නූතන මූල්‍ය න්‍යාය මාක්ස්වාදී ඇසින්

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

‘නූතන  මූල්‍ය න්‍යාය’ නමැති ධනේශ්වර ආර්ථික විද්‍යා න්‍යාය මේ දිනවල අප රටේ ධනපති පාලකයෝ ඔවුන්ගේ ආර්ථික කළමනාකරණ ක්‍රියාමාර්ග සාධාරණීයකරණය උදෙසා භාවිත කරමින් සිටිති.  නූතන මූල්‍ය  න්‍යාය  පිළිබඳ මේ මොහොතේ අප රට තුළ සංවාදයක් ඇති වීමේ මූලික හේතුව වන්නේ එයයි.  එක්සත් ජනපදය, බි්‍රතාන්‍යය වැනි රටවල වාමවාදී බර්නි සැන්ඩර්ස්, ජෙරමි කොබින්  වැනි අය ද බලයට පැමිණි පසු ඔවුන්ගේ සුභසාධන ක්‍රියාමාර්ග සඳහා මුදල් සොයා ගන්නේ කෙසේ දැයි යන පැනයට පහසු පිළිතුරක් ලෙස ද නූතන මූල්‍ය  න්‍යාය  ඉදිරිපත් කරමින් සිටිති.

 මෙම විමර්ශන කලාපයේ මුල් ලිපියෙහි නූතන මූල්‍ය න්‍යාය පිළිබඳ මූලික තර්ක පහක් ඉදිරිපත් කර තිබේ. එම තර්ක තුළ මූලික සංකල්ප 3ක් අඩංගු වේ.

  1. මුදල් අච්චු ගැසීම තුළින් ආර්ථික වර්ධනයක් අත්කර ගත හැකි බව.
  2. මුදල් විසින් ඉල්ලු‍මෙහි ඉහළ යාමක් ඇති කරන බව.
  3. මුදල් ප්‍රමාණය ආර්ථිකයේ වටිනාකම්වලට සමානුපාතික වීම අවශ්‍ය නොවන බව

 එකී සංකල්පයන්ය.

මුදල් යනු මොනවාද?

සංවර්ධිත හුවමාරු භාණ්ඩ සමාජයකදී , එනම් ධනපති ක්‍රමයේදී සෑම හුවමාරු භාණ්ඩයකම වටිනාකම මුදල් ආශ්‍රයෙන් ප්‍රකාශ කෙරේ. එහෙත් මුදල් සෑම සමාජ ක්‍රමයකදීම (ප්‍රාථමික සාමුහික සමාජයේදී) පැවතියේ නැත. මුදල් බිහිවීමට පෙර වටිනාකම් ආකාර එහි සංවර්ධනයේ දිගු ගමනක් පසු කළේය. සමාජයීය  ශ්‍රම විභජනය හා දේපළවල පෞද්ගලික හිමිකාරිත්වය ඇතිවීමත් සමග හුවමාරු භාණ්ඩ නිෂ්පාදනය හා භාණ්ඩ හුවමාරුව ආරම්භ වූ නමුත් තවමත් මුදල බිහි වී නොතිබිණි. භාණ්ඩ හුවමාරුවේ විශ්වීය සමකය ලෙස මුදල සම්භවය වන්නේ හස්ත කාර්මික නිෂ්පාදනය සමාජයීය ශ්‍රම විභජනයේ ආකාරයක් ලෙස සංවර්ධනය වීමත් සමගය.

මුදල් යනු හුවමාරු භාණ්ඩ හුවමාරුවේ දී විශ්වීය  සමකය ලෙස ක්‍රියා කරන විශේෂ වර්ගයක හුවමාරු භාණ්ඩයකි.  මුදල් සම්භවය වූයේ මුදල් ඒකක හඳුන්වා දීම සඳහා මිනිසුන් අතර ඇති වූ සවිඥානක එකඟතාවක ප්‍රතිඵලයක් ලෙස හෝ රජය විසින් පනවන ලද නියෝගයක ප්‍රතිඵලයක් ලෙස හෝ නොවේ. එය ඇති වූයේ හුවමාරු භාණ්ඩ නිෂ්පාදනයේ හා හුවමාරුවේ ප්‍රතිවිරෝධතා සංවර්ධනයේ හා වටිනාකම් ආකාරයන්ගේ සංවර්ධනයේ ස්වයංසිද්ධ ප්‍රතිඵලයක් ලෙසටය.

