බොහීමියානුවාදය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

බිහිවීම.

ශබ්දකෝෂයට අනුව බොහීමියානුවා යනු, “සමාජ සම්මතයන් බැහැර කළ තැනැත්තා” යන්නයි. බොහීමියානු සංකල්පය මුලින්ම මතු වන්නේ 1789 ප්‍රංශ විප්ලවයට පෙර එහි විසූ සංගීත, චිත්‍ර, මූර්ති කලාකරුවන් ඇතුළු කොටසකගෙනි. සමාජයේ වැදගත්කමක්, අවධානයක් හිමි නොවූ ඔවුන් එම තත්ත්වය ළඟා කර ගැනීමට කටයුතු කිරීම මෙහි ආරම්භය ලෙස දැකිය හැක. චෙක් ජනරජයේ බොහීමියානු ප්‍රදේශයෙන් පැමිණි ‘ජිප්සි’ කණ්ඩායම් හැඳින්වූ ‘Bohemian’ වරු යන්න උක්ත කලාකරුවන් අරභයා ද ව්‍යවහාර වන්නට විය. ප්‍රංශ විප්ලවයෙන් පසු ද ඔවුන් අපේක්‍ෂාභංගත්වයට පත් පිරිසක් වූ අතර පීඩිතභාවය, දරිද්‍රතාවය හා කුල පීඩනය වැනි තත්ත්වයන් ද ඊට ඉවහල් විය.

හඳුනා ගැනීමට

තමන්ට අනන්‍ය වූ සංගීතයක්, සාහිත්‍ය, නාට්‍ය ඇතු`ඵ කලා නිර්මාණ කරන, රසවිඳින, මුදල් එක්රැස් කිරීම හඹා නොයන, නිදහස උපරිම ලෙස භුක්ති විදීමට රුචි, සරල දිවි පෙවෙතක් ගත කිරීම වැනි ලක්ෂණ මේ තුළ වේ. සම්මත සමාජ සම්ප්‍රදායයන්ගෙන් වෙනස් වූ ජීවන රටාවක් මෙන්ම ඇඳුම් පැළඳුම්, ආභරණ පැළදීම, විලාසිතාවන් ඇතුළු ඔවුන්ගේ බාහිර පෙනුම ද සමාජයේ බොහෝ දෙනා අතර කැපී පෙනෙන්නකි. එකී ජීවන විලාසයන් හා සාමුහිකත්වයන්, ඔවුන්ට විඳීමට සිදු වූ දරිද්‍රතාවයන් ඇතුළු පීඩනයේ ඵලයක්ද විය. ප්‍රංශ ගත්කතුවරුන් ඔවුන්ව හැඳින්වූයේ “හෙට ගැන කනස්සල්ලට පත් නොවන, සම්පත්වලින් තොරව, අවි ආයුධ නොලැබූ, ජීවයක් නොලැබූ” පිරිසක් ලෙසිනි. ඔවුන්ට විඳීමට සිදුව තිබු පීඩාවන්ට එරෙහිව ඇතැම් විට අරගල වෙනුවෙන් තැනින් තැන සංචාරය කරන්නන් ලෙස ද, වික්‍රමිකයන් හා රස්තියාදුකාරයන් ලෙසටද අවස්ථානෝචිතව හැසිරුණු අවස්ථා ද දැකිය හැක. පීඩිත භාවයන්ගේ එක් ඵලයක් ලෙසින් පැනනැඟුණු සංස්කෘතික ප්‍රවාහයක් ලෙස හැඳින්වූව ද ධනවත්, වංශවත් බොහීමියානු කව ද 19 වන සියවසේ මුල්භාගයේ පටන් තිබී ඇත. ප්‍රංශයේ දී ඒවා ඉතා ජනප්‍රිය ද විය.

