ව්‍යවස්ථා වෙට්ටු දැමූ ඒකාධිපති පිල්ලි

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටක මූලික නීතියයි. “නීතිය යනු පාලක පංතියේ කැමැත්තයි” යන්න මාක්ස් ලෙනින්වාදී පොදු නිර්වචනයයි. ලිඛිත හෝ අලිඛිත නීති පද්ධති බිහිවන්නේ පාලක පංතියේ පාලන පහසුව උදෙසාය. ශ්‍රී ලංකාව පසුගාමී ධනේශ්වර සංවර්ධනයක් සහිත නව යටත්විජිතවාදී රටක් නිසාම නීතිය සකස්ව පවතින්නේ එම හැඩරුව සහිතවය. ඒ අනුව අප රටේ නීතියෙහි පාලක පංතියේ පසුගාමී බවත් යටත්විජිත ගැතිභාවයත් නිරායාසයෙන්ම අඩංගු වේ. දේශපාලනය යනු බලය  උදෙසා වන ක්‍රියාකාරිත්වයකි. මෙවන් සමාජ ආර්ථික ක්‍රමයක බලය අවශ්‍ය වන්නේ ධනේශ්වර ප්‍රාග්ධනයට (එය හිමි සුළුතර පංතියට) රැකවරණය හා පහසුකම් සැලසීම උදෙසාය. සමාජ ක්‍රමයෙහි අර්බුදයන් උත්සන්න වන විට පීඩිත පංතියේ ප්‍රතිවිරෝධය වර්ධනය වේ. ඉන් පැන නගින පීඩිත පංති මැඩලීමේ වුවමනාව විසින් පාලක පංතිය නව නීති සකස් කිරිමට පෙළඹෙයි. මෙම තත්වය තුළ ව්‍යවස්ථා සංශෝධනයන්ගේ අවශ්‍යතාවය ජනිත කරනු ලබයි.

පාලක පංතියේ කැමැත්තද ඉක්මවා යමින් යම් පාලකයෙකු තම පුද්ගල බලය උදෙසා කටයුතු කරන්නේ නම් එය ඒකාධිපතිත්වයයි. එවිට නීතිය යනු ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත වේ. එවන් පාලකයෙකු ව්‍යවස්ථා සංශෝධනයන් මගින්ම තම ඒකාධිපති බලය තහවුරු කරගන්නා විට එය ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයයි. මහින්ද රාජපක්ෂ යනු එවන් ව්‍යවස්ථානුකූල ඒකාධිපති ගමනක යමින් සිටි කෙනෙකි. එවන් ඒකාධිපතින් පිළිබඳව ඉතිහාසයේ අත්දැකීම වන්නේ, ඔවුන් තම බල තණ්හාව උදෙසාම රටත් ජනතාවත් බිලිදුන් ආකාරයයි. ඒකාධිපතිත්වයේ බල උමතුව විසින් පාලක පංතියේ පැවැත්මේ අත්‍යාවශ්‍යතාවයද පළුදු කරනු ලබයි. පංතිය උදෙසා වන නීති පවා ඒකාධිපති අවශ්‍යතාවය වෙනුවෙන් යෙදවේ. හිතුවක්කාරී ව්‍යවස්ථා සංශෝධන, ව්‍යවස්ථා වෙට්ටු දැමීම්, ව්‍යවස්ථාව නොසලකා හැරීම් මේ තුළ අඩංගුය. සැබැවින්ම බල ක්‍රීඩාවට පොදු නීති නැත; පවතින්නේ එයටම ආවේණික නීතින්ය. ඒ, වරදානයන් හා බලහත්කාරයයි. අන් මත ඉවසීමක් කොහෙත්ම නැත. ව්‍යවස්ථාව හෙවත් රටේ මූලික නීතිය තම ග්‍රහණයට ගත් පසු සමස්ත නීති කේෂ්ත්‍රයම ඒකාධිපතිත්වයේ අත්අඩංගුවට පත්වෙයි. නීති සකසන ස්ථානයද (ව්‍යවස්ථාදායකයද), නීතිය පසිඳලන ස්ථානයද (අධිකරණයද) මෙම ඛේදවාචකයට ගොදුරු වේ. එවන් අත්දැකීම් කිහිපයක් විමසා බැලීම තුළින් වත්මන් ශ්‍රී ලංකාවේ ඒකාධිපතිත්වයේ ගමන් දිසාව හා වර්ධනය විසින් නිර්මාණය වන අනාගත අනතුර හඳුනාගත හැකිය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කළ 1978න් පසු ආර්ථිකයේ ආකෘතිමය වෙනසක් ඇති කල රටකි. එයට මුල් වූයේ එවක පාලකයාවූ ජේ.ආර්. ජයවර්ධනය. ඒවන විට පැවැති සංවෘත ආර්ථික මොඩලය වෙනුවට විවෘත ආර්ථිකය ආදේශ කළද මේ දක්වාම එය ස්ථාපිත කිරිමේ නොහැකියාවෙන් මෙම පසුගාමී ධනේශ්වරය පෙළෙයි. ජේ.ආර්. ජයවර්ධන කල්පනා කළේම මෙම ආකෘතිමය උඩුයටිකුරු කිරීම හරහා පැන නැගිය හැකි දේශපාලන අර්බුදයන් පියමං කරගැනීමට නව ව්‍යවස්ථාවක අත්‍යාවශ්‍යතාවයයි. එහි අඩංගුව අසිමිත බලතල සහිත විධායකය කේන්ද්‍ර කොට ගෙන සකස් විය. ඉන් පසු බිහිවු පාලකයින්ටද ජේ.ආර්ටද සිදුවුයේ පැන නගින අර්බුදය හමුවේ බල පිපාසයට මුහුණදීමේ ශක්තිය ව්‍යවස්ථා සංශෝධනය නැමැති කරදියෙන් තෘප්තිමත් කරගැනීමටය. එහෙත් පිපාසය සන්සිඳෙන්නේ නැත.

