ඒකාධිපතියෙකු පිළිබඳ සමීප දසුනක්

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ඔහු නරියෙකු සේ බලයට එයි. සිංහයෙකු සේ පාලනය කරයි. සුනඛයෙකු සේ මියයයි.” මේ පැරණි ලතින් පිරුලකි. එය විස්තර කරන්නේ ඒකාධිපතියෙකුගේ භූමිකාවය. එය කෙතරම් පැරණි වුවද සංක්ෂිප්ත වුවද එතරම් හොඳින් ඒකාධිපතියා විස්තර කරන තවත් ප්‍රකාශයක් නැති තරම්ය. ඒ, ඒකාධිපතියාගේ ආගමනය, පාලනය හා ඉවත්වීම හකුළා දක්වන හා නිවැරදි චිත්‍රයක් මවාපාන නිසාවෙනි.

ඉතිහාසය තුළ ඒකාධිපතියන් බවට පත් පාලකයන් අපට බොහෝ හමුවන නමුදු 20වැනි සියවසේ ඒ සඳහා ප්‍රසිද්ධියට පත් දෙදෙනෙකු ඔවුන් අතරින් කැපී පෙනේ. ඒ ජර්මනියේ ඇඩෝෆ් හිට්ලර් සහ ඉතාලියේ බෙනිනෝ මුසෝලිනිය. මෙහිලා විශේෂත්වය වන්නේ මොවුන් දෙදෙනාගේ භූමිකාවන් ඒකාධිපතියා පිළිබඳ ලතින් පිරුලට සැමතින්ම සමාන වීමය. මේ ඒකාධිපතියන් බලයට පැමිණියේ හමුදා කුමන්ත්‍රණ මගින් නොවේ. යම් පමණක ජන අනුමැතියකට යටත්වය. ඔවුහු පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුළින්ම රිංගා ගොස් සූක්ෂම ලෙස බලය තහවුරු කරගත්හ.

සුළුතරයක් ඔවුනට සහය පළ කළහ. තවත් සුළුතරයක් ඔවුනට තදින් එරෙහි වූහ. සමාජයේ බහුතරයක් සිටියේ නිහඬවය. ඒ, ජනතාව මුලා කරමින් ඒකාධිපතියන් සිවිල් භූමිකාවෙන් සිටි යුගයය. ඔවුන්ගේ සැබෑ ස්වරූපය ජනතාව දැකගත්තේ බල යුගයන් දිගහැරෙන විටය. එහෙත් ඒ වියරුව පරාජය කිරීමට ඔවුන් පමා වූවා වැඩිය. බොහෝ ප්‍රොතෙස්තන්ත්‍ර පූජකයින් මෙන් ජාතිකවාදියෙකු වූ මාටින් නිමොලර් පූජකයා වෙයිමර් සමූහාණ්ඩුවේ විරුද්ධවාදියෙකු වෙමින් 1933දී හිට්ලර්ට බලයට ඒමට උදව් කළේය. පසුව හිට්ලර් යටතේ මර්දනයට ලක්ව ඩාචාවූ රැඳවුම් කඳවුරේ (ෘ්ජය්ම ජදබජැබඑර්එසදබ ජ්පච) සිටියෙදී මිත්‍ර හමුදා විසින් මුදා ගැනීමෙන් පසු ඔහු කලෙක මෙසේ කීවේ ඒ නිසාය.

“ඔවුන් පළමුව සොයා ආවේ වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ය. මම වෘත්තීය සමිති ක්‍රියාකාරියෙකු නොවූ හෙයින් නිහඬ වීමි. අනතුරුව ඔවුහු කොමියුනිස්ට්වාදීන් සොයා ආහ. මා කොමියුනිස්ට්වාදියෙකු නොවූ බැවින් මම නිහඬවීමි. අනතුරුව ඔවුන් සොයා ආවේ යුදෙව්වන්ය. මම යුදෙව්වෙකු නොවූ බැවින් නිහඬ වීමි. අනතුරුව ඔවුහු මා සොයා පැමිණියහ. එහෙත් මා වෙනුවෙන් කතාකිරීමට කිසිවෙකු ඉතිරිව සිටියේ නැත.”

ඒ ඔවුන් සිංහ සෙයියාවෙන් පාලනය ගෙනගිය යුගයය. දේශප්‍රේමයේ නාමයෙන් මුළුමහත් ජාතියක් යුද බිමට දක්කූ ඔවුහු එහි අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස තම රටවල් අතිමහත් ඛේදවාචයන් කරා ඇද දැමූහ. ඒ වූ කලී ඒකාධිපතියන් ගමන හමාර කරන සමයය. ඔවුනට සුනඛයන් සේ මියෙන්නට සිදුවන්නේ ඒ ඛේදවාචකයන්ගේ ගොදුරු බවට පත් ජනතාවගේ වෛරයට පාත්‍ර වීම නිසාය. තමන්ගේ ඉරණම කලින් දුටු හිට්ලර් බර්ලින් බිම්ගෙයක කුඩා කාමරයක් තුළ සිට හිසට වෙඩි තබාගෙන මියැදුණේය. ගිනි තබා සිරුර විනාශ කරවා ගත්තේය. එහෙත් මුසෝලිනි එතරම් වාසනාවන්ත වූයේ නැත. ඔහුට සිදුවූයේ පලා යන අතර පාටිසාන්වරුන්ගෙන් වෙඩි කා මියෙන්නටය. අනතුරුව ප්‍රාණය නිරුද්ධව ඉන්ධන පිරවුම්හලක දෙපයින් ඉල්ලී සිටින්නටය.

