සත්ව ස්වභාවය ඉක්මවූ මිනිස් සත්වයා
මිනිසා නම් සත්වයා බිහි නොවන්නට විශ්වයේ අපූර්වත්වයක් නැත. ඒ, එහි අපූර්වත්වය පරාවර්තනය කළ හැක්කේ මිනිසාටම පමණක් බැවිනි. අනෙක් අතට විශ්වීය අපූර්වත්වයේ මිනිසාද පාර්ශ්වයකි. මිනිසා යනු සොබාදහම ඉක්මවූ සොබාදහමය. සත්ව සන්තතිය ඉක්මවූ සත්වයාය. සොබාදහම ඔහුට අවි ලෙස භාවිතා කළ හැකි අංගෝපාංග ප්‍රබලව ලබාදුන්නේ නැත. ඔහු එයට එරෙහිව දුන්න, ඊතලය, හෙල්ල, තුවක්කුව, මිසයිලය නිර්මාණය කළේය. සොබාදහම ඔහුට අධි වේගයෙන් දිවිය හැකි සහ අධික බර ඉසිලිය හැකි පාද ලබා දුන්නේ නැත. ඔහු ඊට එරෙහිව රෝදය නිමවා වැඩිදියුණු කළේය. දැන් ඔහු වේගවත්ව ගමන් බිමන් යයි. ඕනෑම බරක් ප්‍රවාහනය කරයි. සොබාදහම ඔහුට පියාපත් දුන්නේ නැත. ඔහු ගුවන්යානය, රොකට්ටුව නිර්මාණය කළේය. දැන් ඔහු අභ්‍යවකාශය තරණය කරයි. සොබාදහම ඔහුට වරල් දුන්නේ නැත. ඔහු හබල රුවල වැඩි දියුණු කොට මාළිගා වැනි නැව් තැනුවේය. දිය යට කිමිදෙන කිමිදුම් කට්ටල සහ සබ්මැරීන් තැනුවේය. ඔහු සොබාදහම දුන් දෙයට අමතරව ඉන් බොහෝ ඉදිරියට ගිය අවි නම් උපකරණ සහ යන්ත්‍ර නිමවන ලදී. ඒ සියල්ලට හැකි වන සේ මිනිසා තම සිරුරද මනසද වැඩිදියුණු කළේය. සොබාදහම දුන් හස්තය වෙනුවට විශ්වය පැරද විය හැකි අපූර්ව හස්තයක් නිර්මාණය කළේය. එනම්, තමන්මද යළි නිර්මාණය කර ගත්තේය. මිනිසා බිහිවන්නේ එවන් අපූරු සත්වයකු ලෙසිනි.
මානව කල්ප වානරයාද උපකරණ භාවිත කරයි. මිනිසාද උපකරණ භාවිත කරයි. එහෙත් එය දෙයාකාරය. මානව කල්ප වානරයා (නූතන මිනිසා හෙවත් හෝමෝසේපියන්ගේ පූර්වජයා) සොබාදහම විසින් සපයන ලද උපකරණ පමණක් භාවිතයට සීමා විය. චිම්පන්සියෙකුට කොළ අත්තකින් කුහඹු ගුලක් ඇවිස්සිය හැක. ගලකින් තද ඇට වර්ග තළාගත හැක. එහෙත් මානව කල්ප වානරයාට උපකරණ නිර්මාණය කළ නොහැක. උපකරණ නිර්මාණය කරන්නේ මිනිසාය. ගල් අවි නිපදවූයේද මිනිසාය. එය පහසු කටයුත්තක් නොව අසීරු නිර්මාණශීලී කටයුත්තකි. ඒ සඳහා සුදුසු ගල් වර්ගය තෝරාගත යුතුය. එහි ඉවත් කළ යුතු කොටස් තෝරා ගත යුතුය. එසේ ඉවත් කිරීම සඳහා තවත් රළු මතුපිටක ඇතිල්ලීම, වෙනත් තද ගලකින් ගසා කඩා ගැනීම වැනි තාක්ෂණික ක්‍රම සොයාගත යුතුය. මහත් ශ්‍රමයක් (විසල් ස්නායු සෛල ක්‍රියාකාරිත්වයක් හා විසල් පේශී සෛල ක්‍රියාකාරිත්වයක්) යොදමින් එය සකසා මුවහත් කළ යුතුය. නැතිනම් උල් තුඩක් සකසා ගත යුතුය. අවසන එම උපකරණයට ලී මිටක් ගැටගසා සකස් කළ යුතුය. මෙම සමස්ත ක්‍රියාවම ශ්‍රමය වැගිරවීමයි. ස්වාභාවික උපකරණ භාවිත කරන මානව කල්ප වානරයාගේ එම ක්‍රියාව කලල රූපාවස්තාවේ පැවැති ශ්‍රමයයි. වර්ධිත ශ්‍රමය වන්නේ තමන් විසින්ම උපකරණ සාදාගෙන කරනු ලබන නිෂ්පාදන ක්‍රියාවලියේ මෙහෙයුමයි. එය හුදකලා ශ්‍රම කාර්යයක් නොවේ. සාමූහික ශ්‍රම මෙහෙයුමකි. “ශ්‍රමය විසින් මිනිසා බිහි කරන ලදී” යනුවෙන් එංගල්ස් පවසන විට “සාමූහික ශ්‍රමය විසින් මිනිසාගේ පැවැත්ම තහවුරු කළ බවද” අපට කිව හැකිය. ඒ අනුව නිෂ්පාදනය අරමුණු කොට ගත් මිනිස් සාමූහිකත්වයක් ලෙස සමාජය බිහිවූ බව මාක්ස් ලෙනින්වාදය තහවුරු කරයි.
