අධ්‍යාපනය වනසන ඊනියා ලියැවිල්ල ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති

SHARE

රටක අධ්‍යාපනය යනු ඒ රටේ මානව සම්පත සංවර්ධනය කිරීම වෙනුවෙන් තිබෙන ප්‍රධානම මෙවලම වශයෙන් හඳුනාගත හැකි ය. අධ්‍යාපනය වෙනුවෙන් සිදු කරනු ලබන ආයෝජනය පෙරළා ආර්ථික, සමාජීය හා සංස්කෘතික සංවර්ධනයට සිදු කරන දායකත්වය පිළිබඳව පැහැදිලිව තේරුම් ගත හැකි ය. 1940 දශකයේ ලංකාවේ සිදු වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ලංකාවේ සමාජයට සිදු වූ පෙරළිය ඉතා විශිෂ්ට බව අවිවාදයෙන් යුතුව සියලු ම දෙනාට පිළිගත හැකි කාරණයකි. නමුත්, 1980 දශකයෙන් පසුව ලංකාවේ අධ්‍යාපනය පිළිබඳව පාලකයන් සැකසූ සැලැසුම් සියල්ල 1940 දශකයේ ප්‍රතිසංස්කරණවලට ප්‍රතිපක්ෂ විය.

1981දී ගෙනා අධ්‍යාපන ධවල පත්‍රිකාව හරහා පාසල් අධ්‍යාපනය අඩපණ කිරීමටත්, රජය අධ්‍යාපනයේ වැය බරින් නිදහස් වීමටත් ගත් උත්සාහය පරාජය කිරීමට ලාංකීය ප්‍රගතිශීලි බලවේගවලට හැකියාව ලැබිණි. අධ්‍යාපනය ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකව ද කප්පාදු කිරීම පාලකයාගේ වුවමනාව විය. ‘අධ්‍යාපනය පිළිබඳ ධවල පත්‍රිකාව’ නම් වූ එම යෝජනාවලිය ඉදිරිපත් කරනු ලැබුවේ එවක අධ්‍යාපනය, ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ විසිනි. ඉන් පසුව ගෙවුණු දශක හතරක පමණ කාලය තුළ ධවල පත්‍රිකාවේ යම් යම් අරමුණු ක්‍රමක්‍රමයෙන් ක්‍රියාත්මක කිරීමට පාලකයන්ට හැකි විය. නමුත්, මහා පරිමාණ වශයෙන් සිදු කිරීමට හැදූ විනාශකාරී ප්‍රතිපත්ති යෝජනා සියල්ලක්ම පාහේ තාවකාලිකව හෝ හකුළුවා දැමීමට ශිෂ්‍ය ව්‍යාපාරය ප්‍රමුඛ ප්‍රගතිශීලී බලවේගවලට හැකියාව ලැබිණි.

2023 – 2033 දස අවුරුදු ප්‍රතිපත්තියක් ලෙස කරළියට පැමිණි ‘ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව’ නම් ලියැවිල්ල කෙටුම්පත් කිරීමේ පුරෝගාමියා වූයේ ද 1981 ධවල පත්‍රිකාව ගෙන ආ රනිල් වික්‍රමසිංහ ම වීම තවත් විශේෂ කරුණකි. මෙම ඊනියා ප්‍රතිපත්ති රාමුව සැකැසීම වෙනුවෙන් ජනාධිපති, අගමැති, අධ්‍යාපන ඇමැති ඇතුළු දස දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් 2023 අප්‍රේල් 24 දින පත් කරනු ලැබී ය. එම අනුකමිටුව විසින් තවත් 25 දෙනකුගෙන් යුත් විද්වත් නිලධාරී කමිටුවක් ද පත් කරන ලදී. එහි සංයුතිය ලෙස රාජ්‍ය නිලධාරීහු 06 දෙනෙක් සිටින අතර, රනිල් වික්‍රමසිංහ හිතවාදී විශ්වවිද්‍යාල ආචාර්යවරු දෙදෙනෙක් ද සිටිති. ඉතිරි බහුතරයක් දෙනා තොරතුරු තාක්ෂණ සමාගම්වල, පෞද්ගලික පාසල්වල සහ පෞද්ගලික උපාධි ආයතනවල හිමිකරුවන් වීම මෙම අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳව තේරුම් ගැනීමට මඟහසර කියා දෙනු ඇත. අධ්‍යාපනයට ඍජු ලෙසම බලපාන ක්‍ෂේත්‍ර නියෝජනය කරන ශිෂ්‍ය සංගම්, ආචාර්ය සංගම්, ගුරු සංගම් කිසිවක අදහස් විමසීමට පාලකයෝ කල්පනා කර නොමැත.