ඒකාධිපතියන්ගේ ඉරණම මෙසේ වන නමුදු ඒකාධිපතියන්ගේ ආගමනය නතර වී නොමැත. විවිධ ස්වරූපයේ ඒකාධිපතියෝ විවිධ රටවලින් තම තමන්ගේ බල ගමන් අරඹති. එහෙත් ඒ බොහෝ දෙනෙකුට හොර රහසේය. සැබැවින්ම මේ ගමන් අරඹා ඇත්තේ ඒකාධිපතියෙකු යැයි දන්නේ සමාජයේ කුඩා පිරිසකි. බොහෝ විට ඔහුගේ බල ගමන ආරම්භ වූවා පමණක් විය හැකිය. බොහෝ දෙනෙකු සිටින්නේ ඒකාධිපතියාගේ සිවල් ස්වරූපයට රැවටීගෙනය. ඒ සටකපට ආරම්භය කල් ඇතිව හඳුනාගැනීමට සමත්වන්නන්ට ගමන පුරෝකථනය කළ හැකිය. මේ වෑයම ඒ සඳහාය. ජර්මනියේ ඇඩෝෆ් හිට්ලර් බලය කරා ළඟා වූ සූක්ෂම ආකාරය හැදෑරීම ඒ සඳහා වන මනා අභ්‍යාසයකි.     

බල ගමනේ පළමු පියවර

1914 සිට 1918 දක්වා දිගහැරුණු පළමු ලෝක යුද්ධයේදී පරාජිත ජර්මනියේ යුද සෙබළෙකුව සිටි ඇඩෝෆ් හිට්ලර් මියුනික් බලා පැමිණියේ රැකියා විරහිතයෙකු ලෙසය. වෙනත් රැකියාවක් සඳහා සුදුසුකමක් නොතිබුණු ඔහුට මිතුරෝ කිසිවෙක්ද එහි නොවූහ. ඔහු නැවත හැරුණේ හමුදාව දෙසටය. ඒ 1918 නොවැම්බරයේ සිට 1919 මැයි දක්වා මියුනික් අගනුවර කොට ගෙන ‘බැවේරියානු සෝවියට් ජනරජය’ පිහිටුවීමට වගකිවයුත්තන් හඳුනා ගැනීමේ ඔත්තුකරුවෙකු ලෙසය. චතුර කථිකත්වය සහ විවෘත යුදෙව් විරෝධය ඔහු අධ්‍යාපන නිලධාරියෙකු බවට උසස් කරවීය. හමුදා නිලධාරියෙකුව සිටිමින්ම ඒ වන විට සාමාජිකයින් 100 දෙනෙක් පමණ සිටි ජර්මානු කම්කරු පක්ෂයේ සාමාජිකත්වය ලැබූ හිට්ලර් කථිකත්වය සහ ප්‍රචාරක දක්ෂතා තුළින් පක්ෂයේ ප්‍රචාරක ප්‍රධානියා බවට පත්විය. පක්ෂයේ නම ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය ලෙසට වෙනස් කළ හිට්ලර් පක්ෂයේ ධජය ලෙස රතු පසුබිමේ සුදු වෘත්තයක පිහිටි ස්වස්තිකය හඳුන්වා දුන්නේය. කරුණු 25කින් යුත්  ජාතික සමාජවාදී වැඩසටහනද ඔහුගේ නිර්මාණයක් විය.

සැබැවින්ම ‘නාසි පක්ෂය’ ලෙස ලෝකයා හඳුනාගන්නා පක්ෂයේ ආරම්භය එය විය. 1920 වන විට හමුදාවෙන් ඉවත්වී පුර්ණ කාලීනව පක්ෂයේ කටයුතු කළ හිට්ලර් එස්.ඒ. නමින් ප්‍රකට වූ ‘කුණාටු බලකාය’ අතුරු හමුදාව ඇරඹුවේ පක්ෂයේ ආරක්ෂක ඛණ්ඩය ලෙසය. මියුනික්හි සමාජශාලාවල නිතර පැවැත්වූ ඔහුගේ දේශනවල යුදෙව් විරෝධය, වර්සෙල්ස් ගිවිසුමට විරෝධය (යුද්ධයෙන් පරාජිත ජර්මානු හමුදාවට දැඩි සීමාකම් පනවා තිබීම) යහමින් ගැබ්විය. 1921දී පක්ෂයේ ඇතිවූ අර්බුදයකදී ඉල්ලා අස්වන බවට තර්ජනය කළ හිට්ලර්, සියලු බලතල සහිතව පක්ෂ නායකත්වය ඩැහැ ගනීමට සමත් විය. එස්.ඒ. භටයන් සමග අනෙකුත් පක්ෂ හා සංවිධානවල ප්‍රසිද්ධ දේශනවලට කඩා පැන ඒවා කඩාකප්පල් කරදැමීමේ ව්‍යාපාරයක් ගෙන ගිය ඔහු ඒ නිසාම වරක මාසයක සිරදඬුවමකට යටත් විය. උන්නතිකාමී වූ හිට්ලර් බලය උදෙසා කෙටි මගක් සොයමින් තරුණ ව්‍යාපාරයක් හා විධිමත් ආරක්ෂක බලකායක් (එස්.එස්.) ගොඩනැගීය. ඉතාලියේ මුසෝලිනීගේ ආභාසය ලබමින් 1923දී සන්නද්ධ කුමන්ත්‍රණයක් දියත් කළ හිට්ලර් එය අසාර්ථක වීමත් සමග 05 වසරක සිරදඬුවමකට යටත් විය. එහෙත් අභ්‍යන්තර සබඳතා මගින් දඬුවම ලිහිල් වූයෙන් ඔහු සිරගතව සිටියේ වසරකට අඩු කාලයකි.

