ලෝකය විවිධත්වයේ ඒකත්වයක් ලෙස

SHARE

සමස්ත ප්‍රකෘතියත් එහි සිදුවන සිදුවීම් හා ක්‍රියාකාරකමුත් නිවැරදිව වටහා ගැනීමට අත්‍යාවශ්‍ය වන අධ්‍යයනයේ පොදු ආකාර 6ක් ගැන මාක්ස්වාදය උගන්වයි. ඒවා මෙසේය,

  1. විශ්වීයත්වය, විශේෂිතය සමඟ හුදකලාව
  2. අඩංගුව හා ආකාරය
  3. හරය හා පෙනුම
  4. හේතුව හා ඵලය
  5. අනිවාර්යය හා අහම්බය
  6. හැකියාව හා තාත්විකත්වය

යමක් නිවැරදිව වටහා ගැනීමේදී ඒ දෙස මෙම ආකාර හය මගින්ම හෝ ඉන් කිහිපයක් මගින් බැලීමෙන් අදාළ දෙය පිළිබඳ වඩාත් නිවැරදි දැනුමක් ඇතිකර ගැනීමට හැකිවේ. අපගේ චින්තනය තුළ වන දැනුම සත්‍ය වන්නේ එවිටය. නැතිනම් අපේ චින්තනය සාවද්‍ය වේ. මෙම කරුණු එකින් එක බැලීමෙන් ඉන් අදහස් වන දේ තේරුම් ගැනීමටත් එම ක්‍රමවේදය හරහා ලෝකය අවබෝධ කර ගැනීමට පුරුදුවීමටත් අයෙකුට හැකි වේ.

විශ්වීයත්වය, විශේෂිතය සමඟ හුදකලාව

මෙම ආකාරය මගින් උගන්වනු ලබන්නේ එක් අතකින් අප දැනුම ඇතිකර ගන්නා අකාරයත් අනෙක් අතින් ලෝකය තුළ දේවල් පවතින ආකාරයත්ය. අප අවට සිදුවන දේ හෝ අප අවට පවතින අපගේ පංචේන්ද්‍රියයන් මගින් ග්‍රහණය කරගන්නා දේවල් ‘දැනුම’ දක්වා සංවර්ධනය වන්නේ මෙම රටාව අනුවය. කිසියම් කෙනෙක් හැම විටම කිසියම් වස්තුවක් ක්‍රියාකාරකමක් හෝ සිදුවීමක් සංජානනය කරයි. නැතිනම් පංචේන්ද්‍රියයන් මගින් ග්‍රහණය කර ගනී. එහිදී ලබාගන්නා මුල් සංවේදනය හුදකලාව හෙවත් තනි එකක් වේ. ඉන්පසු වහාම එහි පොදු ලක්‍ෂණ සහිත පොදු සංකල්පය ඇතිකර ගනී. එය විශ්වීයත්වය වේ. නැතිනම් පොදු දැනුම වේ. ඉන් පසු අදාළ දෙය පිළිබඳ විශේෂ දැනුම සඳහා අධ්‍යයනය කිරීම හා තර්ක කිරීම අවශ්‍ය වේ. විශේෂ කරුණු හෝ අදාල වස්තුව අනෙක් වස්තුන්ගෙන් වෙනස්වන ආකාරය හෙවත් එහි විශේෂ යමෙක් තේරුම් ගන්නේ අධ්‍යයනය ක්‍රියාවලියක් මගිනි.
මෙය උදාහරණයකින් පැහැදිලි කර ගන්නේ නම් මෙසේය. කෙනෙක් ගසක අත්තක වසා සිටින කුරුල්ලෙකු දැක්කේ යයි සිතන්න. එම කුරුල්ලා හුදකලා වස්තුවක් වේ. හුදකලාව හෙවත් තනි එක ලෙස හඳුන්වන්නේ එයයි. ඒ වහාම ඒ ‘කුරුල්ලෙක්’ යන පොදු සංකල්පයට අදාල පුද්ගලයා එළඹේ. එය පොදු දැනුම හෙවත් විශ්වීයත්වය වේ. එහිදී කුරුල්ලන්ගේ පොදු ලක්‍ෂණ පමණක් සැලකිල්ලට ලක්වේ. එහෙත් මෙම කුරුල්ලා කුමන වර්ගයේද යන්න තේරුම් ගැනීමට, ඒ ගැන වැඩි දැනුමක් ලැබීමට ප්‍රජානනය හෙවත් අධ්‍යයනය හා තාර්කික ක්‍රියාවලියක් අවශ්‍ය වේ. පොදුවේ කුරුලු යන පොදු වර්ගය තුළ මේ කුරුල්ලා කවුද යන්න වටහා ගැනීම විශේෂිතයට ළංවීමක් වේ. එවිට එම කුරුල්ලාගේ විශේෂ ලක්‍ෂණ වටහා ගන්නා අතර කුරුල්ලන්ට පොදුව් අදාළ පොදු ලක්‍ෂණ මෙන්ම මෙම කුරුල්ලා කුමන වර්ගයේද යන්නට අදාළ විශේෂ ලක්‍ෂණ අපේ චින්තනය තුළ පරාවර්තනය වේ. මෙය මිනිසා, පොත, ගස, සර්පයා, එළවළු, පළතුරු ආදී සියලු දේට අදාළය. ඒ අනුව කෙනෙක්ගේ චින්තනය තුළ දැනුම නිර්මාණය වන ක්‍රමය වන්නේ ජීවමාන සංජානනය හෙවත් යම් දෙයක් (හුදකලාව) සංජානනය කිරීම ඒ පිළිබඳ පොදු සංකල්පය (විශ්වීයත්වය) ඇතිකරගැනීම හා ඉන්පසු අධ්‍යයනය ක්‍රියාවලිය මගින් එහි විශේෂ ලක්‍ෂණ (විශේෂිතය) අවබෝධ කර ගැනීම නැමති රටාවට අනුව වේ.

