කියුබාවට එරෙහි සම්බාධක සහ අද දවසේ යථාර්ථය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

දශක හයක් පුරා පවතින සම්බාධක හේතුවෙන් දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින කියුබාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව බටහිර මාධ්‍ය අනුගමනය කරමින්, ලංකාවේ සමහර කණ්ඩායම් ද පසුගිය කාලයේ දී විවිධ වැරැදි අර්ථකථන සපයමින් පුවත් බොහොමයක් වාර්තා කර තිබිණි. ඔවුන්ගේ අරමුණ වී තිබුණේ අපව ද ඉලක්ක කරගෙන සමාජවාදයේ අසාර්ථකත්වය පෙන්වමින් මූල්‍ය අරමුදලේ සරණ යමින් සිටින ලංකාවේ වත්මන් ආර්ථික ක්‍රමවේදය සාධාරණීයකරණය කිරීම ය. ඒ නිසා කියුබාව මුහුණ දී සිටින ආර්ථික සම්බාධක මෙන්ම අද දවසේ එහි පවත්නා සැබෑ යථාර්ථය පිළිබඳව මෙහි සාකච්ඡා කිරීමට අපි තීරණය කළෙමු.

ඉතිහාසය

1492දී ස්පාඤ්ඤ යටත්විජිතයක් බවට පත් වූ කියුබාව පුරා සියවස් හතරකට අධික කාලයක් එම පාලනය යටතේ පැවැතිණි. 1902 වන විට ස්පාඤ්ඤය සම්පූර්ණයෙන්ම කියුබාවෙන් ඉවත් වූ අතර, එතැන් සිට සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කරන තුරු පැවැතියේ එක්සත් ජනපද ආධිපත්‍යයයි. සමාජවාදී විප්ලවයෙන් අනතුරුව 1960 වසරේ සිට පුරා දශක හයකට අධික කාලයක් එක්සත් ජනපදය ‍ ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන්ගේ සම්බාධක මධ්‍යයේ කටයුතු කිරීමට කියුබාවට සිදු විය.

ඩොලර් ලක්ෂ 44ක් වියදම් කළ ඊ්හ දf ඡසට වැනි සෘජු යුද ආක්‍රමණවල සිට බෝම්බ ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර එක්සත් ජනපදය විසින් දියත් කරන ලද අතර එම ගණන 6,000කට අධික ය. මේවායෙන් කියුබානු ආර්ථිකයට සිදු වූ බලපෑම සුළුපටු නොවේ. දේපොළ හානිය පමණක් ඩොලර් මිලියන දාහකට අධික ය. මීටඅමතරව කියුබානුවන් පැහැරගෙන යාම ද දිගින් දිගටම සිදු කරනු ලබයි. මේ ප්‍රයත්නවලින් ඝාතන 3,478ක් සිදුවී ඇති අතර, තුවාළ ලැබූවන් ප්‍රමාණය 2,099කි. හිටපු ජනාධිපති ෆිදෙල් සහෝදරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ 637ක් පමණ හඳුනාගෙන ඇත. කියුබාව ආසන්නයේ පිහිටි එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමි ප්‍රදේශයේ සිට කියුබානු විරෝධී ප්‍රවෘත්ති හා විශේෂාංග ඇතුළත් රූපවාහිනී සහ ගුවන්විදුලි ප්‍රචාර ද මෙහි දී කැපී පෙනේ. කියුබාවේ ආධ්‍යාත්මික නායකයා වන ජොසේ මාටිගේ නමින් ‘‍ඵ්රඑහ ඔඪ’‍  රූපවාහිනී චැනලය ඇතුළු ගුවන්විදුලි සහ රූපවාහිනී නාළිකා 123ක් මේ සඳහා යොදා ගනිමින් ඇත. කියුබානු ජනතාවගේ ආකල්ප වෙනස් කිරීමට මෙම මතවාදී මෙහෙයුම මගින් විශාල උත්සාහයක් දරන අතර, මියාමි ප්‍රදේශයේ වඩා ‘නිදහස් සහ සුව පහසු දිවියක්’ ඇති බව පැවසීමට පලා ගිය අය සහ ඔවුන්ගේ ඥාතීන් භාවිත කිරීම අඛණ්ඩව කරගෙන යන අතර, එසේ පැන යන බවට ලෝකය තුළ මතයක් ද ස්ථාපනය කර ඇත.