ප්‍රථම විධායක ජනාධිපති ශ්‍රීමත් ජේ. ආර්. ජයවර්ධන 116 වන ජන්ම සමරුව හෙටයි -  පුවත් | පුවත්

විවෘත ආර්ථිකය ස්ථාවර කොට දෙපයින් සිටුවීමට මේ දක්වාම ලංකාවේ ධනපති පංතිය සමත්වී නැත. එයට අවශ්‍ය යටිතල පහසුකම් පමණක් දිඟින් දිගටම සකසමින් ඉන් කොමිස් උපයමින් සිටිති. එනිසාම යටිතල පහසුකම් සැකසීම ඔස්සේ කොමිස්කාර ආර්ථිකයක් බිහිවිය. මේ හරහා දේශපාලනයට පිවිසෙන්නන් තුළද වෙනස්කම් ඇති විය. දේශපාලනය මුදල් උපයන කර්මාන්තයක් බවට පත් විය. දැන් විවෘත ආර්ථිකයේ අත්තිවාරම කැණ ඒ මත යන්තම් අටවාගත් සෙවණේ සිටිමින් යැපෙන පාදඩ දේශපාලන සංස්කෘතියක් බිහිව තිබේ. මත් කුඩු, මත් ද්‍රව්‍ය වැනි උප ආර්ථිකයන් බිහිවන්නේ මේ හරහාය. (අප රටේ ප්‍රධාන ආර්ථිකය කර්මාන්ත හෝ කෘෂිකර්මාන්තය නොව ණය, දඩ හා බදුය.) මේ මගින් කළු සල්ලි උපයන පාදඩ ධනපති ආර්ථිකයක් බිහිවිය. එපමණක් නොව දේශපාලකයා ව්‍යාපාරිකයා බවට පත්වන්නේ මේ තුළය. මේ අනුව ඉන්පසු පාලකයාට ජනතාව සමඟ ගිවිසුමක් නැත. තිබෙන්නේ පාදඩ සංස්කෘතියකින් හෙබි පාක්ෂික දේශපාලකයින් සහ පාතාලය සමඟ වන සම්මුතියකි. ඔවුන් තම ක්‍රමය පවා අවදානමට ලක් කරමින් කර්මාන්තයෙන් නොව පාදඩ ආර්ථිකයෙන් ලාභ ලැබීම උදෙසා පොර බදයි.

