කොවිඩ් සටනේදී ජීවිත රැක ගැනීමට එන එන්නත් 294ක්

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ලෝකය ආසන්න දශක කිහිපය තුළ මුහුණ දෙන දැවැන්තම සෞඛ්‍ය අර්බුදය වන කොවිඩ්-19 වසංගතය හමුවේ කොරෝනා මර්දන එන්නත් මාත්‍රා බිලියන ගණනක් දැනටමත් නිෂ්පාදනය කර මේ වනවිටත් ඒවා ජනතාව වෙත භාවිත කරමින් පැවතුණත්, ඔබේත්, අපේත් ජීවිත බේරාගැනීමට පැමිණෙන එන්නත් මෙම එන්නත් කිහිපය පමණක් නොවේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත්කරණ විශ්ලේෂණ යාන්ත්‍රණයට අනුව, මේ වනවිට කොවිඩ්-19 මර්දන එන්නත් 294ක් සංවර්ධනය වෙමින් පවතින අතර, ඉන් එන්නත් 110ක්ම සායනික පර්යේෂණ සංවර්ධනයන්හි විවිධ අවධීන්හි පවතී.

මේ වනවිටත් පළමු වැනි පරම්පරාවේ එන්නත් සියල්ලම පාහේ සාමාන්‍යයෙන් මාත්‍රා දෙකකින් යුතු එන්නත් ලෙස කලඑළි බැස ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනටමත් අනුමත කර ඇති මෙම එන්නත්, වෛරසය ආසාදිත පුද්ගලයෙකු රෝහල්ගත කිරීමට හෝ කොවිඩ්-19 හේතුවෙන් මිය යාමට ඇති ඉඩකඩ කපා හැරීම සඳහා කැපී පෙනෙන ලෙස සාර්ථක වී ඇති බව ඔප්පු කර තිබේ.

කෙසේ වෙතත් එන්නත් මගින් සම්ප්‍රේෂණයන් කොපමණ ප්‍රමාණයක් කපා හරිනවාද යන්න පිළිබඳව අධ්‍යයනයන් අඛණ්ඩව තවදුරටත් සිදු කෙරෙමින් පැවතුනද, මෙම එන්නත් වෛරසය ආසාදනය වීමේ හෝ ආසාදනය වූවෙකු හරහා සම්ප්‍රේෂණයේ හැකියාවද අඩු කරමින් සිටියි.

වසංගතයට එරෙහි එන්නත් වර්ග

Viral vector

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම වර්ගයේ එන්නත් 17ක් සායනික සංවර්ධන මට්ටමේ සහ පූර්ව සායනික සංවර්ධන මට්ටමේ එන්නත් 20ක් පවතී. මෙය දැනට භාවිත කරන AstraZeneca එන්නතට සමානය.

RNA

සායනික සංවර්ධන මට්ටමේ එන්නත් 18ක් සහ පූර්ව සායනික සංවර්ධන මට්ටමේ එන්නත් 23ක් ඇත. මෙය වර්තමාන Pfizer එන්නතට සමානය.

Protein subunit

 සායනික සංවර්ධන මට්ටමේ එන්නත් 37ක් ඇති අතර, පූර්ව සායනික සංවර්ධන මට්ටමේ එන්නත් 69ක්ද පවතී. මෙය Novavax සහ Sanofi-GSK විසින් වැඩි දියුණු කරන ලද එන්නත් හා සමානය. ඒවා දැනට අනුමැතිය සඳහා යුරෝපීය නියාමකයින් විසින් සමාලෝචනය කෙරෙමින් පවතී.

Inactivated virus

 සායනික සංවර්ධන මට්ටමේ එන්නත් 16ක් සහ පූර්ව සායනික සංවර්ධන මට්ටමේ එන්නත් 8ක් ඇත. Sinopharm සහ Sinovac විසින් භාවිත කරන වර්ගය මෙයයි.

DNA

 සායනික සංවර්ධන මට්ටමේ එන්නත් 10ක් සහ පූර්ව සායනික සංවර්ධන මට්ටමේ එන්නත් 16ක් ඇත. Zydus Cadila සාර්ථක අත්හදා බැලීම්වලින් පසුව හදිසි භාවිත අවසරය ඉල්ලුම් කර ඇති එන්නත් හා සමානය.

