යහපත් සංස්කෘතියක් වෙනුවෙන් මිනිසාගේ අනවරත අරගලය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

1936 ජූලි 18 සහ 1939 අප්‍රේල් 01 අතර ස්පාඤ්ඤ ජනරජ ආණ්ඩුව සහ ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝගේ හමුදා ජුන්ටාව අතර ඇති වූ ගැටුම ස්පාඤ්ඤ සිවිල් යුද්ධය නමින් ප්‍රකටය. ෆ්‍රැන්කෝගේ හමුදාවලට එරෙහිව සටන් කිරීම සඳහා ජනරජ ආණ්ඩුවට සමාජවාදී, කොමියුනිස්ට්වාදී, වාමාංශික සියලු කණ්ඩායම්වල සහය ලැබුණි. එයට සෝවියට් දේශයේද සහය ලැබුණි. ජර්මනියේ සහ ඉතාලියේ ෆැසිස්ට් ආණ්ඩු ෆ්‍රැන්කෝට යුදමය සහ අනෙකුත් සැපයුම් මඟින් ආධාර කරන ලදී. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය, බෙල්ජියම, ජර්මනිය, ඉතාලිය ආදී රටවල බොහෝ දෙනෙක් ෆ්‍රැන්කෝට එරෙහිව සටන් කිරීමට ස්වේච්ඡාවෙන්ම එක්වූහ. සමහරවිට ඒ ඔවුන්ගේ රටවල නියෝගවලටද එරෙහිවය. සුප්‍රකට ලේඛකයින් වන ජෝජ් ඕවල්, අර්නස්ට් හෙමින්වේ ආදීන්ද මෙම ස්පාඤ්ඤ ජනරජයට සහය දැක්වූ බව සඳහන් වේ. කෙසේ වෙතත් 1939 අප්‍රේල් 01 දින ජනරජ හමුදා පරාජයට පත් කරමින් ෆ්‍රැන්කෝ රටේ පාලනය අත්පත් කරගන්නා ලදී.

මෙම යුද්ධයෙන් ලක්‍ෂ 05 කට අධික ජනතාවක් මියගිය අතර එම යුද්ධය දෙවන ලෝක යුද්ධයේ පෙරහුරුවක් වශයෙන්ද හැඳින්වේ. 1937 අප්‍රේල් 26 වන දින හිට්ලර්ගේ නාසි පාලන තන්ත්‍රයේ සහයෝගය සහිතව ෆ්‍රැන්කෝ ගුවර්නිකාවට බෝම්බ හෙළන ලදී. ලීජන් කෝන්ඩෝර් නම් නාසි ගුවන් හමුදාව විසින් සිවිල් ජනයා මත මෙම බෝම්බ හෙළීම සිදු කරන ලදී. මෙම බිහිසුණු සිදුවීම ලෝකයම කම්පනයට පත් කරන ලද අතර ඊට එරෙහිව කලාකරුවෝ විවිධ නිර්මාණ සිදු කළහ.

1937 අප්‍රේල් – ජූනි මාසවල ස්පාඤ්ඤ ජනරජ ආණ්ඩුවේ ඉල්ලීමක් පරිදි පැබ්ලෝ පිකාසෝ විසින් මෙම ගුවර්නිකා බෝම්බ හෙළීම පදනම් කරගනිමින් එහි බිහිසුණු බව කුරිරු බව ලොවට කියාපෑමට “ගුවර්නිකා” නම් වූ ලෝක ප්‍රකට චිත්‍රය නිමවන ලදී. එය ලෝකයේ විශිෂ්ටතම යුද විරෝධී සිතුවමක් වශයෙන් සැලකේ.

වඩා යහපත් ලෝකයක් ගොඩනගා ගැනීම සඳහා යහපත් සංස්කෘතියක් ගොඩනගා ගැනීම සඳහා මිනිසා විසින් විවිධ මාධ්‍ය උපයෝගී කරගනිමින් කටයුතු කිරීම අනාදිමත් කාලයක් තිස්සේ සිදු වෙමින් පවතී. ඒ පිළිබඳ අපමණ උදාහරණ ලෝකය පුරා දක්නට ලැබේ. අපගේ උත්සහය මේ විවිධ මාධ්‍ය තුළ යහපත් සංස්කෘතියක් සඳහා මිනිසාගේ අනවරත අරගලය පිළිබඳ මතකයන් කිහිපයක් අවදි කර ගැනීමටයි.

එය තරමක් සරල කාරණයකි. එහෙත් සංස්කෘතිය යනු කුමක්ද? යහපත් සංස්කෘතියක් සඳහා අරගලයක් යනු කුමක්ද යන්න විසඳා ගැනීම සරල කාරණයක් නොවේ. එබැවින් අපි එම කාරණාවලට පිළිතුරක් සාදා ගැනීම පළමු කාරණයක් ලෙස ගනිමු.

පොදුකම තුළ වෙනස්කම

සංස්කෘතිය යනු කුමක්ද යන්න පිළිබඳ මෙම සඟරාවෙහි තැන් කිහිපයකම සාකච්ඡා වී ඇති බැවින් අපි මෙහි මෙම ලිපියට අදාළ වන සේ අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් පමණක් ඉදිරිපත් කරමු.

මිනිසා යනු සොබාදහමත්, එහි නියාමයනුත් අවබෝධ කර ගැනීමේ හැකියාවෙන් යුත් වෙසෙස් ගුණයක් සහිත සත්වයෙකි. එබැවින් ඔහු සොබාදහමේ නියමයන් තමන්ට අවශ්‍ය ලෙස භාවිතා කිරීමට උගත්තේය. ඊට මැදිහත් වීමට අවශ්‍ය උපකරණ සහ තාක්‍ෂණය නිපදවූයේය. හුදු රංචුවක් නැතිනම් රැළක් වෙනුවට අළුත් දේ නිපදවීමේ වුවමනාව පදනම් කරගත් සමාජය නමැති නව මිනිස් සංවිධානය ඔහු ගොඩනැගුවේය. සහජාසය, ඉව වෙනුවට මිනිසුන්ට බල පවත්වන්නේ ඒ නිපදවීම පදනම් වූ සමාජ කොන්දේසි සහ නියමයන්ය. ඉහතින් සඳහන් කළ සොබාදහම නොවන මිනිසා විසින් නිපදවන ලද දේවල් එනම්, උපකරණ, යන්ත්‍ර සූත්‍ර සහ තාක්‍ෂණයද, සමාජ සම්බන්ධතා හා සමාජ ආයතන (පවුල, රජය, අධ්‍යාපන සහ ආගමික පද්ධති) විවිධ විශ්වාසයන් සහ වටිනාකම්ද, සම්මතයන්ද, භාෂාව සහ සංස්කෘතියන්ද, චාරිත්‍ර හා සාම්ප්‍රදායන්ද, කලා හා ප්‍රකාශන ආකාරයන්ද ආදී සියල්ල සංස්කෘතියට අයත් දේ ලෙස සැලකේ.

