ලාංකේය අධ්‍යාපනයේ වත්මන් ගැටලු පිළිබඳ කියවීමක්

SHARE

අප රට සාක්‍ෂරතාවය 92.6% වැනි ඉහළ අගයක පවතින රටකි. 2015 යුනෙස්කෝ වාර්තාව අනුව අනිකුත් රටවල් සමග අනුපිළිවෙළින් බැලූ කල ශ්‍රී ලංකාවට 82වැනි ස්ථානය හිමි වී තිබේ. ඒ අතර නිදහස් අධ්‍යාපනය පවතින රටක් ලෙසද අප රට සලකනු ලබයි. ඒ අනුව බැලූ විට අප රට සුපිරි අධ්‍යාපනයක් සහිත රටක් යැයි බොහෝ දෙනෙකුට කිව හැකි වුවද, සැබෑ තත්වය පෙනෙන තරම් සතුටුදායක නොවන බව ඒ පිළිබඳ වන විධිමත් සොයාබැලීමකින් හෙළි කර ගත හැකිය.

සාක්‍ෂරතාවය අධ්‍යාපනයේ මට්ටම පිළිබඳ එක්තරා සාධකයක් බව සැබෑය. එහෙත්, එයින් ජනතාවගේ කියැවීමේ හා ලිවීමේ හැකියාව පිළිබඳ අදහසක් ලැබුණද කරුණු තේරුම් කරගැනීමට ඔවුන් කොතෙක් දුරට සමත්ද යන්න ගැන අදහසක් ලබා ගත නොහැකිය. ඒ නිසා එයින් ජනතාවගේ බුද්ධි මට්ටම තේරුම් ගැනීම අපහසුය. එසේම නිදහස් අධ්‍යාපනය තුළින් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ බවට විවාදයක් නැති නමුත්, එහි ඇති බරපතළ ගැටලු ගණනාවක් සාකච්ඡා කිරීමට එය බාධාවක් නොවේ.

 

නිදහස් අධ්‍යාපනය

1945දී නිදහස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා ඉදිරිපත් කරන සමයේ ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා සිටියේ බෝගම්බර සිරගෙදරය. ඔහු එහි සිට මේ පනත පිළිබඳව සිය අදහස් සටහනක් ලෙස ඉදිරිපත් කර තිබුණි. එමගින් ඔහු මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවල අඩුපාඩු ප්‍රමාණයක් පෙන්වාදී තිබිණි. පළමුව ඔහු මෙම ප්‍රතිසංස්කරණ යෝජනා සකස් කළ කොමිසමේ සංයුතිය කිසිසේත්ම මෙවැනි කටයුත්තක් සඳහා ප්‍රමාණවත් හෝ ගැලපෙන එකක් නොවන බව පෙන්වාදී තිබේ. එසේම කමිටුව ආදර්ශයට ගෙන තිබෙන්නේ එංගලන්තයේ පවතින අධ්‍යාපන පදනම් බවද ඒවා පංති පදනමකින් සකස්වී ඇති බවද එයින් සූරා කන පංතිය කෙරෙහි වැඩි වරප්‍රසාද සැලසෙන බවද පෙන්වාදී තිබේ. තවද පෙර පාසල් අධ්‍යාපනය නොසලකා තිබීමද, පොදුජන නූගත්කම පිටුදැකීම අවශ්‍ය බව දැක තිබුණත් ඊට ක්‍රියාමාර්ග නොමැතිකමද ඔහුගේ විවේචනයට ලක්ව තිබේ. තවද ප්‍රතිසංස්කරණ වාර්තාව සකස්වී ඇත්තේ, 08වැනි පංතිය දක්වා නොමිලේ අධ්‍යාපනය ලබාදීමේ පදනමේ සිට බවත්, එය හදිසියේ සරසවි අධ්‍යාපනය දක්වා දීර්ඝ කර තිබෙන බව පෙනී යන බවත්, විය යුතුව තිබුණේ සරසවි අධ්‍යාපනය දක්වාද නොමිලේ අධ්‍යාපනය ලබාදෙන පදනමේ සිට ප්‍රතිපත්ති සකස් වීම බවත් පවසා තිබේ. තවද ආගමික අධ්‍යාපනය පිළිබඳව ප්‍රතිසංස්කරණ කමිටුවේ ස්ථාවරයන් ඔහුගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ. එසේ කුමන අඩුපාඩු පැවතියද පැවති තත්වය අනුව මෙම යෝජනා විප්ලවීය ස්වරූපයක් ගන්නා බව පවසා ඇති ඇන්.ඇම්. පෙරේරා මහතා ඊට ඔහුගේ පක්ෂපාතීත්වය පළකොට තිබේ.