“ගස් නඟින වඳුරන්ගේ සිට මිනිසා දක්වා පරිණාමය වීමට මිනිසාගේ ජීවිතයේ එක් තත්පරයකට වඩා වැදගත් නොවන පෘථිවියේ ඉතිහාසය අනුව බලන විට නිසැක ලෙසින්ම වසර ලක්ෂ ගණනක් ගෙවී ගියේය. එහෙත් කෙසේ වුවද, එය අවසානයේ ඇති විය. වානර රංචුවක් සහ මිනිස් සමාජය අතර විශේෂ ලක්ෂණයක් ලෙස අප යළිත් දකින්නේ මොනවාද? ශ්‍රමයය. භූගෝලීය කොන්දේසි අනුව සහ අසල්වැසි රැළෙහි ප්‍රතිරෝධනය අනුව වානර රැළ තමාට වෙන්වී ඇති ප්‍රදේශයේ ආහාර කා දැමීමට සමත් විය. එය වෙනත් ප්‍රදේශවලට යාමටත්, ආහාර සඳහා සටන් කිරීමටත් ඉදිරිපත් විය. එහෙත් ඒ වානරයින්ට ස්වභාවදහම දුන් දේ හැර වෙනත් දේ ලබා ගැනීමට දක්ෂතාවයක් නොතිබිණි.”
පෙඞ්රික් එංගල්ස් – (වානරයාගේ සිට මිනිසා දක්වා පරිවර්තනය වීමේදී ශ්‍රමය ඉටු කළ කාර්ය කොටස
මානව ප්‍රහර්ෂය උත්කර්ෂයට නංවන සංස්කෘතික මිනිසා
මිනිසා මිනිසෙකු වන්නේද සිය පැවැත්ම තහවුරු කරගන්නේද නිෂ්පාදනය අරමුණු කොටගත් මිනිස් සාමූහිකත්වය ඇරැඹි තැන් සිටය. දැන් ඔහු සතුව සොබාදහමේ මෙහෙයුමෙන් ස්වාධීන වටිනාකම් පවතී. ඒවා නම් සොබාදහමින් මුණගැස්ස වූ එහෙත් තමන් විසින් යළි නිමවූ අධ්‍යාත්මික හා භෞතික වටිනාකම්ය. මේ පාර්ශ්වයන් දෙක හා ඒ සමඟ බැඳි මානව සම්බන්ධතාවයන් ප්‍රකාශයට පත්වීම සංස්කෘතිය නම් වේ. මෙම භෞතික හා අධ්‍යාත්මික පාර්ශ්වයන් දෙක එකක් අනෙකෙන් ස්වායත්තව නොපවතී. මේ දෙක අතර වෙන්කළ නොහැකි ඒකත්වයක් හා අරගලයක් පවතී. රොබෝවරයෙකු වුව හුදු ද්‍රව්‍යමය ක්‍රියාකාරිත්වයක් පමණක් නොවේ. ඒ හා බැඳි මිනිස් සමාජ සම්බන්ධතා හා වෙනත් අධ්‍යාත්මික බැඳීම් සමුදායක් වේ. ඒ සියල්ල සංස්කෘතියය. මිනිසා බිහිවූ තැන් සිටම සංස්කෘතික සත්වයෙකු යැයි හඳුන්වනු ලැබිය හැකිය.
ඔහුට අන් සතුන්ට මෙන්ම කුසගින්න දැනේ. එහෙත් ඔහු ආහාර පුළුස්සා කෑමෙන් ඇරඹි ආහාර සකස් කොට කෑම මගින් දැවැන්ත ආහාර සංස්කෘතියක් බිහිකර ගනී. ආහාර පිළියෙල කිරීම යන්නට ආහාර විවිධත්වයද ආහාර හැඩ ගැන්වීමද රස ගැන්වීමද අයත්වේ. සොබාදහමේ ආහාරයට ගත හැකි ශාක කොටස් හඳුනා ගෙන එයින් ඉදිරියට නව එළවළු, පලතුරු, ධාන්‍ය නිර්මාණය කරගනී. ඔහුටද අන් සතුන්ට මෙන්ම පිපාසය (දියර අවශ්‍යතාවය) සංසිඳුවා ගත යුතුය. ඔහු හුදු ජලයෙන් තෘප්තිමත් නොවේ. ජලය අනුසාරයෙන් විවිධ රසවත් පානයන්, උත්තේජක පානයන්, පෝෂක පානයන් සකසා ගනී. එහි පිරිසිදුකමද සලකා බලයි. මේ සියල්ල සංකලනයෙන් ආහාර සංස්කෘතිය වර්ධනය කරයි. දැන් ඔහු ප්‍රිය සම්භාෂණ පවත්වයි. මානව සම්බන්ධතා පුළුල් කරයි. ඒවා මගින් ඔහු සතුටේ තෘප්තිය ඉහළ නංවා ගනී.
