වංචාවේ, දූෂණයේ උපත සොයා..

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ලෝකයේ බොහෝ රටවල, විශේෂයෙන් පසුගාමී ධනපති රටවල රාජ්‍ය පාලනය හා බැඳුණු ඉතාම බරපතළ ගැටලුවක් බවට මූල්‍ය වංචා හා දූෂණ පත්ව තිබේ. මෙය සුවකළ නොහැකි වසංගතයක් මෙන් පැතිරෙමින් පවතී. එක්තරා කාලයක එවැනි ගැටලු නොතිබූ බව ප්‍රකාශ කළ දියුණු ධනපති රටවල් පවා මේ ව්‍යාධියට ගොදුරු වී ඇත.

ලංකාවේ මෑත කාලීන දේශපාලනය දෙස බලන විටද වංචා දූෂණ එහි ප්‍රධාන ගැටලුවක් බවට පත් තිබෙන අයුරු දැකිය හැකිය. විශේෂයෙන් පසුගිය මහින්ද රාජපක්‍ෂ පාලන සමය තුළ මෙය විශාල ලෙස පැවතිණි. රාජපක්‍ෂ පාලනය පරාජයට පත් කිරීමේ දේශපාලන සටනේ ප්‍රධානතම සටන් පාඨය වූයේද වංචා හා දූෂණයට ඇති විරෝධයයි. එහෙත් රාජපක්‍ෂ පාලනය පරාජය වුවද වංචා දූෂණ පැරදී නැති බවත් ඒවා පෙර පරිදිම පවතින බවත් පෙනෙන්නට තිබේ. එපමණක් නොව වංචා, දූෂණවලට සම්බන්ධ වූවන් පිළිබඳ ප්‍රමාණවත් නෛතික ක්‍රියාමාර්ග නොගැනීමද පොදු ජනතාවට හා වංචා, දූෂණවලට එරෙහිව හඬ නැගූ සමහර අයට ගැටලුවක් බවට පත්ව තිබේ. මෙහිදී සමහරු වත්මන් පාලනය වංචා දූෂණ නැති  රටක් ගොඩනගනු ඇතැයි සිතා සිටින අතර සමහරු කලකිරීමට ලක්ව යහපත් සමාජයක් පිළිබඳ බලාපොරොත්තු අත්හරින තත්වයටද පත්ව සිටිති. මේ නිසාම වංචා දූෂණවල උපත හා එහි හේතු පවතින්නේ කොහේදැයි නිවැරදිවත් නිරවුල්වත් වටහා ගැනීම අවශ්‍යතාවය වී තිබේ. වංචා දූෂණ යනු හුදු පුද්ගලයන්ගේ දුර්වලකමක්ද? නැතිනම් සමාජ ක්‍රමයේ නිෂ්පාදනයක්ද යන්න තේරුම් ගත යුතුව තිබේ.

වංචා හා දූෂණ ගැන කථාකරන විට විවිධ වර්ගයේ වංචා හා විවිධ වර්ගයේ දූෂණ අපට දැකිය හැක. යමෙක් විවාහ වී සිටියදී අවිවාහක බව පවසා තවත් අයෙක් විවාහ කර ගන්නා විට එහි වංචාවක් තිබේ. යමෙක් තමා අවට පරිසරය අපවිත්‍ර කිරීම දූෂණයකි. ඒ, පරිසර දූෂණයයි. එහෙත් අප මෙහිදී අවධානය යොමු කරන්නේ එවැනි කරුණු ගැන නොව ඊට වඩා ප්‍රබල ව්‍යසනයක්ව පවතින මූල්‍ය වංචා හා දූෂණ පිළිබඳවය. මූල්‍ය වංචා හා දූෂණ යනු මහජනතාව සතු දේපළ, රටක් සතු සම්පත් හා දේපළ තමන් දරන නිලය හෝ බලය යොදා අනිසි ලෙස අසාධාරණ ලෙස පෞද්ගලිකව ඉපැයීම, ගොඩගැසීම, රැස්කිරීම හා ඒ සඳහා තම බලය හා නිලය අනිසි ලෙස පාවිච්චි කිරීම හා බැඳුණු ක්‍රියාදාමයක් වේ. එබැවින් රාජ්‍ය බලය හා සම්බන්ධ වී පවතින වංචා හා දූෂණ පිළිබඳවත් ඒවා උපදින්නේ කෙසේද ඊට හේතු මොනවාද යන්නත් පිළිබඳ අවධානය යොමුකිරීම මෙහිදී ප්‍රධාන වේ.

