වර්ෂාපතනය සමඟ අනතුරු ඇඟවෙන නාය යාම් පිළිබඳව දැනගනිමු

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

වර්ෂාපතනය සක්‍රිය වීමත් සමඟ ම කඳුකර කලාපවල ජීවත් වන ජනතාව වෙත ‘නාය යාම්’ පිළිබඳ අනතුරු ඇඟවීම් සිදු කෙරෙනු දැකිය හැකි ය. වරින්වර ඇති වූ විශාල නාය යාම් මඟින් සිදු වූ ජීවිත, දේපළ විනාශය අතිමහත් ය. ගොඩබිම පමණක් නොව සාගර පත්ලේ ද නාය යාම් සිදු වේ. එසේ වුව ද, මිනිසාට සෘජු සහ භයානක ප්‍රතිඵල ගෙනෙනුයේ ගොඩබිම, කඳුකර ආශ්‍රිත මොහොර බෑවුම්වල ඇති වන නාය යාම් මඟිනි.

නාය යාම් සිදු වන අයුරු 

කාර්ල් ටෙර්සාඝි (Karl Terzaghi) නමැති ජර්මානු ජාතික භූ විද්‍යාඥයා 1926දී ප්‍රකාශ කර ඇත්තේ, නාය යාම් ජලය මූලික කර ගනිමින් සිදු වන්නක් බවයි. ‘ක්‍රියාකාරී තෙරපුම’ පිළිබඳ මූලධර්මය ලොවට ඉදිරිපත් කරමින්, ඔහු පවසා ඇත්තේ, අධික වැසි ඇති වීමත් සමඟ කඳුබෑවුම්වල පස් තට්ටු තුළට විශාල ලෙස ජලය ගලා යාමෙන් එම ජලය පාෂාණ වැනි තද පෘෂ්ඨ හමු වූ විට ඒ ඔස්සේ පහළට ගලා එන බවයි.

අධික වර්ෂාපතනයක දී එම ජල ප්‍රමාණය වැඩි වූ විට දැවැන්ත ජලකඳ භූගත පස් අංශු අතර ඇති බැඳීම් ලිහිල් කිරීමට සමත් වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ලිහිල් වූ පස් තට්ටුව ඝනකම් සහිත පෘෂ්ඨය ඔස්සේ පහළට රූරා එන බව ඔහු පැහැදිලි කර ඇත.

ඒ අනුව ‘ස්කන්ධ හායනය’ හෙවත් නාය යාමක් ලෙස හඳුන්වනු ලබන්නේ බෑවුමක උස් ස්ථානයක පිහිටි පස්, රොන්මඩ, මැටි සහ ගල් බොරලු ආදිය එම භූමිය මත පිහිටි භූමි වැස්ම සහ භූමි පරිභෝග ද සමඟ ගුරුත්ව බලය හේතුවෙන් ඉන් පහළ පිහිටි ප්‍රදේශයකට පරිවහනය වීම ලෙස සරලව හඳුනාගත හැකි ය. විවිධ පර්යේෂකයෝ සහ ආයතන නාය යාම් පිළිබඳ නිර්වචන ඉදිරිපත් කර ඇත.

“නාය යාමක් යනු පාෂාණ, පස් හෝ සුන්බුන් බෑවුම් සහිත බිම් කොටසක පහළට ගමන් කිරීමයි.”

-ජාතික භූගෝල විද්‍යා සංගමය

“නාය යාමක් යනු උස් ස්ථානයක සිට පහත් ස්ථානයක් දක්වා බෑවුම දිගේ ගුරුත්ව බලය හේතුවෙන් මැටි, රොන්මඩ, වැලි, බොරලු, විශාල ගල්වලින් සමන්විතව ගලා යාමකි.”

-මහාචාර්ය කපිල දහනායක

“නාය යාමක් යනු ගුරුත්ව බලයක් හේතුකොටගෙන බෑවුමක පස, පාෂාණ, ගස් සහ ගල් වැනි ද්‍රව්‍ය පහතට සහ පිටතට පරිවහනය වීමයි.”

-ඒ. කේ. ලොබෙක්

                               

මෙම සෑම නිර්වචනයක් ම සැලැකූ විට නාය යාමක දී සිදු වන ක්‍රියාවලිය ප්‍රධාන කොටස් තුනක් යටතේ වර්ග කර දැක්විය හැකි ය.