තම ක්‍රමයේ පැවැත්ම උදෙසාම සමාජ ගත කළ ආයතනයන් දූෂණය කරන්නේද මොවුන්ය. අධිකරණයේද, නීතියේ ආධිපත්‍යයේද සුජාතභාවය පිළිබඳව සමාජ විඥ්ඥානය තුළ විචිකිච්ඡාවක් ජනිත කර ඇත්තේද මේ හරහාය. ඉක්බිති ව්‍යවස්ථා සංශෝධනයන් හරහා දිගින් දිගටම සිදු කර ඇත්තේ බලය සඳහා වන පවුරේ සිදුරු වැසීමයි.

මේ අනුව පළමුව ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා සංශෝධනයන් මගින් බලය තහවුරු කරගත් අයුරු විමසා  බලමු. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වයස අවුරුදු 45කි. කරන ලද සංශෝධන 20කි. ඉන් ජනතා හිතවාදී සංශෝධනයක් වුයේ, 17 වන ව්‍යවස්ථා සංශෝධනය පමණි. එය ඉදිරිපත් කරනු ලැබුයේ පොදු ජන එක්සත් පෙරමුණ පාර්ලිමේන්තුව තුළ සුළුතර බලයක්වු අවස්ථාවේදීය. ඒ, ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ සමඟ අත්සන් කළ පරිවාස ගිවිසුම යටතේය. මෙම අවස්ථාව ඓතිහාසිකය.

තවද 12 සංශෝධනය නමින් කිසිදා සම්මත නොකළ සංශෝධනයක්ද පවතී. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සරත් මුත්තෙට්ටුවගම මන්ත්‍රීවරයා මෙම සංශෝධනය ඉදිරිපත් කරන ලදී. එහි අරමුණ වුයේ, ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරිය නොහැකි වනසේ පනවා තිබූ 35 වගන්තිය සංශෝධනයට ලක් කිරීමයි. ඒ සම්බන්ධව වන පාර්ලිමේන්තු විවාදය අතරතුර පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසින් එය ඉදිරිපත් කළ සරත් මුත්තෙට්ටුවේගම මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් විසින් ඔසවා පාර්ලිමේන්තුවෙන් පිටතට ගෙනයන ලද අතර විවාදය කඩාකප්පල් කෙරිණි. ඒ, විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ප්‍රජාතන්ත්‍රවාදයයි.

78 ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය කරන්නේ විරුද්ධවාදියා ගෙන් පළි ගැනීම අරමුණු කොටගෙනය. සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම සඳහා පැනවූ කොමිසම නීතිවිරෝධී යැයි ඇය අභියාචනාධිකරණයට ගොස් රිට් ආඥාවක් ඉල්ලුවාය. එම ආඥාව අභියාචනාධිකරණය විසින් නිකුත් කළේය. ජේ.ආර්. ව්‍යවස්ථා සංශෝධනය මඟින් අභියාචනාධිකරණය සතු එම බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පවරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණය පත් කරන්නේ ජනාධිපතිවරයා විසිනි. එවිට එය ජනාධිපතිවරයාගේ කැමැත්තට යටත්ය. එමෙන්ම මෙම සංශෝධනය අතීතයට බලපාන පරිදි ගෙනවිත් තම විරුද්ධ තරඟකරු දුබල කළේය.

දෙවන ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන අරමුණු කළේ පාර්ලිමේන්තු බලය තමන් සතුව පැවැතියෙදී තම ආණ්ඩුවට විරුද්ධ පක්ෂයෙන් පැමිණෙන්නන් සුරැකීමය. මන්ත්‍රීවරයකුගේ පක්ෂ සාමාජිකත්වය අහිමිවූ විට ඔහුගේ මන්ත්‍රී ධුරයද අහෝසි වන්නේ යැයි පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 161 (ඇ) වගන්තිය සංශෝධනය කෙරිණි. ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කළ හැක්කේ පාර්ලිමේන්තුවේ 85දෙනෙකු අත එසවීමෙන් යන්න එම සංශෝධනයයි. ඒ වන විට 85කට වැඩි ඡන්දයක් පාර්ලිමේන්තුවෙන් ගන්නට හැකියාව තිබුණේ පාලක එ.ජා.ප.යට පමණි.