සම්බාධක

1961 ජනවාරි 03 වැනිදා සිටම එවකට එක්සත් ජනපද ජනාධිපති අයිසන්හවර් කියුබාව සමඟ වන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳදමන ලදී. සමාජවාදී කියුබාවට එරෙහිව ආර්ථික සම්බාධක පළමුව පැනවූයේ 1962 පෙබරවාරි 07 වන දින දී ය. අනතුරුව වරින්වර මේ තත්ත්වය තීව්‍ර කිරීමට එක්සත් ජනපද පාලනය විසින්  කටයුතු කරනු ලැබීය. සමාජවාදී කඳවුරේ බිඳවැටීමත් සමඟ සිය ආර්ථිකය වර්ධනය කර ගැනීමට පියවර ගණනාවක් කියුබානු පාලනය තෝරා ගැනීමත් සමඟ මේ තත්ත්වය ආපසු හැරවීමට තව තවත් ආර්ථික තහංචි ගෙන එනු ලැබී ය. 1992දී ගෙනා ‘ටොරිසෙල්ලි’ පනතත්, 1996 (1997) මාර්තුවේ දී ක්ලින්ටන් පාලනය ගෙන ආ ‘හෙල්ම්ස් බර්ටන්’ පනතත් මේ අතර කැපී පෙනේ. ආර්ථික සම්බාධක නිසා කියුබාවට සිදු වන පාඩුව විවිධාකාර ය. එම සම්බාධවල නරුම ස්වභාවය වන්නේ එමඟින් කියුබාව හා එක්සත් ජනපදය අතර සෘජු හෝ වක්‍ර හෝ කිසිදු ආර්ථික, මූල්‍ය, වාණිජ කටයුත්තක් කිරීමට නොහැකි වීම පමණක් නොවේ. කියුබාව සමඟ වෙළෙඳ කටයුතු කරන වෙනත් රටවල් ද, සමාගම් ද එම සම්බාධක නිසා විශාල පීඩාවකට ලක් වීමෙන් ඒවාට කියුබාව සමඟ වෙළෙඳ කටයුතු කිරීමට වෙනම ආයාසයක් හා වියදමක් දැරීමට සිදු වීම ය. 2020දී කියුබාව එළිදැක්වූ වාර්තාවක සඳහන් කර ඇති පරිදි ’60 දශකයේ සිට ආර්ථික සම්බාධක හේතුවෙන් ඔවුන්ට දැරීමට සිදු වූ අතිරේක පිරිවැයවල මුළු වටිනාකම ඩොලර් බිලියන 144කි. මේ වන විට සාමාන්‍යයෙන් වසරකට මෙම සම්බාධක හේතුවෙන් කියුබාවට සිදු වන වෙළෙඳ පාඩුව එක්සත් ජනපද ඩොලර් බිලියන 3.9ක් වේ. උදාහරණයක් ලෙස එක්සත් ජනපදයෙන් ආනයනය කළේ නම් අඩු ප්‍රවාහණ වියදමකින් කරගත හැකිව තිබෙන සමහර භාණ්ඩ කියුබාවට යුරෝපයෙන් ආනයනය කිරීමට සිදු වී තිබේ. අනෙක් අතට වක්‍ර සම්බාධක විසින් යම් සමාගමකට අයත් නැවක් කියුබානු වරායකට යන්නේ නම්, එම නැවට එක්සත් ජනපද වරායවලට යාම තහනම් වේ. එසේ ගිය සමහර අවස්ථාවල දී එවැනි සමාගම්වලට කියුබාව සමඟ ගනුදෙනු කිරීම තහනමට ලක් විය.

ඊට අමතරව කියුබානු ආර්ථිකය බිඳවැට්ටවීම සඳහා නව විවිධ මෙහෙයුම් අතර ජීව විද්‍යාත්මක අවි කිහිප වතාවක්ම යොදා ගන්නා ලදී. ප්‍රධාන ආර්ථික බෝගයක් වන උක් වගාවට ඉහළින් ගිනි ඇවිළෙන ඉන්ධන විසුරුවමින් ඒවා විනාශ කරනු ලැබී ය. කෙසෙල් වගාවට වෛරස සහ දිලීර රෝග ව්‍යාප්ත කළේය. 1971  නික්සන් සමයේ ඌරු උණ ඇති කරනු ලබන වෛරසය කියුබාව තුළ පැතිරවීමෙන් ඌරන් මිලියන භාගයක් පමණ විනාශ විය. පලතුරු වගාවන් විනාශ කරනු ලැබිණි. එමඟින් රට තුළ භාණ්ඩ හිඟයක් ඇති කරලීම හා ජනතා විරෝධය ඇවිළවීම එක්සත් ජනපදයේ දුෂ්ට අරමුණ විය.

