පීරු දක්ෂිණාංශය වමේ ජය වළකන කුමන්ත්‍රණයක

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

පීරු රාජ්‍යයේ ජනාධිපතිවරණය පවත්වා දින 20ක් ගත වී ඇතත් බලධාරීන් විසින් තවමත් ජයග්‍රාහකයා ලෙස පෙද්රෝ කැස්ටිලෝගේ නම ප්‍රකාශයට පත් කර නොමැත. මෙම ප්‍රමාදය දක්ෂිණාංශික කුමන්ත්‍රණයකට ඉඩ විවර කරන්නක් බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ. නීතිමය වශයෙන් ජූලි 28 වන විට ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කළ යුතුය. එසේ නොවුණහොත් මැතිවරණ ක්‍රියාවලිය අහෝසි වන අතර කුමන්ත්‍රණයකට අවශ්‍ය ඉඩ කඩ සකස් වේ.

පෙද්රෝගේ ජයග්‍රහණය

පසුගිය ජුනි 06 වනදා පැවති ජනාධිපතිවරණයෙන් නිදහස් පීරු පක්ෂය නියෝජනය කළ වාමාංශික අපේක්ෂක පෙද්රෝ කැස්ටිලෝ 50.125%ක ඡන්ද ප්‍රතිශතයක් (ඡන්ද මිලියන 8.83) ලබා ගනිමින් මැතිවරණයෙන් ජයග්‍රහණය කළේය. ඔහු ඔහුගේ ප්‍රතිවාදියා වූ කෙයිකෝ ෆුජිමෝරිට වඩා වැඩි ඡන්ද  44,000ක් ලබාගෙන තිබේ. ඡන්ද මිලියන 8.78ක් ලබා ගනිමින් ජනප්‍රිය බලවේගය පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරි පත් වූ කෙයිකෝ ෆුජිමෝරි හිටපු ඒකාධිපති ඇල්බර්ටෝ ෆුජිමෝරිගේ දියණියයි. ඇය මෙම මැතිවරණ ප්‍රතිඵලය නොපිළිගන්නා අතර පෙද්රෝ කැස්ටිලෝට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබුණු ප්‍රදේශවල අක්‍රමිකතා සිදුවී ඇතැයි චෝදනා කරමින් ඡන්ද මධ්‍යස්ථාන 802ක ඡන්ද ලක්ෂ 02ක් පමණ අහෝසි කරන ලෙස ඉල්ලමින් අධිකරණයට ගොස් තිබේ. පීරු මැතිවරණ අධිකාරිය මගින් අවසන් ප්‍රතිඵලය නිකුත් කර තිබුණද  බලධාරීන් විසින් තේරී පත් වූ ජනාධිපතිවරයා කවුරුන්දැයි මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.

කුමන්ත්‍රණය ඇරඹේ

මේ අතර ෆුජිමෝරි ඡන්ද දුෂණ පිළිබඳ චෝදනා කරමින් හා පෙද්රෝ කැස්ටිලෝට කැපී පෙනෙන ජයග්‍රහණයක් ගෙන දුන් ප්‍රදේශයන්හි ඡන්ද අවලංගු කරන ලෙස ඉල්ලමින් ජාතික මැතිවරණ අධිකරණයට ගොනු කර තිබූ නඩුව විභාග වෙමින් තිබියෙදී පසුගිය 23වැනිදා හදිසියේම ෆුජිමෝරිට හිතවාදීයැයි කවුරුත් දන්නා විනිසුරුවරයෙකු නඩු විභාගයෙන් ඉල්ලා අස්විය. එහි අදහස වන්නේ අධිකරණයට තවදුරටත් නඩුව ඉදිරියට ගෙන ගොස් පෙද්රෝ කැස්ටිලෝගේ ජයග්‍රහණය ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වන බවය. ජූලි 28 වන විට ජනාධිපතිවරයා කවුරුන්දැයි ප්‍රකාශයට පත් කළ නොහැකි වුවහොත් පීරුහි කොංග්‍රසය කැඳවා ජනාධිපතිවරයෙක් තෝරා පත් කරගත යුතුවේ. මේ මොහොතේදී කොංග්‍රසයේ වැඩි බලය තිබෙන්නේ දක්ෂිණාංශික කණ්ඩායම්වලටය. එබැවින් ඔවුන්ට තමන් කැමති පුද්ගලයෙකු ජනාධිපතිවරයා ලෙස නම් කර ගනිමින් පෙද්රෝ කැස්ටිලෝගේ ජයග්‍රහණය වළකාලිය හැකිය.

