ඊශ්‍රායල ජන සංහාරය සහ ජාත්‍යන්තර සංවිධාන

SHARE

2023 ඔක්තෝබර් 23 දින ආරම්භ කළ ගාසා තීරයේ ජීවත් වන පලස්තීනුවන්ට එරෙහි වර්තමාන යුද්ධය හේතුවෙන් මේ වන විට කුඩා ළමයින් 31,000ක් සහ අනෙකුත් පලස්තීනුවන් 40,000කට වඩා ඊශ්‍රායල හමුදා චේතනාන්විතව ඝාතනය කර ඇත. මාස 7කට වඩා ගත වී ඇතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන විසින් යම් නිහඬ ප්‍රතිපත්තියක් මෑතක් වන තුරුම අනුගමනය කරන ලදී. නමුත්,  මාස ගණනක සාක්ෂි රැස් කිරීමෙන් පසු පසුගිය මැයි 20දා ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) ප්‍රධාන අභිචෝදක, කරීම් ඛාන්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ආරක්ෂක අමාත්‍ය යෝයව් ගැලන්ට්  මෙන්ම හමාස් නායක යහයා  ඇතුළු දේශපාලන කාර්යාංශයේ ප්‍රධානියා වන ඉස්මයිල් හනියේ සහ එහි හමුදා අංශයේ ප්‍රධානියා වන මොහොමඞ් ඩීෆ් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ඉල්ලා සිටින බව නිවේදනය කළේ ය. නෙතන්යාහු සහ ගැලන්ට්ට එරෙහිව, ‘සිවිල් වැසියන් සාගින්නෙන් මැරීම යුද ක්‍රමයක් ලෙස’‍, ‘සමූලඝාතනය’‍, ‘‍ඉතාම විශාල දුක් වේදනා ඇති කිරීම’‍ සහ හිතාමතාම ‘‍සිවිල් වැසියන්ට එරෙහිව ප්‍රහාර මෙහෙයැවීම’‍ යන චෝදනා එල්ල වී  ඇත. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල නායකයන්ට එරෙහිව අධිචෝදනා පත්‍රය ‘අමුතු’‍ ලෙස හඳුන්වමින් ඛාන්ගේ තීරණය විවේචනය කළේ ය. ජනාධිපති ජෝ බයිඩන්, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ එක්සත් ජනපද නීති සම්පාදකයන් කිහිප දෙනකු කියා සිටියේ ඛාන්, හමාස් ‘ත්‍රස්තවාදීන්’ සහ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ඊශ්‍රායල නායකයන් අතර ව්‍යාජ සදාචාරාත්මක සමානතාවක් ඇති කර ඇති බවයි. ඊශ්‍රායල ප්‍රශ්නය බයිඩන්ගේ 2024 ඡන්ද ව්‍යාපාරයට බොහෝ සේ බලපානු ඇත. කෙසේ වෙතත්, බයිඩන් පාලනය, ඊශ්‍රායලයට මිසයිල ඇතුළු‍ අතිනවීන යුද උපකරණ නිරතුරුවම සැපයී ය.   

ඊශ්‍රායල – පලස්තීන යුද්ධය පිළිබඳව සලකා බලන විට  ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල මැදිහත් වීමෙන් සකස් කරන ලද බොහෝ ප්‍රතිපත්ති, ප්‍රඥප්ති සහ සම්මුති මේ වන විට කඩාවැටීමකට ලක්ව ඇති බව පෙනෙන්නට ඇත.  එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු ඇමෙරිකාවත් මැදිහත් වී පිහිටුවා ගන්නා ලද ලොව විශාලතම සංවිධානයයි. මෑතක දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, ඊශ්‍රායල – පලස්තීන යුද්ධය සඳහා සටන් විරාම 3ක් පමණ යෝජනා කරනු ලැබූ නමුත්, මේ අවස්ථා තුනේ දී ම ඇමෙරිකාව සිය නිෂේධ  බලය යොදා මේ යෝජනා පරාජයට පත් කළේ ය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී හතර වන වරටත් මෙම සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්මත වුවත්, (යෝජනාවට පක්ෂව ඡන්ද 14ක් ද, විරුද්ධව 0ක් ලැබුණු අතර, ඇමෙරිකාව ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය.) එය යථාර්ථයක් නොවිණි.  ආරක්ෂක මණ්ඩලයේ දී යම් යෝජනාවක් සම්මත වුවහොත්, එය නීතියක් බවට පත් වේ. නමුත්, මේ දක්වා කිසිදු සටන් විරාමයක් ඇති වන ලකුණු නොපෙනේ. මැයි 26දා අවතැන් වූවන් සඳහා වන රෆාහි කඳවුරකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් අවම වශයෙන් පලස්තීනුවන් 35 දෙනකු මිය ගොස් තවත් දුසිම් ගණනක් තුවාළ ලබා ඇති බව ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නෙතන්යාහුගේ කෘර පාලනය ජාත්‍යන්තර සංවිධාන හෝ රටවල් කිසිවකට ඇහුම්කන් නොදෙන බව මෙයින් පෙනේ. තවද, ඇමෙරිකාව සුපුරුදු පරිදි සිය මුනිවත රකිනු දක්නට තිබේ. 

