දෙවන ලෝක යුද්ධය සහ සෝවියට් මෙහෙවර

SHARE

ලොව පුරා විශේෂයෙන් යුරෝපය තුළ මැයි 09 වනදා හඳුනා ගන්නේ නාසි පැසිස්ට්වාදය පරාජය කොට ලෝක යුද්ධය අවසන් කළ දිනය වශයෙනි. සෝවියට් රතු හමුදාව සහ අනෙකුත් මිත්‍ර පාර්ශ්වයේ හමුදා  ඉදිරියේ ජර්මනියේ නාසිවාදීන් පරාජය භාර ගත් දිනය වශයෙන් මෙම දිනය සමරනු ලබන අතර, 2024 වසරේ සනිටුහන් වන්නේ එහි 79 වන සංවත්සරයයි.

1930 ගණන්වල මුල් භාගයේ පමණ වන කාලයේ සිට ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ මඟ පෙන්වීම යටතේ ජාතිකවාදී, යුදෙව් විරෝධී, පාරිශුද්ධවාදී, වාර්ගික පිරිසිදු කිරීම ආදී මතයන් ඔස්සේ නාසි පක්ෂය වර්ධනය වූ අතර, එය ජර්මනිය පමණක් නොව මුළු මහත් මානව සංහතිය ම ඉතාම අඳුරු කාල වකවානුවකට ගෙන යාමේ ආරම්භය විය. ඇඩොල්ෆ් හිට්ලර් පැසිස්ට්වාදී ඒකාධිපති පාලකයකු වශයෙන් ජර්මනියේ පාලනය සිදු කළ අතර, ‘වාර්ගික පිරිසිදු කිරීම’ යන න්‍යාය මත ඉතාම කෲර හා ම්ලේච්ඡ සංහාරයක් යුදෙව් ජනතාව මත සිදු කරන ලදි. යුදෙව් ජනතාවගේ පුරවැසිභාවය ඉවත් කිරීම, අයිතිවාසිකම් අහිමි කිරීම, දේපළ අහිමි කිරීම, සිරකඳවුරුවල ගාල් කිරීම, අමානුෂික වධහිංසනවලට ලක් කොට ඝාතනය කිරීම සිදු කරන ලදි.

1933 සිට 1945 ‘හොලොකෝස්ට්’ ලෙස පොදු ව්‍යවහාරයේ හැඳින්වෙන කාලය තුළ ජර්මනියේ මෙලෙස දිවි අහිමි කළ යුදෙව් ජනතාවගේ ප්‍රමාණය මිලියන හය ඉක්මවයි. මෙලෙස අමු අමුවේ ඝාතනය වන යුදෙව් ජන සංහාරයට ද, නැඟෙනහිර දෙසට ව්‍යාප්ත වීමේ හිට්ලර්ගේ ප්‍රවණතාවට ද ආසන්න ධනපති රටවල් වූ බ්‍රිතාන්‍යය හෝ ප්‍රංශය සැලැකිය යුතු විරෝධතාවක් දක්වන බවක් නොපෙනිණි.

හිට්ලර්ගේ අරමුණ වූයේ යුදෙව් ජාතිකයන් සමූලඝාතනයට ලක් කිරීම පමණක් නොව ඔස්ට්‍රියාව, චෙකොස්ලෝවැකියාව, ඕලන්දය, බෙල්ජියම පෝලන්තය ඇතුළු නැඟෙනහිර යුරෝපයේ රටවල් පමණක් නොව සෝවියට් සමූහාණ්ඩුව ද විනාශ කර මෙම වාර්ගික අන්තවාදී වියරුව පැතිරවීමයි. හිට්ලර්ගේ ඒකාධිපති වියරුවට හා පාලනයට සමකාලීන ඒකාධිපති පාලකයන් වූ ඉතාලියේ බෙනිටෝ මුසොලිනි සහ ජපානයේ අගමැති හිඩෙකි ටෝජෝ සහාය පළ කළ අතර, දෙවන ලෝක යුද්ධය තුළ ජර්මනිය පාර්ශ්වය වශයෙන් සටන් කිරීම ද සිදු කරන ලදි.