තුන්වන සංශෝධනයෙන් කරනු ලැබූයේ අවශ්‍ය නම් ජනාධිපතිවරයාට වසර 04කින් නැවැත ජනාධිපතිවරණයක් පවත්වා ඉදිරි කාලයට තමන් තෝරාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලිය හැකි බවය. තවද හතර වන සංශෝධනය හරහා සිදු කළේ තම පාර්ලිමේන්තු කාලය දීර්ඝ කරගැනීමයි.

13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලබන්නේ ඉන්දියාවේ බලකිරීම යටතේය. පළාත් සභා ක්‍රමය ඇතිකොට බලතල මධ්‍යම රජය හා පළාත් සභාව අතර බෙදා පළාත් සභා සුදු අලියා නිර්මාණය කළේ මෙහිදීය.

ජනපති ප්‍රේමදාසගේ 'සිංහාසනය' - Lankadeepa Online

ප්‍රේමදාස ජනාධිපති සමයේ නීතියක් තිබුණේම නැත. ජේ. ආර් ආරම්භ කළ භීෂණය වඩාත් හොඳින් ඔහු විසින් ඉදිරියට ගෙන ගියේය. නිල නොවන ඝාතන කණ්ඩායම් නීතිය බවට පත් විය. යළි ප්‍රේමදාස යුගයක් පිළිබඳව කතා කරන විට නොදන්නා අය එම යුගයේ ම්ලේච්ඡත්වය වටහා ගත යුතුය. ප්‍රේමදාසද තමන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනවිත් ලලිත් ඇතුලත්මුදලිලා, ගාමිණි දිසානායකලා ගැසූ කැරැල්ල පාර්ලිමේන්තුව කල් තබා, කථානායක අල්ලස් හා බියගැන්වීම් මගින් තමන්ට නතු කරගනිමින් වැළැක්වූ ඉතිහාසයද ලංකාවේ ඒකාධිපති ඉතිහාස කතාවට තද කළු පැහැයෙන් එක්වේ.

18වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් මහින්ද රාජපක්ෂ කරගනු ලැබුයේ මෙතෙක් දෙවරක් පමණක් තරඟ කිරීමට ජනාධිපතිවරයා සතු හිමිකම ඕනෑම වාරයක් තරඟ කළ හැකිසේ වෙනස් කරගැනීමයි. මෙය අසිමිත බල තණ්හාවකින් දෙවන වර බලයට පත් වහාම තව ඉදිරියට වසර හයක් තිබියදී ගෙන එන ලද සංශෝධනයකි. ඉන් අනතුරුව එම සංශෝධනය තුළින් විනිසුරන් පත්කිරීමේ බලය ජනාධිපති අතට පත්කිරීම මඟින්  අධිකරණය පවා තම අණසකට නතු කරගන්නා ලදී. තවද 17 සංශෝධනය තුළින් ගෙන එන ලද මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, ආදිය ජනාධිපතිවරයාගේ අණසකට යටත් කරන ලදී.

මෙහි සඳහන් නොකළ ව්‍යවස්ථා සංශෝධනයන් මඟින් සිදු කර ඇත්තේද බලයේ සිටින ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට රාජ්‍යයේ සියලු ආයතනයන් වරින් වර යටත් කිරිමයි.