එසේම, දකුණු අප්‍රිකාව විසින්  ඊශ්‍රායලයට විරුද්ධව ජාතන්තර අධිකරණයට යොමු කර තිබූ නඩුවේ දී ඊශ්‍රායලය විසින් පලස්තීනුවන්ට එරෙහිව සිදු කරන ලද මිනිස් සංහාරය පිළිබඳව සොයා බලා කටයුතු කරන මෙන් ජාත්‍යන්තර අධිකරණය උපදෙස් දුන් නමුත්, ඊශ්‍රායලය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් අතර, ඇමෙරිකාව ජාත්‍යන්තර අධිකරණයේ මේ ක්‍රියාමාර්ග හෙළාදැකී ය. ඉතා ම මෑතක දී ජාත්‍යන්තර අධිකරණය බන්ජමින් නෙතන්යාහු ඇතුළු ඊශ්‍රායල රජයේ වගකිව යුතු ප්‍රධානීන් අත්අඩංගුවට ගන්නා මෙන් තීන්දුවක් දුන් නමුත්, ඇමෙරිකාව ප්‍රකාශ කර සිටියේ, ජාත්‍යන්තර අධිකරණයට එරෙහිව සම්බාධක පනවන බවයි. 

සැබැවින් ම එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර අපරාධ අධිකරණය, ජාත්‍යන්තර අධිකරණය, ආදී ආයතන සැබැවින් ම ස්වාධීන ආයතන දැයි විමසා බැලීම කාලෝචිත ය. ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ, ප්‍රධාන අභිචෝදක, කරීම් ඛාන්ට කලින් සිටි ප්‍රධානී, ගැම්බියානු ජාතික පැටියු බොම් බෙන්සෝදා පලස්තීනයට විරුද්ධව 2014 වසරේ දී ඊශ්‍රායලය සිදු කළ යුදමය තත්ත්වය සහ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව ලිපිගොනුවක් විවෘත කරන ලදී. නමුත්, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ මෙම ක්‍රියාව, එවකට ඩොනල්ඞ් ට්‍රම්ප් පාලනය ඇමෙරිකාවට පැමිණ විභාග කිරීමට විරුද්ධ විය. ට්‍රම්ප් පාලනයේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් ඉතා නින්දිත ආකාරයට ජාත්‍යන්තර අපරාධ අධිකරණය සහ බෙන්සෝදා විවේචනය කළේ ය. එපමණක් නොව බෙන්සෝදාගේ පමණක් නොව ඇයට  සහ ඇයගේ පවුලට ඇමෙරිකාවට ඇතුළු වීමට එරෙහිව වීසා තහනම් විය. කෙසේ වෙතත්, වර්තමාන  ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධානී  කරීම් ඛාන් ගතානුගතික චරිතයකි. බ්‍රිතාන්‍ය ජාතික කරීම් ඛාන් රාජනීතිඥයෙකි. ඔහු ගාසා තීරයට කිහිප වාරයක් ගොස් ඇතත්, ඊශ්‍රායලය විසින් සිදු කරනු ලබන මෙම ජන සංහාරය දැක ඇතත්, පසුගිය

ඔක්තෝබර් 07 වැනිදා සිට මේ දක්වා කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත. නමුත්, රුසියානු – යුක්‍රේන්  යුද්ධයේ දී  රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විරුද්ධව මුල් දින කිහිපයේ දී ම ප්‍රකාශ නිකුත් කළේ ය. එසේ ප්‍රකාශ නිකුත් කළේ, පුටින් විසින් යුද්ධයට ප්‍රථම යුද භූමියෙන් කුඩා ළමයින් ඉවත් කරනු ලැබූ චෝදනාවට ය. කෙසේ වෙතත්, දකුණු අප්‍රිකාව ඇතුළු බොහෝ රටවල් පලස්තීනයේ සහායට කළ දැඩි බලපෑම් හේතුවෙන්, මෙවර ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් බෙන්ජමින් නෙතන්යාහු අගමැතිවරයාටත්,  ඊශ්‍රායල ජනාධිපති, අයිසැක් හර්සොග්ට  සහ හමුදා ප්‍රධානීන්ටත් එරෙහිව ‘වරෙන්තු නිකුත් කිරීම සලකා බලන’‍ බව ප්‍රකාශ කරන ලදී.  

