සංස්කෘතික මිනිසෙකු බිහිකර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ දේශපාලන තලයෙහි කතිකාවක් ඇතිවී තිබීම ඉතා අර්ථවත් වර්ධනයකි. සමාජ පරිවර්තනය පිළිබඳ කතිකාවලදී ආර්ථික – දේශපාලන කාරකයෙකු කේන්ද්‍ර කර ගැනීම නිතර සිදුවන දෙයකි. එය අවශ්‍ය බව ඇත්තකි. එහෙත් එහිදී සිදුවන්නේ ‘සංස්කෘතික’ යන විශේෂණයෙන් හැඳින්විය හැකි බොහෝ වැදගත් අංග ලක්ෂණ නොසලකා හැරීමයි. ආර්ථික – දේශපාලන කාරකයා වටා සංස්කෘතිකවත්භාවය නිරායාසයෙන් පැන නැග එන බවක් විශ්වාස කරන්නාක් මෙනි. දැන් දැන් විපර්යකාරක සමාජ අරගලවලදී සංස්කෘතිකවත්භාවය පිළිබඳ මානයද ඉදිරියට එන බව පෙනේ.
සංස්කෘතිකවත්භාවය ඉතා ප්‍රභූවාදී අර්ථ දැනවිය හැකි බැවින් විචාරශීලීව භාවිත කළ යුතුය. සාමාන්‍යයෙන් “Cultured” ඉංග්‍රීසි වචනයෙන් හැඳින්වෙන්නේ දැන උගත්, ‘ඉහළ සංස්කෘතික අංග අත්පත් කරගත්’ වැනි අදහසකි. එනම් අදාළ සමාජයෙහි ප්‍රභූ ස්ථරය විසින් සාධු සම්මත කරන ලද සංස්කෘතික අංග අත්පත් කරගත් අය සංස්කෘතිකවත් අය යැයි සැලකේ. සංස්කෘතිය පිළිබඳ වාම කතිකාව වර්ධනය කළ රේමන්ඞ් විලියම්ස් වැනි අය ‘සංස්කෘතිය’ යන්න හුදෙක් බූෂුවා උරුමයක් නොවන බව පෙන්වා දුන්හ. නිර්-ප්‍රභූ මනුෂ්‍ය අවකාශවල ඇති සංස්කෘතික ජයග්‍රහණ ගැනද ඔවුහු අවධානය යොමු කළහ.
සංස්කෘතිකවත්භාවය පිළිබඳ කවර තරම් ගැටලු තිබුණත් එම සංකල්පය අදාළ සමාජවල පවත්නා ප්‍රභූ කතිකාවෙන් නිදහස් කරගෙන සමාජ පරිවර්තන කාර්ය සඳහා භාවිත කළ හැකිය. අද වන විට අන්තර්ජාලය වැනි තාක්ෂණික ජයග්‍රහණ නිසා උසස් කලාව වැනි සංස්කෘතික සම්පත් සාපේක්ෂ ප්‍රජාතන්ත්‍රකරණයට ලක්වී තිබේ. සාමාන්‍යයෙන් බූෂුවා උරුමයක්ව පැවති සම්භාව්‍ය පරම සංගීතය පවා තනිව හදාරන්නට අවශ්‍ය සම්පත් පහසුවෙන් අත්පත් කරගත හැකිය. ලෝකයේ ඕනෑම විශිෂ්ට සිනමා කෘතියක් වෙත ප්‍රවේශ වීමේ හැකියාව තිබේ. මිලාධික ඔපෙරා ශාලාවකට ගොස් ඔපෙරාවක් නැරඹීමේ අවස්ථාව නැති වුවත් ඔපෙරාව යනු උත්කර්ෂයට නංවන ලද බූෂුවා සංකේතයක් වීම වැළැක්විය හැකි මට්ටමට එවන් සංස්කෘතික සම්පත් පහසුවෙන් ළඟා කරගත හැකි තත්වයක් පවතී.