සමාජ ක්‍රමයක් ලෙස ධනවාදය පිළිබඳ අවබෝධයක් නැති හා ධනවාදය පවත්වා ගනිමින්ම ඒ තුළ වංචා, දූෂණ අහෝසිකර ගැනීමට ප්‍රාර්ථනා කරන අය බොහෝ විට සිතන්නේ වංචා දූෂණ යනු පුද්ගලයන්ගේ පුද්ගල වැරැද්දක ප්‍රතිඵලයක් ලෙසය. වංචා, දූෂණ යනු දූෂිත මිනිස්සුන්ගේ දූෂිත සිත්වල පහළවන දූෂිත සිතිවිලි නිසා ඇතිවන්නක් නොව සමාජ ක්‍රමයක දේපළ රටාව මත පවතින්නකි. වංචාව, දූෂණය පංති සමාජයේ නිපැයුමකි. දේපළ පෞද්ගලිකව අත්පත් කර ගැනීමේ ක්‍රමය හා මෙය බැඳී පවතී. සත්‍යය වන්නේ එයයි.

වංචා හා දූෂණ සඳහා වන පෞද්ගලික පෙළඹුම ඇතිකරන ප්‍රධාන සාධක මොනවාද යන්න ඉතා වැදගත් ප්‍රශ්නයකි. නූතන ධනවාදය පවතින්නේ වෙළඳ භාණ්ඩ නිෂ්පාදනය පදනම් කරගෙනය.

වෙළඳභාණ්ඩ නිෂ්පාදනයේ අරමුණ හැකි තරම් ලාභ ලැබීමය. හැකි තරම් ලාභ ලැබීමට නම් භාණ්ඩ හා සේවා වැඩි වැඩියෙන් විකිණිය යුතුය. ඒ සඳහා වෙළඳපොළත් ඊට අදාළ ප්‍රචාරණයත් සකස් වේ. මේ වුවමනාව විසින් සමාජය තුළ වෙළඳ භාණ්ඩ මිලදී ගන්නා මිනිසෙකු නිර්මාණය විය යුතුය. දකින දකින දේ පරිභෝජනය කරන, වැඩි වැඩියෙන් පරිභෝජනය කරන මිනිසකු හෙවත් පරිභෝජනවාදයට යටවූ මිනිසෙක්, භාණ්ඩ පරිභෝජනයෙන් කිසි විටක තෘප්තිමත් නොවන, අතෘප්තිකර මිනිසෙක් ධනවාදයට අවශ්‍යය. ධනවාදය එවැනි මිනිසෙක් නිර්මාණය කොට තිබේ!

වත්මන් සමාජය තුළ වැඩිපුර පරිභෝජනය කිරීමට නම් වැඩිපුර දේපළ හා සම්පත් අවශ්‍ය වේ. ඒ සඳහා වැඩිපුර මුදල් හා වස්තුව අවශ්‍ය වේ. සාමාන්‍ය  ක්‍රමයට ‘දහඩිය මහන්සියෙන්’, රැකියාවෙන් හෝ සරල ව්‍යාපාරයකින් එය උපයා ගැනීම අපහසුය. ඒ නිසා අනිසි ලෙස හෝ වත්කම් ඉපයීමේ අවශ්‍යතාව සමාජය තුළ මතුවේ. ප්‍රශ්නයේ  එක් පාර්ශ්වයක් එසේ වෙද්දී වත්මන් ක්‍රමය තුළ මිනිසුන්ගේ ‘තත්වය’ මනින මිනුම් දඬුව බවට පත්කොට තිබෙන්නේද කෙනෙකුගේ  දැනුම, හැකියාව හොඳ ගුණාංග නොව දේපළය. මේ නිසාම සමාජය තුළ සමාජ ‘තත්වයක්’ පවත්වාගෙන යාමටද දේපළ විශාල ලෙස අවශ්‍ය වේ. එවිට ඉහත අරමුණු දෙකම තෘප්ත කරන මට්ටමට දේපළ ඉපැයිය හැකිවන්නේ ඉහළම ධනපතීන්, ව්‍යාපාරිකයන්, ප්‍රාග්ධන හිමියන් ආදී කිහිප දෙනෙකුට පමණි. එහෙත් අවශ්‍යතාවය කාටත් පවතී. මෙහිදී මේ අවශ්‍යතාවය සඳහා මිනිසා තම තමන්ගේ හැකියාවට අනුව ක්‍රියාත්මක වේ.

