරිමාණ දේපළ එසේ පවරා ගනු නොලැබේ. මක්නිසාද යත් කුඩා නිෂ්පාදකයාගේ පුද්ගලික ශ්‍රමයෙන් බිහි කරන ලද දේපළ ඔවුන්ගේම අයිතියක් වන බැවිනි. ජනතාවගේ වර්ධනය වන ද්‍රව්‍යමය, සංස්කෘතිකමය හා අධ්‍යාත්මික අවශ්‍යතාවන් හැකි උපරිම ආකාරයෙන් තෘප්ත කිරීම අරමුණු කරගෙන කටයුතු කරන සමාජවාදී රජය ආර්ථිකය සැලසුම් කරයි. එහිදී කුඩා පරිමාණ ධනවාදී ව්‍යවසායයන් නොසලකා නොහරී. ඔවුන්ද ජනතා අවශ්‍යතාවන් උපරිම ආකාරයෙන් තෘප්ත කිරීමේ පොදු සැලැස්මෙහි කොටස්කරුවන් බවට පත් කර ගනී. සමාජවාදය යටතේ භූමිය, ඛනිජ සම්පත්, වනාන්තර හුවමාරු භාණ්ඩ නොවේ. හුවමාරු භාණ්ඩයක් යනු හුවමාරුව, විකිණීම අරමුණු කරගෙන නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩයකි. ප්‍රධාන නිෂ්පාදන මාධ්‍ය (කර්මාන්තශාලා, වතු, නිධි ආදිය) විකිණීමට හෝ මිලදී ගැනීමට නොහැකිය. සමාජවාදී සමාජයකදී භූමිය, එහි ඇති ඛනිජ සම්පත්, ජලය සහ වනාන්තර යන සියල්ල රජයට අයත්ය. බැංකු, වරාය, ගුවන,් තොටුපල, සන්නිවේදනය, පොදු ගමනාගමනය ආදී ක්ෂේත්‍රද රජය සතුව පවතී. නොබෙදිය හැකිකම සමාජවාදී රාජ්‍ය දේපළෙහි එක් ප්‍රධාන ලක්‍ෂණයකි. කිසිවෙකුට රාජ්‍ය දේපළෙහි තමාගේ කොටස ඉල්ලා සිටිය නොහැකිය. රාජ්‍ය දේපළ සෑම දෙනාටම එකවිට අයිතිය. පුද්ගලයන්ට රාජ්‍ය දේපළ අත්පත් කර ගැනීම නොකළ හැකිය. අප විසින් මෙතෙක් පැහැදිලි කරනු ලැබූවේ සමාජවාදී සමාජයකදී පවත්නා පොදු තත්වයයි. එහෙත් ප්‍රායෝගිකත්වය තුළදී භාවිතාවේදී මෙම තත්වයන් ඒ එක් එක් රටෙහි එකී මොහොතේ පවත්නා වෙනස්කම් අනුව වෙනස් වේ. විශේෂයෙන්ම අප වැනි අඩු සංවර්ධනයක් සහිත රටක සමාජවාදය ගොඩනැගීමේදී එකී විශේෂතා සැලකිල්ලට ගැනීමට සිදුවේ. සංවර්ධිත ධනේශ්වර රටවල මෙන් නොව ශ්‍රී ලංකාව වැනි රටක මහා පරිමාණ දේපොළ (මහා පරිමාණ කර්මාන්ත හා ව්‍යවසායන්) ඉතාම සීමිතය. එබැවින් අප වැනි රටක සමාජවාදය ගොඩනැගීමේදී මූලිකවම අවධානය යොමු කිරීමට සිදුවනු ඇත්තේ, දේපොළ පවරා ගැනීමට නොව නිෂ්පාදනය ඉහළ දැමීමටය. එවිට සමාජවාදී රජයට සිදුවන්නේ, රටේ නිෂ්පාදනයේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් ඒ සඳහා කර්මාන්තකරුවන්ගේ, නිෂ්පාදකයින්ගේ හා අනෙකුත් ව්‍යවසායකයින්ගේ සහාය හා දායකත්වය ඒ වෙනුවෙන් ලබා ගැනීමටය. රටේ සමස්ත කර්මාන්තයේ, කෘෂි කර්මාන්තයේ, ව්‍යවසායන්ගේ හා අනෙකුත් නිෂ්පාදනය ඉහළ දමා ගැනීම සඳහා ඒ එක් එක් ක්‍ෂේත්‍රයේ දායකත්වය ලබා ගැනීමටය.

