1871 මාර්තු 18 පැරිස් කොමියුනය අදටත් ජීවමානය !

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

“රජය මව්බිම පාවා දී ඇති විට ජනතාව තම ඉරණම දෙඅත් තුලට ගෙන සතුරාට එරෙහිව සටන් වැදෙනු ඇත” මෙම ප්‍රකාශය සිදු කලේ 1940-45 ජර්මන් ආක්‍රමණයට එරෙහිව සටන් වැදුණු ප්‍රංශ විමුක්ති භටයෙකු විසිනි. සුප්‍රකට ප්‍රංශ ලේඛක වික්ටර් හියුගෝ විසින් මහා නැපෝලියන් ගේ “පොඩි එකා” ලෙස හැඳින් වූ තුන්වෙනි නැපෝලියන් විසින් ප්‍රසියාව හෙවත් වර්තමාන ජර්මනියට එරෙහිව ප්‍රකාශ කල යුද්ධයට පසු තම ගමන අවසන් කලේ යුධ සිර කරුවෙකු බවට පත් වීමෙන්ය. එහි ප්‍රථිපලයක් ලෙස මුළු පැරීසියම ජර්මන් හමුදාව විසින් වට කරන ලදී. හාමතින් හා කුසගින්නෙන් මිදීමට සත්ව උද්‍යාන වල සතුන්, නිවෙස් තුල ඇතිකරන බල්ලන්, බළලුන් පවා ආහාරයට ගැනීමට පැරීසියේ ජනතාවට මෙම වැටලීම හමුවේ සිදු වී තිබිණි.

අවසානයේ රටේ මධ්‍යම ආණ්ඩුව ආක්‍රමණිකයා ඉදිරියේ දණ ගැසුවේ රටේ ස්වාධීනත්වය එවකට ජර්මනිය පාලනය කල බිස්මාක්ට අමු අමුවේ පාවා දෙමින් යටත් වීමේ ගිවිසුමකට අත්සන් තබමිනි.

එය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හා ඍජු ප්‍රජාතන්ත්‍රවාදය අතර සන්නද්ධ සටනක ආරම්හය විය. බිස්මාක්ගේ ප්‍රංශ රූකඩ රජයට නායකත්වය දුන් ඇන්ඩොල්ෆ් තියෙර් ජනතාව සමග එක් වූ ප්‍රංශ හමුදාවට තම කාල තුවක්කු භාර දී යටත් වන ලෙස නියෝග කලද, කාල තුවක්කු රැගෙන යාමට පැමිණි සොල්දාදුවන් තම නිලධාරීන් මරා දමා ජනතාව සමග එක්විණි. ප්‍රංශ රාජ්‍ය නායක ඇන්ඩොල්ෆ් තියෙර් තම සහචරයන් සමග ඒ අනුව වර්සයිල් මාලිගය වෙත පලා ගියේය.

1871 මාර්තු 18 දා එනම් අදින් වසර 153 කට පෙර හමුදාව හා ජනතාව එක් වී සුප්‍රකට පැරිස් කොමියුනය ඒ අනුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේය.