එය හිට්ලර්ගේ බල ගමනේ කඩඉමකි. බලය අත්කර ගැනීමට යම් ප්‍රජාතාන්ත්‍රික මුහුණුවරක් තිබිය යුතු බව ඔහු වටහා ගන්නට ඇත. පක්ෂය තහනම් තත්වයක් යටතේ 1924 ජර්මානු මහ මැතිවරණයට ජාතික සමාජවාදී නිදහස් ව්‍යාපාරය නම යටතේ තරඟ වැදී රයිස්ටැග්හි (පාර්ලිමේන්තුවේ) ආසන හිමිකරගැනීමට හැකිවීම එහි සාර්ථකත්වය පෙන්වා දුන්නේය. 1928 මැයි මහ මැතිවරණයට පක්ෂයේ නමින්ම තරග වැදුණු හිට්ලර්ට ලැබුණේ ආසන 12කි. ඒ යන්තමින් 2.6%ක ප්‍රතිශතයක් හා ඡන්ද 810,127ක් පමණක් විය. තම මතය ප්‍රචාරය කිරීම සඳහා රැස්වීම් පැවැත්වීම ඇරඹු හිට්ලර් ජර්මනියේ කොමියුනිස්ට් පක්ෂයේ බලකොටු තුළ පෙළපාලි ගොස් එම පක්ෂයේ ‘රතු පෙරමුණ’ සමග නිතර ගැටුම් අවුලවා ගත්තේය. හිට්ලර්ගේ ජනාධිපති ධූර අපේක්ෂකයා 1928 මැතිවරණයේදී ඡන්ද 280,000 (1.1%) ලබාගැනීමේ වාඩුව ඔහු ගත්තේ වීදිවල කොමියුනිස්ට්වාදීන්ගේ රැස්වීම් කඩාකප්පල් කිරීමෙන්, කාර්යාල විනාශ කිරීමෙන් හා ඝාතනයන්ගෙනි.

සුදුසුකම් පෙන්වීමේ යුගය

මේ සියල්ලෙන් ඔහු ජර්මානු ධනපති පංතියට පණිවිඩයක් ලබාදීමට උත්සාහ කළේය. එනම් නැගී එන කොමියුනිස්ට්වාදී අවතාරයට මුහුණදීමට තමන්ගේ වන සුදුසුකමයි. වැඩවර්ජන සිදුකරන වාමාංශික සමිතිවලට සහ වෘත්තීය කම්කරුවන්ට පහරදීම මගින් කර්මාන්තකරුවන්ගේ සහය ලබාගැනීමට අපේක්ෂා කෙරිණි. කෙසේ වුවද මේ ප්‍රචණ්ඩත්වයත් නිමිති කරගනිමින් ජර්මනියේ විවිධ ප්‍රාන්ත ආණ්ඩු විසින් එස්.ඒ. අතුරු හමුදාවලට නිල ඇඳුම් හැඳීම, තනතුරු දැරීම වැනි මතුපිට පෙනෙන තහනමක් පනවන ලද නමුදු ඒ, කිසිදු ලෙසකින් නාසි පක්ෂයේ ක්‍රියාකාරිත්වයට බාධාවන පරිදි නොවේ.

1929 ලෝක ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස බැටකමින් සිටි ජර්මනිය එහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලන අවුල් ජාලාවකද පැටලී සිටියේය. අති විශාල ජනතාවක් දරිද්‍රතාවයෙන් පෙළුණු අතර අවිනිශ්චිතභාවය රජකළේ දේශපාලන අස්ථාවරභාවය තීව්‍ර කරමිනි. 1930 මහ මැතිවරණය පැමිණෙන්නේ මෙබඳු පසුබිමකය. මෙය හිට්ලර්ගේ දේශපාලන ගමනේ කඩඉමකි.  ඒ වන තෙක් ජර්මනියේ කිසිවෙක් නොදැක තිබූ මැතිවරණ ව්‍යාපාරයක් හිට්ලර් දියත් කළේය. රට පුරා රැස්වීම්, උත්සව සඳහා සහභාගිවීම්, පිළිගැනීම්, සමරු පොත් අත්සන් තැබීම්, ඡායාරූපවලට පෙනීසිටීම්, දරුවන් සිප ගැනීම් වෙනුවෙන් හිට්ලර් පෞද්ගලිකවම සම්බන්ධ විය. ප්‍රචාරක කටයුතු භාර ජෝසප් ගොබෙල්ස් රැස්වීම් දහස් ගණනක්, පන්දම් පෙළපාලි, පෝස්ටර් හා පත්‍රිකා ව්‍යාපාර, නාසි පුවත්පතේ විශේෂ මුද්‍රණ, සරසන ලද වාහන සිය ගණනක් සූදානම් කළේය. තමන් ඔවුන්ගේ නියෝජිතයා ලෙස තෝරාගන්නා මෙන් ජර්මානු ධනපති පංතියට හිට්ලර් විසින් කරන ලද ඉල්ලීම සාර්ථක වෙමින් තිබිණි. මැතිවරණ ව්‍යාපාරය පිටුපස අතිමහත් ධනයක් ගලා යන්නට විය.