ප්‍රකෘතිය පවතින හැටි

ප්‍රකෘතිය හෙවත් අප අවට ලෝකය පවතින්නේ හුදකලා වස්තූන් ලෙසම නොවේ. එසේත් නැත්නම් පොදු තනි ලෝකයක් ලෙසටත් නොවේ. එය පවතින්නේ විවිධත්වයේ ඒකත්වයක් ලෙසය. එසේම ඒකත්වය තුළ විවිධත්වයක් ලෙසය. ලෝකය තේරුම් ගත හැක්කේ එසේය. එහිදී ඕනෑම තනි තනි සිදුවීමක් තනි වස්තුවක් ‘හුදකලාව’ ලෙස සැලකේ. ඒ අතර එම වර්ගයේ විශේෂ ලක්‍ෂණ ඇති වස්තු ‘විශේෂය’ ලෙස සැලකෙන අතර එහි ඇති පොදු ලක්‍ෂණ සහිත සියල්ල පොදු දෙය හෙවත් ‘විශ්වීයත්වය’ වේ.
උදාහරණයක් ලෙස කැලෑව යන සංකල්පය ගනිමු. කැලෑවක් යනු ගස් වැල්වල එකතුවකි. අධ්‍යයනයේදී කැලෑව යනු පොදු දෙය හෙවත් විශ්වීයත්වයයි. එම කැලෑවේ ඕනෑම තනි ගසක් හෝ තනි වැලක් ‘හුදකලාව’ නියෝජනය කරයි. ඊළඟට එහි ඇති විවිධ ගස් වර්ග එනම් පොල්, දෙල්, කිතුල්, ආදී වර්ග ‘විශේෂිතය’ නියෝජනය කරයි. මෙය බැලූ බැල්මට සරල වුවද චින්තනය තුළ සත්‍යමය දැනුම ගොඩ නැගීමේදී මෙම වෙනස්කම් ඉතාම තීරණාත්මක වේ. අප පළතුරු ගැන කතා කරමු. පළතුරු යනු පොදු සංකල්පයකි. එනම් එය යමක පැවත්මේ විශ්වීයත්වය නියෝජනය කරයි. එහෙත් පළතුරු යන පොදු සංකල්පය සැදී තිබෙන්නේ විශේෂිතයන්ගෙනි. ඒවා නම් අඹ, පේර, අන්නාසි, පේර, දෙළුම්, නාරං, දොඩම්, ඇපල් ආදී ලෙසය. ඉන්ද තනි ගෙඩියක් ගත් විට එය ‘හුදකලාව’ නියෝජනය කරයි. මෙම උදාහරණය ලෝකයේ සමාජ ක්‍රම හා සසඳා බලන විට විට තවමත් මෙහි පොදු දෙය ලෙස පවතින්නේ ධනවාදී සමාජ ක්‍රමය වේ. ඒ අතර සමාජවාදී රටවල් විශේෂය වේ. ඉන් එක් රටක් වෙනම ගත් කල එය හුදකලාව වේ.

ගස් නොදැක කැලෑව දැකීම

ලෝකයේ පැවැත්මේ මෙම ස්වරූපය වටහා ගත නොහැකි වුවහොත් ලෝකය අවබෝධ කර ගැනීමේදී බරපතළ වැරදි සිදුවේ. ධනවාදී අධ්‍යාපන ක්‍රමය තුළ හා තර්කන ක්‍රමය තුළ මෙම වැරදි වටහා ගැනීම නිතර සිදුවේ. පොදුවේ ගත්විට ලෝකය පවතින්නේ, පොදු දේවල් හා ඒ තුළ වන විශේෂයන් ලෙසය. ලෝකය මේ ආකාර දෙකෙන්ම තේරුම් ගත යුතුය. පොදු දේවල් තුළ විශේෂයක් නොදැකීම මෙන්ම විශේෂයන් පොදු දේවල් ලෙස දැකීමද වැරදිය. කැලය දකින තැනැත්තා ඒ තුළ ගස්ද දැකිය යුතු අතර එම ගස්වල විශේෂයන්ද දැකිය යුතුය. ගස් නොදැක කැලය පමණක් දැකීම යනු වැරදි දැනුමක් ඇතිකර ගැනීමකි. එස්ම තනි ගසක් යනු කැලයක් නොවන බවද තේරුම් ගත යුතුය. කැලය නිර්මාණය වී ඇත්තේ තනි තනි ගස්වලින් හා විවිධ වර්ගයේ ගස්වැල් විශේෂයන්ගෙන් වන අතර කැලය නම් පොදු දෙය හෙවත් විශ්වීයත්වයන් ගස් නම් විශේෂ හා තනි ගසක් ලෙස එය තේරුම් ගත යුතුය.
මෙහිදී සිදුවිය හැකි වටහා ගැනීමේ වැරදි ක්‍රමය මෙලෙස තේරුම්ගත හැකිය. කිසියම් කැලෑවකට යමෙක් ඇතුල්වන විට ඔහු මුලින්ම ගසක් හෝ ගස් කිහිපයක් දකී. ඔහු මුලින්ම ඈතදීම දකින ගස අඹ ගසක් ලෙස සිතමු. එම ගස දැකීම සමඟ ඔහු මේ කැලෑවම අඹ කැලෑවක් ලෙස උපකල්පනය කළහොත් එය ඔහුගේ චින්තනය තුළ දැනුම වැරදියට පර්ාවර්තනය වීමක් වේ. මේ කැලෑවක් බවත් එය සැදී තිබෙන්නේ විවිධ ගස් වැල් වර්ගවලින් බවත් අඹ යනු එහි එක් විශේෂයක් යනුවෙනුත් වටහා ගත්විට එය නිවැරදි වේ. මෙහි අනෙක් පැත්තද තිබේ. යමෙක් කැලෑව දුටුවද ඒ තුළ වන විශේෂයන් ලෙස අඹ ගස් දැකීමට අසමත් නම් එම දැනුමද සත්‍ය නොවේ. කැලෑව දකින තැනැන්තා එහි ඇති ගස්ද දැකිය යුත්තේ ඒ නිසාය.
මෙලෙස කෙනෙක් පළතුරු කෑවා යයි කියන විට පළතුරු මොන රසදැයි ඇසුවොත් ඔහු විමතියට පත්වේ. ඒ පළතුරු යනු පොදු සංකල්පයක් වන නිසාය. අප පළතුරු කෑවා යයි කියන්නෙ පළතුරු නැමති පොදු සංකල්පයට අයත් අඹ, කෙසෙල්, අන්නාසි, දොඩම් වැඩි දේවල් අනුභව කර තිබෙන නිසාය. ඒ නිසා ඔබ පළතුරු අනුභව කර නැති බවත් අනුභව කර ඇත්තේ අඹ, කෙසෙල්, , පැපොල් ආදී වර්ග බවත් කියා තර්ක කිරීමටද කෙනෙකුට හැකිය. එය වැරදි තර්කයක් වුවත් එවැනි තර්කයක් තිබේ. ඉන් පැහැදිලි වන්නේද ඒකත්වය සෑදී ඇත්තේ විවිධත්වය මගින් බවය.

මිනිසුන් වටහා ගැනීමේදී

පොදු දේ හා විශේෂය වැරදි ලෙස වටහා ගැනීමෙන් සිදුවිය හැකි හානි තේරුම් ගැනීමට මිනිසා වෙතම හැරෙමු. මිනිසුන් තේරුම් ගැනීමේදී බොහෝ විට බොහෝ දෙනා වරද්දා ගන්නා බව පොදු සත්‍යයකි. මිනිසුන් තුළ හොඳ හා නරක ගතිගුණ යන වර්ග දෙකම තිබේ. සමහරුන් තුළ හොඳ වැඩියෙන් හා නරක අඩුවෙනුත් සමහරුන් තුළ නරක වැඩියෙන් හා හොඳ අඩුවෙනුත් තිබිය හැක. එහෙත් හොඳම හා නරකම ලෙස මිනිසුන් පැතලි, කළු, සුදු ලෙස වර්ග කළ නොහැක. දැන් ගැටලුව ඇතිවන්නේ කෙසේද? අපට කෙනෙක් මුණ ගැසුණු විට අප මුලින්ම ඔහුගේ හොඳක් දුටු වහාම මේ ‘හොඳ මිනිහෙකි’ යනුවෙන් අවසන් නිගමනයක් දීම හෝ අපට කෙනෙක් හමුවුණ විට අප මුලින්ම ඔහුගේ නරකක් දුටු නිසා මේ ‘නරක මිනිහෙක්’ යනුවෙන් අවසන් නිගමනයක් දීම හරිද? නැත. අපේ බොහෝ දෙනා මෙම වැරැද්ද කරති. කෙනෙක් තුළ හොඳ, නරක දෙකම පවතින බවත් ඒවයේ ප්‍රමාණය අඩු වැඩි විය හැකි බවත් තේරුම් ගෙන ඔහු ගැන කරන දිගු අධ්‍යයනයකින් නිගමනකට එන්නේ නම් එය නිවැරදි වේ. නැතිනම් අපි මුලාවට පත්වෙමු. බොහෝ විට තරුණ තරුණියන් එකිනෙකාට රැවටී තම ජීවිත පවා අවදානමට ලක්කර ගන්නේ මෙලෙස පොදු දෙය හා විශේෂ සහිතව යමක් වටහා ගැනීමට උත්සාහ නොකිරීම නිසාය. හොඳ සංවිධානයක් තුළ විශේෂයක් ලෙස නරක මිනිසුන් මෙන්ම වැරදි සංවිධානයක් තුළ විශේෂයක් ලෙස හොඳ මිනිසුන් සිටිය හැක. අප ඒ අනුව හොඳ මිනිසෙක් සිටි පමණින් එම සංවිධානයම ‘හොඳ’ යයි හෝ නරක මිනිසෙක් හමුවූ නිසා එම සංවිධානයම නරකයි හෝ යනුවෙන් වැරදි නිගමනයකට ආ යුතු නැත. එහි පොදු දෙය කුමක්ද? විශේෂය කුමක්ද යනුවෙන් වෙන් වෙන්ව තේරුම් ගැනීමට හැකියාව තිබිය යුතුය.
මේ අනුව ප්‍රකෘතියත් අප අවට සමාජය හා මිනිසාත් නිවැරදිව වටහා ගැනීමේදී මෙම රටාව හෙවත් ආකාරය අප වැදගත් වේ.