හිට්ලර් ගේ පිළිවෙත හමුවේ සාමුහිකව ආරක්ෂා වීමේ අවශ්‍යතාව හඳුනා ගත් සෝවියට් දේශය සාමුහික ආරක්ෂක ගිවිසුමකට ඇතුළත් වීමට බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ පෝලන්තයට ආරාධනා කළ නමුත්, එකී රටවල් විසින් එය ප්‍රතික්ෂේප කරන ලදි. මේ අනුව 1939 වර්ෂයේ හිට්ලර් ඉතාලිය සමඟ ගිවිසුමකට එළැඹීමෙන් පසු සෝවියට් රටවල ආරක්ෂාව සලකා එකිනෙකා සමඟ යුද්ධයක් ඇති කර නොගන්නා බවට ජර්මනිය සමඟ ගිවිසුමකට එළැඹීමට සෝවියට් දේශයට සිදු විය. බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ පෝලන්තය වෙනම ආරක්ෂක එකඟතාවක් ඇති කර ගෙන තිබිණි. 1939දී ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කරන ලදි. ආරක්ෂක ගිවිසුමක් පැවැතිය ද, බ්‍රිතාන්‍යය හා ප්‍රංශය මුල් අවස්ථාවේ පෝලන්තය වෙනුවෙන් යුද ප්‍රකාශ කිරීමක් සිදු නොකළ අතර, පසුව ජර්මනියට එරෙහිව යුද්ධයට අවතීර්ණ විය. කෙසේ නමුත්, පසුව ප්‍රංශය ජර්මනිය සමඟ සටන් විරාමයකට පැමිණි අතර, බ්‍රිතාන්‍යය දිගට ම යුද්ධයෙහි නිරත විය.

ජර්මනිය 1941දී සෝවියට් දේශය ආක්‍රමණය කිරීමත් සමඟ සෝවියට් දේශය ජර්මනියට එරෙහිව ක්‍රියාකාරීව යුද්ධයට අවතීර්ණ විය. ජර්මනියේ යුද හවුල්කරු වූ ජපානය ඇමෙරිකා එක්සත් ජනපද කලාපයකට ප්‍රහාර එල්ල කිරීම සමඟ ජර්මනිය හා එක්සත් ජනපදය අතර ප්‍රහාර ආරම්භ විය. ඒ අනුව ජර්මනියට එරෙහිව යුද වදිමින් සිටි ප්‍රධාන පාර්ශ්වයන් තුන අතර සන්ධානයකට ඉඩ විවර වූ අතර, දෙවන ලෝක යුද සමය තුළ මිත්‍ර පාර්ශ්වය වශයෙන් හඳුන්වන ලද්දේ සෝවියට් දේශයේත්, බ්‍රිතාන්‍යයේ හා ඇමෙරිකා එක්සත් ජනපදයේත් හමුදා ය.

ජර්මනියේ හිට්ලර්ගේ සහ ඔහුගේ පාර්ශ්වයට සහාය දැක් වූ ජපානයේ හිඩෙකි ටෝජෝ අගමැති හා හිරොහිතෝ අධිරාජයාගේ පාලන බිඳවැටීම සමඟ දෙවන ලෝක යුද්ධයේ අවසානය සටහන් විය. නමුත්, මෙම පරාජය සිදු වන්නේ 1939 සිට 1945 දක්වා මිත්‍ර පාර්ශ්ව සමඟ සිදු කරන ලද අතිශය දැඩි යුද ගැටුමකින් අනතුරුවයි. නූතන ඉතිහාසයේ කෲරතම හා අමානුෂිකම ජන සංහාරය හා සමූල ඝාතන දෙවන ලෝක යුද්ධය ආශ්‍රිත සිදුවීම් සටහන් කරයි. ආසන්න වශයෙන් මිලියන 60කට වැඩි මරණ සංඛ්‍යාවක් සිදු වූ බවට වාර්තා වන අතර, වැඩි ම හානියක් සෝවියට් සමූහාණ්ඩුවට, චීනයට සහ ජර්මනියට සිදු විය. එයිනුත් වැඩිම හානිය දරා ගැනීමට සිදු වූයේ සෝවියට් ජනතාවටයි. සෝවියට් පුරවැසියන් මිලියන 26ක් පමණ ද, සෝවියට් සොල්දාදුවන් මිලියන 11ක් පමණ ද මිය ගිය අතර, නාසි හමුදාවලට සිදු කරන ලද පරාජයෙන් හතරෙන් තුනක් ම සිදු කරන ලද්දේ රතු හමුදා විසිනි. එනමුත්, සෝවියට් ජනතාව ඒකාධිපති වියරුවකින්, මිනිස් ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදයෙන් ලොව ගලවා ගැනීම වෙනුවෙන් එම කැප කිරීම සිදු කළහ. 1941 සිට සෝවියට් රතු හමුදා නාසි හමුදා පැරදවීමෙහි ලා සටන් කළ අතර, සෝවියට් හමුදාවල විශාල කැප කිරීම් මත එය ජයග්‍රහණය කරා ගෙන යන ලදි. දෙවන ලෝක යුද්ධයේ දී මිය ගිය ඇමෙරිකානු සෙබළුන් මෙන් අසූගුණයකින් සෝවියට් සොල්දාදුවන්ගේ මරණ සිදු වූ බව වාර්තා වේ. සෝවියට් හමුදා මැදිහත් නොවන්නට නැඟෙනහිර හා බටහිර යුරෝපයේ රටවල් එකින් එක නාසිවාදයේ ගොදුරු බවට පත් වීමට ඉඩ තිබිණි.