හිට්ලර්ගේ පෞරුෂය නංවන පරිදි මනාව සැලසුම් කරන ලද රැස්වීම්වලදී ඔහු ජර්මානුවන්ගේ දෙකන්වලට ධෛර්ය වත්කළේය. සෙමින් ඉවසිලිවන්ත ලෙස ඇරඹෙන කතාව ගැලපුණු අංග චලන සමග උච්චස්ථානයකට ළඟාවද්දී ප්‍රේක්ෂකයින් ප්‍රීති ගෝෂා නැගුවේ ඔහුගේ ආනුභාවයට යටත්වීගෙනය. ආකර්ෂණීය පොරොන්දු බෙදා දුන් නමුදු ඒ කිසිවකට අදාළ විස්තර ඉදිරිපත් නොකිරීමට පරෙස්සම් විය. කෙසේ වුවද සෑම කෙනෙකුටම, සමාජයේ සෑම ස්ථරයකටම ඔහුට දෙන්නට යමක් තිබිණි. පක්ෂයේ නමද ඊටම ගැලපෙන පරිදි -ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය- විය. රැකියා විරහිතයින්ට රැකියා, අසාර්ථක වූ ව්‍යාපාරිකයින්ට සමෘද්ධිය, කර්මාන්ත හිමියන්ට ලාභ, හමුදාවට පනවා තිබූ සීමා බිඳීම, තරුණ ශිෂ්‍යයින්ට පංති ප්‍රභූත්වය අහෝසි කිරීම, අපේක්ෂාභංගවූවන්ට ජර්මානු ආශ්චර්යය, වියවුල නිමා කර නීතියේ පාලනය, යුද ජයග්‍රාහකයින්ට වන්දි ගෙවීම නතර කිරීම, වර්සෙල්ස් ගිවිසුම ඉරා දැමීම, දූෂණය අවසන් කිරීම, මාක්ස්වාදය පැතිරීම වැළැක්වීම, යුදෙව්වන් විෂයෙහි දැඩිව ගනුදෙනු කිරීම ඒ පොරොන්දු අතර විය.

ජර්මානු සමාජයට හිට්ලර්ගේ මතය පොම්ප කිරීම සාර්ථක විය. 1930 සැප්තැම්බර් මැතිවරණය අවසන් වූයේ ඡන්දවලින් 6,371,000ක් (18%) සමගින් ජර්මානු පාර්ලිමේන්තුවේ ආසන 107ක් නාසිවාදීන්ට වෙන්කර දෙමිනි. එක් රැයකින් හිට්ලර්ගේ කුඩා පක්ෂය ජර්මනියේ දෙවැනි විශාලතම පක්ෂය බවට පත්විය. දුඹුරු පැහැ නිල ඇඳුමින් සැරසුණු නාසිවාදීහු සියයකට වැඩි සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට යද්දී සිවිල් ඇඳුමින් සැරසුණු නාසි එස්.ඒ. භටයෝ යුදෙව් කඩසාප්පුවලට ගල් ගැසුවේ එළඹීමට නියමිත සිදුවීම් සංකේතවත් කරමිනි. මේ අතර සාම්ප්‍රදායික වෘත්තීය සමිති පක්ෂයක් වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යම් හැකියාවක සිටියද එහි නායකත්වය උදාසීන තත්වයක සිටියේය. කතෝලික මධ්‍ය පක්ෂය තමන්ගේ ඡන්ද පදනම ආරක්ෂා කරගෙන සිටියද තමන්ගේ වුවමනාකම් පිළිබඳව උනන්දු වූවා මිස නාසි පක්ෂයේ අනතුර දුටුවේ නැත. කොමියුනිස්ට් පක්ෂය ‘රතු පෙරමුණ’ භටයින් සමග නාසීන් සමග වීදියේ ගනුදෙනු බේරා ගන්නා අතරම ඇතැම්විට ඊටත් වඩා වැඩි බරකින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සමග ගැටෙමින් සිටියේය. 84 හැවිරිදි හින්ඩන්බර්ග් ජනාධිපතිවරයා බලලෝභය හා ආර්ථික අර්බුදය මැද සිරව සිටියේ ජර්මානු සමාජයට මුදාහැරෙමින් තිබූ නාසිවාදීන්ගේ සාහසිකත්වය මැඩලීමේ අපොහොසත් විය. මේ සියල්ලේ ප්‍රතිඵලය වූයේ හිට්ලර්ගේ වැඩීමය.

