අධි පරිභෝජනවාදය (Hyper consumerism)

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ජීවත් වීම සඳහා මිනිස්සු භාණ්ඩ හා සේවාවන් පරිභෝජනය කරති. ආහාරපාන, නිවාස, ඇඳුම් පැළදුම්, බෙහෙත්, පොත් පත් සහ චිත්‍රපට ආදී රාශියක් භාණ්ඩ හා සේවාවන් මිනිස් අවශ්‍යතා වෙනුවෙන් නිපැදවෙන අතර, ක්‍රමානුකූලව මෙම පාරිභෝගික භාණ්ඩ ප්‍රමාණයෙන් සහ ගුණයෙන් වැඩි වෙමින් පවතී. සමාජ සංවර්ධනයත්, මිනිසා නව දැනුම අත්පත් කර ගැනීමත් සමඟ ම සිදු වන මෙම පාරිභෝගික භාණ්ඩයන්ගේ ප්‍රමාණයන්ගේ සහ ගුණයන්ගේ වැඩි වීම සමාජමය ගැටලුවක් වන්නේ නැත.

එහෙත්, පන්ති සමාජය තුළ මිනිසා ඉතා කෑදරකමකින් යුතුව අවශ්‍යතාවයන් ඉක්මවා පරිභෝජනය කිරීමේ ස්වභාවයක් දක්නට ලැබේ. පෞද්ගලික දේපළ ක්‍රමය බිහි වීමත් සමඟ ම මිනිසා තුළ ඇති වන සමාජ මනෝභාවය එනම්, මානසික පැවැත්ම තුළ පෞද්ගලිකව වැඩි වැඩියෙන් අත්පත් කර ගැනීම නම් වන ලක්‍ෂණය අන්තර්ගත වේ. එහි ම තවත් ස්වභාවයක් වශයෙන් සීමාව ඉක්මවා, අවශ්‍යතාවය ඉක්මවා පරිභෝජනය කිරීම ද දක්නට ලැබේ.

පැරැණි රෝම අධිපතීන්ගේ නිවෙස්වල අධික ලෙස ආහාර ගෙන වමනය කිරීම සඳහා ප්‍රදේශයක් (Vomitoria&) පැවැති බව ද, ඉන්දියාවේ බමුණන් තුළ අධික ලෙස ආහාර ගැනීමේ සංස්කෘතියක් පැවැති බවට ද සමහර ඓතිහාසික සහ සාහිත්‍යයික තොරතුරු හමු වේ.

කෙසේ වෙතත්, මෙලෙස අධික ලෙස පරිභෝජනය කිරීමේ ස්වභාවය එහි උච්චතම අවස්ථාවට පැමිණ ඇත්තේ, සමාජමය ව්‍යාධියක් බවට පත්ව ඇත්තේ ධනවාදී සමාජ ක්‍රමය තුළ ය. එනම්, වර්තමානයේ දී ය. එය නූතන සමාජය මුහුණ දී ඇති බරපතළ ප්‍රශ්නයක් වශයෙන් සාකච්ඡාවට ගැනෙන්නකි.

  • ලෝකය මුහුණ දී ඇති ගෝලීය උණුසුම ඉහළ යාම සහ දේශගුණික විපර්යාසයන්ට ප්‍රධානතම හේතුවක් ලෙස ද (භාණ්ඩ නිෂ්පාදනය සඳහා විශාල වශයෙන් ඛනිජ සම්පත් නිස්සාරණය, පොසිල ඉන්ධන සහ බලශක්තිය පරිභෝජනය, දැව භාවිතය සහ වනාන්තර එළි කිරීම නිසා වායුගෝලීය දූෂණයත්, ජල ගෝලීය දූෂණයත්, පස දූෂණය වීමත්, මුහුදු ආම්ලිකකරණය වීමත් සිදු වේ. හරිතාගාර වායු නිපැදවීම ඉහළ යාම නිසා ගෝලීය උණුසුම වැඩි වීමත්, ඒ හේතුවෙන් ග්ලැසියර් ඛාදනය සහ දේශගුණ විපර්යාසයනුත් වීමට පටන්ගෙන ඇත.)
  • ලොව පුරා පැතිරී ඇති දරිද්‍රතාවයට සහ කුසගින්නට ප්‍රධාන හේතුවක් ලෙස ද (ලෝකයේ පිරිසක් අධික ලෙස පරිභෝජනය කරද්දී තවත් පිරිසකට මූලික මිනිස් අවශ්‍යතා හෝ සපුරා ගත නොහැකිව ඇත. ලොව ජනගහනයෙන් මිලියන 795ක් එනම්, නවයෙන් එකක් ම රාත්‍රී නින්දට යන්නේ කුසගින්නේ ය.)
  • වෙනත් සෞඛ්‍යය, සමාජයීය සහ පාරිසරික ප්‍රශ්න රාශියකට ම ද හේතු ලෙස අධිපරිභෝජනය සැලැකේ. (අධික තරබාරුව, හෘදයාබාධ සහ බෝ නොවන රෝග)