මේ මොහොත වන විටත් පීරුහි අග නගරය වන ලීමාවල විශ්‍රාමික යුද්ධ නිලධාරීන් උද්ඝෝෂණය කරමින් සිටින්නේ වාමාංශික පෙද්රෝ කැස්ටිලෝට බලය නොදෙන ලෙසත් ආරක්ෂක අංශවලට රටේ බලය බාරගන්නා ලෙසටත් බල කරමින්ය. ඊට ප්‍රථමයෙන් පෙද්රෝ කැස්ටිලෝ බලයට පත් වීම වැළැක්වීම සඳහා මැදිහත් වන ලෙසට ඉල්ලා සිටිමින් ලිපි තැපැල් කිරීමේ ක්‍රියාමර්ගයකටද ඔවුන් අවතීර්ණ වී තිබුණි. ජූලි 28 වනදායින් පසු තමන්ට අභිමත ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින කොංග්‍රස් සභාවේ ඇතැම් මන්ත්‍රීවරුද මෙම උද්ඝෝෂණයන්ට සම්බන්ධ වී සිටිති.

එක්සත් ජනපද මැදිහත්වීම

ජුනි 24 වනදා නිකුත් වූ හඬ පටයක් හේතුවෙන් පීරුහි මැතිවරණ අධිකාරිය යළිත් වරක් අර්බුදයට පත් වී සිටී. හිටපු ඒකාධිපති ඇල්බර්ටෝ ෆුජිමෝරිගේ ළඟම හිතවතෙකු වන හා දැනට සිරගතව සිටින ව්ලද්මිරෝ මොන්ටිසිනෝ ජාතික මැතිවරණ අධිකාරියේ තීරණ වෙනස් කිරීම සඳහා බලපෑම් කරන්නා වූ ආකාරය එමගින් හෙළිදරව් වී තිබේ. එම හඬ පටය මගින් ඔහු කෙයිකෝ ෆුජිමෝරිගේ කාර්ය මණ්ඩලයට උපදෙස් දෙනු ලබන්නේ ජාතික මැතිවරණ අධිකාරියේ නිලධාරීන් කිහිපදෙනෙකු තමන්ගේ හිතවතුන් බවත් ඔවුන් ෆුජිමෝරිගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කටයුතු කරනු ඇති බවත් ඒ සඳහා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සහායද ලැබෙන බවත් පවසමිනි. එක්සත් ජනපදය අලුතින් පත් කළ තානාපතිවරිය ලීසා කෙන්නාය. හිටපු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ උපදේශකවරිය වූ ඇය එක්සත් ජනපද මධ්‍යම රහස් ඔත්තු සේවයේ නිලධාරිනියක් ලෙස වසර 09 ආසන්න කාලයක් ඉරාකය තුළ එක්සත් ජනපද රාජ්‍ය නිලධාරීන්ගේ ලේකම් ලෙසද සේවය කර තිබේ.

මෙන්ටිසිනෝ දැනට ඇල්බර්ටෝ ෆුජිමෝරිගේ පාලන සමයේ සිදු කරන ලද වංචා දුෂණයන්ට හා මානව හිමිකම් කඩකිරීම්වලට වරදකරුවෙකු වී නාවුක හමුදා කඳවුරක රඳවනු ලැබ සිටියි. පීරුහි නාවුක බලධාරීන්ට අනුව මොන්ටෙසිනොගේ හඬ පටයට අදාළ දිනයේදී දුරකථන ඇමතුම් ලබාගෙන ඇති බවත් එහෙත් ඒ ඇමතුම ලබා දී ඇත්තේ ඔහුගේ බිරිඳගේ නමට ලියාපදිංචි වී ඇති දුරකථන අංකයට බවත්ය. මේ පිළිබඳව දැනට පරීක්ෂණ ආරම්භ වී තිබේ.

මේ අතර පෙද්රෝ කැස්ටිලෝගේ ආධාරකරුවෝද දක්ෂිණාංශික කුමන්ත්‍රණයට එරෙහිව වීදි බැස උද්ඝෝෂණයන්හි නිරතව සිටිති. පසුගිය දශක පහක කාලය තුළදී පීරුහි පැවතියේ අධිරාජ්‍ය ගැති දක්ෂිණාංශික පාලනයන්ය. (1968 – 1975 වකවානුවේ පැවති ජුවාන් අල්වරාදෝගේ පාලනය පමණක් එකම වාමාංශික පාලනය විය.) එබැවින් එක්සත් ජනපදයේ මඟපෙන්වීම ලබන පීරුහි දක්ෂිණාංශික බලවේගය පහසු ලෙස සිය පරාජය භාර ගැනීමට ඇති ඉඩකඩ අඩුය. එසේ වුවත් ජාත්‍යන්තර පරිමාණයෙන්ම අධිරාජ්‍යවාදය මුහුණ දී සිටින අර්බුදය හමුවේ නිවැරදි ලෙස සටන් කළහොත් මැතිවරණ ජයග්‍රහණය තහවුරු කර ගැනීමේ ඉඩ කඩක්ද පවතී.

පීරු දක්ෂිණාංශය වමේ ජය වළකන කුමන්ත්‍රණයක