රජයක් විසින් මුද්‍රණය කරනු ලබන්නේ මුදල් ද?

 එහෙත් රජයක් විසින් මුද්‍රණය කරනු ලබන්නේ මුදල්ම නොවේ;  කාසි හා නෝට්ටුය.  එය මුදල් ලෙසම තේරුම් ගැනීම වැරැදිසහගතය.  කාසි හා නෝට්ටු යනු හුදු නාමික සංකේතයන් ය.  වටිනාකමෙහි  සංකේතයන් ය.  වටිනාකම්  නොවේ.  ඒවා විසින් සිදු කරනු ලබන්නේ ගෙවීම් මාධ්‍යයක් ලෙස හා සංසරණ මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමේ දී රන් හා රිදී ප්‍රතිස්ථාපනය කරමින්, වටිනාකම් සංකේතයන් ලෙස කටයුතු කිරීම ය. කාසි හා නෝට්ටු සංසරණයෙන් යොදවනු ලබන්නේ, රාජ්‍ය අධිකාරිය විසින් ස්ථාවර හා නීත්‍යනුකූල හුවමාරු අනුපාතයක් ඇති කරනු ලැබීමෙනි.  කාසි හා නෝට්ටුවලට රත්රන්වලට මෙන් එහි ම වටිනාකමක් නොමැති නිසා හුවමාරු භාණ්ඩවල වටිනාකමෙහි මිම්මක් ලෙස ක්‍රියා කළ නොහැකි ය.  කාසි හා නෝට්ටු භාවිතයේ දී පවා වටිනාකමෙහි මිම්මක් ලෙස ක්‍රියා කරනු ලබන්නේ මනඃකල්පිත රත්රන් විසිනි.

රජයකට මුදල් (කාසි හා නෝට්ටු) මුද්‍රණය කළ හැකි ය.  එහෙත් ඒවාට කිසියම් හෝ වටිනාකමක් තිබේ යැයි සහතික කිරීමට රජයට නොහැකි ය.  එබැවින්, කාසි හා නෝට්ටු මුද්‍රණය වටිනාකම් නිෂ්පාදනයක් නොවේ.  වටිනාකම්  නිෂ්පාදනයක් නොකර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගත හැක්කේ කෙලෙසක ද?  රජයකට කාසි හා නෝට්ටු මුද්‍රණය කළ හැකිමුත්, ආහාර, ඇඳුම් පැළඳුම්, ඖෂධ,  නිවාස, තාක්ෂණවේදීන්, ඉංජිනේරුවරුන් ආදිය මුද්‍රණය කළ නොහැකි ය.

ඉල්ලු‍ම යනු කුමක් ද?

 නූතන මූල්‍ය න්‍යායෙහි ආධාරකරුවන් ඉදිරිපත් කරන තවත් තර්කයක් වන්නේ මුදල් විසින් ඉල්ලු‍මෙහි ඉහළ යාමක් (වැඩිවීමක්)  ඇති කරන බව ය.  ඉල්ලු‍ම යනු මුදල් මාර්ගයෙන් ප්‍රකාශ කරනු ලබන සමාජ අවශ්‍යතාවයි. ඉල්ලු‍මෙහි පරිමාව කෙරෙහි ප්‍රධාන සාධක දෙකක් බලපායි.  එනම් ජනතාවගේ මූල්‍යමය ආදායම සහ නිෂ්පාදකයන්  විසින්, එනම් ධනපතියන් විසින් නිෂ්පාදන මාධ්‍ය අත්පත් කර ගැනීම සඳහා යොදවනු ලබන වටිනාකම් ප්‍රමාණයයි.

 එහෙත්, කාසි හා නෝට්ටු මුද්‍රණය යනු වටිනාකම් නිෂ්පාදනයක් නොවන නිසාත්, රජයක් වටිනාකම් නිෂ්පාදනය එකම මට්ටමක පවත්වාගෙන යමින් කාසි හා නෝට්ටු මුද්‍රණය කරන්නේ නම්, එවිට සිදු වන්නේ හුවමාරු භාණ්ඩවල මිල ඉහළ යාමක් වන නිසා ජනතාවගේ මූර්ත මූල්‍යමය ආදායම ඉහළ යනවා වෙනුවට පහළ බැසීමක් සිදු වේ.  එවිට නූතන මූල්‍ය න්‍යායවාදීන් යෝජනා කරන ආකාරයට ඉල්ලු‍ම ඉහළ යනවා වෙනුවට ඊට සාපේක්ෂව ඉල්ලු‍ම පහළ යයි.