පැරිස් කොමියුනය කිසිවෙකු දැනුවත් භාවය ඇතිව හා ක්‍රමානුකූලව සංවිධානය කල ආකාරයකින් සකස් වී නොතිබුණි. ජර්මනිය සමඟ ඇති වූ අවාසනාවන්ත පරාජිත යුද්ධයක්! දීර්ඝ කාලයක් පැරීසිය ජර්මන් හමුදාව විසින් වැටලීම නිසා ඇතිවුණු දුක් වේදනා! නිර්ධන පංතියේ විරැකියාව සහ රටේ මධ්‍යම පංතික සුලු ධනේශ්වරයේ කඩා වැටීම! ජර්මන් ආක්‍රමණය ඉදිරියේ සම්පූර්ණ නොහැකියාව පෙන්නුම් කළ රටේ ඉහළ පන්තිවලට සහ බලධාරීන්ට එරෙහිව ගොඩ නැගුනු මහජන කෝපය! රටේ ඇති වූ හදිසි තත්වය ගැන සෑහීමකට පත් නොවූ සහ එය පරාජය කල හැකි වෙනත් නව සමාජ සම්මුතියක් අපේක්ෂා කරන කම්කරු පන්තිය තුළ ඇති වූ ව්‍යාකූල විඥාණය! ජනරජය කෙරෙහි සැකය හා භීතිය මතු කළ ජර්මන් සහය ලැබූ රූකඩ ජාතික සභාවේ රාජාණ්ඩුවාදී ප්‍රතිගාමී සංයුතිය යන මෙම සියලු සාධක සහ තවත් බොහෝ දේ පැරිසියේ ජනතාව 1871 මාර්තු 18 විප්ලවයට තල්ලු කළ අතර එය අනපේක්ෂිත ලෙස කම්කරු පංතිය හා සුළු ධනේශ්වරය ඇතුළු ජනතාව හා හමුදාව එක් වී නිර්මාණය කල ජාතික ආරක්ෂක බලකාය අතට දේශපාලන බලය ද පවරණු ලැබිණි.

ඒ අනුව රට තුල අවසානයේ ද්විත්ව බලයක් නිර්මාණය කරනු ලැබුවේය.

“එය ඉතිහාසයේ පෙර නොවූ විරූ සිදුවීමක් විය. එතෙක් බලය සාමාන්‍යයෙන් පැවතියේ විශාල ඉඩම් හිමියන් සහ ධනපතියන් අතේ ය. එනම් ඔවුන් විශ්වාස කර මහජන චන්දයෙන් පත්කර යවා තිබු මිනිසුන් අතේය :එනම් අප විසින් සම්ප්‍රදයානුකුල ලෙස හඳුන්වනු ලබන “රජය” එය විය. නමුත් මාර්තු 18 විප්ලවයෙන් පසු, ඇන්ඩොල්ෆ් තියර්ගේ රජය සිය හමුදා, පොලිසිය සහ එහි සිවිල් සේවකයින් සමඟ පැරීසියෙන් පලා ගිය විට, ජනතාව රටේ ප්‍රධාන ස්වාමිවරුන් බවට පත් වූ අතර බලය නිර්ධන පංතිය වෙතට ඍජුවම මාරුවිණි. එහෙත් සමාජය තුළ ප්‍රාග්ධනයට ආර්ථික වශයෙන් වහල් වී සිටින නිර්ධන පංතියට තමන් ප්‍රාග්ධනය හා බැඳ තබන සියළු දම්වැල් නොබිඳා දේශපාලනික වශයෙන් ආධිපත්‍යයක් දැරීමට නොහැකිය. එම නිසාම කොමියුනිස්ට් ව්‍යාපාරයට නොවැළැක්විය හැකි ලෙසම සමාජවාදී ආවරණයක් ගැනීමට සිදු වනුයේ ධනේශ්වරයේ ආධිපත්‍යය, ප්‍රාග්ධනයේ ආධිපත්‍යය පෙරලා දැමීමට සහ වත්මන් සමාජ පාලන තන්ත්‍රයේ පදනමම විනාශ කිරීමට එවැනි උපක්‍රමයක් අත්‍යවශ්‍ය වූ බැවිනි” ලෙනින් පැරිස් කොමියුනය නිර්වචනය කලේ ඒ ආකාරයෙනි.

ආරම්හයේදීම කොමියුනය අතිශයින් මිශ්‍ර හා ව්‍යාකූල බවක් පෙන්වනු ලැබුවේය. කොමියුනය ජර්මානු ආක්‍රමණයට එරෙහි යුද්ධය නැවත ආරම්භ කර එය සාර්ථක අවසානයකට ගෙන එනු ඇතැයි බලාපොරොත්තු වූ දේශප්‍රේමීන් එහි පෙරමුණේ සිටියේය. බිල්පත් සහ කුලී ගෙවීමට නොහැකි වූ කුඩා වෙළඳුන් කොමියුනයට සහාය විය. අවසාන වශයෙන්, ආරම්භයේ දී චන්දයෙන් ප්‍රතිගාමී ජාතික සභාවට පත් වී “ග්‍රාමීය ජනතා නායකයින් “හා ප්‍රංශ බයියන් විසින් නැවතත් රාජාණ්ඩුව ප්‍රතිෂ්ඨාපනය කරනු ඇතැයි බිය වූ ධනේශ්වර ජනරජවාදීන්ගේ අනුකම්පාව ද අර්ධ වශයෙන් කොමියුනයට ලැබුණි.

