ලංකාවේ ආර්ථිකය හා නූතන මූල්‍ය න්‍යාය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

1970 දී උ. මොස්ලර් නමැති ඇමෙරිකානු කොටස් වෙළෙඳපොළ ගනුදෙනුකරුවකු විසින් මෙම නුතන මුදල් න්‍යාය (Modern Monetory Theory/MMT) න්‍යාය ඉදිරිපත් කරන ලදී. ඒ සඳහා ජර්මානු ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝර්ජ් ප්‍රෙඩ්රික් නැප් විසින් 1905දී  ඉදිරිපත් කරන ලද (Chartarlism) නමැති න්‍යාය උපයෝගී කරගන්නා ලදී.

නැප් මුදල් යනු නීතිමය නිර්මාණයක් වන අතර භාණ්ඩයක් නොවන බවත්, රජයට අවශ්‍ය තරම් මුදල් මැවිය හැකි අතර, බදු මඟින් එය පාලනය කළ හැකි බවත්  පැහැදිලි කරන ලදී. 2007, 2008 ආර්ථික අර්බුද අවස්ථාවේ දී ඇමෙරිකාව මෙම න්‍යාය ප්‍රායෝගිකව අත්හදා බලා ඇත.

ඒ අනුව නුතන මුදල් න්‍යාය යටතේ ප්‍රධාන න්‍යායන් කිහිපයක් ගොඩනැඟේ.

  1. ආණ්ඩුවේ වියදම් පියවා ගැනීම සඳහා මුදල් අච්චු ගැසීම ගැටලුවක් නොවන අතර, එමඟින් ආර්ථික වර්ධනයක් අත්පත් කර ගත හැකි බව.
  2. ආර්ථිකයට මුදල් නිදහස් කරන විට ඒවා මඟින් ආර්ථිකය සතු සම්පත් නිෂ්පාදන ක්‍රියාවලියට හසු කර ගත හැකි අතර, රට සතු සියලු සම්පත් පූර්ණ උපයෝජනයට භාජනය වන තුරු මෙම ක්‍රියාව කළ හැකි බව.
  3. දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය (ආර්ථික වර්ධන වේගය) සමඟ මෙය සමපාත වීම අවශ්‍ය නොවන බව.
  4.  ආණ්ඩුවේ වියදම් පියවා ගැනීම සඳහා බදු එකතු කිරීම හෝ ණය ලබා ගැනීම කළ යුතුය යන සංකල්පය අභියෝගයට ලක් කිරීම. ඒ අනුව රාජ්‍ය වියදම් පියවා ගැනීමට බදු ආදායම ඉහළ දැමීම හෝ ණය ලබා ගැනීම වෙනුවට මුදල් අච්චු ගැසීම තුළින් එය කළ හැකි බවට පිළිගනී.
  5. ඉල්ලුම වැඩි වන නිසා ඇති වන උද්ධමනය බදු වැඩි කිරීම තුළින් පාලනය කළ හැකි නිසා උද්ධමනය පාලනය කළ හැකි බව.

ශ්‍රී ලංකාවේ පසුගිය වසර කිහිපයක මුළු ව්‍යවහාරික මුදල් ප්‍රමාණය සහ එම වසරේ අලුතින් නිකුත් කරන ලද මුදල් ප්‍රමාණයන් දළ වශයෙන් පහත පරිදි වේ.

ව්‍යවහාර මුදල් ආර්ථිකයට නිදහස් කරන්නේ වාණිජ බැංකු හරහා ය. එය රජයේ වියදම් ලෙස බොහෝ විට ගිණුම් හරහා නිකුත් කරයි. භෞතිකව නෝට්ටු ලැබෙන්නේ වාණිජ බැංකුවලටයි. 2020 වසරේ නිකුත් කළ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 654ක් වන අතර, වාණිජ බැංකුවලට එම මුදල, මුදල් මැවීමේ ක්‍රියාවලිය හරහා තව දුරටත් වැඩි කර ගත හැකි ය. ඒ අනුව දැනටමත් එම මුදල රුපියල් බිලියන 1,900ක් දක්වා වාණිජ බැංකු මුදල් මැවීම මඟින් වැඩි කරගෙන ඇති බව සඳහන් වේ. මුදල් අච්චු ගැසීම නිසා ආර්ථික වර්ධනයක් අත්පත් කරගත හැකි බව එම මුදල් කොතෙක් දුරට වෙනත් රටවල භාවිත වනවා ද නැද්ද යන්න මත තීරණය වේ.