රටක රාජ්‍ය පාලනය සමඟ සම්බන්ධ වී සිටින අය එම රාජ්‍ය බලය ආරෝපණය වීමෙන් තමන්ට ලැබෙන බලය ඉහත අරමුණ වෙනුවෙන් යොදාගැනීමට පටන් ගනිති. බලය උපයෝගී කරගෙන ව්‍යාපාර  කිරීම, කොමිස් ගැනීම, රාජ්‍ය දේපළ අනිසි ලෙස පරිහරණය කිරීම පටන් ගනිති. දේපළ පෞද්ගලිකව අත්පත්කර ගැනීමට සීමාවක් නැති සමාජ ක්‍රමයදී කොතරම් දේපළ ගොඩගැසුවද සෑහීමකට පත් නොවන මනෝභාවයක්ද ඇතිවේ. එහි ප්‍රතිඵලය වන්නේ, රටක වංචාව හා දූෂණය ඉහළ යාමය. රාජ්‍ය පාලනයට සම්බන්ධ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, තම දේශපාලන බලයත් නිල බලයත් දේපොළ ගොඩගැසීමට යොදා ගන්නා විට එය සමාජය තුළ ප්‍රකාශයට පත් වන්නේ වංචා හා දූෂණ ඉහළ යාම ලෙසය.

අනෙක් අතට මෙම ක්‍රියාවලිය විෂම චක්‍රයක් බවටද පත්වේ. දේපළ ඉපැයීම සඳහා බලය හා නිලය යොදාගන්නා අයට ඒ සඳහාම තම බලය හා නිලය රැකගැනීමද අත්‍යාවශ්‍ය වේ. එවිට ඔවුන් තම බලය හා නිලය යොදා උපයාගත් දේපළම යළි බලය හා නිලය රැක ගැනීමට යොදාගනිති. එවිට බලය හා නිලය යොදා ධනයත් යළි ධනය යෙදා බලය හා නිලයත් රැක ගන්නා මේ දෙක එකිනෙකට වෙළී ක්‍රියාත්මක වන විෂම චක්‍රයක් ඇතිවේ. දැන් අප දකිමින් සිටින්නේ එයයි. මෙම විෂම චක්‍රයෙන් කිසියම් පුද්ගලයන් කිහිප දෙනෙක් ඉවත් වූවත්, ඉවත් කළත්, වහාම ඒ තැන අලුත් පුද්ගලයන්ගෙන් පිරී යයි. වංචා දූෂණ නොනැවතී පැවැත්මේ සැබෑ හේතුව එයයි. එසේම තම බලය රැක ගැනීම හා යළි බලයට පත්වීමට මැතිවරණවලදී රාජ්‍ය සම්පත් යොදා ගැනීමටද මේ අය පෙළඹෙති. දූෂණ ඉහළ යාමට එයද හේතු වේ.

වත්මන් ධනවාදී ක්‍රමය තුළ වංචා දූෂණ විශාල වශයෙන් තිබුණත් මෙය ධනවාදයට පමණක් සීමාවූ දෙයක් නොවේ. ඉතිහාසය හොඳින් අධ්‍යයනය කර බලන විට පැහැදිලි වන්නේ වංචාවේ දූෂණයේ උපත පංති සමාජයේ උපත හා සම්බන්ධව පවතින බවය.  එනම් සමාජය පෞද්ගලික දේපළ මත පදනම් වූ දා සිට, පෞද්ගලික දේපළ ඉපැයීම හා රැස්කිරීම ජීවිතයේ එකම හා ප්‍රධානම පරමාර්ථය බවට පත්කළ දා සිට මෙම ව්‍යාධිය පවතින බවය.

