දේශපාලනයේ උපක්‍රම, උපායමාර්ග සහ මූලධර්ම

SHARE

පන්ති අර්ථයෙන් වියුක්තව පොදුවේ ගත් විට පවා දේශපාලනයේ දී ජයග්‍රහණ සඳහා උපක්‍රම, උපායමාර්ග සහ මූලධර්ම වැදගත් තැනක් ගනී. විශේෂයෙන් ම පවතින ධනපති ක්‍රමය තුළ එය පෙරළා දමා නව සමාජයක්

ගොඩනැඟීමට කටයුතු කරන දේශපාලන ව්‍යාපාවලට මෙම කරුණු සුවිශේෂී වැදගත්කමක් අත් කර දෙයි. එහෙත්, උපක්‍රම, උපායමාර්ග, මූලධර්ම වැනි සංකල්ප වචනාර්ථයෙන් භාවිත කරන ඇතැම් අය ඒවායේ සැබෑ අරුත හා වැදගත්කම වටහාගෙන සිටින බවක් නොපෙනේ. එබැවින්, ඒ පිළිබඳව කෙටියෙන් විමසා බැලීම වැදගත් ය.

මූලධර්ම යනු කුමක් ද?

සමාජ පරිවර්තනයක් වෙනුවෙන් පෙනීසිටින දේශපාලන ව්‍යාපාරයකට නිශ්චිත සහ පැහැදිලි දේශපාලන අරමුණක් තිබිය යුතු ය. එම අරමුණ සමාජවාදී සමාජ විප්ලවය නම්, ඒ සඳහා වන ප්‍රතිපත්ති ද, එකී ප්‍රතිපත්ති ක්‍රියාවට නැඟීම සඳහා වන දිගුකාලීන වැඩපිළිවෙළක් හෙවත් උපායමාර්ගයක් ද, එකී උපායමාර්ගය ජය ගැනීම සඳහා දෛනිකව තෝරන උපක්‍රම ද තිබිය යුතු ය. දේශපාලන ව්‍යාපාරයක ප්‍රතිපත්ති සහ උපායමාර්ග සාපේක්‍ෂව ස්ථාවර හා නිතර වෙනස් නොවන ඒවා වන අතර, ඒවා පදනම් විය යුත්තේ, තමන්ට මඟපෙන්වන දර්ශනයේ පදනම් මත හෙවත් මූලධර්ම මත ය. තමන්ට මඟපෙන්වන දර්ශනයේ (නිර්ධන පන්ති ව්‍යාපාරයක දී නම්, මාක්ස්වාදය) මූලධර්ම පිළිබඳ වැටහීමක් නැති හෝ මූලධර්මවල වැදගත්කම නොසලකන ව්‍යාපාරයකට කොතරම් දක්‍ෂ ක්‍රියාකාරීත්වයක් තිබුණත්, මඟ වැරැදීමේ ඉඩකඩ වැඩි ය. ඒ දේශපාලන මූලධර්ම අමතක කරන නිසා හෝ නොසලකා හරින නිසා හෝ බැවිනි.

සමාජවාදී සමාජ විප්ලවය යනු ඉතා ම සුළු පිරිසකගේ කුමන්ත්‍රණයක් නොව අතිමහත් සමාජ අවශ්‍යතාවක ප්‍රතිඵලයක් සහ පළල් ජනතා ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵලයක් ය යන්න මූලධර්මයකි. එසේ ම පන්ති සහයෝගීතාවාදය ප්‍රතික්‍ෂේප කරමින් පන්ති සටන පිළිගැනීම ද මූලධර්මයකි. එසේ ම සමාජවාදී පරිවර්තන යුගයේ දී නිර්ධන පන්ති රාජ්‍ය බලයක් පිළිගැනීම ද මූලධර්මයකි. සියලු ප්‍රපංචයන් පවතින්නේ චලිතයේ ය යන්න ද මූලධර්මයකි. මූලධර්ම යනු කුමන තත්ත්වයක දී වුව ද වෙනස් නොවන ස්ථාවර මුල්ගල් වැනි ය. දේශපාලන ව්‍යාපාරයක ප්‍රතිපත්ති, උපායමාර්ග ගොඩනැඟෙනුයේ ඒවා පදනම් කරගෙන ඒවා මත ය. ඒවා නොසලකාහැරිය විට මුළු දේශපාලන ව්‍යාපාරය ම ඇදවැටේ.