  1. ඉහළ බෑවුම් ප්‍රදේශයක ඇති පාංශු ද්‍රව්‍ය (වැලි, මැටි, රොන්මඩ සහ ගල් බොරලු) එම ප්‍රදේශයේ භූමි වැස්ම (වෘක්‍ෂලතා ආදිය) හා භූමි පරිභෝගය (වගාවන්, නිවාස සහ අනෙකුත් ගොඩනැඟිලි ආදිය).
  2. ගුරුත්ව බලය.
  3. රූරා යාම හෙවත් චලනය වීම.

නාය යාමක දී ගිලාබැසීම, ගල් වැටීම සහ කඳු කොටස් ගැලවී යාම සිදුවිය හැකි ය. මෙය බොහෝ දුරට කඳුකර ප්‍රදේශවල සහ වෙරළ ආශ්‍රිතව සිදු විය හැකි ය. මෙම ක්‍රියාවලියට ප්‍රධාන ලෙස බලපාන්නේ ගුරුත්වාකර්ෂණයයි. එසේ වුවත්, නාය යාම්වලට බලපාන තවත් සාධක රාශියක් තිබේ. වර්තමානයේ බොහොමයක් නාය යාම් සිදු වන්නේ මිනිස් ක්‍රියාකාරකම්වල බලපෑමෙන් ය. නාය යාම භූමි කොටසේ ස්ථායීතාව මත රඳාපවතී. භූමියේ ස්ථායීභාවයට හෝ අස්ථායීභාවයට මිනිසාගේ ක්‍රියා සහ තවත් සාධක බලපානු ලබයි.

නාය යාම සඳහා භෞතික සාධක සේ ම මානව සාධක ද බලපාන අතර, අද වන විට මිනිසාගේ අක්‍රමවත් ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස නාය යාම් සිදු වීම උග්‍ර වී තිබේ.

නාය යාමකට ලක් වෙමින් පවතින කලාපය හෝ නාය ගිය ප්‍රදේශයක හඳුනාගත හැකි ප්‍රධාන කොටස් තුනකි.

නාය හිස (Head)

නාය හිස යනු පහතට තල්ලු වන බිම් ප්‍රදේශයේ මුදුන හෙවත් නායේ ඉහළ කොටසයි. නාය යාම ඇරැඹීමට ආසන්න වෙත් ම මෙම ප්‍රදේශයේ පොළොවේ පැළුම් සහ කිඳාබැසීම් ද වර්ධනය වේ. මෙම ප්‍රදේශය බොහෝ විට සමන්විත වන්නේ නො කැළැඹුණු පස්වලින් සහ ගල්වලිනි. නාය සක්‍රිය වීමේ දී මෙම පැළුම් විස්ථාපනය වීමක් දක්නට ලැබෙන අතර, ඒ ඔස්සේ කිඳාබැසීම් ද වර්ධනය වේ. තව දුරටත් නාය සක්‍රිය වීමේ දී මෙම බෑවුම් තල සහ කිඳාබැසීම් ඔස්සේ පස් ස්කන්ධ පහළට චලනය වේ.

නාය බඳ (Body)

නාය පහළට ගමන් කරන භූමියේ මැද කොටසයි. මෙම කොටස පළලින් වැඩි වේ. මෙම ප්‍රදේශය පස්වලින් සහ ගල්වලින් සමන්විත වේ. නාය යාමට භාජනය වන ද්‍රව්‍යවලින් වැඩි කොටසක් පවතින්නේ මෙම කොටසෙහි ය.

නාය පාදය (Foot)

නාය යාමක දී රැගෙන එන බිම් කොටසේ පහළ ම සීමාවයි. බෑවුම දිගේ රූටාගෙන එන පස්, ගල් සහ ගස් ආදිය බෑවුමේ පහළ කොටසේ තැන්පත් වේ. මෙය නාය යාමක දී ක්‍රමයෙන් ඉදිරියට ගමන් කරයි. තෙත් බවින් වැඩි අධික ලෙස කැළැතුණු පස් සහ ගල් මිශ්‍රණයකින් මෙම කොටස සමන්විත වේ.

