තත්වයන් අබිබැවූ මිනිසෙකු අවැසිය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

එකවරම පතිත වන ව්‍යසනයක දී ඇතිවන කම්පනයට වඩා දිගුකාලීනව, ක්‍රමයෙන් පැන නැඟී, අපට රහසේම ව්‍යප්තව අප මත පතිත වන ව්‍යසනයන් මඟින් ඇත් කරන කම්පනය ප්‍රබලය. සුනාමි තත්වයක් හෝ ගංවතුරක් හෝ සුළි කණාටුවක් හෝ ටෝර්නාඩෝ තත්වයක් හෝ ලැව් ගින්නක් කරනු ලබන විනාශය අනපේක්ෂිත හා භයංකර වුවද, එය පහව යන කාලය සම්බන්ධයෙන් මිනිසාට හැඟීමක් පවතී. වර්තමානයේ විද්‍යාව විසින් දියුණු කරන ලද තාක්ෂණය මේ සම්බන්ධයෙන් නිවැරදිතාවට ආසන්න පුරෝකථනයන් කරනු ලබයි. එසේ නොවූවද මානව ඉතිහාසයේ පරම්පරා ගණනාවක මිනිසුන් ස්වභාවධර්මය සමග කරන ලද නොබිඳුණු ගනුදෙනුවේ ප්‍රතිඵලයක් ලෙස ඒ සම්බන්ධ හැඟීමක් මිනිසාට ඇත.

එහෙත්, රටක් බංකොලොත් කිරීම වැනි අදූරදර්ශී, අකාර්යක්ෂම, මිනිසුන් ගැන සිතනවා වෙනුවට බලය පවත්වාගෙන යාමත්, ධනය රැස්කිරීමත් ගැන පමණක් සිතන පාලකයින් විසින් හිතාමතාම නිර්මාණය කළ ව්‍යසනයකදී ඇති කරනු ලබන කම්පනයෙන් මිඳීම පහසු නැත. ඊට හේතුව, එකී ව්‍යසනයන් ආරම්භව බොහෝ කාලයක් ගතවන තෙක් එකී දුෂ්ට පාලකයින් විසින්ම එහි බරපතළකම සඟවා තබනු ලබන බැවිනි. එකී ව්‍යසනයක් මිනිසා මත පතිත වන්නේ පාලකයාට එය තවදුරටත් සිය පාලනයේ තබා ගත නොහැකි අන්දමට බරපතළ වූ අවස්ථාවේදී වන අතර එමඟින් ප්‍රජාව මත ඇති කරනු ලබන බලපෑමද අතිශය දරුණු හා කටුක වේ. වඩාත් වේදනාකාරී වන්නේ එවන් ව්‍යසනයන් පහව යන දවසක් ගැන නිවැරදි පුරෝකථනයක් කිරීමට හෝ කර ගැනීමට කිසිවෙක් අසමත් වීමයි. එවැනි පරිසරයක් තුළ මිනිසා කොතරම් අසරණභාවයට පත්වන්නේද කිවහොත්, තමා බරපතල ව්‍යසනයකට මුහුන දී සිටින්නේ වුවද, තමා ඉන් මිදීමට යමක් කළ යුතු බව හොඳින්ම දන්නේ වුවද කිසිවක් කර කියාගත නොහැකි අන්දමේ අසරණකමකට හෝ අවසඟභාවයකට මිනිසා පත්වේ.