මෙම න්‍යාය යම් තාක් දුරකට ඇමෙරිකාව වැනි රටකට නිශ්චිත මොහොතක ප්‍රායෝගික විය හැකි වුව ද, ලංකාව වැනි රටකට එය ප්‍රායෝගික නොවේ. මුදල් අච්චු ගැසීම මත නිෂ්පාදනය ඉහළ දමා ගැනීම, එම නිෂ්පාදනයන්හි අමුද්‍රව්‍යවල ස්වරූපය මත තීරණය වන අතර, අමුද්‍රව්‍ය පිටරටින් ආනයනය කළ යුතු නම්, තත්ත්වය වෙනස් වේ. ආනයන මත යැපෙන රටකට මෙම නූතන මුදල් න්‍යාය අදාළ නොවන්නේ එම නිසා ය. මෙහි විය හැකි අවාසිදායක තත්ත්වය වන්නේ ආර්ථිකයේ භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාමයි. එය දැනටමත් අපි අත්විඳිමින් සිටිමු.

දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රමාණයට සහ එහි වර්ධනයට සාපේක්ෂව ව්‍යවහාර මුදල් පැවැතිය යුතු ය යන්න ධනේශ්වර ආර්ථික විද්‍යා න්‍යායකි. ඒ අනුව අලුතින් මුදල් අච්චු ගසනු ලබන්නේ, දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනයට (ආර්ථික වර්ධනයට) සාපේක්ෂවයි. නිෂ්පාදනයට (සැපයුමට) වඩා වැඩි ප්‍රමාණයකින් මුදල් නිර්මාණය වුවහොත්, මිනිසුන් අත ගැවසෙන කාසි හා නෝට්ටු ප්‍රමාණය වැඩි වන නිසා මිල දී ගැනීමේ හැකියාව (ක්‍රය ශක්තිය) ඉහළ යයි. ඒ අනුව භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම ඉහළ යයි. එහෙත්, සැපයුම ඒ ප්‍රමාණයෙන් ඉහළ නොගියහොත්, භාණ්ඩ මිල ඉහළ යනු ඇත. මෙසේ භාණ්ඩ මිල ඉහළ යාම අඛණ්ඩව සිදු වන විට එය උද්ධමනය ලෙස හඳුන්වන අතර එය ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය (Demand Pull Inflation) ලෙස හැඳින්වේ. එලෙසම දළ දේශීය නිෂ්පාදිතය වර්ධනයට සමාන ලෙස මුදල් සැපයුම වැඩිවීම ආර්ථික ස්ථායීකරණය ලෙසත්, දළ දේශීය නිෂ්පාදිතය වර්ධනයට වඩා අඩු ප්‍රතිශතයකින් මුදල් සැපයුම වැඩි කිරීම අවධමන (Deflation) තත්ත්වයක් ලෙසත් හැඳින්වෙයි. එය පහත පරිදි සරල කළ හැකි ය.

උද්ධමනය = මුදල් සැපයුමේ වර්ධනයේ ප්‍රතිශතය – ආර්ථික වර්ධන වේගයේ ප්‍රතිශතය

මිල උද්ධමනයේ අවාසිය බලපාන්නේ ස්ථාවර ආදායම් ලබන පහළ ආදායම් මාර්ග හිමි ජනතාවට ය. විචල්‍ය ආදායම් මාර්ග හිමි පුද්ගලයන්ට තම ආදායම ඊට අනුරූපව ඉහළ දමා ගත හැකි නිසා උද්ධමනයේ බලපෑම ඒ ආකාරයෙන් සිදු වන්නේ නැත.

නුතන  මුදල් න්‍යාය මෙම මෙම ධනේශ්වර ආර්ථික විද්‍යා න්‍යාය ද සැලැකිල්ලට නොගනී.

මෙම න්‍යාය පිළිබඳ මාක්ස්වාදී ආර්ථික විද්‍යාත්මක විග්‍රහයක් මෙම විමර්ශන කලාපයේ 08 වන පිටුවෙන් ඉදිරිපත් කර තිබේ.

– විමර්ශන 2021 අප්‍රේල්

ලංකාවේ ආර්ථිකය හා නූතන මූල්‍ය න්‍යාය