නමුත් මෙම ව්‍යාපාරයේ ප්‍රධාන භූමිකාව නිරායාසයෙන්ම ඉටු කරන ලද්දේ (1852-1870)දෙවන නැපෝලියන් අධිරාජ්‍යයේ අවසන් වසරවල ක්‍රියාකාරීව සමාජවාදී ප්‍රචාරක කටයුතු වල නිරත වූ හා මාක්ස්ගේ පළමු ජාත්‍යන්තරයට පවා අයත් වූ කම්කරුවන් හා පෘදොන්වාදීන් විසිනි.

මෙවැනි අභියෝග හමුවේ වුවද පැරිස් කොමියුනය පැවති දින 72 පුරා එහි සැබෑ සමාජවාදී අර්ථය සහ එහි අරමුණු ප්‍රමාණවත් ලෙස මුදුන්පත් කරමින් යම් යම් ප්‍රගතිශීලි ක්‍රියාමාර්ග රාශියක් ගැනීමට සමත් විය. මේ දක්වා ප්‍රංශය පාලනය කල පාලක පන්තීන්ගේ ප්‍රධාන මර්දන යාන්ත්‍රණය වූ හමුදාව හා පොලීසිය වෙනුවට සමස්ථ මහජනතාවගේ සාමාන්‍ය සන්නද්ධ කිරීම මගින් ජනතා හමුදාවක් ප්‍රතිස්ථාපනය කරනු ලැබුවේය. හමුදා නායකයින් පත් වූයේ හමුදා කමිටු වල එහි සාමාජිකයින්ගේ චන්දයෙනි. හමුදා නිලධාරීන්, පරිපාලන සේවකයින් හා විනිසුරුවන් නැවත කැඳවීමේ බලය ජනතාවට හිමි විනි. ඔවුන්ගේ වැටුප පුහුණු කම්කරුවන්ගේ වැටුපෙන් එහා නොගියේය. පල්ලිය සහ රාජ්‍යය වෙන් කිරීම ප්‍රකාශයට පත් කරනු ලැබිණි. ආගමික කටයුතු සඳහා හා පුජකයින් නඩත්තු කිරීම සඳහා රජයෙන් ලබා දෙන මුදල් අහෝසි කරනු ලැබුවේය.

රාජ්‍ය අධ්‍යාපනයට සම්පූර්ණයෙන්ම ලෞකික ස්වභාවයක් ලබා දුන් අතර එය නොමිලේ ලබා දෙනු ලැබීය. බේකරිවල රාත්‍රී වැඩ මුරය තහනම් කරනු ලැබුවේය. අවසාන වශයෙන් අයිතිකරුවන් විසින් අත්හැර දැමූ හෝ බංකොලොත් වී නතර කරන ලද සියලුම කර්මාන්තශාලා, කර්මාන්තශාලා සහ වැඩමුළු නිෂ්පාදන නැවත ආරම්භ කර ඒවා කම්කරු සංගම් වෙත භාර දී ඒවායේ නිෂ්පාදනයන් යලි සක්‍රිය කරන ලදී. එමෙන්ම කොමියුනය නියම ප්‍රජාතන්ත්‍රවාදී සහ නිර්ධන පන්ති ආන්ඩුවක් ලෙස පරිපාලනයේ සහ රජයේ සියලුම සිවිල් සේවකයන්ගේ වැටුප කම්කරුවෙකුගේ සාමාන්‍ය වැටුප නොඉක්ම වූ අතර කිසිම අවස්ථාවක ඔවුන්ගේ වැටුප වසරකට ෆ්‍රෑන්ක් 6,000 ට වඩා ඉක්මවා ගියේ නැත.