ඊශ්‍රායල ප්‍රශ්නයේ දී ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ, රෙපබ්ලිකන්වරු සහ ඩිමෝක්‍රටික්වරු ඉතිහාසය පුරාම එක් පැත්තක් ගෙන කටයුතු කර ඇත. මෙයට හේතුව නම්, ඊශ්‍රායලය සහ ඇමෙරිකාව අතර ඇති දිගුකාලීන යුද අවි ජාවාරමයි. ‘ප්‍රෙස්ලර් සංශෝධනය’ මඟින් ඇමෙරිකාවට සෘජුවම යුද ආයුධ විකිණීම කළ නොහැකි ය. එහෙත්, ඊශ්‍රායලයේ මැදිහත් වීම මඟින් එය සිදු වේ. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වරක් ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය අමතා පොදුවේ ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයට සිය කෘතවේදීත්වය ප්‍රකාශ කළ අතර, හිටපු ජනාධිපති, බැරක් ඔබාමා හට විශේෂ ස්තුතියක් ද කළේ ය. ඇමෙරිකාව ඇතුළත මෙන්ම පිටතත් ඇමෙරිකාවේ මෙම ප්‍රතිපත්තියට විශාල විරෝධයක් හටගෙන ඇත. විශේෂයෙන් විශ්වවිද්‍යාල සහ තරුණ ප්‍රජාව විශාල උද්ඝෝෂණ කළහ. ලන්ඩන් නුවර දසදහස් ගණන් ජනයා ඊශ්‍රායලය විසින් සිදු කරනු ලබන මෙම ජන සංහාරයට විරුද්ධව වීදී බැස්සහ. ඊශ්‍රායලයට වහා සටන් විරාමයකට එකඟ වන ලෙසත්, සියලු‍ මිනිසුන්ගේ මනුෂ්‍යත්වය හඳුනා ගන්නා ලෙසත්  තම රජයනට බල කෙරිණි.

වසර ගණනාවක සිට එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සහ ‘හියුමන් රයිට් වොච්’  වැනි සංවිධානවල වර්ණභේදවාදයට සහ සියෝන්වාදයට විරුද්ධව විවිධ මත වාද තිබිණි. මෙම සංවිධාන තුළ මැදපෙරදිග භාරව සිටි නියෝජිතයෝ වර්ණභේදවාදයට නව අර්ථකථනයක් ලබා දීමට විශාල කාර්යභාරයක් කළහ. බෙන්ජමින් නෙතන්යාහුගේ මෙම යුද පිපාසයේ මතුපිටින් පෙනෙන අරමුණ හමාස් සංවිධානය සමූලඝාතනය කිරීම වුවත්,  හමාස් යනු, පලස්තීනුවන්ගේ එක් ප්‍රතිරෝධී කඳවුරක් වන අතර, එය යම් දිනක සමූලඝාතනය වුවත්, නැවත ම්ලේච්ඡ  ඊශ්‍රායල ආක්‍රමණිකයන්ට විරුද්ධව තවත් නමකින් සංවිධානය වනු  ඇත. එය පලස්තීනුවන්ගේ සැබෑ ජයග්‍රහණය තෙක් පවතිනු ඇත. එම නිසා, පලස්තීනයට විරුද්ධව කෙරෙන මෙම ජන සංහාරය වහා නවත්වන ලෙසට සියලු‍ ජාත්‍යන්තර සංවිධානවලට මෙන්ම ඊශ්‍රායලයට, ඇමෙරිකා එක්සත් ජනපද රජයට සහ ඊශ්‍රායලයට සහාය දක්වන සියලු‍ රජයන්ට බල කර සිටි යුතු ය. එමෙන්ම, අධිරාජ්‍යවාදයේ නියම ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකල්ප මේ වන විට මතුව ඇති බවත් සහ ඔවුන් විසින්ම සකස් කර ගත් ජාත්‍යන්තර සංවිධාන සියල්ල,  ඊශ්‍රායල – පලස්තීන යුද්ධය සහ ඇමෙරිකාවේ හැසිරීම හේතුවෙන් කඩාවැටී ඇතිබවයි.

ඊශ්‍රායල ජන සංහාරය සහ ජාත්‍යන්තර සංවිධාන