එපමණක් නොවේ ඔහුට තම පංචේන්ද්‍රියන් සහ අධ්‍යාත්මය එකවර තෘප්තිමත් කිරීමට අවශ්‍ය වේ. එවිට ඔහු සතුටේ විවිධ උල්පත් සොයා යයි. මේ මිනිස් ස්වභාවය විසින් ඔහු නව නිපයුම් සොයාගනී. ඒ වටා බැඳි නව සංස්කෘතික හැඩතලයන් සොයා ගනී. ඔහුට ජීවියකු ලෙස ලිංගික අවශ්‍යතා පැන නැගුනද සත්ව ස්වභාවය ඉක්මවා විරුද්ධ ලිංගිකයා පිළිබඳ අධ්‍යාත්මික හැඟීමක් බැඳීමක් ඇති කරගනී. එය ආදරය නම් අධ්‍යාත්මික බැඳීම දක්වා වර්ධනය කරගනී. ඔහු ඒ විරුද්ධ ලිංගික ආකර්ෂණය බැඳීමකට සහ විඳීමකට හරවා ගනී. ඔහුට සත්වයකු ලෙස නින්ද අවශ්‍යය. ඔහු වැටුණු තැන නොනිදයි. ඔහුට ඒ සඳහා සයනයක්, නිඳන කාමරයක් අවශ්‍යය; පොරෝනයක් අවශ්‍යය; සුගන්ධවත් පරිසරයක් අවශ්‍යය; වායුසමනය අවශ්‍යය. මේ නිසා ඔහු තාක්ෂණය දියුණු කරයි. ද්‍රව්‍යයේ නව ජාති ලක්ෂණ හඳුනා ගනී. ඒ ඔස්සේ මිනිසා තම සංස්කෘතික ජීවිතය ගොඩනගා ගනී.
සංස්කෘතිය තනි මිනිසකු ලෙස ගොඩනැගෙන්නේ නැත. සංස්කෘතිය මිනිස් සමූහයක් තුළ බිහිවන්නකි. සංස්කෘතියෙන් බැහැර වීම යනු ඔහු මිනිස් ස්වභාවයෙන් හුදු සත්ව ස්වභාවයට පසුබැසීමකි. ධනවාදය නිමවන්නේ හුදු ආත්මාර්ථකාමී හුදකලා මිනිසුන්ය. එකිනෙකා පරයා තරග වදින සමාජයක්ය. එවන් සමාජයක එවන් මිනිසුන් සංස්කෘතික වශයෙන් ගොඩනැගෙන්නේ නැත. ධනවාදය සිදුකරන්නේ මිනිසාගේ සංස්කෘතික අවශ්‍යතාවයන්ද විකුණා ගැනීමයි. ඒවාට අවශ්‍ය භාණ්ඩ නිපයුම මගින් දැවැන්ත ශ්‍රම සූරාකෑමක් සිදුකිරීමය. බහුජාතික සමාගම් සමාජය සිසිල් කළ උත්තේජක පානවලට ඇබ්බැහි කරවයි. එය සතුටම නොවේ. පිළිකා කාරක පවා යොදාගනිමින් ආහාර රස ගන්වයි; වර්ණ ගන්වයි. ලිංගික ආශාවන් විකුණන ලිංගික කර්මාන්තයන් පවත්වා ගෙන යයි. විලාසිතා කර්මාන්තයන් බිහිකරයි. එහි අනෙක් අතට සංස්කෘතික ජීවිතයක් කෙසේ වුවද මූලික මිනිස් අවශ්‍යතා පවා අහිමි කළ සතුන් වැනි ජීවිත ගෙවන කෝටි ගණන් ජනතාව තව තවත් වර්ධනය කරයි. එයට සමාන්තරව මානව සමාජ සම්බන්ධතා වෙනුවට හුදකලා නරුම මිනිස් සත්වයින් බිහිකරයි. ධනවාදය තුළ මිනිස් වටිනාකම් හෙවත් සංස්කෘතික බව අහිමි කළ සාතිශය බහුතරයක් වේ. එබැවින් ධනවාදය තුළ සංස්කෘතික මිනිසා සොයා යෑම යැයි තේමාවක් ගොඩ නැඟී තිබේ. එහි අරුත යළි මිනිස්කම පිහිට විය යුතු බවය.
සංස්කෘතික විවිධත්වය යනු සංස්කෘතික ඒකත්වයකි
රට රටවල එකිනෙකට වෙනස් සංස්කෘතීන් පවතී. එක් භූමියක් තුළද වෙනස් සංස්කෘතීන් පවතී. එකම භාෂාව තුළද සංස්කෘතික වශයෙන් උප බෙදීම් පවතී. විවිධ සංස්කෘතික ප්‍රාදේශීයකරණයන් පවතී. මෙය සංස්කෘතික විවිධත්වයයි. මානව සංස්කෘතිය බිහිවන්නේ මානව සමාජ පරිණාමයට සමාන්තරව නම් විවිධත්වයක් ඇතිවන්නේ ඇයි? උදාහරණයක් වශයෙන් ගන්නේ නම් ධනවාදී ලෝකය පුරාම එකම සංස්කෘතික මට්ටමක් නොමැත්තේ ඇයි? මෙයට බලපාන ප්‍රධාන සාධක දෙකකි. පළමුවැන්න නිෂ්පාදන මට්ටමේ විෂමතාවයයි. දෙවැන්න භූගෝලීය පැවැත්මේ විෂමතාවයයි.