මෙම ලියැවිල්ල ආරම්භයේ ම ‘විධායක සාරාංශය’ නමින් අධ්‍යාපනයේ වර්තමාන අර්බුද සඳහන් කර තිබේ. ඒවා සාරාංශයක් ලෙස ගත්විට උසස් අධ්‍යාපන ප්‍රවේශය සීමාසහිත වීම, රට පුරා නියාමනයකින් තොරව පෞද්ගලික පාසල් ක්‍රියාත්මක වීම, ටියුෂන් පන්ති මාෆියාවක් බවට පත් වීම, පාසල් අධ්‍යාපනයේ බර දෙමාපියන් මත පැට වී තිබීම ආදිය දක්වා ඇත. නමුත්, මෙම ගැටලුවලට පිළියම් ලෙස අධ්‍යාපනයට ප්‍රතිපාදන වෙන් කිරීම ඉහළ දැමීම හෝ අධ්‍යාපනයේ ගැටලු විසඳීමට රජය මැදිහත් වීම ආදිය යෝජනා කරනවා වෙනුවට පැරැණි විනාශකාරී මාවතේම තවත් වේගයෙන් ගමන් කිරීමට අදාළ ක්‍රියාමාර්ග යෝජනා කර තිබේ.

මෙම යෝජනාවලිය දස වසරක් පුරා ක්‍රියාත්මක වේ. එහි පළමු වසර ‘සම්පාදන අවධිය’ ලෙස නම් කර තිබේ. එම අවධියේ දී එක් එක් ක්‍ෂේත්‍රය සඳහා නීති හා රෙගුලාසි සකස් කිරීමට නියමිත ය. පළමු වසර තුන ‘ක්‍රියාත්මක අවධිය’ ලෙස නම් කර තිබේ. මෙම ක්‍රියාත්මක අවධියේ දී පාර්ශ්වකරුවන්ට නව්‍යකරණය සිදු කිරීම සඳහා ස්වාධීනත්වය ලබා දී තිබේ. වසර 4 සිට 10 දක්වා වූ කාලය ‘පරිපෝෂණ අවධිය’ ලෙස නම් කර තිබේ. මෙහි දී මූලිකව යෝජනා 41ක් යෝජනා කර තිබේ. එම යෝජනා අතර ලංකාවේ අධ්‍යාපනයට බරපතළ ම හානි සිදු කරනු ලබන යෝජනා රාශියක් හඳුනාගත හැකි ය.

1. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කිරීම.

ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට ඇති පිළිගැනීම ආක්‍රමණය කිරීමට තවමත් පෞද්ගලික උපාධි ආයතන ජාලයට හැකියාවක් ලැබී නොමැත. එයට හේතු වී තිබෙන ප්‍රධාන කරුණක් නම්, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය නියාමනය කරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වයයි. එබැවින්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කර රාජ්‍ය හා පෞද්ගලික සියලු ආයතන එක් ව්‍යුහයකට ගෙන ‘ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව’ නම් ව්‍යුහයක් ආරම්භ කිරීමට යෝජනා කර තිබේ. එමඟින් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇති පිළිගැනීම අවම කිරීමට හැකියාව ලැබෙනු ඇත. මේ උත්සාහයේ මූලික ම අරමුණක් නම්, ප්‍රමිතියෙන් තොර උපාධි ආයතන සඳහා ලංකාව තුළ පිළිගැනීමක් සලසා දීම ය.

2. රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතනවල මුදල් අය කිරීම.

මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක වන සියලු ම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ශ්‍රී ලංකාවේ සිසුන්ට නොමිලේ අධ්‍යාපනය හැදෑරීමට ඉඩකඩ විවරව පවතී. එම විශ්වවිද්‍යාල සඳහා මුදල් අය කර සිසුන් බඳවා ගැනීම සඳහා වරින්වර විවිධ යෝජනා පැමිණ තිබේ. ඒවා බොහොමයක් අසාර්ථක වී ඇත. නමුත්, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව හරහා යෝජනා කරන්නේ විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන්ගෙන් කොටසකට පමණක් රජය මැදිහත් වී ප්‍රතිපාදන වෙන් කරන අතර, තවත් කොටසකට මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගැනීම සිදු කිරීමයි. දැනට වාර්ෂිකව විශ්වවිද්‍යාලවල නොමිලේ අධ්‍යාපනය සඳහා බඳවා ගන්නා 40,000ක පමණ පිරිස ඉදිරියේ දී අඩු අගයක් බවට පත්ව මුදල් ගෙවන සිසුන්ගේ ප්‍රමාණය ඉහළ යනු ඇත.

3. පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා රජයේ ප්‍රතිපාදන වෙන් කිරීම.

රාජ්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා ඇති ප්‍රධානම බාධාව ලෙස ආණ්ඩුව පවසන්නේ ප්‍රතිපාදන වෙන් කිරීමට මුදල් නොමැතිකම බව ය. නමුත්, පෞද්ගලික උපාධි ආයතන සඳහා ප්‍රදාන වශයෙන් මුදල් ලබා දීමටත්, ණය පහසුකම් ලෙස මුදල් ලබා දීමටත් ආණ්ඩුව කටයුතු කරන බව මෙම ලියැවිල්ලේ දක්වා තිබේ.

4. උසස් අධ්‍යාපනය සඳහා විදේශීය ආයෝජන ගෙන්වීමට ඇති සීමා අහෝසි කිරීම.

ලංකාවේ අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් විශ්වවිද්‍යාල හෝ ආයතන පැමිණෙන්නේ නම්, ඒ සඳහා වූ යම් කොන්දේසි ප්‍රමාණයක් දැනට ක්‍රියාත්මක වේ. එම කොන්දේසිවල අරමුණ නම්, ලංකාවේ අධ්‍යාපනයේ ගුණාත්මක ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීම ය. නමුත්, මෙම ලියැවිල්ලෙන් එම සීමා ඉවත් කර, එම ආයෝජනයේ මුදල් ප්‍රමාණය මත තීරණ ගැනීමට යෝජනා කර තිබේ. අධ්‍යාපනය පවතින්නේ අද දවසේ ලාභ ලැබීමට නොව මතු අනාගතයේ ප්‍රතිලාභ ලැබීමට බව ආණ්ඩුවට අමතක වී තිබේ.

5. රාජ්‍ය ආයතන හා දේපළ විකිණීම.

පෞද්ගලික උපාධි ආයතන දිරිමත් කිරීම සඳහා දැනට පවතින පාසල් සහ වෙනත් ආයතන ‘ඌණ උපයෝජිත’ ලෙස නම් කර විකුණා දැමීමට යෝජනා කර තිබේ. පසුගිය වසර කිහිපය තුළ පාසල් 81ක් වසා දැමීමට කටයුතු කළ ආණ්ඩුව උත්සාහ කරන්නේ එම වටිනා ගොඩනැඟිලි තම ගජමිතුරන්ට ලාභ ලැබීම සඳහා වෙන් කර දීමට ය.

6. විශ්වවිද්‍යාල වාණිජමය ව්‍යාපෘති සඳහා යොදා ගැනීම.

විශ්වවිද්‍යාල යනු දැනුම නිෂ්පාදනය කරන ආයතන වේ. ඒවා ස්වාධීන වන තරමට ම වඩාත් ගුණාත්මක සේවාවක් ලබාගත හැකි ය. නමුත්, පෞද්ගලික සමාගම්වල ලාභ වැඩි කිරීම සඳහා පර්යේෂණාගාර බවට පත් කර විශ්වවිද්‍යාල මරා දැමීමට ආණ්ඩුව යෝජනා කර තිබේ.

7. රාජ්‍ය අධ්‍යාපන ආයතන කොටස් කර විකිණීම.