සෑම සමාජයකටම සංස්කෘතියක් ඇතත් එක් එක් සමාජයට ඇත්තේ වෙනස් සංස්කෘතීන්ය. සංස්කෘතිය මුළු මානව සමාජයටම පොදු එකක් ලෙස වර්ධනය වී නැත. එහි විවිධතාවයන් රාශියක් ඇත. ලෝකයේ එක් තැනෙක සංස්කෘතිය වර්ධනය වී ඉතා ඉහළට වැඩී ඇති අතර තවත් තැනක එය ප්‍රාරම්භක අවධියේ වෙයි.

Famous Novel Openings Explained: A Tale of Two Cities — History Through  Fiction

චින්ගීස් අයිත්මාතව් විසින් “සියවසක් පවත්නා දවස” නමින් රචනා කරන ලද නව කතාවෙහි ඔහු ලෝකයේ තැන් දෙකක එක විට සිදුවන සිදුවීම් දෙකක් විස්තර කරයි. එක් කොනක මිනිසුන් සමූහයක් මියගිය ඥාතියෙකුගේ අවසන් කටයුතු සඳහා මළ සිරුර තම සාම්ප්‍රදායික සුසාන භූමිය වෙත ගෙන යමින් සිටී. ඔවුන්ට ඒ සඳහා දිනක්ම ගතවේ. එය පැරණි නොදියුණු සිරිත් විරිත්, මතවාද සහිත පසුගාමී සංස්කෘතියකින් සමන්විත සමාජයකි. අවමංගල පෙරහැරේ ගමන් ගන්නා මිනිසුන්ට මහ පොළොවේ සිට අභ්‍යවකාශය කරා ගමන් ගන්නා අභ්‍යවකාශ යානයක් දර්ශනය වේ. ඒ කොනෙහි මිනිසුන් අභ්‍යවකාශය ජයගෙන ඇත. සමාජ සංවර්ධනයේ – සංස්කෘතික වර්ධනයේ මේ දුරස්කම ඉතා කුඩා අවකාශයන් තුළදී පවා අපට හමුවේ.

අනෙක් ප්‍රධානම කරුණ වන්නේ පංතිමය විෂමතාවයන් වර්ධනය වීම මූලික කොටගෙන සමාජය තුළ ඇති විී තිබෙන සංස්කෘතික විෂමතාවයන්ය. ආර්ථිකමය නැතිනම් පංතිමය විෂමතාවයට අමතරව භූගෝලීය ස්වභාවය, ඓතිහාසික පසුබිම, සමාජ සංවිධානයේ ආකාරය, ආගමික විශ්වාසයන් ආදිය පදනම් කොටගෙන විෂමතා ඇතිවී තිබේ. පංතිමය ස්වභාවය ඓතිහාසික වර්ධනය සමඟ බැඳී ඇති කරුණක් ලෙස සමාජය තුළ සමාජ ආධිපත්‍යය, ධූරාවලි සකස්වීම අනුව සංස්කෘතික විෂමතා දැකගත හැක. එය නිෂ්චිත සමාජයක් තුළත් – අතරත් ඇති විෂමතාවයන් ලෙස හඳුනාගත හැක. ධූරාවලීන්ට සහ ආධිපත්‍යන්ට ගරු කිරීම සහ තීරණ ගැනීමේදී සමහර සංස්කෘතීන්ට වඩා සමානාත්මතා ප්‍රවේශයක් ඇති අතර සමහර සංස්කෘතීන්හිදී අධිකාරයට ගරු කරන ස්වරූපයක් ඇත.

කාන්තාවන් සහ පිරිමින් සඳහා වන භූමිකාවන් සහ අපේක්‍ෂාවන්ද සමාජ සංස්කෘතික විෂමතා පෙන්වන තැන්වලින් මූලික එකකි. සාමූහිකත්වය මානව සමාජයේ පොදු ස්වභාවයක් වුවද සංස්කෘතික වර්ධනයේ පසුකාලීන හැරවුම් විසින් වෙනස්කම් ඇතිකොට ඇත. ධනවාදී ක්‍රමය බොහෝ සෙයින් පුද්ගලවාදය උස්කොට සලකන අතර සමාජවාදී මතවාදය සාමූහිකත්වය අගය කරයි. බටහිර ලෝකයේ සංස්කෘතිය තුළ බොහෝ සෙයින් පුද්ගලවාදය වෙත නැඹුරුව ඇති අතර ආසියානු සංස්කෘතින් සාමූහිකත්වයට වැඩි නැඹුරුවක් දක්වයි. සන්නිවේදන ශෛලීන්, සමාජ චාරිත්‍ර හා ආචාර විධි, සංස්කෘතික වටිනාකම්, ආගමික විශ්වාසය සහ භාවිතයන් ආදී බොහෝ කරුණු සමඟ සංස්කෘතික විෂමතාවයන් දැකගත හැක.

අරගලයක් යන්න සාමාන්‍යයෙන් අර්ථ ගන්වන්නේ බාධාවන්, දුෂ්කරතාවයන් හා විරෝධයන්ට මුහුණ දෙමින්, ඒවා විඳ දරා ගනිමින් විශේෂයෙන්ම විපත්තිදායක සහ අභියෝගාත්මක අවස්ථාවල තම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ස්ථිරසාර ලෙස කටයුතු කිරීමයි; උත්සාහ දැරීමයි. ඒවා ස්වාභාවික බලවේග ජයගැනීමට කරන උත්සාහයන් හෝ සමාජීය ස්වභාවයන් ජය ගැනීමට කරන උත්සාහයන් විය හැක. සංස්කෘතිය යන ක්ෂේත්‍රය තුළ අපට ජය ගැනීමට ඇති එම දුෂ්කරතා මොනවාද? අභියෝග මොනවාද? සංස්කෘතිය තුළම සිදුවණ සංස්කෘතික අරගලයක් යන්නෙන් කුමක් අදහස් වේද? 