පෙනුමේ හා හරයේ වෙනස

අප අවට ලෝකයත් මානව සමාජයත් නිවැරදිව වටහා ගැනීමේදී ඒ වෙත ප්‍රවේශ විය යුතු ආකාරය පිළිබඳව අපි කථා කරමින් සිටිමු. එහිදී තවත් එක් ආකාරයක් වන්නේ අඩංගුව සහ ආකාරය ලෙස ලෝකය තේරුම් ගැනීමය. අඩංගුව හා ආකාරය යනු එක වස්තුවක එකිනෙකට අන්තර් සම්බන්ධිත පාර්ශ්ව දෙකකි. එහෙත් මේ දෙක අතර සම්බන්ධයක් මෙන්ම ප්‍රතිවිරෝධයක්ද තිබේ. ඕනෑම භෞතික වස්තුවක් මෙන්ම සමාජයද සකස්ව ඇති ආකාරයක් තිබේ. එසේම එහි අඩංගුවක්ද තිබේ. ඒ නිසා ලෝකය තේරුම් ගැනීමේදී ආකාරය අනුව පමණක් නොව එහි වන අඩංගුව අනුවද තේරුම් ගත යුතුවේ.
උදාහරණයක් ලෙස සමාජය දෙස බලමු. වත්මන් ධනපති ක්‍රමයේ ආකාරය කුමක්ද? එය බොහෝ විට පෙනී සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු නැමති ආකාරයෙනි. විටෙක සමූහාණ්ඩුවකි. තවත් විටෙක ජනරජයකි. ලංකාවේදී ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස පෙනී සිටී. එහෙත් ධනවාදයේ අඩංගුව කුමක්ද? සූරාකෑම, පංති පාලනය, පංති පීඩනය ආදිය වේ. ධනවාදයේ අඩංගුව තුළ ඇත්තේ, ධනේශ්වර පංතියේ ආඥාදායකත්වයයි. එනම් ධනේශ්වර ප්‍රාග්ධනය හා ධනේශ්වර රාජ්‍යයයි. එහෙත් එහි ආකාරය විවිධය. ආකාරය ප්‍රජාතන්ත්‍රවාදී වුවද අඩංගුවේ ඇත්තේ පංති පාලනයකි. එසේම සමහර විට ලෝකයේ සමාජ ක්‍රම හඳුනා ගැනීමේදීද මේ දැක්ම අපිට ප්‍රයෝජනවත්ය.

සමාජවාදයද? ධනවාදයද?

ලොව රටවල් සමාජවාදීද ධනවාදීද යන්න වටහා ගැනීමේදී එය එම රටේ සමාජ ආකාරය දෙස බලා තීරණය කළ නොහැක. ඒ සඳහා එහි අඩංගුව වටහා ගත යුතු වේ. කිසියම් රටක් සමාජවාදීද නැද්ද යන්න තීරණය කිරීමේදී එම රටේ දේපළවල අයිතියත්, දේපළ ආකාරයත් ඊටත් වඩා එහි රාජ්‍ය බලය දරන්නේ කුමන පංතියද යන්නත් වැදගත් වේ. 1970 දශකයේදී ලංකාව හඳුන්වනු ලැබූයේ සමාජවාදී රාජ්‍යයක් ලෙසය. එසේම එම කාලයේ ලොව බොහෝ රටවල් පෙනුමෙන් එනම් ආකාරයෙන් සමාජවාදී මෙන් විය. එහෙත් එය එසේ නොවීය. ඒවයේ අඩංගුවේ තිබුණේ ධනේශ්වර දේපළ සබඳතාය. ධනේශ්වර රාජ්‍ය බලයය. එසේම දැන් සමහරු චීනය ධනවාදයට ගොස් ඇතැයි කියති. ඒ, චීනයේ දේපළවල ආකාරය තුළ සමාගම් පවතින නිසාය. තනි තනි ධනපතියන් සිටින නිසාය. එහෙත් චීනයේ අඩංගුව තුළ තවම ඇත්තේ වැඩි වශයෙන් පොදු දේපළය. එහි රාජ්‍ය බලය දරන්නේ, ධනපති පංතිය නොව කොමියුනිස්ට් පක්‍ෂයය. චීනයේ අඩුපාඩු හා දුර්වලතා ඇතත් එය සමාජවාදීය. එය තේරුම් ගත හැක්කේ ආකාරය අනුව පමණක් නොව අඩංගුව අනුවද යමක් වටහා ගන්නා විටය.

හරය හා පෙනුම

ප්‍රකෘතිය තේරුම් ගැනීමේ තවත් ආකාරයක් වන්නේ, හරය හා පෙනුම ලෙස එය තේරුම් ගැනීමය. මෙය අප කලින් කථා කළ අඩංගුව හා ආකාරයට සමාන වුවත් ඊට සර්වසම නොවේ. එහෙත් අප ඉහත සඳහන් කළ උදාහරණය හරය හා පෙනුම සඳහාත් ගැලපේ.
ඕනෑම වස්තුවකට, ක්‍රියාවලියකට, සිදුවීමකට පෙනුමක් තිබේ. අප පංචේන්ද්‍රියයන් මගින් වහාම හඳුනා ගන්නේ එම පෙනුමයි. එසේම ඊට හරයක්ද තිබේ. එය අපට වහාම හඳුනාගත නොහැක. ඒ හරය පෙනුම තුළ සැඟව පවතින නිසාත් බොහෝ විට හරය පෙනුමට වඩා ප්‍රතිවිරෝධීව තිබෙන නිසාත්ය. තාර්කික අධ්‍යයනයක් අවශ්‍ය වෙන්නේ ඒ නිසාය. ‘හරය හා පෙනුම සමපාත වන්නේ නම් විද්‍යාවක් අවශ්‍ය නොවනු ඇත’ යනුවෙන් වරක් එංගල්ස් පැවසූවේ මෙම ස්වභාවය ගැනය. ලෝකය තේරුම් ගැනීමේදී හැම විටකම පෙනුම සත්‍යය නොවේ. සත්‍යය ඇත්තේ හරය තුළය. එබැවින් පෙනුම සත්‍ය ලෙස සිතා මුලා නොවී හරය වටහා ගත යුතුය.