1931 වන විට හිට්ලර්ගේ එස්ඒ භටයෝ වීදි පුරාත් සමාජශාලාවලත් සන්නද්ධ බලය මුදා හරිමින් සිටි අතර රතු පෙරමුණ සමග නිතර ගැටුම් ඇතිකර ගත්තේය. වසර අවසන් වන විට නාසි භටයින් 47 දෙනෙකුට දිවි අහිමි වන විට කොමියුනිස්ට් රතු පෙරමුණේ සාමාජිකයින් 80ක් මරා දමනු ලැබ තිබීම මගින් මෙම පරිසරය තේරුම් ගත හැකිය. ආර්ථික අර්බුදයේ ප්‍රතිඵල ජර්මානු සමාජයට දැඩිව පීඩා කරමින් සිටියේය. විරැකියාව මිලියන 06ක් විය. 1932 ජනාධිපතිවරණය හිට්ලර්ගේ ජනප්‍රියතාව උරගා බැලූ අවස්ථාවකි. කිසිවෙකුට 50%ක් ලබාගැනීමට නොහැකි වූයෙන් මැතිවරණයේ දෙවැනි වටයක්ද පවත්වන ලදී. අප්‍රේල් මාසයේ මැතිවරණයෙන් හින්ඩර්බර්ග් කිසිදු ප්‍රචාරක කටයුත්තක් නොකරම ඡන්ද 19,359,983ක් (53%) ලබා ගත් අතර දැවැන්ත මැතිවරණ සටනකින් පසු හිට්ලර් ඡන්ද 13,418,547ක් (36.8%) ලබා දෙවැනි ස්ථානයේ පසුවිය. කොමියුනිස්ට් කේපීඩී අපේක්ෂක තාල්මාන්ට හිමිවූයේ ඡන්ද 3,706,759ක් (10.2%) පමණි. හිට්ලර්ට මුළුමනින් බලය නොදීමට ජර්මන්වරුන් පරෙස්සම් වී තිබිණි.

නිරායුද යුදෙව්වන්ට කරන ලද ලද පහරදීම් උත්සන්න වීම් හේතුවෙන් එස්එස් හා එස්ඒ අතුරු හමුදා ජර්මානු ආණ්ඩුව විසින් තහනම් කරනු ලැබූ නමුත් මාසයකට අඩු කාලයකදී වොන් පාපෙන් ජර්මානු චාන්සලර්වරයාගේ මැදිහත්වීමෙන් එය ඉවත් කෙරුණේ ආණ්ඩුවේ බල අරගලයේ ප්‍රතිඵලයක් ලෙසටය. දේශපාලන අවිනිශ්චිතභාවය තුළ නැවතත් මහ මැතිවරණයක් කැඳවිණි. එය හිට්ලර්ට තවත් පිමි පුවරුවක් සැපයීය. නැවතත් අති දැවැන්ත මුදලකින් දැවැන්ත ප්‍රචාරක මෙහෙයුමක් දියත් වූ අතර හිට්ලර් වරකට ලක්ෂ ගණනක පිරිසකට අමතමින් රට පුරා ගමන් කළේය. ජුලි 31 පැවති එම මැතිවරණය අවසන් වූයේ නාසි පක්ෂයට ඡන්ද 13,745,000ක් (37%) ලබාදෙමිනි. රයිස්බර්ග් පාර්ලිමේන්තුවේ ආසන 230ක් ලබාගනිමින් නාසි පක්ෂය ජර්මනියේ විශාලතම හා බලවත්ම පක්ෂය බවට පත්විය.

බල කවයන් තුළට

මැතිවරණ ප්‍රතිඵලවලින් අත්පත් කරගත් නව තත්වය සමග හිට්ලර් කේවල් කිරීම් ඇරඹීය. තමාව ජර්මනියේ චාන්සලර් ධුරයට පත්කරන ලෙස ඔහු පාපෙන්ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් ඔහුට උප චාන්සලර් ධුරය යෝජනා කෙරුණෙන් හිට්ලර් එය ප්‍රතික්ෂේප කළේ ඔහුගේ ගණන්බැලීමට අනුවය. මේ වන විට පාර්ලිමේන්තුවේ සභාපති ධුරයට පත්ව සිටි නාසි පක්ෂයේ හර්මන් ගෝරිංගේ මැදිහත්වීමෙන් දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට එරෙහිව නව නීතියක් හඳුන්වා දුන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ට එරෙහි කොමියුනිස්ට්වාදීන් දඩයම් කිරීමේ යටි අරමුණ ඇතිවය. ඒ අනුව එවැනි වැරදි වෙනුවෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම්, වසර 20ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් හා මරණ දඬුවම යෝජනා විය. කෙසේ වුවද සැබෑවටම මෙම නීති ක්‍රියාවේ යෙදෙන්නට නියමිත වූයේ තවත් මාස හයකට පසුවය. එනම් හිට්ලර්ගේ පාලනය තුළය.