ශ්‍රී ලංකාව යනු භූගෝලීය වශයෙන් වර්ග කි.මී. 65,610 විශාලත්වයෙන් යුතු භූමියකි යන කරුණ ගැන බොහෝ විවාද නැත. නමුත් ශ්‍රී ලංකාව යනු බහුජාතික, බහු ආගමික, බහු සංස්කෘතික රටක් වශයෙන් හැඳින්වුවහොත් එය බොහෝ විවාදයන්ට තුඩු දෙන හැඳින්වීමක් වේ. එය සිංහල – බෞද්ධ රාජ්‍යයක් ලෙස හැඳින්වුවද සියලු ශ්‍රී ලාංකිකයෝ එකපයින් එකඟ නොවෙති. සංස්කෘතිකමය වශයෙන් ඇති මේ භාෂාමය, ආගමික ආදී විෂමතාවයක්, එනම් විවිධ සංස්කෘතික කණ්ඩායම් අතර වෙනස්කම්, අන්තර් ක්‍රියා සහ ආතතීන් විසඳා ගත යුත්තේ කෙසේද?

කෙනෙක් සිංහල බෞද්ධ රාජ්‍යය ගොඩනැඟීම පිළිතුර සේ දකින අතර, තව කෙනෙක් සිංහල රාජ්‍යයක් සහ දෙමළ රාජ්‍යයක් ලෙස දෙකඩ කිරීම පිළිතුර සේ දකිති. තවත් කෙනෙක් දකින්නේ සියලු දෙනා සමානාත්මතාවයෙන් ජීවත්වන සමාජයක්, රාජ්‍යයක් ගොඩනැඟිය යුතු බවයි. එබැවින් “යහපත් සංස්කෘතියක්” යන්න “ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය” වැනි තනි එකඟතාවයක් ඇති සංකල්පයක් නොවේ.

“යහපත් සංස්කෘතියක් සඳහා මිනිසාගේ අනවරත අරගලය ගැන අපට සාකච්ඡා කරන්නට වන්නේ මේ විවාදයන් තිබියෙදීම අපගේ දැක්ම තුළ හිඳිමිනි”

කෙසේ වෙතත් සංස්කෘතිය තුළ මතුව ඇති විවිධාකර වූ විෂමතා, ඒ හේතුවෙන්ම හටගත් ප්‍රතිවිරෝධතා සහ මත ගැටුම්, පසුගාමීකම් ඉවත් කොට වඩාත් පොදු මානව සංස්කෘතියක් දිනාගැනීම, ගොඩනඟා ගැනීම සංස්කෘතික අරගලයකින් සිදු විය යුතුය. එවැනි යහපත් සංස්කෘතියක් සහිත සමාජයක් කුමන ලක්‍ෂණවලින් සමන්විත විය යුතුද? ඒ පිළිබඳ ඇති වඩා පොදු පිළිගැනීම් මොනවාද?

ජාතිය, වාර්ගිකත්වය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, ආගම සහ වෙනත් අනන්‍යතාවයක් පිළිගැනීම සහ ඒවාට ගරු කිරීම, සියලු සමාජ අසමානතා දුරු කොට සමානව සැලකීම සහ සමාජ සාධාරණත්වය ගොඩනැඟීම සඳහා කටයුතු කිරීම, මිනිසුන් අතර අගතීන් අවම කිරීම සඳහා එකිනෙකා සතු අත්දැකීම් සහ දෘෂ්ටීන්ගේ විවිධතා තේරුම් ගැනීමට සහ ඉවසීමට හුරු වීම, අවශ්‍යතා ඇති අයට උපකාර කරන පුළුල් අවබෝධයන් ප්‍රවර්ධනය මඟින් දයානුකම්පිත සමාජයක්  ගොඩනැඟීම, විවේචනාත්මක චින්තනය, ඉවසීම, විවිධ අදහස් සහ සාරධර්මවලට ගරු කිරීමට මඟ පෙන්වන අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම, අඛණ්ඩතාවය, විනිවිදභාවය සහ වගවීම සඳහා ප්‍රමුඛත්වය දෙන සදාචාරත්මක නායකත්වය දිරිමත් කිරීම මූලික කරුණ වේ.

එමෙන්ම සමාජයේ සාමුහිකත්වය සහ සහයෝගීත්වය ප්‍රවර්ධනය, මඟින් මුළු සංස්කෘතියේම ධනාත්මක වෙනස්කම්වලට මඟ පෑදෙන අතර ඒ සඳහා කටයුතු කිරීමද අපේක්‍ෂා කෙරේ. විවෘත හා ගෞරවණීය සංවාදයක් දිරිමත් කරන පරිසරයක් පෝෂණය කිරීම මඟින් සමාජය තුළ අවබෝධය සහ සහයෝගිතාවය සහ ප්‍රවර්ධනය සහ ඉදිරි දැක්ම හුවමාරුවට ඉඩ සැලසීම, නිරවද්‍යතාවය සහ සාධාරණත්වය අගය කරන මාධ්‍ය සම්ප්‍රදායක් දිරිගැන්වීම මඟින් විවේචනාත්මක චින්තනය සඳහා මඟ පෑදීම යන මේ සියල්ල යහපත් සංස්කෘතියක් ගොඩනැඟීම යන්නෙන් අදහස් වේ.

සංස්කෘතික අරගලය හා අරගල සංස්කෘතිය 

බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක්ව පැවති කොලනි 13කින් යුත් ඇමරිකා එක්සත් ජනදය 1775 වසරේදී බ්‍රිතාන්‍යයෙන් නිදහස් වීම සඳහා අරගලයක් දියත්කරන ලදී. එය 1784 දක්වා වසර 8 ක් ඇදී ගියේය. මේ අතර 1776 එක්සත් ජනපදයේ “නිදහස් ප්‍රකාශනය” ප්‍රකාශයට පත්කරන ලදී. ඇමරිකානු නිදහස් ප්‍රකාශනයටත් ඇමරිකානු විප්ලවයටත් වසර 100ක් පිරීම සිහිපත් කරමින් 1886 දී ලිබර්ටි ප්‍රතිමාව පිහිටුවන ලදී. මෙය ප්‍රංශය විසින් ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් නිර්මාණය කොට දෙන ලද්දකි.