වර්තමානයේ අප රටක් වශයෙන් මුහුණදී සිටින්නේ එවැනි ඛේදවාචකයකටය. අප මිනිස් සමූහයක් ලෙස හැසිරෙමින් සිටින්නේ එවැනි අසරණකමකින් අවසඟවය. එහෙත්, මෙවැනි, අතිශය තීරණාත්මක අවස්ථාවක වුව සිය චිත්ත එකාග්ර තාව සිඳ බිඳ නොගෙන, සිය අරමුණ වෙනුවෙන් කැපවෙන මිනිස්සු සිටිති. සමාජය ඔවුහු වීරයෝ ලෙස හඳුන්වති. කලා ලෝකයේ බොහෝ නිර්මාණ මෙකී වීරයින් වටා නිර්මාණය වී ඇති අතර තමාට කිසිසේත්ම මිදී පලා යා නොහැකි උගුලක සිරගතව අසරණව ඇතැයි සිතෙන මොහොතක, ඊට එරෙහිව අභීතව සටන් කරන මිනිසුන් වටා නිර්මාණය වූ නිර්මාණ පිළිබඳව සාකච්ඡා කිරීමට මෙය ඉතාමත් උචිත කාලයක් යැයි සිතමු. 

මිනිසා භාෂාව සොයා ගන්නටත් පෙර සිටම, මිනිසා හා තදින් බැඳුනු වචන දෙකක් ඇත. ඒවා වචන ලෙස හඳුන්වනු ලබන්නේ වුවද, ඇත්ත වශයන්ම ඒවා තත්වයන් ලෙස පෙන්වා දිය හැකිය. එනම් අභියෝග හා බාධකයන්ය. අභියෝග සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා හමුවන අතර බාධකයන් යනු තමාට තවදුරටත් අබිබවා යා නොහැකි බවට හැඟී යන ඒවාය. මිනිසුන් තිරිසන් සතුනට සමානව සිටි යුගයේ මුහුණදී අබිබවනය කරන ලද්දේ අභියෝග පමණකි. එය සියලු ජීවී ලෝකයට සමාන තත්වයකි. එම යුගයේ බාධකයක් හමුවූ විට අනෙක් සියලුම සතුන්ට මෙන්ම මිනිසාටද හිමිවූයේ විකල්පයන් දෙකකි. එනම්, එක්කෝ එම බාධකය හමුවේම සිට ජීවිතය අහිමි කර ගැනීමය. නොඑසේ නම්, ජීවිතය ගලවා ගැනීමට ඉන් පලා යාම පමණකි. ස්වභාවධර්මය විසින් පොදුවේ කිසිම සත්වයෙකුට මේ විකල්ප හැර යමක් ඉතිරි කළේ නම්, ඒ ඉතාම කලාකුරකින් ඉටුවන අහඹු සිදුවීමක් වශයෙන් පමණකි.

මිනිසා ශිෂ්ටාචාරය ගොඩනැංවීමෙන් අනතුරුව මේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය. ශිෂ්ට මිනිසා සත්වයන්ගෙන් වෙන් කෙරෙන ප්‍රධාන සාධකයක් වූයේ බාධකයක් හමුවූ විට එය අභියෝගයක් ලෙස බාර ගැනීම හා එම බාධකය අබිබවනය කිරීමයි. මෙසේ මිනිසුන් කළ බාධක අබිබවනය පසුව දැනුම ඔස්සේ පරම්පරාවකින් තවත් පරම්පරාවක් වෙත ගෙනයමින් ඒවා තවදුරටක් බාධක නොවන තත්වයකට පත් කර ඇත. මිනිසා සන්නිවේදනයේ පෙරළිකාරයා බවට පත්කළ භාෂාව නිපදවා ගැනීම මෙන්ම එකී භාෂාව තමාගෙන් මතු පරපුර වෙනුවෙන්ද ඉතිරි කිරීමට හැකිවන පරිදි ගබඩා කර තැබීමට හැකි ලිඛිත භාෂාවක් ගොඩ නැංවීම මීට උදාහරණ වශයෙන් පෙන්වා දිය හැකිය. පසුකාලීනව වඩවඩාත් ශිෂ්ටත්වයට පත්වූ මිනිසා එම භාෂාවම සංස්කෘතිය හා සෞන්දර්යය නිර්මාණය කිරීමට යොදාගැනීම විශේෂ කරුණක් විය.   