අධිපරිභෝජනය සඳහා ගෝලීය සම්පත් විශාල වශයෙන් පරිහරණය කෙරේ. දැනට පවතින අධ්‍යයනයන් අනුව සාමාන්‍ය ඇමෙරිකානු පුරවැසියෙකු පරිභෝජනය කරන ප්‍රමාණයට ලෝකයේ සෑම පුරවැසියෙකු ම පරිභෝජනය කළහොත්, ඒ සඳහා සම්පත් සොයා ගැනීමට මෙම පෘථිවි ගෝලය මෙන් හතරක් අවශ්‍ය වන්නේ ය. එක්සත් අරාබි එමිරේටයේ පුද්ගලයකු පරිහරණය කරන ප්‍රමාණය අනුව සැලකුවහොත්, එය අපගේ පෘථිවිය මෙන් 5.4 ගුණයකි.

අධිපරිභෝජනවාදී ජීවන රටාවන් උරුම කර ගත් ලොව ධනවතුන් සියයට 10ක් විසින් ලොව සම්පත්වලින් සියයට 59ක් පරිභෝජනය කරන අතර, ලොව දුප්පතුන්ගෙන් සියයට 10ක් ම පරිභෝජනය කරන්නේ සියයට 0.5ක් තරම් ප්‍රමාණයකි.

ආහාර වර්ග, නිවාස, ඇඳුම් පැළඳුම්, යාන වාහන, ජංගම දුරකථන ආදී අති විශාල භාණ්ඩ ප්‍රමාණයක් කෙළවරක් නොමැති විකල්ප තෝරා ගැනීම් සහිත වෙළෙඳපොළක් තුළට අප ඉහත සඳහන් කළ අධිපරිභෝජනවාදී සමාජය ඇද දමා ඇත. එය ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන්නේ සුපිරි ධනවත් රටවල් යැයි සැලැකෙන කේන්ද්‍රීය ධනපති රටවල් තුළ වුවත්, සත්තකින් ම එය සීමාවකින් තොරව ගෝලීය ලෙස පැතිරුණු තත්ත්වයක්ව ඇත.  සංස්කෘතියක් බවට පත්ව ඇත. ජීවත්වීම සඳහා පරිභෝජනය කිරීම වෙනුවට පරිභෝජනය කිරීම ජීවිතය බවට පත්ව ඇත.

මෙවැනි එක් භාණ්ඩ වර්ගයකින් වුවත්, විකල්ප රාශියක් ලබා දීමේ හේතුව මිනිසාගේ අවශ්‍යතා පරිපූර්ණය කිරීම ද? සත්තකින් ම එතරම් අවශ්‍යතා මිනිසුන්ට තිබේ ද? සත්‍ය කරුණ නම්, එය එසේ නොවන බවයි.

මෙය අපට හඳුනා ගන්නට වන්නේ ධනවාදයේ ස්වභාවය තුළින් පැනනඟින්නක් ලෙසයි. ධනවාදය යනු ලාභය අරමුණු කර ගනිමින්, නිෂ්පාදනයේ යෙදෙන සමාජ ක්‍රමයකි. ධනවාදය ලාභ ලබන්නේ වෙළෙඳ හුවමාරු භාණ්ඩය මඟිනි. වැඩි වැඩියෙන් භාණ්ඩ නිපැදවීමත්, ඒවා අලෙවි කර ගැනීමත් සඳහා ධනවාදය තූළ ඇත්තේ අති මහත් තරගයකි. ලාභ ලැබීමට නම්, භාණ්ඩ නිපැදවීමත්, ඒවා අලෙවි කර ගැනීමත් යන දෙක ම සිදු කළ යුතු වේ. ඒ අනුව ධනවාදය ධනවාදී වෙළෙඳ භාණ්ඩ මෙන් ම ඒවා මිල දී ගන්නා මිනිසකු ද සදයි. අද අප දකින අධිපරිභෝජනවාදී සමාජය නැතිනම්, අධිපරිභෝජනවාදී මිනිසා යනු ධනවාදයේ නිපැදවීමක් වන්නේ මේ අනුව ය.