සමාජවාදය තුළදී ‘පෞද්ගලික දේපළ’

ඔබට ගවයින් දෙදෙනෙකු සිටී. උන් දෙදෙනාගෙන් ලැබෙන ආදායමෙන් පවුලක් නඩත්තු කිරීමට සිදුවේ. ඒ සඳහා උන්ගෙන් ලැබෙන කිරි හෝ කිරි නිෂ්පාදිතයන් අලෙවි කිරීමට ඔබට සිදුවන්නේය. ගවයින් දෙදෙනාගෙන් ලැබෙන කිරි සාධාරණ මිලකට අලෙවි කර ගැනීම ධනේශ්වර ක්‍රමය තුළදී ලෙහෙසි නැත. කිරි නිෂ්පාදනයක් කිරීම සඳහා අවශ්‍ය සහාය ඒ සඳහා අවශ්‍ය දැනුම උපකරණ ආදිය සැපයීම සඳහා ධනේශ්වර ක්‍රමය තුළ වැඩපිළිවෙළක් නැත. ඒවා ඔබම සපයා ගත යුතුය. එය කිරි විකිණීමට වඩා දුෂ්කර කටයුත්තකි. ධනේශ්වර ක්‍රමය තුළදී කුඩා නිෂ්පාදකයෙකු වන ඔබගේ කිරි අලෙවි කිරීමට සිදුවන්නේ වෙළදපළේ ඇති මිලටය. වෙළඳපලේ ඇති කිරි හා කිරි නිෂ්පාදන සුප්‍රකට වෙළඳ නාමයන් සහිත නවසීලන්තය සහ ඕස්ටේ්‍රලියාව වැනි රටවලින් ගෙන්වන ඒවාය. එකී කිරි සමාගම්වල වෙළඳ ප්‍රචාරණය සමඟ තරඟ කිරීමට ඔබට නොහැකිය. ඒවා මහා පරිමාණ කර්මාන්ත බැවින් ඔවුන්ගේ නිෂ්පාදන වියදම ඉතා අඩුය. ඔවුන් ඔවුන්ගේ කිරි නිෂ්පාදනයන් වෙළඳපළේ විකුණන්නේ ඔබගේ නිෂ්පාදන වියදමටත් වඩා අඩුවෙන්ය. වෙළඳපළේ මිල වන්නේ එයයි. ඔබගේ කිරි වෙළඳපළේ අලෙවියෙන් ඔබට නිෂ්පාදන වියදමවත් නොලැබේ. එවිට ඔබට සිදුවන්නේ ඔබගේ කිරි ගවයින් දෙදෙනා විකුණා දමා කුලී වැඩක් හෝ සොයා ගැනීමටය. ධනේශ්වර අර්ථ දැක්වීම අනුව දේපළ ලෙස හඳුන්වන ඔබගේ දේපළවලට ධනේශ්වර ක්‍රමය තුළදී සිදුවන්නේ එයය.

‘පෞද්ගලික දේපළ’