පැතලි ලෝකය හා ලෝක ගෝලය

පෘතුවිය මත අතීතයේ ජීවත් වූ මිනිසා විශ්වාස කරනු ලැබුයේ ලෝකය පැතලි වස්තුවක් බවය. ඒ මිනිසාගේ දෑස් පෙනුමේ සීමාව අනුව පෙනුමින් ලෝකය පැතලි ලෙස පෙනුන නිසාය. එහෙත් පසු කලෙක විද්‍යාවේ දියුණුව නිසා පෘථිවිය ගෝලාකාර බව සොයාගන්නා ලදී. එසේම ආදි කාලීන මිනිසා සිතුවේ සූර්යයා පෘථිවිය වටා ගමන් කරන බවකි. ඒ ‘පෙනුමට’ අනුව එසේ පෙනෙන නිසාය. සූර්ය කේන්ද්‍රවාදය පවා නිර්මාණය වූයේ මේ අනුවය. එහෙත් හරය අනුව ගත්කල සත්‍යය වන්නේ, පෘථිවිය සූර්යයා වටා ගමන් කිරීමය. එපමණක් නොවේ අහසේ ඇති තරු දෙස බැලූවිට අපට පෙනෙන්නේ, ඒවා එකිනෙකට ළංව පිහිටා ඇති ලෙසය. විවිධ තරු රටා ‘රාශි’ ලෙස මිනිසා විසින් නම් කළේද මෙම ‘පෙනුම’ සත්‍ය සේ සලකාය. එහෙත් හරය ඊට වෙනස්ය. එකිනෙකට සමීප ලෙස අපට පෙනෙන තරු සැබෑ ලෙස පවතින්නේ ආලා්ක වර්ෂ දහස් ගණන් එකිනෙකට දුරස්ථවය. හරය හා පෙනුම වැදගත් වන්නේ මේ නිසාය. සමාජයක් වටහා ගැනීමේදී ආණ්ඩුවක් තේරුම් ගැනීමේදී පමණක් නොව තනි තනි මිනිසුන් වටහා ගැනීමේදීද පෙනුමෙන් අවසන් නිගමනයකට නොපැමිණ හරය අවබෝධකර ගැනීම අත්‍යාවශ්‍යය. අපට අධ්‍යයනය අවශ්‍ය වන්නේ ඒ සඳහාය. අපේ රටවල සුදුවතින් සැරසී සිටින අතේ පිරිත් නූල් බැඳ සිටින නිතර පන්සල් යන බොහෝ දේශපාලනඥයින් පෙනුමෙන් සිල්වත් ගුණවත් සේ පෙනුණද හරයෙන් ගත්කල අපරාධකරුවන්, සමාජ විරෝධී වැඩකරන්නන් බව පැහැදිලි වේ. පෙනුමින් අහිසංක ලෙස පෙනෙන, පෙනුමින් හොඳ ලෙස පෙනෙන හැම දෙනාම එසේ නොවන බවත් හරයෙන් ගත්කල එවැනි සමහර අය නපුරු දුෂ්ට මිනිසුන් බවත් අපි අත්දැකීමෙන් දකිමු. ඒ අප දැක ඇත්තේ මෙම සත්‍යයි. ඒ නිසා ලෝකයත් සමාජයත් මිනිසාත් නිවැරදිව වටහා ගැනීමේදී පෙනුම හරහා නොව හරයට අනුව තේරුම් ගැනීම අවශ්‍ය වේ. ජනතාව මෙම දැක්මට අනුව කටයුතු කරන්නේ නම් ධනපති කපටි පාලකයන්ට යළිත් නොරැවටෙනු ඇත.

හේතුව හා ඵලය

ලෝකය තේරුම් ගැනීමේ තවත් වැදගත් ආකාරයක් වන්නේ, හේතුව හා ඵලය නිවැරදිව අවබෝධ කර ගැනීමය. ලොව පවතින සැම දෙයකටම, සිදුවන හැම සිදුවීමකටම එය එසේ වීමට පාදක වූ හේතුවක් හෝ හේතු සමුදායක් තිබේ. හේතුවකින් තොරව කිසිදු ඵලයක් බිහි නොවන අතර සෑම ඵලයකටම හේතුවක් හෝ හේතු කිහිපයක් තිබේ. මෙම හේතු නිවැරදිව වටහා ගැනීම වැදගත්වන අතර එසේ නොවූ විට අප වැරදි නිගමනවලට ගොස් රැවටීමට ලක්වේ.
ඕනෑම ඵලයක හේතුව හේතු පවතින්නේ ඵලයට පෙරාතුවය. එහෙත් අනෙක් අතට ඵලයට පෙරාතුව පවතින හැම දේම එහි හේතුව නොවේ. එබැවින් හේතුව සොයාගත හැක්කේ අධ්‍යයනයකින් පසුව පමණි. අපට මෙය වැදගත් වන්නේ ඇයි? අප අවට සිදුවන හා පවතින හැම දේම හොඳ දේවල් නොවේ. නරක දේද සිදුවේ. නරක ඵලයක් වැළැක්වීමටත් හොඳ දේවල් ලබාගැනීමටත් අපට පහසුවන්නේ, ඊට අදාළ සැබෑ හේතු වටහා ගැනීම මගිනි. ඕනෑම ඵලයක සැබෑ හේතුව වටහා නොගත්විට අපගේ ක්‍රියාකාරිත්වය සිදුවන්නේ නිවැරදි දැක්මක් අවබෝධයක් තුළ නොව වැරදි දැක්මක් තුළය. එවිට අපට ලැබෙන ප්‍රතිඵලයද අපට අවශ්‍ය ප්‍රතිඵලය නොවේ. උදාහරණ කිහිපයකින් මෙය තේරුම්ගත හැකිය.