මිනිසා බාධක අබිබවා යාමට සමත්වුයේ ශිෂ්ටාචාරවත්වීමට සමාන්තරව වූවාක් මෙන්ම මිනිසාට වඩ වඩාත් බාධක නිර්මාණය කරන ලද්දේද ශිෂ්ටාචාරය විසින්මය. ඊට හේතුව ශිෂ්ට මිනිසාගේ අවශ්‍යතා ක්‍රමයෙන් සංකීර්ණ වීමත්, ඒ සංකීර්ණත්වය හේතුවෙන්ම මිනිසුන් වඩ වඩාත් පෞද්ගලිකත්වය කරා යොමුවීමත්ය. ඊට පසුබිම් වූ අර්ථික කරුණු පිළිබඳව යම් පමණකින් මතක් කරනවා හැර මෙම ලිපිය ඒ සම්බන්ධයෙන් ගැඹුරු විග්‍රහයකට නොයයි. කෙසේ වෙතත්, ශිෂ්ට මිනිසාට වඩා වඩාත් බාධක පැන නඟන බවත්, එම බාධක කෙරෙහි අවශ්‍යතා පදනම් වන බවත්, එම අවශ්‍යතා හේතුවෙන් විවිධ පාර්ශවයන් අතර ගැටුම් හටගන්නා බවත්, මේ ගැටුම් හේතුවෙන් මිනිසා විසින්ම මිනිසාට බාධක නිර්මාණය කරමින් පවතින බවත් සරලව වටහා ගැනීම මෙම සාකච්ඡාවට ප්‍රමාණවත්ය.

ලෝකයේ කලාව හා සාහිත්‍යය කෙරෙහි මේ කරුණ තදින් බලපා ඇත. සාහිත්‍යයේ ආදිතම නිර්මාණයන් වන ග්‍රීක වීර කාව්‍ය  තුළ මිනිසාට එරෙහිව දෙවියන් විසින් නිර්මාණය කරන බාධක විදහා දක්වයි. ග්‍රීක වීර කාව්‍යවල විශේෂත්වය වන්නේ එකී බාධක හමුවේ මිනිසා පරාජයට පත්වීම උත්කර්ෂයට නැඟීමයි. ඊට වෙනස් මඟක යමින් ඉන්දියානු සම්භාව්‍ය සාහිත්‍යයේ බාධක හමුවේ ධෛර්යමත්ව සටන් වැද ජයග්‍රහණය ලබා ගන්නා වීරයෙක් නිර්මාණය කර ඇත. මහාභාරතයේ එක බොහෝ කතාන්තර මෙන්ම කාලිදාසගේ කෘති, වාල්මිකීගේ රාමායණය වැනි කෘති තුළ දුෂ්ටත්වය විසින් නිර්මාණය කරන බාධක අප්‍රතිහත ධෛර්යයෙන් සටන්වැද ජයගන්නා වීරයින් පිළිබදව කියවේ. එමෙන්ම, මැදපෙරදිග කලාපයෙන් ලොවට දායාද කළ අග්‍රගණ්‍ය සාහිත්‍ය නිර්මාණයක් වන අරාබි නිසොල්ලාසය හෙවත් එක්දහස් එක් රැය කෘතියද සමස්තයක් ලෙස රජකෙනෙකුගේ දුෂ්ටකමට එරෙහිව සටන්කර ජය ගන්නා ප්‍රඥාවන්ත රජ කුමරියක් ගැන කියවෙන්නෙකි. තවද, පෙරපර දෙදිග ජන සාහිත්‍යය තුළද බාධා හමුවේ බියවී පලා යනවා වෙනුවට ඊට එරෙහිව සටන්වැද ජයගන්නා මිනිසුන් පිළිබඳව සඳහන් වේ.

