ඒකාධිපතියන් බිහිකරන්නේ කවුද?

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වෙමින් තිබූ මහින්ද රාජපක්ෂ ඒකාධිපති පවුල් පාලනය පරාජය වූයේ පසු ගිය ජනවාරි 08දාය. ලංකාවේ නිර්මාණය වෙමින් තිබු ඉතාම දරුණු හා සහාසික ඒකාධිපති පවුල් පාලනය නිමා කිරීමේ ජයග්‍රහණය ගැන මේ දිනවල නිතර කතාබහ වෙයි. නිර්මාණය වෙමින් තිබූ ඒකාධිපතිවාදයේ බියකරු ස්වභාවයට අනුව ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට හැකිවීම ජයග්‍රහණයක් බව සැබෑය. එහෙත් ලංකාවේ ඒකාධිපති පාලනයක් බිහිකරන සමාජ ආර්ථික මූලබීජ හා ඒකාධිපති පාලනය විසින් බිහිකළ දේශපාලන සංස්කෘතිය තවමත් ජීවමානව තිබේ. සැබෑ ලෙසම ඒකාධිපතිවාදය පැරදවීමට සිතන සැබෑ ලෙසම ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ප්‍රාර්ථනා කරන අය පුළුල් ලෙස අධ්‍යයනය කළ යුත්තේ එම කරුණුය.

පුද්ගල කැමැත්තේ ප්‍රතිඵලයක්ද?

කිසියම් රටක ඒකාධිපති පාලනයක් බිහිවන විට, කිසියම් පාලකයෙක් ඒකාධිපතියෙකු බවට පත්වන විට, ඔහුගේ පෞද්ගලික ස්වභාවය හා රුචි අරුචිකම් ඊට කිසියම් ප්‍රමාණයකින් දායක වන බව සත්‍ය වුවත් ඒකාධිපතිවාදය යනු හුදු පුද්ගල කැමැත්තක ප්‍රතිඵලයක් නොවේ. එය සමාජ ආර්ථික මූලයන් විසින්  බිහිකරන තත්වයකි. ලොව පුරා ජනතාව වරින්වර විවිධ ඒකාධිපතියන් පරාජය කළද ඒකාධිපතිවාදය තවමත් පවතින්නේ මේ නිසාය. පුද්ගලයන් පැරදවීම පහසුය. එහෙත් ඒකාධිපතිවාදය පැරදවීම පහසු නැත. එය සරලද නැත. ඊට හේතු වන්නේ, ඒකාධිපතියන් පරාජය කළ පසුද ඒකාධිපතියන් බිහිකරන සමාජ ආර්ථික කොන්දේසි නොනැසී පැවතීමය. එබැවින් ඒකාධිපතිවාදය ජරාජය කිරීමට සැබැවින්ම උත්සාහ දරන ඕනෑම අයෙක් ඒකාධිපතියන් බිහිකරන සමාජ ආර්ථික සාධක හා මූලයන් හඳුනාගෙන ඒවා පරාජය කළ යුතුය.

ලෝක යුද්ධ පිළිබඳ පැහැදිලි කළ ලෙනින් ඒ පිළිබඳ වරක් මෙසේ සඳහන් කර තිබේ.

“යුද්ධය කරනු ලබන්නේ කෑදර ධනපතියන්ගේ වුවමනාව අනුව පමණක් වන නමුත්, එයින් ධනවත් වන්නේ ඔවුන් පමණක් වන නමුත්, එය ඔවුන්ගේ නපුරු සිත්වලින් පැන නගින ප්‍රතිඵලයක් නොවේ. යුද්ධය, ලෝක ධනපති ක්‍රමයේ සහ එහි ප්‍රකෝටි ගණන් රැහැන්වල හා සම්බන්ධකම්වල සංවර්ධනයේ ප්‍රතිඵලයකි. ප්‍රාග්ධනයේ බලය පෙරළා දමා වෙනත් පංතියකට එනම්, නිර්ධන පංතියට බලය පවරන්නේ නැතිව, අධිරාජ්‍යවාදී යුද්ධයෙන් ගැලවී යාමට හා ප්‍රජාතන්ත්‍රවාදී, බලකිරීමෙන් තොර සාමයක් දිනා ගැනීමට කිසිසේත් නොහැකි වනු ඇත.”