ලිබර්ටි ප්‍රතිමාව ලොව ප්‍රකට සංකේතයකි. පිළිමයේ දකුණු අතේ ඇති පන්දම ප්‍රබුද්ධත්වය සංකේතවත් කරයි. වම් අතෙහි ඇති පුවරුව මත රෝම ඉලක්කම් වලින් 1776 ජූලි 04 යන දිනය සටහන්ව ඇත. ප්‍රතිමාව නිදහසේ රෝම දේවතාවිය වන “ලිබර්ටාස්” නියෝජනය කරයි. ඇගේ පාමුල කැඩී ගිය දම්වැල්වලින් නියෝජනය කරන්නේ කුරිරු පාලනයේ සහ පීඩනයේ දම්වැල් බිඳී යාමයි.

Statue of Liberty reopens; visitors can once again admire Lady Liberty, New  York City - Times of India Travel

යම් ජන ප්‍රජාවක් ප්‍රබුද්ධත්වයෙන් පුරවාලන්නේ නම්, යටත්වැසි බවින්, වහල් බවින් මිදෙන්නේනම් එය එම සමාජය අත්කරගන්නේ මහා සංස්කෘතික ජයග්‍රහණයකි. ලිබර්ටි ප්‍රතිමාව යනු ඇමරිකා එක්සත් ජනපදයේ එම ජයග්‍රහණයන්ගේ සංකේතය වෙයි. එහෙත් ඊට පසුබිම වූයේ ඇමරිකානු විප්ලවයයි.

බොහෝවිට අප යහපත් සංස්කෘතියක් සඳහා වන අරගල ලෙස සලකන්නට හුරු වී ඇත්තේ විවිධ කලා මාධ්‍යයන් හරහා කරන මැදිහත්වීම්ය. එහෙත් ඒ බොහෝ කලා නිර්මාණයන් ප්‍රභවය වී ඇත්තේද වඩා යහපත් සමාජයක්, සංස්කෘතියක් අපේක්‍ෂාවෙන් මිනිසුන් මහපොළොව මත කරන ලද අරගලයන් තුළිනි.

ඇමරිකානු විප්ලවය ඇමරිකා එක්සත් ජනපදයට පමණක් නොව මුළුමහත් ලෝක සංස්කෘතියේම වෙනස් කිරීමකට ඉවහල් වූ අරගලයක් ලෙස සැලකේ. 1776 විප්ලවයෙන් බිහිවූ එක්සත් ජනපද නව ජාතියේ දේශපාලනික දාර්ශනික පරමාදර්ශ හැඩගැස්වීමේදී ඇමරිකානු විප්ලවය නිර්මාණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. රාජාණ්ඩුව ප්‍රතික්‍ෂ්ප කිරීම සහ ජනරජ ආණ්ඩුවක් පිහිටුවීම ඇමරිකානු දේශපාලන චින්තනයේ පදනම විය. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සංකල්පය සහ ආණ්ඩු ඔවුන්ගේ නීත්‍යානුකූලභාවය ලබාගත්තේ “ජනතාවගේ කැමැත්තෙන්ය” යන අදහස ඇමරිකානු දේශපාලන සංස්කෘතියේ කේන්ද්‍රය විය. විප්ලවය පුද්ගල අයිතිවාසිකම් සහ නිදහසේ වැදගත්කම අවධාරණය කළේය. “ඇමරිකානු නිදහස් ප්‍රකාශනය” සියලු මිනිසුන් සමාන ලෙස නිර්මාණය කර ඇති අතර අහිමි කළ නොහැකි අයිතිවාසිකම්වලින් සමන්විත බව අවධාරණය කළේය. මෙම අදහස ඇමරිකානු සංස්කෘතියට ගැඹුරු බලපෑමක් ඇති කළේය. බ්‍රිතාන්‍ය යටත්විජිත අතීතයෙන් වෙන්ව ස්ථානගත වීමට බ්‍රිතාන්‍යට එරෙහිව ඇති වූ  දේශප්‍රේමී යුද්ධය ඉවහල් වීය.

ඇමරිකානු විප්ලවය ලොව අනෙකුත් ස්වාධීන සහ විප්ලවීය ව්‍යාපාරයන්ට ආස්වාදය දෙමින් ගෝලීය බලපෑමක් ඇති කළේය. නිදහස, සමානාත්මතාවය සහ ස්වයං තීරණය පිළිබඳ පරමාදර්ශ යුරෝපයේ, ලතින් ඇමරිකාවේ සහ ලෝකයේ අනෙකුත් ප්‍රදේශවලද දේශපාලන හා සංස්කෘතික වර්ධනයට මඟපෑදීය. ඇමරිකානු විප්ලවයේද ආදර්ශය සහ බලපෑම සහිතව 1789 වසරේදී ප්‍රංශ විප්ලවය සිදුවිය. එතෙක් ප්‍රංශ සංස්කෘතියේ පැවති ප්‍රභූ පැලැන්තියේ සහ රාජාණ්ඩුවේ සංස්කෘතික ආධිපත්‍යයෙන් ප්‍රංශ සමාජය බිඳී යාම සිදුවිය; නිදහස, සමානාත්මතාවය සහ සහෝදරත්වය යන විප්ලවවාදී සටන් පාඨය ලොව පුරා රැලි නගා ව්‍යාප්ත විය; සමානාත්මතාවය පිළිබඳ සාකච්ඡා ස්ත්‍රී පුරුෂ සමාජභාවී භූමිකාවන් දක්වා ව්‍යාප්ත විය.