කෙසේ නමුත්, එවකට වරප්‍රසාද ලත් පෙළැන්තියට පමණක් සීමාවී පැවැති අධ්‍යාපනය සාමාන්‍ය ජනතාව වෙත ගලා යාමට නිදහස් අධ්‍යාපනය විශාල ලෙස හේතු විය. පැවැති ආසියාතික සමාජය යටත්විජිත පාලන සමය තුළ ධනවාදී සමාජයක් බවට වෙනස් කරනු ලැබුවද, එය උත්තරාරෝපිත ධනවාදයක් වූ නිසා ධනවාදී සමාජයක් අත්පත් කර ගන්නා වූ සියලු සමාජ ජයග්‍රහණ අපට හිමි වූයේ නැත. ධනේශ්වර ප්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් යම් ප්‍රමාණයක් නීතිරීති තුළට ඇතුළත් වුවද, සමාජ දේහය තුළ පැවැති පසුගාමී ආසියාතික ලක්‍ෂණ විශාල ප්‍රමාණයක් ඉතිරිව පැවැතිණි.

කෙසේ වුවත්, 50, 60 දශකවල පාසල් සහ විශ්වවිද්‍යාල ආරම්භ කිරීමෙන් අධ්‍යාපනය ව්‍යාප්ත වීම සිදුවිය. මෙසේ ව්‍යාප්ත වූ අධ්‍යාපන පද්ධතියේ ගැටලු වෙන වෙනම සාකච්ඡා කළ යුතුය.

අධ්‍යාපන විෂමතාවය

අධ්‍යාපන අවස්ථා ලබාදුන් ප්‍රමාණයට සාපේක්‍ෂව ඒ ඒ ප්‍රදේශවල අධ්‍යාපන පරිසරය නිර්මාණය විය. යටත්විජිත පාලකයන් අධ්‍යාපන අවස්ථා ඇති කළේ රට ගැන කල්පනා කළ පොදු සංවර්ධන සැලැස්මකට නොව ඔවුන්ගේ වැඩ කටයුතු සඳහා අවශ්‍ය අධ්‍යාපනික ශ‍්‍රමිකයන් ලබා ගැනීමට පමණි. යටත්විජිත යුගයෙන් පසුව වුවද, එය විධිමත් සැලැස්මක් අනුව සිදු වූවා යැයි සිතිය නොහැකිය. මේ නිසා අධ්‍යාපනික මට්ටම ඉහළ ප්‍රදේශ සහ පහළ ප්‍රදේශ ලෙස විෂමතාවයක් නිර්මාණය විය. අධ්‍යාපන අවස්ථා සඳහා භෞතික හා මානව සම්පත් ලබා දෙන ප්‍රමාණයත්, එයට තීරණාත්මකව බලපෑවේය. මෙම ප්‍රශ්නය නිසා සරසවි ප්‍රවේශයේදී දුෂ්කර ලෙස සැලකුණු ප්‍රදේශවල සිසු සිසුවියන්ට සිදු වන අසාධාරණය අවම කිරීම සඳහා දිස්ති‍්‍රක් පදනමත් දුෂ්කර දිස්ති‍්‍රක් කෝටාවත් ඇති කරන ලදී. එහෙත්, එකම දිස්ති‍්‍රක්කය තුළ පවතින විෂමතාවයන් ප්‍රමාණයන් සැලැකූ විට මෙය සර්ව සාධාරණ මිම්මක් වූයේ නැත.

