ආගම හා දේශපාලනය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

පොදුවේ ලෝකය තුළ මෙන් ම ශ්‍රී ලංකාවේ ද දේශපාලන ගමන්මඟ තුළ ආගමේ බලපෑම තීරණාත්මක සාධකයක් වී තිබේ. ඉතිහාසයේ විවිධ වකවානු තුළ දී මෙම බලපෑම අඩු-වැඩි වශයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන ගමන්මඟට සිදු කරනු ලැබූ බලපෑම පිළිබඳ අත්දැකීම් අපට තිබේ. 1948න් පසු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට රට පත් වී ඇති තත්ත්වයක් තුළ එහි දේශපාලන ගමන්මඟේ හැරවුම් ලක්‍ෂ්‍යයක් වෙත ද රට ළඟා වී තිබේ. මෙම විශේෂ තත්ත්වය තුළ ආගම් කේන්ද්‍ර කර ගනිමින්, යම් සමාජ ව්‍යාකූලභාවයක් ඇති කිරීමේ තත්ත්වයක්  සියුම් ලෙස මතු කෙරෙමින් තිබෙන බව හඳුනාගත යුතු ය. මෙම සංක්‍ෂිප්ත කෙටි ලිපිය ඒ වෙනුවෙන් වූ ප්‍රවේශයකි.

ආගමේ බිහි වීම

ආගම් බිහි වූයේ අවිද්‍යාව තුළ ය. සොබාදහම හමුවේ අසරණ වූ ආදිකල්පික මිනිසාට තමා අවට සිදු වන්නා වූ ස්වාභාවික සංසිද්ධි වටහා ගැනීමට අසීරු විය. ඉර, හඳ, තාරකා, අව්ව, වැස්ස, ගින්දර… ආදී ස්වාභාවික වස්තුවල සහ ක්‍රියාවලිවල හරය වටහා ගැනීමට තරම් දැනුමක් මෙම අවධිය තුළ නොතිබිණි. උපකරණවල සංවර්ධනය ඉතාමත් පහළ අවධියක දී (ප්‍රාථමික සාමුහික සමාජය තුළ) මිනිසුන්ගේ දැනුම් මට්ටම ද ඊට අනුරූපව පැවැතීම යථාර්ථයයි. තමාට වටහා ගැනීමට නොහැකි සියලු දේවලට දේවමය බලයක් ආරෝපණය කිරීම සිදු වන්නේ මේ තත්ත්වය තුළ ය. විවිධ විෂය කාරණා සඳහා දෙවිවරුන් මණ්ඩලයක් නිර්මාණය කරනු ලැබී ය. (නිදසුනක් ලෙස ග්‍රීසියේ දී අහස – සියුස්, හිරු – ඇපලෝ… ආදී ලෙස) එලෙස ම එදිනෙදා පරිහරණය කරන දේවල් තුළ ද ආත්මයක් ඇතැයි විශ්වාස කරනු ලැබී ය. මෙය ‘ප්‍රාණවාදය’ ලෙස හඳුන්වනු ලබයි. බ්‍රිතාන්‍ය ජාතික මානව විද්‍යාඥයකු වූ ශ්‍රීමත් එඞ්වඞ් බර්නෙට් ටයිලර් (1832-1917) රචිත ‘ප්‍රිමිටිව් කල්චර්‘ (ආදිකල්පික සංස්කෘතිය – Primitive Culture) ග්‍රන්ථයෙහි ‘ප්‍රාණවාදය’ ආගමික භක්තියෙහි පූර්ව අවධියක් ලෙස පැවැති බව ඔහු සඳහන් කරයි. ප්‍රාණවාදය ආගමක් ලෙස නොසලකන අතර,  එය ආගමක් ගොඩනැංවීම සඳහා පාදක වන මූලික අවශ්‍යතාවක් ලෙස සලකනු ලබයි. ටයිලර්ගේ අර්ථදැක්වීමට අනුව ප්‍රාණවාදය ආත්මය කෙරෙහි ඇදහීමකි. එයින් දේව ඇදහිලි හෝ මිනිස් ශරීරයෙන් පරිබාහිර ආත්ම කෙරෙහි විශ්වාස කරන සියලු ආගම් කෙරෙහි පදනම සකස් කෙරෙන බව ඔහු පවසයි.

Primitive Culture, Vol. 1 of 2 (Classic Reprint): Researches Into the  Development of Mythology, Philosophy, Religion, Art, and Custom: Tylor,  Edward Burnett: 9781397790729: Amazon.com: Books

සමාජ සංවර්ධන ක්‍රියාවලියේ දී ප්‍රාථමික සාමුහික සමාජය අභාවයට යමින්, පන්ති සමාජය බිහි වීමේ දී මෙම ඇදහිලි සහ විශ්වාස සංවිධානාත්මක ආගම් බවට පරිවර්තනය විය. බොහෝ දෙවියන් ඇදහීම වෙනුවට එක් දෙවියකු විශ්වාස කරන ආගම් ද බිහි විය. සංවිධානාත්මක ආගම්වල පැවැත්ම තීරණය වූයේ ඒ වෙනුවෙන් වෙන් වූ පූජකවරුන්ගේ හෝ ආගමික නායකයන්ගේ හෝ පැලැන්තියක් නඩත්තු කිරීමේ හැකියාව තුළ ය. මෙවැනි පිරිසක් නඩත්තු කිරීම සඳහා අතිරික්ත ධනයක් ප්‍රාථමික සමාජය තුළ නොතිබුණු අතර, එම තත්ත්වය ගොඩනැඟුණේ පන්ති සමාජය තුළ දී ය. සමාජ නිෂ්පාදනයේ අතිරික්තය දේපළ හිමි පන්තිය සතු විය. එම නිසා ම ආගම්වල පැවැත්ම උදෙසා දේපළ හිමි පාලක පන්තියේ සහාය ඊට අවශ්‍ය වූවා සේ ම තම සූරාකෑම සාධාරණීයකරණය කර ගැනීම සඳහා ජනතාව මෝහනය කොට තබා ගැනීමට දේපළ හිමි පාලක පන්තියට ආගම්වල සහාය අවශ්‍ය විය. ඒ සමඟ ආගම පාලක පන්තියේ අවිය බවට පත් විය.