ඓතිහාසික සහිත්‍යයෙන් නූතන යුග වෙත පියමං කරද්දී මෙම මූලික තේමාව වඩ වඩාත් සෞන්දර්යාත්මකව උත්කර්ෂයට නංවා ඇති බව පෙනේ. නූතන නවකතා-කෙටිකතා ඇතුළු ප්‍රබන්ධ සාහිත්‍යයේ ආදිතම කෘති ලෙස සැලකෙන ඩැනියෙල් ඩෙෆෝගේ රොබින්සන් ක්‍රෑසෝ, චාල්ස් ඩිකන්ස්ගේ ඔලිවර් ට්විස්ට්, ඇලෙක්සැන්ඩර් ඩූමාගේ අතිශය ජනප්‍රිය ප්‍රබන්ධය වන සිටුවර මොන්ත ක්‍රිස්තෝ මෙන්ම වික්ටර් හියුගෝගේ ලෙ මිසරාබ්ලෙ (මනුතාපය) වැනි කෘති බොහෝ මිනිසුන් ඉරණම ලෙස පිළිගෙන පරාජයට යටත්වන බාධකයන්ට එරෙහිව අභීතව සටන්වැද මිනිසා විසින් ජයග්‍රහණය ලබා ගැනීම පිළිබඳව කියවේ. මේ අතරින් වික්ටර් හියුගෝගේ මනුතාපය කෘතිය විශේෂිතය. 

වික්ටර් හියුගෝගේ ලෙ මිසරාබ්ලෙහි කේන්ද්‍රීය පණිවිඩය යුක්තිය, ආදරය, මිදීම සහ වෙනස් කිරීම සඳහා මානව හැකියාව යන තේමාවන්ගෙන් යුක්ත වේ. මෙම නවකතාව 19වැනි සියවසේ ප්‍රංශයේ පැවැති මානවයාට එරෙහි පංති සමාජය හමුවේ විවිධ චරිතවල හැසිරීම ගැඹුරින් නිරීක්ෂණය කරන කෘතියක් ලෙස පෙන්වා දිය හැකිය. එහි එන විවිධ චරිත ඇසුරින් පුළුල් පරාසයක සමාජ, දේශපාලන සහ සදාචාරාත්මක කරුණු අණාවරණය කිරීමට කතුවරයා සමත් වෙයි. මෙහි තේමාවන් රැසක් පවතී. එක් ප්‍රබල තේමාවක් වන්නේ මිදීම සහ සමාව දීමයි. මිදීමේ හැකියාව සහ සමාව දීමේ පරිවර්තනීය බලය හේතුවෙන් සමාජයෙන් නෙරපනු ලැබූ Jean Valjean  (ජනවර්ජන) පුද්ගලිකව වෙනස්කම්වලට භාජනය වන අතර ඔවුන්ගේ අතීත ක්‍රියාවනගෙන් මිදීමට එය මහෝපකාරී වෙයි. එහෙත්, මිනිසා තුළ යහපත නිර්මාණය වීමට එරෙහිව යළි යළිත් නැගී සිටින අධිපති නීතිය හා සමාජ අසාධාරණය විසින් ජනවර්ජන නැවත නැවතත් අගතියට ඇද දමනු ලබයි. මෙම නවකතාව එවකට පැවති සමාජ හා ආර්ථික අසමානතාවයන්, විශේෂයෙන් දුප්පතුන්ට සහ ආන්තිකයින්ට සැලකීම විවේචනය කරයි. හියුගෝ එමගින් දරිද්‍රතාවය, අයුක්තිය සහ දරුණු දණ්ඩන ක්‍රමය පුද්ගලයන්ට ඇති කරන බලපෑම තියුණුව ගවේෂණය කරයි.

