සමාජවාදය සහ පුද්ගලික නිදහස

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

සමාජවාදය තුළදී එක් එක් පුද්ගලයාගේ සාමාන්‍ය ජීවන රටාව දැනට වඩා වෙනස් වේද? තදබල නීතිරීතිවලට බැඳුණු ඒකාකාරී ජීවන රටාවකට හුරුවීමට සිදුවේද? තමන් කැමති කෑමක් කෑමට, විලාසිතාවක් අනුගමනය කිරීමට හැකිවේද? විනෝද චාරිකාවක් යාමට, ප්‍රිය සම්භාෂණවලට සහභාගිවීමට හැකිවේද? විදේශ චාරිකාවක්, වන්දනා ගමනක් යාමට හැකි වේද? ආදී වශයෙන් ප්‍රශ්න ගණනාවක් සමාජවාදය පිළිබඳ විමසිලිමත් වන බොහෝදෙනා තුළ පැන නංවා ඇත.
සමාජවාදය පිළිබඳ මෙවැනි සැක සංකා මතුවීමට ප්‍රධාන හේතු දෙකක් ඇත. එකක් සමාජවාදයට එරෙහිව මතවාද සකස් කරනු ලබන ධනපති දෘෂ්ටිවේදීන්ගේ බොරු ප්‍රචාර හේතුවෙන් ඒ පිළිබඳව මැවෙන ව්‍යාජ චිත්‍රයයි. අනෙක සමාජවාදය ගොඩනැගීමේදී දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවූ වැරදි අඩුපාඩුකම්ය.

සමාජවාදය ගොඩනැගීමේ මුල් අවධියේදී එහි දේශපාලන හරය තේරුම් නොගත් ඇතැම් පිරිස් සිදුකළ වැරදි අඩුපාඩුකම් හේතුවෙන් සමාජවාදය තුළදී ඉහත සඳහන් කළ ආකාරයේ පුද්ගලික නිදහස නැතිවේයයි සිතීමට හේතුවන සිදුවීම් නිර්මාණය විය. 1976- 79 වකවානුවේ කාම්බෝජයේ පොල්පොට් පාලනය විසින් මේ ආකාරයෙන් සිදුකරනු ලැබූ විකෘති කිරීම් මෙහිදී විශේෂ වේ. පොල්පොට් පාලනය විසින් ජනතාවගේ සියලු දේපළ, උපකරණ ආදිය පවරා ගනු ලැබූ අතර සෑම දෙනාටම තද පාට කපු කමිසයක් හා කලිසම් දෙකක් ලබා දෙන ලදී. ඔවුන් කොමියුනවලට ගාල්කරනු ලැබිණි. පොල්පොට් පාලනය විසින් මේ ආකාරයෙන් ගොඩනැගීමට උත්සාහ කළ ‘බැරැක්ක කොමියුනිස්ට්වාදය’ පසුව ජනතා විරෝධය මැද පරාජය කරනු ලැබිණි. මීට අමතරව චීනයේ හතර දෙනාගේ කල්ලියේ පාලන සමයේ සංස්කෘතික විප්ලව අවධියේදී සිදුකරනු ලැබූ එවැනි ක්‍රියාකාරකම් විසින්ද සමාජවාදය තුළදී පුද්ගලික නිදහස අහෝසි වන්නේයයි මතයක් නිර්මාණය කිරීමට අවශ්‍ය තත්වයන් සැකසුණි.

අද දවසේ සමාජවාදයට එරෙහිව මත සකස් කරන්නෝ මෙම සිදුවීම් ඔවුන්ගේ කරුණු තහවුරු කිරීමට යොදා ගනිති. එහෙත් ඇත්ත වශයෙන්ම ඒ සමාජවාදය නොවේ. සමාජවාදය නමින් සිදු කරනු ලැබූ විකෘති කිරීම්ය. සමාජවාදයට එරෙහිව මත සකස් කරන්නෝ ඒ බව හොඳින් දනිති.
සමාජවාදයට එරෙහිව මත සකස් කරන්නන් පවසන ආකාරයට සමාජවාදය තුළදී පුද්ගලික නිදහස අහෝසි කරන්නේ හෝ සීමා කරනු ලබන්නේ නැත. පුද්ගලික නිදහස සැබෑ අරුතින්ම භුක්ති විඳීමට අවශ්‍ය තත්වයන් නිර්මාණය වන්නේ සමාජවාදය තුළදීය.

