ජාතිකවාදය හා ජාත්‍යන්තරවාදය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

“ප්‍රාග්ධනය වූකලී ජාත්‍යන්තර බලවේගයකි. එය පරාජය කිරීමට ජාත්‍යන්තර කම්කරු සන්ධානයක්, ජාත්‍යන්තර කම්කරු සහෝදරත්වයක් අවශ්‍ය වන්නේය.”

ලෙනින්-තෝරාගත් කෘති 10 වෙළුම, 86 පිටුව

දෙනීකින් පරදවා ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් උක්රේනියාවේ කම්කරුවන් හා ගොවි ජනතාව වෙත ලෙනින් සහෝදරයා 1919 දෙසැ. 28වැනිදා යැවූ ලිපියේ එසේ සඳහන්කර තිබුණි.

ඉන් ලෙනින් තහවුරු කර තිබුණේ මාක්ස්වාදය ජාත්‍යන්තරවාදය මත පදනම් වන්නේ ඇයිද යන කරුණය. ජාත්‍යන්තරවාදය හා ජාතිකවාදය අතර වන වෙනස හා ඒවායේ වර්තමාන වලංගුභාවය පිළිබඳ අප සාකච්ඡා කළ යුත්තේ මේ නිසාය.

ජාතිකවාදය යනු…

ජාතිකවාදය ලොව බිහිවූයේ 18වන, 19වන සියවස්වල වැඩවසම් ක්‍රමය පෙරළා දමමින් බිහිවූ ධනේශ්වර විප්ලවයත් සමගය. වැඩවසම් ක්‍රමය  තුළ බිහිව වර්ධනය වූ (ප්‍රාග්ධනය) ධනපති පංතිය වැඩවසම් ආධිපත්‍ය බිඳහෙළමින් වැඩවසම් ප්‍රාදේශීය බලයන් එක් ජාතික රාජ්‍යයක් තුළට මධ්‍යගත කරමින් ධනේශ්වර ජාතික රාජ්‍ය බිහිකරන ලදී. ඒ සඳහා ලොව බොහෝ රටවල ධනපති පංතිය වෙත බලය ගැනීම අරමුණුකරගත් දේශපාලන ව්‍යාපාර ‘ජාතික ව්‍යාපාර’ ලෙස බිහිවිය. එබැවින් ජාතිකවාදය යනු ධනවාදයේ පැනනැගීම හා සම්බන්ධ ධනේශ්වර ජාතික රාජ්‍ය බිහිකිරීම අරමුණු කරගත් ව්‍යාපාර විය. ඒවා සමහර විට පැරණි වැඩවසම් හා් ආසියාතික ප්‍රාදේශීයකරණට එරෙහිවද තවත් විටෙක තම රටේ ජාතික රාජ්‍ය බිහිකිරීමට බාධා කරමින් ක්‍රියාත්මක වූ යටත්විජිතවාදී රටවලට හෝ අධිරාජ්‍යවාදී බලවේගවලට එරෙහිවද ක්‍රියාත්මක විය.

පූර්ව ධනේශ්වර සමාජ ක්‍රම පරාජයට පත්කරමින් හෝ යටත් විජිත රටවල යටත්විජිත පාලනයට එරෙහිව ධනේශ්වර ජාතික රාජ්‍ය බිහිකිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ ජාතික ව්‍යාපාර හා ජාතිකවාදය ඒවායේ ආරම්භයේදී ප්‍රගතිශීලී විය. ඒ වැඩවසම් රාජ්‍යයන්ට වඩා වැඩවසම් ප්‍රාදේශීයකරණයන්ට වඩා ධනේශ්වර මධ්‍යගත ජාතික රාජ්‍ය සමාජ සංවර්ධනයේ දෘෂ්ටියෙන් බලන විට ඉදිරි පියවරක් වන නිසාය. ඒ නිසාම ආරම්භයේදී සමහර රටවල ජාතික ව්‍යාපාරවලට, විශේෂයෙන් ජාතික විමුක්ති ව්‍යාපාරවලට මාක්ස්වාදීන්ද උදව් කරන ලදී. 1917 ඔක්තෝබර් විප්ලවය ජය ගැනීමෙන් අනතුරුව ලෙනින්ගේ නායකත්වයෙන් පිහිටවූ 3වැනි ජාත්‍යන්තරයේ ලෝක විප්ලවය සඳහා වන එක් උපාය මාර්ගයක් වූයේද යටත් විජිත රටවල පැන නගින ජාතික විමුක්ති අරගල සමාජවාදය දක්වා ගෙන යාමට කොමියුනිස්ට්වාදීන් කටයුතු කළ යුතු බවය. එය ජාතික විමුක්ති අරගලය හරහා සමාජවාදය වෙතට වූ උපාය මාර්ගය ලෙස හඳුන්වන ලදී.