සංස්කෘතිකවත්භාවය හෝ සංස්කෘතික මිනිසා වැනි සංකල්ප මානව විමුක්ති අරගල සහ සමාජ පරිවර්තන කාර්යවලදී ප්‍රයෝජනවත් වන ආකාර කිහිපයක් ඇත. සංස්කෘතිකවත් මිනිසා යනු වෙනස් කරන ලද මිනිසෙකි. ‘සංස්කෘතිය’ යන සංකල්පය තුළ වෙනස් කිරීම සහ වගා කිරීම යන අර්ථ පවතී. මනුෂ්‍යයාගේ බාහිර සේම අභ්‍යන්තරයද වගා කළ හැකිය; පර්වර්තනය කළ හැකිය. ‘ස්වභාවික මිනිසා’ එපරිද්දෙන්ම සිටින සමාජයක් පරිවර්තනය කරන්නේ කෙසේද? සමාජ පරිවර්තනය කළ හැක්කේ තමාද සමග තම පරිසරය වෙනස් කළ හැකි යැයි සිතෙන මිනිසෙකුටය. සරල නිදර්ශනයක් ගනිමු. හොඳ සිනමා පටයක් සොයාගෙන නරඹන්නට හෝ හොඳ පොතක් සොයා ගෙන කියවන්නට තැත් කරන ස්ත්‍රී පුරුෂයෝ සමාජයෙහි සිටිති. ඔවුන් එමගින් කරන්නට තැත් කරන්නේ කුමක්ද?
ලිංගිකත්වය හෝ ආහාර වැනි අවශ්‍යතා වෙනුවෙන් හෝ යමක් ඉපැයීමේ ආර්ථික අවශ්‍යතා හෝ පසෙක තබා රස වින්දනය සොයන්නට තැත් කිරීමකි. සිනමාව, සාහිත්‍යය වැනි සංස්කෘතික වස්තුවක් හඹා යන අවස්ථාවේදී මිනිසා සිය පැවැත්ම පිළිබඳ උපයෝගීතා අවශ්‍යතා මොහොතකට පසෙකට තබයි. ඒ ප්‍රයත්නයේදී ඔහු හෝ ඇය ‘ප්‍රායෝගික මිනිසෙකු’ හෝ ‘ආර්ථික මිනිසෙකු’ නොවී සංස්කෘතික මිනිසෙක් වේ. මෙම නැඹුරුව සමාජ පරිවර්තනයේදී අවශ්‍ය වන ආරම්භක කොන්දේසියකි.
මෙම කරුණ සරල අත්දැකීමක් ඇසුරෙන් පැහැදිලි කරන්නට මට ඉඩ දෙන්න. මා ගැටවර විය ගත කළ කාලයේ පොතපත කියවමින්, සිනමාපට නරඹමින් අපේ ගමෙහි ගැවසුණු තරුණ අය සිටියහ. රුසියානු, ප්‍රංශ සාහිත්‍යය ආදී කලා ගැන මගේ අවබෝධය වර්ධනය කිරීමට ඒ අය බෙහෙවින් දායක වූහ. අද ඒ ගම්වල ඒ තරුණයා හෝ තරුණිය නොසිටියි. ඒ අය නිදහස් වෙළඳ කලාපයේ හෝ ආසන්නම නගරයේ සුපිරි වෙළඳසැලක හෝ සේවකයන් බවට පත්වී සිටිති. ඔවුහු ආර්ථික මිනිසුන් හෝ ප්‍රායෝගික මිනිසුන් බවට පත්වී සිටිති. ඔවුන් නැවතත් විපර්යකාරකයන් බවට පත් කළ හැක්කේ ඔවුන්ගේ ජීවිතවල ආර්ථික මානය තිබියෙදීම පවා සංස්කෘතික මානය වර්ධනය කිරීමෙනි. මිනිස් ජීවිතයෙහි ප්‍රායෝගික මානය අත්හැර දමා කලාව වෙනුවෙන් රස්තියාදු වන අය බවට පත්කිරීම වර්ධනයක් නොවේ. හුදෙක් ආර්ථික යන්ත්‍රයෙහි ඇණ මුරුච්චි බවට ඌණනය නොවී සංස්කෘතිවත් ජීවිතයක් වෙනුවෙන් අරගල කරන තැනට ඔවුන් පත්කිරීම සමාජ පරිවර්තනයෙහි ආරම්භක පියවරකි.
