පාරභෞතිකවාදය යනු කුමක් ද?

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

පාරභෞතිකවාදය (Metaphysics) යන්න දාර්ශනික මතවාදයන් පිළිබඳව හදාරන විට අපට හමු වන වචනයක් මෙන් ම යම් දාර්ශනික අදහසක් අඩංගු කොට ගත් සංකල්පයක් ද වන බව අපි කවුරුත් දනිමු. නමුත්, මෙම වචනයේ සැබෑ දාර්ශනික තේරුම නොසලකා මෝස්තරයක් ලෙස ද ඇතැම් විට භාවිත වන නිසා පාරභෞතිකවාදය යනු කුමක් දැයි එහි සැබෑ දාර්ශනික තේරුමෙන් වටහා ගැනීම වැදගත් වනු ඇත.

භෞතිකවාදී දාර්ශනික පද්ධතිය තුළ එන එක් අවිද්‍යාත්මක හා යාන්ත්‍රික දාර්ශනික මතවාදයක් ලෙස පාරභෞතිකවාදය හඳුනා ගත හැක. මෙහි අනෙක් පාර්ශ්වය වන්නේ වඩාත් විද්‍යාත්මක හා නිවැරැදි මතවාදය වන දයලෙක්තික භෞතිකවාදයයි. මේ අනුව භෞතිකවාදී දාර්ශනික ක්‍ෂේත්‍රය තුළ වන දයලෙක්තික භෞතිකවාදී දර්ශනයට ප්‍රතිවිරුද්ධ දාර්ශනික මතවාදය පාරභෞතිකවාදය ලෙස අපට හඳුනා ගත හැක.

පොදුවේ පාරභෞතිකවාදී දාර්ශනිකයෝ ද ලෝකයේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයේ දී මූලික වන්නේ ද්‍රව්‍ය බව පිළිගනිති. එහෙත්, ද්‍රව්‍යයේ වර්ධනය පිළිබඳ ප්‍රශ්නයේ දී ඔවුහු දයලෙක්තිකවාදයට වෙනස් විග්‍රහයක් ඉදිරිපත් කරති.

ප්‍රපංච අධ්‍යයනය කිරීමේ පාරභෞතිකවාදී ක්‍රමවේදය

ප්‍රපංච අධ්‍යයනය කිරීමේ පාරභෞතිකවාදී ක්‍රමවේදය මුලින් ම ඇති වූයේ ප්‍රකෘති විද්‍යාවන් තුළ ය. පසුව දහහත් වැනි සහ දහඅට වැනි සියවස්වල දී එය දාර්ශනික ක්‍ෂේත්‍රයට ද පැතිරිණි. එම යුගයේ දී පාරභෞතිකවාදීන් වර්ධනය සහ අලුත් දේ ඇති වීම නොපිළිගත් අතර, චලිතය (වෙනස් වීම) අවබෝධ කර ගත්තේ අවකාශය තුළ වස්තූන්ගේ සරල විස්තාපනය ලෙස ය. පාරභෞතිකවාදීන් වර්ධනය අවබෝධ කර ගත්තේ ප්‍රමාණාත්මක වැඩි වීමක් හෝ අඩු වීමක් ලෙස පමණකි. අලුතින් යමක් පැනනඟින්නේ නැතිව පවතින දේ සරල ලෙස යළිත් ඇති වීමක් වශයෙන් පමණකි. දයලෙක්තික දර්ශනය මඟින් පෙන්වා දෙන වර්ධනයේ උල්පත අභ්‍යන්තරික ප්‍රතිවිරෝධතා බව පාරභෞතිකවාදය පිළිනොගනී. දයලෙක්තික භෞතිකවාදයෙන් පාරභෞතිකවාදය වෙනස් වන මූලික කරුණු කිහිපයක් කැටි කර ගත් විට පාරභෞතිකවාදීන්:

  1. ලෝකය අවබෝධ කර ගත නොහැකි බව පවසයි.
  2. වර්ධනයේ ප්‍රමාණාත්මක වෙනස්කම් පිළිගන්නා අතර ම ගුණාත්මක පරිවර්තන පිළිනොගනියි.
  3. ප්‍රකෘතිය තුළ වන වර්ධනය (චලිතය) සර්පිලාකාර එකක් ලෙස නොව යාන්ත්‍රික හා චක්‍රීය දෙයක් ලෙස සලකයි.
  4. විඥානය ද්‍රව්‍යාත්මක දෙයක් ලෙස දකියි.

