රජය යනු කුමක්ද?

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

සමාජ පරිවර්තක කාර්යයකට (සමාජවාදී විප්ලවයට) සක්‍රියව දායකවී සිටින අප ‘රජය’ පිළිබඳව ඉතා නිරවුල් අවබෝධයක සිටිය යුතුය. ‘රජය යනු කුමක් ද?’, ‘එය බිහිවූයේ කෙසේ ද?’ ‘රජය හැමදාම පැවැතුණේ ද?’,‘ඒ පිළිබඳ මාක්ස්වාදී ස්ථාවරය කුමක් ද?’ යන ප්‍රශ්නවලට නිරවුල් පිළිතුරු දැනගත යුතුය. මේ කෙටි න්‍යායික ලිපිය ඒ සඳහා ප්‍රවේශයකි.

රජය බිහිවීම පිළිබඳ නිර්මාක්ස්වාදී මත

රජය පිළිබඳව මෙන්ම එය බිහිවීම පිළිබඳවද ධනේශ්වර දේශපාලන චින්තනය තුළ මත ගණනාවක් තිබේ. 1919 ජූලි 11 වැනි දින ස්වෙර්ද්ලොව් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ‘රජය’ පිළිබඳව ලෙනින් ඉදිරිපත් කළ දේශනයකදී ඒ ගැන කියා තිබුණේ ද: “රාජ්‍යය පිළිබඳ ප්‍රශ්නය තරම් ධනපති විද්‍යාව, දර්ශනය, නීති විද්‍යාව, දේශපාලන අර්ථ ශාස්ත්‍රය සහ පුවත්පත් කලාව මඟින් සිතාමතාම සහ නොදැනුම්වත්වමද ව්‍යාකූල කරන ලද වෙනත් ප්‍රශ්නයක් ඔබට සොයාගත නොහැකි වනු ඇතැයි මම මුලින් කීවෙමි. අද දක්වාම බොහෝ විට එය ආගම් ප්‍රශ්න සමඟ පටළවනු ලැබේ. ආගමික ධර්මය අදහන අය (ඔවුන් එසේ කිරීමට බලාපොරොත්තු විය හැකිය.) පමණක් නොව තමන් ආගමික දුර්මතවලින් නිදහස් යැයි සිතන අය පවා රාජ්‍යය දේවත්වයට අයත් දෙයක් යැයි ද,  අද්භූත දෙයක් යැයි ද, එය මනුෂ්‍ය අර්ථයට අයත් නැති සහ මිනිසාට පිටස්තරින් දෙන ලද කිසියම් දෙයක් ජනතාවට ප්‍රදානය කරන නැතහොත්, ප්‍රදානය කිරීමට තිබෙන එසේත් නැතහොත්, ගෙන එන දේව සම්භවයක් සහිත බලවේගයක් යැයි ද, එය මිනිස් වර්ගයාගේ පැවැත්මට හේතුභූතවූ කිසියම් බලවේගයක් යැයි ද කියන ධර්මයක් බිහි කිරීමට උත්සාහ කරමින්, රාජ්‍යය හා සම්බන්ධ නිශ්චිත ප්‍රශ්නය ව්‍යාකූල කරති.”

  1. දේව වරම්වාදය – රජය දෙවියන්ගේ නිර්මාණයක් බව මින් කියැවේ. ඉහත ලෙනින්ගේ ප්‍රකාශය තුළද අඩංගු වන්නේ මෙම වැරැදි මතයේ හරයයි.
  2. සමාජ සම්මුතිවාදය – සමාජය තුළ රජය බිහිවූයේ මිනිසුන් අතරවූ පොදු සම්මුතියකින්ය යන අදහස මින් කියැවේ. මෙම මතවාදයට අනුව රජය සැමදා පැවැතියේ නැත. රජය නොමැති කාලයක් ද විය. පසුව සමාජයේ ගැටුම් ඇතිවිය. එය සමනය කිරීමට සම්මුතියක් ලෙස රජය බිහිවිය.