කෙසේවෙතත් මෙම නව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වලට එරෙහිව ප්‍රංශයේ සමස්ත ධනේශ්වරය, මහා ඉඩම් හිමියන්, සමස්ත කොටස් වෙළෙඳපොළ, සියලුම නිෂ්පාදකයින්, සියලුම ලොකු කුඩා හොරුන්, සියලු සූරාකන්නන් ඉතා කෙටි කලකින් තනි පෙරමුණකට ඒකරාශී විය. ජර්මනියේ බිස්මාර්ක් වහා ප්‍රංශ යුධ සිරකරුවන් 100,000 ක් නිදහස් කර පලා ගිය තියෙර්ගේ රජයට සහය සඳහා ලබා දුන්නේය. මෙම ප්‍රතිගාමී ධනේශ්වර සභාගය විසින් නූගත් ගොවීන් සහ ප්‍රංශයේ සෙසු පළාත් වල සුළු ධනේශ්වරය පැරිසියේ නිර්ධන පංතියට එරෙහිව අගනුවර අඩ කවයකට කොටු කිරීමට සමත් විනි. ඉතිරි කොටස ජර්මන් හමුදාව විසින් කොටු කරන ලදී.

ප්‍රංශයේ ඇතැම් විශාල නගරවල (Marseille, Lyon, Saint-Etienne, Dijon සහ වෙනත් තැන්වල), කම්කරුවන් ද බලය අල්ලා ගැනීමට, කොමියුනය ප්‍රකාශ කිරීමට සහ පැරිසියේ ආධාරයට යාමට උත්සාහ කළ නමුත් මෙම උත්සාහයන් ඉක්මනින් අසාර්ථක විය. පැරීසියෙන් ඉතා සමීපව වාඩිලා සිටි තියෙර් ඇතුළු කල්ලිය හඹා යාමට කොමියුනය අපෝසත් වූ බව මාක්ස් ලියා තැබීය. ශක්තිමත් මධ්‍යගත රාජ්‍ය යාන්ත්‍රණයක් හා හමුදාවක් බිහි කිරීමට මැලිවීම, ප්‍රංශ ධනපති පංතියට අයත් බැංකු වල තැන්පත් කල රත්‍රං, මුදල් ජනසතු නොකිරීම වැනි ප්‍රධාන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට කොමියුනය සමත් නොවීම නිසා එය විනාශ කර දැමීමට ප්‍රංශ හා ජර්මන් ධනපති පංතිය සමත් විය යයි මාක්ස් තව දුරටත් පෙන්වා දුන්නේය.

“සමාජ විප්ලවයක් ජයග්‍රහණය කිරීම සඳහා අවම වශයෙන් කොන්දේසි දෙකක් අවශ්‍ය වේ: ඉතා දියුණු නිෂ්පාදන බලවේග සහ හොඳින් සූදානම් වූ නිර්ධන පංතියක්. නමුත් 1871 දී මෙම කොන්දේසි දෙකම ඒ යුගයේ ප්‍රංශයේ ඉටු වී තිබුනේ නැත. ප්‍රංශ ධනවාදය තවමත් නොදියුණු වූ අතර ප්‍රංශය සියල්ලටම වඩා සුළු ධනේශ්වරයේ (ශිල්පීන්, ගොවීන්, කුඩා හා මධ්‍යම සමාගම් හිමියන් යනාදිය) රටක් විය. තවද, එහි විප්ලවීය කම්කරු පක්ෂයක් නොතිබුණි; කම්කරු පන්තියට සූදානමක් හෝ දිගු පුහුණුවක් නොතිබූ අතර එහි සංයුතිය තුල එහි ප්‍රධාන කාර්යයන් සහ එම වගකීම් ඉටු කිරීමේ මාධ්‍යයන් පිළිබඳ ඉතා පැහැදිලි අදහසක් පවා නොතිබුණි. නිර්ධන පංතියේ බැරෑරුම් දේශපාලන සංවිධානයක් හෝ වෘත්තීය සමිති හෝ මහජන සමුපකාර සංගම් තිබුණේ ද නැත. මැයි 21 සහ 28 අතර සිදු වූ කොමියුනයේ අවසානය දක්වා කාලය තුල එවැනි ශක්තිමත් ව්‍යපෘති පිළිබඳව බැරෑරුම් ලෙස සිතීමට කාලයක් නොතිබුණි” යයි ලෙනින් ලියා තැබුවේය.