අහසින් ගිය ඉබ්බා

අහසින් ගිය ඉබ්බාගේ කතාව ළමා කාලයේ අප අසා ඇති ප්‍රසිද්ධ කතාවකි. එම කතාවට අනුව අපට උගන්වන්නේ ඉබ්බා වැටීමේ ‘හේතුව’ ‘කට’ බවය. එහෙත් මෙය සත්‍ය නොවේ. ඉබ්බා වැටීමේ සැබෑ හේතුව කට නොව ගුරුත්වාකර්ෂණයය. කට ඇරීම වැටීමට පෙර සිදුවූ ආසන්න සිදුවීම මිස හේතුව නොවේ. ඒ නිසා යමක හේතුව ලෙස ඒ සමඟ සිදුවූ ආසන්න සිදුවීම ගැනීම නිවැරදි නොවේ. ලෝකයේ අතීතයේ ලෝක යුද්ධ දෙකක් සිදුවිය. ධනවාදී අධ්‍යයනය ලෝක යුද්ධවලට හේතු ලෙස කියා සිටියේ සරල සිදුවීම්ය. 1වැනි ලෝක යුද්ධයට හේතුව ලෙස කියා සිටියේ ඔස්ටි්‍රයාවේ ෆර්ඩිනැන්ඞ් කුමරා සර්බියානු ජාතිවාදියෙකු විසින් ඝාතනය කිරීම බවය. එය එසේනම් ලෝක යුද්ධ ඇතිවීම වැළැක්වීම ලෙහෙසිය. කුමාරවරු ඝාතනය නොකර සිටි විට යුද්ධ ඇති නොවේ. එහෙත් එසේ නොවී දෙවන ලෝක යුද්ධයද ඇතිවිය. ඒ ඇයි? ලෝක යුද්ධවල සැබෑ හේතුව අධිරාජ්‍යවාදීන් අතර තරගය වේ. එම තරගය පවතින තාක්කල් ඕනෑම ආසන්න සිදුවීමක් මත යුද්ධ ඇතිවිය හැකිය. ලෝක යුද්ධ අවසන් කිරීමට නම් අධිරාජ්‍යවාදය පැරදවිය යුතුය.
හේතුව හා ඵලය වටහා ගැනීම අපේ ජීවිතයටද වැදගත්ය. පවුල් තුළ ගැටුම්වලදී, සමාජය තුළ අපරාධවලදී, ඊට බලපෑ සැබෑ හේතු තේරුම් නොගතහොත් මිනිසුන් රැවටීමට ලක්වනු ඇත. පවුල් තුළ ගැටුම් යනු පුද්ගල වැරදි පමණක් හේතුකොටගෙන සිදුවන දේ ලෙස අපට පෙනුණද සැබෑ හේතුව ඇත්තේ ධනවාදයේ ඇති ප්‍රතිවිරෝධය තුළය. ධනවාදය තුළ වන ප්‍රතිවිරෝධය හා පීඩාව පවුල තුළද පවතින අතර එය වර්ධනය වී පුපුරා යාම ගැටුමක් ලෙස ප්‍රකාශයට පත්වේ. මිනිසාගේ දුප්පත්කමට හේතුව, ලෙඩදුක්වලට හේතුව සෙවීමේදීද මිනිසුන් විශාල ලෙස වැරදි නිගමනවලට පැමිණේ. දුප්පත්කමට, ප්‍රශ්නවලට, ලෙඩදුක්වලට හේතුව පෙරකළ පාපකර්ම ලෙස, ග්‍රහපලපෑම් ලෙස, අනුන් කළ කොඩිවින ලෙස, නැතිනම් පුද්ගලයින්ගේ දුර්වලතා ලෙස දැක ඊට පිළියම් සොයා යන අය ඒ තුළම විනාශයට පත්වේ. වත්මන් සමාජය තුළ අපේ දුප්පත්කමට හේතුව ධනවාදී සූරාකෑම හා පෞද්ගලිකව දේපළ ගොඩගැසීම වේ. ලෙඩදුක් කරදර එන්නේද ඒ හරහාය. එය වටහා නොගත්විට සිදුවන්නේ වංචාකාරයන්ට රැවටීම පමණි.

අනිවාර්යය හා අහම්බය

දැනුම පිළිබඳ ප්‍රශ්නයේදී, අප අවට ලෝකය හා එහි සිදුවන සිදුවීම් නිවැරදිව වටහා ගෙන ඊට නිවැරදි ප්‍රතිචාර දැක්වීමේදී, අප දෛනිකව මුහුණ දෙන ගැටලු විසඳා ගැනීම සඳහා ඒවා තේරුම් ගැනීමේදී “අනිවාර්යය හා අහම්බය” නම් ප්‍රකෘතිය තේරුම් ගැනීමේ ආකාරයද වටහා ගත යුතුය. ලෝකයේ සිදුවන සියලුම දේවල් සිදුවන්නේ එක්කෝ අනිවාර්යයන් ලෙසය. නැතිනම් අහම්බයන් ලෙසය. අනිවාර්යයන් ලෙස සිදුවන දේ පිළිබඳව අපට කළ හැකි දෙයක් නැත. මන්ද ඒවා අනිවාර්යයන් වන බැවිනි. ඒවා ප්‍රමාද කිරීම හෝ කඩිනම් කිරීම සඳහා පමණක් මිනිසාට මැදිහත් විය හැකි අතර අනිවාර්යයන් නතර කිරීමට නොහැක. උපදින සෑම කෙනෙක්ම මිය යාම අනිවාර්යයකි. එය නතර කිරීමට කිසිවෙකුට නොහැක. එහෙත් අනිවාර්යය වන මරණය ප්‍රමාද කර ගැනීමට හෝ ඉක්මන් කර ගැනීම සඳහා අපට යමක් කළ හැකිය. මෙය එලෙස තේරුම් ගත හැක.

අනිවාර්යට බලපාන හේතු

අනිවාර්යය හා අහම්බය යනු කුමක්ද? මෙය එකම ක්‍රියාවලියක අන්තර් සම්බන්ධිත පැති දෙකකි. අනිවාර්යය යනු යම් වස්තුවක ප්‍රපංචයක, ක්‍රියාවක ප්‍රධාන සාධක විසින් ප්‍රධාන ප්‍රතිවිරෝධය විසින් ඇති කරවන තත්වයකි. එහෙත් අහම්බය යනු එසේ නොවේ. එය අදාල වස්තුවේ හෝ ක්‍රියාදාමයේ ප්‍රධාන සාධක හෝ ප්‍රධාන ක්‍රියාමාර්ග විසින් නොව බාහිර හෝ ප්‍රධාන නොවන සාධක විසින් ඇති කරන්නකි. ඒ නිසා ඒවා අනිවාර්යය නොවේ. මෙය මෙලෙස වටහා ගත හැකිය. සෑම අනිවාර්යයක්ම අහම්බයක් නොවේ. එය අනිවාර්යයකි. එහෙත් හැම අහම්බයක්ම එය සිදුවන මොහොතට අනුව අනිවාර්යයකි. ඉන් කියවෙන්නේ අහම්බ අනිවාර්යයන් කියා නොවේ. කිසියම් දෙයක ප්‍රධාන සාධකවලට අනුව සිදු නොවිය යුතු දෙයක් වෙනත් හේතුවක් මත සිදුවීම අහම්බය වේ. සමහර විට අහම්බයේ හේතුව අපට සොයාගත නොහැකි වීමට ඉඩ තිබේ. එතෙක් අහම්බය සිදුවන අවස්ථාවේ සිදුවන හා පෙළගැසෙන ක්‍රියාවන්ට සාපේක්ෂව එය අනිවාර්යයක් වේ.