රජයේ පීඩාවලට එරෙහිව පීඩිතයන් වෙනුවෙන් බිහි වූ ආගම් ද පසුකාලීනව ඉහත තත්ත්වයට පත් විය. ආගමේ බිහි වීම සහ භාවිතාව පිළිබඳ සංක්‍ෂිප්ත කතාව එයයි.

ආගම යනු කුමක් ද?

ආගම යනු ප්‍රකෘතියේ විකෘති කරනු ලැබූ මනඃකල්පිත පිළිබිඹුවක් ලෙස මාක්ස්වාදය විසින් හඳුනා ගනු ලබයි. ආගම වද මලකට උපමා කරන ලෙනින් එය හට ගත්තේ ‘මිනිසා’ නමැති වෘක්‍ෂයේ බවත්, සමාජ සංවර්ධනයේ දී සමාජ සංවර්ධනයේ දී එය ප්‍රතිගාමී කාර්යයක් ඉටු කරනු ලැබුව ද, ආගමික අගතිවලට එරෙහිව කටයුතු කිරීමේ දී අතිශයින් සැලැකිලිමත් විය යුතු බවත් අවධාරණය කර ඇත. එය පහත උපුටනයෙන් වඩාත් පැහැදිලි වෙයි.

“ආගමික අගතීන්ට එරෙහිව සටන් කිරීමේ දි අප අතිශයින් ම ප්‍රවේසම්කාරී විය යුතු ය. ඇතැම් මිනිස්සු ආගමික හැඟීම් රිදවීම් මඟින් මේ අරගලයේ දී විශාල හානියක් සිදු කරත්. අප විසින් මෙහි දී ප්‍රචාරක කටයුතු සහ අධ්‍යාපනය උපයෝගී කරගත යුතු ය. අරගලයට ඕනෑවට වඩා තියුණු මුවහතක් දීමෙන් අප කරන්නේ ජනතා නුරුස්නාව ඇවිස්සීම පමණි.”

ආගම පිළිබඳ ලෙනින්ගේ මෙම අදහස අදට වඩාත් කාලෝචිත වෙයි. දේවගැති ජෙරම් නම් පුද්ගලයකු හරහා මෙන් ම නටාෂා නමැති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක හරහා ද සමාජය නොසන්සුන් කරන භාවිතාවක් අපට දැකගත හැකි විය. බුදුදහමට අපහාස කරනු ලැබූ බවට මොවුන් දෙදෙනාට ම චෝදනා එල්ල වූ අතර, ඒ සමඟ ම රටේ මූලික ප්‍රශ්න මොහොතකට යට ගොස් ආගමික භක්තිය පදනම් කර ගත් හැඟීම්බර ක්‍රියාකාරීත්වයක් දින කිහිපයකට හෝ මතු විය. වඩාත් හොඳින් විමර්ශනශීලීව බැලූ විට දක්නට ලැබෙන්නේ මේවා තුළ යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් සැඟව ඇති බවයි.

සම්ප්‍රදායයට එරෙහි වීම, මිථ්‍යා විශ්වාසවලට එරෙහිව කටයුතු කිරීම, ආගමික අගතිවලට එරෙහිව කටයුතු කිරීම වැනි රැඩිකල් ක්‍රියාමාර්ග වියුක්තව ගත් විට ප්‍රගතිශීලී වෙයි. නමුත්, එය සිදු කරන මොහොත මෙන් ම ආකාරය ද අනුව දැන හෝ නොදැන ප්‍රතිගාමී භාවිතාවලට ද පණ පෙවෙන බව තේරුම්ගත යුතු ය. එමෙන් ම ජනතා විශ්වාසවලට අපහාස කිරිම් වැනි ක්‍රියාදාම මඟින් ද සිදු වන්නේ ජනතාව මිථ්‍යාවෙන් ගැලවීම වෙනුවට ඔවුන් තව තවත් තම ගතානුගතික විශ්වාසවලට තදින් බැඳෙමින්, ඒවා ආරක්‍ෂා කිරීමට යොමු වීමයි. කර වටක් ගිලී ඇති සමාජ, ආර්ථික, දේශපාලන ගැටලු විසඳා ගැනීම උදෙසා සමාජ පරිවර්තනයකට සියලු මතවාද පෙළගැස්විය යුතු, එය ඉලක්ක කර ගත යුතු මොහොතක ජන මනෝභාව වෙනතකට හරවන පෙනුමින් රැඩිකල් ලෙස පෙනෙන ක්‍රියාකාරකම්වල පවතින ප්‍රතිගාමී දේශපාලනය ද මේ මොහොතේ හොඳින් වටහාගත යුතු ය.

ආගම හා දේශපාලනය