මිනිසුන් සාමූහිකව නිෂ්පාදනයේ යෙදුන, සාමූහිකව පරිභෝජනයේ යෙදුන, මිනිසාගේ මුල්ම සමාජය වූ ප්‍රාථමික සාමූහික සමාජයේදී වංචා දූෂණ ගැන කිසිදු සඳහනක් නොපවතී.  එහෙත් ලෙව මුල්ම පංති සමාජය ලෙස වහල්හිමි සමාජය බිහිවූ දා සිට, එය රැකීම සඳහා රජය බිහිවූ දා සිට රාජ්‍ය බලය උපයෝගී කරගෙන අනිසි ලෙසත් නීති විරෝධී ලෙසත් දේපළ රැස්කළවුන් පිළිබඳ, වංචා හා දූෂණ පිළිබඳ තොරතුරු හා සාක්‍ෂි බොහෝ තිබේ. පැරණි වහල්හිමි රෝමයේ රෝම සෙනෙටයේ සිටි බොහෝ දෙනා එම බලය උපයෝගී කරගෙන දේපළ රැස්කළ ආකාරය හා ඒ සඳහා බලය අයුතු ලෙස යොදාගත් ආකාරය පිළිබඳ උදාහරණ පුරාණ රෝම ඉතිහාසය තුළ බොහෝ තිබේ. ඉන් අනතුරුව වැඩවසම් පාලන කාලය තුළද එය දැකිය හැකිවිය. එය දැන් ධනවාදයට පැමිණ සිටී. එබැවින් වංචා හා දූෂණ යනු පංති සමාජයේ විශේෂයෙන් ධනවාදයේ ජාති ලක්‍ෂණයක්ව තිබේ. එය වැළැක්වීමට කොතෙක් නීති හැදුවද, ඊට එරෙහි ජනමතයක් තිබුණද ඒ සියල්ල නොතකා  ධනවාදය තුළ වංචා දූෂණ සිදුවේ. ඉන් පැහැදිලි වන්නේ ධනවාදය මෙලෙස පවතිද්දී ඒ තුළ වංචා දූෂණ නැතිකළ නොහැකි බවය.

වංචාවෙන් දූෂණයෙන් තොර යහපාලනයක් ධනපති පාලනයකින් බලාපෙරොත්තු වීම ගණිකා මඩම් හිමියෙකුගෙන් සදාචාරය බලාපොරොත්තු වීම හා සමාන කරුණක්ව තිබේ.

 පංති සමාජය බිහිවූයේම දේපොළ කොල්ලකෑම හා බලහත්කාරීත්වයෙන් අත්පත් කර ගැනීම මගිනි. පසුව සූරාකෑමද ඇරඹුණි. පංති සමාජය පුරාම කොල්ලකෑම, හොරකම හා වංචාව එහි පදනම ලෙස පවතී. පැරණි වහල් හා වැඩවසම් සමාජවලදී මෙම කොල්ලකෑම වඩාත් නග්න හා මතුපිටට පෙනෙන ලෙස සිදුවිය. එහෙත් නූතන ධනවාදය එය සදාචාරමය හා නෛතික කඩතුරාවකින් වසා තිබේ. ධනවාදය තුළ වංචා දූෂණ ලෙස සැලකෙන්නේ ධනවාදී නීතියෙන්, සදාචාරයෙන් අනුමත කර තිබෙන ‘කොල්ලකෑම’ හා ‘හොරකම’ නොව, ඊටත් පිටින් සිදුවන සොරකම හා දූෂණයය. සොරකම, කොල්ලකෑම හා වංචාව තම ආර්ථික ක්‍රමය බවට, එහි පදනම බවට පත්කරගත් සමාජයක් තුළ ඊට පිටින් කෙරෙන වංචා දූෂණ නැවැත්වීමට නොහැක. ඒවාට උපත සකස් කරන්නේ එම සමාජ පදනම් වීම ඊට හේතුවයි.

ධනවාදය දෙස බලන්න. එහි ලාභය යනු කුමක්ද? ධනපති නිෂ්පාදනයේ ලාභය යනු වැටුප් ශ්‍රමිකයාගේ ශ්‍රමයට නොගෙවන ලද කොටස වේ. එය එක් අර්ථයකින් සොරකමකි. කොල්ලකෑමකි. ප්‍රංශයේ මනෝරාජික සමාජවාදියෙකුව සිටි සිටි පියෙර් ජෝසප් පෲඩන් “පෞද්ගලික දේපළ යනු සොර බඩුවලට තවත් නමක් වේ” යනුවෙන් පැවසුවේ මෙම සත්‍යයයි. ධනවාදය ලාභ උපයන්නේ වැඩකරන ශ්‍රමිකයාගේ ශ්‍රමයේ පංගුවකට නොගෙවා එය සොරා ගැනීමෙනි. මෙය ‘සූරාකෑම’ ලෙස අර්ථ දැක්වේ. එහෙත් ධනවාදය තුළ මෙය නීත්‍යානුකූලය. සදාචාරසම්පන්නය. ධනවාදය තුළ ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් අත දේපළ නැතිවී (නිර්ධන පංතිය බවට පත්ව) ටික දෙනෙක් අත විශාල වශයෙන් දේපළ ගොඩගැසීමේ ‘රහස’ද අන් කිසිවක් නොව කොල්ලකෑමය. එය නීත්‍යානුකූල කොල්ලකෑමකි. ඒ නිසා ජනතාවගේ ශ්‍රමයේ අතිරික්ත වටිනාකම නීත්‍යානුකූලව සොරා ගැනීම මත සකස් කළ, සමාජයක් තුළ දේපළ ගොඩගැසීම ජීවිතයේ එකම හා ප්‍රධානම කාර්යය බවට පත්කළ සමාජයක, දේපළ මත මිනිසුන්ගේ සමාජ තත්වයන් තීරණය කරන සමාජයක, පෞද්ගලිකව දේපළ ඉපැයීමට සීමා නැති සමාජයක, සියල්ල පරිභෝජනය කිරීමට, අධි පරිභෝජනයට හුරුකිරීම සිදුවන සමාජයක, සියල්ල මිල කරන සමාජයක, එකී ලක්‍ෂණ එලෙසම පවතිද්දී ඒ මගින් උපන් එය පදනම් කරගෙන බිහිවූ වංචා දූෂණ පමණක් අහෝසිකිරීම කළ හැකි දෙයක් වන්නේ නැත.