වහල්භාවය සහ සූරාකෑම මත පදනම් වූ පැරණි ලෝකයට කොමියුනය මාරාන්තික අනතුරක් බව මෙම ප්‍රතිගාමීන් දියත් කල සියලු ක්‍රියාමාර්ග මගින් ඉතා පැහැදිලිව පෙන්නුම් කරනු ලැබුවේය. ප්‍රංශ කම්කරුවන් පමණක් සටනේ අවසානය දක්වාම කොමියුනයට පක්ෂපාතීව දිවි හිමියෙන් සටන් වැදිණි. ධනේශ්වර ජනරජවාදීන් සහ සුලු ධනේශ්වරය ඉක්මනින්ම බිඳී ගියේය: මොවුන්ගෙන් සමහරුන් කොමියුනයේ නිර්ධන පංති, සමාජවාදී සහ විප්ලවවාදී ස්වභාවයෙන් බියට පත් වූහ. ප්‍රංශ නිර්ධන පංතිය පමණක් බියෙන් හා වෙහෙසකින් තොරව ඔවුන්ගේ ආන්ඩුවට සහාය දුන්හ. ඔවුන් තනිවම සටන් කර මිය ගියේ කම්කරු පන්තියේ විමුක්තිය සඳහා සියලු කම්කරුවන්ට යහපත් අනාගතයක් නිර්මාණය කිරීමේ උතුම් වූ අරමුණ වෙනුවෙන්ය. බිස්මාක් විසින් මුදා හරින ලද ප්‍රංශ සොල්දාදුවන් විසින් පැරිසියානුවන් 30,000 කට ආසන්න පිරිසක් සමූල ඝාතනය කරන ලදී. 45,000 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පසුව අත්අඩංගුවේ දී ඝාතනය කරන ලදී. තවත් දහස් ගණනක් සිය යටත් විජිත වලට යවා පිටුවහල් කරන ලදී. සමස්තයක් වශයෙන්, පැරිසියට එහි දූ පුතුන් 100,000 ක් පමණ අහිමි වූ අතර ඔවුන් අතර සියලු වෘත්තීන්හි නිරත වී සිටි හොඳම කම්කරුවන්ද අයත් විය.

ධනේශ්වරය සතුටු විය. “දැන්, සමාජවාදය අවසන්, තවත් කාලයකට උන් හිස නො ඔසවනු ඇත », එහි නායක, ලේ පිපාසිත ඇන්ඩොල්ෆ් තියෙර් හා කොමියුනය සුනු විසිනු කල හමුදා නායකයා වූ මැක්මහොන් , ඔහුගේ ජෙනරාල්වරුන් සමඟ මහත් උජාරුවෙන් එසේ පැවසුහ. නමුත් තම වැඩිහිටියන්ගේ අත්දැකීම්වලින් පොහොසත් වූ ප්‍රංශ හා ජාත්‍යන්තර නව සමාජවාදී පරපුර කොමියුනයේ පරාජයෙන් කිසි ලෙසකින්වත් අධෛර්යයට පත් නොවී විප්ලවය දිනේවා ! පැරිස් කොමියුනය දිගු කල් දිනේවා ! යන සටන් පාථ ඔස්සේ රුසියාවේ, චීනයේ, කියුබාවේ, නිකරගුවාවේ විප්ලව ජයග්‍රහණය දක්වා මෙහයවනු ලැබුවේය. 1917 ලෙනින් විසින් නායකත්වය දුන් බෝල්ෂෙවික් විප්ලවය තම පළමු දින 72 පසුකල පසු ලෙනින් හිම මත නටනු ලැබූ බව රුසියානු ඉතිහාසයේ සඳහන් වේ. පැරිස් කොමියුනයේ වැටීමත් සමග සිර ගත වූ Eugène pottier විසින් රචිත කවි පංතිය පසුව ලොව සියළු ජාත්‍යන්තරවාදීන් ගයන “ජාත්‍යන්තර කම්කරු ගීතය” බවට පත් විණි.