නාය යාම් කෙරෙහි බලපාන සාධක 

  • ප්‍රේරක සාධක (Triggering Factors) නාය යාම් සඳහා බලපාන ආසන්නතම සාධක ප්‍රේරක සාධක වේ.
  • වර්ෂාපතනයේ ප්‍රමාණය සහ තීව්‍රතාව.
  • භූමිකම්පා ඇති වීම.
  • ගිනිකඳුවල ක්‍රියාකාරීත්වය

මේ අතුරින් ශ්‍රී ලංකාවේ නාය යාම් සඳහා බලපානුයේ, වර්ෂපතනයයි. අධික තීව්‍රතාවක් සහිත වර්ෂාපතනයක් කෙටි කාලයක දී හෝ අඩු තීව්‍රතාවක් සහිත වර්ෂාපතනයක් දිගු කාලයක් තිස්සේ හෝ ලැබීම නාය යාම් කෙරෙහි බලපායි.

පදනම් සාධක (Conditioning Factors)

පදනම් සාධක කොටස් දෙකකි.

  1. භෞතික සාධක.
  2. මානව සාධක

I. භෞතික සාධක

නාය යාම් කෙරෙහි බලපාන භෞතික සාධක ගණනාවක් හඳුනාගත හැකි අතර, පහතින් ඉන් කිහිපයක් දක්වා තිබේ.

භූමියේ අනුක්‍රමණය හෙවත් බෑවුම

භූමි ප්‍රදේශයක් ප්‍රධාන කොටස් පහකින් සමන්විත ය. භූමියේ අනුක්‍රමණය හෙවත් භූමියේ බෑවුම අනුව එය ප්‍රධාන කොටස් පහකට බෙදා දැක්විය හැකි ය.

  • තැනිතලා බිම් 0˚ - 8˚
  • මඳ බෑවුම් 8˚ - 5˚
  • මධ්‍යස්ථ බෑවුම් 5˚ - 25˚
  • දළ බෑවුම් 25˚ - 40˚
  • ඉතා දළ බෑවුම් ඝ 40˚

මෙම බෑවුම් වර්ග අතුරින් මධ්‍යස්ථ, දළ සහ ඉතා දළ බෑවුම්වල නාය යාම් සිදුවීම දැකගත හැකි ය. නාය යාම් බහුලව ඇති වන්නේ 5˚ - 40˚ අතර බෑවුම් කලාපවල බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය දක්වයි. ඒ අතුරින් 25˚ -30˚ අතර කලාපයේ නාය යාම් බහුලව සිදු වේ.

පාෂාණ වර්ගය

පෘථිවි අභ්‍යන්තරයේ පාෂාණ පිහිටා ඇති ආකාරය අනුව නාය යාම් සිදු වීම හෝ සිදු නො වීම තීරණය වේ. පාෂාණවල භෞතික සහ රසායනික සංයුතිය අනුව ඒවා විවිධ දිශාවලට යොමු වු තීරු වශයෙන් සකස් වී තිබේ. එහෙත්, සමහර අවස්ථාවල ඒවා තීරු වශයෙන් දක්නට නොලැබේ. මෙම තීරු ලක්‍ෂණ ප්‍රදේශයේ බෑවුම් දිශාවට සමාන්තර වූ විට ඒවා කඩවැටීම්වලට රුකුලක් සපයයි. පාෂාණ තීරු වශයෙන් පිහිටා ඇති විට එම පාෂාණවල කුස්තුර හේතුකොටගෙන කඳුබෑවුමේ පාෂාණ කුට්ටි ඇති වේ. මේවා අස්ථායී තත්ත්යට පත් වී අධික වර්ෂාව පවතින විට පාෂාණ පතනය වීමක් ඇති කරයි.

කඳුබෑවුමේ භූ විද්‍යාත්මක තත්ත්වය

කඳුබෑවුමේ ඉරිතැළීම්, විභේදන සහ කුස්තුර ආදී සාධක නාය යාම් සඳහා හේතු වේ. විශේෂයෙන් ම මොහොර බෑවුම්වල පාදයෙහි පිහිටා ඇති බෑවුම නිර්මාණය වී ඇත්තේ, ඊට ඉහළින් පිහිටා තිබෙන පාෂාණ ජීර්ණයෙන් ඉතිරි වූ කොටස් ආශ්‍රයෙනි. මේවා මැනැවින් එක්ාබද්ධ වි නොමැති අතර, ස්ථාවර ද නොවේ. දැඩි වර්ෂාපතනයක් සහිත අවස්ථාවක මෙම බෑවුම් කොටස් සංතෘප්ත වී නාය යාම් ඇති කරයි.