සමාජවාදය තුළදී ඔබගේ කිරි ගවයින්, කුකුළන්, කෘෂිකාර්මික ඉඩම, ගෙවත්ත, ඔබ පරිහරණය කරන ගොඩනැගිලි, නිවස, ගෘහ උපකරණ, සංස්කෘතික භාණ්ඩ, ශීතකරණ, රූපවාහිනී, වාහන, යතුරුපැදි, රෙදිසෝදන යන්ත්‍ර, පරිගණක ආදී දේ දේපළ ලෙස නොසලකයි. ඒවා ඔබගේ පවුලේත් ඔබගේත් පුද්ගලික වුවමනාවන් තෘප්ත කිරීම සඳහා අත්‍යාවශ්‍ය පරිභෝජන භාණ්ඩය. ඒවා දේපළ නොවේ. සමාජවාදයේදී ධනේශ්වර ක්‍රමය තුළදී මෙන් පුද්ගලයා වස්තු භංගත්වයට පත් නොවන්නේය. (ඉහත උදාහරණයේ දී මෙන්) තේරුම් ගැනීමේ පහසුව සඳහා සහ භාවිතයේ පහසුව සඳහා අපි පුද්ගල පරිභෝජන භාණ්ඩ (එනම් නිවාස යාන වාහන ගෘහ භාණ්ඩ කිරි ගවයින්, කුකුළන්, කෘෂිකාර්මික ඉඩම, ගෙවත්ත, ඔබ පරිහරණය කරන ගොඩනැගිලි, නිවස, ගෘහ උපකරණ, සංස්කෘතික භාණ්ඩ, ශීතකරණ, රූපවාහිනී, වාහන, යතුරුපැදි, රෙදිසෝදන යන්ත්‍ර, පරිගණක ආදිය.) “පුද්ගල දේපළ” ලෙස හඳුන්වමු. සමාජවාදයේ දී ඉහත කිී “පුද්ගල දේපළ” තවකෙකුට බලහත්කාරයෙන් හෝ වංචාවෙන් අත්පත් කර ගත නොහැකි වන්නේය. ඒවා සමාජවාදී නීතිය විසින් ආරක්‍ෂා කරනු ලබයි. සමාජවාදය තුළදී වැඩියෙන් වැඩ කරන පුද්ගලයාට වැඩි ආදායමක් (වැඩි වැටුපක්) උපයා ගත හැකි වන්නේය. මේ නිසා වැඩියෙන් වැඩ කරන පුද්ගලයාට “පුද්ගල දේපළ” ලෙස වැඩි පරිභෝජන භාණ්ඩ ප්‍රමාණයක් ලබාගත හැකි වේ. මේ නිසා ඔහුගේත් ඔහුගේ පවුලේත් අවශ්‍යතාවන් වඩාත් හොඳින් තෘප්ත වේ. යම් පුද්ගලයෙකුට වැඩ කළ හැකිව තිබියෙදී එසේ නොකරන්නේ නම් ඔහුට පුද්ගළ දේපල ලෙස පාරිභෝගික භාණ්ඩ ලබා ගැනීමට ඇති අයිතිය නැතිවේ. සමාජවාදය තුළදී ජනතාවගේ පුද්ගල ආදායම වර්ධනය වේ. පුද්ගලයාගේ ආදායම් වර්ධනය ඔහුගේ ශ්‍රමයේ ගුණය හා ප්‍රමාණය මත රඳා පවතී. එනම් වැඩි වැඩ ප්‍රමාණයක් සිදු කරන පුද්ගලයාට වැඩි වැටුපක් ලැබෙන අතර පුහුණු ශ්‍රමිකයෙකුට නුපුහුණු ශ්‍රමිකයෙකුට වඩා වැඩි වැටුපක් ලබා දෙනු ලබයි. ජනතාවගේ පුද්ගල ආදායම වර්ධනය වන තරමට ඔවුන්ගේ ශාරීරික හා බුද්ධිමය හැකියාවන් වර්ධනය වේ. සමාජවාදයේ ආර්ථික සංවර්ධන මට්ටම උසස් වන තරමට ජනතාවගේ සැබෑ ආදායම වැඩිවේ. ඔවුන්ට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් පුද්ගල දේපළ ලෙස තබා ගැනීමට හැකි වන්නේය. සමාජවාදය තුළදී පුද්ගල දේපළ ලෙස ලබා ගන්නා භාණ්ඩ තමන්ට අභිමත සේ පරිභෝජනයට විකිණීමට හෝ වෙනත් කටයුත්තකට භාවිතා කිරීමේ අයිතිය ඇත. එහෙත් පුද්ගල දේපළ අනෙනුත් පුද්ගලයන් සූරාකෑමේ මාධ්‍යයක් බවට පත් කළ නොහැකි වන්නේ ය.