පැරිස් කොමියුනයේ සටන්කාමීන් පිළිබඳ මතකය ප්‍රංශ කම්කරුවන් විසින් පමණක් නොව, එය මුළු ලෝකයේම නිර්ධන පංතිය විසින් ගෞරවයට පාත්‍ර කරනු ලැබුවේ ඒ ආකාරයෙනි. මක්නිසාද යත් කොමියුනය සටන් කළේ කිසියම් දේශීය හෝ පටු ජාතික අරමුණක් සඳහා නොව, වැඩ කරන සියලු මනුෂ්‍ය වර්ගයාගේ, සියලු නින්දා අපහාසවලට ලක් වූ පීඩිතයන්ගේ විමුක්තිය සඳහා ය. ලෝකයේ සිදු වූ සියළු සමාජ විප්ලවයේ ප්‍රධාන විප්ලවීය සංකේතය පැරිස් කොමියූනය විය. මාස දෙකකට වැඩි කාලයක් අල්ලාගෙන සිටි කම්කරු ආණ්ඩුවේ ප්‍රතිරූපය හා පැරිසියේ කාලතුවක්කු හඬ ලෝක නිර්ධන පංතියේ වඩාත්ම පසුගාමී ස්ථරයන් ඔවුන්ගේ ගැඹුරු නින්දෙන් අවදි කළ අතර ලොව සෑම තැනකම මුළු දුන් විප්ලවවාදී සමාජවාදී ප්‍රචාරණයට හා අරගලයන්ට නව ජවයක් එමගින් ලබා දුන්නේය. දින 72ක් පැවැති පැරිස් කොමියුනය කිසිදා මිය නොයන්නේ ඒ නිසාවෙනි! පැරිස් කොමියුනය අදටත් ජීවමානය! එය අදත් සියළු විප්ලවීය හදවත් තුළ සදාකාලිකව ජීවත් වේ! දින 72ක් පැවැති පැරිස් කොමියුනය කම්කරුවන්ගේ හා ලෝක නිර්ධන පංතියේ සමස්ත දේශපාලන හා ආර්ථික විමුක්තිය වෙනුවෙන් සටන් කරනු ලැබූ නිසාම එය අමරණීය විප්ලවීය ආණ්ඩුවක් විය.

එම නිසාම සකල ජාතික හා ජාත්‍යන්තර ප්‍රතිගාමීන් එය විනාශ කිරීම සඳහා තනි මිටකට පෙළ ගැසුණි. පසුකාලීනව ප්‍රංශයේ බලයට පත් වූ ජෙනරල් ඩිගොල් පවා කොමියුනය වෙනුවෙන් සටන් වැදුණු හමුදා නායකයින් වෙනුවෙන් තම රාජ්‍ය ගෞරවය දක්වනු ලැබුවේය. පැරිස් කොමියුනයේ ප්‍රථිපලයක් ලෙස 1905 දී රජය හා ආගම යලි ප්‍රංශයේ වෙන් කරනු ලැබුවේය. අධ්‍යාපනයේ ලෞකික අයිතිය තහවුරු කරනු ලැබුවේ එය සියළු ආගමික බලපෑමෙන් නිදහස් කරමිනි. අදටත් ප්‍රංශය 1871 මාර්තු 18 සිට මැයි 27 දක්වා දින 72ක් පුරා ප්‍රංශය පාලනය කල කම්කරු පංතිය නායකත්වය දුන් පැරිස් කොමියුනය වෙනුවෙන් කඳුළු සලයි. එය සැමරීම සඳහා විවිධ සැමරුම් උත්සව ද මාර්තු 18 වන අද සිට ප්‍රංශය පුරා සංවිධානය කරනු ලබයි.

1871 මාර්තු 18 පැරිස් කොමියුනය අදටත් ජීවමානය !