මේ ආකාරයෙන්ම හෝ ඊටත් වැඩියෙන් ලෝක සංස්කෘතියට බලපෑම් කළ අරගලයක් වශයෙන් පැරිස් කොමියුනය පෙන්වා දිය හැක. එය අත්හදා බැලීමේ සහ නිර්මාණශීලීත්වයේ ආත්මීය ලක්‍ෂණයන්ගෙන් සමන්විත විප්ලවයක් ලෙස සැලකේ. ප්‍රංශ මිලිටරිවාදයේ සහ ඒකාධිපති පාලනයේ සංකේතයක් වශයෙන් සලකනු ලැබූ වෙන්ඩෝම් කුළුණ පෙරළීම වැනි සංකේතාත්මක ක්‍රියාවන් කොමියුන සාමාජිකයින් අතින් සිදුවිය.

1917 රුසියානු විප්ලවය මඟින් ඇති කරන ලද සංස්කෘතික ප්‍රබෝධය රුසියානු සමාජය ගව් ගණනාවකින් ඉහළට ඔසවා තබන ලදී. යහපත් සංස්කෘතියක් ගොඩනැගීමට රුසියානු විප්ලවයේ දායකත්වය කිසිවෙකුට අමතක කළ නොහැක. රුසියානු විප්ලවය සෝවියට් සමාජය පිම්මකින් අභ්‍යවකාශ යුගයක් කරා රැගෙන යන ලදී. ඒ අතරතුර සමාජ සංස්කෘතියේ සෑම අංශයක්ම ඉහළට ඔසවා තැබිණි. ලිවීමට හෝඩියක් නොමැතිව සිටි කිර්ගීසියානු ජනයා වෙනුවෙන් හෝඩියක් නිර්මාණය විය. ඉන් අකුරු උගත් චින්ගීස් අයිත්මාතව් වැනි ලේඛකයෝ ලෝක සාහිත්‍යට තම කෘතීන් එකතු කළෝය. සත්තකින්ම මුළු සෝවියට් දේශය පුරාම අධ්‍යාපනය ඉහළට ගෙන ඒම මඟින් මහා සංස්කෘතික ජයග්‍රහණයන් රාශියක් අත්පත් කරගැණිනි. රුසියානු විප්ලවය සෙවණේ වැඩුණු සමාජ සත්තා යථාර්ථවාදී කලා සම්ප්‍රදාය සහ එයින් බිහි කරන ලද නිර්මාණ ප්‍රමාණය ඉතා විශාලය.

ඉහත සියලු සමාජ විප්ලවයන් අපට සලකන්නට වන්නේ යහපත් සංස්කෘතියක් සඳහා වන මිනිසාගේ අනවරත අරගලයේම කොටස් ලෙසයි. යහපත් සංස්කෘතියක් සඳහා වන මිනිසාගේ අරගල ගොන්නට වැටෙන්නේ මේ සමාජ අරගල පමණක් ද නොවේ. ඔව්හු විසින් විද්‍යා, තාක්‍ෂණික ක්‍ෂේත්‍ර තුළ පර්යේෂණ කරමින් සිදු කරන විවිධ සොයාගැනීම් සහ නිර්මාණයන්ද වැටෙන්නේ මේ යහපත් සංස්කෘතියක් සඳහා වන අරගල තුළටමය.

1913 අප්‍රේල් 21 වී.අයි. ලෙනින් “විශිෂ්ට තාක්‍ෂණික ජයග්‍රහණයක්” යනුවෙන් ප්‍රව්දා පුවත්පතට ලිපියක් ලියයි. ඉන් කියවෙන්නේ ලෝක ප්‍රකට රසායන විද්‍යඥයෙකු වූ විලියම් රැම්සේ විසින් ගල් අඟුරුවලින් ගෑස් ලබාගැනීමේ

ක්‍රමයක් සංවර්ධනය කිරීම පිළිබඳවය. මෙම සොයාගැනීම සමාජ සංස්කෘතියේ වර්ධනයට ලබාදෙන දායකත්වය ගැන ලෙනින් පවසන්නේ ඉතා උද්යෝගයකිනි. “සෑම නිවෙසකම විදුලි ආලෝකය සහ උණුසුම මඟින් මිලියන ගණනක් “ගෘහස්ථ වහලුන්” ඔවුන්ගේ ජීවිතවලින් හතරෙන් තුනක් දුගඳ හමන කුස්සියේ ගත කිරීමේ අවශ්‍යතාවයෙන් මිදෙනු ඇත” යනුවෙන් ලෙනින් ලියයි.

මේ නව සොයාගැනීම් විද්‍යා පර්යේෂණ යහපත් සංස්කෘතියක් සඳහා වන අරගලයේම කොටස් නොවේද?

සංස්කෘතික අරගලයේ මාධ්‍යය

යම් සමාජයක් ජාතිවාදයෙන්, ආගම්වාදයෙන්, කුලවාදයෙන් ඔද්දල් වී ඇත්නම්, එය යහපත් සමාජයක් හෝ යහපත් සංස්කෘතියක් ඇති සමාජයක් නොවේ. පංති විෂමතාවයන් වර්ධනයවී දුප්පතුන්, වීදි දරුවන්, හිඟන්නන්, ගැට කපන්නන්ගේ සහ කුලියට මිනී මරන්නන්ගෙන් පිරුණු සමාජයක් යහපත් සමාජයක් හෝ යහපත් සංස්කෘතියක් නියෝජනය නොකරයි. හොරුන්, තක්කඩීන්, නායකයින් බවට පත් වූ සමාජයක් යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති සමාජයක් නොවේ. මිනිසුන් වහලුන් ලෙස සලකන, ස්ත්‍රීන් පීඩනයට ලක්කරන සමාජයක් යහපත් සංස්කෘතියක් ඇති සමාජයක් නොවේ. විවේචනාත්මක චින්තනයක්, දැක්මක් නැති සමාජයක්, එකිනෙකා නොඉවසන, විවිධ අදහස් නොඉවසන විවිධ අනන්‍යතා නොපිළිගන්නා සමාජයක්, අධ්‍යාපනය දුර්වල වූ මිනිසුන්ගෙන් පිරුණු සමාජයක් යහපත් සංස්කෘතියක් ඇති සමාජයක් නොවේ. ඒවා අප විසින් ජයග්‍රහණය කළ යුතුව ඇත. උසස් සංස්කෘතික සමාජයක් ගොඩනැගිය හැක්කේ එවිටය. එය අරගලයකි. මිනිසා ඒ වෙනුවෙන් අනවරත අරගලයක යෙදේ. ඒ සඳහා ඔහු විවිධ මාධ්‍ය භාවිතා කරයි.