සුදු කෙල්ලන්ද කළු කෙල්ලන්ද වඩා ප්‍රියමනාප යැයි ප්‍රශ්නයක් ඇසුවොත් ඝර්ම කලාපීය රටවලින් ලැබෙන පිළිතුරත්, හිරු දුරස්ථ රටවලින් ලැබෙන පිළිතුරත් එකිනෙකට වෙනස්ය. බටහිර යුරෝපයේත් නැගෙනහිර යුරෝපයේත් එකම පිළිතුර ලැබෙනු ඇත. (අමතර කරුණක් වශයෙන් නව යටත්විජිත රටවල තම යටත්විජිත ස්වාමියාගේ වර්ණය වන සුදු වන්දනීය වර්ණයකි.) දේශගුණික සාධකයන්ගේ බලපෑමට ඔරොත්තු දීමට ඇතිවූ සමේ වර්ණය තම රුචිකත්වයේ පුරුද්ද වූ පසු එය තම ප්‍රියමනාප වර්ණය ලෙස සංස්කෘතික කැමැත්තක් බවට පත්වේ. මෙයට වර්ණ භේදවාදී විෂ පිඹහල පසු වර්ණයේ උස් පහත් බවක් ඇතිවේ. භේදවලින් මිඳුන නිදහස් මිනිසෙකුට සුදුද කළුද දෙකම සුන්දර වන්නේ සෞන්දර්යාත්මක අරුතකින්ය. මෙලනින් වර්ණකය සමේ පැහැය අති කළු හෝ අති සුදු අතර සංචලන මාපකයක් වන්නේ සංස්කෘතික බලපෑම් හේතුවෙනි. එහෙත් ඒ සංස්කෘතික විවිධත්වයන් සෞන්දර්යය නම් මානුෂීය වින්දනය තුළ ඒකත්වයකි. එය සංස්කෘතික මිනිසාගේ ලක්ෂණයකි. සංස්කෘතික විවිධත්වය ඒකත්වයක් වන්නේ දියුණු සංස්කෘතියක් තුළදීය. දියුණු සංස්කෘතික ඇසකට කළුම කළු හෙවත් නිලට හුරු පෙම්වතෙකු සහ කහම කහ හෝ සුදුම සුදු පෙම්වතියක යන දෙදෙනා සුන්දර දසුනක් විය හැකිය.
විවිධත්වය බිහිකරන සංස්කෘතික මූලයන් ද්විත්වය
ලොම්වලින් තොර නිරුවත් සිරුර මානව පරිණාමයෙන් ලද දායාදයකි. එබැවින් මිනිසාට විලිලැජ්ජාව හෝ නිරුවත් සිරුර වසා ගැනීමේ සදාචාර හැඟීමක් මුල් යුගයේදී ඇති වූයේ නැත. මුලින්ම මිනිස් ගැහැනිය සහ පිරිමියා ඇඳුම් ආයිත්තම් යොදා ගන්නේ සැරසිලි කරන ආභරණයක් ලෙසිනි. මුලදී ඔවුහු මුහුණ, පපුව, ලිංගේන්ද්‍රය, තට්ටම් ආදිය වර්ණ ගන්වන්නට වූහ; පබළු, කොළ අතු, සම් පොතු, සිප්පි කටු ආදියෙන් සරසා ගත්හ; පසුව සොබාදහමෙන් එන පීඩාවන්ගෙන් සම ආවරණය කරගන්නට උගත්තෝය. එතැන් පටන් සොබාදහම අධික සීතල වේශයෙන් හෝ අධික සූර්යතාපය වේශයෙන්, කෘමි සතුන් වේශයෙන් නිරුවත් සමට පහර දෙන විට ඔහුට පොරෝණයක් අවශ්‍ය විය. පසුව ඇඳුමක් බවට පත්වන්නේ එයයි. එනිසා මිනිසාට ඇඳුම් යනු පළමුව සැරසිල්ලකි; දෙවනුව ආරක්ෂක උපාංගයකි. දැන් මෙය පුරුද්දක්ව පවතින නමුත් විලාසිතා අර්ථයෙන් හා සමේ ආවරණයක් යන අර්ථයෙන් හැර මිනිසා සිරුර වසා සිටීමට රුචි නොවේ. යුරෝපීය මිනිසා හිරු කිරණ දුටු තැන නිරුවත් සිරුර ඉන් සනහා ගන්නට කැමතිය. එය ිමබ ඉ්එය නම් වේ. ඝර්ම කලාපයකදී මිනිසා අධික රස්නයට එරෙහිව උඩුකය නිරුවත්ව තබා ගැනීමට උත්සාහ ගනී. මේ ඔහු හිරු එළිය නෑමට නොවේ. ශරීර උෂ්ණත්වය පාලනය කර ගැනීමටය. මෙයින් අපට පැහැදිලි වන්නේ සංස්කෘතික විවිධත්වයට බලපාන ප්‍රධාන සාධකයන් දෙකක් පවතින බවය.