දැනට පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල තවත් පුළුල් කරනවා වෙනුවට ඒවා කොටස් කර පෞද්ගලික ආයතන සමග හවුල්කාරීත්වයක් ඇති කිරීමට යෝජනා කර තිබේ. එසේ පෞද්ගලික ආයතන සමඟ හවුල්කාරීත්වයට යාමේ දී මූලික කොන්දේසියක් වනු ඇත්තේ, අධ්‍යාපන ආයතන හරහා රටේ ජනතාවට දැනුම ලබා දෙනවා වෙනුවට ඒවා ලාභය පසුපස දුවන ව්‍යාපාර බවට පත් කිරීමය.

8. රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන්ගෙන් මුදල් අය කිරීම.

ඉදිරියේ දී විශ්වවිද්‍යාල සඳහා ප්‍රතිපාදන වෙන් කරනවා වෙනුවට විශ්වවිද්‍යාල සිසුන්ට මුදල් ලබා දී ඒවා විශ්වවිද්‍යාලයට අය කර ගැනීමත්, මඳිපාඩුව දෙමවුපියන් මත පැටවීමත් මෙහි මූලික අරමුණ වේ.

9. ජාතික පාසල් අහෝසි කිරීම.

දැනට ලංකාවේ ක්‍රියාත්මක වන පාසල් අතර ඉහළ පහසුකම් සහිත පාසල් අතිබහුතරය ජාතික පාසල් ලෙස ක්‍රියාත්මක වේ. පළාත් සභාවලට ප්‍රමාණවත් මුදල් පහසුකම් නොමැති වීම නිසා පළාත් පාසල්වල දැවැන්ත සම්පත් විෂමතාවක් පවතී. නමුත්, ආණ්ඩුව උත්සාහ කරන්නේ සියලු ම පාසල් පළාත් පාසල් බවට පත් කර අධ්‍යාපනයේ වගකීමෙන් නිදහස් වීමට ය.

10. පළාත් විශ්වවිද්‍යාල පිහිටුවීම.

පාසලකට අවශ්‍ය පහසුකම්වත් ලබා දිය නොහැකි පළාත් සභා හරහා විශ්වවිද්‍යාල ඇරැඹීම විහිළුවකි. අනෙක් කරුණ නම්, ජාතික අවශ්‍යතා මත අධ්‍යාපනය දිශාගත කරනවා වෙනුවට පළාත් වශයෙන් උසස් අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීම අනාගත පරම්පරාව අතරමං කරවන ක්‍රියාවලියකි. දැනට වසර 06කටත් වැඩි කාලයක සිට අකර්මණ්‍ය වී ඇති පළාත් සභාවලට විශ්වවිද්‍යාලවල වගකීම් පැවරීම යනු ලංකාවේ උසස් අධ්‍යාපනයේ මළගම සිදු වීම යනු නොඅනුමාන ය.

11. පොකුරු පාසල් ක්‍රමය හරහා ග්‍රාමීය පාසල් වසා දැමීම.

ප්‍රාථමික පාසල් කිහිපයකට එක් මධ්‍ය විද්‍යාලයක් ගොඩනඟා ඒ හරහා දක්ෂ සිසුන්ට වැඩි අවස්ථාවක් ලබාදීම කන්නන්ගර ප්‍රතිපත්තිය හරහා යෝජනා විය. එය තවත් දියුණු කර කනිෂ්ඨ පාසල් කිහිපයක සියලු සිසුන් අන්තර්ග්‍රහණය කර එක් ද්විතීයික පාසලක් ගොඩනැඟෙන පරිදි පාසල් පද්ධතිය විධිමත් කිරීමට මාලිමාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය යෝජනා කර තිබේ. නමුත්, රජයේ මෙම ඊනියා ලියැවිල්ලේ පොකුරු පාසල් ක්‍රමය යෝජනා කරන්නේ ඊට හාත්පසින් වෙනස් වූ අරමුණකට ය. පාසල් කිහිපයකට එක් ප්‍රධාන පාසලක් තෝරාගෙන එයට පමණක් පහසුකම් සලසා පරිවාර පාසල්වලට ද එම පහසුකම් හුවමාරු කරගැනීමට ආණ්ඩුව යෝජනා කර සිටියි. ඒ හරහා ක්‍රමිකව පරිවාර පාසල් වසා දැමීමට ඔවුන් විසින් අරමුණු කරනු ලැබ තිබේ.