සමාජ අසාධාරණයට එරෙහිව හියුගෝ යෝජනා කරනු ලබන විකල්පය වන්නේ ආදරය සහ දයානුකම්පාව පැතිරවීමයි. මෙම ආදරයේ සහ දයාවේ බලය මනුතාපයේ දක්නට ලැබෙන අපූරු පුනරාවර්තන මෝස්තරයකි. Jean Valjean සහ Bishop Myriel වැනි චරිත කොන්දේසි විරහිත ආදරය සහ

ත්‍යාගශීලීත්වය විසින් සෙසු චරිත කෙරෙහි ඇති කරන ධනාත්මක බලපෑම ආකර්ෂණීයය. එහෙත්, එක් පුද්ගලයෙකු යහපත්වීමෙන් සමාජය යහපත් නොවන බව එක් තීරණාත්මක නිමේෂයක දී වටහා ගන්න ජනවර්ජන සිය ප්‍රතිපත්ති පාවා නොදී ඊට එරෙහිව සටන් කිරීම තෝරා ගනියි. තමා ආදරය කරන වස්තුව (පැන්තිනාගේ දියණිය) වෙනුවෙන් සමාජ අරගලයකට මැදිහත්වන ජනවර්ජන එහිදී තමාගේ පරම සතුරාට සමාව දී සිය විශිෂ්ට මානව ගතිගුණ සපථ කරයි. එය එසේම විය යුතුය. ශ්‍රේෂ්ට මිනිසුන් කිසිවිට ක්‍රමය විසින් හසුරුවන මිනිසුන්ගේ දුෂ්ටකම්වලට එරෙහි පෞද්ගලික වෛරයක් නොදරන අතර වෙනස් කළ යුතු සැබෑ යථාර්ථය වන ක්‍රමය වෙනස් කිරීම කෙරෙහි පමණක් විශ්වාසය තබයි. මෙම නවකතාව පුද්ගලයාගේ සදාචාරාත්මක හෘදය සාක්ෂිය සහ සමාජ අපේක්ෂාවන් අතර ආතතිය පරීක්ෂාවට ලක්කරයි. පුද්ගල ආචාර ධර්ම සහ දෘඩ සමාජ ව්‍යුහයක් විසින් පනවා ඇති සීමාවන් අතර ගැටුම සමඟ චරිත බොහෝ විට පොරබදනු ලබයි. එහිදී හියුගෝ විසින් යුක්තිය හඹා යාමේ විශ්වාසය සහ සාධාරණ සමාජයක් සාක්ෂාත් කර ගැනීමේදී මානව දයාවේ වැදගත්කම නැවත නැවතත් පිළිබිඹු කරයි. නවකතාව තුළ අධිපති නීති පද්ධතියේ සඵලතාවය ප්‍රශ්න කරනු ලබන අතර, සැබෑ යුක්තිය පසිඳලීමේදී මානව දයාවේ කාර්යභාරය තදින් අවධාරණය කරයි.

වීරයින් බිහිකරනු ලබන්නේ අතිශය දුෂ්කර අවස්ථාවන්ට ප්‍රායෝගිකව මුහුණ දීමේදී දක්වන සමත්කම නැවත නැවතත් පරීක්ෂාවට ලක්කිරීම තුළිනි. මෙම නවකතාවේ චරිත මුහුණ දෙන දුෂ්කරතා නොතකා, නවකතාව මිනිස් ආත්මයේ ඔරොත්තු දීමේ හැකියාව අපගේ අවධානයට යොමු කරවයි. ධනාත්මක වෙනස්කම් සඳහා ශක්තිය, ධෛර්යය සහ හැකියාව පෙන්නුම් කරමින් පුද්ගලයන්ට ඔවුන්ගේ තත්වයන්ට වඩා නැඟී සිටිය හැකි බව එයින් යෝජනා කරයි. මනුතාපය යනු දශක ගණනාවක් පුරා දිවෙන ආඛ්‍යානයක මෙම තේමා එකට ගෙතී ඇති පොහොසත් සහ බහුවිධ ප්‍රබන්ධයකි.

තත්වයන් අබිබැවූ මිනිසෙකු අවැසිය