ගෝලීය අර්බුද සමග ගැටගැසුණු යුරෝපයේ ගොවි විරෝධතා

SHARE

යුරෝපා රටවල් දෙකක ගොවීහු යළිත් වරක් යුරෝපා සංගමයේ පාරිසරික ආරක්ෂණ ප්‍රතිපත්තිවලට එරෙහිව සහ කෘෂිකර්මාන්තය වෙනුවෙන් සහන ලබා දෙන ලෙස තම ආණ්ඩුවලට බල කරමින් පෙබරවාරි  15 බ්‍රහස්පතින්දා  උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කළහ. මෙලෙස අලු‍තින් විරෝධතාවලට එක් වූයේ ඉතාලියේ සහ මෝල්ටාවේ ගොවීන්ය. මීට පෙර ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම,  නෙදර්ලන්තය, පෝලන්තය, බල්ගේරියාව, ග්‍රීසිය හා රුමේනියාව යන රටවල ගොවීහු මේ ආකාරයේම විරෝධතාවලට එක්වී සිටියහ. ඒ, ට්‍රැක්ටර් වැනි කෘෂිකාර්මික රථ දහස් ගණනක් රැගෙන ඒ ඒ රටවල ප්‍රධාන නගරවල මාර්ග අවහිර කරමින් විරෝධතාවෙහි යෙදෙමිනි.

මේ සෑම රටකම ගොවීන්ගේ ඉල්ලීම් බොහෝ දුරට සමාන විය. ඔවුන්ගේ අස්වනු සඳහා ප්‍රමාණවත් මිලක් නොලැබීම, නිෂ්පාදන වියදම් ඉහළ යාම, යුරෝපීය නොවන රටවලින් ආනයනය කෙරෙන නිෂ්පාදනවල අඩු මිල ගණන් සමග තරග කිරීමේ අපහසුතාවය සහ යුරෝපා සංගමය විසින් හඳුන්වා දී ඇති  පාරිසරික ආරක්ෂණ ප්‍රතිපත්තීන් මෙම විරෝධතා වලට බලපා තිබුණි.

නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම

විශේෂයෙන්ම 2022 පෙබරවාරි මාසයේදී රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු බොහෝ යුරෝපා සංගම් රටවල ගොවීන්ගේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් තිබේ. බලශක්තිය, පොහොර හා ප්‍රවාහන වියදම් ඉහළ යෑම ප්‍රධාන වශයෙන් ඊට හේතු වී තිබේ. ඒ අතරම පාරිභෝගිකයන්ගේ ජීවන වියදම  පහළ දැමීම සඳහා රජය සහ සිල්ලර වෙළෙන්දන් ආහාර මිල ගණන් පහත දැමීම විසින් ගොවීන් තවදුරටත් දුෂ්කරතාවට මුහුණ පෑවේය. 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා තොග මිල ගණන් සියයට නමයකින් (9%) අඩුවී තිබේ.

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරිමත් සමඟ යුක්‍රේන කෘෂි නිෂ්පාදන සඳහා තීරු බදු සහන හා වැඩි කෝටා ප්‍රමාණයක් ලබා දීමත් ඊට අමතරව මධ්‍යම හා නැගෙනහිර යුරෝපා රටවලින් අඩු මිල කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනයත් හේතුවෙන් තරගකාරීත්වයේදී යුරෝපා සංගමයේ රටවල ගොවීන්ට බරපතළ අසාධාරණයක් සිදුවී ඇතැයි පැවසේ. එසේම ප්‍රංශය වැනි රටවලට  නවසීලන්තය හා චිලිය වැනි රටවලින් ආනයනය කරන අඩු මිල කෘෂි නිෂ්පාදන විසින්ද තරගය තීව්‍ර කරනු ලැබ තිබේ. ප්‍රංශ ගොවීන් පවසන්නේ එම රටවල ගොවීන්ට පනවා ඇති පාරිසරික සීමා කිරීම් අඩු බැවින් ඔවුන්ගේ කෘෂි නිෂ්පාදන පිරිවැය අඩු බවයි. යුරෝපා සංගමය සහ දකුණු ඇමරිකාවේ ඵැරජදිමර සංවිධානය අතර ඇති කරගත් පුළුල් වෙළඳ ගිවිසුමද ගොවීන්ගේ විරෝධයට හේතුවක් වී ඇත. මෙම ගිවිසුම ක්‍රියාත්මක වීමේදී යුරෝපය වෙත අඩු මිල සීනි, ධාන්‍ය හා මස් පැමිණෙනු ඇති අතර එමගින්ද තමන්ට බරපතළ අවාසි සහගත තරගයක් ඇති කරනු ඇති බව ඔවුන්ගේ අදහසයි.

Thousands of Dutch farmers return to roads in protest - Agriland.co.uk

කාලගුණික විපර්යාස මගින් ඇති කෙරෙන බලපෑම්

මේ අතර කාලගුණික විපර්යාසයන්ද යුරෝපා කෘෂිකර්මාන්තයට දැඩි ලෙස බලපා තිබේ. දකුණු ස්පාඤ්ඤයේ සමහර ජලාශවල ජල ධාරිතාව 4%ක්  දක්වා පහත ඇති බැස ඇති අතර ලැව් ගිනි හේතුවෙන් 2023 වසරේදී ග්‍රීසියේ ගොවිපළ ආදායමෙන් 20%ක්  පමණ විනාශ වී ගොස් ඇත. ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ කලක් තිස්සේ පවතින නියඟය නිසා ඉදිරියේදී එම රටවල ආණ්ඩු ජල පරිභෝජනය සඳහා සීමා ඇති කිරීමට ඉඩ ඇති අතර  එසේ වුවොත් මෙම තත්ත්වය තවත් උග්‍ර වනු ඇතැයි ගොවීහු පවසති.