12. සිසුන් තෝරා ගැනීමට අධ්‍යාපන ආයතනවලට ස්වයංපාලන බලය.

පාසල් සහ විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ දී ජාතික ප්‍රතිපත්තියක් දැනට ක්‍රියාත්මක වේ. නමුත් ඒ තුළ ද සිදු වන අක්‍රමිකතා පිළිබඳ පුවත් ඕනෑ තරම් අපට දැක ගත හැකි ය. මෙම ජාතික ප්‍රතිපත්තිය තවත් විධිමත් කරනවා වෙනුවට ඒ ඒ ආයතනවලට සිසුන් බඳවා ගැනීමේ ස්වයංපාලන බලය පැවරීම හරහා අසාධාරණය තවත් උග්‍ර වනු ඇත. ධන බලය සහ දේශපාලන බලය හිමි අයගේ දරුවන්ට වැඩි පහසුකම් සහිත පාසල්වලට ප්‍රවේශ වීමට වැඩි ඉඩකඩක් සලසා ගැනීම මෙහි අරමුණු විය හැකි ය.

13. ඒකශිෂ්‍ය අනුපාතයකට මුදල් වෙන් කිරීම.

දැනට රජය මගින් පාසල් සහ විශ්වවිද්‍යාල සඳහා ප්‍රතිපාදන වෙන් කරන්නේ යම් කාර්යයකට අවශ්‍ය වියදම් මත පදනම්ව ය. නමුත්, ඉදිරියේ දී පාසලේ හෝ විශ්වවිද්‍යාලයේ සිටින සිසුන් ප්‍රමාණය අනුව ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කර තිබේ. ඒ හරහා සිසුන් වැඩි ජනප්‍රිය පාසල් සඳහා ප්‍රතිපාදන විශාල ලෙස පොම්ප වන අතර, සිසුන් අඩු දුෂ්කර පාසල් සඳහා ප්‍රතිපාදන වෙන් වීම තවත් අඩු වනු ඇත. පාසලක ක්‍රීඩාපිටියක් ඉදි කිරීමේ දී සම්මත ප්‍රමිතියට අනුකූල වන ලෙස ඉදි කරනවා මිස සිටින සිසුන් ගණන මත ක්‍රීඩාපිටිය කුඩා හෝ විශාල වීම සිදු කළ නොහැකි ය.

14. නොමිලේ අධ්‍යාපනය ලබන සිසුන් ඇඟ බැඳීමකට ලක් කිරීම.

රජයේ ආධාර මත නොමිලේ අධ්‍යාපනය ලබන සිසුන්ට උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්වයක් හිමි වුව ද, විදේශගත වීමට නොහැකි තත්ත්වයක් මේ හරහා සිදු වේ.  නොමිලේ අධ්‍යාපනය ලද සිසුන් එම වියදම ආවරණය වන තෙක් ලංකාවේ සේවය කළ යුතු යැයි පැවසීම නිසා ඔවුන්ගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු කල් දැමීමට සිදු වීම ජාතියේ ඛේදවාචකයක් වනු ඇත.

මෙම යෝජනාවලිය තවමත් පාර්ලිමේන්තුවේ සම්මත කර නොමැත. නමුත්, මෙහි යෝජනා එකින් එක ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත. මෙම ප්‍රතිපත්ති රාමුව අධ්‍යාපනයේ එක් ක්‍ෂේත්‍රයකට පමණක් නොව සියලු ක්‍ෂේත්‍ර සඳහා විනාශකාරී ලෙස බලපාන බව ඉතා පැහැදිලි වේ. අධ්‍යාපනය එක් සමාජ ස්ථාරයකට පමණක් සීමා කරන මෙම නූතන වැඩවසම් යෝජනාවලිය පැරදවීම වාමාංශික මෙන්ම සියලු ම ප්‍රගතිශීලී බලවේගවලට පැවරෙන කර්තව්‍යයක් වී ඇත. ඒ වෙනුවෙන් සියලු බලවේග එක් පෙරමුණකට සංවිධානය’විය’යුතුය.

අධ්‍යාපනය වනසන ඊනියා ලියැවිල්ල ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති