මිනිසෙකු සිරගත කළ හැක්කේ සිය කැමැත්තෙන්ම සිරගත වුවහොත් පමණකි

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

මිනිසා ශිෂ්ටාචාරය ගොඩනැංවීමෙන් අනතුරුව බාධක අභියෝග ලෙස ගන ඒවා අබිබවනය කිරීමෙන් ඔබ්බට ගොස් සිදුවූ තවත් සුවිශේෂී සිදුවීමක් වන්නේ මිනිසා විසින්ම මිනිසාට බාධක නිර්මාණය කිරීමයි. මෙසේ මිනිසා විසින් නිර්මාණය කරන ලද සුවිශාලම බාධකයක් වන්නේ එක් මිනිස් කණ්ඩායමක් විසින් තවත් මිනිස් කණ්ඩායමක් හෝ මිනිසෙක් සිරකරුවෙකු ලෙස අල්ලා ගැනීමයි. මුල් යුගයේදී එක් ගෝත්‍රයක් විසින් සිය තවත් ගෝත්‍රයක් සම්පූර්ණයෙන් ආක්‍රමණය කර, සියලු ගැහැනුන් සිය බිරියන් ලෙස මෙන්ම එම ගෝත්‍රයේ සියලු ශක්තිවන්ත පිරිමින් වහලු‍න් ලෙස භාවිත කළ බවට ඉතිහාසය පෙන්වා දෙයි. එහිදී එකී ගෝත්‍රවල සිටි සියලුම කුඩා දරුවන් හා මහලු මිනිසුන් සමූලඝාතනය කරන ලදී. පසුකාලීනව, වහල්කමට ගැනීම මෙන්ම විවිධ අරමුණු වෙනුවෙන් එක් මිනිස් කණ්ඩායමක් විසින් තවත් මිනිස් කණ්ඩායමක් හෝ මිනිසෙක් සිරභාරයට ගැනීමක් දක්නට ලැබිනි. මෙම මිනිස් ශිෂ්ටාචාරයේ සුලබ සිදුවීම සාහිත්‍යයේ සුවිශේෂී තේමාවක් හෝ ශෝනරයක් (Genre) බිහි කළ බව පෙනේ. මෑත යුගයේ සාහිත්‍ය ලෝකයේ බොහෝ කෘති මෙම තේමාව ඔස්සේ නිර්මාණය කර ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

නිර්දෝෂී සිරකරුවා

එහිදී, සුවිශේෂ සිනමා නිර්මාණයක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත්ය. ස්ටීවන් කිං විසින් 1982 වසරේ රචනා කරන ලද Rita Hayworth and Shawshank Redemption කෘතිය පදනම් කරගනිමින් Frank Darabont විසින් 1994 වසරේ සිනමාවට නැගූ The Shawshank Redemption සිනමා කෘතියයි.

චිත්‍රපටිය ආරම්භ වන්නේ සාර්ථක බැංකුකරුවෙකු වන ඇන්ඩි ඩුෆෙන් Andy Dufresne (Tim Robbins) ඔහුගේ බිරිඳ සහ ඇගේ පෙම්වතා ද්විත්ව ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ රූප රාමුවකිනි. එම නඩුකරයේදී නිර්දෝෂීභාවය පිළිබඳ ඔහුගේ ප්‍රකාශයන් නොතකා, ඇන්ඩි වරදකරු බවට පත්කර ජීවිතාන්තය දක්වා වන සිර දඬුවමකට ෂෝෂාන්ක් ප්‍රාන්ත සිරගෙදරට යොමු කරයි.

එම පැමිණීමේ දර්ශනයම ප්‍රේක්ෂකයා තුළ එම සිරගෙදර සම්බන්ධයෙන් අපූරු සිතුවමක් සපයි. එහි සිටින සිරකරුවන්ගේ එක් ජාවාරමක් වන්නේ දෛනිකව ගෙන එනු ලබන සිරකරුවන් දුරින් නිරීක්ෂණය කරමින් එදින රාත්‍රියේදී කාංසාවෙන් වෙලී සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගේ පහරකෑමට ලක්ව මිය යන්නේ කුමන සිරකරුවාද යන්න අනුමාන කර ඔට්ටු ඇල්ලීමයි. එහිදී ඉතා සෝමාරි පෙනුමකින් යුතු ඇන්ඩි ඩුෆෙන් නිසැකවම මිය යන බවට සිරගෙදර සිටින වඩාත් පලපුරුදු සිරකරුවා මෙන්ම ලොකුම ජාවාරකම්කරුවා වන ෑකකසි ‘ඍැා’‍ ඍැාාසබට (ඵදරට්බ ත්‍රුැප්බ) විසින් ඔට්ටුවට ලක් කිරීමයි. එහෙත් විශ්මිත පරිදි එදින බන්ධනාගාර නිලධාරීන් විසින් මරාදැමීමට ගොදුරු වන්නේ වෙනත් සිරකරුවෙකි. රෙඞ් රෙඩින් ඔට්ටුවන් පරාජයට පත්වේ. ඒ හේතුවෙන්ම රෙඞ් රෙඩින් මේ වෙනස් සෝමාරි මිනිසා ගැන අවධානය යොමු කරනු ලබන අතර ඔහුගේ මිත්‍රයෙක් බව පත්වේ.