                අප මෙම ලිපිය ආරම්භ කළේ යුද්ධයට එරෙහි ලෝක ප්‍රකට සිදුවීමක් වන පැබ්ලෝ පිකාසෝගේ “ගුවර්නිකා” පිළිබඳ සටහනකිනි. යුද්ධයට එරෙහි කලාව, විසම්මුතිය ප්‍රකාශ කිරීමේ යුද ගැටුම්හි මානව පිරිවැය ප්‍රකාශ කිරීමේ, සාමය සඳහා වන මිනිසුන්ගේ අභිලාෂය ප්‍රකාශයට පත්කිරීමේ ප්‍රබල මාධ්‍යයකි. විවිධ කලාකරුවෝ විවිධ මාධ්‍යයන් මගින් යුද්ධයේ විනාශකාරී ස්වභාවයට විරෝධය දැක්වීම සඳහා ඔවුන්ගේ නිර්මාණශීලීත්වය භාවිත කොට ඇත. සාහිත්‍ය, කාව්‍ය, දෘෂ්‍ය කලා, නාට්‍ය සහ චිත්‍රපට රාශියක් මේ වෙනුවෙන් බිහි වී ඇත.

පැබ්ලෝ පිකාසෝ විසින්ම තවත් යුද විරෝධී සිතුවම් ගණනාවක් ඇඳ ඇත. 1937 වසරේදීම ඔහු විසින් අඳින ලද “වැලපෙන කාන්තාව” (The weeping women) නම් චිත්‍රයද සැලකෙන්නේ යුද විරෝධී චිත්‍ර ගණයටය. 1951 අඳින ලද කොරියාවේ සමූලඝාතනයද (Massacare in Korea) ඊට අයත්ය.

Uncovering the Emotions: An Artistic Interpretation of Picasso's The  Weeping Woman” | by Meghna | Medium

ෆ්‍රැන්සිස්කෝ ගෝයා විසින් අඳින ලද “1808 මැයි තුන්වෙනිදා” නම් චිත්‍රයද යුද්ධයේ කුරිරු බව පෙන්වන ලෝක ප්‍රකට චිත්‍රයක් ලෙස සැලකේ. පැබ්ලෝ පිකාසෝ වැනි කලාකරුවන්ට ඔවුන්ගේ නිර්මාණ සඳහාද ගෝයා සහ ඔහුගේ චිත්‍රකලාව බල පා ඇති බව සැලකේ.

විශේෂයෙන්ම පළමු හා දෙවන ලෝක යුද්ධයෙන් සහ ෆැසිස්ට් මතවාදයෙන් ආසාධිත වූ ලෝකය එයට එරෙහි නිර්මාණ රාශියක් ඉදිරිපත් කළේය. චාලි චැප්ලින්ගේ Great dictator යුද්ධයටත් – ෆැසිස්ට්වාදයටත් මෙන්ම හිට්ලර් – මුසලෝනි චරිත ස්වභාවයටත් තදින් පහර දෙන චිත්‍රපටයකි.

ස්ටීවන් ස්පිල්බර්ගේ ෂින්ඞ්ලර්ස් ලිස්ට් (Schindler’s List) යුදෙව් ජනයා සංහාරය කිරීමට කටයුතු කරන නාසි ජර්මන් අරමුණෙහි බිහිසුණු බව පෙන්වන චිත්‍රපටයකි. මිනිසුන් එකිනෙකාට කළ හැකි ඇදහිය නොහැකි තරම් වන හොඳ සහ නරක මොනවාද යන්න සැමදා මතක් කරන චිත්‍රපටයකි. ස්පිල්බර්ග් විසින්ම අධ්‍යක්‍ෂණය කළ ී්ඩසබට ඡරසඩ්එැ ඍහ්බ යන යුද්ධයේ බිහිසුණු බව පෙන්වන තවත් ලෝ ප්‍රකට චිත්‍රපටයකි.

“යුද්ධය හා සාමය” ලියෝ ටෝල්ස්ටෝයි විසින් 1869 ලියා ප්‍රසිද්ධ කරන ලද කෘතියකි. මෙම කෘතිය තුළ රුසියාවේ නැපෝලියන් යුගය විස්තර කරයි. රුසියාවට සිදු වූ නැපෝලියන් ආක්‍රමණ හා එහි සිදුවීම් පදනම් කර ගනිමින් කතාව ගොඩනැගී ඇත. එය යුද්ධය හා සාමය පිළිබඳ ඉතා පුළුල් අදහසක් ගොඩනගයි. ටෝල්ස්ටෝයිට අනුව සාමය යනු යුද්ධය නොමැතිකම පමණක් නොව මිනිසුන්, ප්‍රජාවන් සහ ජාතීන් අතර සතුරුකම් නොමැතිකමද වේ. ඔහු තම කතාව තුළ ජාතීන් අතර යුද්ධය, ආයතන අතර යුද්ධය, පංති අතර යුද්ධය, පවුල් අතර යුද්ධය, පුද්ගලයින් අතර යුද්ධය සහ තමා තුළම සිදුවන අභ්‍යන්තර යුද්ධය ආදී ලෙස යුද්ධය පිළිබඳ පුළුල් දැක්මක් කරා පාඨකයා ගෙන යනු ලබයි. එය ලෝකයේ විශිෂ්ට කෘතියක් බවට පත්වන්නේ එබැවිනි.

බෲනෝ ආපිට්ස් විසින් රචිත “වෘකයින් අතර නග්නව” සහ “ඈන් ෆ්‍රෑන්ක්ගේ දිනපොත” අපට යුද්ධයෙහි ඇති කුරිරු බව පෙන්වා දෙමින් සාමයෙන් පිරුණු සමාජයක වුවමනාව, ඒ සඳහා කැපවීමෙන් වැඩ කරන මිනිසුන්ගේ අගය අපට පෙන්වා දෙයි.

යහපත් මානව සමාජයක්, යහපත් සංස්කෘතියක්

ගොඩනැගීමෙහිලා මිනිසාට ඇති ප්‍රධානතම බාධකය වන්නේ සමාජ අසමානතාවයයි. එහි ආරම්භක හේතුව දේපළ බෙදීයාමේ විෂමතාවයෙන් හටගනී. එය ශ්‍රම සූරාකෑම හේතුවෙන් සිදු වේ.