ඉහත කරුණු අනුව ගත් විට පාරභෞතිකවාදය භෞතිකවාදයක් ලෙස පෙනී සිටිය ද, අවසානයේ විඤ්ඤාණවාදයට ම වැටෙන බව පෙනේ. ‘ලෝකය අවබෝධ කර ගත නොහැක’ යන අදහස තුළින් කියැවෙන්නේ මානව වර්ගයාගේ ඉදිරි ගමන පිළිබඳවත්, විද්‍යාවේ දියුණුව පිළිබඳවත් කරනු ලබන සැක පහළ කිරීමකි. මෙහි දී පාරභෞතිකවාදය අඥෙයවාදය සමඟ හෝ සංශයවාදය සමඟ හෝ සමපාත වන්නේ ලෝකය අවබෝධ කර ගත නොහැකි බව පැවසීම නිසා ය.

අනෙක් අතට ද්‍රව්‍ය වර්ධනයේ ප්‍රමාණාත්මක වෙනස්කම් මිස ගුණාත්මක පරිවර්තන නොපිළිගැනීම තුළින් ද්‍රව්‍ය වර්ධනය ඉදිරියට යන සර්පිලාකාර එකක් නොව එක තැන කැරැකෙන යාන්ත්‍රික හා චක්‍රීය එකක් ලෙස සලකයි. මෙය ප්‍රකෘතියේ වර්ධනයේ මූලික නියාමයන් ප්‍රතික්‍ෂේප කිරීමකි. ද්‍රව්‍යයේ වර්ධනය ප්‍රමාණාත්මක ලෙස සිදු වන අතර ම ගුණාත්මක පරිවර්තන ලෙස ද සිදු වේ. වර්ධනය මෙලෙස පිමි ලෙස ඉදිරියට යාමේ යාන්ත්‍රණය සිදු වන්නේ සර්පිලාකාර ලෙස ය. ඒ අනුව වර්ධනයේ දී කිසිදු ප්‍රපංචයක් යළි තමා සිටි තත්ත්වයට ආපසු නොපැමිණේ. සමාජ සංවර්ධනයේ දී මෙය දැකිය හැක. එහෙත්, පාරභෞතිකවාදයට අනුව වර්ධනය යළි කලින් තිබූ තැනට පැමිණේ. ඒ අනුව වැඩවසම් ක්‍රමයෙන් ධනවාදයට ආ සමාජය යළි වැඩවසම් ක්‍රමයට යා යුතු ය. එහෙත්, එය සාවද්‍ය මතයක් බව දැන් ඔප්පු වී අවසන් ය.

මාක්ස්වාදය විසින් දයලක්තික භෞතිකවාදය බිහි කිරීමට පෙර ලොව සිටි බොහෝ භෞතිකවාදීන් අඩුවැඩි වශයෙන් පාරභෞතිකවාදී අදහස් දැරූ බව පෙනේ. ශ්‍රේෂ්ඨ ජර්මන් භෞතිකවාදියකු වූ පෙයාර්බාහ් පවා පාරභෞතිකවාදී අදහස් දැරූ අයෙක් විය. ඒ ඔහු දයලෙක්තිකය පිළිනොගත් නිසා ය.