උදාහරණ මගින් තේරුම් ගැනීම

සරල උදාහරණ කිපයකින්ම මෙය තේරුම් ගැනීමට අපට පුළුවන. ගුවන්යානාවක ගමනකින් මෙය තේරුම් ගනිමු. ගුවන් යානා නිෂ්පාදනය කර තිබෙන්නේ විද්‍යාත්මක නියම අනුව ගුවන් ගතවී ගුවනේ පියාසර කොට නියමිත ස්ථානයට ගොඩ බැස්වීමට හැකිවන ලෙසය. ඒ අනුව ගුවන්යානා නිෂ්පාදනයේදී යොදාගන්නා විද්‍යාත්මක සාධකවලට අනුවත් එහි තාක්ෂණික උපකරණ හා ක්‍රියාකාරිත්වයට අනුවත් ගුවන් ගමනක අනිවාර්ය වන්නේ එය අදාල ස්ථානය කරා නිරුපද්‍රිතව පියාසර කිරීමය. එහෙත් සමහර විට ගුවන්යානා මඟදී කඩා වැටේ; ගිනිගැනීමට ලක්වේ. එය අනිවාර්යක් නොව සමස්ත ක්‍රියාවලියට අනුව අහම්බයකි. මන්ද ගුවන්ගත වන හැම ගුවන්යානාවක්ම මඟදී කඩා නොවැටෙන බැවිනි. ඒ අනුව ගුවන්යානයක් මඟදී කඩා වැටීම සමස්ත ක්‍රියාවලියට අනුව අහම්බයක් වුවද එය ඒ නියමිත මොහොතේ සිදුවූ අනපේක්ෂිත සිදුවීමට සාපේක්ෂව කඩාවැටීම අනිවාර්යයකි. එය තේරුම් ගත යුත්තේ එසේය. මිනිසෙකුගේ ජීවිතය දෙසද මේ ආකාරයෙන්ම අපට බැලිය හැක. මහමඟ වාහන අනතුරට ලක්වීම, ගස් නගින කෙනෙක් ගහෙන් ඇද වැටීම, පිහිනුම් ශූරයෙක් දියේ ගිලී මිය යාම වැනි සමාජීය සිදුවීම් මේ කරුණට අනුව තේරුම් ගත් විට අප වෙනත් වැරදි නිගමනවලට යන්නේ නැත. පිහිනුම් ශූරයෙක් දියේ ගිලීම අනිවාර්යයක් නොව අහම්බයකි. එහෙත් ඒ මොහොතේ බලපෑ අමතර සාධකවලට අනුව අනිවාර්යයකි. මෙය සමාජ ක්‍රමවලටද අදාලය. වහල් ක්‍රමය වෙනස්වී වැඩවසම් ක්‍රමය ඒම අනිවාර්යය වූවා මෙන්ම ධනවාදය වෙනස්වී නව සමාජයක උපත සිදුවීමද අනිවාර්යයකි. ඒවා ප්‍රමාද වීම අහම්බයන්ය.

අසුබවාදයට නොවැටීමට

අනිවාර්යයක් හා අහම්බයක් තේරුම් ගැනීමට නොහැකි වීමෙන් සමාජයේ වැරදි ප්‍රවණතා දෙකක් මතුවේ. එකක් අසුබවාදය වන අතර අනෙක විඥානවාදයයි.
අසුබවාදය යනු අහම්බයක් අනිවාර්යයක් ලෙස සලකා නිතර ඊට බියෙන් සිටීමය. එවැනි අය ගුවන්යානාවල යාමට බියවෙති. ඒ, ගුවන්යානා අනිවාර්යෙන්ම කඩා වැටේ යන සිතුවිල්ල නිසාය. සමහරු උසකට නැගීමට බියවෙති. ඒ අනිවාර්යෙන් ඇද වැටේ යයි සිතාය. ඇතැමෙක් සමාජ ක්‍රම වෙනස් නොවේ යැයි සිතති. ඒ, පවතින දේ පැවතීම අනිවාර්යක් ලෙස සලකාය. සමහරු බරපතළ ශල්‍යකර්මවලට බයවෙති. ඒ, ඒවා අසාර්ථක වීම අනිවාර්යය සේ සලකාය. මන්ද අහම්බ ලෙස සමහර ශල්‍යකර්ම අසාර්ථකවී රෝගීන් මිය යන අවස්ථා තිබෙන නිසාය. මෙය බරපතළ වූ විට මානසික රෝගයක් බවටද පත්වේ. මෙහි අනෙක් අන්තයද ඇත. ඒ අහම්බ ගැන නොසලකා සිටීමය. එය සර්ව අසුබවාදය වේ. එවිට සිදුවන්නේ අහම්බ ලෙස සිදුවන අහිතකර දෙයක් වළක්වා ගැනීමට නොහැකි වීමය. ලොව බොහෝ නිෂ්පාදනවලදී අනිවාර්ය ගැන සේම අහම්බය ගැනද සිතා තිබේ. ගුවන්යානයම යළි උදාහරණයට ගත්විට එය අහම්බෙන් කඩා වැටිය හැකි නිසා සමහර සමාගම් ගුවන්යානාවලට එංජින් දෙකක් සවිකර තිබේ. ඒ, එකක් අහම්බෙන් අක්‍රීය වුවහොත් අනෙක පණ ගන්වා ගැනීම සඳහාය. එසේම ගුවන්යානාවල පැරචුට්, ජීවිතාරක්ෂක කබා ආදිය මඟීන් සඳහා සකස්කර ඇත්තේද මෙම අහම්බවලට මුහුණදීම සඳහාය. මොටර් රථවල අමතර රෝදයක් ගෙන යන්නේද අහම්බෙන් එක රෝදයක් අක්‍රිය වුවහොත් ඒ වෙනුවට යොදාගෙන ගමන යාම සඳහාය. මේ නිසා අහම්බ අනිවාර්ය ලෙස සලකා බියෙන් කටයුතු කිරීම මෙන්ම අහම්බ නොසලකා කටයුතු කිරීමද වැරදිය.

වෙලාවද? වාසනාවද?

ජීවිතයේ සිදුවන අහම්බ තේරුම් නොගැනීම නිසා මිනිස්සු විඥානවාදයට වැටෙති. වෙලාව, වාසනාව, අවාසනාව ආදි ලෙස පවතින අදහස්වල පදනමේ ඇත්තේ මෙම අහම්බයන්ය. අප හදිසි අනතුරකට, ආපදාවකට, රෝගී තත්වයකට අහම්බයක් ලෙස මුහුණ දුන්විට එය ‘නරක වෙලාව’ ලෙසද අවාසනාව ලෙසද සලකා හිත හදාගැනීමට මිනිස්සු පුරුදුව සිටිති. එසේම අහම්බෙන් යම් අනතුරකින් කරදරයකින් බේරුන විට එය ‘හොඳ වෙලාව’, ‘වාසනාව’ ලෙස විශ්වාස කරති. මේ නිසා බිහිවූ මිත්‍යා ඇදහිලි තිබේ. උදාහරණ ලෙස ගත හැක්කේ බල්ලන් කන්පට ගැසීම, හූනන් ඇඬීම අසුබ ලෙස සැලකීමය. සමහර විට ගමනක් යනවිට හූනෙක් ඇඬීමත් අහම්බෙන් එම ගමනේදීම කෙනෙකුට කරදරයක් වීමක් යන එකිනෙකට අසම්බන්ධිත සිදුවීම් දෙක එකට එක්කර ඉන් පොදු මිත්‍යා සංකල්පයන් ගොඩනගා ගැනීමට මිනිස්සු පෙළඹී සිටිති. හූනෙක් ඇඩීම හෝ බල්ලෙකු කන් සෙලවීම සමග අපට සිදුවන අහම්බීය කරදරවලට කිසිම සම්බන්ධයක් නැත. ඒවා අහම්බ වේ. එහෙත් ඒ අහම්බ අනිවාර්ය ලෙස සැලකීම නිසා මිනිස්සු මිත්‍යාවට ගොදුරු වෙති. ලෙඩට වෛද්‍ය ප්‍රතිකාර ලබන අතර ආගමික හෝ යන්ත්‍ර මන්ත්‍රවලින් වතාවත් කිරීමද එසේය. රෝගියා සුවවූ විට එය සිදුවූයේ යන්ත්‍ර, මන්ත්‍ර හෝ ආගමික වතාවත් නිසා යයි සිතති. රෝගියාගේ සුවවීම සමග ඉහත කටයුතුවල කිසිදු සම්බන්ධයක් නැත. මේ පිළිබඳ ප්‍රසිද්ධ ඉතාලි කියමනක් තිබේ. ඒ “රෝගියා මියගියේ නම් වෛද්‍යවරු ඔහු මරා දැමුවෝය, රෝගියා සුවපත් වූයේ නම් සුර දූතයෝ ඔහු බේරා ගත්තෝය” ලෙසය.
මේ සියලු කරුණුවලින් අපට පැහැදිලි වන්නේ කුමක්ද? ලෝකය හා එහි ක්‍රියාකාරකම් තේරුම් ගැනීමේදී නිවැරදි විද්‍යාත්මක දැනුම් ක්‍රමයක් යොදා නොගතහොත් මිනිසුන් මුලාවට හා දුෂ්කරතාවයට පත්වන බවය. අප අවට සිදුවන දේ පිළිබඳ නිරවුල් වැටහීමක් අපට තිබිය යුත්තේ ඒ නිසාය. අප අවට සිදුවන දේවල් සිදුවන්නේ අනිවාර්යයන් ලෙසත් අහම්බයන් ලෙසත්ය යන්නත් අහම්බ යනු අනිවාර්යයක් නොව විශේෂ හේතු නිසා නිර්මාණය වන දෙයක්ය යන්නත් වටහා ගත යුතුය. එහෙත් ඕනෑම ක්‍රියාවකදී ඕනෑම මොහොතක අහම්බ ඇතිවිය හැකි බවත් අප අනිවාර්යයන්ට මෙන්ම අහම්බයන්ටද මුහුණ දීමට සූදානම් නම් අපේ කටයුතු නොවරදින බවත් තේරුම් ගැනීම අවශ්‍ය වේ. ලෝකයේ බොහෝ හොඳ මෙන්ම නරකද අහම්බයන් මත සිදුවී තිබේ. ඒ නිසා අනිවාර්යය මෙන්ම අහම්බයද වටහා ගැනීම අත්‍යාවශ්‍යය.