1859 චාල්ස් ඩිකන්ස් විසින් රචිත “Tale of two cities” දෙනුවර අන්දරය නමින් සිංහලට පරිවර්තනය වී ඇත. යුරෝපීය අග නගර දෙකක් වන පැරීසිය සහ ලන්ඩනය අතර වෙනස, සමාජ අසමානතාව පෙන්වා දෙන මෙම කතාවේ පංති ගැටුම සහ එළඹෙන ප්‍රංශ විප්ලවය පුරෝකතනය කරන්නකි.

Famous Novel Openings Explained: A Tale of Two Cities — History Through  Fiction

වික්ටර් හියුගෝගේ “Les Miserables” 1862 වසරේ රචිත එකකි. එය මනුතාපය නමින් සිංහලට පෙරළා ඇත. ප්‍රංශ විප්ලවයත් පැරිස් කොමියුනයත් අතර ප්‍රංශ සමාජය පසුබිම් කරගත් මෙම කතාව මගින්ද පංති විෂමතාව හා එහි දුක්ඛිත බව මනා සේ පැහැදිලි කරයි. ධනවාදය දුප්පතුන්ට ශ්‍රමය පමණක් නොව සිරුර පවා විකුණන්නට බල කරන ආකාරය ඉන් පෙන්වයි.

1939  ජෝන් ස්ටෙයින්බෙක් විසින් රචිත “The Grapes of Wrath “ පංති විෂමතාවය, සුරාකෑම, ධනවාදයේ අර්බුදය පෙන්වන කෘතියකි. “වෛරයේ මිදිඵල”  නමින් මෙම කෘතිය සිංහලයට පරිවර්තනය කර ඇත. කතාවේ අවසානයේ ස්ටෙයින්බෙක් එක් අපූරු අත්දැකීමක් අපට මුණගස්වයි. තම දරුවා මිය ගිය මවක්, තමාට එරෙන කිරි කුසගින්නේ මිය යමින් සිටින මිනිසෙකුට දී ඔහු ජීවත් කරවයි. එම සිදුවීම මඟින් මහඟු මිනිස් ගුණයක් ස්ටෙයින්බෙක් ඔසවා තබයි. ඉතාමත්ම දුෂ්කර තත්වයක් තුළ පවා මිනිසුන් එම ගුණයන් රැකගන්නා බවට හැඟීමක්, විශ්වාසයක් මෙම කෘතිය පාඨකයා තුළට ගෙන යයි. පීටර් පෝල් රුබෙන්ස් 1630දී සිමොන් සහ පෙරෝ නමින් අඳින ලද චිත්‍රයද මෙවැනි අත්දැකීමක් චිත්‍රයට නැඟීමකි. කුසගින්නේ මියයාමට සලස්වන ලද මිනිසෙකුව ඔහුගේ දියණිය විසින් තම මව්කිරි දී රැක ගනියි. 

Modern Times 1936 වසරේ චාලි චැප්ලින් විසින් ලියන, අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කළ චිත්‍රපටියකි. අද දක්වාත් රසිකයින් අතර ජනප්‍රිය එය ධනවාදයේ අමානුෂික බව, පංති ගැටුම, පරාරෝපණය ආදී සංකල්පයන් රාශියක් සාකච්ඡාවට ගෙන එන, එළිදරව් කරන චිත්‍රපටියකි.

1852 හැරියට් බීචර් ස්ටෝව් විසින් රචිත “Uncle Tom’s Cabin” “ටොම් මාමාගේ කුටිය” නමින් සිංහල බසට පරිවර්තනය කොට ඇත. එය නූතන වහල්භාවයට එරෙහිව ජන මතයක් ගොඩනැඟීමෙහිලා විශාල මෙහෙයක් කළ කෘතියක් ලෙස සැලකේ. වහල්භාවයට ගත් ටොම් මාමා විසින් කියන කතාව මඟින් වහල්භාවයේ ඇති කටුක යථාර්ථය මතු කරයි.

හොවාඞ් ෆාස්ට් නම් ඇමරිකානු ලේඛකයා 1951 වසරේදී “ස්පාටකස්” නම් ඓතිහාසික නවකතාව රචනා කරයි. ස්පාටකස් යනු ක්‍රි.පූ. 103 – 71 කාලයේ සිටි වහල් නායකයෙකි. ඔහු වහල් ක්‍රමයට එරෙහිව මහා වහල් නැගිටීමක් සංවිධානය කරයි. රෝමය දස දහස් ගණනක් වහල් ජනයා ක්‍රෑර වධයට ලක්කොට මරා, මෙම අරගලය විනාශ කර දමයි.

මෙම සිදුවීම පදනම් කරගනිමින් හොවාඞ් ෆාස්ට් රචනා කරන ස්පාටකස් කෘතිය මඟින් වහල් බවේ කුරිරු ම්ලේච්ඡ ස්වභාවය මැනවින් නිරූපණය කරයි. සත්තකින්ම ඒ මඟින් විවේචනයට ලක් කරන්නේ ලාභය මත පදනම් වූ වත්මන් ධනේශ්වර සමාජයයි.

ඉන්දියාවත්, පාකිස්ථානයත්, බංගලාදේශයත් අද රටවල් තුනක් වුවද 1947ට කළින් එක රටක්ව පැවතියේය. හින්දු සහ මුස්ලිම් භේදය මත පළමුව පාකිස්ථානය ඉන්දියාවෙන් වෙන්ව ගිය අතර භාෂා ප්‍රශ්නය මත පාකිස්ථානයෙන් බංගලාදේශය වෙන්ව ගියේය. මේ වෙනස්වීම් හේතුවෙන් ඉන්දියාව තුළ ඇති වූ කම්පනය තවමත් අවසන්ව නැත. එමෙන්ම ජාතිවාදය සහ ආගම්වාදය පදනම් කරගනිමින් ඇතිවන ගැටුම්ද තවමත් අවසන්ව නැත.

මේ සම්බන්ධයෙන් ලියැවුණු ඉතාමත් දීප්තිමත්, විශාල පිළිගැනීමකට ලක් වූ කෘතියක් ලෙස කුෂ්වන්ත් සිං විසින් රචිත “ඔර්සබ එද ඡ්නසිඒබ” පෙන්වා දිය හැකිය. එය චිත්‍රපටියටද නැගී ඇති අතර “අන්තිම දුම්රිය” නමින් සිංහලයටද පරිවර්තනය කර ඇත.