ලෙනින්, තෝ.කෘ., 05 වෙළුම, 44 පිටුව

යුද්ධය පිළිබඳව ලෙනින් කළ එම විවරණය ඒකාධිපති පාලනයන් සම්බන්ධයෙන්ද එකසේ වලංගුය. ඒකාධිපති පාලනයක් තුළ පොහොසත් වන්නේත් බලය භුක්ති විඳින්නේත් ඒකාධිපති පාලකයින් වන බව සැබෑ නමුත් එය ඔවුන්ගේ නපුරු සිත්වල හට ගන්නා නපුරු සිතුවිල්ලකට වඩා පවතින සමාජ ආර්ථික දේශපාලන අර්බුදයන් විසින් නිර්මාණය කරනු ලබන තත්වයකි. සත්‍යය එයයි.

ධනවාදයේ වත්මන් අර්බුදය

පැරණි වැඩවසම් ක්‍රමය පෙරළා දමමින් වැඩවසම් අධිපතින් පරාජය කරමින් 15වැනි 16වැනි සියවස්වල ධනවාදය සමාජ ක්‍රමයක් ලෙස කරළිගත වනවිට එය ප්‍රජාතන්ත්‍රවාදී එකක් විය. ඒ වැඩවසම් (ලංකාවේදී ආසියාතික) ක්‍රමයට සාපේක්ෂව එය ඉදිරි පියවරක් වූ නිසාය. ප්‍රංශයේ ධනේශ්වර විප්ලවය විසින් අහෝසි කරනු ලැබුයේ ලුවී රජුගේ අත්තනෝමතික ඒකාධිපති රාජාණ්ඩු පාලනයයි. (එහෙත් එම ප්‍රංශය තුළම යළි නැපෝලියන් බොනපාට්ද බිහිවිය.) ලතින් ඇමරිකාවේ, අප්‍රිකාවේ, ආසියාවේ බොහෝ රටවලද ධනවාදය විසින් පැරණි රාජාණ්ඩු අහෝසි කරන ලදී. ධනවාදය විසින් පාර්ලිමේන්තුවාදය හා සමූහාණ්ඩු ආකෘති හඳුන්වාදෙන ලදී. එකල ඒවා ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ විය. එහෙත් ධනවාදය සමාජ ක්‍රමයක් ලෙස ඉක්මනින්ම අර්බුදයට ගිය අතර එවිට තමන් විසින්ම හඳුන්වාදුන් ප්‍රජාතන්ත්‍රවාදය කප්පාදු කිරීමට හා හකුළා දැමීමට ධනවාදයට සිදුවිය. ඒ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නගමින් ධනවාදය පවත්වාගෙන යාමට නොහැකි තරම් එය අර්බුදයට යාම නිසාය. විශේෂයෙන්ම ධනවාදය එහි නිදහස් තරඟයේ අවධිය නිමාකොට ඒකාධිකාරී ධනවාදය හෙවත් අධිරාජ්‍යවාදී අවධියට පා තැබූ පසු මේ තත්වය වඩාත් වැඩි විය. අධිරාජ්‍යවාදී අවධියේද අධිරාජ්‍යවාදී බලවත් රටවල මෙන්ම අධිරාජ්‍යවාදයේ බලපෑමට ලක්වූ පරිධියේ පසුගාමී රටවලද ඒකාධිපති පාලනයක් බිහිවිය.