හැකියාව හා තාත්විකත්වය

අප කථාකරමින් සිටින්නේ අප අවටවන සියලු දේ නිවැරදිව තේරුම් ගැනීමේදී, ප්‍රකෘතිය නිවැරදිව වටහා ගැනීමේදී ඒ වෙත ප්‍රවේශ විය යුතු අධ්‍යයන මාවත් පිළිබඳවය. එවැනි තවත් එක් මාර්ගයක් හෙවත් ප්‍රකෘතිය තේරුම් ගැනීමේ පොදු ආකාරයන්ගෙන් එකක් වන්නේ හැකියාව හා තාත්විකත්වයය.
අප අවට වන සොබාදහම තුළ, අප ජීවත්වන සමාජය තුළ, අප තුළ යම් යම් දේ නිර්මාණය කිරීමේ, බිහිකිරීමේ හැකියාව තිබේ. උදාහරණ ලෙස ඵලයක් බිහිකිරීමේ හැකියාව මලකට තිබේ. දරුවෙක් බිහිකිරීමේ හැකියාව ලිංගිකව පරිණතවූ කාන්තාවකට තිබේ. එසේම පැළයක් බිහිකිරීමේ හැකියාව බීජයකට තිබේ. අප “හැකියාව” ලෙස හඳුනා ගන්නේ එයයි. එම හැකියාව මගින් ඵලයක්, දරුවෙක් හා පැලයක් බිහිවීම “තාත්විකත්වය” ලෙස හැඳින්වේ.
හැකියාව යථාර්ථයක් වීමට නම්
යම් වස්තුවක් තුළ පවතින ගුණයන් විසින් තවත් දෙයක් බිහිකිරීම සඳහා ඒ තුළ වන ශක්තියට අප හැකියාව යයි කියමු. එහෙත් මෙහිදී හැකියාව තිබූ පමණින් එය තාත්විකත්වයක් බවට පත්වන්නේ නැත. එයට තවත් සාධක ගණනාවක් සැපිරිය යුතුව තිබේ. දරුවෙක් ලැබීමට කාන්තාවක් සතුව තිබෙන හැකියාව තාත්විකත්වයක් වන්නේ ඇය පුරුෂයෙකු සමග එක්වන්නේ නම් පමණි. පැළයක් බිහිකිරීමට බීජයකට ඇති හැකියාව යථාර්ථයක් වන්නේද එය සරු පසක රෝපණය කරන්නේ නම් පමණි. ඉන් කියවෙන්නේ කුමක්ද? ප්‍රපංච තුළ විවිධ දේ බිහිකිරීමේ හැකියාව තිබූ පමණින් ඒවා තාත්විකත්වයක් නොවන බවත් ඒ සඳහා තවත් සාධක ගණනාවක් සැපිරිය යුතු බවත්ය.
මෙය සමාජයට සම්බන්ධකර බලන විටද තේරුම් ගත හැකිය. වර්තමානයේ අප ජීවත්වන්නේ ධනවාදී සමාජයක් තුළය. මෙය ඉතාම අසාධාරණ සමාජයකි. මෙය වෙනස්කොට මීට වඩා යහපත්, සාධාරණ සමාජවාදී සමාජයක් බිහිකර ගැනීමට අපට අවශ්‍ය වී තිබේ. ඒ සඳහා හැකියාව තිබේද? සැබැවින්ම නව සමාජයක් බිහිකිරීමේ හැකියාව ධනවාදී සමාජය තුළ තිබේ. එහෙත් ඒ හැකියාව තිබූ පමණින් නව සමාජයක් බිහිවන්නේ නැත. ඊට තවත් සාධක සැපිරිය යුතුය. එනම් ඒ සඳහා අවස්ථාව එළඹිය යුතුය. ඊට ජනතාව සවිඥානිකව මැදිහත්විය යුතුය. ඒ සඳහා නායකත්වය ගැනීමට නිවැරදි හා ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් තිබිය යුතුය. එකී සාධක සියල්ල සම්පූර්ණ වන්නේ නම් නව සමාජයක් බිහිකිරීමේ හැකියාව ධනවාදී සමාජය තුළ තිබේ. දුරෙයි ෂන්මුගම් නම් ඉන්දියානු විප්ලවාදී කවියා මෙය සිය කවියක කවි පදයකින් සටහන් කර තිබුණේ මෙසේය.
“අහස පමණක් මදවේ
වැසි වැටෙන්නට නම්…
පොළොව මත ක්‍රියාවලියක් ඇත…”