ධනවාදය තුළදී පුද්ගලික නිදහස ආරක්ෂා වේ යයි වචනාර්ථයෙන් ප්‍රකාශ කළද ප්‍රායෝගිකත්වය තුළදී එය අහෝසි කොට දමා ඇත. පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් තමන් කැමති කෑමක් කෑමට, විලාසිතාවක් අනුගමනය කිරීමට, විනෝද චාරිකාවක් යාමට, ප්‍රිය සම්භාෂණවලට සහභාගි වීමට, විදේශ චාරිකාවක් යාමට බොහෝ දෙනෙකුට නොහැකිය. පවතින ආර්ථික දුෂ්කරතා නිසා රැකියාවක් නොමැති නිසා තමන් සිත්ගත් පුද්ගලයා සමග විවාහ වීමට නොහැකිව ලතවෙන තරුණ තරුණියෝ කෙතරම් සිටිත්ද? එහෙත් සමාජවාදයට එරෙහිව මත සකස් කරන්නෝ කිසිවිටෙක එය සාකච්ඡාවට නොගනිති.

පුද්ගලික නිදහස යන්නට පොදුවේ පුද්ගලයාගේ පුද්ගලික ජීවිතයේ අංගයන් අයත් වේයැයි සැලකේ. උදාහරණයක් ලෙස කිසියම් පුද්ගලයෙකුගේ පවුල් සබඳතා, පවුලේ කටයුතු, පුද්ගලික සබඳතා, සිරිත් විරිත්, පුරුදු, රුචි අරුචිකම් යහළු යෙහෙළියන් සමග ඇති සබඳතා, විනෝදය ගත කරන ආකාරය, විනෝදාංශ ආදිය එයට ඇතුළත්ය.

සමාජවාදය තුළදී පුද්ගලයාගේ පුද්ගලික නිදහස උපරිමයෙන් ආරක්ෂා කෙරේ. කිසියම් අයෙකුගේ පුද්ගලික නිදහසට බාධාකිරීමට රජයට හෝ වෙනත් ආයතනයකට ඉඩ නොලැබේ. සමාජවාදයේදී පුද්ගලයාගේ පුද්ගලික නිදහසෙහි නිර්මාණාත්මක සංවර්ධනයට පුළුල් ඉඩකඩක් විවෘත වේ. පුද්ගලික නිදහසේ නිර්මාණශීලී සංවර්ධනය සමාජවාදය තුළදී සහතික කෙරේ. කිසියම් පුද්ගලයෙකුට ඔහුගේ දැක්මට, රුචි අරුචිකම්වලට, ආශාවන්ට රසඥතාවට, කැමැත්තට, පුරුද්දට අනුකූලව සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නිදහස සහතික කෙරේ. යමෙකුගේ පුද්ගලික නිදහසට බාධා කිරීමට පිටස්තර පුද්ගලයන්ට ඉඩ නොලැබේ.

සමාජවාදී රජයට පුරවැසියන්ගේ පුද්ගලික ජීවිතය තුළට මැදිහත්වීමේ අවශ්‍යතාවක් නැත. සමාජවාදී රජය රටේ ආර්ථිකය, විදේශ සබඳතා වැනි මූලික දේශපාලනය පමණක් හසුරුවයි. එක් එක් පුද්ගලයා පවුල් සබඳතා පැවැත්විය යුත්තේ කෙලෙසද, විනෝද විය යුත්තේ කෙලෙසද, ආදී වශයෙන් තීරණය කිරීමට රජය මැදිහත් නොවේ. ඒවා එක් එක් පුද්ගලයා විසින් තීරණය කළ යුතු ඔවුන්ගේ පුද්ගලික නිදහසට අයත් කාරණාය.

සමාජවාදය තුළදී සමාජවාදී රජය මැදිහත් වී සෑම පුද්ගලයෙකුටම රැකියාවක්, නිවාසක්, නොමිලේ අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් ආදී මූලික අවශ්‍යතා සම්පූර්ණ කරයි. එය රජයේ වගකීමකි. වැටුප් සකස් කිරීමේදී පුද්ගලයාගේ සහ පවුලේ විනෝදය සඳහා යන වියදම්ද වැටුපට එකතු කෙරේ.