නැවතත් 1932 නොවැම්බරයේ නැවතත් මහ මැතිවරණයක් එළඹියේ නිම නොවූ දේශපාලන අර්බුදය තුළය. එහිදී හිට්ලර්ගේ නාසි පක්ෂයට ආසන 35ක් අහිමි වීමෙන් පෙන්නුම් කළේ ජනතාව ඔහුගේ පක්ෂය කෙරෙහි දැල්වූ බලාපොරොත්තු ඉවත්කරගනිමින් සිටීමය. තවමත් විශාලතම පක්ෂය ලෙස සිටි හිට්ලර් මේ තත්වය තුළ ඉක්මණින් ක්‍රියාත්මක වන්නට විය. ජර්මානු දේශපාලන මුදුණේ බල අරගලය හඳුනාගෙන සිටි හිට්ලර් රහසිගත සාකච්ඡා මගින් එය තමන්ට වාසිදායක ලෙස කළමනාකරණය කළේය. නාසි පක්ෂය සහ සාම්ප්‍රදායික දක්ෂිණාංශික පක්ෂය වූ ජාතිකවාදී කොන්සවේටිව් පක්ෂය සමග සන්ධාන ආණ්ඩුවක් ඇතිකර ගැනීමට හිට්ලර් මහත් ඉවසිලිවන්තව එකඟ වූයේ තම දිගු කාලීන අරමුණු කෙටි කාලීනව යටපත් කරගනිමිනි. ජාතිකවාදී කොන්සවේටිව් පක්ෂයට බහුතර කැබිනට් ධුර සංඛ්‍යාවක්ද (නාසි පක්ෂයට ධුර 03කි) පාපෙන්ට උප චාන්සලර් ධුරයද පොරොන්දු විය.

1933 ජනවාරි 30 හින්ඩන්බර්ග් ජනාධිපතිවරයා විසින් හිට්ලර් ජර්මනියේ චාන්සලර් ධුරයට පත්කරනු ලැබිණි. වැරදි ගණන්බැලීමක් ඇතිව හිට්ලර් හීලෑ කරගත හැකි වේයැයි විශ්වාස කළ පාපෙන් තමන්ගේ ඇතැම් ප්‍රසිද්ධියේ කරනු ලැබූ නාසි විරෝධී ප්‍රකාශ නතරකර දැමුවේ, එක් රාත්‍රියක මාරාන්තික පිහිපාරකින් අනූනවයෙන් දිවි ගලවා ගැනීමෙන් පසුවය. කෙසේ වුවද වැරදි ගණනයන් තිබුණේ පාපෙන්ට පමණක් නොවේ. බොහෝ දෙනෙකුට හිට්ලර් සම්බන්ධයෙන් වැරදි ගණන්බැලීම් තිබිණි. වසර 15කට පෙර පැවති කයිසර් රාජාණ්ඩුවේ කීර්තිය නැවත ආපසු ගෙනෙන කයිසර්වරයෙකු පිළිබඳව රාජාණ්ඩුවාදීහු සිහින දුටහ. ආර්ථික අර්බුදයෙන් පීඩා විඳි ජර්මානු ධනපති පංතිය කොමියුනිට්වාදීන් හා වෘත්තීය සමිතිවාදීන් මර්දනය කළ, ව්‍යාපාරවලට හොඳ කලදසාවක් අපේක්ෂා කළහ. හමුදාවේ ප්‍රධානීන් බලාපොරොත්තු වූයේ වර්සෙල්ස් ගිවිසුම ඉරා දමා ජර්මනිය සතුවනු ඇති විශාල හමුදාවක කීර්තිය විඳගැනීමටය. පොදු ජර්මානුවන්ට යහපත් ආර්ථික තත්වයක් සහ ශ්‍රේෂ්ඨ ජර්මනියක් පිළිබඳ සිහිනයක් විය. එහෙත් මේ සියලු දෙනා කළ එක් වරදක් තිබිණි. ඒ, හිට්ලර් අවතක්සේරු කිරීමය.

කඩතිර හැර

හිට්ලර් පූර්ණ ඒකාධිපති බලය උදෙසා වන ඔහුගේම සැලසුම් දිගහැරීම ආරම්භ කළේය. පෙබරවාරි 22 නාසි එස්ඒ හා එස්එස් භටයින් 50,000ක් පොලීසියට අනුයුක්ත කරනු ලැබිණි. දෙදිනකට පසු පොලිස් බලතල ඇති එම හමුදා බර්ලින් අගනුවර කොමියුනිස්ට් පක්ෂ කාර්යාලය වැටලුවේ රහසිගත නැගීටීමක් පිළිබඳ තොරතුරු සෙවීම සඳහා බව කියමිනි. එහෙත් සැබෑ අරමුණ වූයේ සාමාජික ලැයිස්තු හා ඔවුන්ගේ විස්තර ලබා ගැනීමය. එය විශාල සැලසුමක කොටසක් විය. දේශපාලන වියවුල මැද වුවද ජර්මානු ජනතාවගේ අවධානය දිනාගත් සහ ආණ්ඩුවේ දෛනික කටයුතු මෙහෙයවනු ලැබූ පාර්ලිමේන්තුවට ගිනි තැබීමට හිට්ලර් නියෝග කළේය. අපේක්ෂා කළ හැකි ලෙසම එහි වගකීම ඍජුව එල්ල කරන ලද්දේ  කොමියුනිස්ට්වාදීන්ටය.

