ධනේශ්වර ක්‍රමය තුළ දී කර්මාන්ත ක්‍ෂේත්‍රයේ පමණක් නොව කෘෂිකර්මාන්තය තුළ ද ධනේශ්වර සූරාකෑම එනම්, අතිරික්ත වටිනාකම් බිහි වීම සහ එය අත්පත් කර ගැනීම සිදු වේ. කර්මාන්තය තුළ දී උත්පාදනය වන අතිරික්ත වටිනාකම කාර්මික ධනපතියා. වෙළෙඳ ධනපතියා සහ බැංකු ධනපතියා විසින් අත්පත් කර ගනී. කෘෂිකර්මාන්තය තුළ දී එය සිදු වන්නේ කෙසේ ද? කාල් මාක්ස් සිය ‘ප්‍රාග්ධනය’ කෘතියෙන් කෘෂිකර්මාන්තය තුළ ධනේශ්වර සූරාකෑම සිදු වන ආකාරය පළමු වරට සහ ප්‍රතික්‍ෂ්ප කළ නොහැකි ආකාරයට හෙළිදරවු කළේ ය.
ධනවාදී කෘෂිකර්මාන්තයේ නිෂ්පාදන සබඳතා විවිධ පන්ති සහ සමාජ කණ්ඩායම් අතර එනම්, ඉඩම් හිමියන්, ධනපති ගොවියන්, කෘෂිකාර්මික වැටුප් කම්කරුවන් සහ ගොවීන් වන සුළු පෞද්ගලික නිෂ්පාදකයන් අතර වන සබඳතා ජාලයකි. එබැවින්, කෘෂිකර්මාන්තය තුළ ඉඩම් හිමියන්, ධනපති ගොවියන්, කෘෂිකර්මික වැටුප් කම්කරුවන් සහ ගොවීන් වන සුළු පෞද්ගලික නිෂ්පාදකයන් ද සිටී. රීතියක් වශයෙන් කෘෂිකාර්මික නිෂ්පාදනය සිදු කරනු ලබන්නේ ධනපති ගොවියා විසිනි. ඔහු අතිරික්ත වටිනාකම් මිරිකා ගැනීමේ අරමුණින් එනම්, ලාභ ලබා ගැනීමේ අරමුණින් කෘෂි උපකරණ මිල දී ගනී. වගාව සඳහා කම්කරුවන් කුළියට ලබා ගනී. ඊට අමතරව ඔහු වගාව සඳහා ඉඩම් බද්දට ලබා ගනී. ඉඩම් හිමියා කෘෂිකාර්මික ධනපතියාට ඉඩම් බද්දට දී ඒ සඳහා බිම් කුළියේ ස්වරූපයෙන් නිශ්චිත ගෙවීම් ප්‍රමාණයක් ලබා ගනී. බිම් කුළිය ලෙස ගෙවනු ලබන ප්‍රමාණය සහ කුමන කාලයක් සඳහා ද යන්න බදු ගිවිසුමෙන් නියම කරනු ලැබේ.
ධනපති ගොවියා කෘෂිකාර්මික වැටුප් කම්කරුවන්ගෙන් අතිරික්ත වටිනාකම් සූරා ගන්නා අතර, එයින් සාමාන්‍ය ලාභයට සමාන වන කොටස ඔහු තබා ගනියි. ඔහුට එලෙස සාමාන්‍ය ලාභය නොලැබෙන්නේ නම්, ඔහු කෘෂිකර්මාන්තයේ නොයෙදෙනු ඇත. එහෙත්, ඒ අතර ම ඔහුට ඉඩම් හිමියාට ඉඩම සඳහා බදු කුළියක් ගෙවීමට සිදු වේ. එසේ නම්, ධනපති ගොවියාට කෘෂිකාර්මික අස්වැන්න අලෙවියන් පසු සාමාන්‍ය ලාභයට අමතර වටිනාකමක් ලැබිය යුතු ය. මෙම අමතර වටිනාකම උත්පාදනය වන්නේ කෙසේ ද?