චමන් නහල් විසින් 1975 වසරේ රචිත අසාධි නම් නවකතාවද ඉන්දියාවෙන් පාකිස්ථානය වෙන්වීම පිළිබඳ කතාව ඉහත සංවේදී ලෙස ඉදිරිපත් කරයි. “ගින්නෙන් උපන් දරුවෝ” ලෙස එය සිංහලට පරිවර්තනය කර ඇත.“බොම්බේ” චිත්‍රපටය මනිරත්නම් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ආගම්වාදය ප්‍රශ්න කිරීමට ලක් කරන චිත්‍රපටයකි. අපර්ණා සෙත් විසින් 2002 ලියා අධ්‍යක්‍ෂණය කරන ලද “Mr and Mrs Iyar˜” ද එවැනිම හින්දු මුස්ලිම් විරසකභාවය සියුම් ලෙස ප්‍රශ්න කරන මානව ප්‍රේමය ඔසවා තබන සිනමා කෘතියකි.

1994 වන විට රුවන්ඩාව පාලනය කළේ හුටු ගෝත්‍රය මූලිකත්වය ගත් ආණ්ඩුවකිනි. රුවන්ඩාවේ ජීවත්වන හුටු සහ ටුට්සි ගෝත්‍රික  දෙපිරිස අතර පැවති ගැටුම 1994 වනවිට උත්සන්නභාවයට පත් වූ අතර සන්නද්ධ හුටු මිලිටරිය මඟින් ටුට්සි ගෝත්‍රික ජනයා ලක්ෂ 05ක් 08ක් අතර ප්‍රමාණයක් මරා දමා ඇතැයි අනුමාන කෙරේ. මෙම සිවිල් යුද්ධය පදනම් කරගනිමින් ටෙරී ජෝර්ජ් අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපටයකි, “්‍යදඑැක ඍමඅ්බා්” මෙම සිවිල් යුද්ධයට මුහුණ දෙන හුටු සම්භවයක් සහිත සැමියා සහ ටුට්සි ජාතික බිරිඳක් හා ඔවුන්ගේ දරුවන් පිළිබඳ ගෙතුණු කතාවක් “හොටෙල් රුවන්ඩා” මඟින් දිගහැරේ. මෙය සත්‍ය කතාවක් බව පැවසේ.

ලංකාව ජාතිවාදය පදනම් කරගත් යුද්ධයකින් වසර 30 ක් පමණ පීඩා වින්දේය. මෙම ගැටුම යුද ගැටුමක් ලෙස මතු වීමට පෙරම සිංහල, දෙමළ ජනයා අතර ආතතිය වැඩෙමින් තිබුණි. වැඩෙමින් පවතින මෙම තත්වය පදනම් කරගනිමින් මහාචාර්ය සුනිල් ආරියරත්න 1979 වසරේ “සරුංගලේ” චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරන ලදී. එය යුද්ධය වෙනුවට සිංහල දෙමළ ජනයා අතර සහෝදරත්වය ඉල්ලා සිටි කෘතියකි. මෙම යුද ගැටුම මතුවන්නට පෙර සහ යුද්ධය පැවති කාලයේද, යුද්ධයෙන් පසු කාලයේද සිංහල දෙමළ සහ මුස්ලිම් ජනයා අතර ජාතිවාදය පදනම් කර ගනිමින් පැවති යුද ගැටුමට එරෙහිව කලා නිර්මාණ රාශියක් සිදු විය. “මාතා”, “පුරහඳ කළුවර”, “සෙල්වම්”, “මේ මගේ සඳයි”, “අලිමංකඩ” එසේ නිර්මාණය වූ චිත්‍රපට කිහිපයකි. මේ කලා නිර්මාණ බොහොමයක් යුද්ධය සහ ජාතිවාදය යටින් ඇති අමානුෂික හරය එළියට ගෙන ආවේය. “නැගෙනහිර වෙරළෙන් ඇසෙන” වැනි ටෙලි නාට්‍ය මගින්ද මෙම ගැටලුව සාකච්ඡාවට ගැනුණි.

ලාංකීය ගීත සාහිත්‍යද ජාතිවාදය හා ආගම්වාදයට එරෙහි ගීත රාශියකින් පිරී තිබේ. අපි ඉහතින් සඳහන් කොට ඇති යහපත් සංස්කෘතියක් සඳහා වන ගුණාංගයන් දිනාගැනීම සඳහා ලෝකය පුරා මිනිස්සු අරගල කරමින් සිටිති. සමාජ ක්‍රමයක ඇති අසාධාරණ පීඩාකාරී ස්වභාවයට එරෙහිව මහමඟට බැසි මිනිසුන් විසින් කරන ලද අරගලයන්ගෙන්ද,

සමාජ විප්ලවයන්ගෙන්ද මේ යහපත් සංස්කෘතියක් සඳහා වන මිනිසුන්ගේ අනවරත අරගලය පිරී ඇත. විද්‍යාගාර තුළ පර්යේෂණාගාර තුළ මානව සමාජයට යහපත් වූ දේ සොයාගැනීම සඳහා සිදුකෙරෙන පර්යේෂණයන්ගෙන්ද මේ අරගලය පිරී ඇත. වැඩබිම් තුළ, ගොවිබිම් තුළ මිනිසුන් විසින් නිෂ්පාදනයේ යෙදෙමින් කරන මැදිහත්වීම්වලින්ද මේ අරගලය පිරී ඇත. විවිධාකාර වූ සාහිත්‍ය කලා නිර්මාණ මගින් කරන මැදිහත්වීම්වලින්ද යහපත් සංස්කෘතියක් සඳහා මිනිසාගේ අනවරත අරගලය පිරී ඇත. අප ඉහතින් සාකච්ඡා කොට ඇත්තේ ඒ සඳහා වන උදාහරණ කිහිපයක් පමණි.

චන්ද්‍රික අධිකාරි (ලෙෆ්ට් සඟරාව / 2024 ජනවාරි/මාර්තු)

යහපත් සංස්කෘතියක් වෙනුවෙන් මිනිසාගේ අනවරත අරගලය