නව නිදහස් අරගලයක් ඇයි?

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

මේ වන විට ලාංකේය දේශපාලනය නව පරිවර්තන යුගයකට අවතීර්ණ වී තිබේ. මෙරට පොදු ජනයා මෙතෙක් කල් තෝරාගත් සාම්ප්‍රදායික, පැරණි දේශපාලන මාවත ප්‍රතික්ෂේප කරමින් නව සමාජ ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් මාලිමාව වටා අධිෂ්ඨානයෙන් එක රොක් වෙමින් සිටී. එබැවින් ඉදිරි මාස කිහිපය තුළ මෙරට පැවති සාම්ප්‍රදායික දූෂිත ප්‍රභූ පාලනය වෙනස් කර, මහජන පාලනයක් බිහිවීමේ පෙරනිමිති පහළ වී තිබේ.

මේ නිසාම රට පාලනය කළ සකලවිධ ජනතා සතුරෝ කලබලයට පත්ව හිස ලූ ලූ අත දුවමින් විවිධ සන්ධාන, හවුල් අටවමින්, ජ.වි.පෙ.ට, මාලිමාවට මඩ අවලාද නගමින් විකාරරූපී රංගනයකද යෙදී සිටිති.

වර්තමාන දේශපාලනය නව මහජන ව්‍යාපාරයක් වෙත විශාල අභියෝග ගණනාවක් මතුකර තිබේ. හෙට දවසේ ජනතාවගේ ශක්තියෙන් ගොඩනැගෙන ජනතා පාලනය ඉදිරියේ ඇති අභියෝග හරියටම හඳුනා ගැනීම එම පාලනය, ජයග්‍රහණයන් ඔස්සේ යාම සඳහා වැදගත් වේ.

මේ වන විට ලංකාවේ පවතින ආර්ථික අර්බුදය සරල ආර්ථික අර්බුදයක් නොවේ. මීට පෙර පැවති මැතිවරණවලදී මෙන් සරල ආර්ථික සටන් පාඨවලට යටකළ නොහැකි අර්බුදයක් රට ඉදිරියේ තිබේ. ‘හඳෙන් හාල්’, ‘ඇට රාත්තල් අට’, ‘3.50ට පාන්’, ‘නොමිලේ පොහොර’ වැනි සටන් පාඨ වත්මන් අර්බුදය තුළ තවදුරටත් වලංගු නැත. මේ වන විට ලංකාවේ ආර්ථිකය මුළුමනින්ම බිඳදමා රට ආර්ථික වශයෙන් බංකොලොත් කර බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාශ කරද තිබේ. රටේ නිෂ්පාදන මාර්ග දුර්වල කිරීමේ, නිෂ්පාදන මාර්ග වසා දැමීමේ හා තිබෙන නිෂ්පාදන මාර්ග ඵලදායී නොවීමේ ප්‍රතිඵලය වී ඇත්තේ රට කරගෙන යාමට අවශ්‍ය අවම වත්කම හෝ උපයා ගැනීමට සමත් ආර්ථිකයක් රටට අහිමි වීමය.

පසුගිය දශක 04ක පමණ කාලය තුළ වත්කම් නොමැති වීමේ ගැටලුවට පාලකයන් විසඳුම් සෙවූයේ මහා පරිමාණයෙන් ණය ගැනීම තුළිනි. එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ මේ වන විට ගෙවා ගත නොහැකි තරමේ ණය කන්දකට රට යටවීමය. ණය ගෙවා ගැනීමට නොහැකිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීමට පවා සිදුවූයේ ණය කන්දේ විශාලත්වය වැඩි නිසාය. ණය මත යැපීමේ තත්වය තවමත් වෙනස්වී නැත. ආණ්ඩුව මේ වසර තුළදීද රුපියල් බිලියන 7350ක ණයක් ගැනීමට අපේක්ෂා කිරීමෙන්ම එහි බරපතළකම පෙනේ.

මේ අනුව එක් අතකින් දැන් ලංකාවට ආර්ථිකයක් නැත. එබැවින් හෙට දවසේ ගොඩනඟන මහජන පාලනයක අභියෝගය වන්නේ වට්ටවන ලද ආර්ථිකය යළි ගොඩගැනීමය. ශක්තිමත්, ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කිරීමත් එහි ආර්ථිකයේ ප්‍රතිලාභ සියලු ජනයාට සාධාරණව බෙදී යන ක්‍රමයක් සැකසීමත් අප ඉදිරියේ ඇති අභියෝගය වේ.

අනෙක් අතට ලංකාව ආර්ථික වශයෙන් පරාධීනය. ලංකාවේ ආර්ථික ස්වාධීනත්වය නැත. මේ මොහොතේ ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය තීරණය කරන්නේ රනිල්-රාජපක්ෂ පාලනය නොව මූල්‍ය අරමුදලය. අනෙක් අතට ආර්ථිකයක් ගොඩගැනීමට අත්‍යවශ්‍ය සම්පත් විදේශ සමාගම් සතු කර තිබේ. ලංකාවේ වරායවල්, තෙල් බෙදා හැරීම, සමහර ස්වභාවික සම්පත් විදේශ සමාගම්වලට පවරා තිබේ. ඉන් නොනැවතී ටෙලිකොම්, විදුලි බල මණ්ඩලය විකිණීමටද උත්සාහ දරමින් තිබේ. ලංකාවේ කිරි ගොවිපළ පවා විදේශ සමාගමකට බදු දීමට සූදානම්ය.