දේශපාලනයේ දී මූලධර්ම නොසලකා කටයුතු කිරීම දේශපාලන වැරැද්දක් වනවා සේ ම මූලධර්ම හරිහැටි තේරුම් නොගෙන ඒවා දෛනික දේශපාලන ක්‍රියාවලියට බාධා කර ගැනීම හෙවත් මූලධර්මවාදයට වැටීම ද වරදකි. එවැනි ව්‍යාපාරයක් දේශපාලන මූලධර්ම තම ව්‍යාපාරයේ ශක්තිමත් මුල්ගල් කර ගන්නවා වෙනුවට ඒවා විලංගු බවට පත් කර ගනියි. එබැවින්, මූලධර්ම නොසැලැකීම මෙන් ම මූලධර්මවාදයට වැටීම ද සිදු නොවිය යුතු දෙයකි. මූලධර්ම නිර්මාණය වන්නේ මාක්ස් – ලෙනින්වාදී පරම සත්‍යයන් ඇසුරෙන් වන නිසා ඒවා වටහාගෙන සිටීම අතිශය වැදගත් ය.

උපායමාර්ග යනු මොනවා ද?

දේශපාලන ව්‍යාපාරයක දී උපායමාර්ග ඉතා ම වැදගත් ය. කිසියම් දේශපාලන පක්‍ෂයක උපායමාර්ගය යනු වඩාත් ස්ථාවර, දෛනිකව වෙනස් නොවන ස්ථායී එකකි. උපක්‍රම දෛනිකව වෙනස් වුව ද, උපායමාර්ග එසේ වෙනස් නොවේ. උපායමාර්ග ගොඩනැඟෙන්නේ දේශපාලන මූලධර්ම මත සහ කිසියම් නිශ්චිත වකවානුවක හා නිශ්චිත රටක පවතින සමාජ – ආර්ථික තත්ත්වය, පන්ති බලවේගවල ස්වභාවය, සංවර්ධනයේ මට්ටම සහ තමන් ජයගත යුතු අභියෝගවලට අනුව ය. එබැවින්, උපායමාර්ග වෙනස් වන්නේ නම්, සමාජය තුළ බරපතළ වෙනස්කම් ඇති විය යුතු ය. මෙහි දී  පක්‍ෂ සංවිධානවල ක්‍රියාකාරීන් වශයෙන් ද, පුද්ගලයන් වශයෙන් ද උපායමාර්ගවල සහ උපක්‍රමවල වෙනස වටහාගත යුතු ය. නැති නම්, අරගලයේ ජයග්‍රහණයක් ගැන සිතිය නොහැකි ය.

මෙය උදාහරණයකින් පැහැදිලි කරන්නේ නම්, උපායමාර්ග සහ උපක්‍රම යනු රටක දේශගුණය සහ කාලගුණය වැනි ය. දේශගුණය මෙන් උපායමාර්ග සාපේක්‍ෂව ස්ථාවර වන අතර, කාලගුණය මෙන් උපක්‍රම නිතර වෙනස් වේ. ෆිදෙල් සිය ‘මගේ ජීවිතය’ (ඵහ ඛසfැ) නම් කෘතියේ එක් තැනක මේ පිළිබඳව සඳහන් කරන්නේ මෙසේ ය :