I was forced into a deal with India, Jayewardene told U.S. envoy - The Hindu

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හැසිරීම විසින් ඔහු ව්‍යවස්ථානුකූල (ව්‍යවස්ථා සංශෝධනයන් හා ව්‍යවස්ථා වෙට්ටු මඟින්) ඒකාධිපතිත්වයකට යමින් සිටි බව පෙනෙන්නට තිබේ. ධනපති ක්‍රමයේ පැවැත්ම උදෙසා පවතින ආයතන පවා එමඟින් දුබල කරමින් පැවතුණි. එයින් පාර්ලිමේන්තුව, අධිකරණය ආදිය පිළිබඳ ජනතා විශ්වාසය පළුදු කිරිමට කටයුතු කර තිබිණි. දේශපාලන මිත්‍ර සංග්‍රහයන් සඳහා සහ දේශපාලන පළිගැනීම් උදෙසා නින්දිත ලෙස රටේ ව්‍යවස්ථාව පාවිච්චි කරගනිමින් හෝ අවභාවිතයට ගනිමින් හෝ වෙනස් හෝ විකෘති කරමින් මහින්ද රාජපක්ෂද කටයුතු කළේය. ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි තමන් අතට ගත්තේය. එමඟින් ඔවුන් තම නූලට නටන රූකඩයන් බවට පත්කොට ගත්තේය. මේ අතර අපූරු විගඩම්ද තිබුණි. මැතිවරණ පෙත්සම් විභාගයකින් කලවානේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී පිලපිටිය පරදින බව දැන ඔහුට මාස තුනක් නොදන්වා පාර්ලිමේන්තු නොපැමිණ සිටීමට සලස්වා මන්ත්‍රී ධූරය අහෝසි කරගත්තේය. ඉන් ඡන්ද පෙත්සමෙන් ඔහු ඉවත්වීම වළක්වා පසුව පත්කල මන්ත්‍රීවරයකු ලෙස නැවැත පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබිණි. මේ වන විට අතුරු මැතිවරණයෙන් කලවානට තේරීපත්වූ කො.ප.යේ සරත් මුත්තෙට්ටුවගම එම අසුනේ සිටියදී පිලපිටියද විය. කලක් ගතවනතුරු එසේ තිබී පසුව පිලපිටිය ඉල්ලා අස්කරගන්නට ජේ.ආර්.ට සිදුවිය. ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට අවනත නොවන, තමන්ට අවාසි තීන්දු දෙන අවස්ථාවේ කළු ලකී වැනි ආණ්ඩුවේ මැරයින් යොදවා හූ කියවා අධිකරණයට ගල් ගැස්සුවේය. (මේ වන විට අග විනිසුරු නෙවිල් සමරකෝන්, රැස්වීමකදි ජේ.ආර් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව පම්පෝරියක් ගසා වාඩිවනවාත් සමඟම නැගිට තම කතාවේදී ජනාධිපතිවරයාගේ කතාව අසා තමා විශ්මයට පත්වූ බව පැවසීමෙන් ජනාධිපතිගේ වෛරයට පාත්‍රව සිටියේය.) මහින්ද රාජපක්ෂද තම හිතවාදීන් මිනී මැරුම් නඩුවලින් පවා නිදහස් කරගන්නා අයුරු රටට රහසක් නොවේ. චන්දන කත්‍රිආරච්චි ආදින් එයට උදාහරණයන් පමණි. තමනට එරෙහිව ජනාධිපතිවරණයට තරඟ කළ හිටපු හමුදාපති සරත් පොන්සේකාට යුද නීතියද රටේ සිවිල් නීතියද නීතිකව සහ අනීතිකව භාවිතා කරමින් පළිගත්තේය. ජේ.ආර්. ජයවර්ධන මෙන්ම තමන් පත්කළ අගවිනිසුරුවරිය වන ශිරාණි බණ්ඩාරනායක ධුරයෙන් ඉවත් කොට පළිගනිමින් සිටියේය.

ජේ.ආර්.ගෙන් මහින්ද වෙනස් වන්නේ කරුණු දෙකක් මතය. එකක් වන්නේ ජේ. ආර් මෙන් නොව මහින්ද ධනපති ක්‍රමය පත්වන අවදානම පවා නොසලකා මෝඩ ලෙස තමන් වෙනුවෙන්ම කටයුතු කිරීමයි. දෙවැන්න මහින්ද රාජපක්ෂ ජේ.ආර්. ඉක්මවා ඉදිරියෙන් සිටිමයි. මෙවන් ඒකාධිපති පිල්ලි කිහිපයක් පිළිබඳව ලෝකයේ පැවති උදාහරණ සලකා බැලීමෙන් මෙහි භයානකත්වය කෙසේදැයි අප විමසා බැලිය හැකිය.

