නීතියේ සාධාරණත්වය පිළිබඳ මිත්‍යාව හා යථාර්ථය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

නීතියේ සාධාරණත්වය පිළිබඳ මෙරට ජනතාව තුළ ගොඩනගා තිබූ අන්ධ විශ්වාසයන් දිනෙන් දිනම බිඳවැටෙන්නට පටන්ගෙන තිබේ. ලාංකේය ධනේශ්වර ක්‍රමය තුළ නීතිය මේ තරම් හාස්‍යයට ලක්කළ කාලයක් තිබුණේ නම් ඒ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති ධුරය දැරූ කාලයේය. දැන් ගොඨාභය මේ ආරම්භ කර තිබෙන්නේ ජේ.ආර්. ඉක්මවා යාමේ කටයුත්තය.

එක රටක්! එක නීතියක්

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූයේ විනයගරුක, ප්‍රජාතන්ත්‍රවාදී රටක් සහ එක රටක් එක නීතියක් යන සටන් පාඨය පෙරටු කොට ගෙනය. ඔහුගේ වසර දෙකකට ආසන්න පාලන කාලය තුළ එකම රටක එක නීතිය මිත්‍යාවක් බවත්, නීතිය යනු පාලකයින්ගේ කැමැත්තම බවත් ඔප්පු කෙරෙමින් තිබේ. කොරෝනා නිරෝධායන නීති ක්‍රියාවට නැගීමේ සිට, දූෂිතයන්ට එරෙහි නඩු විභාග දක්වා සියලු කටයුතුවලදී නීතිය පාලකයින්ගේ කැමැත්තට අනුව වෙනස්වන හැටි පෙන්වනු ලැබෙමින් තිබේ. ජනාධිපතිවරයා පසුගිය

පොසොන් පොහොයදා සිරකරුවන් කිහිපදෙනෙකුට ‘ජනාධිපති සමාව’ ප්‍රදානය කරමින් යළිත් නීතිය හාස්‍යයට ලක්කළේය.

තව මාස දෙක තුනකින් නිදහස්වීමට නියමිතව සිටි එල්.ටී.ටී.ඊ. සිරකරුවන් දාසයදෙනෙකු ඇතුළු සිරකරුවන් 93කට පොසොන් පොහොය වෙනුවෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට පියවර ගැනිණි. ජනාධිපතිවරයා විසින් ඒ සමගම මිනීමැරුම් චෝදනාවකට මරණ දඬුවම නියම වී එකී දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද තහවුරු කර තිබූ දුමින්ද සිල්වාද නිදහස් කරන ලදී. මේ සිදුවීමත් සමග නීතියේ අපක්ෂපාතිත්වය හා ආණ්ඩුව නීතිය හසුරුවන ආකාරය පිළිබඳව විවිධ මත හා විවේචන පළවෙමින් තිබේ.

නීතිය කාගේ කැමැත්තද?

සිරකරුවන්ට සමාවදීම සඳහා ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලබාදී ඇති බලය මේ දක්වා සියලු ජනාධිපතිවරු විසින් පාවිච්චි කරනු ලැබ ඇත්තේ තම විරුද්ධවාදීන් සිරගත කිරීමට කටයුතු කරමින් සමහර අහිංසකයන් හිරේ සිටියෙදී තම හිතවතුන් නිදහස් කර ගැනීම සඳහාය. එබැවින් ලංකාව තුළ හෝ වෙනත් ඕනෑම රටක නීතියේ ගැටලු තේරුම් ගත යුත්තේ සිදුවීමෙන් සිදුවීමට නොව එහි සමස්ත අරමුණ හා පදනම හඳුනා ගැනීමෙනි.

නීතියේ සාධාරණතාව පිළිබඳව, ස්වාධීනත්වය පිළිබඳව කෙතරම් විග්‍රහ නිර්වචන හා චිත්තාකර්ෂණීය වදන්මාලා තිබුණද සත්‍යය නම් පංති සමාජය තුළ නීතිය පංතිමය උපකරණයක් වන බවය. ධනවාදය තුළ නීතිය බැලූ බැල්මට ස්වාධීන ලෙස පෙනෙන අවස්ථා නැතුවා නොවේ. ධනවාදී සමාජයක් තුළ ධනපති දේපළවලට, ධනපති රාජ්‍යයට, ධනපති පංතියට, ධනපති මතවාදයට අභියෝගයක් නොවන සාමාන්‍ය අපරාධ හෝ වැරදිවලදී නීතිය සාධාරණ හා ස්වාධීන බව පෙනෙනු ඇත. එහෙත් ධනේශ්වර පංතියට හෝ පාලක කණ්ඩායම්වලට කුමන හෝ ආකාරයක අභියෝගයක් එල්ල වන විට පාලක පංතිය සිය කැමැත්ත නීතිය බවට පත්කර ගනියි. සත්‍ය එයයි. ‘නීතිය යනු පාලක පංතියේ කැමැත්ත වන්නේය’ යනුවෙන් මාක්ස්වාදය තුළ උගන්වනු ලබන්නේ මෙම සත්‍යය වේ. අධිකරණයට අපහාස කළේ යැයි දඬුවම් ලබා සිටින රංජන් රාමනායක සිරගතව සිටියදී මනුෂ්‍ය ඝාතනයකට වැරදිකරු වී සිරගතව සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලැබෙන්නේ අප ඉහතින් සඳහන් කළ ‘පාලක පංතියේ කැමැත්ත’ එය වන නිසාය.