මේ මතය ඉදිරිපත් කළ දේශපාලන චින්තකයෝ කිහිප දෙනකු වූහ. එම මත අතර වෙනස්කම්ද තිබේ.

  • තෝමස් හොබ්ස් (එංගලන්තය)

මිනිසා උපතින්ම ආත්මාර්ථකාමී බව කියයි. රජය සම්මුතියේ කොටස්කරුවකු නොව එහි ප්‍රතිඵලය බව කියන මොහු රජය සර්ව බලධාරී එකක් බවත්, ඊට ජනයා අවනත විය යුතු බවත් කියයි. එමඟින් ඒකාධිපති රජයක පැවැත්ම සාධාරණීයකරණය කර තිබේ.

  • ජෝන් ලොක් (එංගලන්තය)

දේපළ මත සමාජය තුළ ගැටුම් ඇතිවූ බවත්, එහි දී මිනිසුන් සහ රජය අතර සම්මුතියක් ඇතිවූ බවත් කියයි. රජය සම්මුතියේ කොටස්කරුවෙකි. එනිසා රජය සම්මුතිය කඩ කරන්නේ නම්, එවන් රජයක් පෙරළා දැමීමට ජනතාවට ඇති අයිතිය පිළිගනී.

  • රූසෝ (ප්‍රංශය)

රූසෝ ද ඉහත මතවාදයම ඉදිරිපත් කරයි. සම්මුතිය ඇත්තේ, සමාජය අතර නිසා රජය සමාජයට වගකිව යුතුය. රජය පෙරළීමේ ජනතා අයිතිය පිළිගනී.

මීට අමතරව ‘බලවාදය’, ‘මාතෘ ප්‍රභූත්වවාදය’ යන නම්වලින් ද මතවාද ඇති අතර, ඒ සියල්ල වැරැදි මත වේ.

රජය පිළිබඳ මාක්ස්වාදී මතය

රජයවූ කලී පන්ති ප්‍රතිවිරෝධතාවන්ගේ අසමඟි බවේ ඵලය වේ. (පන්ති අතර අසමඟිය නිසා රජය බිහිවුවද, රජයේ කාර්යය වන්නේ පන්ති අතර සමාදානය බිහි කිරීම නොව එක් පන්තියක් පාගාගෙන සිටීමට දේපළ හිමි පන්තියට සේවය කිරීමයි. ලෙනින්ගේ ‘රජය සහ විප්ලවය’ කෘතියේ 9 වැනි පිටුව තුළ එංගල්ස්ගේ උපුටා දැක්වීමක් තුළ මෙම අදහස හොඳින් විස්තර කර තිබේ.

“රජය මේ නිසා සමාජය මත පිටතින් පැටවූ කිසියම් ප්‍රපංචයක් නොවේ. හෙගල් කියන පරිදි රජය සත්‍යයවූ ආධ්‍යාත්මික අභිප්‍රායයක් නොවන්නාසේම බුද්ධි තර්කණයේ තත්විකත්වය හෝ ප්‍රතිමූර්තියද නොවන්නේය. රජයවූ කලී සමාජ සංවර්ධනයේ ඵලයක් වශයෙන් එක්තරා අවධියකදී පැනනඟින්නකි. රජයවූ කලී විසැඳිය නොහැකි ප්‍රතිවිරුද්ධතාවනට ඒ තුළින්ම මේ සමාජය හසුවී ඇති බැව් පිළිගැනීමකි. එමෙන්ම ඒ සමාජය සමඟි කළ නොහැකිවූ ප්‍රතිවිරෝධී පැති දෙකකට බීඳී ගොස් ඉන් ගැලවීමට තරම් ශක්තියක් නොමැතිව අවුල් ජාලාවක් බවට පත්වූ සැටි පිළිගැනීමක්ය. ප්‍රතිවිරෝධී ආර්ථික වුවමනාවන් ඇති පන්තීන්ගේ විරුද්ධතාවන් එකිනෙකා මෙන්ම සමාජයද ගිල ගැනීමේ නිසරු අරගලයක යෙදීම වැළැක්වීම පිණිස සමාජයට උඩින් සිට ඝට්ටනවල සැර බාල කර ‘සාමයේ’ පවුරු තුළ තැබීම සඳහා බලවේගයක් අවශ්‍ය විය. සමාජය තුළින් පැනනැංගද, එයට ඉහළින් සිටගෙන අනුක්‍රමයෙන් සමාජයෙන් ඈත්වෙමින් සිටින ඒ බලවේගය ‘රජය’ යි.”