පාර්ලිමේන්තුව ගිනි ජාලාවලින් වැසෙමින් තිබියෙදී හිට්ලර් හා ගොබෙල්ස් පසුදින පුවත්පත් බර්ලින්හි බලය අල්ලා ගැනීමේ කොමියුනිස්ට් කුමන්ත්‍රණයක් පිළිබඳ පුවත්වලින් පිරවීමට වගබලා ගත්හ. එසේම හිට්ලර් ජනාධිපතිවරයා ලවා ජර්මානු ජනතාව හා ජාතිය ආරක්ෂා කිරීම සඳහා වූ හදිසි නීති පනතක් අත්සන් කරවා ගත්තේය. අදහස් පළකිරීමේ, ප්‍රකාශනයේ, රැස්වීමේ, සමාගමයේ නිදහස ඇතුළු පුද්ගලික නිදහස සීමා කෙරෙන බවත් තැපැල් හා දුරකථන නිදහස සීමා වන බවත් නිවාස සෝදිසි කෙරෙනු ඇති බවත් අත්අඩංගුවට ගැනීමට හා පාපොච්චාරණ ලබා ගනු ඇති බවත් අවශ්‍ය පරිදි දැනට ඇති නීතිමය අවසර ඉක්මවා යාමටත් බලය ඇති බව ඉන් කියවිණි. සැබැවින්ම පනත ඒ ආකාරයෙන්ම ක්‍රියාවේ යෙදවිණි. කොමියුනිස්ට්වාදීන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් හා ලිබරල්වාදීන් දහස් ගණනක් අත්අඩංගුවට ගනුලැබ ට්‍රක් රථවලට පටවා වද හිංසා පැමිණවීම සඳහා එස්ඒ බැරැක්ක වෙත රැගෙන යනු ලැබූහ. ඒ එළඹීමට නියමිත මර්දනයේ ස්වභාවය පෙන්වා දෙන නිදර්ශනයක් ලෙසිනි.

මේ වන විට ගොබෙල්ස් රාජ්‍ය ගුවන්විදුලියේ පාලනය ලබාගනිමින් එය නාසිවාදී ප්‍රචාරයන්ට වෙන්කර ගෙන සිටියේය. නිරතුරුව හිට්ලර්ගේ කතා රට පුරා ප්‍රචාරය කෙරුණු අතර බලය අල්ලා ගැනීම සඳහා කොමියුනිස්ට්වාදීන්ගේ කුමන්ත්‍රණයක් ඇති බවත් එය වළක්වා ගත හැක්කේ නාසිවාදීන්ට පමණක් බවත් කියැවිණි. කෙසේ වුවද නාසීන්ට එරෙහි සියලු දේශපාලන ක්‍රියාකාරකම් තහනම් කරනු ලැබ තිබූ තත්වයක් යටතේ 1933 මාර්තු  05වැනි දින පවත්වන ලද මැතිවරණයේදීත් හිට්ලර්ට ලැබුණේ සමස්ත ඡන්දවලින් 44%කි. (17,277,180) දැවැන්ත අවාසිසහගත ප්‍රචාරක යන්ත්‍රණයක් හා මර්දනයක් මැද කොමියුනිට්වාදීන්ගේ ඡන්ද අඩු වුවද එය මිලියන 04කට වැඩි විය. හිට්ලර්ට බහුතර බලයක් ලබා නොදීමට ජනතාව පරෙස්සම් සහගත වී තිබිණි. එහෙත් ඒ වන විට ප්‍රමාද වූවා වැඩිය.

පූර්ණ බලය දක්වා

මැතිවරණයෙන් පසු හිට්ලර් ක්‍රම ක්‍රමයෙන් රාජ්‍ය යන්ත්‍රණය තමන්ගේ ග්‍රහණයට ගැනීම වේගවත් කළේය. එය සියවස් ගණනක් පැරණි දේශපාලන නිදහසේ සම්ප්‍රදායන් වළලා දැමීය. කොමියුනිස්ට්වාදීන් පාර්ලිමේන්තුවෙන් පිටමන් කෙරිණි. සන්නද්ධ එස්ඒ හා එස්එස් භටයින් පළාත් පාලන ප්‍රධානීන් ධුරයන්ගෙන් ඉවතට ඇද දමමින් නාසි කොමසාරිස්වරුන් ඒවායේ පිහිටුවන ලද්දේ හදිසි නීතියේ ආවරණය ලබමිනි. දේශපාලන විරුද්ධවාදීන් පැරණි හමුදා කඳවුරුවල හා අත්හැර දමනු ලැබූ කම්හල් තුළ සිරගත කෙරුණි. ඔවුනට පහරදෙනු ලැබුණේ හා ඇතැම්විට මරණයට පත්වන තුරු වධ හිංසා පමුණුවන ලද්දේ සැබැවින්ම නාසි රැඳවුම් කඳවුරු ක්‍රමය ස්ථාපිත කරවමිනි.