එසේම ලංකාව ලෝකය හමුවේ ණය ගැති රටක් බවට පත්කර තිබේ. ණය නිසා රටවලට ගැතිවී සිටීමට එම තත්වය ලංකාවට බලකර තිබේ. පාලකයන්ද ණය වෙනුවෙන් බලවත් රටවල් හමුවේ සිය ගැතිභාවය පෙන්වා තිබේ.

මේ සියල්ලලෙන් පෙන්නුම් කරන්නේ ලංකාවේ ආර්ථිකයත් දේශපාලනයත් පරාධීන බවය. ඒ නිසාම ශක්තිමත් ස්ථාවර (නිෂ්පාදනය මත පදනම් වූ) ආර්ථිකයක් ගොඩනඟන අතර ආර්ථිකයේ ස්වාධීනත්වය දිනාගත යුතුව තිබේ. ලංකාව ආර්ථික, දේශපාලන පරාධීනත්වයෙන් මුදා ගත යුතුව තිබේ. ලංකාවේ තවමත් පවතින නව යටත්විජිතවාදී ආර්ථික, දේශපාලන ගමන තුළ ණය අර්බුදය හා ආර්ථික බංකොලොත්භාවය විසින් නිර්මාණය කරන ලද තත්වයන්ද සැලකිල්ලට ගත් විට දැන් අපේ රටට නව නිදහස් අරගලයක වුවමනාව මතුව තිබේ.

ඒ, ශක්තිමත් ස්ථාවර ආර්ථිකය සමග ආර්ථිකයේ ස්වාධීනත්වයද දිනාගත යුතු නිසාය; ආර්ථික, දේශපාලන පරාධීනත්වය පරාජය කොට ලංකාව ලෝකය ඉදිරියේ දෙපයින් සිට විය යුතු නිසාය. ඒ සඳහා කරන අරගලය නව නිදහස් අරගලයක ලක්ෂණ පෙන්වීම ස්වභාවිකය.

එසේම මේ වන විට අපේ රටේ සමාජයද බරපතළ පිරිහීමකට ලකිව තිබේ. වංචා, දූෂණ, හොරකම දේශපාලනයේ සංස්කෘතිය බවට පත්ව තිබේ. මහජන සේවා බිඳවැටී තිබේ. නීතියේ විධානය හා ආධිපත්‍යය නැති සාධාරණත්වය නැති විනයක් නැති රටක් බවට ලංකාව පත්කර තිබේ. සාමූහිකත්වය වෙනුවට ආත්මාර්ථය රජවී තිබේ. මානව ගුණධර්ම බිඳවැටී තිබේ. එය මෙතෙක් පවත්වාගෙන ආ කොල්ලකාරී, ඊනියා විවෘත ආර්ථිකයේම අතුරු ඵල බව පැහැදිලිය. ඒ නිසාම දැන් සමාජය තුළද බරපතළ වෙනසක්, පරිවර්තනයක් කළ යුතුව තිබේ. සාමූහිකත්වය, ආදරය මනුෂ්‍යත්වය පිරුණු, වංචා දූෂණ නැති, විනයගරුක සමාජයක් නිර්මාණය කිරීමේ අභියෝගය අප ඉදිරියේ තිබේ. අලුතින් සිතන මිනිසෙක් නිර්මාණය කළ යුතුය. ඒ සඳහා ජාතික පිබිදීමක්, ජාතික පුනර්ජීවනයක් අවශ්‍යය. ඒ නිසාම අලුතින් ගොඩනඟන මහජන පාලනයට, නව නිදහස් අරගලයක කාර්යභාරය සේම ජාතික පුනරුද ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වීමේ අභියෝගයද පැවරේ.

අනෙක් අතට නිදහසින් පසු වසර 76ක් තිස්සේ ගොඩනැගීමට අසමත් වූ ජාතික ඒකාග්‍රතාවය, ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීමේ අභියෝගයද මහජන ව්‍යාපාරය ඉදිරියේ තිබේ. මාලිමාව ජනතා බලවේග පෙළගැස්විය යුතු වන්නේ ඉහත දැවැන්ත අභියෝග ජය ගැනීමට අවශ්‍ය දැනුම, හැකියාව හා කැපවීම සහිතවය.

ඒ අනුව මෙම වසරේ සමාජය තුළ ගැඹුරු, පුළුල් පරිවර්තනයකට මාවත විවර කරන වසරක් වන බව ඉතා පැහැදිලිය. වසර 76ක දූෂිත, ප්‍රභූ පවුල් පාලනය නිමා කිරීම පහසු වූවත් ඉන්පසු ගොඩනඟන පාලනය හමුවේ වන අභියෝග සුළුපටු වන්නේ නැත. එබැවින් ජාතික ජන බලවේගයත් එය සමග අත්වැල් බැඳගත් සියලු බලවේගයන්ගේ හා පොදු ජනතාවගේත් වගකීම වන්නේ තමන් ඉදිරිපිට ඇති සැබෑ අභියෝගයන් තමන් වෙත පැවරෙන කාර්යභාරයන් නිවැරදිවම හඳුනා ගැනීමය. ඒ අනුව අප ඉදිරියේ ඇති අභියෝගය වන්නේ ශක්තිමත්, ස්ථාවර ආර්ථියක් ගොඩනඟමින් ආර්ථික ස්වාධීනත්වය ඇති කිරීමත් ඊට ගැලපෙන ලෙස සමාජය තුළ ගැඹුරු පරිවර්තනයන් ඇති කරමින් නව සමාජයක් නව මිනිසෙක් ගොඩනැගීමය. ඒ නිසාම මෙය නව ජාතික නිදහස් අරගලයක, ජාතික පුනරුදයක ස්වරූපය ගනු ඇත.

  • නියමුවා / 2024 මාර්තු

නව නිදහස් අරගලයක් ඇයි?