කර්මාන්තයේ හුවමාරු භාණ්ඩවල මිල ගණන් නිෂ්පාදනයේ සාමාන්‍ය කොන්දේසි මඟින් නිර්ණය විය යුතු බව අපි දැනටමත් දැනගෙන ඇත්තෙමු. එහෙත්, කෘෂිකර්මාන්තයේ නිෂ්පාදනයන්ගේ මිල ගණන් තීරණය කරනු ලබන්නේ නරක ම ඉඩම්වල කොන්දේසි මඟිනි. එය එසේ වන්නේ කුමක් නිසා ද? සාරවත් සහ මඳ වශයෙන් සාරවත් බවින් යුක්ත ඉඩම් ප්‍රමාණය සීමාසහිත වේ. සමාජය සඳහා අවශ්‍ය කෘෂිකාර්මික නිෂ්පාදනයන්ගේ ඉල්ලුම කොතරම් විශාල දැයි කිවහොත්, ඉතා ම නරක ඉඩම් කට්ටි පවා වගාව සඳහා යොදා ගැනීමට සිදු වේ. සාරවත් සහ මඳ වශයෙන් සාරවත් ඉඩම්වල වගා කිරීමෙන් ලැබෙන නිෂ්පාදනයෙන් පමණක් ඉල්ලුම සපුරාලිය නොහැකි බැවින්, කෘෂිකාර්මික නිෂ්පාදනයේ නිෂ්පාදන මිල නිර්ණය කරනු ලබන්නේ නරක ම ඉඩම් කට්ටිවල නිෂ්පාදන කොන්දේසි මඟිනි. මේ නිසා ධනපති ක්‍රමය තුළ කෘෂිකර්මාන්තයේ දී හැම විට ම සාමාන්‍ය ලාභය ඉක්මවා යන අතිරේක අතිරික්ත වටිනාකමක් බිහි වේ. කෘෂිකාර්මික ධනපතියා සාමාන්‍ය ලාභය ලබා ගනිද්දී, ඔහු බිම් කුළිය ලෙස ඉඩම් හිමියාට ගෙවනු ලබන්නේ සාමාන්‍ය ලාභය අභිභවා යන අතිරේක අතිරික්ත වටිනාකමයි.
ධනපති ක්‍රමය තුළ කෘෂිකර්මාන්තයේ දී බිම් කුළිය ආකාර දෙකකි. එනම්, ආන්තර බිම් කුළිය සහ නිරපේක්‍ෂ බිම් කුළියයි. ධනපති ක්‍රමය තුළ කෘෂිකාර්මික නිෂ්පාදනයේ නිෂ්පාදන මිල තීරණය කෙරෙනුයේ, නරක ම ඉඩම්වල නිෂ්පාදන කොන්දේසි මඟින් බව අපි දැනටමත් දනිමු. සාරවත් සහ මඳ වශයෙන් සාරවත් ඉඩම්වල නිෂ්පාදන පිරිවැය නරක ම ඉඩම්වල නිෂ්පාදන පිරිවැයට වඩා අඩු වෙයි. මේ නිසා සාරවත් සහ මඳ වශයෙන් සාරවත් ඉඩම්වල නිෂ්පාදන මිල ද සමාජ නිෂ්පාදන මිලට වඩා අඩු වේ. එවිට සාරවත් සහ මඳ වශයෙන් සාරවත් ඉඩම්වල වගාවෙන් අතිරේක අතිරික්ත වටිනාකමක් උත්පාදනය වන අතර, එය ආන්තර බදු කුළිය ලෙස එකී ඉඩම්වල ඉඩම් හිමියන් විසින් අත්පත් කර ගනී.
ඉඩම් බදු කුළිය බිහි වන්නේ සාරවත් සහ මඳ වශයෙන් සාරවත් ඉඩම්වලින් පමණක් නොවේ. නරක ම ඉඩම් හිමි ඉඩම් හිමියෝ ද තම ඉඩම ධනපති ගොවියාට වගාව සඳහා ලබා දීම වෙනුවෙන් බදු කුළියක් ලබා ගනිති. එකී බදු කුළිය නිරපේක්‍ෂ බදු කුළිය ලෙස හැඳින් වේ. එය බිහි වන්නේ කෙසේ ද? එනම්, ධනපති ගොවියා නරකම ඉඩම් කැබැල්ලෙන් පවා සාමාන්‍ය ලාභය ඉක්මවා යන ආදායමක් ලබා ගැනීමට සමත් වන්නේ කෙසේ ද?
