හේමාකට් අරගලය දක්වා කම්කරු සටන් අවස්ථා

SHARE

එතෙක් ලොව (යුරෝපයේ) පැවැති වැඩවසම් පාලන ක්‍රමය තුළ ක්‍රමිකව බිහි වූ ධනේශ්වර කණ්ඩායම් 19 වැනි සියවස වන විට ධනේශ්වර පන්තියක් ලෙස වැඩවසම් ක්‍රමය බිඳදමා රාජ්‍ය බලය අත්පත් කර ගති. එතෙක් පාලකයන් වූ රදළ (ඉඩම් හිමි) පන්තිය වෙනුවට දැන් පාලකයන් වූයේ ධනපතීන් ය. සමානුපාතිකව එතෙක් පීඩිතයන් වූ ප්‍රවේණි දාසයන් දැන් නිර්ධන (කම්කරු) පන්තිය වෙයි. ජීවත් වීම සඳහා තම ශ්‍රමය ධනපතීන්ට විකිණීමෙන් තොරව පැවැත්මක් නොමැති ‘කම්කරුවා’ (නිර්ධනීන්) දැන් දැන් ධනපති ක්‍රමයේ සූරාකෑමට තීව්‍ර ලෙස ගොදුරු වන විශාල කණ්ඩායමක් (පන්තියක්) විය. යුරෝපයේ ගොඩනැඟුණු මෙම නව ආර්ථික – දේශපාලන ක්‍රමය (ධනේශ්වර ක්‍රමය) තුළ නව පීඩිත පන්තිය වන කම්කරු (නිර්ධන) පන්තිය ධනපතීන් හා ගැටෙන්නට විය.

1830 පැරිස් කම්කරු සටන්

පීඩනයට එරෙහි කම්කරු පාන්තික නැඟිටීම් හමුවේ පැවැති රාජාණ්ඩු පාලනය බිඳවැටීමට තරම් කම්කරු සටන් හේතු විය. සටනේ ඵල ධනපතීන් අතට පත් වුව ද, සටන්කාමීත්වයට ජයග්‍රහණ ලැබිය හැකි බව පෙන් වූ අවස්ථාවකි.

1834 ලියෝන්ස් හි කම්කරු සටන්

ධනපති හමුදා සමඟින් සන්නද්ධව සටන්වැදි පළමු අවස්ථාව මෙය විය. සටන්කාමී කම්කරුවන් ධනපති හමුදා නගරය තුළ දී පරාජයට පත් කළ ද, නිසි දැක්මක්, වැඩපිළිවෙළක් නොමැති අසංවිධානාත්මකකම් හමුවේ කම්කරුවන් විසිරෙද්දී, ධනපති හමුදා නැවත බලය තහවුරු කර ගත්තේ ය.

1848 කොමියුනිස්ට් සංගමය

ලොව පුරා පැනනඟින කම්කරු සටන් නිවැරැදි මඟපෙන්වීමක්, වැඩපිළිවෙළක් තුළට පෙළගැස්වීමේ සංවිධානාත්මක බව (කොමියුනිස්ට් සංගමය), දාර්ශනික මෙහෙවර (කොමියුනිස්ට් ප්‍රකාශනය) කාල් මාක්ස්ගේ සහ ෆ්‍රෙඞ්රික් එංගල්ස්ගේ නායකත්වයෙන් ගොඩනැඟිණි.

1848 – 1851 යුරෝපා විප්ලව

වැඩවසම් ක්‍රමය පෙරළා ධනේශ්වරය කැටුව ඒමේ අරගල ලෙසින් හඳුනා ගන්නා ලද මෙම සටන් තුළ පීඩිතභාවයට එරෙහි කම්කරු ජනයාගේ සහභාගීත්ව සටන් වඩාත් දියුණු විය.

පළමු ජාත්‍යන්තරය (1864)

කොමියුනිස්ට් සංගමය හා යුරෝපය පුරා විසිරී සිටි වාමවාදීන්, විප්ලවවාදීන් එක් කොට පළමු ජාත්‍යන්තරය (ජාත්‍යන්තර වැඩ කරන ජනයින්ගේ සංගමය ලෙසින්) මාක්ස්ගේ සහ එංගල්ස්ගේ මූලිකත්වයෙන් ලන්ඩන් හි දී පිහිටුවන ලදී. ලෝකවාසී කම්කරු ජනයාට ඉන් සිදු කරන ලද මඟපෙන්වීම, නායකත්වය ඉතා වැදගත් විය.

