දූෂණය පිටු දකින මඟ කුමක්ද?

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

වත්මන් සමාජයේ බොහෝ දෙනා දූෂණයෙන් තොර රටක් ප්‍රාර්ථනා කරති. දූෂිතයන්ගෙන් තොර දේශපාලනයක් පිළිබඳ සිහින දකිති. වංචාව දූෂණය පිටු දැකීම සඳහා විවිධ යෝජනා ඉදිරිපත් කරති. දූෂණයට එරෙහි නීති රීති බලවත් කිරීම, දූෂිතයන්ට දැඩි දඬුවම් දීම, සිවිල් සමාජය ශක්තිමත් කිරීම, රාජ්‍ය පාලනයේ විනිවිදභාවය ඇති කිරීම ආදී බොහෝ යෝජනා ඒ අතර තිබේ. ඒවා වැරදි නැත. අනවශ්‍යද නැත. දූෂණයට එරෙහි නීති දැඩි කළ යුතුය. දූෂිතයන්ට දැඩි දඬුවම් දිය යුතුය. එහෙත් ඉන් දූෂණය මුළුමනින්ම නතරවේ යැයි සිතිය යුතුද නැත.

වත්මන් සමාජයේ පවත්නා මේ ව්‍යවසනය පවතින්නේ මිනිසුන්ගේ දුර්ගුණ මත නොවේ. විෂය මූල හේතූන් මතය. දූෂණයට, වංචාවට උපත දෙන, එය පවත්වා ගෙන යෑමට හේතු වන විෂය මූල සාධක වෙනස් කිරීමෙන් තොරව දඬුවම්වලින්, නීතිවලින් පමණක් වංචා, දූෂණ නතර කළ නොහැක. නීති දැඩි කළද දූෂිතයෝ නීතියෙන් රිංගා යාමේ ක්‍රම සොයා ගනිති. බලයත්, ධනයත් යොදා දඬුවම්වලින් ගැලවීමට ඔවුහු දනිති. නීති හදන්නේද නීති ක්‍රියාත්මක වන ආයතන පවතින්නේද ඔවුන්ගේ රාජ්‍ය බලය යටතේම නිසා ඔවුන් බලය යොදා දූෂණයේ යෙදෙන අතර බලය යොදා දූෂණ පිළිබඳ පරීක්ෂණවලින්, දඬුවම්වලින් මිදෙති. දූෂණය නතර කිරීමට එයට උපත දෙන සමාජ ආර්ථික දේශපාලන හේතු අහෝසි කළ යුත්තේ ඒ නිසාය.

වංචා, දූෂණ සඳහා මිනිසුන් පොළඹවන මානසික හා භෞතික හේතු ලෙස පවතින්නේ අධි පරිභෝජනය සඳහා මිනිසුන් තුළ ගොඩනගන කෑදරකම නම්, දේපළ තව තවත් ගොඩගසා ගැනීමේ හා ඒ මගින් තම තත්වය ප්‍රදර්ශනය කිරීමේ ස්වභාවය නම්, දේපළ පෞද්ගලිකව අත්පත් කර ගැනීමේ අසීමාන්තික ඉඩකඩ නම්, සමාජ සම්පත් සාධාරණව බෙදී නොයෑමේ විෂමතාවය නම්, විසඳුම් සෙවිය යුත්තේ එම ගැටලුවලටය.

කිසියම් සමාජයක ජීවත් වන මිනිසුන්ගේ අදහස් ආකල්ප ඔවුන්ගේ පෞද්ගලික ඒවා නොවේ. ඒවා එකී සමාජයේ ද්‍රව්‍යමය සම්පත් අත්කරගෙන සිටින සහ ඒවා පාලනය කෙරෙන පාලක පංතියේ අදහස්ය. ‘දැහැමින් උපයාගත් දේ’, ‘උත්සාහයෙන් උපයාගත් දේ’ වටිනා බව විශ්වාස කළ  කාලයක් සමාජයේ තිබුණි. ඒ, එවකට පැවැති ආර්ථික ක්‍රමයට ගැලපෙන මතයක් ලෙසය. එහෙත් ඒ ලෙස සිතූ සමාජයට පසු කලෙක ‘බල්ලෝ මරා හරි සල්ලි සෙවීම’ ගරු කටයුතු දෙයක් විය. වස්තුව උපයන ආකාරයට ගරු කරන මතවාදයක් වෙනුවට උපයන වස්තුවට ගරු කරන මතවාදයක් සමාජය තුළ තහවුරු කර තිබේ. එවිට වැදගත් වන්නේ දේපළ මිස ඒවා උපයාගත් ආකාරය නොවේ. එවැනි සමාජ මතයක් වංචාව දූෂණය වර්ධනය වීමට හේතු වී තිබේ. එහෙත් ඒ මතය බිහි වූයේ ඕපපාතිකව නොව ආර්ථික දේහයේ වෙනස්කම්වලට අනුවය. ලංකාවේදී විශේෂයෙන් ඊනියා විවෘත ආර්ථිකය සමග මෙම මතවාද, අදහස් බිහිවී තහවුරු විය. ඉන් අදහස් කළ යුත්තේ ඊට පෙර වංචා දූෂණ නොතිබුණා යන්න නොව විවෘත ආර්ථික ප්‍රතිපත්ති සමග එය මහා  පරිමාණයෙන් වර්ධනය වූ බවය.