සමාන ප්‍රාග්ධනයකින් කර්මාන්ත ක්‍ෂේත්‍රයේ දී බිහි කරනු ලබන අතිරික්ත වටිනාකමට වඩා වැඩි අතිරික්ත වටිනාකමක් කෘෂිකර්මාන්තයේ දී බිහි කෙරේ. කර්මාන්තයට සාපේක්‍ෂව කෘෂිකර්මාන්තයේ දී තාක්‍ෂණය භාවිතය අඩු ය. මේ නිසා කෘෂිකර්මාන්තයේ දී වැඩි කම්කරුවන් ප්‍රමාණයක්, එනම් වැඩි විචල්‍ය ප්‍රාග්ධනයක් වැය කෙරේ. එබැවින්, කෘෂිකර්මාන්තයේ දී විචල්‍ය ප්‍රාග්ධනයට ස්ථාවර ප්‍රාග්ධනයේ අනුපාතය පහත මට්ටමක පවතී. එනම්, කෘෂිකර්මාන්තයේ දී වැඩි අතිරික්ත වටිනාකම් ප්‍රමාණයක් බිහි වේ. එසේ ම කෘෂිකාර්මික නිෂ්පාදනයන් ඒවායේ නිෂ්පාදන මිලට විකුණනු නොලැබේ. ඒවා විකුණනු ලබන්නේ වටිනාකමට ය. එවිට කෘෂිකාර්මික ධනපතියාට සාමාන්‍ය ලාභය ඉක්මවා යන අතිරේක අතිරික්ත වටිනාකමක් නරක ම ඉඩම් කට්ටිවලින් පවා ලැබේ. නරක ම ඉඩම් කට්ටිවල ඉඩම් හිමියා සිය බදු කුළිය ලෙස අත්පත් කර ගනු ලබන්නේ එකී අතිරේක අතිරික්ත වටිනාකමයි. එලෙස උත්පාදනය වන බදු කුළිය සාරවත්, මඳ වශයෙන් සාරවත් සහ නරක ම ඉඩම් යන සෑම ආකාරයක ම ඉඩම්වලින් බිහි වේ.
කෘෂිකර්මාන්තය තුළ බිහි වන සාමාන්‍ය ලාභයත්, ආන්තර බිම් බදු කුළියත්, නිරපේක්‍ෂ බදු කුළියත් බිහි කරනු ලබන්නේ කෘෂිකාර්මික වැටුප් කම්කරුවා විසිනි.
ධනපති සමාජය තුළ කෘෂිකර්මාන්තයේ යෙදෙන ධනපති ගොවීන්ට අමතරව සුළු පෞද්ගලික නිෂ්පාදනයේ ආකාරයක් වන සුළු ගොවීන් ද කෘෂිකාර්මික නිෂ්පාදනයේ යෙදේ. ශ්‍රී ලංකාව වැනි පසුගාමී රටවල කෘෂිකාර්මික නිෂ්පාදනයේ වැඩි කොටස සිදු කරනු ලබන්නේ, සුළු ගොවීන් විසිනි. සුළු ගොවි ඉඩම්වල ඉඩම් බදු කුළිය අතිරික්ත වටිනාකම් ආකාරයක් නොගනී. මක්නිසා ද යත්, ඉඩම අයිති සුළු ගොවියා කිසිලෙසකින් හෝ ඉඩම් බදු කුළියක් නොගෙවන බැවිනි. පොදුවේ ශ්‍රමයේ ඵලයන් එනම්, කෘෂිකාර්මික නිෂ්පාදනයන් අලෙවියෙන් පසු ලබා ගන්නා සියලු ආදායම් මෙන් ම බදු කුළිය ද ගොවියා ලබා ගන්නා අමතර ලාභයකි. එහෙත්, සුළු ගොවියාට එම ආන්තික බදු කුළිය ලබා ගැනීමට හා අත්පත් කර ගැනීමට නොහැකියි. එසේ වන්නේ සුළු ගොවි ඉඩම්වල වගා කිරීමේ දී කුළීකරුවන්, යන්ත්‍ර සූත්‍ර ආදිය සඳහා වන වියදම් ඉතා අධික බැවිනි. මෙම වියදම කොතරම් අධික ද යත්, ධනපති ගොවීන් විසින් වගා කරනු ලබන නරක ම ඉඩම් කට්ටිවල වියදමටත් වඩා එය වැඩි වේ. තවද, ඒකාධිකාරයන්ගේ නියෝජිතයන් වන අතරමැදියන්ට ඉතා ම අඩු මිලට සිය නිෂ්පාදනය අලෙවි කිරීමට සුළු ගොවීන්ට බල කෙරේ. එවිට ඔවුන්ගේ නිෂ්පාදන වියදමවත් පියවා ගැනීමට සුළු ගොවීන්ට නොහැකි වේ.
සුළු ගොවියා ප්‍රාථමික ශ්‍රම උපකරණ අතැතිව තමාගේ සහ තම පවුලේ පැවැත්ම වෙනුවෙන් සිය කුඩා ඉඩමේ වැඩ කරයි. මේ නිසා සුළු ගොවි ඉඩම්වල නිරපේක්‍ෂ බදු කුළියක් බිහි නොවේ.
-විමර්ශන (2019 මැයි)