 රජයකට කාසි හා නෝට්ටු මුද්‍රණය කළ හැකි ය.  එහෙත් එම කාසි හා නෝට්ටු භාවිතයට ගැනීම පිළිබඳ සහතිකයක් දිය නොහැකි ය. 

 නිෂ්පාදකයන් එනම් ධනපතියන් නිෂ්පාදන මාධ්‍යයන් සඳහා යොදවන වටිනාකම් ප්‍රමාණය වැඩි වීමට නම් ධනපතියන් ඒ සඳහා දිරිගැන්විය යුතු ය.  ධනපති නිෂ්පාදකයාට එකී පෙළඹුම ඇති කරනු ලබන්නේ, අන් කවරක් විසින්වත් නොව ලාභය විසිනි. ලාභ අනුපාතිකය විසිනි. ලාභ ලැබිය හැක්කේ කුමන ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමෙන් ද, ධනපති නිෂ්පාදකයා  එහි ආයෝජනය කරයි.  ධනපතියාට ලාභ ලැබිය නොහැකි නම්, ඔහු නිෂ්පාදනයේ නොයෙදේ.  එහෙත්, කාසි හා නෝට්ටු මුද්‍රණය කිරීම මඟින්  ධනපතියාට ලාභ ලැබීම පිළිබඳ සහතිකයක් ලැබෙන්නේ කෙලෙසක ද?

මුදල් ප්‍රමාණය ආර්ථිකයේ වටිනාකම්වලට සමානුපාතික වීම අවශ්‍ය වන්නේ නැති ද?

මුදල් ප්‍රමාණය ආර්ථිකයේ වටිනාකම්වලට සමානුපාතික වීමට අවශ්‍ය නොවන්නේ යැයි නූතන මූල්‍ය න්‍යායවාදීන්ට හෝ වෙනත් කවරකුට හෝ යෝජනා කළ හැකි ය. එහෙත්, ආර්ථික නියමයන් යනු පුද්ගලයන්ගේ මනසේ හට ගන්නා  මනඃකල්පිතයන් නොවේ. ආර්ථික නියමයන් රසායන විද්‍යාව, භෞතික විද්‍යාව වැනි අනෙකුත් ස්වභාව විද්‍යා නියමයන් මෙන් විෂයමූලික වන අතර, මිනිසාගේ අභිලාෂයන් හා සවිඥානිකත්වය  මත රඳානොපවතින සබඳතා හා අන්තර් සබඳතා ප්‍රකාශයට පත් කරයි.

 කාසි හා නෝට්ටු වටිනා ලෝහ (රත්රන්) වලින් සෘජුවම සංවර්ධනය වන බැවින්, එහි  සංසරණ නියමය රත්රන්  සංසරණ නියමය මත මුළුමනින්ම පදනම් වේ. “මුදල් නෝට්ටු සංසරණයට විශේෂිත වූ නියමයක්  පැනනැඟිය හැක්කේ, මුදල් නෝට්ටු මඟින් නියෝජනය කරන රත්රන්වල අනුපාතයෙන් පමණකි.  එවැනි නියමයක් පවතී. එය සරලව සඳහන් කරන්නේ නම්, පහත පරිදි වේ:  මුදල් නෝට්ටු  නිකුතුව  එමඟින් රත්රන් ප්‍රතිස්ථාපනය නොකරන විට දී සැබෑ ලෙසම සංසරණය වන රත්‍රන් ප්‍රමාණය (හෝ රිදී ප්‍රමාණය – අවස්ථාව අනුව) නොඉක්මවිය යුතුය.”‍ (කාල් මාක්ස් – ප්‍රාග්ධනය, වෙළුම 1 පිටුව 128)

 රත්රන්වල කාර්යභාරයන් ඉටු කිරීමට අවශ්‍ය ප්‍රමාණයට මුදල් නෝට්ටු සංසරණය මුදාහරින විටක දී එය එමඟින් ප්‍රතිස්ථාපනය කරනු ලබන රන් කාසිවල වටිනාකමට අනුව සංසරණය වේ.  කෙසේ වෙතත්, මුදල් නෝට්ටු නිකුත් කිරීම හුවමාරු භාණ්ඩ සංසරණයට අවශ්‍ය රත්රන් ප්‍රමාණය ඉක්මවා යන්නේ නම්, එහි දී මුදල් නෝට්ටුවල මිල දී ගැනීමේ හැකියාව පහළ වැටෙන්නට පටන් ගන්නා අතර, හුවමාරු භාණ්ඩවල මිල ඉහළ යයි.  ආණ්ඩුවකට මුදල් නෝට්ටු නිකුත් කළ හැක්කේ කොතරම් ප්‍රමාණයකින් ද, ස්වයංසිද්ධව ඉහළ යන වෙළෙඳපොළ මිල ගණන් එමඟින් ප්‍රතිස්ථාපනය කරනු ලබන රන් කාසිවල ප්‍රමාණයට එය බලහත්කාරී ලෙස සමාන කරවනු ලබයි.