පැරිස් කොමියුනය – 1871 මාර්තු 18 – මැයි 28

1848දී පැනනැඟි යුරෝපා විප්ලවවලට සමගාමීව ප්‍රංශයේ ඇති වූ දේශපාලන වර්ධනයේ අවසන් ඵලය වූයේ තුන්වැනි නැපෝලියන් බලයට පත් වීමයි. ප්‍රංශයේ බලය ව්‍යාප්ත කරලීමේ දිගුවක් ලෙස ප්‍රසියාව යටත් කිරීමට 1870දී නැපෝලියන් ගත් උත්සාහය යටත් වීමෙන් කෙළවර විය. නැපෝලියන්ගේ යටත් වීමෙන් පසු පාලනයට පිවිසි ඇඩොල්ෆ් තියෙර්ස්ගේ (්ාදකචයැ ඔයසැරි) ප්‍රසියාවට යටත් වීම ප්‍රතික්‍ෂේප කළ පැරිස් කම්කරුවෝ 1871 මාර්තු 18 වැනිදා පැරිසියේ බලය අත්පත් කර ගත්හ. එය ලොව ප්‍රථම නිර්ධන පාන්තික රාජ්‍යය ද විය.

ධනවාදය බිහි වීමෙන් පසු නව කම්කරු පාන්තික වැඩ කරන ජනයා අසංවිධානාත්මක අරගලවල පටන් ලබා ගත් අත්දැකීම්, වමේ ව්‍යාපාරයේ සහ වාමාංශික විප්ලවවාදීන්ගේ මඟපෙන්වීම් සහිතව ක්‍රමානුකූලව දියුණු කම්කරු සටන් දක්වා ගෙන යමින්, පීඩනයට එරෙහි අරගල තීව්‍ර කළහ.

1886 චිකාගෝ කම්කරු සටන්

වැඩ කරන කාලයේ සීමාවක් නොමැතිකමට එරෙහිව පැය 8ක වැඩ දිනයක් ඉල්ලා ඇමෙරිකා එක්සත් ජනපදය පුරා කළ අරගලවලින් 1886 වසර පිරී තිබිණි. නිව්යෝර්ක් සිට සැන් ප්‍රැන්සිස්කෝ දක්වා විහිදි සටන්වල කේන්ද්‍රය චිකාගෝ නගරය විය. මැයි මස 01 වැනි දින සිට හේමාකට් චතුරස්‍රය සහ චිකාගෝ නුවර ම ඇළලුණු 40,000කට අධික කම්කරුවන්ට මැයි මස 3 වැනි දින සිදු කෙරුණු පොලිස් වෙඩි තැබීමෙන් කම්කරුවන් 6 දෙනෙක් මිය ගොස් 50 දෙනෙක් පමණ තුවාළ ලැබූහ. කම්කරුවන් අත වූ සුදු පැහැති ධජ රත් පැහැ විය. නැවත මැයි මස 4 වැනි දින යෝධ උද්ඝෝෂණ රැළි පවත්වමින්, ධනපතීන්ට සහ පොලිසියට ඔවුහු සිය විරුද්ධත්වය සටන්කාමී ලෙසින් පළ කළහ. කෙසේ වෙතත්, රැළිය අවසන සිදු වූ බෝම්බ පිපිරීමකින් පොලිස් නිලධාරියකු මිය යාම දඩමීමා කරගෙන කම්කරු මර්දනය තියුණු ලෙස ක්‍රියාවට නැඟිණි. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නීති ක්‍රියාමාර්ග අනුව කම්කරු නායකයෝ සිරගත කළහ. 

ඔස්කාර් නිබේ නම් කම්කරු නායකයාට වසර 15ක සිරදඬුවමක් නියම කළ අතර, සැමුවෙල් ෆිල්ඩන්ට සහ මයිකල් ෂ්වොබ්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් සහ ඇල්බර්ට් පාසන්ස්, ඔගස්ටස් ස්පයිස්, ජෝර්ජ් එන්ගල්, ඇඩොල්ෆ් ෆිෂර් සහ ලුවී ලින්ග් යන අනෙකුත් කම්කරු නායකයන් පස්දෙනාට මරණ දඬුවමත් නියම විය. පසුව පැනනැඟි විරෝධතා හමුවේ සෙසු සිරකරුවන් තිදෙනාට නිදහස ලැබිණි.

1889දී එංගල්ස්ගේ නායකත්වයෙන් පැරිසියේ පැවැති දෙවැනි ජාත්‍යන්තරයේ දී මැයි මස 01 වැනි දින ‘ජාත්‍යන්තර කම්කරු දිනය’ ලෙසින් ප්‍රකාශයට කරන ලදී.

හේමාකට් අරගලය දක්වා කම්කරු සටන් අවස්ථා