දේපළ ජීවය කරගත් නීතිය

ලොව නීතිය බිහිවූයේ ‘රජය’ බිහිවීමත් සමගය. ලොව තුළ රජය බිහිවූයේ සමාජය දේපළ මත පංතීන්ට බෙදී දේපළ හිමි පංතිය හා දේපළ අහිමි පංතිය අතර ගැටුම් ඇතිවන විට දේපළ හිමි පංතිය වෙනුවෙන් දේපළ අහිමි පංතිය පාගා පාලනය කිරීමටය. ඒ නිසා නීතිය උපතින්ම පක්ෂපාතීය. ඒ දේපළ හිමි පංතියටය. නැතිනම් පාලක පංතියටය. එහි ස්වාධීනත්වය යනු එහි ඇත්ත ස්වභාවය සඟවා තබා ගැනීමේ කඩතුරාවක් පමණි. ජනතාව නීතියෙන් ‘සාධාරණත්වය’ බලාපොරොත්තු නොවිය යුත්තේ ඒ නිසාය. පංති සමාජය තුළ නීතිය හා යුක්තිය එකක් නොවේ; දෙකකි. යුක්තිය හා සාධාරණය වඩාත් වැඩියෙන් නීතිය බවට පත්වීමට නම් සමාජය පංතිමය අර්ථයෙන් පරිවර්තනය විය යුතුය. වඩාත් සාධාරණ වන්නේ නීතියෙන් පාලනය වන සමාජයක් නොව සිරිත් විරිත් හා ආචාර ධර්ම මගින් හැසිරෙවෙන සමාජයකි. ඒ සඳහා පංති සමාජය අහෝසි වී පොදු දේපළ සහිත, පංති රහිත සමාජයක් නිර්මාණය විය යුතුය.

කෙසේ වෙතත් ධනවාදය තුළ නීතියේ ස්වභාවය පිළිබඳව කාල් මාක්ස් සිය ප්‍රාග්ධනය කෘතිය සඳහා සකස් කළ අත්පිටපත්වල සඳහන් කර තිබේ. එම අදහස 1867දී ප්‍රකාශයට පත්කළ එස්.එන්. ලින්ෂේ (ීසපදබ-භසජයදක්ි ඛසබටමැඑ) නැමැත්තාගේ කෘති තුළද දැකිය හැක. ලින්ෂේ මාක්ස්වාදියෙකු නොව ධනේශ්වර ලිබරල් චින්තකයෙකි. කෙසේ වෙතත්  මාක්ස් හා ලින්ෂේ යන දෙදෙනාම ‘නීතීන්ගේ ජීවය දේපළ වේ’ යනුවෙන් සඳහන් කර ඇත. නීතියේ අරමුණ පෞද්ගලික දේපළ හා එම ක්‍රමය ආරක්ෂා කිරීම බව ඉතා පැහැදිලිව පෙන්වාදෙන ඔවුන් පවසා ඇත්තේ ‘නීතීන් පවතින්නේ (පෞද්ගලික දේපළවල) මුලින් බලෙන් පැහැර ගැනීමේ පාප ශෝධනයටත් නව බලෙන් පැහැර ගැනීම් වැළැක්වීමටත්ය’ යනුවෙන්ය.

නීතියේ පදනම පෞද්ගලික දේපළත් ඊට අදාළ සමාජ ක්‍රමයත් රැකීම වූ විට නීතිය පාලකයින්ගේ, පාලක පංතීන්ගේ කැමැත්ත වීම වැළැක්විය නොහැක.

විධායක ජනාධිපති ක්‍රමය හා නීතිය

නීතිය යනු පාලක පංතියේ කැමැත්ත වුවත් පීඩිතයින් එම නීතිය යටතේ තබා ගැනීමේ වුවමනාව නිසා විශේෂයෙන් ධනවාදී සමාජය තුළ ‘නීතිය සාධාරණ හා අපක්ෂපාතී’ ලෙස අර්ථ ගන්වන ලදී. එසේම හැකි සෑම විටම පෙනුමෙන් නීතිය සාධාරණ බව පෙන්වීමටද කටයුතු කරන ලදී. ඒ, පංතිමය අර්ථයෙන් අභියෝගයක් නොවන අවස්ථාවලය. දියුණු ධනපති රටවල මාර්ග නීති කැඩූ විට අගමැතිවරයාටද දඩ නියම කිරීම, වංචා දුෂණවලට අසුවන ඉහළ අයටද දඬුවම් දීම වැනි දේවල් ඊට උදාහරණ වේ.