කඳුබෑවුමේ පස

පස වැලි, මැටි සහ බොරලු යන ද්‍රව්‍යවලින් සමන්විත වේ. පසෙහි තිබෙන ඒකාබද්ධතාව මත නාය යාමකට ඇති ඉඩකඩ තීරණය වේ. මඩ වැඩිපුර අඩංගු පසක ඒකාබද්ධතාව වැඩි වන අතර, වැලි, බොරලු අඩංගු පසක ඒකාබද්ධතාව අඩු ය. නාය යාමක් ඇති වීමට වැඩිපුර ඉඩකඩ ඇත්තේ, ඒකාබද්ධතාව අඩු පසක් ආශ්‍රිතව ය. එය තීරණය වීමට පසට ලැබෙන ජල ප්‍රමාණය වැදගත් වේ. ඒකාබද්ධතාව අඩු පසකට ඉක්මනින් ජලය උරාගන්නා අතර, වැඩිපුර ජල ප්‍රමාණයක් ද උරාගත හැකි ය. එවැනි තත්ත්වයක් තුළ නාය යාමක් සිදු වීමට තිබෙන අවකාශය වැඩි ය.

බෑවුමේ වෘක්‍ෂලතා ආවරණය

වනාන්තරයක් එනම්, වෘක්‍ෂලතා ආවරණයක් සහිත ප්‍රදේශයකට වර්ෂාව ලැබෙන විට වැහි බින්දු ශාක මතට වැටී ක්‍රමයෙන් බිමට පතිත වේ. එවිට පාංශු ඛාදනය පාලනය වේ. එමෙන් ම වෘක්‍ෂලතා ආවරණයක් සහිත ප්‍රදේශයක මුල් පද්ධතිය සහ දිරා ගිය කොළ රොඩු නිසා ජලය භූගත වීම පාලනය වේ. එමෙන් ම එවැනි ප්‍රදේශයක මුල් පද්ධතිය සහ දිරා ගිය කොළ රොඩු නිසා භූගත ජල මට්ටම පාලනයට එය බලපෑමක් සිදු කරයි.

(II) මානව සාධක

නාය යාම් සඳහා බලපාන ප්‍රමුඛ මිනිස් ක්‍රියාකාරකම් ලෙස විද්‍යානුකූලව හඳුනාගෙන ඇත්තේ, ආන්තික කාලගුණ තත්ත්ව සඳහා මිනිස් ක්‍රියාකාරකම්වල දායකත්වයයි. ආන්තික කාලගුණ තත්ත්වයන් යනු වර්ෂාපතනය පවතින විට අධික තීව්‍රතාවෙන් යුතු වර්ෂාවත්, වර්ෂාපතනය නොමැති විට එය නියං තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ ප්‍රවණතාවත් ය. ඒ සඳහා දායක වන අහිතකර මිනිස් ක්‍රියාකාරකම් ලෙස වනාන්තර විනාශය, අක්‍රමවත් ඉදි කිරීම්, භූමිය මතුපිට ජලය ගලා යාමට බාධා ඇති කිරීම, අවිධිමත් වගා ක්‍රම සහ අනුචිත වගා කාටයුතු, කෘත්‍රිම පිපිරවීම් ඇති කිරීම, පෙර නාය බිම් භාවිතයට ගැනීම, අවිධිමත් වන වගාව, පතල් කැපීම වැනි සාධක දැක්විය හැකි ය.

ලංකාවේ නාය යාමේ ව්‍යාප්තිය

මිනිසාට හානි කරන උපද්‍රව අතුරින් නාය යාම් ප්‍රධාන තැනක් ගනී. පසුගිය දශක දෙකක කාලය තුළ ලංකාවේ අතිප්‍රබල මට්ටමේ නාය යාම් කිහිපයක් ම සිදු වී තිබේ. මහාමාර්ග, දුම්රිය, රෝහල්, පාසල් ඇතුළු යටිතල පහසුකම් රැසක් ද, මිනිස් ජීවිතවලට අමතරව විනාශයට පත් විය. අද වන විට ලංකාවේ දිස්ත්‍රික්ක 25න් 12ක් ම නාය යාමේ තර්ජනයට මුහුණ පා තිබේ. නාය යාම අවදානම් ලෙස හඳුනා ගත් භූමි ප්‍රමාණය සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට 20ක් පමණ වේ. මෙම ප්‍රදේශවල සමස්ත ජනගහනයෙන් සියයට 35ක් පමණ ජීවත් වෙති.