‘සංස්කෘතිය’ යන්න ඉතා ගතානුගතික වූද, සංරක්ෂණවාදී වූද, දෘෂ්ටිවාදී කඳවුරු විසින් ග්‍රහණයට ගනු ලැබිය හැකි සංකල්පයක්ද වේ. සංස්කෘතිය යන්න ආරක්ෂා කරගත යුතු යමක් සේ එවැනි කඳවුරුවල විශ්වාස කෙරේ. එහෙත් එම සංකල්පය සමාජ පරිණාමීය සංකල්පයක් සේ භාවිත කරන අය සංස්කෘතිය යන්න වටහා ූගන්නේ අලුතින් සැකසිය යුතු දෙයක් ලෙසය. අපට අහවල් සංස්කෘතික උරුමය ඇති නිසා අප ශ්‍රේෂ්ඨ යැයි සිතන අය වෙති. එහෙත් හුදෙක් යම් සංස්කෘතික අංගයක් උරුම වන නිසාම යම් පිරිසක් ශ්‍රේෂ්ඨ වන්නේ කෙසේදැයි ඇසීමද සංස්කෘතිකමය කාරණයකි. සමාජය වඩා සාධාරණ වූද, යුක්තිගරුක වූද ලෙසට පරිවර්තනය කළ හැක්කේ තමන්ගෙන්ම එසේ ඇසීමේ ශක්තිය ඇති පිරිසකටය. ඇතැම් ජන පිරිස් තම ‘සංස්කෘතික උරුමය’ ලෙස ගෙන හැර දක්වන බොහෝ දේ හුදෙක් ඒ පිරිස පමණක් කළ නිර්මාණයක්ද? වෙනත් කණ්ඩායම් ඒ සංස්කෘතික උරුමය ගොඩනඟන්නට දායක වී නැද්ද?
මෙම ප්‍රශ්නය වඩාත්ම ගැටලු සහගත ලෙස පැන නගින්නේ ජාතික රාජ්‍යයක හෝ එක් ජාතික භාෂාවක සීමාවේ සිට සංස්කෘතිය යන්න වටහා ගන්නා විටය. සිංහල සංස්කෘතිය යන්න මොහොතකට ගනිමු. එය ලංකාව නමැති ජාතික රාජ්‍ය අවකාශය හෝ සිංහල භාෂාව නමැති වාග්මය අවකාශය තුළ වටහා ගැනීමට තැත් කිරීම ඉතා මෑත කාලීන දෙයකි. අප සිංහල සංස්කෘතිය යැයි හඳුන්වන දේ නිර්මාණය කරන්නට මේ ජාතික රාජ්‍යයෙන් සහ සිංහල භාෂා සීමාවෙන් පිට බොහෝ සංස්කෘතීන් දායක වී ඇත. නිදර්ශනයක් ලෙස සිංහල සාහිත්‍යය ගන්න. සීගිරි ගීයේ සිට නිදහස් පද්‍ය ඔස්සේ නූතන හයිකු කවිය දක්වා සිංහල සාහිත්‍ය නිර්මාණය කරන්නට සංස්කෘත, දෙමළ, ඉංග්‍රීසි, ජපන් සංස්කෘතින් දායක වී තිබේ. එංගලන්තයේ ඉංග්‍රීසි නමින් හැඳින්වෙන සංස්කෘතිය නිර්මාණය කිරීමට ජර්මානු, ප්‍රංශ, ස්කැන්ඩිනේවියානු ආදී බොහෝ සංස්කෘතීන් දායක වී ඇත. මෙය ඕනෑම ජාතික භාෂා සංස්කෘතියක් සම්බන්ධයෙන් අදාළය. “කිසිම සංස්කෘතියකට මානව ජීවිතයෙහි සුපිෂ්පිත වීමට අවශ්‍ය සියලු දේ තනිව නිර්මාණය කරගත නොහැකිය” යනුවෙන් ගුරුදේව තාගෝර් වරක් කීවේය. එය ඇත්තකි. මානව ජීවිතය අර්ථසම්පන්න ලෙස ඵල දරා පොහොණී කර ගැනීමට අවශ්‍ය සියලු දේ තනි සංස්කෘතියක් තුළ පමණක් නිර්මාණය කළ හැකි යැයි සිතීම මුළාවකි.
එසේ සිතීම මානව විමුක්තියටද එරෙහිව සිටියි. සියලු මිනිසුන් නිදහස කරා මෙහෙය වන අරගල කළ හැක්කේ පොදු මානව නිදහස වෙනුවෙන් බොහෝ අයට දායක විය හැකි යැයි විශ්වාස කරන අයටය. සංස්කෘතික මිනිසා යනු එවන් පොදු මානව නිදහස වෙනුවෙන් අරගල කරන්නෙකි.
සංස්කෘතික මිනිසා යනු ප්‍රභූ සංස්කෘතික උරුමයක් කර පින්නාගෙන අවශේෂ මනුෂ්‍යයන් වෙතින් ඉහළට එසවී වැජඹෙන්නෙකු නොවේ. නියම සංස්කෘතික මිනිසා අනෙක් මනුෂ්‍යයාගේ ජීවන යථාර්ථ වෙත සහවේදනීය සහ සහකම්පනීය ලෙස ළං විය හැකි කෙනෙකි. සමාජ වෙනස් කිරීමෙහි කාරකයෙකු විය හැක්කේ එවැන්නෙකුටය.