‘පාරභෞතිකවාදය’ නම භාවිතයට ගැනීම

මෙම දාර්ශනික මතවාදයට පාරභෞතිකවාදය යන නම ලැබීම ද තරමක් රසවත් කතාවකි. පාරභෞතිකවාදය යනු ‘භෞතිකවාදයට පසු’ යන තේරුම දෙන වචනයකි. එහෙත්, පාරභෞතිකවාදය දැන් භාවිත වනුයේ මෙහි වචනාර්ථය අනුව නොවේ.

ග්‍රීක දාර්ශනිකයකු වූ ඇරිස්ටෝටල්ගේ අත් පිටපත් අධ්‍යයනය කළ ඇලෙක්සැන්ඩි්‍රයානු පුස්තකාලයාධිපතිවරයෙකු එම යුගයේ දියුණු අනෙකුත් දාර්ශනිකයන්ගේ කෘති, ඇරිස්ටෝටල්ගේ භෞතිකවාදී කෘතිවලට පසුව තැබී ය. එතැන් සිට එම දාර්ශනික මතයන් ‘භෞතිකවාදයට පසුව ඇති’ යන තේරුමින් පාරභෞතිකවාදය විය. ඉන් පසු මෙම වචනය දයලෙක්තික පදයට ප්‍රතිවිරුද්ධ දාර්ශනික මතවාදය හැඳින්වීමට යොදා ගන්නා ලදී.

මේ අනුව පාරභෞතිකවාදය යනු භෞතිකවාදී නාමයෙන් පෙනී සිටිය ද, අවිද්‍යාත්මක, යාන්ත්‍රික හා ලෝකය විග්‍රහ කිරීමට අසමත් වැනි වූ දාර්ශනික මතවාදයක් බව පැහැදිලි වනු ඇත. එය ලෝකය පිළිබඳ කරන අධ්‍යයනය වියුක්ත සහ එකිනෙකට අසම්බන්ධ එකක් වන නිසා ම ලෝකය පිළිබඳ සංයුක්ත, අංගසම්පූර්ණ හා නිරවුල් වැටහීමක් ලබා දීමට අපොහොසත් වේ.


“වර්ධනයේ ප්‍රගතිශීලී ස්වරූපය ද, අලුත් දෙය පැරැණි දේට විරුද්ධව කරන අරගලය සහ අලුත් දෙයෙහි නොවැළැක්විය හැකි ජයග්‍රහණය ද පාරභෞතිකවාදය පිළිනොගනී. එය ප්‍රතිගාමී බලවේගයන්ගේ වුවමනාව ප්‍රකාශ කරයි. ප්‍රගතිශීලී හැම දේකට ම විරුද්ධව සටන් කිරීම සඳහා ඔවුහු පාරභෞතිකවාදය පාවිච්චියට ගනිති. නිදසුනක් වශයෙන්, පන්ති සටන, සමාජවාදී විප්ලවය හා නිර්ධන පන්ති ආඥාදායකත්වය ප්‍රතික්‍ෂේප කරමින්, සූරාකන්නන් හා සූරාකනු ලබන්නන් අතර පන්ති සමාදානයක්, ධනවාදය සාමකාමීව සමාජවාදය කරා ‘වැඩිමේ’ අදහසක් දේශනා කරන සංශෝධනවාදීහු පාරභෞතිකවාදී තර්ක පාවිච්චියට ගනිති. ලෝකයේ ඇති වන ගැඹුරු සමාජමය වෙනස්කම් දෙස බැලීම ප්‍රතික්‍ෂේප කරමින්, නිරතුරුව ඇති වන වෙනස් වන තත්ත්වයන් ගණන් නොගනිමින්, සමකාලීන ප්‍රමුඛ ප්‍රශ්න විසැඳීමට උත්සාහ ගන්නා ආධානග්‍රාහිත්වයේ නියෝජිතයන්ගේ න්‍යායික පදනම ද පාරභෞතිකවාදයයි.”

                                                                                                                                                                (වී. ජී. අපනාසියෙව් – මාක්ස්වාදී දර්ශනයේ මූලධර්ම, 14 පිටුව).


පාරභෞතිකවාදය යනු කුමක් ද?