ඒ සඳහා හොඳම නිදර්ශනයක් වන්නේ පිලිපීනයේ හිටපු ජනාධිපති ෆර්ඩිනන්ඞ් මාකොස්ය. ඔහු පළමුව නීතිඥයෙකි. පසුව ඔහු 1949දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරිපත් විය. ඉන්පසු  පිලිපීන සෙනෙට් සභාවට තේරීපත් විය. 1963දී සෙනෙට් සභාවේ සභාපති ධුරයට පත්විය. පිලිපීන ලිබරල් පත්ෂයේ සභාපති බවට පත්ව සිටි ඔහු 1965 එම පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. 1965 දෙසැම්බර් 30 ජනාධිපති බවට පත් මාර්කෝස් තම ජනාධිපති සටනට භාණ්ඩාගාරයේ මුදල් විශාල වශයෙන් භාවිතා කොට තිබුණි. අන්ත ප්‍රතිගාමියකුවූ මාකෝස් ජනාධිපති ලෙස පත්ව කළ පළමු කාර්යය වන්නේ වියට්නාමයට එරෙහිව ඇමරිකානු සහයට දහදාහක හමුදා බලඇණියක් යැවීමයි. 1969 අන්ත දුෂිත මැතිවරණයෙන් පසු ඔහු නැවත ජනාධිපති බවට පත්විය. තම මැතිවරණ අරමුදලට ඩොලර් මිලියන 56ක් භාණ්ඩාගාරයෙන් දූෂිතව ලබා ගත්තේය. පිලිපීන කොමියුනිස්ට් පක්ෂය මාකෝස්ගේ ඒකාධිපති පාලනයට එරෙහිව අවිගත් අරගලයක් කළේය. ඉන් පසු මාකෝස් විසින් යුද නීතිය – මාෂල් ලෝ පැනවීය. 1981 මාකෝස්ට ආශිර්වාද කිරීමට එවකට සිටි දෙවන ජුවාන් පාවුළු පාප්වරයා පිලිපීනයට ගෙන්වන ලදී. මාකෝස් 1973 පැරැණි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කොට නව ව්‍යවස්ථාවක් ගෙන එන ලදී. එතැන් සිට ඔහු මිනිසුන් බිය වද්දමින්, මරා දමමින්, අන්ත දූෂිත පාලනයක් ගෙන ගියේය. එමෙන්ම සියලු ස්වාධීන ජනමාධ්‍යයන් තහනම් කළේය. තම දේශපාලන විරුද්ධවාදියකු වන බෙනිග්නෝ අකිනෝ පිටුවහලේ සිට නැවත රටට ගොඩබසින අවස්ථාවේදී ගුවන් තොටුපළේදී ඝාතනය කරන ලදී. ඔහු නැවත වසර 12ට පසු 1981 ජනාධිපතිවරණයක් කැඳවිය. විපක්ෂ සන්ධානය එය වර්ජනය කළේය. මාකෝස් 1986 දක්වා නැවැත ජනාධිපති ධූරයට පත්විය.

මාකෝස් යටතේ පිලිපිනය ආසියාවේ විශාලතම ණය ගැති රාජ්‍ය බවට පත් විය. 1978 සිට 1986 දක්වා ඔහුගේ බිරිඳ ඉමෙල්ඩා මාකෝස් ඇමතිවරියකි. (ඇය රූප සුන්දරියක් විය.) ඇය ඉතාම දුෂිත චරිතයකි. මාකෝස් විවිධ සංවර්ධන ව්‍යාපාති මුවාවෙන් භාණ්ඩාගාරයේ මුදල් වංචා කළේය. ජනාධිපති ලෙස මුලින්ම පත්වන අවස්ථාවේ ඔහු තම වැඩපිළිවෙළ ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ මාර්ග කිලෝ මීටර් 16,000ක් පෝෂණය කරන බවයි. තවද ස්ථිර මාර්ග කිලෝ මීටර් 30,000ක් තුළ පාලම් හදන බවට පෙරොන්දු විය. කිලෝ වොට් 1,000,000 විදුලිය නිපදවීම සඳහා යැයි පවසමින් විදුලි බලාගාර ඉදිකරන ලදී. පළමුව ජනතාව එය අවංකව කරන්නක් බව පිළිගත්තේය. අවසානයේ තහවුරු වූයේ එය ඔහුට අමතර ධනය උපයා දෙන්නක්වූ වංචාවක් බවය.