ප්‍රධාන වශයෙන් ඉහතින් සඳහන් කරන ලද දේශගුණ විපර්යාස නිසා ඇති වන ආන්තික වර්ෂාපතනය සහ නාය යාම් අනතුරු සහිත බැවුම්වල මානව ක්‍රියාකාරකම් නිසා ලංකාවේ නාය යාමේ අවදානම සහිත භූමි ප්‍රමාණය මෙන් ම වර්ෂයක් තුළ සිදු වන නාය යාම් ගණන ද වැඩි වෙමින් පවතී. පහත ප්‍රස්ථාරය මඟින් ලංකාවේ නාය යාම්වල 1974 සිට 2016 දක්වා ප්‍රමාණාත්මක ව්‍යාප්තිය දැක්වේ.

කොස්ලන්ද නායයාම – 2014 (16 දෙනෙකුගේ සිරුරු හමුවූ අතර 192 දෙනෙනෙකු අතුරුදහන් විය. නිවාස 150කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශ විය)

නාය යාමක් හඳුනා ගන්නා ආකාරය

නාය යාමක් මඟින් සිදු වන හානිය අවම කිරීම කිසි විටෙක සිදු කළ නොහැකි ය. එහෙත්, නාය යාමකට ගොදුරු වන ප්‍රදේශයක නාය යාමේ පූර්ව ලක්‍ෂණ හඳුනාගත හැකි ය. නාය යාමක් ක්‍ෂණිකව සිදු වුව ද, එය සිදු වීමට දින ගණනාවකට පෙර නාය යාමේ පූර්ව ලක්‍ෂණ හඳුනාගත හැකි ය. ඒ අනුව නාය යාමේ පූර්ව ලක්‍ෂණ නිවැරැදිව හඳුනා ගැනීමෙන් ඒ මඟින් සිදු වන හානිය අවම කර ගත හැකි ය. නාය යාමේ පූර්ව ලක්‍ෂණ විවිධාකාරයෙන් අපට හඳුනාගත හැකි ය.

  • කඳුබෑවුම් ප්‍රදේශවල පැළුම් ඇති වීම සහ ඒවා ක්‍රමයෙන් පුළුල් වෙමින් ගැඹුරු වීම.
  • කලින් තිබූ ජල උල්පත් සිඳී යාම සහ පෙර ජල උල්පත් නොතිබූ තැන්වලින් එක් වර ම ජල උල්පත් මතු වීම.
  • කඳුබෑවුමේ ඇති ගස්, දුරකථන කණු, විදුලි කණු ආදිය කඳුබෑවුමේ පහළ ප්‍රදේශයට ඇල වීම.
  • ස්ථිර ගොඩනැඟිලි පුපුරා යාම.
  • මොහොර බෑවුමක පස් තට්ටුව මත සරුවට වැඩුණු පොල් සහ පුවක් වැනි ශාක ක්‍ෂණිකව මැරී යාම.
  • ආපදාවට ලක් වන ප්‍රදේශවල තිබෙන බෑවුමෙන්, මාර්ගවලින්, ගොඩනැඟිලිවලින්, නිවාසවලින් සහ වෙනත් ස්ථානවලින් ක්‍ෂණික දිය උල්පත් මතු වීම.
  • ස්වාභාවික දිය උල්පත්වලින් පිට වන ජලය මඩ සහිත වීම.
  • භූමියේ යම් යම් කොටස් ගිලාබැසීම.
  • කඳුබෑවුමේ පිහිටා තිබෙන ගල් බුරුල් වී ඒවා ක්‍රමයෙන් පහළට තල්ලු වී යාම.
  • ගංගා ආශ්‍රිත ප්‍රදේශවල සතුන්ගේ සහ පක්‍ෂීන්ගේ අසාමාන්‍ය, අස්වාභාවික හැසිරීම්.

– විමර්ශන (2023 ජූනි)

වර්ෂාපතනය සමඟ අනතුරු ඇඟවෙන නාය යාම් පිළිබඳව දැනගනිමු