ජර්මනිය විසින් සිදු කරන ලද ජන සංහාරයට, සමූල ඝාතනයට එරෙහිව එම වියරුව පරාජය කිරීමටත්, දෙවන ලෝක යුද්ධය මිත්‍ර පාර්ශ්වවල ජයග්‍රහණයෙන් අවසන් කිරීමටත් විශාලතම කාර්යභාරය සෝවියට් සමූහාණ්ඩුවේ කොමියුනිස්ට් පාලනයේ මෙහෙයැවීම මත රතු හමුදා විසින් සිදු කරන ලදි. කෙසේ නමුත්, වර්තමානයේ රුසියාව ජයග්‍රහණයේ දිනය උත්කර්ෂවත්ව සැමරුවත්, එහි දී කොමියුනිස්ට් පක්ෂය සහ රුසියාවේ සමාජවාදී පාලනයේ මැදිහත් වීම සම්බන්ධයෙන් කතා කිරීම චේතනාන්විතවම බැහැර කරයි.

බ්‍රිතාන්‍යය හා එක්සත් ජනපදය මිත්‍ර පාර්ශ්ව වශයෙන් එකට එක්ව සටන් කරන වකවානුවේ පවා සමාජවාදී සෝවියට් දේශය වෙත සිදු කරන ලද වෙනස් කොට සැලැකීම දිගටම පවත්වාගෙන යන ලදි. යුද්ධය තුළ සීතල යුද්ධයක් සමාජවාදී සෝවියට් දේශයට එරෙහිව පවත්වාගෙන යන ලදි.

දෙවන ලෝක යුද්ධය නිමා කිරීම සඳහා වැඩිම දායකත්වය ලබා දුන්නේ සෝවියට් දේශය බව ලොවම දැන සිටියදීත්, බටහිර රටවල් වර්තමානයේ සෝවියට් සමූහාණ්ඩුව විසින් දෙවන ලෝක යුද්ධය අවසන් කිරීමට දක්වන ලද දායකත්වය සහ කැපකිරීම අවතක්සේරුවට ලක් කරනු ලැබීම නිරන්තරයෙන් සිදු කරනු ලබයි. තවද දෙවන ලෝක යුද්ධයේ ආරම්භයට සෝවියට් දේශය අනුබල දීමක් සිදු කළ බවට වැරැදි ලෙස අර්ථදක්වමින් ප්‍රචාරණ සහ ඉතිහාසය විකෘති කිරීම් නිරන්තරව සිදු කරනු ලබයි.

එවක සමූලඝාතනයට ගොදුරු වූ යුදෙව් ජාතිකයන්ගේ පසු පරපුරේ බහුතරයක් වෙසෙන ඊශ්‍රායලය මේ වන විට ම්ලේච්ඡ සමූලඝාතනයක් පලස්තීන ජනතාවට එරෙහිව සිදු කරමින් සිටී. ඉතිහාසයේ සරදම නම් එහි දී ඇමෙරිකා එක්සත් ජනපදය හා ජර්මනිය ප්‍රමුඛ බටහිර ජාතීන් ඊශ්‍රායලයේ ගැලවුම්කරුවන් වී සිටීමයි.

දෙවන ලෝක යුද්ධය සමයේ සෝවියට් දේශය මුල් අවස්ථාවේ හැකි සෑම අයුරින්ම යුද්ධය වළක්වා ගැනීමට කටයුතු කළ අතර, අනිවාර්යයෙන් යුද්ධය තෝරා ගැනීමට සිදු වූ විට සියලු කැප කිරීම් සිදු කර යුද්ධය හැකි පළමු අවස්ථාවේ ම අවසන් කර ලෝක සාමය වෙනුවෙන් හා දේශසීමා භේද නොමැතිව වැඩ කරන ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් නැවත මැදිහත් වීම් සිදු කරන ලදි. සෝවියට් සමාජවාදය විසින් දෙවන ලෝක යුද්ධය හමුවේ ඉතිහාසයේ තැබූ පිය සටහන එසේ විය.

දෙවන ලෝක යුද්ධය සහ සෝවියට් මෙහෙවර