හැකියාව හා නොහැකියාව

යමක් බිහිකිරීම සඳහා යම් වස්තුවක්, පුද්ගලයෙක් හෝ සමාජයක් තුළ තිබෙන හැකියාව තාත්විකත්වයක් බවට පත් නොවුණහොත් සිදුවන්නේ කුමක්ද? මෙය තරමක් සංකීර්ණ ප්‍රශ්නයකි. අපද ඇතුළත් ප්‍රකෘතිය තුළ, අපේ සමාජය තුළ ඇති සමහර ප්‍රපංච හෝ වස්තු තුළ පවතින මෙම හැකියාව නියමිත කලකදී අදාළ සාධක සපිරි තාත්විකත්වයක් බවට පත් නොවුණහොත් පසුව එය නොහැකියාවක් බවට පත් වන්නේය. මෙය ඉහත උදාහරණවලින්ම වටහාගත හැක. ඵලයක් බිහිකිරීමට මලකට ඇති හැකියාව තාත්විකත්වයක් වන්නේ එම මල පරාගණය වුවහොත් පමණි. එසේ නොවුව හොත් නිශ්චිත කලකට පසු එම හැකියාව නොහැකියාවක්වී මල පරවී යයි. දරුවෙක් බිහිකිරීමට කාන්තාවක් සතු හැකියාව ද එසේය. නියමිත වයස් කාලය තුළ ඇය පිරිමියෙකු සමග සම්බන්ධ නොවුන හොත් ඇය තුළ පැවැති දරුවන් හැදීමේ හැකියාව නොහැකියාවක් වේ.
මෙය තවත් උදාහරණවලින්ද තේරුම් ගත හැක. නිශ්චිත ඖෂධයකට නිශ්චිත රෝගයක් සුවකිරීමේ හැකියාව තිබේ. එම හැකියාව තාත්විකත්වයක් වන්නේ එම ඖෂධය නියමිත වෙලාවට නියමිත මාත්‍රාවෙන් නියමිත කාලයක් පාවිච්චි කළහොත්ය. ඕනෑම ඖෂධයක් කල් ඉකුත්වන කාල සීමාවක් පවතින අතර කල් ඉකුත්වීමත් සමග රෝග සුව කිරීම සඳහා එය සතුව තිබූ හැකියාව අහෝසිවී නොහැකියාවක් බවට පත්වේ. මේ අනුව බොහෝ වස්තු හා ප්‍රපංච තුළ වන හැකියාව අදාළ සාධක සම්පූර්ණවී තාත්විකත්වයක් බවට අදාළ කාල වකවානු තුළ පත් නොවුන හොත් එය නොහැකියාවක් බවට පත්වේ. ඒ නිසා එවැනි වස්තු හඳුනාගෙන ඉන් ලබාගත යුතු ඵල ලබාගැනීමට නම් ඒවා නොහැකියාවක් බවට පත්වීමට පෙර ඉන් ඵල ලබා ගැනීම කළ යුතුවේ.
අහෝසි නොවන හැකියාවන්
යම් වස්තුවක් හෝ සමාජය සතුව ඇති යමක් බිහිකිරීමේ හැකියාව පසු කලෙක නොහැකියාවක් වීම හැම ප්‍රපංචයකටම පොදු වන්නේ නැත. සමහර සමාජමය ප්‍රපංචවලදී එම හැකියාව යථාර්ථයක් වනතුරු දිගටම පවතී. සමාජවාදී සමාජයක් බිහිකිරීම සඳහා ධනවාදය තුළ ඇති හැකියාව එවැන්නකි. එය කිසිවිට නොහැකියාවක් වන්නේ නැත. එබැවින් අදාළ සාධක පෙළ ගැසුණු ඕනෑම මොහොතක තාත්විකත්වයක් බවට පත් වීමට ඉඩ තබාගෙන එම හැකියාව ධනවාදය පවතින තුරු ඒ තුළ පවතී.
අප මෙම කරුණු වටහා ගත යුත්තේ ඇයි? මානව සමාජයේ සංවර්ධනයේදී අප අවට දේවල් සිදුවන මෙම යාන්ත්‍රණය හෙවත් මෙම ආකාරය වටහා ගත්විට අපට සවිඥානිකව මැදිහත්වී හොඳ ඵල ලබාගැනීමට මෙන්ම නරක ඵල බිහිවීම වැළක්වීමටද පුළුවන. දැනටත් අපේ ජීවිතයේ බොහෝ කටයුතුවලදී අප මෙය න්‍යායක් ලෙස නොදැන වුවත් භාවිතාවට නගමින් සිටී. කෘෂිකර්මාන්තයේදී වැඩි ඵලදාවක් ලබා ගැනීම සඳහා මල් කෘත්‍රිම ලෙස පරාගණය කිරීම ඊට නිදසුනකි. සාමාන්‍යයෙන් මල්වලින් ඵල හට ගැනීමට එම මල් පරාගණය විය යුතුය. ස්වාභාවිකව එය සිදුවන්නේ කෘමීන්ගෙනි. එහෙත් කෘමීන් වඳවීමත් වගාවකදී විශාල මල් ප්‍රමාණයක් පරාගණය කල යුතු වීමත් නිසා දැන් ගොවියා මැදිහත්වී පරාගණය කිරීමේ කාර්ය තමන් විසින් ඉටුකොට ඵලදාව වැඩිකර ගනී. ඒ ඉහත සත්‍යයට අනුවය. හොඳ වර්ගයෙ සතුන් බිහිකර ගැනීම සඳහා සිදු කරන කෘත්‍රිම සිංචනයද ඊට උදාහරණයකි.
මෙය අනෙක් පැත්තටද ගත හැක. වළ දමා තිබෙන බිම් බෝම්බයක් මත යමක් ගැටුන හොත් එය පුපුරා යාමේ හැකියාව තිබේ. එසේ පුපුරා යාම අනතුරුදායකය. එවිට මිනිසා සවිඥානිකව මැදිහත්වී බිම් බෝම්බය තුළ වන පුපුරායාමේ හැකියාව අහෝසිකිරීමට එය නිශ්ක්‍රීය කරනු ලැබේ. ජලය පිරුණු භාජන තැන තැන තිබීම ඩෙංගු මදුරුවා බිහිවීමට හේතුවේ. ඩෙංගු මදුරුවා තුළ පැටවුන් බෝකිරීමේ හැකියාව අහෝසි කිරීමට අප කළ යුත්තේ මදුරු පැටව් බිහිකිරීමට අවශ්‍ය අනෙක් සාධක ඉවත් කිරීමය. වතුර පිරුණු භාජන එළිමහනේ නොතබන ලෙස පවසන්නේ ඒ අනුවය.
මෙම කරුණුවලින් අපට පැහැදිලි වන්නේ අප අවට සමාජයත්, වටපිටාවත්, එහි සිදුවන දේවලුත් තේරුම් ගැනීමේදී හැකියාව හා තාත්විකත්වය නැමැති ප්‍රකෘතිය තේරුම් ගැනීමේ පොදු ආකාරය වටහා ගැනීමද වැදගත් වන බවය. එය වටහා ගත් විට තමන්ට අවශ්‍ය ඵල ලබා ගැනීමටත් අනවශ්‍ය ඵල බිහිවීම වැළැක්වීමටත් සවිඥානිකව මැදිහත් වීමට මිනිසාට හැකිවේ. එසේම අප අවට සිදුවන දේවල් පිළිබඳ මිත්‍යාවන්ගෙන් මිදීමටත් මිත්‍යා විශ්වාස පසුපස හඹායාමේන් වැළකී සිටීමටත් මිනිසාට පුළුවන.
එසේම සමාජය වෙනස් කිරිමේදී ඒ සඳහා වන හැකියාව ධනවාදය තුළම පවතින නිසා විශ්වාසයෙන් යුතුව ඊට මැදිහත් වීමට ද පුළුවන. ප්‍රකෘතිය තේරුම් ගැනීමේ පොදු ආකාර සියල්ල විමසා බැලූ අපි තවදුරටත් මේ පිළිබඳව කථා කිරීමට නැවත හමුවෙමු.

ලෝකය විවිධත්වයේ ඒකත්වයක් ලෙස