“මිනිසුන්ගේ සත්තාව නිර්ණය කෙරෙන්නේ ඔවුන්ගේ විඥානය විසින් නොව, ඊට ප්‍රතිකූල වශයෙන් ඔවුන්ගේ විඥානය තීරණය කෙරෙන්නේ ඔවුන්ගේ සමාජ සත්තාව විසින්” යැයි මාක්ස් උපුටමින් ලෙනින් සඳහන් කළේය. (ලෙනින්, තෝ:කෘ:, 1 වෙළුම, 20 – 21 පිටු) ඉන් කියවෙන්නේද කිසියම් රටක, කිසියම් සමාජයක පවතින ආකල්ප, අදහස්, ආදිය හෙවත් මිනිසුන්ගේ සමාජ විඥ්ඥානය තීරණය කරනු ලබන්නේ එකී සමාජයේ සමාජ සත්තාව හෙවත් ද්‍රව්‍යමය ජීවිතය විසින් බවය. ඒ අනුව ධනවාදය තුළ පවතින දුර්ගුණයක් වූ වංචා, දූෂණ ධනවාදී ආර්ථික ක්‍රමය විසින්ම කරන ලද නිෂ්පාදනයක් නිසා ධනවාදී ආර්ථික ක්‍රමයත්, ඒ මත පදනම් වූ ධනවාදී දේශපාලන ක්‍රමයත් වෙනස් කරන්නේ නැතිව වංචා දූෂණ පමණක් අහෝසි කළ නොහැක.

ධනපති ක්‍රමය සිය වෙළඳ භාණ්ඩ නිපදවීමේ හා ඒවා විකිණීමේ ආර්ථික ක්‍රමය තුළ ශුද්ධ වූ සියල්ල කෙලෙසා තිබෙන බවත් සියලු මානව සබඳතා ආත්මාර්ථකාමී ගණන් බැලීම් නැමති අයිස් වතුරේ ගිල්වා ඇති බවත් මාක්ස් හා එංගල්ස් සිය කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය මගින් පැවසූවේ මෙයට සියවස් එක හමාරකටත් පෙරය. සාමාන්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර විකිණීමේ  සිට, මත්කුඩු, මත්ද්‍රව්‍ය විකිණීමේ සිට, මිනිස්සුන්ගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්  විකිණීම දක්වා එනම් වකුගඩු

ජාවාරම දක්වා මුදල් ඉපැයීම කෙළෙසී තිබේ. ඉදින් ශුද්ධ වූ සියල්ල කෙළෙසා ඇති සමාජයක් තුළ, එම සමාජය එලෙසම පවතිද්දීම එහි රාජ්‍ය පාලනය පමණක් ශුද්ධ කළ නොහැක; යහපාලනය ගොඩනැගිය නොහැක. ඒ සඳහා සමාජ ක්‍රමයේ ගැඹුරින් කරන ගුණාත්මක වෙනස්කම් අවශ්‍ය වේ. නැතිනම් වෙනස් ලෙසකින් කිවහොත් සමාජ පරිවර්තනයක් අවශ්‍ය වේ.