ජාතිවාදය වෙත

ධනවාදය ආරම්භයේදී බිහිවූ ධනේශ්වර ජාතික අරගලය හා ජාතිකවාදය ආරම්භයේදී ප්‍රගතිශීලී වුවද වර්තමානයේ තව දුරටත් එය ප්‍රගතිශීලී වන්නේ නැත. ධනවාදය තුළ ලෝකයම වෙළාගෙන තිබෙන ධනේශ්වර ප්‍රාග්ධනය ලොව පුරා පැතිරී තිබෙන සියලු භූමි භාගයන් හා ජනතාවත් ඊට නතුකර ගෙන තිබෙන හා විශේෂයෙන් අධිරාජ්‍යවාදය නව ලිබරල්වාදී ප්‍රවේශයක් තුළ කටයුතු කරන වර්තමානයේ තව දුරටත් ධනපති පංතියට ප්‍රගතශීලී විය නොහැක. ඔවුන් දැන් ලොව කොතන හිටියත් අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනයට ගොදුරු වී ඊට අවනතව කටයුතු කරන අය බවට පත්ව තිබේ. අධිරාජ්‍යවාදී බලවේග සමග සමහර ධනපති ආණ්ඩුවල යම් ප්‍රතිවිරෝධතා ඇතත් ඒවා ප්‍රධාන ගැටලු නොවේ. එබැවින් මේ යුගයේ ‘ජාතිකවාදය’ තව දුරටත් ප්‍රගතිශීලී නොවන අතර වර්තමානයේ එය පොදු ජනයා  රවටා ධනවාදය වෙත ඔවුන් තබා ගැනීමේ අරමුණින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

එනිසාම වර්තමානයේ ජාතිකවාදය ලෙස දැන් බොහෝ විට පෙන්වන්නේ ජාතිවාදය වේ.  ජාතිවාදය ඊනියා ජාතිකවාදී දේශප්‍රේමයේ වෙස් ගෙන කටයුතු කරන ආකාරය පසුගාමී ධනපති රටවල පමණක් නොව එක්සත් ජනපදය වැනි දියුණු යැයි සම්මත රටවල පවා දැන් දැකිය හැක. ඒ ධනවාදයේ අර්බුදය විසින් නිර්මාණය කර ඇති තත්වය වේ. කෙසේ වෙතත් ජාතිකවාදය තව දුරටත් ප්‍රගතිශීලී නොවන්නා සේම සැබෑ දේශප්‍රේමයට එය සමග සම්බන්ධයක්ද නැත. මේ යුගයේ සැබෑ දේශප්‍රේමයට පැවතිය හැක්කේ සමාජවාදය හා කරන අරගලය සමග පමණි.

ජාත්‍යන්තරවාදය

වැඩවසම් ක්‍රමය අහෝසි කරමින් බිහිවූ, වැඩවසම් ක්‍රමයට සාපේක්‍ෂව ප්‍රගතිශීලී වූ ජාතිකවාදය වෙනුවට දැන් ආදේශ විය යුත්තේ ජාත්‍යන්තරවාදයයි. සමාජ සංවර්ධනයේදී ලෝක ජන ප්‍රජාව ගමන් කරමින් සිටින්නේ කුඩා ලිහී විසිරුණු කණ්ඩායම්වල සිට වඩා විශාල ජන ප්‍රජාවන් කරාය. වැඩවසම් ප්‍රාදේශීයකරණයට සාපේක්‍ෂව ධනේශ්වර ජාතිකවාදී රජය ප්‍රගතිශීලී වූයේද ඒ අර්ථයෙනි. දැන් ලෝක ජන ප්‍රජාව ජාතිකවාදී සීමා අභිබවා ලෝක ජන ප්‍රජාවක් බවට පත්විය යුතුය. ඒ සඳහා වන ආර්ථික පදනම ධනවාදී ප්‍රාග්ධනය විසින්ම සකසා ඇත. ඒ අනුව ඊළඟට සමාජ ආර්ථික ක්‍රමය වන සමාජවාදය හා කොමියුනිස්ට් ක්‍රමය හා බැඳුණු මතවාදය වන්නේ ජාත්‍යන්තරවාදයයි. ලෙනින් කී ලෙසම එයට හේතුව ධනේශ්වර ප්‍රාග්ධනය දැන් ජාත්‍යන්තර ප්‍රපංචයක්ව තිබෙන නිසාත් එය පැරදවීමට වැඩ කරන ජනයාගේ, පීඩිත ජනයාගේ ජාත්‍යන්තර සහයෝගය අවශ්‍යව තිබෙන නිසාත්ය.