‘සංස්කෘතිය’ යන සංකල්පය ආගම සමග සම්බන්ධ කර ආගමික අර්ථයකින් වටහා ගැනීම දැකිය හැකිය. ආගමද සංස්කෘතියෙහි කොටසකි. එහෙත් සංස්කෘතිය යනු ආගම පමණක් නොවේ. මනුෂ්‍ය සහෝදරත්වය, සමාජ සාධාරණය, යුක්තිය ආදිය පිළිබඳ ලෞකික කතිකාවද සංස්කෘතික මිනිසාගේ සැකැස්මේ කොටසකි. සංස්කෘතිකවත්භාවය පිළිබඳ අදහස හැකි තරම් ප්‍රසාරණය කිරීම පොදු මානව විමුක්ති අරගලයෙහි කොටසක් වන්නේ එහෙයිනි. ඒ අර්ථයෙන් ගත් කල විචාර බුද්ධිය, තාර්කික චින්තනය, භාවමය ධාරිතාවෙහි වර්ධනය, රසවින්දන ශක්තිය, රසඥතාවය ආදී ලෞකික අදහස් සියල්ලම සංස්කෘතික මිනිසාගේ ජීවිතයෙහි කොටසකි. එසේම සංස්කෘතිකවත් මිනිසා තමාම පිළිබඳ විචාරාත්මක ආත්ම පරික්ෂාවෙහි පුහුණුව ඇති කෙනෙකි. අනෙක් මිනිසා පිළිබඳ පරීක්ෂාව පමණක් කරන්නා එක්තරා ගැඹුරු අර්ථයකින් අසංස්කෘතික කෙනෙකි. තමා වසන ලෝකය පිළිබඳ විචාරාත්මක පරීක්ෂාව තුළට තමාද ඇතුළත් කර ගැනීමේ හැකියාව ඇති තැනැත්තාට ඵලදායක සමාජ පරිවර්තකයෙකු වන්නට පුළුවන.
මනුෂ්‍ය ජීවිතයෙහි නෛසර්ගික අගය වටහාගෙන, එවන් මනුෂ්‍ය ජීවිතයක් වඩා හොඳින් ඵල දරන සේ පොහොණී කරන සමාජ-ආර්ථික ව්‍යුහ නිර්මාණය කිරීමෙහිලා දායක විය හැක්කේ ඒ අරගලය අතරතුරම පවා සංස්කෘතික මිනිසෙකු ලෙස ක්‍රියා කළ හැකි කෙනෙකුටය.
මෙම කෘතියෙහි සංග්‍රහ වන ලිපි මාලාව ලංකාවේ පළමු වරට මෙන් සංස්කෘතික විචාර දේශපාලන අරගලයෙහි කොටසක් බවට පත් කරයි. ඒ නිසා මෙම කෘතිය නිසා ඇති වන කතිකාව අපගේ විමුක්ති අරගලයෙහි අත්‍යවශ්‍ය පියවරකි. සංස්කෘතිකවත්භාවය යනු ගමන අගදී ගමනාන්තයකට එළඹි පසු අත්පත් කරගන්නා දෙයක් නොව ගමන යන අතරතුරුම පිරිපහදු වෙමින්, හැඩගැසෙමින් වැඩෙන්නකි. මෙම ලිපි ඒවා ලියූ රචකයන්ගේත්, ඒවා කියවන අයගේත් විඥානයෙහි ප්‍රසාරණය ගමන අවසානයෙහි නොව ගමන යන අතරතුරම ඇති කරන්නට ප්‍රයත්න දරයි. එය ඉතා සුබ ලකුණකි. එය නැවුම් ලකුණක්ද වේ. මෙහි ලිපි ලියන සියලු දෙනාම පාහේ නව ලංකාවක් ගොඩනගන්නට තැත් කරන සංස්කෘතික මිනිසුන් වන අතර ඒ ප්‍රයත්නය අතරම සංස්කෘතිකවත්භාවය අත්පත් කරගන්නට තැත් කරන තරුණ පිරිසකි. ඇතැම් නව න්‍යායික සංකල්ප වැඩෙහි යොදවන්නට මේ තරුණ චින්තකයන් මැදිහත් වන ආකාරය අනාගතය ගැන අපේක්ෂා දල්වයි.
– ලියනගේ අමරකීර්ති
සංස්කෘතික ජීවිතයක් / සමාජ පරිවර්තනීය සංවාද 2019