විවිධ කොන්සර්වේටිව් නායකයින් පස් දෙනෙකු රට පාලනය කළ යුගයක් අවසන් කරමින් ශ්‍රීමත් කියර් ස්ටාර්මර් සිකුරාදා පස්වරුවේ එරට අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කෙරෙනු ඇත.
ධූරයෙන් ඉවත්ව යන අගමැති රිෂි සුනක්, අලුයම 04:40ට පමණ කම්කරු පක්ෂය ජයග්‍රහණය කළ බව පිළිගනිමින් ශ්‍රීමත් කියර්ට සුබ පැතීම සඳහා දුරකතන ඇමතුමක් ලබා දුන් බව පැවසීය.
මිනිත්තු කිහිපයකට පසු සිය ජයග්‍රාහී කතාවේදී කම්කරු පක්ෂයේ නායක කියර් ස්ටාර්මර් “ජාතියේ පුනර්ජීවය” උදෙසා කටයුතු කරන බවට ප්‍රතිඥා දුන් අතර “රට පළමුව, පක්ෂය දෙවනුව” තබන බවට ද පොරොන්දු විය.
මෙම ප්‍රතිඵලය සනිටුහන් කරන්නේ, පක්ෂයේ වාසනාවේ විශ්මය ජනක පෙරළියකි. ප්‍රවීණ වාමාංශික දේශපාලනඥයෙකු වූ ජෙරමි කෝබින්ගේ නායකත්වය යටතේ කම්කරු පක්ෂය 2019දී සියවසකට ආසන්න කාලයක් තුළ එය ලද දරුණුතම මැතිවරණ පරාජය අත්විඳිනු ලැබී ය.
අනෙක් අතට, තම ආසනය අහිමි වූ හිටපු කොන්සර්වේටිව් ඇමතිවරයෙකු වූ රොබට් බක්ලන්ඩ් එය විස්තර කළේ, ටෝරිවරුන්ට “දරුණු මැතිවරණ පරාජයක්” ලෙසිනි.
එය වසර 200කට ආසන්න කාලයකදී පක්ෂය ලද නරක ම ප්‍රතිඵලය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර ඒත් සමග ඉදිරි දිනවලදී පක්ෂයේ අනාගත දිශානතිය පිළිබඳ සටනක් පවා ආරම්භ වීමට ඉඩ තිබේ.
ප්‍රතිඵල සමග දිගු රාත්‍රියක් ගත වී ඇති අතර තවත් බොහෝ දෑ සිදුවීමට ඇත. මේ, සිදු වන්නේ කුමක් ද, සහ ඒවායේ අර්ථය පිළිබඳව කරන සොයා බැලීමකි.
කම්කරු පක්ෂයට දැවැන්ත ජයග්‍රහණයක්
බ්‍රිතාන්‍ය පහළ මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන්, නොඑසේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 650ක් සිටිති. ඔවුන්ගේ එක් එක් “ආසන” රටේ කොතැනක හෝ තනි ඡන්ද කොට්ඨාසයක් – හෝ ප්‍රදේශයක් – නියෝජනය කරයි.
මේ වන විට කම්කරු පක්ෂය ආසන 410ක් දිනා ඇති අතර කොන්සර්වේටිව් පක්ෂයේ ආසන ගණන 119 දක්වා පහත වැටී ඇත. මධ්‍යවාදී ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ආසන 71ක් දිනා තිබේ. බ්‍රෙක්සිට් පක්ෂයෙන් පසු බිහිවුණු Reform UK පක්ෂයට ආසන හතරක් හිමිවනු ඇත.
කම්කරු පක්ෂයේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ අපේක්ෂිත බහුතර ආසන සංඛ්‍යාව 170ක් තරම් අතිවිශාල සංඛ්‍යාවක් වන නමුත් එය 1997 මැතිවරණයේදී ටෝනි බ්ලෙයාර් යටතේ පක්ෂය විසින් දිනා ගන්න ලද 179ක බහුතරයට තවමත් අඩු ය.
තවදුරටත් පවසන්නේ නම්, බොරිස් ජොන්සන් යටතේ 2019 මැතිවරණයේදී කොන්සර්වේටිව් පක්ෂය ජයග්‍රහණය කිරීම – පක්ෂය ලද ඉතා ප්‍රබල සාර්ථකත්වයක් ලෙස සැලකෙන අතර එහිදී ඔවුන්ට ආසන 80ක බහුතරයක් හිමි විය.
සිහි තබා ගත යුතු දෙයක් තිබේ. එනම්, පක්ෂයකට බහුතර බලයක් තිබේ නම්, එයින් අදහස් වන්නේ, නීති සම්මත කිරීමට වෙනත් පක්ෂ මත යැපීමට අවශ්‍ය නොවන බව ය. බහුතරය විශාල වන තරමට එය පහසු වේ.