බිඳ නොගත් ආත්මවිශ්වාසය

රෙඞ් රෙඩින් වඩාත් ප්‍රකට සිරගෙදර තුළ හොර බඩු ජාවාරම් කරන්නා ලෙසටය. ඔහුගේ මෙම ක්‍රියාව බන්ධනාගාරනිලධාරීන් මැනවින් දන්නා අතර ඔවුහුද තමට සැලසෙන වාසි කෙරෙහි පමණක් අවධානය යොමු කරනු විනා එවැනි ජාවාරම් නැවැත්වීම කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකරති. සෑම සිරකරුවෙකුටම මුහුණදීමට සිදුවන සාමාන්‍ය අතවරවලට ඇන්ඩි ලක්වේ. සමලිංගික චණ්ඩීන් විසින් වරක් ඔහුට මස් වැදැල්ලක් වන තරමට පහර දෙනු ලබයි. බන්ධනාගාර නිලධාරීන්ගේ නොසතුටට හේතුවෙන ක්‍රියා හේතුවෙන් විවධ අඩංතේට්ටම්වලට ලක් වේ. ෂෝෂාන්ක්හි ගත කළ කාලය තුළ ඇන්ඩි ම්ලේච්ඡ පහරදීම් සහ ඔහුගේ ආත්මවිශ්වාසය බිඳ දැමීමට උත්සාහ කිරීම ඇතුළු විවිධ දුෂ්කරතා විඳදරා ගනී. කිසිවකිනුත් සසල නොවන ඇන්ඩි වසර ගණනාවක් ගත වෙද්දීත් සිය නොසැලෙන ගුණය පවත්වා ගෙන යනු ලබන අතර බැංකුකරුවෙක් වශයෙන් ඔහුගේ මූල්‍ය ඥානය බන්ධනාගාර නියාමකයින්ට සපයයි. ඇන්ඩි දූෂිත බන්ධනාගාර නිලධාරීන්ගේ දුර්වලතා මැනවින් හඳුනාගෙන ඒ ඔස්සේ සිය හැසිරීම සකසා ගනී. විශේෂයෙන් දූෂිත භාරකරු සැමුවෙල් නෝර්ටන් (බොබ් ගුන්ටන්) සඳහා ඔහුගේ සහාය හේතුවෙන් සිරකරුවන් අතර ගෞරවනීය චරිතයක් බවට පත්වේ. මූල්‍ය  ප්‍රවීණතාවය නිසා ඔහු බන්ධනාගාර කාර්ය මණ්ඩලයට මුදල් විශුද්ධිකරණය සහ වෙනත් මූල්‍ය කටයුතු සඳහා උපකාර කරයි. සිරකරුවන්ට අධ්‍යාපනය සහ කුසලතා ලබා ගත හැකි බන්ධනාගාර පුස්තකාලයක් නිර්මාණය කිරීමට තමාට අවසර දෙන ලෙස ඔහු බලධාරීන්ට ඒත්තු ගන්වයි.

වසර ගණනාවක් පුරා, ඇන්ඩි ඔහුගේ සෙසු සිරකරුවන් සමඟ ගැඹුරු සම්බන්ධතා ගොඩනඟා ගනී. ඒ අතර ඔහුට එරෙහි චෝදනා එල්ල වූ ඝාතනයේ සැබෑ ඝාතකයා දන්නා අයෙකු සාක්ෂිකරුවෙක් ලෙස ඉදිරිපත් වීමට කැමැත්ත පළ කරයි. ඔහුද එම බන්ධාගාරයට පැමිණෙන රැඳවියකි. ඔහු සත්‍යය දන්නා බව තහවුරු කරගත්, බයිබලය නිතරම අත දරාගෙන සිටින බන්ධනාගාර පාලකයා, ඔහු මං මුලා කොට බන්ධනාගාර සීමාවෙන් ඉවතට යොමු කර පලායාමට තැත් කිරීම වැළැක්වීමට සිදුකළ ඝාතනයක් සේ හැඟී යන පරිදි ඔහු මරා දමයි. ඊට සමාන්තරව ඇන්ඩි ඔහුගේ නිර්දෝෂීභාවය ඔප්පු කළ හැකි සාක්ෂි ගැන ඉගෙන ගනී. ඔහු වසර කිහිපයක් පුරා ප්‍රාන්ත රජයට ලිපි ලියන අතර අවසානයේ ඔහුගේ නඩුව නැවත විභාග කිරීමට ලක් කරයි. මේ අතර, භාරකරු නෝටන්ගේ දූෂිත ක්‍රියාවන් හෙළිදරව් වන අතර, බන්ධනාගාරය තුළ ඇති බල ගතිකත්වය හෙළිදරව් කරන සිදුවීම් මාලාවකට මඟ පාදයි. සිදුවීම්වල උච්ඡතම අවස්ථාවේදී, ඇන්ඩි වසර ගණනාවක් තිස්සේ රහසින් හාරමින් සිටි උමගක් හරහා ෂෝෂාන්ක් සිරගෙදරින් පලා යයි. ඒ සඳහා වන රහස් අනාවරණය නොවීමට ඔහු විසින් යොදා ඇති උපායන් කිසිවෙක් අපේක්ෂා නොකළ ඒවාය.