“විප්ලවවාදී ව්‍යාපාරයක් උපක්‍රමික ක්‍රියා

අනුගමනය කළ යුතු ය. එහෙත්, උපායමාර්ගික වැරැදි නොකළ යුතු ය” යනුවෙනි. වර්තමානයේ දී ජනතා විමුක්ති පෙරමුණ ලාංකීය විප්ලවයේ උපායමාර්ගය ‘ජාතික විමුක්ති අරගලය ඔස්සේ සමාජවාදයට’ යනුවෙන් තීරණය කර ඇත. මෙය සරල කරුණු මත වෙනස් නොවන අතර, මෙය වෙනස් වීමට නම්, ලංකාව අධිරාජ්‍යවාදී යළි යටත්විජිත ග්‍රහණයට ලක් නොවූ රටක් බවට පත් විය යුතු ය.

උපක්‍රම යනු මොනවා ද?

උපක්‍රම යනු දේශපාලනයේ සිදු වන දෛනික වෙනස්කම්වලට අනුව වෙනස් කළ යුතු කෙටිකාලීන ක්‍රියාමාර්ග ය. එකී කෙටිකාලීන ක්‍රියාමාර්ග හැම විට ම තම දිගුකාලීන ක්‍රියාමාර්ගය වන උපායමාර්ගයට ප්‍රතිවිරෝධී නොවන ඒ හා නොගැටෙන ඒවා විය යුතු ය මෙහි දී දේශපාලන ව්‍යාපාරයක් උපක්‍රම තේරීමේ දී වඩා හොඳ ම උපක්‍රම තෝරා ගැනීමට දක්‍ෂ විය යුතු අතර, එක් උපක්‍රමයක් යල්පනින විට වහා ම එය අතහැර නව උපක්‍රමයකට මාරු වීමට තරම් නම්‍යශීලී ද විය යුතු ය. මෙහි දී දේශපාලන ව්‍යාපාරයක් උපක්‍රම සහ උපායාමර්ග අතර වෙනස මෙන් ම අන්තර් සම්බන්ධය ද වටහාගත යුතු ය. උපායමාර්ගය මත පදනම්ව උපක්‍රම තෝරාගත යුතු ය. මේ පිළිබඳව ලෙනින් මෙසේ පවසා තිබේ.

“උපක්‍රම ගැන කියතොත්, යථායෝග්‍ය වන්නා වූ සියලු ම සැලැසුම් සහ විධි ප්‍රතිපත්ති වශයෙන් පිළිගැනීමත්, නියමිත දේශපාලන අවස්ථාවක දී දැඩි ලෙස අනුගමනය කරනු ලබන සැලැස්මකින් මඟපෙන්වීම සඳහා වූ ඉල්ලීමත් යන දෙක එකට පටළවා ගැනීම යනු, ව්‍යාධි සුව කිරීම සඳහා වෛද්‍ය විද්‍යාව විසින් විවිධ ප්‍රතිකාර ක්‍රම පිළිගනු ලැබ තිබීමත්, නියමිත ව්‍යාධියක් සුව කිරීම සඳහා කිසියම් නියමිත ප්‍රතිකාර ක්‍රමයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවත් යන දෙක එකට පටළවා ගැනීම හා සමාන දෙයකි.”

-ලෙනින්, තෝරා ගත් කෘති – 1 වෙළුම, 162 පිටු.

මේ පිළිබඳව ලෙනින් තව දුරටත් මෙසේ පැහැදිලි කරයි :