මිනිසුන් සමාජයක් ලෙස උපයන සමාජයීය ධනය කිහිප දෙනෙකුට පමණක් අයිතිකර ගැනීමට නොහැකි නම්, සමාජයීය ධනය සැමට සාධාරණ ලෙස ප්‍රතිලාභ ලබා දෙන්නේ නම්, උපදින සියලු දෙනාගේ අධ්‍යාපනය සමාජය විසින් සහතික කරන්නේ නම්, සැමට රැකියාවක්, සැමට නිවසක්, සැමට හොඳ ජීවන තත්වයක් සහතික වන්නේ නම්, හෙට ජීවිතය වෙනුවෙන් අද දේපළ ගොඩගැසීමේ වුවමනාවක් නොපවතින්නේ නම්, තමන්ගේ දරුවන් සඳහා දේපළ ඉපයීමේ පීඩාව දෙමව්පියන් මත නැති නම්, සියලු දරුවන්ගේ වගකීම සමාජය සාමූහිකව දරන්නේ නම් හා ඊට ගැලපෙන අධ්‍යාපනයක්, ආකල්ප හා ආචාරධර්ම ගොඩනැගෙන්නේ නම්, එවිට වංචා දූෂණ අතුරුදන් වනු ඇත. එය ලැජ්ජාවට කරුණක් වනු ඇත. එය ජීවිතයට අනවශ්‍ය පීඩනයක් කරදරයක් වනු ඇත. එය එසේ වීමට නම් දැන් පවතින දේපළ ක්‍රමයත් ඒ මත සකස් වූ සමාජ ක්‍රමයත් වෙනස්වී නව දේපළ ක්‍රමයක් හා ඒ මත ගොඩනැගෙන නව සමාජ ක්‍රමයක් අවශ්‍ය වේ.

ධනවාදය තුළ දේපළ පදනම් කර ගත් මනෝභාවයන් දෙකකින් මිනිස්සු පීඩා විඳිති. ඉන් එකක් නම් අනාගතය පිළිබඳ අවිනිශ්චිතභාවය විසින් ඇති කරනු ලබන බියය. අනෙක අන් අය අභිබවා සම්පත් පරිභෝජනය කිරීමේ, පරිහරණය කිරීමේ කෑදරකමය. මෙය නැති කළ හැක්කේ කෙසේද? පළමුවෙන්ම මිනිසුන්ට අනාගතය පිළිබඳ බිය නැති කළ යුතුය. ඒ සඳහා තම ජීවන පැවැත්ම පෞද්ගලික වගකීමක සිට සමාජමය වගකීමක් දක්වා වෙනස් කළ යුතුය. සියලු දෙනා හෙට දවසේ සමාජය විසින් රැකබලා ගන්නේ යැයි සහතිකයක් තිබේ නම් මිනිස්සු අනාගතය උදෙසා තනිවම දේපළ ගොඩ ගැසීමේ ‘බියෙන්’ නිදහස් වෙති. එහෙත් දැන් පවතින්නේ මෙම බිය වර්ධනය කරන ආර්ථිකයක් හා මතයකි. රූපවාහිනී තිර තුළ, පුවත්පත් දැන්වීම් තුළ විවිධ සමාගම් ජනතාව තුළ මෙම බිය වර්ධනය කරයි. ‘ඔබ ලෙඩ වුණොත් ඔබව බලාගන්නේ කවුද’, ‘ඔබ වයසට ගිය විට ඔබ බලා ගන්නේ කවුද’ යනුවෙන් ප්‍රශ්න අසා ඒ සඳහා දැන් ධනය උපයන ලෙසත් ඉතිරි කරන ලෙසත් විවිධ වර්ගයේ රක්ෂණ ගන්නා ලෙසත් බලකරති. සෑම ජන සමාජයකට අවශ්‍ය වන්නේ, එක් එක් වර්ගයේ රක්ෂණ නොව පොදු සමාජ රක්ෂණයකි. එහෙත් ධනවාදය තුළ ඊට ඉඩ නැත. එය මිනිසුන් හුදෙකලා කර අසරණ කර බියට පත් කර තිබේ.

එසේම කෑදරකම වර්ධනය කිරීමද ධනවාදය තුළ නිතිපතා සිදුවේ. නූතනයේ පරිභෝජන භාණ්ඩ (ඉන් බොහොමයක් මිනිසුන්ට අත්‍යාවශ්‍ය භාණ්ඩ නොව තම ලාභය සඳහා වෙළඳුන්ට අවශ්‍ය භාණ්ඩය) ගෙයි මැද සාලයට ගෙනැවිත් වෙන්දේසියේ දැමේ. ඒවා මිලදී ගැනීමට බල කෙරේ. මාලිගා තැනීමට, සුපිරි වාහන ගැනීමට, දරුවන්ට ජාත්‍යන්තර පාසල්වල ඉගැන්වීමට, මිල අධික සුපිරි භාණ්ඩ පාවිච්චි කිරීමට නිතර පොළඹවනු ලැබේ. ඒ සඳහා මහා ධනයක් අවශ්‍ය වන අතර බලය ඇති අය බලය යොදා ධනය උපයනු ලැබේ. එවිට දූෂණය වංචාව පැතිරෙයි.