සමාජ සංවර්ධනයේ (නිෂ්පාදන උපකරණයන්ගේ) මට්ටම
මුල්ම මිනිස්සු වන දියදහරක් අසබඩ දණ ගසා දියමත තොල් තබා පිපාසය සංසිඳවා ගන්නට ඇත. එය සත්ව ස්වභාවයමය. ඉන්පසුව අත්දැකීම් වර්ධනය විසින් දිය පහරෙන් එන ජලය බොකුටු කළ අත්ල අල්ලා හෝ අත්ලට ගෙන බොන්නට ඇත. පසුව ස්වභාවික වියළි ඵලයන්ගේ ලෙලි, කටු භාවිතා කොට ජලය පානය කරන්නට ඇත. මැටි භාණ්ඩ නිමවා ඒවා පුළුස්සා ගන්නට ඉගෙනගත් පසු මැටි භාජනයෙන් ජලය පානය කරන්නට ඇත. පසුව බෙලෙක් භාජන සෙරමික් භාජන ප්ලාස්ටික් බඳුන් භාවිතයට පැමිණියේය. දැන් එය බීම බෝතලය, බීම බටය දක්වා ඉදිරියට පැමිණ ඇත. දැන් මුහුදු හතු සීනි මිශ්‍රිත ආහාර දවටනයකට ජලය පුරවා පරිසර හිතකාමී ජල බඳුන් සකසා ඇත. මිනිසා බඳුන්වලින් ජලය බීමේ උත්සාහය විසින් තම තොල් පෙතිද ඉදිමුනු පලල් ඒවා බවට පත්කොටගෙන ඇත. තොල්වල විකරණය පසෙක තබා ජල බඳුනේ පරිණාමය සලකා බලන විට එය සමාජ සංවර්ධනයට අනූරූපීව වර්ධනයව ඇති බව දිස්වේ. එසේත් නැතිනම් ස්වභාවික ජල බඳුනේ සිට කෘත්‍රිම ජල බඳුන දක්වා කතන්දරයක් එහි ගැබ්ව ඇත. කෘෂිකර්මාන්තය අරමුණු කොට ආසියාතික සමාජයේ වාරි සංස්කෘතියක් බිහිවිය. පානීය ජලය වුව වගා ජලය වුව පිරිසිදු කිරීමට යොදා ගන්නා ජලය වුව සියල්ල වටා සංස්කෘතියක් බිහිවී වර්ධනය වේ. මෙම ජල සංස්කෘතියේ වර්ධනයන් සමාජ නිෂ්පාදන උපකරණවල දියුණුවේ මට්ටමට සාපේක්ෂය. එයින් කියවෙන්නේ ධනවාදය තුළ කිසිසේත්ම බොකුටු කළ අත්ලට වතුර ගෙන පානය කරන මිනිසෙකු කිසිදා දැකිය නොහැකි බව නොවේ. පංති සමාජයක් වන ආසියාතික නිෂ්පාදන රටාවේ කෙණ්ඩිය සහිත ජල කොතලය වංශවතුන්ටද අත්ලට වත්කොට ජලය පානය කුල හීනයන්ටද හිමි විය. පසුකරන ලද සමාජ ආර්ථික ක්‍රමයන්හි කැළැල් ඉදිරි සමාජයකද දැකිය හැකිය. එබැවින් ධනවාදී සමාජ සංස්කෘතිය තුළ පසුකළ සංස්කෘතික ලක්ෂණද නෂ්ටාවශේෂ වශයෙන් පැවැතිය හැකිය. නමුත් අතීත සමාජය ඉක්මවා පැමිණි නව සමාජයට අනන්‍ය නව ප්‍රධාන සංස්කෘතියක් වේ. ඒ සියල්ල සැකසෙන්නේ නිෂ්පාදන උපකරණවල මට්ටම අනුවය. ප්‍රාථමික සාමූහික සමාජයේද වහල්හිමි සමාජයේද වැඩවසම් සමාජයේද ආසියාතික සමාජයේද ධනවාදී සමාජයේද කොමියුනිස්ට් සමාජයේද එයට අනුරූපී ප්‍රධාන සංස්කෘතියක් පවතින අතර ඒවා එකක් පසුපස එකක් බැවින් වර්ධිත සංස්කෘතීන් බවට පත්වේ.
භූගෝලීය සාධකයන්ගේ බලපෑම
ඝර්ම කලාපීය මිනිසාට අතුපතර විහිදි විසල් ගසක් වුව සෙවණකි. ඔහු එම ගසයට තම වාසස්ථානය කරගැනීම ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මිස අධික සීතල වැනි බාධක එහි නැත. එනිසා එවන් රටවල නිවාස වැඩි විවෘත බවකින් හා සාලය මැද ගිනි උඳුන් භාවිතයෙන් තොරය. එහෙත් අධික හිම පතනය සහිත ධ්‍රැවාසන්න මිනිසා ගෝලාකාර ආවරණික නිවසක් සාදා ගනී. එම නිවස තුළ ඇඳුම් හැඳ සිටිය නොහැකි තරම් උණුසුම්ය. යුරෝපා නිවාස එතරම් කුඩා නැත. ඒවා වාතාශ්‍රය සහිත පළල් සාලයන්ද සීතලට ආවරණය වූ කාමරද සහිත නිවාසයන්ය. නිවාස සංස්කෘතිය සැකසෙන්නේ භූගෝලීය සාධක අනුවය. අරාබි කාන්තාර පෙදෙස්වලට අධික සූර්යතාපයට ඔරොත්තු දෙන වැලි කුණාටුවලට ඔරොත්තු දෙන නිවාස අවශ්‍යය. චීන්නු උණ පතුරෙන්ද යුරෝපීන් ලෝහමය පතුරෙන්ද ආහාර ගන්නා සංස්කෘතිය නිර්ණය වන්නේ තමන්ට සුලබ ද්‍රව්‍ය ඇසුරෙන්ය. ලී පතුර සොයාගැනීමේ සිට එය සකස් කරගැනීම දක්වාද එය පරිහරණයේ හුරුබුහුටිකමද ආදී වශයෙන් විවිධ සංස්කෘතික පසුබිමක් මේ වටා නිර්මාණය වේ. ලෝහ භාවිතයෙන් හැන්ද ගෑරුප්පුව සාදාගැනීමේ සිට එය භාවිතයේ ආචාර ධර්ම දක්වා සංස්කෘතික පසුබිමක් නිර්මාණය වේ. එහෙත් මෙම සංස්කෘතික පසුබිමට මුල් වන ද්‍රව්‍යමය සාධකය සපයන්නේ භූගෝලීය පරිසරයයි.
“මිනිසා ආහාරයට සුදුසු සෑම දෙයක්ම පරිභෝජනය කිරීම ඉගෙන ගත් පරිදිම, ඔහු ඕනෑම දේශගුණයක ජීවත් වීමටද ඉගෙන ගත්තේය. ලෝකයේ ජීවත් විය හැකි සෑම පරිසරයකම වාසය කිරීමට පටන් ගත් මිනිසා ස්වශක්තියෙන් එසේ කළ හැකි එකම සත්වයාද විය. සියලු දේශගුණයන් යටතේ ජීවත් වීමට පුරුදු වූ අනික් සත්තු හීලෑ සතුන් සහ පරපෝෂිතයින් පණුවන් ආදීන් – මිනිසා කැටුව යමින් එලෙස ජීවත් වූහ. මිනිසා තමාගේ මුල්ම ජන්ම භූමිය වන උණුසුම් දේශගුණයේ සිට වසරක් ගිම්හානය හා ශීත කාලය ලෙස බෙදුණු ශීත ප්‍රදේශවල වාසය කිරීමට පැමිණීමත් සමඟ අලුත් අවශ්‍යතාවයන් පැන නැගිණි. ශීත සහ තෙතමනයෙන් ආරක්ෂා වීම සඳහා නිවාස සහ ඇඳුම් අවශ්‍ය විය. එනිසා තවදුරටත් මිනිසා සතුන්ගෙන් වෙන් කරවන ක්‍රියාකාරීත්වයේ නව රූපාකාරයන්ද ශ්‍රම ක්ෂේත්‍රයන්ද ඇති විය.”
පෙඞ්රික් එංගල්ස් – “වානරයාගේ සිට මිනිසා දක්වා පරිවර්තනය වීමේදී ශ්‍රමය ඉටු කළ කාර්ය කොටස
සංස්කෘතික පසුගාමිත්වය
පසුගාමිත්වය යනු පැන නැඟි නව සමාජ ආර්ථික ක්‍රමයෙහි සමාජ සම්බන්ධතා ක්‍රමය ඉක්මවා පසුකළ පැරැණි සමාජ ආර්ථික ක්‍රමයේ සම්බන්ධතාවන්ගේ ප්‍රකාශ වීම් ඉස්මතු වීමයි. එනම් අලුතෙන් බිහිවූ සමාජ ආර්ථික ක්‍රමයේ නව නිෂ්පාදන බලවේගයන්ට අනුරූපී නව නිෂ්පාදන සම්බන්ධතා පැවතියද සමාජ චින්තනය පූර්ව සමාජයට අනුරූපව පවතී. එයට හේතුව වන්නේ පැරණි සමාජ ක්‍රමය තුළින් පැන නැඟි විප්ලවයක් මඟින් පැරණි අත්තිවාරම බිඳ හෙළනු වෙනුවට පැරණි සමාජ ආර්ථික දේහය මතට නව සමාජය කඩා වැටීමයි. එහිදී සිදුවන්නේ පැරණි සමාජයේ විප්ලවීය ලෙස ඉවත්විය යුතු යල්පැන ගිය අංග ඉවත්වනු වෙනුවට නව සමාජයේ අංග කිහිපයක් පමණක් පිහිටු වීමයි. එබැවින් නිෂ්පාදන බලවේගයන්ට අනුරූපී නිෂ්පාදන සම්බන්ධතාවයන් ගොඩනැගීම විකෘතිව ගොස් යල්පැන ගිය සම්බන්ධතා සහ චින්තනයන්ද බරක් වශයෙන් සමාජ දේහයේ එල්ලී පවතී.