වෙනත් මුදල් ඒකකයන්ට සාපේක්ෂව හුවමාරු අගය තීරණය නොකළ, ඊනියා ස්වාධීන ඩොලර් වැනි සංචිත මුදල් ඒකකයන්ට මෙම තත්ත්වය බලපාන්නේ නැතැයි යන මතයක් ද වේ. ඩොලර් වැනි සංචිත මුදල් ඒකකයන්ගෙන් කෙතරම් මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කළ ද, ඔවුන්ට ඒවා වෙනත් රටවලට විකිණිය හැකි බැවින් සහ අනෙකුත් රටවල් ඩොලර් සංචිත පවත්වාගෙන යාම සඳහා ඩොලර් මිල දී ගැනීමට ඕනෑම මොහොතක සුදානම් බැවින් එක්සත් ජනපදය වැනි රටවලට ඩොලර් මුද්‍රණය කිරීම හරහා නූතන මුල්‍ය න්‍යායවාදීන් යෝජනා කරනු ලබන ආර්ථික වර්ධනය ඇතුළු අනෙකුත් හැකියාවන් අත්පත් කරගත හැකි යයි පවසනු ලබයි. එහෙත් එය සත්‍යය ද? එසේ නම් ඒ කෙතරම් දුරකට ද?

එහෙත් එක්සත් ජනපදය වැනි රටවල් මුද්‍රණය කරන තරමක් ඩොලර් යොදවා එක්සත් ජනපදයට අවශ්‍ය තරමක් හුවමාරු භාණ්ඩ මිල දී ගැනීමට නම් අනෙකුත් රටවල් නිෂ්පාදනයේ යෙදිය යුතු ය. එක්සත් ජනපදයට එකී ඩොලර් යොදවා මිල දී ගත හැක්කේ අනෙකුත් රටවල් නිෂ්පාදනයේ යෙදෙන ප්‍රමාණයක් පමණි.

එක්සත් ජනපදය වැනි රටකට අවශ්‍ය තරම් ඩොලර් මුද්‍රණය කළ හැකිය. එහෙත්, ඩොලර් සංචිත පවත්වාගෙන යනු ලබන අනෙකුත් රටවලට ඔවුන්ට සිතූ සේ ඩොලර් මිල දී ගනිමින් සංචිත ඉහළ දමා ගත හැකි ද? එසේ කිරීමට නම්, එකී ඩොලර් සංචිත පවත්වාගෙන යනු ලබන රටවල ඩොලර් මිල දී ගැනීමේ හැකියාව වර්ධනය කර ගත යුතු ය. එනම්, එම රටවල ආර්ථිකය වර්ධනය විය යුතු ය. වටිනාකම් නිෂ්පාදනය කර ගත හැකි විය යුතු ය. එසේ නොවන විට එනම් ඩොලර් සංචිත පවත්වා ගෙන යනු ලබන රටවල ආර්ථිකයන් වර්ධනය නොවන තත්ත්වයක දී මුද්‍රණය කරන තරමක් එක්සත් ජනපද ඩොලර් අලෙවි කර ගත හැකියැයි සහතික විය හැකි ද?

මේ අනුව දරුණු ආර්ථික අර්බුදයක ගිලී සිටින ධනපති පාලකයන්ට නූතන මූල්‍ය න්‍යාය  සියලු‍ රෝග නිවාරණය කරනු ලබන කෝකටත් තෛලයක් ලෙස පෙනී ගිය ද, එමඟින් යෝජිත ක්‍රියාමාර්ග මඟින් අර්බුදය තවත් උත්සන්න කරනවා මිස අන් යමක් සිදු නොකරන බව පෙනී යයි.

විමර්ශන සඟරාව (2021 අප්‍රේල්)

නූතන මූල්‍ය න්‍යාය මාක්ස්වාදී ඇසින්