එහෙත් මිනිසුන් සරල නම්, කෑදර මානසිකත්වයක් ගොඩ නොනගයි නම්, අවශ්‍ය භාණ්ඩ හා සේවා අවශ්‍ය ප්‍රමාණයට සැපිරෙන්නේ නම් භාණ්ඩ පරිහරණය මෝස්තරයක් සමාජ වටිනාකම් පෙන්වීමේ මිනුම් දණ්ඩක් ලෙස නොසැලකේ නම් කෑදරකම නැති වේ. එවිට වංචා දූෂණ සඳහා යෙදීමේ අවශ්‍යතාවයද නැතිවේ. මේ සියලු කරුණුවලින් යළි යළිත් තහවුරු වන්නේ වංචා දූෂණ පවතින සමාජයේ සමාජ ආර්ථික දේශපාලන ක්‍රමය හා බැඳී පවතින බවත් එම ක්‍රමය වෙනස් නොකර වංචා දූෂණ පමණක් අහෝසි කළ නොහැකි බවත්ය.

සියලු වර්ගයේ වංචා, දූෂණ අහෝසි කළ යුතුය. විශේෂයෙන් බලය උපයෝගී කරගෙන කරනු ලබන වංචා දූෂණ බරපතළ නිසා ඒවා සමාජයෙන් පිටමං කළ යුතුය. වංචා දූෂණ නැති, දූෂිතයන් නැති සමාජයක් නිර්මාණය කළ යුතුය. ඒ සඳහා ධනවාදය තුළ කරන උද්ඝෝෂණයන්ට සීමා නොවී, නීති රීති හා දඬුවම්වලට කොටු නොවී, සමාජ ක්‍රමයේ ගැඹුරු පරිවර්තනයක් උදෙසා අරගල කළ යුතුය. සමාජය ප්‍රගතිය කරා ඉදිරියට නොව ම්ලේච්ඡත්වය කරා ආ පස්සට ගෙන යාමට පමණක් සමත් වත්මන් ධනවාදී සමාජ ආර්ථික ක්‍රමය වෙනස් කර ඒ වෙනුවට සාමූහිකත්වය, මනුෂ්‍යත්වය හා සමාජ ප්‍රගතිය සහිත නවීන සමාජවාදී සමාජයක් වෙනුවෙන් කටයුතු කළ යුතුය. වංචා දූෂණ ස්ථිර ලෙසම වැළැක්විය හැක්කේ ඒ මගින් පමණි. වංචා දූෂණ, සිදුකිරීමට බලපාන සමාජ ආර්ථික කොන්දේසි අහෝසි කොට නව සමාජයක් නිර්මාණය කළ පසුත් පැරණි සමාජයෙන් උරුමවූ පුරුද්දට අනුව වංචා දූෂණ සිදුකරන අයට දැඩි දඬුවම් ලබා දිය යුතුය. ඊට අදාළ නීති රීති හා ආයතන ව්‍යූහයක් සවිමත් කළ යුතුය.

එසේම වංචාව දූෂණය පිළිකුල් කරන ඊට මිනිසුන් තුළ ලැජ්ජාව හා බය ඇතිකරන සමාජ මතයක්ද ගොඩනැගිය යුතුය. එවැනි සමාජ මතයක් සැබෑ ලෙස ගොඩනැගිය

හැක්කේද ඊට උදව් වන සමාජ ආර්ථික ක්‍රමයේ වෙනසක් තුළය. ඒ නිසා දූෂණය හා දූෂිතයන් බිහිකරන ආර්ථික දේශපාලන සාධක ඉවත්කරනු ලබන නව සමාජයක් තුළදී එකී සමාජයට ගැලෙපෙන සමාජ මතවාදයක් යටතේ  වංචා දූෂණ  අහෝසි කළ හැකිවනු ඇත. ඒ හැර අන් මඟක් ජනතාව ඉදිරියේ නැත. මානව සමාජය මෙම සත්‍යය තේරුම් ගන්නා දිනය තෙක් සියලු විවේචන මැද, බලාපොරොත්තු සුන්වීම් මැද, අඬා වැළපීම් මැද, උද්ඝෝෂණ මැද, පුද්ගලයන්ගේ නාම වෙනස් වෙමින් වංචාව දූෂණය දිගටම පවතිනු ඇත. සත්‍යය එයයි.

– බිමල් රත්නායක (ලෙෆ්ට් සඟරාවේ පළවූ ලිපියකි)                                    

දූෂණය පිටු දකින මඟ කුමක්ද?