උදාහරණයක් ලෙස ගන්නේ නම් ශ්‍රී ලංකාව මේ වන විට පවතින්නේ පසුගාමි ධනේශ්වර සමාජ ආර්ථිකයක් ලෙසය. පසුගාමිත්වය ධනේශ්වර සමාජ මට්ටමෙන් මෙහා පවතින්නකි. නූතන ධනවාදි ලාංකේය ජනතාව ප්‍රකෘතිය හා සමාජය පිළිබඳව දකින්නේ අතීත ශ්‍රී ලංකාවේ පැවැති ආසියාතික නිෂ්පාදන රටාවේ පැවැති චින්තනයේ පුරුද්ද මත පදනම්වය. ආසියාතික සමාජ ක්‍රමයේ මිනිසා පොළව කණින, අස්වනු නෙළන, දැව උපකරණ කිහිපයක් සහ නගුලට, පෝරුවට, චාලක බලය සපයන සහ ගොවි ශ්‍රමය ප්‍රතිනිෂ්පාදනයේදී පෝෂණ මූලාශ්‍රයක් වන ගවයා මූලික නිෂ්පාදන උපකරණය වශයෙන් පැවැති කෘෂිකාර්මික සමාජයක් මත පදනම්ව තම ලෝක දෘෂ්ටිය සකසා ගන්නා ලදී. භූමියේ පෞද්ගලික හිමිකමක් නොමැති තත්වයක් තුළ, පරම අධිපතියකු වන රජුගේ ඉඩම්, ශරීරයෙන් සහ අස්වැන්නෙන් ගෙවන බදු ක්‍රමයට වගා කළ ලාංකේය ආසියාතික මිනිසාට තම පංති ප්‍රතිවිරෝධය වන රජු පෘථිවියට ආලෝක වර්ෂ 4.2ක් දුරින් පිහිටි අල්ෆා සෙන්චරි තාරකාව සේ දුරස්ථය. සමාජ සංවර්ධනයට අනුව සමාජ විප්ලවය අනිවාර්ය නමුත් ඉහත දැක්වූ විෂය මූල තත්වය (සමාජ භූමිකාව) හේතුවෙන් එය එක තැන පල්වෙන සමාජයක් බවට පත්ව තිබිණ. ගවයා ප්‍රධාන නිෂ්පාදන උපකරණය වන සමාජයක අවිහිංසාවාදය මුල් කොටගත් ආගමික දර්ශනයක් තහවුරු වීම ඉතා ස්වභාවිකය. ඉතා අඩු දියුණු උපකරණ මගින් ස්වභාවික බලවේගයන් හා ගැටෙන සමාජයක ස්වභාවික බලවේගයන්ට දේවත්වය ආරූඪ කිරීම පුදුමයක් නොවේ. දෙවියන් යැයි හඳුන්වන රජකු නොමැතිව පාලනය විය නොහැකි යැයි සිතන සමාජයක රජු දේවයන් වහන්සේය; පොදු ජනයා බලුගැත්තන්ය. මෙවන් චින්තන පුරුද්දක් සහිත නමුත් ධනවාදී උපකරණ පරිහරණය කරන වත්මත් පුද්ගලයකු අති නවීන මෝටර් රථයක් භාවිත කළද ඔහුට එහි ආරක්ෂාව සඳහා දෙහි ගෙඩිය හා මිරිස් කරල අත්‍යවශ්‍ය මානසික රක්ෂණාවරණයකි. ඔහු තවමත් සොබාදහමට යටත් ටයි කෝට් අඳින අසරණ මානවයෙකි. දැන් ලාංකේය ධනවාදය යුරෝපයේ මට්ටමට වර්ධනය වන්නේ නැත. ඒ වෙනුවට සිදුවූයේ 1815 පැවැති සමාජ චින්තනය මතට ධනවාදී වෙළඳ භාණ්ඩ විසිරවීමයි. එබැවින් ලාංකේය ජන සමාජයේ සංස්කෘතික පසුගාමිත්වයක්ද පවතී.
මානව සංස්කෘතික කළුකුහර
නිරපේක්ෂ වශයෙන් සංස්කෘතියෙහි ලක්ෂණය වන්නේ ඉදිරියට වර්ධනය වීමයි. න්‍යායික සත්‍යය එය වුවද ප්‍රායෝගිකව ගත් කළ සාපේක්ෂ වශයෙන් සංස්කෘතික කඩා වැටීම් සිදුවේ. එහිදී සිදුවන්නේ නිෂ්චිත නිෂ්පාදන මාදිලියක අදාළ සමාජ සංස්කෘතික ලක්ෂණ පරයමින් එයට වඩා පහත් මට්ටමේ සංස්කෘතික ලක්ෂණ මතු වීමයි. උදාහරණ වශයෙන් වසවිෂ යෙදූ ආහාර පානයන්, සැලසුම් සහගත මනුෂ්‍ය ඝාතනයන්, සැලසුම් සහගත ස්ත්‍රී දූෂණයන් ආදී තවත් බොහෝ ඒවා ගත හැකිය. මෙවැනි සංස්කෘතික අගාධයන් තමන් වෙතට සංස්කෘතික හරයන් සියල්ල ඇද ගනී. එවන් සංස්කෘතික කළු කුහරයන් සමාජය තුළ හමුවේ. එය පරාජය කළ හැක්කේද සංස්කෘතික වර්ධනයන් තුළින්මය. එවන් සංස්කෘතික ගොඩනැංවීමක් විසින් සංස්කෘතික පරිහානිය පරාජය කළ හැකිය.