ධනවාදය ක්‍රියාත්මක වන්නේ

ප්‍රාග්ධනය මගින් ශ්‍රමය සූරාකෑමත්, ලාභ ඉපයීමත් හරහාය. ධනවාදය තුළ ධනය හිමි පංතියට ඇත්තේ හැකි තරම් ධනය ඉපයීමේ හා ගොඩගැසීමේ තෘෂ්ණාවකි. ධනවාදය අර්බුදයට ගොස් නිෂ්පාදන මාර්ග ඵලදායී නොවන විට, ලාභ අඩුවන විට ලාභ වැඩිකර ගැනීම කළ යුත්තේ ජනතාව සූරාකෑම තව තවත් තීව්‍ර කිරීම මගින් හා ඔවුන් ලබන සහන හා අයිතීන් අහෝසි කිරීම මගිනි. මේ ක්‍රියාවලියේදී පාලක පංතිය හා පීඩිත පංතිය අතර ප්‍රතිවිරෝධයක් මතුවේ. එය දිනෙන් දින වර්ධනයවී ගැටුමක් දක්වා වර්ධනය වේ. වැඩකරන ජනතාව ඇතුළු පීඩිත ජනයාගේ ඉල්ලීම් ලබා දෙමින් මෙම ප්‍රතිවිරෝධය අවම කිරීමට ධනවාදය සූදානම් නැත. එවිට ඉතිරි වන්නේ ප්‍රතිවිරෝධය දක්වන ජනතාව මත වැඩි බලයක් පවත්වා ගැනීමය; ඔවුන් යටපත්කර ගැනීමය. ඒකාධිපතියන් බිහිකරන්නේ එම තත්වය විසිනි. කියුබාවේ බැටිස්ටා, නිකරගුවාවේ සෝමෝසා, හයිටියේ ඩුවලියර්, උගන්ඩාවේ ඉඩිඅමින්, පිලිපීනයේ මාකෝස්, ඉන්දුනීසියාවේ සුහර්තෝ, චිලියේ පිනෝචේ, ස්පාඤ්ඤයේ ෆ්‍රැන්කෝ ලොව පුරා ප්‍රසිද්ධ වූ එවැනි කීපදෙනෙක් පමණි.

එසේම දෙවන ලෝක යුද්ධයට මග පෑදූ ජර්මනියේ නාසිවාදයත් ඉතාලියේ ෆැසිස්ට්වාදයත් බිහිවූයේද ධනවාදය හා අධිරාජ්‍යවාදය අර්බුදයට යෑමත් හේතුකොටගෙනය. ඉතාලියේ 1920 ගණන්වල ඇතිවූ බරපතල ආර්ථික සමාජ අර්බුදයට සොයාගත් පිළියම වූයේ ෆැසිස්ට්වාදයයි.

මර්දනයද? වරදානයද?