මෙහි තවත් පැත්තක් තිබේ. කලෙක ලංකාවේ දේශපාලනයට ආවේ ප්‍රභූන් හා ධනවතුන්ය. ඔවුනට ඇති තරම් දේපළ තිබුණි. (ඒවාද ඓතිහාසිකව කොල්ලකෑමක ප්‍රතිඵලය බව ඇත්තය.) ඔවුන්ට දේශපාලන බලය අවශ්‍ය වූයේ ‘තත්වය’ පෙන්වීමට හා බලයට ඇති ආශාව නිසාය. මේ තත්වය තුළ අතීතයේ සමහරු බලය ගැනීම සඳහා තම දේපළ වියදම් කිරීමද කළහ. ප්‍රභූන්ට හා ධනවතුන්ට බලය ගැනීම සඳහා උදව් කළේ මැරයන්, නීති විරෝධී ව්‍යාපාර (නීති විරෝධී මත්පැන් වැනි) පවත්වාගෙන ගිය පුද්ගලයන්ය. පසුව මේ වර්ගයේ පුද්ගලයෝම දේශපාලනයට පැමිණියහ. එවැනි තත්වයකදී ඔවුන් දේශපාලනයට ඒමේ අරමුණ වූයේම, එම බලය යොදා තම නීති විරෝධී ව්‍යාපාර බාධාවකින් තොරව කරගෙන යාම හා මහජන දේපළ හැකිතරම් පෞද්ගලිකව එකතුකර ගැනීමය. නූතන වංචා-දූෂණ පිටුපස මෙම කරුණද තිබේ.

පරිසරය අපවිත්‍රව පවතිද්දී, පරිසරය පුරා කුණු කසළ, දිය කඩිති පොල් කෝම්බ පවතිද්දී, මදුරුවන් බෝවන පරිසරයක් පවත්වාගෙන යන ගමන් මදුරු උවදුර නැති කිරීමට නොහැකිවාක් මෙන්ම ධනවාදයේ දේපළ පිළිබඳ ආකල්ප මෙලෙස පවතිද්දී වංචා දූෂණ පිටුදැකීම දුෂ්කර කරුණක් වේ. පොදුවේ ගත්විට වටහාගත යුතු සත්‍යය වන්නේ, වංචා දූෂණවල යෙදෙන්නේ මිනිසුන් වුවද වංචා දූෂණ යනු දූෂිත මිනිසුන්ගේ දුෂිත ක්‍රියාමාර්ග විසින්ම සිදුකරන්නක් නොව පවතින සමාජ ක්‍රමයේ ආර්ථික රටාව හා දේපළ රටාව විසින් තීරණය කරන්නක් බවය. එවැනි පුළුල් හා විද්‍යාත්මක දැක්මක් සහිතව මෙම ප්‍රශ්නය දෙස බැලීමට සමාජය සමත් නොවන තාක්කල් ජනතාව යළි යළිත් රැවටීමට ලක්වන අතර වංචා දූෂණවලින් තොර සමාජයක් හැදීමේ හා වංචනිකයන්ට, දූෂිතයන්ට දඬුවම් කිරීමේ වගකීම එහි සැබෑ නිර්මාතෘවරුන් වන ධනපති පාලකයන්ට පැවරීමේ හාස්‍යයම අත්විඳීමට සිදුවනු ඇත.

වංචාවේ, දූෂණයේ උපත සොයා..