“මාක්ස් ඔහුගේ ද්‍රව්‍යවාදී – දයලෙක්තික ලෝකාවබෝධයේ සත්‍යයන් සියල්ලට ම සම්පූර්ණයෙන් අනුකූල වන ලෙස නිර්ධන පන්ති උපක්‍රමවල මූලික කර්තව්‍යය පැහැදිලි කළේ ය. දියුණු පන්තියක් අනුගමනය කරන නිවැරැදි උපක්‍රම සකස් කර ගැනීම සඳහා පදනමක් වශයෙන් ගත හැකි වන්නේ නියමිත සමාජයක ඇති, පන්ති නොහැර ම ඒ සියල්ලෙහි ම සම්බන්ධකම් එකතු සමස්තය ගැන වාස්තවික ලෙස සලකා බැලීමක් ද, එසේ කිරීමෙන් එම සමාජය පත්ව ඇති සංවර්ධනයේ වාස්තවික අවධිය ගැන හා එම සමාජයත්, අනෙක් සමාජයනුත් අතර ඇති සම්බන්ධයන් ගැනත් සලකා බැලීමෙන් ද පමණි. ඒ අතර ම සියලු පන්ති සහ සියලු ම රටවල් සැලැකිල්ලට ගනු ලබන්නේ ස්ථතික වශයෙන් නොව ගතික වශයෙන් එනම්, අජංගම තත්ත්වයකින් නොව චලනය වෙමින් පවතින ලෙසට ය (එම චලනයට අදාළ නියමයන් තීරණය වන්නේ එක් එක් පන්තියෙහි පැවැත්මේ ආර්ථික තත්ත්වයන් අනුව ය). නැවත චලනය ද සැලැකිල්ලට ගනු ලබන්නේ අතීතයේ පමණක් නොව අනාගතයේ ද ස්ථාවරය අනුව ය. එපමණක් නොව එය සලකනු ලබන්නේ සෙමින් සිදු වන වෙනස්කම් පමණක් දකින ‘පරිණාමවාදීන්’ එය වටහා ගන්නා අර්ථයෙන් නොව දයලෙක්තික වශයෙනි.”

-ලෙනින්, තෝරා ගත් කෘති, 1 වෙළුම, 41-42 පිටු 

මේ අනුව මූලධර්ම, උපායමාර්ග සහ උපක්‍රම යනු දේශපාලනයේ සංකල්ප තුනක් වන අතර, මේවා එකිනෙකින් වෙනස් වේ. ඒ අතර ම එකිනෙක හා අන්තර් සම්බන්ධයක් ද සහිත ය. විශේෂයෙන් ම උපක්‍රමවල දී නිශ්චිත මොහොතකට තෝරන උපක්‍රම එකී අවස්ථාව වෙනස් වූ පසු ද එලෙසින් ම අනුගමනය කිරිමට උත්සාහ දැරීම නිර්ධන පන්ති ව්‍යාපාරය තුළ මතු වන අවස්ථාවාදයේ එක් ආකාරයක් නිරූපණය කිරීමකි. රුසියාවේ ධනේශ්වර විප්ලවය සිදු නොවී පැවැති 1905දී සමාජ විප්ලවය සඳහා ලෙනින් අනුගමනය කළ උපක්‍රමය එම තත්ත්වය වෙනස් වී 1917දී රුසියාවේ ධනේශ්වර විප්ලවය සිදු වූ පසුවත් වෙනස් නොකර අනුගමනය කිරීමට උත්සාහ කළ බොල්ෂෙවික්වාදීන්ට ලෙනින් පැවසුවේ, ඔවුන් සුදුසු වන්නේ දේශපාලන කෞතුකාගාරයට බව ය. පැරැණි කුණු තැවරුණු කමිස ඉවත දා නව කමිස හැඳ

ගන්නා ලෙස ලෙනින් ඔවුනට පැවසී ය.

එබැවින්, මාක්ස් – ලෙනින්වාදයේ මූලධර්ම මත තදින් පදනම්ව එහෙත්, ඒවා විලංගු බවට පත් කර නොගෙන උපායමාර්ගය සකස් කර ගැනීමටත්, එකී උපායමාර්ගය හා ප්‍රතිවිරෝධී නොවන උපක්‍රම දෛනිකව තෝරා ගැනීමටත් පක්‍ෂයක් සමත් වන්නේ නම් හා එක් උපක්‍රමයක සිට වහා ම අනෙකට මාරු වීමටත් සමත් වන්නේ නම්, අවසන් ජයග්‍රහණය ස්ථිර බව පැහැදිලි ය.

දේශපාලනයේ උපක්‍රම, උපායමාර්ග සහ මූලධර්ම