එහෙත්, එහිදී තවත් ගැටලු මතුවිය. එනම්, ඇතැම් දිස්ති‍්‍රක්කවල ඉහළම ප්‍රතිඵල ගත් සිසු සිසුවියන්ට සරසවි ප්‍රවේශය අහිමි විය. එහි සැබෑ හේතුව වූයේ සරසවි ඉඩපහසුකම් හිඟ වීම නිසා ඇතුළත් කර ගන්නා ප්‍රමාණය සීමා කිරීමය. මෙහි දී නුවරඑළිය, මොනරාගල, අම්පාර, බදුල්ල, හම්බන්තොට, මන්නාරම, මුලතිව්, යාපනය, කිලිනොච්චිය, වවිනියා, ත‍්‍රීකුණාමලය, අනුරාධපුරය සහ පොළොන්නරුව යන දිස්ති‍්‍රක්ක දුෂ්කර දිස්ති‍්‍රක්ක ලෙස සලකන ලදී. මේ වන විට විෂමතාවය පිළිබඳ ප්‍රශ්නය එසේම තිබියදී ක්‍රමානුකූලව දිස්ති‍්‍රක් පදනම ඉවත් කරමින් තිබේ. වර්තමානය වන විට සුපිරි පාසල් ගණයේලා සැලකෙන පාසල් ප්‍රමාණයක් ඉස්මතුවී ඇත්තේ මේ තත්වයන්ගේ ප්‍රතිඵලයක් ලෙසය. සුපිරි පාසල් සඳහා තම දරුවන් ඇතුළත් කර ගැනීමේ මහා තරගයක් ඇතිවී තිබෙන්නේ මේ නිසාය. ඒ තුළ බොහෝ දූෂණ අක්‍රමිකතා සිදුවන බවද නිතර අසන්නට ලැබේ. එසේම එවැනි පාසල්වල ශක්තිමත් ආදි ශිෂ්‍ය සංගම්ද පවතින අතර ඒවා මගින් සුපිරි පාසල් ලෙස මතුවී තිබෙන මෙම පාසල්වලට කරන මැදිහත්වීම තුළින් පාසල් පරතරය තවත් වැඩිකරමින් තිබේ.

 

අධ්‍යාපන පෞද්ගලීකරණය

 

  1. උපකාරක පන්ති හෙවත් ටියුෂන්:

උපකාරක පන්ති යනුවෙන් පාසල් අධ්‍යාපනයට අමතර අධ්‍යාපනය දෙන ආයතන ආරම්භ වූයේ බොහෝ විට පාසල් තුළ විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකිවීම් වැනි ගැටලු නිසාය. එහෙත්, ක්‍රමිකව නිර්මාණය වූ අධ්‍යාපන තරගකාරීත්වය සහ අධ්‍යාපනයට ඉහළ සමාජ වටිනාකමක් අත්කර ගැනීම නිසා උපකාරක පන්ති වේගයෙන් ව්‍යාප්ත වී එය අනිවාර්ය සාධකයක් බවට පත්ව තිබේ. එමඟින් ටියුෂන් සංස්කෘතියක්ද නිර්මාණය කර තිබෙන අතර, අර්බුද රැසක්ද බිහිව තිබේ.

 

  1. ජාත්‍යන්තර පාසල්

ආරම්භයේ දී කොළඹ කේන්ද්‍ර කරගෙන ඇරැඹි ජාත්‍යන්තර පාසල් දැන් රට පුරා නාගරිකව ව්‍යාප්ත වී තිබේ. නාගරිකව ජීවත්වන එහෙත්, පදිංචිය සහතික කළ නොහැකි බොහෝ දෙමව්පියන්ට  රජයේ පාසල් සඳහා දරුවන් ඇතුළත් කිරීමේ ගැටලුවක් පවතී. රජයේ පාසල්වල ඉඩකඩ ප්‍රශ්නයද මෙයට බලපා තිබේ. මේ තත්වයට අද විකල්පය වී ඇත්තේ, ජාත්‍යන්තර පාසල්ය. ඉංගී‍්‍රසි මාධ්‍ය අධ්‍යාපනය නිසාත්, ඇතැම් නවීකරණ අධ්‍යාපන ක්‍රමවේදයක් නිසාත් ජාත්‍යන්තර පාසල් ජනප්‍රිය වී තිබේ. එහෙත්, ඒ සැලැකිය යුතු මුදලක් ඒ වෙනුවෙන් වියදම් කළ හැකි අය සඳහා පමණි. ඒ අතර විෂය නිර්දේශයක් හා අධ්‍යාපන පහසුකම්වල පවතින විවිධ මට්ටම් නිසා ඒවායේ ප්‍රමිතිය සම්බන්ධයෙන්ද ගැටලු මතුව තිබේ. ඇතැම් ඒවා ජාත්‍යන්තර පාසල් ලේබලයෙන් හැඳින්වුවද, ඒවායේ ප්‍රමිතිය ඉතාම පහළ මට්ටම්වල පවතී. කෙසේ නමුත්, මෙවැනි ගැටලුවක් උද්ගත වීමට මූලික හේතුව නිදහස් අධ්‍යාපන අවස්ථාවන් රටේ වැඩි වන අවශ්‍යතාවයන්ට අනුව පුළුල් නොවීමය.

  1. උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා පෞද්ගලික පාඨමාලා ලෙස ඇරැඹීම

විශේෂයෙන් උසස් පෙළ විභාගය සමත් වුවත්, සරසවි ප්‍රවේශය ලබන්නේ 20% පමණ කුඩා අගයක් වීම නිසා විශාල ගැටලුවක් පවතී. එනම් සරසවි වරම් ලැබීමට සුදුසුකම් ලැබූවත් සරසවි පද්ධතියේ ඉඩකඩ නොලැබීම නිසා වසරකට සිසුන් 110,000කට පමණ සරසවි වරම් අහිමි වේ. සරසවි පහසුකම් පුළුල් කොට මේ සියලු දෙනාට උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීමට ආණ්ඩු අසමත් වී ඇත. මේ අවශ්‍යතාවය සැපිරීම සඳහා විකල්ප විය හැකි විවෘත විශ්වවිද්‍යාල පැවැතියද, ඒවාද මෙයට සැබෑ ලෙස සරිලන ප්‍රමාණවත් විකල්පයක් වූයේ නැත. එවැනි ඉලක්කයක් සහිත ඒවා නවීකරණය සහ ගොඩනැංවීම සිදු වූයේ නැත.

විශ්වවිද්‍යාල බාහිර උපාධි පාඨමාලාවන් පවත්වාගෙන ආවද, මෑතකාලීනව ඒවායේ ගාස්තු සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට දැරිය නොහැකි මට්ටමට ඉහළ දැමීම් සිදුවිය. මේ පවතින ඉල්ලූම විශාල වෙළෙඳපොළක් වන අතර, ඒ සඳහා ආයෝජන කිරීමට පෞද්ගලික අංශය ඉදිරිපත් වීම දකින්නට හැකිය. එහෙත්, එහිදී උසස් පෙළ සුදුසුකම් වෙනුවට ප්‍රමුඛ වී ඇත්තේ, මූල්‍ය හැකියාවයි. ඒ නිසා ඉන් අසාධාරණයට ලක්වන්නේ ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් පෙළෙන සිසු සිසුවියන්ය.

ඒ අතර උසස්පෙළ විභාගය අසමත් වන සිසු-සිසුවියන් ප්‍රමාණය වසරකට 80,000ක් පමණ වේ. මෙම පිරිස ශ්‍රම බලකායේ විශාල පංගුවක් වන අතර, ඔවුන් ආර්ථිකයට උරාගැනීම සඳහා රජයට නිසි වැඩපිළිවෙළක් ඇති බවක් නොපෙනේ. කාර්මික විද්‍යාල, උසස් තාක්‍ෂණ ආයතන පැවැතියද, ඒවායේ අවස්ථා ඉතා සීමිත වීමත් විශේෂයෙන් කාර්මික විද්‍යාලවලට පහසුකම් ලබා නොදීම නිසා ඒවා අර්බුදයට ගොස් තිබීමත් නිසා පවතින අවශ්‍යතා පැතිරීමට කිසිසේත්ම හැකි වී නැත.

ඒ අතර සරසවි පාඨමාලාවන් සඳහා වසර හතරක, පහක කාලයක් ගත වීම නිසාත් සරසවි තුළ පවතින උද්ඝෝෂණික හා ගැටුම්කාරී ස්වරූපය පිළිබඳ අදහස නිසාත් සරසවි අධ්‍යාපනය වෙනුවට විකල්ප වෙත හැරීමට බලපාන සමාජ මතයක්ද පවතින බව කිව යුතුව තිබේ. මෙයද බොහෝ විට ආර්ථික හැකියාවන් සහිත අය අතර පවතින්නකි.

මේ සියලු සාධක විසින් සපුරන අති විශාල අධ්‍යාපන වෙළෙඳපොළ ජාවාරම්කරුවන්ටද තෝතැන්නක් වී තිබේ. හොඳම උදාහරණය වන්නේ, පසුගියදා අහෝසි කළ බව කී නමුත් වෙනත් නමකින් හිස එසවීමට උත්සහ කරන සයිටම් ආයතනයයි. නෙවිල් ප්‍රනාන්දු නම් කූට වෛද්‍යවරයාත්, අනෙක් බඩගෝස්තරවාදී මැති ඇමතියන්ද එක්ව ජනතාව රවටමින් කරන මගඩිය සයිටම් සටන නිසා හෙළිදරව් වී තිබේ. සයිටම් සටන මෙවැනි සමාජ අවධානයට දිනා ගත්තක් වූයේ එය වෛද්‍ය පාඨමාලාවක් වීම නිසා බවට විවාදයක් නැත. එවැනි තවත් බොහෝ පාඨමාලා වෙනත් ක්ෂේත්‍රවල ඇරැඹී තිබේ. ඇතැම් ඒවා පෞද්ගලික විශ්වවිද්‍යාල ලෙසම ක්‍රියාත්මක වීමට පටන් ගෙන තිබේ. ඒවායේද මෙවැනි කූට ප්‍රයෝග ඇති බවට සැකයක් නැත. එහෙත්, ඒවා සමාජ අවධානයෙන් ගිලිහී තිබීම කනගාටුවට කරුණකි.

රජයේ අධ්‍යාපන වියදම් කප්පාදුව

නිදහස් අධ්‍යාපන ක්‍රියාවලිය තුළ මතුව තිබෙන ගැටලුවල කේන්ද්‍රීය ප්‍රශ්නය ඒ සඳහා වන භෞතික හා මානව සම්පත් ගැටලුවයි. එයට හේතු වන්නේ ඒ සඳහා වෙන් වන ආර්ථික ප්‍රතිපාදනයන්ගේ ගැටලුවයි. පසුගිය කාලය පුරාම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිසුන්, ගුරුවරුන් සහ ප්‍රගතිශීලී බලවේගවල ප්‍රධාන ඉල්ලීමක් වූයේ අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් 06%ක් වෙන් කරන ලෙසය. එහෙත් එය බීරි අලින්ට වීණා වැයීමක් වී තිබේ.