ව්‍යාප්තිය

බොහීමියානු මතවාදය ප්‍රංශයෙන් එංගලන්තය ඇතුළු යුරෝපා රටවල නගරවල ද ප්‍රචලිත වන්නට විය. 1945 වන විට ඇ.එ.ජ. යටද ව්‍යාප්ත විය. සමාන අදහස් දරන කණ්ඩායම්, විශ්වවිද්‍යාල සිසුන්, අසාමාන්‍ය ලෙස සිතන, ඇතැම් විට වාමාංශික නැඹුරුවක් සහිත වූ කණ්ඩායම් ද මෙයට අයත්ය. අරාජිකත්වය මූලික කොට ගත් “බකුනින්වාදී” මතවාදයන් ද ඇතැම් විට මෙයට සමීපව තිබී ඇත. එහෙත් මේ සියල්ල විධිමත් සංවිධාන ව්‍යුහයක්ව නොව බොහීමියානු ව්‍යුහය සැකසෙනුයේ අනායතනික අයුරිනි. කණ්ඩායමක් තුළ වුව ද බොහීමියානු ජීවන විලාසයෙන් හෙබි තනිව හෝ දෙතුන් දෙනා ලෙස ද පැවතිය හැක.

බොහීමියානුවන්ගේ කලා නිර්මාණ පොදු තේමාවක්, රිද්මයක් නිරූපණය කරයි. ඔවුන්ගේ ජීවන විලාසයන් මෙන්ම එම නිර්මාණ ද සුවිශේෂී අනන්‍යතාවයක් සහිතව සමාජ අවධානය දිනා ගනී. ක්‍රම විරෝධී බවක් ද දැකිය හැකිය. ගුස්ටාවෝ කූබන්, විලියම් තැකරේ, ජින් ෆ්‍රැන්කොයිස් මිලට් කලාකරුවන් ඇතු`ඵ යුරෝපීය නගරවල බොහෝ කලාකරුවන්, සංගීතඥයන්, ජනමාධ්‍යවේදීන්, ලේඛකයන්, රූපණ ශිල්පීන් සාම්ප්‍රදායික නොවූ මෙම ජීවන ශෛලියට ආසාත්මික වූ බව සඳහන්ය.

වර්තමානය

යටහත් පහත් බව, කීකරු බව මිනිස්කමට නොගැලපෙන ගතිගුණ බවට විශ්වාස කරන ඔවුහු වර්තමානය දක්වා සමාජයේ විකල්ප ධාරාව නියෝජනය කරති. එහෙත්, ඔවුන්ගේ විශේෂිත වූ කුමන හෝ හරයක් නොව මතුපිටින් ඔවුන්ගේ විලාසිතා, සංගීත ක්‍රම ආදිය අනුගමනය කරන (ඇතැම්විට හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය පානය කොට පැත්තකට වී සිටින ජීවිත ද මෙනමින් හඳුන්වා ගන්නා අවස්ථා ද ඇත.) පුහු අනුකාරකවාදීන් ලොව පුරා බිහිව ඇත. වත්මන් ධනවාදය තුළ මෙවැනි ජීවන විලාසයන් හෝ නිදහස, විවේකය උදෙසා කිසිවෙකුට ඉඩක් නොතබා ධනපතීන්ට අතිරික්ත ශ්‍රමය ලබා ගැනීමට සියල්ලෝම කුමන හෝ ආර්ථික කටයුත්තකට දවසේ වැඩි කාලයක් ඇද දමා ඇති තත්ත්වයක් තුළ, මුදල් නොමැතිව එවන් සරල ජීවන විලාසයන්ගේ පැවැත්මට බොහෝ සෙයින් අභියෝග කොට ද ඇත්තේය. බොහීමියානුවාදයේ ආරම්භක වකවානුවේ දැකිය හැකි ලක්ෂණයන්ගෙන් බැහැරව මතුපිට ‘බොහීමියන්’ වන ලක්ෂණ සහිත ඇත්තවුන් බිහි වීමට එය ද හේතුවක් වී ඇත.

බොහීමියානුවාදය