නිෂ්පාදනය ඉහළ දැමීමට දායකත්වය

සමාජවාදයේ දී ආර්ථික නියමය වන්නේ, ජනතාවගේ වැඩිවන ද්‍රව්‍යමය හා අධ්‍යාත්මික වුවමනාවන් හැකි උපරිමයෙන් තෘප්ත කිරීමය. ඒ සඳහා පළමුකොටම නිෂ්පාදනය හැකි උපරිමයෙන් ඉහළ දැමිය යුතු වන්නේ ය. එවිට ඔබ සතු ගවයින් දෙදෙනාගෙන් උපරිම කිරි නිෂ්පාදනයක් ලබා ගැනීමට සමාජවාදී රජය මැදිහත් වේ. ඒ සඳහා අවශ්‍ය උපදෙස් මඟ පෙන්වීම, විද්‍යාත්මක දැනුම පුහුණුව ඇතුළු ලබා දිය හැකි වෙනත් උපකාරයන් සමාජවාදී රජයෙන් ලබා දෙයි. සමාජවාදයේ අරමුණ වන්නේ, ඔබ සතු ගවයින් දෙදෙනා රජය සතු කර ගැනීම නොවේ; ගවයින් දෙදෙනාගේ අයිතිය ඔබට තිබියදී වැඩි කිරි නිෂ්පාදනයක් සිදු කර ගැනීමයි. ඔබගේ නිෂ්පාදනය අලෙවි කර ගැනීමට ඔබට පුද්ගලිකව අනවශ්‍ය වෙහෙසක් දැරීමට සිදු නොවන්නේය. සමාජවාදී රජය ඔබගේ කිරි නිෂ්පාදනය සාධාරණ මිලකට ඔබගෙන් මිලදී ගනී. ධනේශ්වර ක්‍රමයේදී මෙන් ඔබගේ නිෂ්පාදනය වෙළඳපොළේ විකුණා ගැනීමට නොහැකි වීමේ අවදානම දැන් ඔබට නැත. ඔබට අවශ්‍ය නම් ප්‍රදේශයේ අනෙකුත් කිරි ගොවීන් සමඟ එක්වී කිරි ගොවි සමුපකාරයක් ගොඩනගාගත හැකිය. ඒ ඔබට වඩා වාසිදායක වන්නේය. එහෙත් එය සිදුවිය යුත්තේ ස්වේව්ඡානුගතවය. ඔබගේ සහ ප්‍රදේශයේ කිරි ගොවීන්ගේ කැමැත්ත මත පමණි. ඔබ ගොඩනගා ගැනීමට අපේක්‍ෂා කරන සමුපකාරය සඳහා අවශ්‍ය නම් රජයෙන් ආධාර ඉල්ලා සිටිය හැකි වන්නේය. සමාජවාදී රජයට ඒ සඳහා වැඩපිළිවෙළක් ඇත . සමුපකාරය ගොඩනැගීම සඳහා අවශ්‍ය උපදෙස්, ණය පහසුකම්, උපකරණ, ගවයින් සඳහා අවශ්‍ය පොදු තණ බිම් ආදිය සමාජවාදී රජය විසින් ලබා දෙනු ඇත. සමුපකාරය ගොඩනැගෙන්නේ ඔබගේ කිරි ගවයින් දෙදෙනාත් ප්‍රදේශයේ කිරි ගොවීන්ගේ කිරි ගවයනුත් සමුපකාරයට ලබාදීමෙන් වුවද කිරි ගවයින්ගේ අයිතිය ඒ එක් එක් ගොවියාටම හිමිය. කිරි ගොවි සමුපකාරයේ නිෂ්පාදිතය රජය මැදිහත්වී සාධාරණ මිලකට මිලදී ගන්නේය. ආදායම බෙදී යන්නේ එක් එක් ගොවියා සතු කිරි ගවයින් ගණනට අනුවය. මේ නිසා ඔබගේ ආදායම අඩු නොවන අතර සමස්තයක් වශයෙන් කිරි නිෂ්පාදනයේ නිෂ්පාදන වියදම අඩුවේ. මේ නිසා ඔබගේ සැබෑ ආදායම ඉහළ යයි. ඔබට අවශ්‍ය නම් ඔබගේ ආදායමින් ඉතිරි කරගත් කොටසින් තවත් ගවයින් මිලදී ගෙන සමුපකාරයට එක්කල හැකි වන්නේය. උන්ගේ අයිතියද ඔබ සතුවන අතර ඔබගේ කිරි දෙනුන්ගේ පැටවුන්ගේ අයිතියද ඔබ සතු වන්නේ ය.

වස්තු භංගත්වයෙන් තොර සමාජයක්…

සමාජවාදයේදී ඔබ උපයන මුදල ඔබට පසුවට ප්‍රයෝජනයට ගත හැකි අයුරින් ඉතිරි කළ හැකි වන්නේය. ඒවා බැංකුවල හෝ ඉතුරුම් බැංකුවල තැන්පත් කළ හැකිය. ඔබගේ තැන්පතුව සඳහා සාධාරණ පොලියක් ලබා දෙයි. ඔබගේ තැන්පතුවේ සුරක්‍ෂිතභාවය පිළිබඳව වගකීම සමාජවාදී රජය විසින් දරනු ලබන්නේය. ධනේශ්වර ක්‍රමය තුළදී සාතිශය බහුතරයක් පුද්ගලයෝ එක්කෝ වස්තු භංගත්වයට පත්වෙති. නැතිනම් ලීසිං සමාගම්වල හෝ පොලී කාරයන්ගේ හෝ බැංකුවල හෝ ණයකාරයන් බවට පත්වෙති. පුද්ගලයෙකුට තමන්ගේ මූලික අවශ්‍යතා තෘප්ත කර ගැනීම සඳහා අවශ්‍ය වන පුද්ගල දේපළ (පරිගණකයක්, වාහනයක්, තමන්ගේම නිවසක් ආදිය) ලබා ගැනීම සඳහා මුළු ජීවිත කාලයම වැය කිරීමට සිදුවන්නේය. එහෙත් ඊට ප්‍රතිපක්‍ෂව සමාජවාදයේදී ජනතාවට තමන්ගේ මූලික අවශ්‍යතා තෘප්ත කරගැනීම සඳහා අවශ්‍ය පුද්ගල දේපළ ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් ආදායමක් සමාජවාදී ආර්ථිකය විසින් සහතික කරනු ලබන්නේ ය.

සමාජවාදය සහ පෞද්ගලික දේපළ