අලුත පත්වූ පාර්ලිමේන්තුව මාර්තු 23 ක්‍රෝල් ඔපෙරා ශාලාවේ රැස්වූයේ හිට්ලර්ගේ විධායක බලතල පනත සලකා බැලීමටය. එය නිල වශයෙන් නම්කර තිබුණේ ‘ජනතාවගේ හා පාර්ලිමේන්තුවේ ආතතිය දුරලීමේ නීතිය’ ලෙසය. එහෙත් එහි සැබෑ අර්ථය වූයේ ඉතිරිව ඇති ප්‍රජාතන්ත්‍රවාදයද වළලා දමා හිට්ලර්ට නීත්‍යානුකූල ඒකාධිපතිත්වයක් ලබාදීමය. ව්‍යවස්ථාව උල්ලංඝනය කරන මෙම පනත සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් අවශ්‍ය වූ අතර හිට්ලර්ට නාසි නොවන මන්ත්‍රීවරුන් 31කගේ සහය ඊට අවශ්‍ය වී තිබිණි. හිට්ලර් තම සිවල් වෘතය පුරමින් පාර්ලිමේන්තුව ඇමතීය. ජර්මානු ජනතාවගේ අපේක්ෂා සපුරාලීම පිණිස මෙම විධායක බලතල අවශ්‍ය බවට අවධාරණය කළ ඔහු එය යුද්ධය හෝ සාමය අතර තෝරාගැනීමක් බව කීවේ ශාලාව අවට නාසි කුණාටු අතුරු හමුදා භටයින් දහස් ගණනක් පනත සම්මත කරන ලෙසත් නැතිනම් විනාශය තෝරා ගන්නා ලෙසත් හඬනගන අතරය. සරදම වනුයේ, මේ පනත සම්මත වන්නේනම් හදිසි නීතිය මගින් මේ වන විටද ජනතාවගෙන් පැහැරගන්නා ලද මූලික අයිතිවාසිකම් කිහිපයක් නැවත ස්ථාපිත කරන බවට ඔහු ව්‍යාජ ලෙස පොරොන්දු වීමය. ඒවා කිසිදා ඉටුවූයේ නැත.

පල්ලියට අත නොතබන බවට වූ පොරොන්දුව පිට, මධ්‍ය පක්ෂයද පාර්ලිමේන්තුවට හා රාජ්‍ය කටයුතුවලට බලතල පාවිච්චි නොකරන බවට වූ පොරොන්දුව පිට, දක්ෂිණාංශික කන්සෙවේටිව් පක්ෂයද ඇතුළු 441ක් පනතට පක්ෂවද සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් 84ක් විරුද්ධවද ඡන්දය ලබාදීමෙන් මාර්තු 24 පනත සම්මත කෙරිණි. පාර්ලිමේන්තුව නොවිමසා හා ව්‍යවස්ථාව නොසලකා ක්‍රියාත්මක වීමේ පූර්ණ බලය හිට්ලර්ට හිමිවිය. බලාපොරොත්තු විය හැකි සියල්ල ඉක්මණින්ම පැමිණියේය. හිට්ලර් රාජ්‍යයේ බලතල අත්පත්කර ගත් අතර නාසි නොවන සියලු පක්ෂ හා සංවිධානවලට තවදුරටත් කටයුතු කළ නොහැකි පරිසරයක් ඇති කළේය. ජුලි 14 නිල වශයෙන් නාසි නොවන සියලු පක්ෂ තහනම් කරන ලද අතර රයිස්ටාග් පාර්ලිමේන්තුව තමන්ගේ ප්‍රජාතන්ත්‍රික වගකීම අත්හැර දැමීය. විධායක බලතල පනත ජනාධිපතිවරයාගේ බලතල කෙරෙහි බලපෑමක් නොකළ බැවින් හමුදා සේනාධිනායකයා හා විදෙස් ගිවිසුම් පිළිබඳ බලය හිමිව තිබූ හින්ඩන්බර්ග් ජනාධිපතිවරයා 1934 අගෝස්තුවේදී මියයාම හිට්ලර්ගේ බල ගමනේ කූඨප්‍රාප්තිය සනිටුහන් කරවීය.

ඉන් අනතුරුව 1945 අප්‍රේල් 30වැනි දින බර්ලින් යුද බිම් ගෙයකදී බියගුළු සුනඛයෙකු වෙමින් හිසට වෙඩිතබාගෙන තම ජීවිතය අවසන් කර ගත් දින දක්වා ඔහු සිංහයෙකු ලෙස ජර්මානු සමාජය මත ආධිපත්‍යය පැතිරවූ අතර ලෝකය මත ආධිපත්‍යය පතුරුවන්නට උත්සාහ කළේය. ඒ කාලය සම්බන්ධයෙන් බොහෝ තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඒවා නැවත මෙහි බහාලීම ලිපිය දීර්ඝ කරවනවා පමණි. එසේම මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු වූයේ, අපේක්ෂාභංගත්වයට පත්ව සිටි රැකියා විරහිත තරුණ හිට්ලර් ජර්මානු දේශපාලන හිණිමඟේ ඉහළම පියවර කරා ගමන් කිරීමට උපයෝගී කර ගත් සූක්ෂම හා සටකපට ක්‍රමවේදයන් සැකෙවින් සලකා බැලීමටය. උපක්‍රමික වශයෙන් වෙනස් වූවද නූතන හිට්ලර්ලා බලය සොයා පැමිණෙන උපාය මාර්ගයෙහි අදටද වෙනසක් නැත. රටට ජනතාවට පෙන්වන ව්‍යාජ ආදරය පිටුපස ඇති බොරුව, වංචාව නිවැරදිව තේරුම් නොගන්නාතාක් ඔවුන්ගේ ගමන පැරදවීමට නොහැකි වන බව අවසාන වශයෙන් සටහන් කර තැබිය යුතුය.

ඒකාධිපතියෙකු පිළිබඳ සමීප දසුනක්