විමුක්තිය කොතැනද?

මෙම නිර්මාණය වර්තමානයේ අප සිරගතව සිටින බරපතළ වූ සමාජ ක්‍රම අර්බුදයෙන් නිදහස ලබා ගැනීමේදී අපගේ චින්තනය කෙසේ පෙළගැසිය යුතුද යන්න පිළිබඳ ඉඟියක් අප වෙත ලබා දෙයි. අප පීඩාවට පත් කරනු ලබන්නේ ක්‍රමය විසින් නම්, එම ක්‍රමයම වඩා යහපත් එකක් බවට පත්ව අප කරා විමුක්තියක් රැගෙන එනු ලබන බවට අප විශ්වාස කළ යුතු නැත. ඇන්ඩිට දෙනු ලබන්නේ අසාධාරණ දඬුවමක් බවට නිර්මාණකරු අපට ඉඟි කරයි. එම ද්විත්ව ඝාතනය ඇන්ඩි විසින් කළේ හෝ නොකළේ වුවද, ඒ දෙපැත්තටම සාධාරණ හේතු තිබුණු බවට නිර්මාණය අප වෙත හැඟීමක් ප්‍රක්ෂේපණය කරවයි. සිය නිදොස් බව ඔප්පු කිරීමට ඉඩකඩක් නොමැති ක්‍රමයක් තුළ අහඹු ලෙස ක්‍රමය යහපත්ව තමා වෙත විමුක්තිය රැගෙන එනු ඇතැයි විශ්වාස කිරීම වෙනුවට ඇන්ඩි, තමාගේ විමුක්තිය උදාකර ගැනීමට සැලසුම් කරයි. සිය පළමු හමුවේදීම ඔහු රෙඩ් රෙඩින්ගෙන් ඉල්ලීමක් කරයි. එනම් රටේ සුප්‍රසිද්ධ නිළියකගේ විශාල පරිමාණයේ පෝස්ටරයක් තමාට සපයා දෙන ලෙසයි. එම සිද්ධියේ සිට ඔහු රටේ සාමාන්‍ය නීති පද්ධතිය විශ්වාස නොකරන ලද බවත්, සිය විමුක්තිය සලසා ගත යුත්තේ ඉන් පිටත රාමුවකින් බවත් තරයේ සිතට ගෙන සිටි බවක් පෙනේ.

සීමා  බිඳදැමීම

අනෙක් අතට, එම සිරගෙදරින් මිදී පලා යාමේ ඉහළම විභවතාවක් සහිත තැනැත්තා රෙඞ් රෙඩින්ය. එහෙත් ඔහුට නිදහස හෝ විමුක්තිය පිළිබඳ හැඟීමක් නොමැත. ඒ වෙනුවට, ඉතා ආයාසයෙන් ෂෝෂාන්ක් සිපිරිගෙය තුළ කරන අඳුරු ජාවාරම්වලින් උපයන කුඩා ධනයෙන් සෑහීමට පත්වීමට ඔහු හිත හදාගෙන සිටියි. නියත වශයෙන්ම එය ඔහුගේ දැනුමේ සීමාවයි. තරු ලතා පිසගෙන එන පිරිසිදු ඔක්සිජන් සහිත වාතාශ්‍රයක පහස හෝ ලවණ ජලය මතුපිටින් හමා එන වෙරළක සුළඟේ නැවුම් බව සම්බන්ධ හැඟීමක් රෙඞ් රෙඩින්ටන්ට නැත. නිදහස කොතරම් වටනේද යන්න ගැන හෝ එකී වටිනා නිදහස භුක්ති විඳිනුයේ කෙසේද යන්න ගැන හැඟීමක් ඔහුට නැත. රෙඞ්ගේ සීමාකම් පිළිබඳ මනා වැටහීමක සිටි ඇන්ඩි කරනුයේ පළමුව සිය විමුක්තිය ලබා ගැනීමට රෙඞ් රෙඩින්ටන් නොදැනම ඔහුගේ සහාය ලබා ගැනීමයි. අනතුරුව, තමා විඳින නිදහස තමා සමග බෙදා හදා ගැනීමේ අවස්ථාවද ඇන්ඩි ඔහුට ලබා දෙයි. ඇන්ඩි සමග නිදහසේ ගත කරන පළමු නිමේෂය හමුවන තෙක්, නිදහස යනු කුමක්දැයි රෙඞ් දැන සිටියේ නැත. ලොව බොහෝ විමුක්තිකාමීන්ගේ අභියෝගය වී ඇත්තේ නිදහස යනු කුමක්දැයි නොදන්නා මිනිසුන්ගේ සහාය ඔවුන්ට නොදැනෙන සේ ලබාගෙන ඔවුන්ටම නිදහස හා විමුක්තිය උදාකර දීමයි.   