ධනවාදය ජාතික සීමාවන් තුළ සිදුවූ විප්ලවයක් වන අතර සමාජවාදය ජාතික සීමා අභිබවා ජාත්‍යන්තර සහයෝගය හා ජාත්‍යන්තරවාදය මත පදනම්ව සිදුවන විප්ලවයක්  බව මාක්ස්-ලෙනින්වාදය අපට උගන්වයි. ඓතිහාසික කොමියුනිස්ට් ප්‍රකාශනයේම එක් තැනක මාක්ස්-එංගල්ස් පවසන්නේ “කම්කරුවන්ට රටක් නැත” යනුවෙනි. එහි තේරුම ධනවාදය තුළ කම්කරුවන් සූරාකෑම ජාත්‍යන්තර ප්‍රාග්ධනය විසින් සිදුකරන නිසා කම්කරුවාගේ සතුරන් තව දුරටත් ජාතික සීමාතුළ නොව ජාත්‍යන්තරව පවතින බවය.

ජාත්‍යන්තරවාදය යනු කුමක්ද? මේ පිළිබඳව ලෙනින් වරක් මෙසේ පවසා තිබේ.

“ජාත්‍යන්තරවාදයෙහි වර්ග කිහිපයක් නොමැත. එහි ඇත්තේ එමකම එක වර්ගයක් පමණි. එම ජාත්‍යන්තරවාදය නම්, අයෙක් තමන්ගේම රටෙහි විප්ලවවාදී ව්‍යපාරය හා විප්ලවවාදී අරගලය සංවර්ධනය කිරීම සඳහා සහ කිසිම විශේෂයකින් තොරව සෑම රටකම එවැනිම අරගලයකට, එම ක්‍රියාමාර්ගයට හා එයට පමණක්ම (ප්‍රචාරය, පක්‍ෂපාතීත්වය හා ද්‍රව්‍යමය ආධාර මගින්) උදව් දීමය”

ලෙනින් තෝරාගත් කෘති 5 වෙළුම 53 පිටුව

සමාජවාදය ලොව පුරා එකවිට, නැතිනම් දියුණු ධනපති රටවලින් ආරම්භ විය හැකි යැයි ආරම්භයේදී මාක්ස් විශ්වාස කළේත් ඒ සඳහාම 1වන ජාත්‍යන්තරය නිර්මාණය කළේත්, “සකල දේශවාසී නිර්ධනයිනි  එක්වව්” යන සටන්පාඨය නිර්මාණය කළේත් මාක්ස්වාදය ජාත්‍යන්තරවාදය පදනම් කරගත් දර්ශනයක් වූ නිසාය. එසේම එංගල්ස් 2වන ජාත්‍යන්තරය නිර්මාණය කිරීම මගින්ද ලෙනින් 3වන ජාත්‍යන්තරය නිර්මාණය කිරීම මගින්ද ජාත්‍යන්තරවාදයේ වැදගත්කම පෙන්වා දුන්නේය.

ධනවාදයට එරෙහිව, අධිරාජ්‍යවාදයට එරෙහිව නව සමාජයක් වෙනුවෙන් ඉල්ලා සිටින අරගලය ජාත්‍යන්තරවාදය මත පදනම් වූ එකක් වන බැවින්  මාක්ස් ලෙනින්වාදීන්ට පටු ජාතිකවාදය සමග හෝ ජාතිවාදය සමග දැන් කිසිදු සබඳතාවයක් තිබිය නොහැක. එහෙත් මාක්ස්-ලෙනින්වාදීන්ට එක් ආකාරයකින් ජාතිකවාදය යොදාගැනීමට සිදුවිය හැක. ඒ  තම රටේ සමාජවාදී විප්ලවය වෙනුවෙනි. ඓතිහාසික කොමියුනිස්ට් ප්‍රකාශනයේදී මාක්ස්-එංගල්ස් කී පරිදි සමාජවාදී විප්ලවය හරයෙන් නැතත් පෙනුමෙන් ජාතික එකක් වන නිසාය. ඒ සියල්ලටම පළමුව කම්කරු පංතිය තමන්ගේ රටේ ධනපතීන් සමග ගනුදෙනු බේරා හමාර කළ යුතු නිසාය. ඒ අර්ථයෙන් සමාජවාදී විප්ලවයේ පෙනුම ජාතික ස්වරූපයක් ගත්තද නූතන සමාජවාදීන් හරයෙන් ජාතිකවාදයට නොවැටිය යුතු අතර ජාත්‍යන්තරවාදය මත පදනම් විය යුතුය. ජාතිකවාදය හා ඒමත පදනම් වූ ජාතිවාදී බොරු දේශප්‍රේමය ධනපති ක්‍රමය රකින උගුලක් බව වටහා ගත යුතුය.

ජාතිකවාදය හා ජාත්‍යන්තරවාදය