මානව පවුලේ විකාශනය අනුව එය ඒකභාර්යා වෘතය (එක් බිරිඳක තබාගැනීම) දක්වා වර්ධනය වී තිබේ. එය ධනවාදි සමාජයේද කොමියුනිස්ට්වාදී සමාජයේද දැකිය හැකි විවාහයේ රූපකයකි. නමුත් මෙම සමාජක්‍රම දෙක තුළම ඒක භාර්යා වෘතය පවතින්නේ සමාන ගුණයෙන් නොවේ. ධනවාදය එක බිරිඳක් තබාගන්නේ පුරුෂයාගේ දේපළ දරුවන්ට හිමිවීමේ උරුම පෙළපත සැකසෙන්නේ එම ක්‍රමයට නිසාය. කොමියුනිස්ට් සමාජය ඒක භාර්යා වෘතයට යන්නේ පොදු දේපළ ක්‍රමයක් තුළ දේපළ බැඳීමෙන් තොර අධ්‍යාත්මික විවාහයක අරුතින්ය. ධනවාදී ගැහැනිය පිරිමියාගේ පරපුර රකින ගර්භාෂයයි. අමතරව පිරිමියාගේ ලිංගික තෘප්තිය සනහන සජීවි උපකරණයයි. විවාහයකට මෙය අනිවාර්ය කොන්දේසියක් නොවේ. මන්ද පිරිමියෙකුට තම බිරිඳගෙන් තොරවද ලිංගික තෘප්තිය වෙනත් ගැහැනියක තුළින් ලද හැකිවීමයි. කොමියුනිස්ට් සමාජයේ ගැහැනිය පිරිමියාගේ පරපුර රකින ගර්භාෂය නොවේ. ඇය ඔහුගේ අධ්‍යාත්මික බැඳීමයි. ජීවිතයේ ලෞකික හා අධ්‍යාත්මික සතුටයි. එම පරම සතුට ලැබිය හැක්කේ ඔවුන් දෙදෙනාටම පමණි. මේ සම්බන්ධය බිඳෙන්නේ බැඳීම් වෙනස් වන විටය. මෙම විවාහ ක්‍රම දෙක වටා ගොඩනැගෙන සංස්කෘතික පසුබිම එකිනෙකට වෙනස්ය. කොමියුනිස්ට් සමාජය තුළ විවාහය ධනවාදී පවුල දක්වා කඩා වැටෙන්නේ නම් එය පිරිහීමකි. එහෙත් එය එසේ වන්නේ නැත. එබැවින් සංස්කෘතිය යනු සමාජ සංවර්ධනයට අනුරූපව වර්ධනය වන්නකි. ඉදිරිගාමී සංස්කෘතීන් තුළ පසුගාමි අම්බලම් හමුවිය හැකිය. එහෙත් සංස්කෘතියේ පොදු ඉරණම එහි අඛණ්ඩ වර්ධනයයි.
අවසාන වශයෙන් සංස්කෘතිය යනු මානව වංශ කතාවයි. මිනිසා සත්ව ලෝකයෙන් වෙන්වූ කතාවයි. මිනිසා සොබාදහමට එරෙහිව දිනාගත් සියල්ලෙහි එකතුවයි. එය මිනිසාගේ පැවැත්මේ ලෞකික හා අධ්‍යාත්මික පාර්ශ්වයන් දෙකයි. නිෂ්පාදන උපකරණයන්ගේ වර්ධනයේ මට්ටමෙහි ප්‍රකාශනයයි.
ඔහු භූගෝලීය පරිසරයට හැඩගැසීමේ ප්‍රවණතාවයන්ගේ ප්‍රකාශනයයි. සංස්කෘතිය යනු ස්ථිතික පාෂාණයක් නොවේ; එය ගතික ප්‍රවාහයකි. සමාජ සංවර්ධනයේ අර්බුදයන් විසින් සංස්කෘතික පසුගාමිත්වයන් සකසයි. එහෙත් සංස්කෘතියේ ඒකායන ඉරණම වර්ධනයයි. මානව පැවැත්ම හා අවිච්ඡේදනීය බැඳීමක් පවතින සංස්කෘතිය අන් කවරක්වත් නොව මනුෂ්‍ය හරයෙන් යුත් සංස්කෘතික මිනිසුන්ගෙන් සැදි සාමූහිකත්වයයි. මානව වංශයේ උසස් නිදහස් ජීවිතයයි. සැබැවින්ම සියලු සංස්කෘතික ප්‍රාදේශීයකරණයන් හා විවිධ සංස්කෘතික ප්‍රභේදනයන් මිශ්‍රවීමෙන් ශුද්ධ දුබල සංස්කෘතීන් වෙනුවට පුළුල් සවිමත් මානව සංස්කෘතියක් බිහිවේ.
ධනුෂ්ක හර්ෂණ වික්‍රමරත්න (ලෙෆ්ට් සඟරාව / 2024 ජනවාරි/මාර්තු)