මෙම මූල්‍ය ප්‍රතිපාදනවල ප්‍රශ්නය නිසා අධ්‍යාපන අවස්ථා පුළුල් නොවීම පමණක් නොව නිදහස් අධ්‍යාපනය වේගයෙන් හැකිළෙමින්ද පවතී. පාසල් වැසී යාම අද විශාල ප්‍රශ්නයක් වී තිබේ. එසේ ම පාසල්වල නඩත්තු කටයුතු අර්බුදයට යාම නිසාවෙන් එම වියදම් ක්‍රමානුකූලව දෙමව්පියන් මත පැටවෙමින් තිබේ. පාසල් ළමයින් සඳහා ලබාදෙන නිල ඇඳුම් සලාක කප්පාදු කිරීමේ උපක්‍රම සකස්කර තිබේ. පෙළ පොත් මුද්‍රණය රජයෙන් නිදහස් කොට පෞද්ගලික අංශය වෙත ලබාදීමෙන් තිබෙන සොච්චම් ප්‍රතිපාදනවලට තවත් බරක් එක්වී තිබේ. උදේ ආහාරයවත් නොමැතිව පාසල් පැමිණීම නිසා දින කිහිපයක් වමනය දැමූ කැකිරාව ප්‍රදේශයේ පාසලක දැරියක සම්බන්ධ පුවතක් පසුගිය කාලයේ ආන්දෝලනයක් ඇති කළේය. ඒ සැබැවින්ම අප රටේ ආර්ථික දරිද්‍රතාවයත්, අධ්‍යාපන දරිද්‍රතාවයත් පෙන්නුම් කරන සැබෑම ප්‍රකාශනයකි.

අධ්‍යාපනය සිසුන් මත පැටවූ බරක් වීම

අධ්‍යාපන විෂය මාලා ක්‍රමවේදයන් සකස් කිරීමේ දී අධ්‍යාපන මනෝ විද්‍යාව පිළිබඳ සැලැකිලිමත් වීම අත්‍යවශ්‍ය කරුණකි. එහෙත්, පාසල් විෂයමාලාවන් මෙවන් දැක්මක් සහිතව සකස්වී තිබේද යන්න ප්‍රශ්නයකි. මේ සඳහා හොඳම උදාහරණය වන්නේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පවතින දැඩි තරඟකාරීත්වයයි. වයස 10ක් පමණ වන දරුවකුට ඔරොත්තු නොදෙන මානසික පීඩනයක් මේ නිසා ඇති කෙරේ. එය පොදු සමාජ ප්‍රශ්නයක් බවට ද පත්ව තිබේ.

ඒ අතර අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන්ට අදාළ විෂය නිර්දේශයන්ගේද වරින්වර කරනු ලබන වෙනස්කම්වලදී විෂය බර වැඩි කිරීම් මෙන්ම අඩු කිරීම්ද කරනු ලැබ තිබේ. 70 දශකයේ දී විද්‍යා විෂයයන් එක්කර සමෝධානික විද්‍යාව ඇති කළේ මෙවැනි විෂය බර අඩු කිරීමේ අරමුණින් වුවත්, පසුව යළි ඒවා වෙනස් විය. උසස් පෙළ විෂයයන් හතර තුන දක්වා අඩු කිරීමෙන්ද මේ තත්වය පැවැතිණි. කෙසේ නමුත්, පාසල් තුළ විෂය නිර්දේශය අවසන් කර ගැනීමට නොහැකි වීමේ ප්‍රශ්නය මතු වන්නේද මේ තත්වය තුළමය. ටියුෂන් පන්ති අත්‍යවශ්‍ය සාධකයක් වන්නේද මේ නිසාය.