එන්නත් මාත්‍රා එකද, දෙකද, තුනද?

එන්නත් මාත්‍රා දෙකක්

මෙම කාණ්ඩයට සායනික සංවර්ධන මට්ටමේ පවතින එන්නත්වලින් තුනෙන් දෙකක් ඇතුළත් වේ. ද්විත්ව මාත්‍රා එන්නත් 72න්, මාත්‍රාවන් අතර සති හතරක පරතරය එන්නත් 38ක් සඳහාත්, සති තුනක පරතරය එන්නත් 28ක් සඳහාත්, සති දෙකක පරතරය ඉන් එන්නත් 6ක් සඳහාත් පවතී.

තනි මාත්‍රාව

මෙම කාණ්ඩයේ එන්නත් 16ක් ඇති අතර එය මුළු එකතුවෙන් 15%කි.

ත්‍රිත්ව මාත්‍රාව

Zydus Cadila වෙතින් සති 4ක පරතරයකින් යුතු සැලසුම් කළ මාත්‍රා තුනක උපාය මාර්ගයක් සහිත එන්නතකි.

අනෙකුත් එන්නත් 

 සායනික සංවර්ධන මට්ටමේ එන්නත් 21ක් මෙම සංඛ්‍යාලේඛනවලට ඇතුළත් නොවේ. තොරතුරු ලබාගත නොහැකි වූ නිසා හෝ සායනික සංවර්ධන ක්‍රියාවලියෙන් පසු මාත්‍රාවන් අතර කාලය පරතරය තීරණය කළ යුතු නිසා එසේ ඇතුළත් වී නැත.

එන්නත් ශරීරයට ඇතුළු කරන ආකාර

අතට විදීම

 සායනික සංවර්ධන මට්ටමේ එන්නත්වලින් 85%ක් හෙවත් අතිමහත් බහුතරයක් අතට විදිනු ලබන එන්නත් මගින් මිනිසුන්ට එය ලබාදෙනු ඇත. දැනට අනුමත කර ඇති COVID-19 මර්දන එන්නත් ලබා දෙන්නේ මේ ආකාරයට ය.

නාසයෙන්

 සායනික සංවර්ධන මට්ටමේ එන්නත් 8ක් නාසයෙන් ලබාදෙනු ඇත. මෙය කුඩා දරුවන්ට උණ එන්නත වැනි දේ සඳහා බහුලව භාවිත වූ බෙදා හැරීමේ පද්ධතියකි.

මුඛයෙන්

සායනික සංවර්ධන මට්ටමේ එන්නත් 3ක් මුඛයෙන් ලබාදෙනු ඇත. පෝලියෝ ඇතුළු එන්නත් සඳහා මෙම ක්‍රමය භාවිත කර ඇත.

වෙනත්

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එන්නත් කිරීමේ ක්‍රම තවමත් ප්‍රකාශයට පත් කර නොමැති සායනික සංවර්ධන මට්ටමේ පවතින එන්නත් 14ක්ද ඇති බවයි.

මේ අනුව කොවිඩ්-19 වසංගතය හමුවේ ලොවපුරා ජනතාවගේ ජීවිත බේරාගැනීමට විද්‍යාඥයන් දිවාරෑ නොබලා අඛණ්ඩව එන්නත් පර්යේෂණ හා සංවර්ධන කාර්යයන්හි නියැලෙන බව නොරහසකි. කෙසේ වෙතත්, යළිත් හිස ඔසවා ඇති වසංගතය පාලනය කරගැනීම සඳහා දැනට භාවිතයේ පවතින එන්නත් හැකි ඉක්මනින් ලබාගන්නා ලෙසත්, එන්නත ලබාගත්තද වසංගතය හමුවේ මුල සිටම පැවති මහජන සෞඛ්‍ය පුරුදු (සුදුසු මුඛ ආවරණයක් නිවැරදිව පැලඳීම, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම) පවත්වා ගැනීමේ වැදගත්කමත් වසංගත රෝග විශේෂඥයෝ අවධාරණය කරති.

www.ada.lk

කොවිඩ් සටනේදී ජීවිත රැක ගැනීමට එන එන්නත් 294ක්