ලොව පුරාම තිබෙන අත්දැකීම අනුව ධනවාදය අර්බුදයට ගොස් එය සාමාන්‍ය ලෙස ගෙනයාමට නොහැකි තත්වයක් මතු වෙද්දී තමන් විඳින පීඩාවන්ට එරෙහිව ජනතාවගේ පැත්තෙන් විරෝධයන් හා සටන් පැන නගිද්දී අවසාන මොහොතේ ධනපති ක්‍රමය රැකගැනීමේ අභියෝගය හමුවේ පාලක පංතීන් ගන්නා ක්‍රියාමාර්ග දෙකක් තිබේ. ඒවා නම් මර්දනය හා වරදානයයි. සමහරවිට මේ දෙකම එකවිටමත් ක්‍රියාත්මක වේ. ඉන් සිදුකරන්නේ තම විරුද්ධවාදීන් එක්කෝ මර්දනය කිරීමත් නැතිනම් ඉන් කොටසකට යමක් ලබාදී (වරදාන දී) ඔවුන් හීලෑ කරගැනීමත්ය. මේ ආකාර දෙකේදීම එවා කිරීමට ධනවාදයේ සම්ප්‍රදායික පාලන යන්ත්‍රණය ප්‍රමාණවත් නොවේ. එවැනි සම්ප්‍රදායික ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය සහිත යාන්ත්‍රණය ඊට බාධාවක් වේ. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ තිබිය යුතු සංවරණය හා තුලනය යන මූලධර්මය රැකගනිමින් ක්‍රියාත්මක වීමට ධනපති පාලනයට තවදුරටත් නොහැකි වේ. සියලු බලයන් එක් පුද්ගලයෙකුට කේන්ද්‍රකර ගත් ප්‍රජාතන්ත්‍රවාදය නාම මාත්‍රයක් බවට පත්කළ හෝ නැතිනම් එය මුළුමනින්ම අහෝසි කළ ඒකාධිපති පාලනයක් සඳහා එම තත්වය මග විවර කරනු ලැබේ. ව්‍යවස්ථා අත්හිටවූ, ව්‍යවස්ථා තමන්ට අවශ්‍ය ලෙස වෙනස්කර ගත් ඒකාධිපතියන් බිහිවන්නේ එවැනි තත්වයක් තුළය.

ලොව පුරා අප දැනගෙන සිටි ඒකාධිපතියන් මෙන්ම ලංකාවේ පැවති රාජපක්ෂ පාලනයද ඊට හොඳ උදාහරණයක්ය. රාජපක්ෂ පාලනය ව්‍යවස්ථාව වෙනස්කර ගනිමින් සියලු බලය විධායක ජනාධිපති වෙත පවරාගනිමින් අමාත්‍ය මණ්ඩලය, පාර්ලිමේන්තුව, අධිකරණය සියල්ල යටත් කරගනිමින් ඒකාධිපති පාලනයක් ගොඩ නැගූ අතර එහිදී තම විරුද්ධවාදීන් මර්දනය කිරීමද තවත් සමහරු ඇමති ධුර, තනතුරු හා මුදල් දී දිනා ගැනීමද එකවිට කළේය. ජනමාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ දිනා ගැනීමට නොහැකි මාධ්‍යවේදීන් මරා දමමින් පහර දෙමින් මාධ්‍ය ආයතනවලට පහර දෙමින් ඔවුන් බියපත් කළ අතරම තවත් අයට තනතුරු දෙමින් ලැප්ටොප් බෙදා දෙමින් භෝජන සංග්‍රහ පවත්වමින් විදේශ සංචාර ලබාදෙමින් හීලෑකරගනු ලැබීය. ඒ, ඒකාධිපති පාලනයේ ස්වරූපය වේ. ඉන් තහවුරු වන්නේ, ඒකාධිපතියන් බිහිකරනු ලබන්නේ ඒ සඳහා වන සමාජ ආර්ථික සාධක විසින් බවත් එම සාධක වෙනස් නොවී තිබියදී ඒකාධිපතියන් පැරදවීමෙන් ලබන ජයග්‍රහණය සැබෑ ජයග්‍රහණයක් නොව තාවකාලික තත්වයක් පමණක් බවත්ය.

පරදවන මඟ කුමක්ද?