වර්තමානයේ අධිපරිභෝජනය අප කිසිවකුට ගැලවී ගත නොහැකි ජිවන රටාවක්, සංස්කෘතියක් සහ විලාසිතාවක් බවට පත්ව ඇත. එම සමාජයේ සුවිශේෂී ලක්‍ෂණ වන්නේ මිනිස් සබඳතා නොසලකා නැතිනම්, ඉක්මවා පාරිභෝගික භාණ්ඩ ප්‍රමුඛ වීම ය. භාණ්ඩ හරහා මිනිසුන් හඳුනා ගනී. මිනිසුන්ගේ අනන්‍යතා සකස් වන්නේ භාණ්ඩ මඟිනි. යමෙක් පළඳින ඔරලෝසුව, ගමන් කරන මෝටර් රථය වඩා ප්‍රමුඛ වෙයි. භාණ්ඩ වන්දනීය දේ බවට පත් වෙයි. ප්‍රේමය, කරුණාව සහ දයාව වැනි මානුෂික ගුණයන් පවා චොකලට්, ඔරලෝසු, ඇඳුම් ආදිය බවට පත් වේ. මාක්ස්වාදය තුළ මෙය ආර්චන කාමය, නැතිනම් පෙතිෂවාදය (commodity fetishism) යනුවෙන් හැඳින්වේ. මාක්ස් පවසන්නේ මෙම භාණ්ඩ අධි වන්දනාව භාණ්ඩ හුවමාරු ක්‍රියාවලිය තුළ පැනනඟින බවයි.

ධනවාදයට මෙම අධිපරිභෝජනවාදී සමාජය බිහි කර ගැනීම සඳහා සහ පවත්වාගෙන යාම සඳහා ‘මාධ්‍ය’ (media) විශාල කාර්යභාරයක් ඉටු කරයි. වෙළෙඳ දැන්වීම් සහ ප්‍රචාරණය මඟින් අධික ලෙස භාණ්ඩ පරිභෝජනයට පොළඹවන ව්‍යාජ විඤ්ඤාණයක් (false consciousness) අප තුළ ඇති කරන්නේ ඉහත කී මාධ්‍ය සහ වෙළෙඳ ප්‍රචාරක සමාගම් මඟිනි. අධිපරිභෝජනය නූතනයේ ආගමික ලක්‍ෂණ අත්පත් කරගෙන ඇති බව රෝයි බාස්කර් පවසයි. ඔහුට අනුව පල්ලිය වෙනුවට නූතනයේ ආදේශ වී ඇත්තේ, සුපිරි වෙළෙඳ සල් ය. ප්‍රසිද්ධ, ජනප්‍රිය පුද්ගලයන් ශාන්තුවරයන් බවට පත් වේ. තපස-මානසික සුවය අත්පත් කර ගන්නේ සුපිරි වෙළෙඳ සල් තුළ භාණ්ඩ අතර සැරිසැරීමෙනි. ආගම්හි සඳහන් වන මරණින් මතු ජීවිතය යහපත් කර ගැනීම වෙනුවට ඉහළ පාරිභෝගික ජීවිතයක් ගත කිරීම ආදේශ වී ඇත. කෙසේ වෙතත්, වර්තමානයේ ‘අධිපරිභෝජනය’ ධනවාදයට ආරක්‍ෂා වීමේ මාර්ගය වන අතර ම, මානව සමාජයත්, පරිසරය හා සොබාදහමත් වනසන මාර්ගය ද වී ඇත. අධිපරිභෝජනය ධනවාදයට ආවඩන අතර පරිසර විනාශයට අතදීමක් සිදු කරයි. අධි පරිභෝජනයට එරෙහි වීම ධනවාදයට එරෙහි වීම මෙන්ම, පරිසර විනාශයට එරෙහිව ද දේශපාලන සංස්කෘතියේ අංගයක් බවට පත් කළ හැක. අප මෙම භාණ්ඩ පරිහරණය කළ යුතු ම ද? එය ඇත්තටම තමන්ගේ අවශ්‍යතාවයක් ද?

අධි පරිභෝජනවාදය (Hyper consumerism)