වියුක්ත අධ්‍යාපනය

අධ්‍යාපනය ලබා දීමේදී විෂයයන් වෙන් කර ගැනීමට සිදුවෙයි. එහෙත්, ඒ ඉගැන්වීමේ සහ ඉගෙනීමේ පහසුව සඳහාය. අධ්‍යාපනය යනුවෙන් අදහස් කරනුයේ, අප හා අප අවට ඇති සමස්තය පිළිබඳව තේරුම් ගැනීමයි. එයට මිනිසා විසින් මේ දක්වා එකතු කරගෙන තිබෙන දැනුමද ලබා ගත යුතුය. ගණිතය, විද්‍යාව, කලා, ඉතිහාසය, සමාජ විද්‍යාව, ආගම, දර්ශනය ආදී වශයෙන් වෙන් කොට ඉගෙනුම ලබන්නේ මේ සමස්තයයි. එහෙත්, වත්මන් අධ්‍යාපන ක්‍රමය තුළ පවතින ප්‍රධානතම අඩුපාඩුවක් වන්නේ මෙම විෂයයන්ගේ පවතින අපූර්ව අන්තර් සම්බන්ධය පිළිබඳ ඉගැන්වීම සිදු නොවීමය. නැතහොත්, මේ සියලු විෂයයන්ගේ පදනම එකක් බව සිසුවාට තේරුම් නොකිරීමය. පවතින විභාග ඉලක්ක කර ගත් යාන්ති‍්‍රක තරගකාරී අධ්‍යාපනික ක්‍රියාවලිය තුළ එවැනි දෙයක් බලාපොරොත්තු විය නොහැකිය. එහි ප්‍රතිඵලය වන්නේ විෂය ප්‍රවීණයන් බිහි වුවද, ඔවුන් සංයුක්ත අවබෝධය ඇති අය නොවීමය. යමක් නිවැරැදිව තේරුම් ගැනීමට නම්, ඒ පිළිබඳව සංයුක්ත අවබෝධයක් අවශ්‍යය. එහෙත්, පවතින සූරා කෑම පදනම් වූ සමාජ ක්‍රමයට සංයුක්ත අවබෝධය සහිත මිනිසුන් ගොඩනැඟීමේ වුවමනාවක් ඇත්තේ නැත.

විද්‍යාව වෙනුවට අවිද්‍යාව

මෑත කාලීනව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලැබූ අපොස සා/පෙ විභාගයන්ගේත්, අපොස උ/පෙ විභාගයන්ගේත් දක්නට ලැබුණු පොදු කාරණයක් විය. එනම් විභාග ආරම්භය සතියේ පළමු දිනය වන සඳුදාට යොදා නොගෙන අඟහරුවාදාට යොදා සකස් කිරීමයි. මේ පිළිබඳව සොයා බැලූ විට හෙළිදරව් වූයේ සඳුදා යෙදී තිබූ රාහු කාලය අපල බවත් ඒ නිසා විභාගය අඟහරුවාදා ඇරඹීමට බලධාරීන් තීන්දු කළ බවත්ය.  අධ්‍යාපන බලධාරීන්ගේ තත්වය මෙය නම් එවන් රටක පාසල් දැරියක වමනය දැමූ පමණින් විදුහල්පතිනිය එම දැරිය ගැබ්ගෙන ඇතැයි නිගමනය කොට ගෙදර යැවීම ගැන පුදුම විය යුතු නැත. පාසල් අධ්‍යාපන විෂය මාලාවන් තුළම ආගමික අධ්‍යාපනයද ඇතුළත් කොට තිබේ. ආගමික ඉගැන්වීම් තුළ එන බොහෝ මිථ්‍යාවන්ද ඒ සමගම සිසුන්ට උගන්වනු ලැබේ. මැවීම්වාදය හා විඥානවාදී වැරදි ඉගැන්වීම් ආදිය ඒ සඳහා උදාහරණ වෙයි. පුළුල් විද්‍යාත්මක දැක්මක් සහිතව, එමෙන්ම ගවේෂණශීලීව ලෝකය හැදෑරීම හුරු කරනවා වෙනුවට ළදරු මනස මොටකර වහල් චින්තනයක සිරකිරීමට ඒවා හේතු වෙයි. මෙය අපේ අධ්‍යාපන ක්‍රමයේ පවතින තවත් විශාල අඩුපාඩුවකි.

ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය

තවමත් අප රටේ අධ්‍යාපනය ලබා දීමේ ක්‍රමවේදය වන්නේ ගුරු කේන්ද්‍රීය ක්‍රමයයි. එනම් ගුරුවරයා පන්ති කාමරය ඉදිරියේ සිටගනිමින් සිය දේශනය පවත්වා සිසුන්ට සටහන් ලිවීමට සලස්වන ක්‍රමවේදයයි. එහෙත් අධ්‍යාපන මූලධර්ම අනුව සලකා බැලූ විට එය සාර්ථක ක්‍රමයක් නොවේ. වඩා සාර්ථක වන්නේ, ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය බව ලොව පුරා පිළිගත් මතයයි. සැබැවින්ම සිසුවා නිවැරදිව කරුණු කාරණා තේරුම් ගන්නේ ස්වයංව ලබන අධ්‍යයනය තුළින්ය. ගුරුවරයා කළ යුත්තේ ඒ සඳහා ඔහුට මඟ පෙන්වීමය; ඔහුට අවශ්‍ය උදව් පදව් ලබාදීමය. සමස්ත අධ්‍යාපන ක්‍රමය තුළම එවන් වෙනසක් ඇති කිරීම අප වැනි රටක සරල කටයුත්තක් නොවේ. ඊට වඩා අතිශයින් සරල සමාජ ප්‍රශ්නයක්වත් විසඳාගත නොහැකි බෙලහීන පාලකයන්ගෙන් එවැනි දේ බලාපොරොත්තු විය නොහැකිය. වර්තමාන ලෝකය දෙස බැලූවිට නවීන විද්‍යාත්මක සොයා ගැනීම්වලින් සෑම ක්ෂේත්‍රයකම වේගවත් ඉදිරි ගමනක් දක්නට ලැබේ. විශේෂයෙන් ඩිජිටල් තාක්ෂණය මෙන්ම අන්තර්ජාලයද අධ්‍යාපනය සඳහා ඉතා මැනවින් යොදාගත හැකිය. එහෙත් අත්‍යවශ්‍ය විද්‍යාගාර පහසුකම් පවා නිසිලෙස ලබාදී නැති අපේ පාසල් පද්ධතිය සැලකූ විට ටැබ් ලබාදීම වැනි ඒවා යථාර්ථයක් නොවන සිහින තරමට අපේ සිසු පරපුරෙන් දුරස් කොට තිබේ.

වර්තමානය වනවිට පෙනීයන කරුණක් නම් මෙතෙක් පැවති කවර ආණ්ඩුවක් බලයට පැමිණියද රටේ ආර්ථික ප්‍රතිපත්තීන්වල කිසිදු වෙනසක් නොවුණ බවයි. එය දිශාගත වී ඇත්තේ, වැඩි වැඩියෙන් පුද්ගලීකරණය කිරීම් හා පොදු ජන සේවාවන් කප්පාදු කරන දිශාවටය. අධ්‍යාපන ක්ෂේත්‍රයටද මෙම පොදු යථාර්ථයට මුහුණදීමට සිදුව තිබේ. වඩා දියුණු පරිපූර්ණ අධ්‍යාපන ක්‍රමවේදයක් කෙසේ වෙතත් පවතින නිදහස් අධ්‍යාපන අවස්ථා රැකගැනීම පවා විශාල අභියෝගයක්ව ඇත්තේ ඒ නිසාය.

ඒ නිසා අප රටෙහි දියුණු දැක්මක් සහිත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැගීම සමස්ත සමාජ ආර්ථික පරිවර්තනයක් සමග සිදුකළ යුතු දේශපාලන කටයුත්තක් බවට පත්ව තිබේ. ඒ සඳහා උරදීම මේ මොහොතේ සියලුම ප්‍රගතිශීලීන්ගේ, බුද්ධිමතුන්ගේ පැහැර හැරිය නොහැකි වගකීමක් වන්නේය.

ලාංකේය අධ්‍යාපනයේ වත්මන් ගැටලු පිළිබඳ කියවීමක්