ඉන්ධන හිගය

කියුබාවේ ඉන්ධන අවශ්‍යතාවෙන් යම් කොටසක් එහි ම නිපදවා ගන්නා අතර, ඉතිරිය අනෙක් රටවලින් ආනයනය කිරීමට සිදු වී ඇත. එසේ ආනයනය කිරීමේ දී දුර වැඩි වීම හේතුවෙන්ම කියුබාවට පැමිණීමට පෙර එක්සත් ජනපද වරායවලට ළඟා වන ඉන්ධන නැව්, සම්බාධක හේතුවෙන් නැවත අවසර ගෙන පිටත් වීම සඳහා මාස 6ක කාලයක් බලා සිටීමට සිදු වේ. මේ නිසා වන පාඩුව විශාල එකක් වන අතර රට තුළ යම් ඉන්ධන හිගයක් මතු වීමට ද මෙය බලපා ඇත. එක්සත් ජනපදය මෙසේ දිගින් දිගටම සිදු කරන විවිධ බලපෑම් මඟින් ඔවුන් බලාපොරොත්තු වන අරමුණ අද දක්වා ම සාක්ෂාත් කරගැනීමට නොහැකි වී ඇති බව ප්‍රකට කරුණකි. 1992දී කියුබාවට එරෙහි ආර්ථික සම්බාධක ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට ප්‍රථම වතාවට ඉදිරිපත් වූ යෝජනාව ජයග්‍රහණය කළ අතර, කියුබාවට පක්ෂව ඡන්ද 59ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද තුනකි. රටවල් හැත්තෑඑකක් ඡන්දය දීමෙන් වැළැකී තිබිණි. පසුගිය 2022 නොවැම්බර් මාසයේ පැවැති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 77 වැනි සැසිවාරයේ දී ද 30 වැනි වතාවටත් එම යෝජනාව ජයග්‍රහණය කරන ලදී. රටවල් 185ක් කියුබාවට පක්ෂව ඡන්දය ලබා දී ඇති අතර, සුපුරුදු පරිදි එයට එරෙහි වන ලද්දේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය පමණි. වසර තිහක් ඇතුළත තමන්ට පක්ෂපාතී රටවල් ප්‍රමාණය එලෙස වර්ධනය කර ගැනීමට කියුබාවට හැකිවූයේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍ෂේත්‍රයේ දී කියුබාව අනුගමනය කරන ප්‍රතිපත්තිවල ගැබ්වුණු ජාත්‍යන්තරවාදී ගුණාංග බව නිසැකව කිව හැකි ය.

මෙහිදී පැවසීමට තිබෙන සුවිශේෂී කරුණක් වන්නේ සියලු‍ බාධක මැද අධ්‍යාපනය, සෞඛ්‍යය, ක්‍රීඩා සහ නව සොයාගැනීම් ඇතුළු බොහොමයක් ක්‍ෂේත්‍රවල ලෝකයේ සංවර්ධිත යැයි යන රටවල් පහතට දමමින් එවැනි දර්ශකවල ඉහළ ස්ථානයකට පත් වීමට කියුබාව සමත් වීමයි. මේ සියලු‍ කරුණු සලකා බැලූ විට පෙනී යන්නේ සමාජවාදී රාජ්‍යයක් වශයෙන් පැවැතීමට කෙතරම් සුවිශාල වූ සූදානමක්, කැප කිරීමක් සහ දේශපාලනයක් අවශ්‍ය ද යන්න යි. මෙය සියලු‍ බාධක දුෂ්කරතා මැද අවශ්‍ය වෙනස්කම් ද සිදු කරමින් අභියෝගවලට මුහුණ දෙමින් සමාජවාදය රැක ගැනීමට කියුබානු ජනතාව සමත් වීම විශේෂයෙන් අගය කළ යුතු ය.+

– විමර්ශන (2023 ජූනි)

කියුබාවට එරෙහි සම්බාධක සහ අද දවසේ යථාර්ථය