ජනතා විරෝධය හමුවේ අවසන මාකෝස් හෙලිකොප්ටර් කිහිපයක් මඟින් සිය පවුල සමඟ පලා ගියේය. ඔහු ජනතාවගේ වෛරයට කෙතරම් පාත්‍රවූයේද යත් ඔහු සිටි මන්දිරයේ බිත්ති වලටද ජනතාව මූත්‍රා කළේය. මාකෝස් පරිහරණය කළ (අජිවී) ද්‍රව්‍යමය දේවල් කෙරෙහි පවා ජනතා වෛරය කැටි ගැසී පැවතියේ එසේය.

පාකිස්ථානයේ මොහොමඞ් සියා උල් හක් තවත් මෙවන් ව්‍යවස්ථාවද හමුදා බලයද උපයෝගී කොට ගත් පාලකයෙකි. ඔහුගේ පාලන කාලය 1978 සිට 1988 දක්වා විය. 1976 අවසන් වනවිට අගමැති සුල්ෆිකාර් අලිභූතෝ පාලනය එපා වීමත් සමඟ රටේ දැවැන්ත අර්බුදකාරී තත්වයක් ඇති විය. විපක්ෂය පාකිස්ථානු ජාතික පෙරමුණ නමින් පුළුල් සන්ධානයක් ගොඩ නැඟීය. අලිභූතෝ පාලනය මහමැතිවරණයක් කැඳවුවද පාකිස්ථානු ජාතික පෙරමුණ එය වර්ජනය කළේය. ඉන් පසු කැඳවූ පළාත් මැතිවරණයද එලෙස වර්ජනය විය. එයින් අලිභූතෝ ලැබූවේ අඩු ඡන්ද ප්‍රතිශතයකි. මේ වන විට භූතෝ රජයේ හමුදාපති ජෙනරාල් සියා උල් හක් විය. මෙම අර්බුද අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ජෙනරාල් සියා උල් හක් බලය පැහැරගත් අතර රටට 1977 ජුලි 05 හමුදා නීතිය පැනවීය. ජනතාව අමතමින් ඔහු පැවසුවේ නව ව්‍යවස්ථාවක් හා නව පාලනයක් ඇති කරන බවයි. එවකට සිටි නාවුක හමුදාපති මොහොමඞ් ෂරීෆ් මෙයට උපරිම සහය පළ කළ අතර ගුවන් හමුදාපති සුල්ෆිකාර් අලි කාන් විරෝධය පා ඉල්ලා අස් විය. නිවාස අඩස්සියට පත් කල භූතෝ ඔහුගේ පාලන කාලයේ සිදුකළ ඝාතන ගණනාවකට වරදකරු කරමින් 1979 අප්‍රේල් 04 එල්ලා මරා දැමුණි. සියා උල් හක් පැවැති ව්‍යවස්ථාව අත්හිටුවා 1981 මාර්තු 24 නව ව්‍යවස්ථාවක් ඇති කළේය. 1984 ජනමත විචාරණයක් පැවති අතර එයට සහභාගිවී ඇත්තේ ජනතාවගෙන් සියයට 10ක් පමණි. එහිදී සියයට 90ක් ඔහුට කැමැත්ත දක්වා තිබිණ. ඔහු නව නීති සකසමින් යළි 1985 දී තව වසර පහකට තම කාලය දීර්ඝ කර ගත්තේය. 1988 ඔහු ගමන් කළ ගුවන් යානය තුළ බෝම්බයක් පුපුරුවා හැරීමෙන් මරණයට පත්විය. සියා උල් හක් පාලනය ඉතා මර්දනකාරි, හිතුවක්කාරි, ආගමික අන්තවාදී, ව්‍යවස්ථාවද තම අභිමතයන් උදෙසා උපයෝගී කරගත් පාලකයෙක් විය.

මෙවන් නිදර්ශනයන් ලොව තවත් බොහෝ පවතී. නමුත් ඉහත නිදර්ශනයන් දෙකද ප්‍රමාණවත්ය. මෙම උදාහරණයන් මඟින් කියවෙන්නේ ව්‍යවස්ථාව උපයෝගි කරගනිමින් ඒකාධිපතිත්වයට ගිය පාලකයින් හා ඉන් එම රටවල් ලද බියකරු ප්‍රතිඵලයන්ය. අප රටේද ව්‍යවස්ථාව උපයෝගි කරගනිමින් හිතුවක්කාරී ගමනක් යමින් තිබුණේ කුමන දිසාවකටදැයි මින් පැහැදිලි වනු ඇත. නමුත් එවන් සියලු ඒකාධිපතිත්වයන් ජනතා බලය හමුවේ පරාජය විය. ඕනෑම ජනතා විරෝධි මෙවන් අත්තනෝමතික පාලකයින්ගේ ඉරණම මෙය බව ඉතිහාසය නිතරම සාක්ෂි සපයයි.

තමන්ට නොහැක්කේ ගැහැනියක් පිරිමියෙක් කරන්නට සහ පිරිමියෙක් ගැහැනියක් කරන්නට පමණක් යැයි පැවැසූ ජේ.ආර්. අවසන ඉන්දියාව ඉදිරියේ දණ නැමූ තරම එවකට සිටි ඉන්දීය මහ කොමසාරිස් ඩික්සිත්ගේ ‘කොළඹ භූමිකාව’ පොතෙහි මනාව සඳහන්වේ. ජේ.ආර්. තමන් පමණක් නොව මුළු රටම ඉන්දියාව ඉදිරියේ දණගැස්සවිය. ජේ.ආර්. ආර්යාව පෞද්ගලිකව ඩික්සිත් හමුවි තම ස්වාමියාගේ ජීවිතයත්, බලයත් රැකදෙන්නැයි ආයාචනා කළ හැටි ඩික්සිත්ගේ පොතේ සඳහන්වේ. ඒ අනුව ඔහු ඉන්දීය ආක්‍රමණික හමුදාවක්ද රට තුළට ගෙන්වා රට සිවිල් යුද තත්වයකට ඇද දැමීය. ඒ, ජයවර්ධන ව්‍යවස්ථාව හරහා ඒකාධිපතිත්වයට ගිය ගමන රටට උදා කරදුන් තත්වයයි.  මහින්ද රාජපක්ෂද අධිරාජ්‍යවිරෝධී සටන් පාඨ කියමින්ම අනෙක් අතට විවිධ දොළ පිදේනි දෙමින් ගිවිසුම් ආදිය හරහා අධිරාජ්‍යවාදීන් සැනසුවේය.

මෙම සියලු උදාහරණයන් අවසන ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂගේද ඒකාධිපති වියරුව රට බියකරු අගාධයකට ඇද දමනු නියතව තිබූ බවයි. එහෙත් මේ සඳහා තවත් එවන් පිල්ලි නිර්මාණය කළ යුතු නැත යන්න ප්‍රගතිශීලී ජනතාවගේ මතය විය. යකා එලවීමට කවුරු අතට හෝ අසීමිත බලයක්දී බලාසිටින්නට ජනතාව පුරුදුව සිටියහ. අවසන යකා එළවන්නට එන කට්ටඩියාද අර අසීමිත බලයෙන් යකෙකු බවට පත්වේ. එනිසා ජනතාවට ගැඹුරින් සිතා බැලිය යුතු කරුණු දෙකක් තිබේ. පළමුවැන්න විධායකය පැරදවීම සඳහා එයට එරෙහිව කතිරය ගසා අත පිසදා බලා නොසිට ඒ සඳහා බලපෑම් කරන පෙරමුණක සක්‍රියව දායකවීමයි. දෙවැන්න මෙවන් ඒකාධිපතිත්වයන් ඉල්ලා සිටින අර්බුදයන් ජනිත කරන සමාජ ආර්ථික ක්‍රමය වෙනස් කිරීම සඳහා විකල්ප දේශපාලන මාවතක පෙළ ගැසීමයි. ඒ සඳහා වන දේශපාලන ධාරාවක සක්‍රීය වීමයි.

2015 ජනවාරි – මාර්තු ලෙෆ්ට් සඟරාවෙන් උපුටා ගන්නා ලදී.

ව්‍යවස්ථා වෙට්ටු දැමූ ඒකාධිපති පිල්ලි