එහෙත් ලංකාව වැනි පසුගාමී ධනපති රටවල එම සංකේතාත්මක සාධාරණත්වය හෝ පවත්වාගෙන යාමට පාලකයින්ට නොහැක. ඔවුන් අමු අමුවේ නීතිය තමන් අතට ගන්නේත් තමන්ට අවශ්‍ය ලෙස ‘නීතිය නවන්නේත්’ ඒ අනුවය.

ලංකාවේ නීතිය හාස්‍යයට හා අවමානයට පත්කරන ප්‍රධාන තනතුර වන්නේ විධායක ජනාධිපති තනතුරය. එය ව්‍යවස්ථාවෙන්ම නීතියට ‘ඉහළින්’ තබා තිබේ. ජනාධිපතිවරයාට සිය ධුර කාලය තුළ කරන ලද හෝ නොකර හරින ලද වැරැද්දක් සම්බන්ධයෙන් නඩු පැවරීමට නොහැකි කර තිබේ. ‘නීතිය කාටත් එකයි’ යන සංකල්පය එතැනින්ම බිඳ දමනු ලැබ තිබේ. එසේම සිරකරුවන්ට සමාව ප්‍රදානය කිරීම සඳහා ජනාධිපතිවරයාට ලබාදී ඇති බලයද අධිකරණය හෑල්ලුවට ලක්කිරීමකි. අධිකරණයේ ඉහළම අධිකරණය විසින් පවා නඩු විභාග පවත්වා කරුණු විමර්ශනය කර නඩු වාර්තා ලියා මරණීය දඬුවම ලබා දෙන අයෙකුට ඊට පසුදිනම සමාව දී ගෙදර යැවීමේ බලය ජනාධිපති සතු වූ විට අධිකරණය නඩු විභාග කිරීම තේරුමක් නැති දෙයක් බවට පත්වේ.

තමන්ගේ මිනිසුන් ගෙදර යැවීම

මරණ දඬුවමට ලක්වූවන් ඇතුළු සිරකරුවන්ට සමාව දීම සඳහා ජනාධිපතිවරයාට ලැබී ඇති බලය ඔවුන් යොදා ගන්නේ නීතියේ දුර්වලකමක් නිසා දඬුවම් විඳින අහිංසකයෙක් නිදහස් කර ගැනීමට නම්, අසාධාරණ ලෙස සිරගත කළ අයෙක් නිදහස් කර ගැනීමට නම් එහි කිසියම්ම හෝ සාධාරණයක් තිබිය හැක. එහෙත් අපේ රටේ ජනාධිපතිවරුන් මෙම බලය යොදවා ඇත්තේ තම හිතවතුන්, හිතවත් මැරයින්, තම පංතියේ අය නිදහස් කර ගැනීමටය. ජේ.ආර්. ජයවර්ධන සමයේ පාතාල නායකයෙක් හා ස්ත්‍රී දූෂකයෙක් වූ ගෝනවල සුනිල් නැමැත්තාට සමාව දීම මෙහි හාස්‍යජනකම උදාහරණය වේ. ඉන්පසුද එවැනි දේ සිදුවිය. ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට වැරදිකාරිය වූ ඇමති බිරියකට සමාව දීම සිදුකළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාය. ඔහු තවත් හිතවතුන් කිහිපදෙනෙක්ම එලෙස නිදහස් කළේය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද රෝයල් පාක් ඝාතනයේ සැකකරුට සමාව දුන්නේය. දැන් ගෝඨාභයද ඒ දේම කර තිබේ.

මෙවැනි තත්වයක් තුළ නීතියේ ස්වාධීනත්වය ගැන සිහින දැකීම විකාරයකි. මේ ධනපති ක්‍රමයේ හැටිය. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් පිළිබඳ විශ්වාස කරන අය ඉදිරියේ ඇත්තේ එක් විකල්පයකි. ඒ, පවතින පාලන ක්‍රමය වෙනස් කිරීමය.

ධනවාදය මෙලෙස පවතිද්දී අධිකරණයේ කන්‍යාවට සැබෑ ලෙසම කටයුතු කිරීමට සිදුව ඇත්තේ එහි නිර්මාතෘවරු විසින් චිත්‍රණය කර ඇති පරිදි සුරතින් කඩුවක්ද වමතින් තුලාවක්ද රැගෙන දෑස් බැඳ සිටින කන්‍යාවක් ලෙසින් නොව ධනපති පාලකයන් විසින් දූෂණය කොට සිය වසඟයට ගෙන තම විරුද්ධවාදීන්ට එරෙහිව යොදවා ඇති කඩුවක් අමෝරා ගත් පදික වේදිකාවේ සිටින අබිසරු ලියක් ලෙසිනි. අපේ රටේ ජනතාව දැන් යළිත් මුහුණ දෙමින් සිටින්නේ එම කටුක සත්‍යයටය.

නීතියේ සාධාරණත්වය පිළිබඳ මිත්‍යාව හා යථාර්ථය