එකාධිපතින් බිහිවී ඔවුන් විසින් ජනතාව පෙලනු ලබන විට එය බොහෝ කලක් දරාගෙන සිටීමට ජනතාව සුදානම් නැත. ප්‍රමාණාත්මකව ගොඩනැගෙන ජනතා විරෝධය එක් මොහොතක ගුණාත්මක පරිවර්තනයක් බවට පත්වෙමින් දැවැන්ත ජනතා ක්‍රියාකාරිත්වයක් නිර්මාණය වී ඒකාධිපතියන් පලවා හරියි. මේ පිළිබඳ උදාහරණ ලොව පුරාම තිබේ. එහෙත් ඒකාධිපතියන් පලවා හැරියද ඔවුන් බිහිවීමට මඟපාදන සමාජ ආර්ථික සාධක වෙනස්කිරීමට අසමත් වන්නේ නම්, ඒකාධිපතියන් බිහිකරනු ලැබූ ධනවාදයත් එකී අර්බුදයත් එලෙසම පවතින්නේ නම් යළිත් ඒකාධිපතියන් බිහිවීම සිදුවනු ඇත. මෑතකදී ඒකාධිපතියන් පලවාහැරි මහා අරගලයක් ජයගත් ඊජිප්තුවේ හා ටියුනීසියාවේ ජනතාව මුහුණ දුන් අත්දැකීම මීට ආසන්නතම උදාහරණය වේ. ඊජිප්තුවේ හොස්නි මුබාරක් හා ටියුනීසියාවේ බෙන් අලිගේ ඒකාධිපති පාලනයන් නිමාකළද යළිත් හමුදා ආණ්ඩුවල හෝ ඒකාධිපති පාලනවල සිරවීමට එම රටවල ජනතාවට සිදුවිය. ඒ පුද්ගලයන් පලවා හැරියද ඔවුන් බිහිකළ සමාජ ආර්ථික රටාව වෙනස්කර ගැනීමට නොහැකිවූ නිසාය. වත්මන් අප්‍රිකානු රටවල් දෙස බලන විට මෙය හොඳින් පැහැදිලි වේ.

ඒකාධිපති පාලනයක් බිඳවැටීමෙන් පසු නිර්මාණය වන ජනතාවගේ හඬ බලවත් වන දේශපාලන තත්වය තුළ යම් ප්‍රතිසංස්කරණ දිනා ගැනීමේ තාවකාලික කෙටි කාලයක් පවතින නමුත් එය දිගුකාලීනව නොපවතී. එබැවින් සමාජ ක්‍රමයේ ගැඹුරු වෙනසක් සිදු නොවුණහොත් එසේ දිනාගන්නා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පවා යළි අහෝසිවනු ඇත.

මේ අනුව අප තේරුම්ගත යුතු පොදු සත්‍යයක් තිබේ. එනම් ඒකාධිපතිවාදයට එරෙහි ජනතාවගේ අරගලය පුද්ගලයෙකුට එරෙහි අරගලයක් ලෙසට පමණක් ඌනණය කරනු වෙනුවට, ඊට සීමාකරනු වෙනුවට එය එවැනි ඒකාධිපතින් බිහිකරවන සමාජ ආර්ථික සාධක වෙනස් කිරීමේ සටනක් බවට පුළුල්කළ යුතු බවය. ධනවාදය තුළ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමට අරගල කළ යුතු නැතැයි මින් අදහස් නොවේ. අපේ යුගයේ ඒකාධිපතියන් බිහිකරවන මූලයන් වන්නේ, පසුගාමී ධනපති ක්‍රමයේ බංකොලොත්කම නම්, එහි අර්බුදය නම්, ඒ තුළ දිනෙන් දින වර්ධනය වන, ඇතිනැති පරතරය, සූරාකෑම්, ආර්ථික කොල්ලයන් හා දේපළ ගොඩනැගීමේ පාලකයන්ගේ ආශාව නම් එම සාධක පරදවන සමාජ පරිවර්තනයක් සඳහා වූ දේශපාලන ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වේ. නූතන ඒකාධිපතිවාදය පැරදවීමේ නොවරදින මඟ සමාජ පරිවර්තනයකි. සමාජයේ අසාධාරණයත් පංති ප්‍රතිවිරෝධයනුත් අහෝසි කිරීමේ දිශාවට ක්‍රියාත්මක වන නවීන සමාජවාදී පාලනයකි. ඒකාධිපතින් බිහිවීම වැළක්විය හැකි නොවරදින මඟ එයයි.

ඒකාධිපතියන් බිහිකරන්නේ කවුද?