එමෙන්ම, සිරගෙදරින් කුඩා සිදුරක් විවර කරගෙන පලා ගිය පමණින් තමා නිදහස් මිනිසෙකු නොවන බව ඇන්ඩි වටහාගෙන සිටි බව මැනවින් හැඟී යයි. ඒ වෙනුවෙන්, තමා විසින් සිරගතව සිටියදී සකස් කළ පද්ධතියක්, හිරගෙයට එපිටින් පැවැතිය යුතුය. ඇන්ඩි මේ සඳහා යොදා ගන්නේ දූෂිත බන්ධනාගාර නිලධාරීන්ගේ යහපත වෙනුවෙන් බවට හඟවා ඔහු විසින් නිර්මාණය කරන පද්ධතියකි. බන්ධනාගාර නිලධාරීන් රැස් කරන කළු සල්ලි සුදු කිරීමට ඔහු, ඔවුන්ගේම උදව් උපකාර සහිතව මනඃකල්පික මිනිසෙක් නිර්මාණය කරයි. බන්නාගාර නිලධාරීන් දූෂණය කරමින් රැස්කරනු ලබන සියලුම ධනය තැන්පත් කරනුයේ එකී මිනිසා නමින් තැනූ ගිණුමකය. ඇන්ඩි එකී මනඃකල්පිත මිනිසා වෙනුවෙන් සියලු නීත්‍යානුකූල ලේඛන පවා සකස් කරයි. නිදහස් මිනිසෙක් ලෙස ඔහු ඔහුගේ පලායාමෙන් අනතුරුව ඔහු එකී මනඃකල්පිත මිනිසා බවට පත්වේ.

සිය පලායාමට පෙර දූෂිත බන්ධනාගාර නිලධාරීන් පවත්නා නෛතික පද්ධතිය තුළ වින්දිතයින් බවට පත් කිරීමටද ඇන්ඩි කටයුතු කරයි. අප ජීවත්වන සමාජයේ නීති පද්ධතිය එවැන්නකි. එය බැලූ බැල්මට සාධාරණත්වය හා යුක්තිය වෙනුවෙන් පෙනී සිටින නමුත්, සැබෑ ලෙසම යුක්තිය හෝ විමුක්තිය ලබා දෙන්නේ නැත. ඒ වෙනුවට, වරින් වර එම පද්ධතියට අභියෝගයක් වන පිරිසට දඬුවම් කරන නමුත්, අලු‍තින් පැමිණෙන පිරිස් දූෂිතයින් බවට පත්වීම වළක්වාලීමට කිසිවක් කරන්නේ නැත. දූෂිත බන්ධනාගාර නිලධාරීන් දඬුවමට ලක්වෙනු ඇත. එහෙත්, නිසැකවම අලු‍තින් පැමිණෙන්ද දූෂිතයින් බවට පත්වෙනු ඇත. පුද්ගල මාරුවක් හා ක්‍රම වෙනසක් අතර විභේදනය එයයි.

අප වටහා ගත යුත්තේ රටක් වශයෙන් අප මුහුණ පා සිටින්නේද ඇන්ඩි මුහුණ දුන් ආකාරයේ ඉරණමකට බවයි. අපටද සටන් කර ජය ගත යුතු සටනක් ඇත. එම සටන අප පවත්වාගෙන යා යුත්තේද නිසැකවම ජයගත යුත්තේද ඇන්ඩි සටන කරගෙන ගිය සූක්ෂම ආකාරයටම බව ගැඹුරින් අධ්‍යයනය කර තේරුම් ගැනීම නූතන සටන්කාමී පරපුර විසින් බැහැර නොකළ යුතුය.

– නියමුවා (2024 පෙබරවාරි)

මිනිසෙකු සිරගත කළ හැක්කේ සිය කැමැත්තෙන්ම සිරගත වුවහොත් පමණකි