යුරෝපා සංගමයේ පාරිසරික නීති

මීට අමතරව යුරෝපීය ගොවීන් ප්‍රකාශ කරන්නේ ජනතාව මිල අඩු ආහාර නිෂ්පාදනයන් ඉල්ලා සිටින අතර යුරෝපා සංගමය පාරිසරික නීති දැඩි කරමින් තමන්ට මිල අඩු ආහාර නිපදවීමට බාධා පමුණුවන බවයි. මේ හේතුවෙන් යුරෝපා සංගමය තුළ කුඩා පරිමාණ ගොවිපළවල් විනාශ වී මහා පරිමාණ ගොවිපළවල් පමණක් ඉතිරි වන තත්වයක් ඇති වී තිබේ. 2005 වසරේ සිට සලකා බැලූ විට මේ වන විට යුරෝපා සංගමයේ කුඩා ගොවිපළවල් ගණන තුනෙන් එකකින් අඩුවී තිබේ.

යුරෝපා සංගමයේ හරිතාගාර වායු විමෝචනයෙන්  11% ක් සිදුවන්නේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය මගිනි. එය පාලනය කිරීම සඳහා යුරෝපා සංගමය හඳුන්වා දී ඇති පාරිසරික නීතිද බරපතළ ලෙස යුරෝපයේ කෘෂිකාර්මික නිෂ්පාදනවල පිරිවැය ඉහළ දැමීමට හේතු වී තිබේ. යුරෝපා සංගමයේ පාරිසරික යෝජනා අනුව 2030 වසර වන විට කෘමිනාශක භාවිතය 50%කින් අඩු කළ යුතු අතර පොහොර භාවිතය 20%කින්  අඩු කළ යුතුය. කෘෂිකාර්මික ඉඩම්වලින් වැඩි ප්‍රමාණයක් කෘෂි කාර්මික නොවන වගාවන් සඳහා වෙන් කිරීම හෝ පුරන්වීමට හැරීම කළ යුතුය. යුරෝපා සංගමය තුළ ඇති ගොවි බිම්වලින් 25%ක කාබනික කෘෂි වගා නිෂ්පාදනය දෙගුණ කළ යුතුය. මීට අමතරව වාරිමාර්ග ක්ෂේත්‍රයේ හා සත්ව සුභසාධනයට අදාළ යුරෝපා සංගමයේ නීති හේතුවෙන් ගොවීහු තවදුරටත් පීඩාවට පත්ව සිටිති.

Farmers protest in Berlin : europics

යුරෝපා ආණ්ඩු පසු බසී

යුරෝපයේ ගොවීන්ගේ මෙම විරෝධතාවන් කොතරම් ප්‍රබල වීද යත් ඒ ඒ රටවල ආණ්ඩුවලටත් යුරෝපා සංගමයටත් ඊට විසඳුම් නොදී සිටීමට නොහැකි විය. ඒ අනුව ජර්මනිය තමන් යෝජනා කර තිබූ ඩීසල් සඳහා ලබාදී ඇති සහන කප්පාදුව නවතා දැම්මේය.  ප්‍රංශය ඩීසල් සඳහා යෝජනා කර තිබූ බදු ඉහළ දැමීම නවතා දැමීය. අනෙකුත් සහන කප්පාදු ටික කලකට කල් දමනු ලැබ තිබේ. අමතර යුරෝ මිලියන 150ක්  කෘෂි කාර්මික සුභසාධනය සඳහා යෙදවීමට ප්‍රංශ ආණ්ඩුව තීරණය කර තිබේ.

යුරෝපා සංගමය යුක්‍රේනයේ කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය වහාම සීමා කිරීමට තීරණය කළ අතර ගොවි බිම්වලින් 4%ක්  පුරන් බිම් ලෙස නොතැබුවද 2024 වසරේ ගොවීන් සඳහා වෙන්කර ඇති සහනාධාර දිගටම ලබාදීමට තීරණය කර තිබේ.

එසේම ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්ක්‍රෝන් සහ අයර්ලන්ත ජනාධිපති ලියෝ වැරඞ්කා ප්‍රකාශ කළේ යුරෝපා සංගමය හා දකුණු ඇමරිකාවේ ඵැරජදිමර අතර වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීම යළි සලකා බලන බවය.

කෙසේ වෙතත් ඇතැමුන් මත පළ කරමින් ප්‍රකාශ කර සිටින්නේ යුරෝපා සංගමයේ ආණ්ඩු මෙම පසු බැසීම සිදුකර ඇත්තේ එසේ නොකළහොත් ඉදිරියේ එන මැතිවරණයේදී එය තමන්ට අවාසිදායක ලෙස බලපාන බැවින්ය. එසේම එය තාවකාලික ක්‍රියා මාර්ගයක් වනු ඇති බවත් ඔවුහු පවසති.

යුරෝපා සංගමය හා එක් එක් රටවල ආණ්ඩු තම සහන කප්පාදු ක්‍රියාමාර්ග තාවකාලිකව ආපසු  ඇද ගත්තද මතුවී ඇති කෘෂිකාර්මික අර්බුදයට එය දීර්ඝ කාලීන පිළියමක්  නොවනු ඇත.

ගෝලීය අර්බුද සමග ගැටගැසුණු යුරෝපයේ ගොවි විරෝධතා