සමාජවාදය ගොඩ නැගීම විද්‍යාත්මක ක්‍රියාවලියකි. එය සෑම විටම විද්‍යාවෙන් සහ විද්‍යාත්මක සොයාගැනීම්වලින් මඟ පෙන්වනු ලබයි.
පුද්ගලයෙකු වැඩෙහි නොයෙදෙන කාලය කොටස් 03කට බෙදිය හැකිය. ඒ,

  1. රැකියාවෙහි යෙදෙද්දී හෝ නිවසේ සිටිද්දී දිවා ආහාරය සඳහා, පුහුණුවීම් සඳහා, ඉවුම් පිහුම්, ළමයින් බලා ගැනීම, කඩයට යාම, නිවස පිරිසිදු කිරීම ආදිය සඳහා ගත කරන කාලය
  2. ශාරීරික හැකියාවන් ප්‍රතිපූර්ණය සහ ශරීරයේ ජීව රසායනික ක්‍රියාවලිය විසින් ඉල්ලා සිටින කාලය, (උදා. නින්ද, ස්වස්තතාව ආදී)
  3. නිදහස් කාලය (විනෝද වන කාලය) ලෙසය.
    මේ අතරින් පුද්ගලයාගේ සංවර්ධනය සඳහා වැදගත්වන්නේ නිදහස් කාලයයි. වැඩ කරන කාලයේදී, ශ්‍රම ක්‍රියාවලියේදීද පුද්ගලයාගේ සංවර්ධනය සිදුවන බව ඇත්තය. නිෂ්පාදන ක්‍රියාවලියේදී සාමූහික වැඩෙහිදී පුද්ගලයා ගේ කායික හා අධ්‍යාත්මික හැකියාවන් හෙළිදරව් වේ. වැඩ කරන පුද්ගලයාගේ පෞර්ෂය වර්ධනය සඳහා වැඩි අවස්ථා නිර්මාණය කරන්නේ නිදහස් කාලයේදීය.

සමාජවාදය තුළදී සෑම පුද්ගලයෙකුටම නිදහස් කාලය වැඩිකර දීමට උත්සාහ කෙරේ. ඊට අමතරව සමාජවාදය තුළදීද නිදහස් කාලය ගතකිරීම සඳහා අවශ්‍ය පහසුකම්ද ගොඩ නගනු ලබයි. නිවාඩු නිකේතන, සිනමා ශාලා, ක්‍රීඩාගාර, නාට්‍ය ශාලා ආදිය ගොඩනගනු ලබයි. ධනවාදයේදී මෙන් නොව මෙම පහසුකම් සෑම පුරවැසියෙකුටම සහන මිලකට එම සේවා හා පහසුකම් ලබා ගැනීමට ඉඩ සැලසේ.

සමාජවාදය තුළදී විලාසිතාවන්ට ඉඩක් නොමැතිය යන්න වැරදි මතයකි. රූපලාවන්‍ය කටයුතු, විලාසිතා ආදිය සමාජවාදය තුළදී පවතී. මෝස්තර නිර්මාණය කරන ආයතන, රූපලාවන්‍ය කටයුතු සමාජවාදය තුළදී වෙනම ස්වාධීන ක්ෂේත්‍රයක් ලෙස වර්ධනය වේ. ඒ ඒ ක්ෂේත්‍රයේ නව නිර්මාණයන්ට, පර්යේෂණයන්ට වෙන්වූ වෙනම ආයතන සමාජවාදී රටවල පවතී. එම ආයතනවලින් නවීනතම මෝස්තර හා මෝස්තර ශිල්පීන් බිහිවේ. පුද්ගලයන්ට තමන් කැමති විලාසිතාවන් අනුගමනය කිරීමට බාධාවන් සමාජවාදය තුළදී නොපවතී.

රුචිකත්වයන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. කිසියම් පුද්ගලයෙකුගේ රුචිකත්වය ජීව විද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක, සමාජවිද්‍යාත්මක ආදී සාධක ගණනාවක් මගින් තීරණය කරනු ලබයි. පුද්ගල රුචිකත්වයන් පාලනය කිරීමට සමාජවාදී රජය කිසිවිටෙකත් අදහස් නොකරයි. පුද්ගලයාගේ පුද්ගලික නිදහස භුක්ති විඳිය යුත්තේ කෙසේද යන්න තීරණය කිරීම රජයට අයත් කාරණයක් නොවේ. එය තීරණය කළ යුත්තේ ඒ ඒ පුද්ගලයන්ය. සමාජවාදී රජය පුද්ගලයාගේ පුද්ගලික නිදහසට උපරිමයෙන් භුක්ති විඳීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන්නේ එබැවිනි.

සමාජවාදය සහ පුද්ගලික නිදහස