මේ අනුව රජයවූ කලී පෑගී සිටින පන්තිය සූරාකෑමේ පන්ති උපකරණය වේ. එයට අනුව රජය ප්‍රතිගාමී වෙයි. එය මර්දනකාරී ආයතනයකි. එය යම් පන්තියක පන්ති ආඥාදායකත්වයකි. ප්‍රාථමික සාමුහික සමාජය බිඳවැටී වහල් හිමි සමාජය බිහිවීමත් සමඟ රජය පැන නැගුණු අතර වැඩවසම් හා ධනේශ්වර නිෂ්පාදන මාදිලියට අනුරූපව රජයද වෙනස්විය.

රජයේ ව්‍යුහය (රජය සකස්වී ඇති අයුරු)

රජයේ ව්‍යුහය සකස්වී ඇත්තේ, ආයතන වර්ග කීපයක එකතුවීමෙනි. එනම්, යුද හමුදාව, පොලිසිය, සිරගෙවල්, අධිකරණය සහ නීති පද්ධති, අධිපති පන්තියේ අවශ්‍යතා වෙනුවෙන් ගොඩනඟා ඇති නිලධාරීන්… ආදිය මඟින් මෙම ආයතන පද්ධතිය සකස් වෙයි.

රජය සහ ආණ්ඩුව අතර වෙනස

රජය සහ ආණ්ඩුව යනු එකක් නොව දෙකකි. ඒ අතරම මේ ආයතන දෙකම ඒකත්වයක පවතී. රජය සාපේක්‍ෂ වශයෙන් ස්ථාවර එකකි. එක් රජයක් වෙනුවට අලුත් රජයක් ආදේශ වන්නේ සමාජ විප්ලවයකදීය (උදාහරණයක් ලෙස වැඩවසම් රජය වෙනස්වී ධනපති රජය පැනනැඟීම). ඒ අනුව රජය නිශ්චිත සමාජ, ආර්ථික නිෂ්පාදන මාදිලියකට සම්බන්ධ ස්ථාවර එකකි.

ආණ්ඩුව යනු රජයට සම්බන්ධ උපකරණයකි. එය වෙනස්වනසුලු ය. ව්‍යවස්ථාවක් මඟින් නීතිගත කර වසර 4-5ක් වැනි කෙටි කාල රාමුවකට වරක් එය සාමාන්‍යයෙන් වෙනස් වෙයි. රජය සහ ආණ්ඩුව අතර සම්බන්ධයේ දී රජය මෙහෙයැවීම සිදුකරන්නේ ආණ්ඩුව විසිනි. එම නිසා මේ දෙක එකිනෙක අනුරූපී විය යුතුය; අරමුණු සමාන විය යුතුය. නැතහොත්, බරපතළ ගැටුම් මතුවෙයි. නිදසුනක් ලෙස ධනපති රජයක් තුළ සමාජවාදී ආණ්ඩුවක් ප්‍රතිවිරෝධී වෙයි. එය ගැටුමකින් තොරව පැවැතීමට නම්, සමාජවාදී ආණ්ඩුවේ අරමුණුවලට අනුරූපව රජයද වෙනස්විය යුතුය. පන්ති අහෝසි වන විට රජයද අහෝසි වෙ

රජය යනු කුමක්ද?