ප්‍රබල චරිත පරාජය වීම (නමුත් ඇතැමෙකු රැකිණි)
ලිස් ට්‍රස්: සියලු ම අපේක්ෂකයින් වේදිකාව මත එකිනෙකා අසල පෙළ ගැසී සිටි, එක් එක් ඡන්ද කොට්ටාසවල ප්‍රතිඵල සජීවීව රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරුණු මොහොතේ, තවත් වැදගත් සිදුවීම් කිහිපයක් සිදු විය.
ඇතැම් විට වඩාත් ම කැපී පෙනෙන දෙය වූයේ, ලිස් ට්‍රස්ගේ පරාජය විය හැකි ය. තම පක්ෂය විසින් නෙරපා හරිනු ලැබීමට පෙර හිටපු අගමැතිනියට ධූරයේ රැඳී සිටීමට අවස්ථාව ලැබුණේ දින 49ක් පමණි. සිකුරාදා අලුයම ඇගේ නිරිතදිග නෝෆෙක් ඡන්ද කොට්ඨාසයට හිරු උදා වීමත් සමග ඇයට සිය ආසනය අහිමි විය.
ජේකබ් රීස්-මෝග්: හිටපු කොන්සර්වේටිව් ව්‍යාපාරික ලේකම් සහ බ්‍රෙක්සිට් සඳහා සහය දැක්වූ ජේකබ් රීස්-මෝග් පරාජයට පත් වූ ප්‍රබල චරිතවලින් කෙනෙකි. ඔහුට ඔහුගේ නැගෙනහිර සමර්සෙට් සහ හැනම් ආසනය කම්කරු පක්ෂයට අහිමි කර ගත්තේ ය.
ඔහු බීබීසීයට පැවසුවේ, පරාජය සම්බන්ධයෙන් තමාට “තමාට හැර වෙන කිසිවෙකුට දොස් පැවරිය නොහැකි” නමුත් කොන්සර්වේටිව්වරුන් “අවම වශයෙන් නිල විපක්ෂය” වනු ඇතැයි යන කාරණයෙන් ඔහු “පුංචි බලාපොරොත්තුවක්” තබා ගත් බව ය. එය ඔවුන්ට එය ද අහිමි විය හැකි බව පිළිබඳ සඳහනකි.
ග්‍රාන්ට් ෂැප්ස් : ආරක්ෂක ලේකම් ග්‍රාන්ට් ෂැප්ස් දකුණු එංගලන්තයේ සිය ආසනය අහිමි වීමෙන් පසු කලබලයට පත් වූ බවටක් පෙනෙන්නට විය.
පෙනී මෝර්ඩන්ට්: රිෂි සුනක් අගමැති වීමට පෙර පක්ෂ නායකත්වය සඳහා ඔහුට එරෙහිව ඉදිරිපත් වූ සභා නායිකාව වූ පෙනී මෝර්ඩන්ට්ට ද සිය අසුන අහිමි විය.
ජෙරමි හන්ට්ට: එක්සත් රාජධානියේ මුදල් ඇමතිවරයෙකුට සමාන බලයක් හිමි එරට චාන්සලර්වරයා ලෙස කටයුතු කරන ජෙරමි හන්ට්ට ඔහුගේ අසුන රැක ගැනීමට හැකි වුණු නමුත් ඒ බොහෝ අඩු බහුතරයකිනි.
සුනක් ද යෝක්ෂයර්හි ඔහුගේ ආසනය 12,000ක පමණ පහසු බහුතරයකින් දිනා ගත් නමුත් ඔහු තම පිළිගැනීමේ කතාව භාවිත කළේ, තම පක්ෂය මැතිවරණයෙන් පරාජය වූ බව පිළිගැනීමට සහ ඒ බව තහවුරු කිරීමට ය.

දිනක් ඇතුළත නව අගමැතිවරයෙක්
බ්‍රිතාන්‍ය දේශපාලනයේ සිදුවීම් ඉතා වේගයෙන් සිදු වේ. එනම්, මැතිවරණ ප්‍රතිඵලයක් ප්‍රකාශයට පත් කිරීම සහ නව අගමැතිවරයා පත්කිරීම අතර ඇත්තේ ඉතා සුළු කාලයකි.
රිෂි සුනක් පැය 24ක් ඇතුළත ධවල මන්දිරයට සමාන බ්‍රිතාන්‍ය ඩව්නිං වීදියේ පිහිටි සිය කාර්යාලයෙන් ඉවත්ව යනු ඇති අතර පසුව ශ්‍රීමත් කියර් ස්ටාර්මර් ඉක්මනින් එම ධූරයේ වැඩ භාර ගනු ඇත.
නමුත් ක්‍රියාපටිපාටියක් තිබේ. සුනක් තම ඉල්ලා අස්වීම රජුට ඉදිරිපත් කරනු ඇති අතර, සාමාන්‍යයෙන් බකිංහැම් මාලිගයේ පැවැත්වෙන රැස්වීමකදී මීළඟ රජය පිහිටුවීමට ශ්‍රීමත් කියර් වෙත රජු නිල වශයෙන් ආරාධනා කරනු ඇත.
එසේ නම්, කියර් ස්ටාර්මර් යනු කවුද?
සාපේක්ෂ වශයෙන් ඔහු දේශපාලනයට තරමක් අලුත් ය.
ශ්‍රීමත් කියර් 1990 ගණන්වල නීතිඥවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර, 2008දී ඔහු රජයේ අභිචෝදක කාර්යාලයේ අධ්‍යක්ෂවරයා බවට පත් වූයේ එංගලන්තයේ සහ වේල්සයේ ජ්‍යෙෂ්ඨතම අභිචෝදක බවට පත් වෙමිනි.
ඔහු ප්‍රථමයෙන් 2015දී උතුරු ලන්ඩනයේ හොල්බෝන් සහ සාන්ත පැන්ක්‍රස් මැතිවරණ කොට්ඨාසයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර, ජෙරමි කෝබින්ගේ වාමාංශික නායකත්වයෙන් පසු “නව යුගයක්” ආරම්භ කිරීමට ප්‍රතිඥා දෙමින්, පක්ෂය දුර්වල ප්‍රතිඵල පෙන්වූ 2019 මහ මැතිවරණයෙන් පසු කම්කරු පක්ෂයේ නායකත්වය භාර ගත්තේ ය.
ශ්‍රීමත් කියර් බ්‍රහස්පතින්දා එම මැතිවරණ කොට්ඨාසයෙන් ම නැවත තේරී පත් වූ අතර, ඔහු සිය ජයග්‍රාහී කතාවේදී ජනතාව “වෙනසකට සූදානම්ව” සිටි බව පවසමින් “බාහිර ප්‍රතිරූපය මුල් කරගත් දේශපාලනය අවසන් කරන” බවට පොරොන්දු විය.
“වෙනස ආරම්භ වෙන්නේ මෙතැනින්, මොකද මේ ඔබේ ප්‍රජාතන්ත්‍රවාදය, ඔබේ ප්‍රජාව, ඔබේ අනාගතය නිසා ය,” ඔහු පැවසීය. “ඔබ ඡන්දය දීලා තියෙන්නේ. දැන් තියෙන්නේ අපේ පොරොන්දු ඉටු කරන කාලය.
නයිජල් ෆෙරාජ් අවසානයේ මන්ත්‍රීවරයෙකු බවට පත් වෙයි

මෙම මැතිවරණයේ කැරලිකාර පක්ෂය වූයේ, බ්‍රෙක්සිට් පක්ෂයේ සහ එක්සත් රාජධානි ස්වාධීනතා පක්ෂයේ දක්ෂිණාංශික අනුප්‍රාප්තිකයා වූ Reform UK පක්ෂයයි.
එහි නායකයා වන නයිජල් ෆෙරාජ් අවසානයේ ඔහුගේ අටවන උත්සහයෙන් පසු ආසනයක් දිනා ගත් නමුත් ඔහුගේ පක්ෂය ආසන 13ක් දිනා ගනු ඇති බවට වූ අපේක්ෂා බිඳ දමමින් එය ආසන 4ක් දක්වා පහත වැටිණි. එය තවමත් UKIP සහ බ්‍රෙක්සිට් පක්ෂය අත්කර ගෙන තිබූ ප්‍රතිඵලවලට වඩා යහපත් වන අතර ෆෙරාජ් සිය ජයග්‍රහණය සමරමින් සිටියේ ය.
පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය 14%ක් පමණ වන බව පෙනේ.
Reform UK පක්ෂයේ ඇතැම් අපේක්ෂකයින් සහ ක්‍රියාකාරීන් විසින් සිදු කරන ලද සිත් රිදවනසුලු ප්‍රකාශ සම්බන්ධයෙන් පක්ෂය මැතිවරණ ව්‍යාපාරය තුළ මතභේදයට තුඩු දුන්නේ ය.
කොන්සර්වේටිව් පක්ෂයේ හිටපු නියෝජ්‍ය සභාපති ලී ඇන්ඩර්සන්, Reform UK පක්ෂයේ නිර්මාතෘවරයෙකු වන රිචඩ් ටයිස් සහ රූපට් ලෝ සමග ෆෙරාජ් පහළ මන්ත්‍රී මණ්ඩලයේ අසුන්ගනු ඇත.
ග්‍රේම් බේකර් සහ මැට් මර්ෆි /බීබීසී පුවත්, වොෂින්ටන් ඩීසී සහ ලන්ඩන් සිට